Jun 22, 2012

ලංකාවේ කබඩි වලට ආසියාතික පදක්කම් දෙකක්


චීනයේ හායියැන්ග් හී පැවත්වෙන ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කබඩි කණ්ඩායම් ලෝකඩ පදක්කම් දිනා ගත් බව වාර්තා වේ. ඒ අතරින් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම වඩාත් කැපී පෙණුන අතර අවසාන තරගයට ඉන්දියාව පරදවා පිවිසි පකිස්තානයට පවා ඔවුන් ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සමත් විය.පකිස්තානය සමග අවසාන තරගයට සුදුසුකම් ලැබූ ප්‍රබල ඉරානය හමුවේ ලකුණු 50 – 23 ක් ලෙස පරාජය ලැබූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉන්දියාව සමග ලෝකඩ පදක්කම් දිනා ගැනීමේ අවස්ථාව දිනා ගත්තේය.එම තරගයට පෙර  ඇෆ්ගනිස්තානය ලකුණු 53 – 25 ක් ලෙස පහසුවෙන් පරාජය කළ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අවසාන පූර්ව තරගයට පිවිසීමට අවස්ථාව උදා කර ගත්තේය.  
පැවති දෙවන අවසාන පූර්ව තරගයෙන් ඉන්දියාව පරදවා පකිස්තානය 32 – 30 ක් ලෙස ජය අත්කර ගත් අතර ඒ අනුව අද අවසාන තරගය පකිස්තානය සහ ඉරානය අතර පැවත්වේ.
මේ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය තෙවන තරගයෙන්ද ඉන්දියාවට එරෙහිව 57 – 31 ලෙස පරාජයට පත් වූ අතර ඒ තරග වැදි  කණ්ඩායම් ඉතා ප්‍රබල වීම එයට ප්‍රධානතම හේතුව ලෙස දැකිය හැකිය. ඉන්දියාව සහ තායිලන්තය අද රන් පදක්කම සදහා සටනට සුදුසුකම් ලබා තිබීම එයට කදිම උදාහරණයකි.නමුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංගලාදේශය හමුවේ පරාජය ලැබීම විශාල පසුබැසීමක් ලෙස සැළකිය යුතුය. නමුත් තරගයට සහභාගි වූ කණ්ඩායම් ප්‍රමාණය සළකද්දී හ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ද ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකි වූ අතර ඒ අනුව පදක්කම් කිසිවක් අහිමි ව සිටි ශ්‍රී ලංකාව තරගාවලියේ අවසාන දිනය වන විට ලෝකඩ පදක්කම් දෙකක උරුමක්කාරයන් වී පදක්කම් සටහනට පිවිස සිටියි.
  

No comments: