Sep 21, 2013

කාලිංගගේ කිරි හැලියට ගොම වැටේ

ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය වසර ගණනක සිට ගිය ගමනේ තිබූ පක්ෂග්‍රාහී බව හේතුවෙන් ලාංකේය බේස්බෝලය කඩා වැටෙමින් තිබූ මොහොතක ඊට එරෙහිව කෙටිකාලීන සහ දීර්ඝකාලීන වැඩ පිළිවෙළක්ද සමග ඊට අභියෝග කරන්නට පිරිසක් ඉදිරිපත් විය.නිලවරණයකට පෙරාතුව වැඩ පිළිවෙළක් සහ සැළසුමක් මාධ්‍යයට ඉදිරිපත් කරමින් ඔවුන් අළුත් සම්ප්‍රදායක් ලාංකේය ක්‍රීඩා නිලවරණ කලාවට හදුන්වා දුන් අතර නමුත් හිටපු පරිපාලනය ඊට මුහුණ දීමට නීති අංශයේ ප්‍රමුඛතමයෙකු වන කාලිංග ඉන්ද්‍රතිස්ස මූලික කර ගෙන නිලවරණයට පිවිසියේය.එහි තිබූ අතැම් දෝෂ සහිත තත්ත්වයන් පෙන්වා දුන්නද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද,එහි නීතිමය තත්ත්වයන් වෙනුවෙන් පෙනී සිටි ඇතැම් නීතිවේදීන් කාලිංග වැනි නීතිඥයන් ඉදිරියේ එහි නීතිමය තත්ත්වයන් ගැන කතා කරන්නට දැක් වූ බියගුළු ස්වභාවය නිසාද කාලිංග ව අභිබවා යමින් ඔහුට අභියෝග කිරීමේ උත්සාහය පසු පසට ඇදිණ.
නමුත් කාලිංග බලයත් සමග තමා පය තැබූ අඩවියේ අලුත් වෙනසක් ඇති කිරීමට පියවර ගත් අතර අද වන විට එම ගමන යහපත් දිශාන්තියක් කරා රැගෙන යාමට කාර්ය බහුල ඇතැම් නිලධාරීන්ට සහය වීම පිණිස සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පිරිස් ද යොදවමින් සිටින බව කේෂ්ත්‍රයේ බොහෝ දෙනා අතර නොරහසකි.
එහි ප්‍රතිපලයක් ලෙස ක්ලැසික් බේස්බෝල් තරගාවලිය හදුන්වා දෙමින් ලංකාවේ ප්‍රබලතම බේස්බෝල් ක්‍රීඩකයන් අතර වන තරගාවලියකට මග පෑදීමට අවශ්‍යය අනුග්‍රාහක ආශිර්වාදය දිනා ගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනයට හැකි විය.මේ සත්කාර්යය කරළියට ගෙන ඒමේදී ක්‍රීඩකයන් තේරීමේ තාක්ෂණික කාර්යයේ සිට පිළුණු වූ ගද දැනෙන්නට පටන් ගත් අතර එම වගකීම පැවරුණු පුද්ගලයන් සිය කිළිටි අත් වලින් එම කාර්යයේ පිරිසිදු බව කෙළෙසමින් වටිනා ක්‍රීඩකයන් කපා දමන්නට සිදු විය.
එසේම කාලයක් තිස්සේ එකම විනිසුරු කණ්ඩායමක් තරග සදහා යෙදවීම කේෂ්ත්‍රයේ දකින්නට තිබෙන දෙයක් වන අතර මේ නිසා ඇතිවන කාර්ය බහුලත්වය මානසික ඒකාග්‍රතාවය කෙරෙහි බලපාන බැවින්ද එම වැරදි සිදුවන බවක් පෙනෙන්නට ඇත.එම පත් කිරීම් නිල වශයෙන් බේස්බෝල් පරිපාලනයේ විනිසුරු අධ්‍යක්ෂවරයාට හිමි විය යුතු අතර ඔහු තවත් සුදුසුකම් ඇති පුද්ගලයන් විනසුරු කේෂ්ත්‍රයට හදුන්වා දෙමින් ක්‍රීඩාවේ ව්‍යාප්තිය සිදු කිරීමට කටයුතු කළ යුතු වුව ද,ඔහුගේ උවමනාවට හෝ සංගමයේ වෙනත් අයෙකුගේ හෝ පිරිසකගේ උවමනාව මත එය මෙම තරගාවලියේදී ද සිදු වූයේ නැත.
එහි ප්‍රතිපල මේ මොහොතේ ක්‍රියාත්මක ක්ලැසික් තරගාවලියේදී ඔහුටම පෙරළා විදින්නට සිදු වූ අතර ඔහු විසින් ගත් තීරණයකට අනුව හෝ ඔහු රූකඩයක් ලෙස යොදවා ගෙන පරිපාලනයේ අයෙකු හෝ කිහිප දෙනෙකු විසින් ගත් තීරණයකට අනුව හෝ පත් කළ විනිසුරුවෙකු විසින් ගත් තීරණයකට විරෝධය පා විනිසුරු අධ්‍යක්ෂවරයා විසින් පුහුණුකාරත්වය දරන කණ්ඩායමට සිදු වූ අසාධාරණයක් නිසා සිය කණ්ඩායම තරගයෙන් ඉවත් කර ගත්තේය.විනිසුරු තීරණයට එරෙහි වීම සාමාන්‍යයෙන් සිදු නොවිය යුතු වුව ද,විනිසුරු අධ්‍යක්ෂවරයාම එය කළ විට ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම පිළිබදව කිසිවක් කළ හැකිද?එසේම මේ කාරණයත් සමග විනිසුරු අධ්‍යක්ෂවරයා කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙස පත් කර ඇත්තේ ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය ය.එයද සිදු නොවිය යුත්තකි.විනිසුරු අධ්‍යක්ෂවරයා කණ්ඩායමක් පුහුණු කරද්දී එම කණ්ඩායමට එරෙහිව විනිසුරු තීරන යම් පක්ෂග්‍රාහී තත්ත්වයක් ගනු ඇතැයි සැකයක් පහළ වීමට ඇති ඉඩ සහ බලපෑමක් වීමට ඇති ඉඩ අධික අතර මේ සිදුවීම ද හැදින්විය හැක්කේ විනිසුරුවරයාට අනියමින් ඔහුගේ විනිසුරු කාර්ය පිළිබදව යම් ආකාරයක බලපෑමක් කිරීම බව අපේ හැගීමය.
දැන් සිදුවීම සිදු වී හමාරය.කාලිංග ඉන්ද්‍රතිස්ස වැනි අත්දැකීම් සහ සමාජ සම්බන්ධතා ඇති අයෙකු ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාව ඉහළ තලයකට ඔසවා තැබීමට සිය භාවිතාවන් නොමසුරුව පරිත්‍යාග කිරීම ක්‍රීඩාව ලද ආශිර්වාදයක් වුව ද,ඇතැම් නිලධාරීන්ට සිය කාර්ය පහසු කිරීම සදහා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය පවා යොදවමින් කරන දායකත්වය ක්‍රීඩකයන් තේරීමේදී සිදුවන අසාධාරණකම් සහ විනිසුරුවන් තේරීමේදී කරන අසාධාරණකම් මැඩිමටද යෙදවීමට කටයුතු නොකළහොත්,කාලිංග දකින සොදුරු සිහිනයට බාධා ඇතිවීම නොවැළක්විය හැකි වනු ඇත.
වෘෂභයන් ගොයමට පොහොර ලෑමට කුඹුරේ  බැද ගියහොත් ඌ ගොම ලෑමට අමතරව ගොයමද කා විනාශ කරන බව සත්‍යයකි.මේ සිදු වීම ද එවැනි දෙයක් වන අතර කාලිංගගේ පිරිසුදු හැගීම කිරි කළයක් වුව අසූචි අත ඇති අයට වගකීම් පැවරුණු විට ඊට ඒවා මුසුවීමට ඇති ඉඩකඩ ද සුළු පටු නොවේය.
www.supirikrida.com

ශ්‍රී ලංකාව පදක්කම් 10 සීමාවට පිවිසෙයි


ළමු ආසියාතික පාසල් මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික අභිප්‍රාය පදක්කම් 10 ් බව පැවසූ අතර එය තරගාවලියේ දෙවන දිනයේදීම සාක්ෂාත් කර ගනිමින් එම ඉලක්කය ඉක්මවා දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.පළමු දිනයේදී පදක්කම් 5 ක් ව පැවති ශ්‍රී ලංකාවේ පදක්කම් සටහනට අද දිනයේදී තවත් පදක්කම් පහක් එක් වූ අතර ඒ අතරට රන් පදක්කමක් එක් කරමින් කණ්ඩායමේ නායකත්වයේ වගකීම ඉටු කළ හලාවත ආනන්ද විද්‍යාලයේ කේඒපී ජයවර්ධන අද දවසේ ශ්‍රී ලංකාව දිනූ රන් පදක්කමේ හිමිකරු බවට පත් වුණා.ඒ මීටර් 41.52 ක දක්ෂතාවයක් පෙන්වමින්.

ශ්‍රී ලංකාව මේ තරගාවලිය ආසන්නයේ දී සොයාගත් මීටර් 400 ඉසව්වේ අනාගත බලාපොරොත්තුව බවට පත් වී සිටින විනුර ලක්මාල් සිය පුරුදු ඉසව්ව වන තුන් පිම්ම ඉසව්වේ දී මීටර් 14.64 ක දක්ෂතාවයක් දක්වමින් තෙවන ස්ථානයට පත් වුණා.එසේම රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙම තරගාවලියට එක් වූ සමිත් ලක්මාල් මීටර් 200 ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගත්තේ තත්පර 22.00 ක දක්ෂතාවයක් දක්වමින්.පිරිමි මීටර් 800 ඉසව්වේදී  කැළණිය ගුරුකුල විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ බීඒ සදරුවන් එම ඉසව්වේ ලෝකඩ පදක්කම සදහා තෙවන ස්ථානයට තරගය නිම කළේ 1:55.24 ක කාලයක් වාර්තා කරමින්ය.
අද දවසේ ශ්‍රී ලංකාවේ පදක්කම් පැසට එක් රිදී පදක්කමක් ද එක් වූ අතර එම පදක්කම දිනා දීමට සමත් වූයේ ඒඑම්පීපී අබේරත්නය.ඊයේ පළමු රන් පදක්කම දිනා දුන් සමරවීර මෙන්ම ඇය ද වලල ඒ රත්නායක විද්‍යාලයේ ක්‍රිඩිකාවක්ය.ඇය මීටර් 800 ඉසව්වේ රිදී පදක්කම දිනා දෙමින් එම ඉසව්ව විනාඩි 2:12.12 කින් නිමා කළාය.
අද දවස ගෙවෙන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිව්වන තැන සිටින අතර අද දිනය නිමා වන විට ද පදක්කම් සටහනේ පළමු තැන සත්කාරක මැලේසියාවට හිමි වී ඇත.අදද www.supirikrida.com හී සජීවි ප්‍රතිපල තොරතොරු දැක්වෙන අතර හෙට තරගාවලියේ තරග පැවත්වෙන තෙවන දිනය වන්නේය.ඡායාරූයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත් වූ සමිත් ලක්මාල් ය 

Sep 20, 2013

ලංකාව අන්තිමයා නොවී ගැලවෙයි

තායිලන්තයේ පැවත්වෙන ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ කණ්ඩායම් 16 ක් අතරෙන් 16 වන ස්ථානයට පත් වීමෙන් වැළකීමට මියන්මාරය සමග පැවති සටනින් තියුණු ජයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.ප්‍රථම වටයේ වට 3 - 0 ක් ලෙස මියන්මාරය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අනතුරුව ක්‍රමයෙන් තරගයෙන් තරගයට පිරීහීමක් පෙන්වමින් අනපේක්ෂිත ලෙස පරාජයන්ට මුහුණ දුන් අතර ඒ පසු බැසීමේ ගති ලක්ෂණ මියන්මාරයට එරෙහි තරගයේදී ද මැනවින් පැහැදිළි කළ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ ප්‍රථම වටයේදීම ඒ පසු බැසීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මියන්මාරයට අවස්ථාව ලබා දුන් අතර ලකුණු 24 - 26 කින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරාජය අත් කර ගත්හ.
දෙවන වටයේදී ද එම පීඩනය ලිහිල් නොකළ මියන්මාරය ශ්‍රී ලංකාවට කරට කර තරගයක් ලබා දුන් අතර එහි ප්‍රතිපලය සටහන් වූයේ ලකුණු 24 - 26 ක් ලෙස මියන්මාරයට පරාජය අත් වෙමින්ය.තෙවන වට‍යේදී ශ්‍රී ලංකාව ලකුණු 25 - 23 ක් ලෙස පෙරමුණ ගත් අතර සිව්වන වටයේදී එම තත්ත්වය තව දුරටත් වෙනස් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම වටය ජය ගත්තේ ලකුණු 25 - 16 ක් ලෙසය.
කසකස්තානය අතින් වට 3 - 1 ක් ලෙස පරාජයට පත් වූ සත්කාරක තායිලන්තය මෙම තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම බවට පත් වෙමින් අංක එකට ශ්‍රේණිගතව සිටි චීනය පරාජය කරමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.වට පහක් දක්වා දිවුණු එම තරගයෙන් වට 3 - 2 ක් ලෙස ජය ලැබූ තායිලන්තය අවසාන තරගයට සුදුසුකම් ලබමින් සත්කාරකත්වයේ නිසි පල නෙලා ගැනීමට සමත් විය.ජපානය චීනය ඉවත්ව ගිය ද සුපුරුදු පරිදි ආසියාවේ කාන්තා වොලිබෝල් කිරුළට සටන් වැදීමට අවසාන තරගය සදහා සුදුසුකම් ලැබුවේ දකුණු කොරියාව වට 3 - 1 ක් ලෙස පරාජයට පත්කරමින්ය.
චීනයේ පරාජයත් සමග මෙම තරගාවලිය කිසිදු අපරාජිත කණ්ඩායමක් නැති තරගාවලියක් බවට පත් වූ අතර අවසාන තරගයේදී සත්කාරක තායිලන්තය සිය භූමියේ වාසිය වගේම තරගාවලියේ දෙවන වටයේදී ජපානය පරාජය කිරීමේ මානසික ශක්තිය ද සමග හෙට (21) අවසාන තරගයට මුහුණ ‍දීමට සූදානමින් සිටිනනේ ආසියාවේ කාන්තා වොලිබෝලයේ ඉතිහාස කතාව අළුත් කිරීමේ සූදානම ඇතිවය.
www.supirikrida.com

පළමු දවසේම ශ්‍රී ලංකාවට පදක්කම් පහක්

මැලේසියාවේ ක්‍රියාත්මක පළමු ආසියාතික පාසල් මලල ක්‍රීඩා සූරතාවලියේදී පළමු දිනය නිම වන විට ශ්‍රී ලංකාවේ පදක්කම් පැස පදක්කම් පහකින් පුරවා තබන්නට ශ්‍රී ලංක පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.ඩබ්බීඑම් සමරවීර පළමු රන් පදක්කම දිනා ‍දීමෙන් අනතුරුව පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නුවන් කුමාර හෙල්ල වීසි කිරීමේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ මීටර් 51.25 ක දක්ෂතාවයක් දක්වමින්.දුර පැනීමේ බාලිකා ඉසව්වේදී මීටර් 5.63 ක දක්ෂතාවයක් දැක් වූ පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ සාරංගි සිල්වා ද ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙන්නට සමත් වුණා.
උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව තේරීම සදහා පැවති තරගයේදී කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ආර්එම්ආර්කේ රත්නායක තත්පර 12.45 කින් ඉසව්ව නිමා කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වුණා.මෙම තරගයට සහභාගි වූ මාකලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලය නියෝජනය කළ මේධනි වික්‍රමනායක තරගය නිමා කළේ හත් වැනි ස්ථානයට වූ අතර ඇය තත්පර 12.73 ක කාලයක් වාර්තා කළා.රත්නපුර සිවලි මධ්‍ය මහා විද්‍යාලයේ සමිත් ලක්මාල් මිටර් 100 තරගයේදී පස්වන ස්ථානයට පත් වුණේ,තත්පර 10.90 ක කාලයක් වාර්තා කරමින් වූ අතර ශ්‍රී ලංකාවට ඊයේ හිමි වූ අනෙක් ලෝකඩ පදක්කම දිනා දුන්නේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ කේඑම්ඩීපී කුලසූරියයි.
පළමු තරගවලිය බැවින් රටවල් නවයකින් පමණක් තරග කරුවන් ඉදිරිපත් වී සිටින අතර සත්කාරක මැලේසියාවට පසු වැඩිම පිරිසක් සහභාගි කරවා ඇති රට ලෙස සැළකෙන්නේ ශ්‍රී ලංකාවයි.ශ්‍රී ලංකාව 35 දෙනෙකු සහභාගි කරවීමට නියමිත බව නිල ලේඛණ වල සදහන් වුව ද අවසානයේ 32 ක කණ්ඩායමක් සහභාගි කර තිබෙනවා.මැලේසියාව වැඩි සහභාගීත්වයේ ප්‍රතිපල සමගින් දැනට පදක්කම් සටහනේ පළමු තැන සිටින අතර ඉන්දියාව දෙවන ස්ථානයේත්,ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේත් පසු වෙනවා.
අද දෙවන දිනයේ තරග ද එරට වේලාවෙන් පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිත අතර තරග වල ප්‍රතිපල ඉක්මණින් දැන ගැනීම සදහා www.supirikrida.com වෙබ් අඩවියේ පහසුකම් සළසා තිබෙන අතර එහි ඇති තරගාවලිය ආශ්‍රිත තොරතොරු දැන ගැනීමේ බැනරය තෙරපීමෙන් ඉනික්බිතිව තරග ප්‍රතිපල වලට පිවිසීමට හැකියාව තිබෙනවා.
www.supirikreeda.com

ලංකාව අන්තිමයා නොවී සිටින්න අද මියන්මාරය හා සටනක

තායිලන්තයේ පැවත්වෙන ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද මියන්මාරය හා තරග වදින්නේ තරගාවලියේ කණ්ඩායම් 16 අතරින් 16 වන සහ 15 වන ස්ථානය තෝරා ගැනීම සදහා වන තරගයටයි.අද මියන්මාරය සමග තරගයේදී අන්තිමයා නොවී සිටීමේ හැකියාව ලැබෙනු ඇතැයි සිතිය හැකි එකම කාරණය මියන්මාරය පළමු වටයේදී ශ්‍රී ලංකාව වෙතින් වට 3 - 0 කින් පරාජය වී සිටීමයි.ශ්‍රී ලංකාව මේ තරගාවලියේ ලද එකම ජයද එය වන්නේය.
නමුත් ශ්‍රී ලංකාව ඉදිරියේ වට 3 - 0 ක් ලෙස පරාජය ලැබූ මියන්මාරයට  ඉන්දියාව පරාජය වූ අතර ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ පරාජය වූයේ වට 3 - 0 ක් ලෙසය.එ අනුව ශ්‍රී ලංකාව මේ තරගාවලිය තුළ ක්‍රියාත්මක වී ඇති ආකාරය අනුව මියන්මාරය පරාජය කරන තුරු පරාජය කළා යැයි කිව නොහැකි තත්ත්වයක පසු වන අතර දක්ෂතා ස්ථාවර මට්ටමක පවතින්නේද,ක්‍රීඩිකාවන් යෙදවීම මෙන්ම තරග පිටිය තුළ ක්‍රීඩිකාවන්ට නිසි අවස්ථාව හිමි වේද යන්න පිළිබදව තරග වාර්තා බලන විට ඇති වන කුකුස තරගාවලිය නිමා වූ වහාම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තාක්ෂණික කමිටුවක් සිටීනම් වහාම පරික්ෂාවට ලක් විය යුතු දෙයක්ය.
මේ වන විට වොලිබෝල් ක්‍රීඩාව තුළ ද එය පරවේණි උරුමයක් කර ගන්නට සැරසෙන පිරිස් පරිපාලනමය වශයෙන් මෙන්ම වෙනත් වගකීම් දැරීම හරහා ද මතු වෙමින් සිටින අතර ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම ක්‍රීඩකයෙකු ලෙස පිළිගැනෙන ආනන්ද වන්නිතිලක කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පත් වීම නැළක්වීම පිණිස එවැනි පාර්ශව විශාල ව්‍යාපාරයක් ද ගෙන ගියේය.ඊට ප්‍රධාන හේතුව වූයේ ක්‍රීඩක අවධියේදී වන්නිතිලක ශ්‍රී ලංකා කණ්ඩායම සමග කළ සංචාරයකදී අතුරුදහන් වී පළා ගොස් තිබීමය.නමුත් ක්‍රීඩකයන් හෝ ක්‍රීඩාවේ නියැලෙන්නන් හැටියට එසේ පළා ගිය පිරිස් එයින් වැළක්වීම පිණිස කළ යුතුව තිබුණේ,ක්‍රීඩකයාට යහපත් ආර්ථික රටාවක් නිර්මාණය කිරීමය.ඒ පළා ගිය ක්‍රීඩකයන් වොලිබෝල් නිසා සිය දක්ෂතාවයන්ට සාපේක්ෂව යමක් හිමි කර ගෙන සිටියා යැයි කිව නොහැකි අතර සිටියේ හිමි විය යුතු දේ නොලැබය.
විමල් කරුණාතිලක,සමන්සිරි සෙනවිරත්න, ජනරංජන වැනි තවත් නම් මේ ලේඛණයට අදාළ ‍වන අතර ඒ දිගු නාම ලේඛණය සදාකාලිකව වොලිබෝල් කේෂ්ත්‍රයෙන් අකුලා දැමීමට සෑදි තිබූ න්‍යාය පත්‍රය වෙනස් කිරීම සදහා ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ සිටම එවකට ඔහුගේ මාධ්‍ය කටයතු භාරව සිටි සිසිර යාපා ද එකතු කර ගනිමින් කරුණු දැක් වූ පුද්ගලයා ලෙස වන්නිතිලක,සමන්සිරි,විමල් ජනරංජන ඇතුළු පිරිසක් අද ලාංකේය වොලිබෝලයේ නගා සිටුවීම සදහා සිය දායකත්වය සපයමින් සිටීම සතුටට කාරණයකි.
කෙසේ හෝ තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර ලෙස ජපානය,චීනය,දකුණු කොරියාව සහ තායිලන්තය පිවිස සිටින අතර අද පැවත්වෙන තායිලන්තය සහ චීනය අතර තරගයේ තීරණයට අනුව සහ ජපානය සහ දකුණු කොරියාව අතර තරගයේ තීරණයට අනුව හෙට මෙවර ආසියානූ සූරියන් කවරේද යන්න තීරනය කරන තරගයේ කණ්ඩායම් දෙක කවුරුන්ද යන්න තීරණය විමට නියමිතය.
තරගාවලියේ තරග පැවති රටාව නිරීක්ෂණය කිරීමේදී ඉන්දීය පරාජය අඩුම තරමේ අවම කර ගැනීමට හෝ නැතිනම් ජය ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකියාව තිබූ බව සිතිය හැකි අතර පිලීපීනය සමග පැවති තරගය ද එවැනි එකකි.එය වැළක්වී යාම නිසා ශ්‍රී ලංකාවට තරගාවලියේ මුල් කණ්ඩායම් 12 අතරට පිවිසීමට අවස්ථාව නොලැබුණු අතර අද ඉන්දියාව තරග වදින්නේ පිලීපීනයට 11 වන ස්ථානය හිමි වීම වැළක්වීමටය.එම තරගයේ තීරණය අනුව තරගාවලියේ 12 වන ස්ථානය හිමි වන්නේ ඉන්දියාවට ද,පිලපීනයට ද යන්න තීරණය වන්නට නියමිතය.
www.supirikrida.com

Sep 19, 2013

සමරේගෙන් අමරණිය ජයක් (පළමු ආසියාතික පාසල් මලල ක්‍රීඩා සූරතාවලියේ ඉක්මන් ප්‍රතිපල සදහා (www.supirikrida.com)

ළමු ආසියාතික මලල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම්ලාභියා වෙමින් අමරණීය ජයක් ලබන්නට වලල ඒ රත්නායක විද්‍යාලයේ ඩබ්බීඑම් සමරවීර සමත් වුණා.එම පදක්කම ශ්‍රී ලංකාව මෙම තරගාවලිය ආශ්‍රිතව දිනු පළමු රන් පදක්කම වන අතර ඒ අනුව ආසියාතික පාසල් මලල ක්‍රීඩා සූරතාවලියක ලක්මව රනින් සැරසී පළමු ලාංකේය ක්‍රීඩකයා ලෙස සමරවීර ගේ නම ඉතිහාසියට එකතු වෙනවා.එම තරගයට වලල ඒ රත්නායක විද්‍යාලයෙන්ම ඩබ්එම්එච්එම් වීරසිංහ ද එක් වී සිටි අතර ඔහුට තරගයේ සිව්වන තැනින් සෑහීමට පත් වන්නට සිදු වුණා.
මේ අතර බාලක උස පැනීමේ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ සචින් එරංග මීටර් 2.01 උසක් පනිමින් තරගයේ පස්වන තැනට පත් වූ අතර සිය මූලික උස වූ මීටර් 1.85 හෝ ඉක්මවා යමට හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සීඑම්ජේපී ෆොන්සේකා අසමත් වූණා.
හංවැල්ල රාජසිංහ විද්‍යාලයම නියෝජනය කරමින් බාලිකා හෙල්ල වීසි කිරීමේ තරගයට සහභාගි වූ ඩීඑම්ඩීඒ දිසානායක මීටර් 35.14 ක දක්ෂතාවයක් දක්වමින් සිව්වන ස්ථානය දිනා ගත් අතර,බාලක යගුලිය වීසිකිරීමේ තරගයට සහභාගි වූ මලින්ද මධුශංක මීටර් 13.83 ක දක්ෂතාවයක් දක්වමින් තරගයේ පස්වන ස්ථානයට පත් වුණා.ඔහු වෙන්නප්පුව ශාන්ත රීටා විද්‍යාලයේ ක්‍රීඩකයෙක්.
කාන්තා මීටර් 3000 ඉසව්වේදීද ශ්‍රී ලංකාවට අත් වුණේ සිව්වන ස්ථානයයි.එහිදී කටුගස්තොට රාහුල ජාතික පාසලේ එම්ජීඩීඑස් අමරසූරිය  සිව්වන ස්ථානයට පත් වුණා.මේ අතර මීටර් 100 පිරිම් මූලික තරග දෙකක් පැවති අතර එයින් පළමු තරගයට සහභාගි වූ සමිත් ලක්මාල් එම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා.ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනයට සුදුසුකම් ලැබ සමිත් එම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් සිය හොදම පෞද්ගලික කාලයට පැමිණි එකම ක්‍රීඩකයා වූවා.ඔහු රත්නපුර සීවලි මධ්‍ය මා විද්‍යාලය නියෝජනය කරන්නෙකි.ඔහුගේ දක්ෂතාවය මූලික තරගවලදී වාර්තා වූ කාලයන්ට අනුව හොදම කාලයන් පෙළගැස්මේ සිව්වන තැන තිබෙන අතර බොහෝ විට අවසාන තරගයේදි හොද කාලයක් වාර්තා කර පදක්කමකට යාම සදහා සමිත් ට අවකාශ තිබෙනවා.
මේ අතර බාලිකා මීටර් 100 මූලික තරග දෙක සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉදිරිපත් වි සිටින අතර ඒ අතරින් පළමු මූලික තරගය නියෝජනය කළ,කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ආර්එම්ආර්කේ රත්නායක එහි ප්‍රථමයා වූයේ මූලික තරග දෙකම සළකා බලද්දී තෙවන තැන සිටිමින්.දෙවන මූලික තරගය නියෝජනය කළ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ මේධනි වික්‍රමනායක ද එහි තෙවන තැන දිනා ගනිමින් අවසාන තරගයට සුදුසුකම් ලැබුවා.


පළමු ආසියාතික පාසල් මලල ක්‍රීඩා උළෙලේ තරග අද ඇරඹෙනවා

සියාතික පාසල් ක්‍රීඩා කවුන්සිලය විසින් පළමු වරට සංවිධානය කරන්නට යෙදී ඇති පළමු ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ තරග අද පස්වරු 4.00 සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.මැලේසියාවේ පැවත්වෙන  මෙම තරගාවලියේ සමාරම්භය 17 දා උළෙල ආශ්‍රීත ක්‍රීඩා ගම්මානයේ පැවති අතර ඊයේ කණ්ඩායම් කළමණාකරුවන්ගේ හමුවක් පැවත් වුණා.
අද සිට 22 දා දක්වා ක්‍රියාත්මක තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 32 ක් සහභෘගි වීමට නියමිතව තිබෙනවා.ඒ ක්‍රීඩකයන් අවම වශයෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 10 ක් දිනා දෙනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය වී ඇති අතර මිට වඩා බලාපොරොත්තු තැබිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයට මෙම සංචාරය සදහා මුදල් සොයා ගැනීමට හැකි වූවා නම් සහභාගි කරවා ගැනීමේ හැකියාව තිබූ බව පවසන පිරිසක්ද මේ අතර වෙනවා.ක්‍රීඩකයන්ට අතින් මුදල් ගෙවා සංචාරයට සහභාගි වීමට සිදු වූ නිසා මෙම සංචාරයට සහභාගි  වීමේ අවස්ථාව අහිමි වූ දක්ෂයන් පිරිසක් සිටින බව පෙන්වා දෙන එම පිරිස් ඇතැම් නිලධාරීන් සිය ක්‍රීඩකයන්සහය පුහුණුකරුවන් සංචාරයට එක් කිරීමට ප්‍රමුඛතාවය දී කටයුතු කළා විනා සංචාරය සදහා ප්‍රබලතම ක්‍රීඩකයන් සහභාගි කරවීම කෙරෙහි අවධානය යොමු නොකළ බවට චෝදනා කරනවා.
කෙසේ හෝ තරගාවලියට සහභාගි වී තිබෙන සත්කාරක  මැලේසියාව,ඉන්දියාව,චීනය,මැකොවා,තායිලන්තය,බෘනායි,පිලීපීනය,හොංකොං සහ ශ්‍රී ලංකාව අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම දස්කම් දැක්වීමට හැකියාව ලැබෙන්නට සුපිරික්‍රීඩා සුභ පතන අතර තරගාවලියේ  ප්‍රතිපල හැකි ඉක්මණින් වාර්තා කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරනවා.මේ සමග වන ඡායාරූපයේ දැක්වෙන්නේ තරගයේ සමාරම්භයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා ගම්මානයේ දී සැහැල්ලුවෙන් පසු වු අවස්ථාවකි.

ජනවාරියෙන් පසු ෆෝර්ඩ් නැහැ

ර්ථමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ග්‍රෙහැම් ෆෝර්ඩ් එළැඹෙන ජනවාරියේදී සිය තනතුරෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසනවා.ඊට හේතු ලෙස ඔවුන් දක්වා සිටින්නේ ෆෝර්ඩ් සිය පවුල සමග කාලය ගත කිරීමට අවශ්‍යය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දන්වා මෙසේ ඉවත්ව යාමට අවසර ලබා ගත් බවයි.ඉතා කෙටි කාලයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සේවයෙන් ඉවත්ව යන ෆෝර්ඩ් සේවයට පැමිණීමට පෙර මෙතරම්ම පවුල සමග බැදීමක් තිබුණේ නම් මෙහි සේවයට පැමිණියේ ඇයි ද යන්න ගැටළුවක් වෙනවා.එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් සමග එලැඹි ගිවිසුමක් නිසා ෆෝර්ඩ් මෙවැනි තීරණයක් ගන්නා බවට මීට පෙර පළ වූ මාධ්‍ය වාර්තා පිළිබදව නිවැරදි පිළිතුරක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් දැන හැර යාම ස්ථීර කරමින් ෆෝර්ඩ් ගේ පවුලේ කතාව පෙරට ගෙන එන්නේ සංවේදී පරිසරයක් ඇති කිරිමට විය හැකියි.
ෆෝර්ඩ් ජාතික කණ්ඩායමක් අත හැර ප්‍රාන්ත කණ්ඩායමක් වෙත යන්නේ නම් ඊට වෘත්තීය වශයෙන් ඔහුට බලපාන යම් ගැටළුකාරී තත්ත්වයන් තිබිය හැකියි.මීට පෙර සිටි ට්‍රෙවර් බේලිස් ද ඉවත් ගොස් ටික කාලයකින් ක්‍රිකට් සදහා ලංකාවේ සිදු වන දේශපාලන ඇගිලි ගැසීම් ගැන ප්‍රකාශ කළා.ඇතැම් විට ෆෝර්ඩ් ද ඉදිරියේදි රට හැර යාමෙන් අනතුරුව එවැනි ප්‍රකාශයක් කිරීමට ඉඩ තිබෙනවා.කෙසේ හෝ ෆෝර්ඩ් ට වසරක තරම් අඩු කාලයකින් සිය දූ දරුවන් ගැන සිතා රට හැර යාමට සිත් වුණේ යැයි කියන කියමන සැකය උපදවන්නක් විනා විහ්වාසයට ගත හැකි කාරණයක් නොවන බව පැහැදිළියි.
www.supirikrida.com

Sep 18, 2013

මියන්මාරයට පැරදුණු ඉන්දියාවට ලංකාව පරදියි

තායිලන්තයේ ක්‍රියාත්මක ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සිය කලාපයේ සම්ප්‍රදායික ප්‍රබලයාගේ ගොදුරක් බවට පත් වෙමින් ශ්‍රේණිගත කිරීම් හී පෙරට යාමට තිබූ අවස්ථාව අහිමි කර ගත්තේය.මූලික වටයේ තරග වලදී මියන්මාරය පහසුවෙන් පරාජය කළ ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ තෙවන ස්ථානයට පත් වූ අතර නමුත් ඉන්දියාවට සිදු වූයේ මියන්මාරය ඉදිරියේ වට 3 - 2 ක් ලෙස පරාජය වැළද ගන්නටය.දෙවන වටයේ තරග අරඹමින් පැවති තරගයේදී ද ශ්‍රී ලංකාව පිලිපීනය වෙතින් අනපේක්ෂිත වට 2 - 3 ක පරාජයක් ලැබූ අතර එම පරාජයත් ඉන්දියාවට එරෙහිව ලද පරාජයත් නිසා ශ්‍රී ලංකාවට තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් හී නවවන ස්ථානය සහ දොළොස්වන ස්ථානය අතර ස්ථානයක් දිනා ගැනීමට තරග කිරීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය.
ඒ අනුව දෙවන වටයේ තරග කාණ්ඩයේ පළමු ස්ථාන දෙක ලබා ඉදිරියට යාමට තිබූ අවස්ථාව පිලිපීනය ඉදිරියේ වට 2- 3 ක් ලෙස පරාජය වෙමින් ද,සිය සම්ප්‍රදායික සතුරාට එරෙහිව දක්වන සම්ප්‍රදායික බිය හේතුවෙන් ඉන්දියාව ඉදිරියේ වට  0 - 3ක් ලෙස අත් කර ගත් පරාජය නිසා ද ශ්‍රී ලංකාවට එම කාණ්ඩයේ පළමු ස්ථාන දෙක ඉන්දියාව සහ පිලිපීනය විසින් දිනා ගනු බලා සිටින්නට සිදු විය.
පිලීපීනයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම ප්‍රහාරිකාව වන ලීනා සදමාලි පරාජයෙන් සිය කණ්ඩායම වළක්වා ගැනීමට විශාල උත්සාහයක් දරා ඇති බව තරග දත්ත වලින් පැහැදිළි වන අතර එම තරගයද ඇතුළුව සියළු තරග වල දත්ත නිරීක්ෂනයේ දී සිය ප්‍රධාන ප්‍රහාරිකාව වැඩි පුර භාවිතා නොකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ දරා නැත.කණ්ඩයමේ නායිකාව වන ඉරේෂා පෙරේරා පන්දු සකසන්නිය ද වන බැවින් ලීනා සදමාලි වැඩිපුර යොදා නොගැනීමට හේතුව සහ එයින් ලබා ගැනීමට උත්සාහ කළ වාසිය පිළිබදව කණ්ඩායම් පුහුණුකරු ආනන්ද වන්නිතිලක ද සමග පිළිතුරු බැදිය යුතුව ඇත.මෙවැනි සිදුවීම් තරග සංචාරයකින් පසු වළලා දැමීමේ සාමාන්‍ය සම්ප්‍රදාය මේ තරගාවලිය හරහා හෝ අවසන් කරන්නට පියවර ගන්නේ නම් එහි යහපත් ප්‍රතිපල ශ්‍රී ලංකාවට දිනා ගැනීමට හැකි වෙනු ඇතැයි සිතිය හැකි අතර මේ තත්ත්වය වොලිබෝල් බලධාරීන්ට මේ වන විට තරගාවලිය ආශ්‍රිත විකිපීඩියා වෙබ් පිටුවේ  සදහන් තොරතොරු හරහා ඉගියක් ලබා ගැනීම අපහසු නැත.
අද තරගාවලියේ ශ්‍රී ලංකාව අවසාන ස්ථාන හතරෙන් එකකට තේරී පත් වීම සදහා තරග වදින අතර එහිදී ශ්‍රී ලංකවේ ප්‍රතිවාදියා වන්නේ හොංකොං දේශයය.
www.supirikrida.com

නදීකා සහ නිමාලි යළිත් අන්ධයන්ට තොරන් පෙන්වයි

ර්ථමානයේ සිය ඉසව්වන් හී විශාල ප්‍රගතියක් පෙන්වන ක්‍රීඩිකාවන් දෙදෙනා බවට පත් වී සිටින නදීකා ලක්මාලි සහ ඩබ්ලිව්කේඑල්ඒ නිමාලි අවධානය යොමු නොවන බලධාරීන්ගේ අද දෑස් ඉදිරියේ යළත් අපූර්ව රංගනයක යෙදෙමින් ජාතික මලල ක්‍රීඩා සූරතාවලියට අදාළ නව වාර්තා දෙකක් පිහිටුවන්නට සමත් විය.දැනටත් හෙල්ල වීසි කිරීමේ ජාතික වාර්තාලාභිණිය මෙන්ම ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ ලෝක සූරතා මලල ක්‍රීඩා සූරතාවලියක අවසාන තරගයක් නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ ලාංකිකයන් දෙදෙනාගෙන් කෙනෙකු වූ නදීකා මෙහිදී පිහිටුවනු ලැබූ නව ජාතික මලල ක්‍රීඩා සූරතාවලි වාර්තාව මීටර් 59.12 ක් විය.
ක්‍රීඩා බලධාරීන් සිතන හැටියට ක්‍රීඩකයන්ට පෞද්ගලික ජීවිත ගැන න්‍යාය පත්‍ර තිබිය නොහැකිය.ඔවුන්ට ලැබෙන පඩිය සම්පූර්ණයෙන් ක්‍රීඩාවට කැප කර රටට කීර්තිය ගෙන ඒම වෙනුවෙන් කැප කළ යුතුය.එවැනි සිතුවිල්ලකින් සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමාණවත් උදව් පදව් කරන අමාත්‍යංශයේ ඇතැම් ඇත්තෝ සිය තනතුරේ වගකීම ලෙස ක්‍රීඩකයන්ට උදව් කර දුන් තේ වතුර එක ගැන වුව ප්‍රශස්තියක් බලාපොරොත්තු වීමේ ඛේදවාචකයක් උදා වී තිබීම කණගාටුදායකය.ඒ තේ වතුර එකේ වර්නාව අත් හැරුනොත් ලෝකය දිනා පැමිණියද අතපසු වූ වචනයේ වාඩුව ලෙස බලධාරින් ඇහැක් ඇර ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව දෙස බලන්නේ නැත.වසර ගණනක සිට ක්‍රීඩාවට සහ පෞද්ගලික ජීවිතය අමතක කරමින් කැප වී සිටින නදීකා ලක්මාලි වැනි යුවතියකට සිය සොදුරු සිනහවට හානියක් විය හැකි යැයි සිතෙන, අනතුරකින් ඇයට අහිමි ව තිබෙන  සිය කෘතිම දත වෙනුවෙන් වැය කරන්නට මුදලක් නැතිව දුක් විදින බව බලධාරීන් කිසිවෙක් නොදන්නේය.
නිමාලි ද,මීටර් 800 උළෙල වාර්තාව තැබුවේ එම ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළදී වාර්තා වූ හොදම කාලය වාර්තා කරමින්ය.එහි වාර්තාව දැනට හිමි ධම්මිකා මැණිකේ 1992 දී බාසිලෝනා ඔලිම්පික් උළෙලේදී එම වාර්තාව තැබුවේ විනාඩි 2:03.85 ක කාලයකින් වන අතර මෙවර ආසියානු ග්‍රොන්ප්‍රී රන් පදක්කම් දෙකක්ම දිනූ නිමාලි මෙහිදී සිය හොදම කාලය මෙන්ම ලංකාව තුළ වාර්තා වූ හොදම කාලයද ද මෙහිදි වාර්තා කළේ විනාඩි 2:04.32 ක කාලයක් වාර්තා කරමින්ය.එසේම ඇයට හොද තරගයක් ලාබ දුන් ගයන්තිකා තුෂාරි ද විනාඩි 2:04.91 ක කාලයක් වාර්තා කිරීමද කැපී පෙණින.
තවත් ආකාරයකින් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම සූරියවැව ප්‍රදේශයේ වන අතර නිමාලි ක්‍රීඩා නිලධාරියෙකු වන සුජිත් අබේසේකර යටතේ පුහුණුව ලබයි.දැනට ක්‍රීඩා අධ්‍යක්ෂ නියෝජ්‍ය ජෙනරාල් ලෙස කටයුතු කරන සජිත් ජයලාල් යටතේ පුහුණුව ලබන ගයන්තිකා තුෂාරිගේ ප්‍රථම පුහුණුකරු වන්නේ ද සුජිත්ය.
මෙම දක්ෂතාවය හෝ බලධාරීන්ගේ නිසි අවධානයට එක් කර මෙම ක්‍රීඩික දක්ෂතා අන්ධයා තොරණ බැලූ කතාවට සම නොවන අයුරෙන් වෙනු අතැයි අපි බලාපොරොත්තු වන්නේමු.
www.supirikrida.com

Sep 17, 2013

අපේ අවම ඉලක්කය පදක්කම් 10 ක් -උපාලි අමරතුංග

මැලේසියාවේදී අද ඇරඹෙන පළමු ආසියානු පාසල් මලල ක්‍රීඩා සූරතාවලියට 32 ක කණ්ඩායමක් සහභාගි කරවන ශ්‍රී ලංකාව එහි දී අවම වශයෙන් පදක්කම් 10 ක් දිනා ගැනීමට උත්සාහ කරන බව කණ්ඩායම් ප්‍රධානි,බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා සහ ජාතික පාසල් ක්‍රීඩා සභාවේ ලේකම් සහ පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති උපාලි අමරතුංග  සුපිරික්‍රීඩා වෙත පැවසීය.
අපිට සෑහෙන යමක් කළ හැකි බව විශ්වාසයි.මේක පළමු තරගාවලිය නිසා අපි දන්නෙ නැහැ නමුත් සියල්ලන්ගේ තත්ත්වය.ඒ නිසයි අවම වශයෙන් පදක්කම් 10 ක් කියන්නෙ.යනුවෙන් ප්‍රකාශ කළ උපාලි,ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ තරගාවලිය තුළ වැඩි වශයෙන් දකින්නට නොලැබීම පිළිබදව සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යලයෙන් සහභාගි වූ රිදී පදක්කම්ලාභී අකිල රවිශංක පෞද්ගලික හේතු මත තරගාවලියෙන් ඉවත්ව සිටින බව පෙන්වා දුන්නේය.ඊට අමතරව තේරීම් සදහා පාදක වූයේ කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වීම නිසාද ක්‍රීඩකයන්ට අවස්ථාවක් නොලැබී ගිය බව ද ඔහු පෙන්වා දුන්නේය.
මීට ප්‍රතිවිරුද්ධ අදහස් දැක් වූ පුහුණුකරුවන් කිහිප දෙනෙකු පැවසුවේ මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට පෞද්ගලිකව දරන්නට වන වියදම නිසා එම ආසියාතික පදක්කම්ලාභින් තරගාවලියෙන් ඉවත්ව සිටින බවය.වසර ගණණකට පසුව මලල ක්‍රීඩාවෙන් රටට විදේශ රටක දී විශාල ජයග්‍රහණ ගණනාවක් ගෙනා රටේ මලල ක්‍රීඩා අනාගතය පෝෂණය කළ හැකි බව සිතිය හැකි යොවුන් ක්‍රීඩක පිරිසක් කෙරෙහි මේ වන තුරු ක්‍රීඩා අමාත්‍යංශයේ,අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ මලල ක්‍රීඩා සංගමයේ ද අවධානය එතරම් යොමු වූ බවක් පෙනෙන්නට නැති බව පෙන්වා දෙන එම අදහස් දැක් වූ පිරිස දිවයිනේ ප්‍රමුඛතම අතිරේක ආහාර නිෂ්පාදන ආයතනයක් මෙවර ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට අනුග්‍රහය දැක්විමට ඉදිරිපත් වී සිටියදී මෙම ජයග්‍රාහී ක්‍රීඩකයන්ට එම ආයතනයේ ආහාර නිෂ්පාදන කට්ටලයක් හෝ පිරිනමා සංඛේතාත්මකව උපහාරයක් දක්වන්නට පාසල් මලල ක්‍රීඩා සංගමය හෝ මැදිහත් නොවීම කණගාටුදායක තත්ත්වයක් බව පෙන්වා දුන්නේය.
කුමන තත්ත්වයක් යටතේ හෝ පළමු ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන රටවල් නවයක් අතරෙන් ශ්‍රි ලංකාවට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා දෙන්නට ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා යැයි සුපිරික්‍රීඩා සුභාශිංෂණය කරමු.
www.supirikrida.com 

Sep 16, 2013

ප්‍රතිවාදීන් දුටු සිහිනය කාලිංග සැබෑ කරයි

මෙවර බේස්බෝල් නිලවරණය උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවේ පැවති පරිපාලනයේ කිහිප දෙනෙකුගේ උවමනාවන් මත ක්‍රීඩාවට සිදු කරන හානිය නැවතීමට සහ එක තැන පල්වීම නැවතීමට එරෙහිව ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් විසින් නිලවරණයට කණ්ඩායමක් ඉදිරිපත් කිරීම නිසාය.එම කණ්ඩායම නිලවරණයට පෙර බේස්බෝල් දියුණුවට අවශ්‍යය දීර්ඝකාලීන සහ කෙටි කාලීන සැළසුම් ඉදිරිපත් කරමින් නිලවරණයට පැමිණි අතර නමුත් අදාළ නිලවරණය කැදවීම පිළිබදව ඇති නීතිමය තත්ත්වයන් සැළකිල්ලට ගෙන පසුව නීතිමය ක්‍රියා මාර්ගයක් හරහා ඊට එරෙහිව වාරණයක් ලබා ගත්තේය.අදාළ වාරණය යොමු විය යුතු ලිපිනයේ නොසිටීම නිසා සහ එම වාරණය ලබා දිය යුතු පුද්ගලයන් දුරකථන වලින් හෝ සම්බන්ධ කර ගැනීඹට ගත් උත්සාහයන් ව්‍යර්තවීම නිසා වාරණය නිලවරණයට පෙර අදාළ පාර්ශව වෙත ලැබීම වැළකී ගිය අතර එය ප්‍රයෝජනයට ගනිමින් නිලවරණය පැවති අතර ලංකාවේ ප්‍රකට නීතිඥයෙකු වන කාලිංග ඉන්ද්‍රතිස්ස එහි සභාපති පදවියට පත්විය.
එසේම තවත් නීතිඥයෙකු වන සාගර කාරියවසම් ද උප සභාපති තනතුරකට පත් වී අතර මේ වන විට ඔවුන් දෙදෙනා පැවති පරිපාලන ව්‍යහුය තුළ පැවති දිරා ගිය ක්‍රමවේදයන්ගෙන් බැහැරව නිලවරණයේ සිය විරුද්ධවාදීන් ඉදිරිපත් කළ සාධනීය කාරණා පවා කරළියට ගෙන එමින් ක්‍රියාත්මක කරමින් ලාංකේය බේස්බෝල් ක්‍රීඩාව සංවරධනය කරා ගෙන යන්නට උත්සාහ දැරීම අගය කළ යුතුය.ඒ අනුව ප්‍රතිවාදීන් ඉදිරිපත් කළ නිලවරණයට අදාළ සැළසුම් තුළ කියා පෑ ක්‍රීඩාවේ ප්‍රගතියට ඉතාමත් වැදගත් Pitching Machine පුහුණු කටයුතු සදහා යොදා ගැනීම සදහා පළමු වරට ලංකාවට හදුන්වා දීම හෙට (17 ) දින සිදු වීමට නියමිතය.
එසේම දක්ෂතම ක්‍රීඩකයන් යොදා කණ්ඩායම් කිහිපයක් සකසා තරගාවලියක් පැවතවීම කෙරෙහි අදාළ සැළසුම් හරහා ඉදිරිපත් වූ කාරණා ද නව ආකාරයකට පෙරට ගෙන එමින් කේෂ්ත්‍රයේ සිටින දක්ෂතම ක්‍රීඩකයන් යොදවා සකස් කරන ලද කණ්ඩායම් හයකින් – Sri Lanka Baseball Classics 2013 තරගාවලිය පැවත්වීමට ගත් තීරණයද පැසසිය යුතුය.නමුත් එහිදී පැරණි සාම්ප්‍රදායික බේස්බෝල් තුරුම්පුකාරයන් තමන්ගේ බලය යළි විදහා පෙන්වමින් පැවති පරිපාලනයේ ඇතැම් නිලධාරීන්ගේ උදහසට ලක් වූ ක්‍රීඩකයන් මෙම කණ්ඩායම් වලට ඇතුළත් නොකිරීමට ක්‍රියා කරමින් ක්‍රීඩාව සුරැකීම වෙනුවට තමන්ගේ සැනසීම වෙත පළමු තැන දී ක්‍රියා කර ඇත.
කෙසේ නමුත් බේස්බෝල් පරිපාලනයේ අලුත් වෙනසක් ඇති කිරීමට පක්ෂ සහ විරුද්ධ සියළු මතවාද ක්‍රීඩාවේ සුභ සිද්ධිය වෙන්වෙන් යොදා ගැනීමට කාලිංග ඉන්ද්‍රතිස්ස සහ සාගර කාරියවසම් දරණ උත්සාහයට සාපේක්ෂව ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුව  ක්‍රියාත්මක නොවීම කණගාටුදායකය.උදාහරණයකට නිලවරණය කැද වූ පාර්ශවයම කාන්තා සැහැල්ලු පන්දු ක්‍රීඩාව වෙනුවෙන් සභාපතිනියක නම් කිරීමට කියා දන්වා එම තනතුර සදහා පිරිමි අයෙකු පත් කිරීම දැවැන්ත වරදක් වන අතර මේ තත්ත්වය නිලවරණයට පෙර දීම වෙනස් කරන ලෙස එහි නියෝජ්‍ය අධයක්ෂවරයෙකු වූ විජේරත්නයන් වර්තමාන ලේකම්වරයාට දැන් වුව ද තවමත් එම ගැහැණු තනතුරේ පිරිමියෙකු තබමින් ක්‍රියාත්මක වෙමින් ඇත.ඒ පිළිබදව නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයාට හෝ ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ එහි ඉහළ නිලධාරන්ට හෝ නීති අංශයේ උපදේශකයන්ට වගේ වගක් නැති වීම ඔවුන් ද්වී ලිංගික සත්වයන්දැයි සැක උපදවන්නකි.
මේ වන විට සංචාර යෑම,සහ වෙනත් සිවිල් සමාජ වරප්‍රසාද දිනා ගැනීම පිණිස ක්‍රීඩාව හැසිර වූ කිහිප දෙනෙකුට න්‍යාය පත්‍ර වෙනස් කරමින් ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රියාත්මක වීම සදහා බේස්බෝල් පරිපාලනයේ සභාපතිවරයා ලෙස කාලිංගයන් දක්වන උනන්දුව නිසා සිදු වී ඇති අතර ඇතැම් පුද්ගලයන්ට සිය කාලය ක්‍රීඩාව වෙනුවෙන් වැය වීම පහසු වීම පිණීස වෙනත් පුද්ගලයන් සහයට ඉදිරිපත් කිරීම දක්වා සිය වැඩ කලාව පුළුල් කිරීමට කාලිංග ගෙන ඇති පියවර නිසා ඉදිර වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ විහාල ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු පෙර දැරිව සිටින්නෙමු.
එහිදී පරිපාලනමය වශයෙන් ක්‍රීඩාවේ පැවත්ම සහ අභිවෘද්ධිය වෙනුවෙන් ගනු ලබන තීරණ නිවැරදිව ක්‍රියාත්මක කළ හැකි පසුබිමක් නිම කරමින් කිහිප දෙනෙකුගේ අවශ්‍යයතාවය මත සිය හුරතලුන් ට ජාතික තලයේ ක්‍රීඩකයන් වීමට දෙනු ලබන අවස්ථාවන් වසා දමා ක්‍රීඩකයන්ට ද සාධාරණය ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.
www.supirikrida.com

Sep 15, 2013

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මියන්මාරය පරාජය කරති

  


මේ දිනවල තායිලන්තයේ පැවත්වෙන ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව සිය ප්‍රථම ජය වාර්තා කරමින් මියන්මාරයට එරෙහිව වට 3 - 0 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.ප්‍රබල චීන තායිපේ කණ්ඩායමට සහ කොරියාවට එරෙහිව ශ්‍රී ලංකාවට වඩා හොදින් දක්ෂතා දක්වා තිබීම නිසා මියන්මාරය ශ්‍රී ලංකාවට විශාල තර්ජනයක් වනු ඇතැයි සිතූවද එම තර්ජනය ප්‍රථම වටයට පමණක් සීමා කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුණා.එහිදී ප්‍රථම වටයේදී ජයග්‍රහණය ආසන්නයටම පැමිණි මියන්මාරය අවසානයේ ලකුණු 26 - 24 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජයට පත් වුණා.දෙවන සහ තෙවන වට පිළිවෙලින් ලකුණු 25 - 17 ක් සහ 25 - 20 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේ තරගයේ ප්‍රතිපලය තරග වට 3 - 0 ක් ලෙස දක්වමින්.
ඒ අනුව ශ්‍රී ලංකාව 16 වන දා ඇරඹෙන දෙවන වටයේ ශ්‍රේණිගත කිරීමේ තරග වලදී ඉන්දියාව,පිලපීනය සහ  මියන්මාරය සමග එච් කොටසෙන් තරග වදින්නට නියමිතව සිටිනවා.එම කණ්ඩායම් හතර සළකද්දි ලකුණු ලබා ගැනීමේ වේගය මත ඉන්දියාව ඉදිරියෙන් සිටින අතර පිලිපීනය සහ මියන්මාරය දක්වා තිබෙන දක්ෂතා අනුව ශ්‍රී ලංකාවට පිටුපසින් සිටිනවා.
තරගාවලියේ මූලික වටයේ තරග වලදී චීනය,දකුණු කොරියාව,ජපානය සහ කසකස්තානය කිසිදු තරගයකින් පරාජයට පත් නොවී සිය අපරාජිත බව රැකගෙන සිටින අතර ඒ අතරින් චීනය,ජපානය සහ දකුණු කොරියාව සිය ප්‍රතිවාදී කණ්ඩායම් වලට එකදු තරග වටයක් හෝ ජය ලබා ගැනීමට නොදීම කැපී පෙනෙනවා.

ලංකාව පහතටම වැටෙන ලකුණු

මේ දිනවල තායිලන්තයේ පැවත්වෙන ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ දෙවන පරාජය අත් විදින්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඊයේ සිදු වුණා.ඒ දකුණු කොරියාවට එරෙහිවයි.ආසියාවේ තෙවැන්නන් ලෙස සැළකෙන දකුණු කොරියානු වොලිබොල් ක්‍රීඩිකාවන්ට එරෙහිව වට 3 - 0 ක පරාජයක් ලද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිළිවෙලින් වට තුන තුළ 8,6 ක් සහ 7 ක් පමණක් ලබා ගනිමින් අතිශය දුර්වල ක්‍රීඩා රටාවක නියැලුනා.පළමු තරගයේදී චීන තායිපේ කණ්ඩායමට එරෙහිව වට තුනටම ලකුණු 25 ක් පමණක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දකුණු කොරියාවට එරෙහිව ලබා ගත්තේ වට තුනටම ලක්‍රණු 21 ක් පමණයි.ඒ අනුව තරග දෙකේදී ප්‍රතිවාදීන් ලකුණු 150 ක් රැස් කරද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ලකුණු 46 ක් පමණක් වන අතර එම ලකුණු ලබා ගැනීම දැනට තරගාවලියේ දුර්වලම ලකුණු ලබා ගැනීම ද ලෙස දැක්විය හැකියි. චීන තායිපේ සහ දකුණු කොරියාව වෙතින් ලද පරාජයත් සමග අද ශ්‍රී ලංකාව මියන්මාරයට මුහුණ දීමට නියමිතයි.මියන්මාරය ඊයේ චීන තායිපේ සමග තරගයේදී චීනතායිපේ වෙතින් වට 3 - 0 ක පරාජයක් ලැබුව ද වට තුනට පිළිවෙලින් ලකුණු 10,10 සහ 17 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව චීන තායිපේ කණ්ඩායමට එරෙහිව දැක් වු දක්ෂතාවයනට වඩා දක්ෂතාවයක් දැක් වූ නිසා ශ්‍රී ලංකාවට මියන්මාර තරගයේ ජයග්‍රහණය ද පහසු වන්නේ නැහැ.
මේ අතර ඊයේ චීනය ඉන්දියාවට එරෙහිව වට 3 - 0 ක ජයක් ලැබූ අතර ඉරානය පිලීපීන කණ්ඩායමට එරෙහිව ජය ගත්තේ වට 3 - 1 ක් ලෙස යි.මේ අතර කසකස්තානය මොංගෝලියාවට එරෙහිවත්,තායිලන්තය ඕසට්‍රේලියාවට එරෙහිවත් වට 3 - 0 ලෙස සිය තරග ජය ගත් අතර ජපන් ක්‍රීඩිකාවන් ඉන්දුනීසියාවට එරෙහිවද,වියට්නාම ක්‍රීඩිකාවන් හොංකොං දේශයට එරෙහිවද ජයග්‍රහණ ලබා ගත්තේ ද වට 3 - 0 ක් ලෙස යි.
www.supirikrida.com