Sep 1, 2012

එරංග සහ මුණවීර තේරීම් සාධාරණ බව පසක් කරති

මංගල එස්එල්පීඑල් තරගාවලියේ අවසාන තරගයට එල්ල වූ වර්ෂාවේ බාධක මැද පන්දු ඕවර් 5.1 දි එක් කඩුල්ලකට ලකුණු 63 ක් රැස් කළ ඌව කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 19 ක ජයක් අත් කර ගත්තේය.එහිදී ඌව කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 23 දී හයේ පහර පහක් සමග ලකුණු 44 ක් ලැබූ ඩිල්ෂාන් මුණවීර තරගයේ වීරයා වෙමින් ලෝක කුසලාන 20 - 20 ශ්‍රී ලංකා කණ්ඩායමට සිය කැදවීම සාධාරණ තීරණයක් බව පැහැදිළි කළේය.එසේම පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දැක් වූ නැගෙනහිර කණ්ඩායමේ සමින්ද එරංග තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වෙමින් කැපී පෙණින.
අවසාන තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නැගනහිර කණ්ඩායම වැසි තර්ජන මැද පන්දු ඕවර් 15 ට සීමා වූ සිය ඉණිම තුළ ලකුණු 134 ක් ලබද්දි නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 73 ක් රැස් කරේ පන්දු 27 කින් ය.ප්‍රදර්ශණාත්මක ඉණිමක නිරත වූ මැතිව්ස් ‍මුහුණ දුන් පන්දු 27 න් හතරක්ම හයේ සීමාවේ පතිත වූ අතර පන්දු 8 ක් හතරේ පහර හැටියට ලකුණු විය.
පන්දු යැවීමෙන් යලිත් කැපී පෙණුන ජකබ් ඕරම් සිය පන්දු ඕවර් 4 ලකුණු 13 ට සීමා කරමින් කඩුලු 4 ක් ලැබීමට සමත් විය.පිලිතුරු ඉණිම ක්‍රීඩා කළ ඌව වෙනුවෙන් හුදෙකලා ඉණිමක් දියත් කළ ඩිල්ෂාන් යවන ලද පන්දු 31 න් 23 ක්ම සිය පිත්තේ දවටා ගත් අතර සිකුගේ ප්‍රසන්න ද පන්දු පහකින් ලකුණු 15 ක් ලබන්නට සමත් විය.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571376.html
www.supirikrida.com

සිංගප්පූරුව දිනුවා නොව ශ්‍රී ලංකාව පැරදුණා

හුදෙකලා සටන්කාරිය තර්ජණී සහ අවස්ථාවක් නොලද අසුන්වලට හිර කළ ශසිකා,මරීෂා සහ සමන්ති

ටවන ආසියානු දැල් පන්දු තරගාවලිය නිමාවට පත් වූයේ හත්වන ආසියානු සූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු රැජිණන් ලෙස අත් කර ගෙන සිටි කීර්තිය සිය රටේදීම සිංගප්පූරුවට පැවරීමට සිදුවීමේ ඛේදණීය අත්දැකීමත් සමගය.තරගාවලියේ මුල සිටම තරගයෙන් තරගයට සැළසුම් වෙනස් කර තරග වැදීමේ හැකියාවක් පෙන්නුම් කළ කැතී කාපෙන්ටර් ගේ පුහුණුකාරිත්වය සිංගප්පූරුවට අපූරු ශක්තියක් වී තිබුණ ද,ශ්‍රී ලංකා කණ්ඩායම යකා ළග ද,දෙවියා ළග ද එක ලෙස හැසිරෙන එකම රටාවක හිර වී මෙම තරගාවලිය පුරාම ක්‍රීඩා කිරීම කැපී පෙණින.
සම්පූර්ණයෙන් ලොව හොදම දැල විදින්නිය වූ තර්ජණි සිවලිංගම් මත යැපුණු ශ්‍රී ලංකාව ඇය වෙත පන්දුව රැගෙන ඒමට අවශ්‍යය ගමන් මාර්ගය ශක්තිමත් නොකර තරග වැදිම මෙන්ම ප්‍රතිවාදීන්ට සිය දැල වෙත පන්දුව රැගෙන ඒමට නොහැකි ලෙස ආරක්ෂාව තර කර නොතිබීම පිළිබදව මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකාවේ දැඩි අඩු-පාඩුවක්ව පැවතිණ.
හත්වන ආසියානු කුසලානය දිනා දීමෙන් ඉක්බිතිව,ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබද්දි,ඒ සදහා මග හසර සකස් කළ පුහුණුකාරිය තිලකා ජිනදාස ටඑම තනතුර අහිමි කිරීමට පසුබිම සකස් කළ එවකට දැල් පන්දු ලේකම්වරිය වූ දමයන්ති ජයසූරිය තිලකාගේ හැකියාව හැදින් වූයේ තර්ජණී සිටිනවා නම් ආසියාව ජය ගැනීම අපහසු නැත යනුවෙන්ය.නමුත් ඇය විසින් ඉතා ප්‍රසිද්ධියේ වර්ණනා කරමින් මෙරට අති දක්ෂ පුහුණුකාරිණිය බව කී හයසින්ත් විජේසිංහට පුහුණුකාරිණියක් නැතිව හෝ තරග දිනා දිය හැකි ක්‍රීඩිකාවක් සිටින කණ්ඩායමකින් ආසියාව ජය ගැනීමට නොහැකි වි තිබීම විශාල ඛේදවාචකයකි.
එම කාර්යය සදහා පසුබිම සකස් කරමින් තිලකාව ඉවත් කිරීමේ අවශ්‍යයතාවය මත පුහුණුකාරිය තේරීම සදහා වන සම්මුඛ පරීක්ෂණයේ සුදුසුකම් කවරේද යන පරිපාටිය සැකසූ අය තිලකා ව ඉවතට තල්ලු කරද්දී ඒ සදහා තරගකාරියක ලෙස ඉදිරිපත් ව එම සම්මුඛ පරික්ෂණය  ඉහළින්ම අගය කළ දීප්ති අල්විස් ට ඒ වෙනුවෙන් සහය පුහුණුකාර ධූරය දිනා ගැනීමට හැකි වූ අතර ඊට අමතරව ඇයගේ දුව ආසියානු අවසාන තරගයක කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨම ක්‍රීඩිකාවක වන ශසිකා සමරසිංහ වෙනුවට කාර්තු තුනක් ක්‍රීඩා පිටියේ රැදවීමට ද භාග්‍යය ලැබිණ.
ක්‍රීඩා අමාත්‍යවරයා විශාල ලෙස මෙම කණ්ඩායමට ආශිර්වාදයක් වූ අතර ජාතික දැල් පන්දු කණ්ඩායමක් ලද විශාලතම අනුග්‍රහය මෙම කණ්ඩායමට හිමි වූ අතර විශාල ධනයක් වැය කරමින් ශ්‍රී ලංකාවේ පැවත්වෙන මෙම තරගාවලියේදී ආසියානු සූරතාවය ශ්‍රී ලංකාවේ රදවා ගැනීමට අවශ්‍යය පසුබිම සැකසීමට ක්‍රීඩා අමාත්‍යංශය විශාල මුදලක් වැය කළේය.අප වෙබ් අඩවිය සිංගප්පූරු සය ජාතින් අතර තරගාවලියේ ශ්‍රී ලංකාව ලද දැවැන්ත පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ වන විට ඉවත්ව සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ගෙන ඒමට අවශ්‍යය පසුබිම ක්‍රීඩා අමාත්‍යවරයා සමග සාකච්ඡා කරමින් සකස් කළ අතර ඒ අනුව පැමිනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අතරින් කිහිප දෙනෙකුටම තිලකා ජිනදාසට සමීප ක්‍රීඩිකාවන් වීම හේතු කොට ගෙන පල නොකියා පලා බෙදන්නටත්,ඇතැමෙකු වෙනත් හේතු පෙන්නා ඉවත් කිරීමටත් කටයුතු කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින සුපිරිතම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවක් ලෙස අවිවාදිත අකිලා ජයවර්ධන කණ්ඩායමට වැද්ද නොගෙන එළියට දැමුණු අතර ප්‍රෙසිලා කොක් ගේ ආබාධිත තත්ත්වයක් හේතු කර ගනිමින් වෙනත් ආබාධිත තත්ත්ව වල සිටි ක්‍රීඩිකාවන්ට නොදමන නීතිමය තත්ත්වයන් වලට ඇය යටත් කිරිමට ගන්නා උත්සාහයන් නිසා ඇය කණ්ඩායමෙන් ඉල්ලා අස්විය.
එහෙත් මෙම තරගාවලියේ මුල සිටම ශ්‍රි ලංකා කණ්ඩායමේ  ශක්තිය ව කැපි පෙණුනු ශසිකා සමරසිංහ,මරීෂා ප්‍රනාන්දු,ගයත්‍රි ලංකාතිලක සහ තර්ජණි සිවලිංගම් යන සිව් කට්ටුවෙන් මරීසා සහ ශසිකා කණ්ඩායමට පසුව එක් වූ ජ්‍යෙෂ්ඨයො අවසාන තරගයේදි ක්‍රීඩා පිටියෙන් ඈත් කර තබා වෙනත් ක්‍රීඩිකාවන් මගින් ජයග්‍රහණය ලබා ගෙන උදම් ඇනීමේ උවමනාවක් පුහුණුකාරිනියට තිබුණු බව අවසාන තරගයට මුහුණ දුන් ආකාරයෙන් පැහැදිළි විය.
ශසිකා ප්‍රථම කාර්තුවෙන් එළියට ගැනීමට කුමන හේතුවක් බල පෑවේද යන්න පැහැදිළි නැත.එසේම දිගින් දිගටම සෙන්ටර් යන ස්ථානයේ දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්වන ලද දීපිකා අබේකෝන් වෙනුවට මෙම තරගාවලියේ සිටි වේගවත්ම ක්‍රීඩිකාවක් බව සනාත කළ සමන්ති නිලූෂිකා යෙදවීමට ශ්‍රී ලංකා පුහුණුකාරිය කටයුතු නොකළේ තේරීම් කමිටුව විසින් ඇය තේරිමට එරෙහිව පුහුනුකාරිය විසින් විශාල අරගලයක් කළ නිසාවෙන් ඇයගේ දක්ෂාතවය ප්‍රදර්ශනය වීමෙන් පුහුණුකාරයගේ තේරීම් වලට හානියක් වේය යන බියෙන් විය යුතුය.එසේම වරදකින් තොරව ශසිකා එළියට කැදවන පුහුණුකාරිණිය ගයනි දිසානායක නො'දකින්නේය.ඔවුන් තරගය තුළ කරන අඩු-පාඩු දැක දැක නොදුටු නියා සිටින පුහුණුකාරිය අවසන් පූර්ව තරගයේදී සිදු වූ සුළු අතපසුවීම් ගණනාවක් පදනම් කර‍‍ ගෙන මරීෂා ප්‍රනාන්දු බංකුවට අලවා තබන්නේ අති දක්ෂ ක්‍රීඩිකාවක් වෙතින තරගයක දි සිදුවන සුළු වැරදිම් ඊ ළග තරගය ‍වන විට නිවැරදි තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි දුර්වල පුහුණුකාරියක්ය යන හැගීම ජනිත කරවමින්ය.
අත්දැකීම් ඇති ශසිකා ගොල් ඩිෆෙන්ස් යන ස්ථානයට කැදවා තිසාලා අල්ගම ඒ වෙනුවට ගෝල් ඇටෑක් යන ස්ථානයට කැදවීමට හැකි වූයේ නම් ප්‍රතිපලය මීට වඩා වෙනස් කරන්නට තිබිණ.එසේ නොවීම නිසා තර්ජනි වෙත පැටවුණු පිඩනය වැඩි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වෙනත්  කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු ලබා ගැනීමට උත්සාහයක්වත් ගෙන නොමැත.තර්ජණී උත්සාහයන් 50 ක් ගෙන ඇති අතර ඉන් 47 ක් ම සාර්ථක කර ගැනීමට සමත් වී ඇත.
සිංගප්පූරුව ට තර්ජණී වැනි ආශිර්වාදයක් නෙමැත.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක පෙළේ දුර්වලතාවය හේතුවෙන් සිංගප්පූරු ක්‍රීඩිකාවෝ 63 වතාවක් ශ්‍රී ලංකා දැල ආක්‍රමණය කර තිබෙන අතර ඉන් අවස්ථා 48 ක් සාර්ථක කර ගෙන කුසලානයට අවශ්‍යය පදනම සකසා ගන්නට යෙදිණ. මෙම තරගයට අවශ්‍යය ජයග්‍රාහී සැළසුමක් සිංගප්පූරුවට තිබිණ.නමුත් ඊට එරෙහිව යෙදිය හැකි තිරිංග ඉවත් කර එම ජය ගමණ වැළක්වීම වෙනුවට පුහුණුකාරිනියට අවශ්‍යය වූයේ තමන්ට වඩා හිතවත් ක්‍රීඩිකාවන් පිරිසක් යොදවා එම ජයග්‍රහණය හරහා තමන් දක්ෂ පුහුණුකාරිණියක් බව ප්‍රකාශ කරමින් ශබ්දයක් දමන්නට ය.
කලක් අති දක්ෂ පුහුණුකාරිණියකව සිටි හයසින්ත් දැල්පන්දු පරිපාලනය සමග ඇති කරගත් නොයෙකුත් ගැටළු හේතුවෙන් රට හැර ගියේය.ආසියානු සූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ඇය සිංගප්පූරුව ජාතික පුහුණුකාරිණිය ලෙස පිළිගන්නට තරම් ආසියාව තුළ පිළිගැනිමක් හදා ගත් හයසින්ත් අනතුරුව සිංගප්පූරුවේ කටයුතු කළේ ප්‍රාදේශීය ඇකඩමියක පුහුණුකාරිණියක ලෙසය.එම ඇකඩමිය ජයගත් විවිධ ජයග්‍රහණ පිළිබදව පළ වූ පුවත්පත් දැන්වීම් පවා ඇය විසින්ම සිය මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කර තිබිණ.එසේ කාලයක් ජාතික මට්ටමේ කණ්ඩායමක් පුහුණු නොකළ පුහුණුකාරිණියක ලෙස ඇය ජාතික කණ්ඩායමක පුහුණුකාරිණියක ලෙස කැදවිම කාල් ලුවිස් මේ මොහොතේ කැදවා මිටර් 100 දිව වීමට උත්සාහ කිරීමක් බදු ක්‍රියාවකි.භාවිතාවෙන් ඇත්ව සිටි එවැන්නියකට ජාතික කණ්ඩායමක් භාර දීමට ඇය තේරු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මෙන්ම ඊට අවශ්‍යය පසුබිම සැකසූ අයද වගකිව යුතුය.
කෙසේ හෝ හයසින්ත් ගේ පැමිණිම ගැන ඒ මොහොතේ ‍මහත් උද්දාමයෙන් කතා කළ යසා රාමචන්ද්‍රයන්ට ද ඒ නිසා ඉතිහාසයේ සිය නම ඉදිරියේ ආසියානු කුසලානයක් දිනා දෙමින් ලෝක කුසලාන තරගාවලියකදී ද ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකළ එකම පුහුණුකාරිනිය යන කීර්තිය තව දුරටත් ඉතිරි කර ගනිමින් ඊට සමාන වන්නට තිලකා ජිනදාසට තිබුණු අවස්ථාව අහිමි විමෙන් හැකි විය.
මේ සියල්ල අනුව ඇතැමෙක්ට මෙම තරගාවලිය හරහා රට පරාජය වුවත් සිය පෞද්ගලික අභිප්‍රායන් ගණනාවක් සාර්ථක කර ගන්නට ලැබුණු බව පැහැදිළිය.මෙය සැබවින්ම සිංගප්පූරුව ජය ගැනිමක් ලෙස හදුන්වන්නට සුදුසු නැත.මන්ද ශ්‍රී ලංකාව සතුව තරගය ජය ගත හැකි කණ්ඩායම සිටියේය.2001 දී උපක්‍රම ශීලීව ශ්‍රී ලංකාවට වඩා ප්‍රබලව සිටි සිංගප්පූරුව පරාජය කරන්නට අවසාන විනාඩි කිහිපයේදී ධම්මිකා මල්කාන්ති වික්‍රමසිංහ කැද වූ හයසින්ත්ම මේ තරගාවලියේදි එම හැකියාව සහ අවශ්‍යයතාවය තේරුම් ගැනීමේ ඉහළ පුහුණුකාර මට්ටමක සිය මානසික මට්ටම නැති බව ප්‍රදර්ශණය කරමින් එදා ධම්මිකා කැද වූ අයුරින් අවසාන මොහොතේ හෝ ශසිකා සහ මරීෂා කැදව රට වෙනුවෙන් ජයග්‍රහණය ලබා දිම වෙනුවට ලකුණු 29 ක පරතරයක් තබා ශ්‍රී ලංකාව ජයගත් හත්වන ආසියානු කුසලානය එක ලකුණක පරතරයකින් සිංගප්පූරුවට රැගෙන යන්නට අවශ්‍යය පසුබිම සකසා දුන්නේය.
මෙහිදි සිංගප්පූරු පුහුණුකාරිනිය ශ්‍රී ලංකාව 127 - 3 ක් ලෙස පකිස්තානය පරදවා වාර්තාවක් තැබු අවස්ථාවේ ඊ ළගට පැවති නේපාල තරගයේදී තමන්ද එම වාර්තාවට උත්සාහ කරන්නේදැයි විම සූ විට පැවසුවේ තමන්ට වාර්තා අවශ්‍යය නැති බවය.ඒ වෙනුවට තමන් බලාපොරොත්තු වන්නේ ජයග්‍රහණය පමණක් බවය.ශ්‍රී ලංකා පුහුණුකාරිණිය කතා කළේ ඒ වෙනුවට වාර්තා ගැනය.අය මැලේසියාවට ලකුණු 80 ක් ලබන බව කීවේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව වන සම නායිකා ගයත්‍රි ලංකාතිලක මැලේසියාව අමාරුකාර කණ්ඩායමක් ලෙස ප්‍රකාශ කර තිබියදීය.නමුත් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසාන තරගයක දී ලබා තිබූ විශාලතම ජය ලකුණු 29 කින් හත්වන ආසියානු කුසලානය දිනා ගනිමින් ලබා ගෙන තිබිණ.අවසානයේ එම වාර්තාව පමණක් ඉතිරි කර කුසලානය අපට අහිමිවිය.
තරගාවලියේ ශ්‍රේණිගත කිරීමේ තරගවල දී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙන්නට යළිත් තිලකා ජිනදාසට හැකි විය.ප්‍රථම වතාවට ආසියානු කුසලාන තරගාවලිය නියෝජනය කළ බානායි කණ්ඩායම තරගාවලියේ සිටි ශාරිරික යෝග්‍යතාවයෙන් ඉහළම කණ්ඩායමක් බවට සනාත කළ අතර ඔවුන් ඉන්දියාව සමග වූ තරගයේදී විශිෂ්ඨ තර්ජනයක් එල්ල කරමින් ඉන්දියාවට එරෙහිව තෙවන සහ සිව්වන කාර්තු ජය ගනිමින් වේගවත් ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් තරගාවලියේ හයවන තැනට පත්විය.මාල දිවයින සහ ජපානය අතර තරගයෙන් ජපානය පළමු වතාවට පැමිණි කණ්ඩායමක් ලෙස විශිෂ්ඨ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ද අවසාන ප්‍රතිපලයේදි මාල දියින ජයගත් අතර ඒ අනුව පස්වන ස්ථානයේ සිට පිලිවෙළින් ඉන්දියාව,බෘනායි,මාල දිවයින සහ ජපානය අටවන ස්ථානය දක්වා පෙළ ගැසිණ.නවවන ස්ථානය හිමි වූයේ නේපාලයට වන අතර අවසාන ස්ථානය පකිස්තානයට හිමි විය.
ඊයේ මැලේසියාවට වැදගත් දිනයක් වූ අතර ඔවුන්ගේ ජාතික දිනය යෙදි තිබුණු ඊයේ දිනයේ දී ආසියානු කුසලානයේ තෙවන ස්ථානය දිනා දෙමින් එය සමරන්නට මැලේසියානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.සිව්වන ස්ථානය හිමි වූයේ හොංකොං කණ්ඩායමට ය.
කෙසේ හෝ මහජන බැංකුවේ පූර්ණ ආහිර්වාදය මත විවිධ ප්‍රායෝගික අඩු-පාඩු කමු රැසක් මැද ආසියානු කුසලාන තරගාවලියේ සංවිධානත්වය වෙනුවෙන් දැල්පන්දු අතුරු කමිටු ප්‍රධානි තමරා ධර්මකීර්ති හේරත් යහපත් නායකත්වයක් ලබා දුන්නේය.ඒ සදහා ක්‍රීඩා අමාත්‍යවරයා ආසියානු කුසලානයක් වෙනුවෙන් තරග වදින දැල් පන්දු කණ්ඩායමක් වෙනුවෙන් දරන ලද විශාලතම වියදම දරමින් මෙම තරගාවලිය වෙනුවෙන් ආශිර්වාදය ලබා දුන්නේය.නමුත් අශ්වයාගේ පෝෂණය වෙනුවෙන් කෙතරම් විය පැහැදම් කළ ද හොද අසරුවෙකු නැතිනම් අශ්වයාට දිනන්නට බැරි බව මෙම තරගාවලිය හරහා සනාත විය.
ඇතැම් විට අශ්වයා අතහැර ඉදිරි දින කිහිපයේ දී එංගලන්තය බලා පියාසර කරන අසරුවා එහි සිට සිය හේෂාරාවය නගද්දී  අසරුවා වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙකුගේ මඩ තැවරෙනු ඇත.ඒ අසරුවාගේ හැටිය.
අප දැන් බලා සිටින්නේ අසරුවා තෝරා ගැනීමට අවශ්‍යය පසුබිම සකස් කරමින් මෙරට දැල් පන්දු ක්‍රීඩාවට විශාලතම හානිය කළ ක්‍රීඩා අමාත්‍යංශයේ සිට දැල් පන්දු පරිපාලනය දක්වා වන නිලධාරි රොත්තට තව දින කිහිපයකින් වීර භූමිකාවන් හී  නියැලෙන්නට ඉඩ සැළසෙන සමාජ වටපිටාව දෙසය.මන්ද ඒ ලංකාවේ හැටිය.එහි අවසාන ප්‍රතිපලය ලෙස ඊ ළග සූරතාවලියේදී අප දෙවන ස්ථානයෙනුත් පහතට වැටිය හැකි බව පමණක් අවවාදාත්මක ස්වරයෙන් අප සටහන් කර තබන්නෙමු.
www.supirikrida.com

අමරා ට හොද සැමරුමක්

Yunidis Castillo of Cuba competes in the women's 200m - T46සිය පළමු පැරා ඔලිම්පික් අත්දැකීම වාර්තාවකින් නිමා කරන්නට ටී 46 ඉසව්වේ මීටර් 200 නියෝජනය කළ අමරා ඉන්දුමතී සමත් වූවාය.ඇය තත්පර 29.36 ට සිය ඉසව්ව නිමා කරමින් සිය හොදම දක්ෂතාවය වූ තත්පර 29.56 කාලය .20 කින් පෙරට ගෙන ඒමට සමත් වූවාය.
එම තරග අංශයේ ප්‍රථම  මූලික තරගයට ඉදිරිපත් වූ අමරාට එහි පස්වන තැන හිමි වූ අතර එහි ජයග්‍රාහිකාව වූයේ රුසියාවේ නිකෝල් රොඩොමැකිනාය.දෙවන ස්ථානය චීනයේ යැන්පින්ග් වෑන්ග් දිනා ගත් අතර තෙවැන්නිය වූයේ පෝලන්තයේ කැතර්සිනා පිකාර්ට් ය.
ඡායාරූපයේ 1346 යටතේ ධාවනයේ යෙදෙන ක්‍රීඩිකාව අමරා වන අතර 1308 යටතේ තරග වදින්නේ එම තරගයේ තෙවැන්නිය වූ පෝලන්තයේ කැතර්සිනා පිකාර්ට් ය.1149 යටතේ තරග වදින්නේ තරගයේ සිව්වන ස්ථානය දිනූ එංගලන්තයේ සැලී බ්‍රවුන් ය.
www.supirikrida.com

Aug 31, 2012

තර්ජණීගේ තර්ජනයට මැලේසියාව යට කළ ලංකාව අවසාන තරගයට

ටවන ආසියානු දැල් පන්දු  කුසලානය සියතේ රදවා ගැනීමේ අපේක්ෂාවෙන් තරග වදින හත්වන ආසියානු දැල් පන්දු සූරියන් වන ශ්‍රී ලංකාව මැලේසියාව සමග පැවති අවසන් පූර්ව තරගයේදී තර්ජනී සිවලිංගම් ගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් අවසාන තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත්විය.අප එම තරගය පිළිබදව ඊයේ වාර්තා කරන ලද ආකාරයටම දැඩි බලපෑමක් මැලේසියානු ආරක්ෂක වළල්ලෙන් එල්ල වූ අතර මැලේසියාව ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ල අභිබවා දැල වෙත 76 වතාවක් පන්දුව රැගෙන එද්දී ශ්‍රී ලංකාවට මැලේසියානු දැල වෙත පන්දුව රැගෙන යාමට අවස්ථාව ලැබුණේ 68 වතාවක් පමණි.
මෙහිදී ලොව අංක එකේ දැල විදින්නිය වන තර්ජණී  සිවලිංගම් ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් වූ අතර ඇය අතට පන්දුව පත් 66 වතාවෙන් 65 වතාවක්ම පන්දුව නිසි ඉලක්කයට දැලට යොමු කළාය.ශසිකා සමරසිංහ සිය උත්සාහයන් දෙකම ලකුණු බවට පත් කර ගත් අතර මැලේසියාව පන්දුව 76 වතාවක් දැලට යොමු කළ ද එයින් සාර්ථක ප්‍රතිපල ලැබුණේ 58 වතාවකදී පමණක් බැවින් ශ්‍රී ලංකාව ලකුණු 67 - 58 ක් ලෙස සිංගප්පූරුවට එරෙහිව අද පවතින අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තාය.
තරගයට පෙරදින මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කරමින් ගයත්‍රි ලංකාතිලක කියා සිටියේ සිංගප්පූරුවට වඩා මැලේසියාව පරාජය කිරීම දුෂ්කර කාර්යයක් බවය.ඇය සිය පරිනත දැණුමෙන් ප්‍රකාශ කළ ආකාරයටම මැලේසියාව පරාජය කිරිම දුෂ්කර කාර්යයක් වූ අතර විශේෂයෙන්ම ඔවුන්ගේ ආරක්ෂක පෙළ ශක්තිය ශ්‍රී ලංකාවේ ආරක්ෂක පෙළ ශක්තිය අභිබවා නැගී සිටි බව පිළිගත යුතුය.තවද බලාපොරොත්තු නැති තැති ගැන්මකට ලක් වූ බවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් විහාල අත්වැරදීම් ගණනාවක් සිදු වුව ද තර්ජණි ගේ ඉලක්කය සියයට 98 ක්ම නිවැරදි වීමේ වාසිය හේතුවෙන් අවසාන ප්‍රතිපලය ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.
අද තරගය පැවත්වෙන්නේ සිංගප්පූරුව සමගය.ඒ ශ්‍රී ලංකාව පරාජය කිරිම වෙනුවෙන්ම සැළසුම් අදිමින් තර්ජණීට අභියෝගයක් කිරිමට 'ලී' වැනි ක්‍රීඩිකාවක් ගෝල් කීපර් සදහා යොදවා ගැනීම සිය තරග සැළසුමට ඇතුළත් කළ රටක්ය.නමුත් මේ දක්වා තරග කළ ආකාර‍ය දකින විට තර්ජණි ආවරණය කිරීම හැරෙන්නට වෙනත් උපක්‍රම මගින් ශ්‍රී ලංකාව අභිබවා යා හැකි තත්ත්වයකට සිංගප්පූරුවේ ක්‍රීඩා රටාව තර්ජණාත්මක එකක් විය හැකි බව පෙනෙන්නට නැත.ඒ නමුත් මේ දක්වා ක්‍රියාත්මක නොකළ දේ කුමක්ද යන්න පිළිබදව සිතා ගැනීම දුෂ්කරය.ඒ නිසා ශ්‍රී ලංකාවට ද මේ දක්වා ක්‍රියාත්මක නොකළ තරග රටාවක් ගැන මේ තරගයේදී සිතන්නට හැකිනම් හොදය.විශේෂයෙන් අවසාන පූර්ව තරගයේදී දිගින් දිගටම යොදා ගත් ක්‍රීඩිකාවන් අසාර්ථක විම තුළ තව දුරටත් රදවා තබා ගනු අපි දුටුවෙමු.මේ තත්ත්වය අවසාන තරගයේදි හෝ වෙනස් වන්නේ නම් එය රටට යහපතකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ කාර්යශීලී ක්‍රීඩිකාව ලෙස මාධ්‍යවේදීන් ගේ අවධානය දිනා ගෙන සිටින සමන්ති නිලූෂිකා වැනි ක්‍රීඩිකාවක් මේ තරගය පුරා උපයෝගී කර නොගැනීම පිළිබදව විමතිය පළ විය.එහෙත් තරගයට අවශ්‍යය දේ කුමක්ද යන්න තීරණය කිරීමේ දැණුම ක්‍රීඩාලෝලියා ඉක්මවා පුහුණුකාරිණියට තිබිය යුතු අතර එහෙත් සියලු කාරණා ඉවසිල්ලෙන් විමසා බලා එයින් යමක් ඇත්නම් ගෙන යොදා ගැනීමෙන් රටට මෙන්ම ඒ සදහා දායක වූ සියල්ලටම ගෞරවයක් හිමිවන බව ද සිහිතබා ගැනීම වැදගත්ය.
සිංගප්පූරුව සහ හොංකොං අතර පැවති අවසාන පූර්ව තරගය ශ්‍රී ලංකා - මැලේසියා තරගය තරම් උණුසුම් නොවූ අතර පළමු කාර්තු දෙක යම් තර්ජනයක් එල්ල කිරීමට හොංකොං සමත් වුව ද අවසානයේදී ලකුණු 53 - 27 ක් ලෙස පහසුවෙන් ජය ලබා ගැනීමට සමත්විය.
ජපානය සහ බෘනායි යන කණ්ඩායම් දෙක මේ තරගාවලිය පුරා කැපී පෙණෙන කණ්ඩායම් දෙකකි.ඔවුන් සිය මංගල සහභාගිත්වය තුළ ප්‍රබලයන්ට සැළකිය යුතු මට්ටමේ තරගයක් ලබා දෙන්නට සමත් වී සිටින අතර ඔවුන් දෙපළ අතරින් ඊයේ තරගාවලියේ පස්වන සහ හයවන ස්ථාන සදහා තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තේ බෘනායි කණ්ඩායමය.ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න තීරණය කිරීමේ තරගය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් අතර එහිදී මාල දිවයින පරාජය කරමින් ඉන්දියාව ජය ගත්තේ ලකුණු 41 - 40 ලෙස ය.
කෝඩුකාර නේපාලය ද තරගාවලියේ අවසාන ස්ථානයට පෙර කණ්ඩායම බවට පත්වෙමින් ආසියානු තරගාවලියේ තමන්ට වඩා අත්දැකීම් ඇති පකිස්තානය පරදවා නව වන ස්ථානයට පත් විය.ඒ  අනුව මෙවර තරගාවලියට සහභාගි වීමට පැමිණි කෝඩුකාර කණ්ඩායම් අතරින් වඩා විශිෂ්ඨයන් බව සනාත කළ බෘනායි කණ්ඩායම තිලකා ජිනදාස ගේ පුහුණු උපදේශකත්වය යටතේ මේ වන විටත් මෙම තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම් හතරට පසුව එන ස්ථානයේ සිට ගැනීම සදහා අද තරග වැදීමට සුදුසුකම් ලබා සිටියි.ජපානය මාල දිවයින්ට එරෙහිව හත්වන තැන හෝ අටවන තැව දිනා ගැනීමට සටන් වදින අතර නේපාලය මේ වන විටත් කණ්ඩායම් 10 අතරේ නව වන තැන සිටියි.ඒ නිසා මෙම තරගාවලියට පැමිණි සියළුම කෝඩුකාරයින් අනාගතයේ මීට වඩා දීප්තිමත් ක්‍රීඩා රටාවක උරුමක්කාරියන් වනු ඇති බව මෙන්ම ඒ හරහා ආසියාවේ දැල් පන්දුවේ තරගකාරීත්වය ඉහළට එසැවෙනු ඇතැයි සිතන්නට හැකි වීම ආසියානු දැල් පන්දුව ලද ජයකි.
www.supirikrida.com

Aug 30, 2012

මැලේසියාවේ ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ආක්‍රමණය අතර තරගය

ද අටවන ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසාන වටයේ තරග ආරම්භ වන අතර තරග ආරම්භ කරමින් පළමු අවසාන පූර්ව තරගය ලෙස පැවත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගයයි.තරගාවලියේ මේ දක්වා පැවති තරග වලදී වාර්තාගත ලකුණු ලබා ගැනීමක නියැලි අපරාජිත ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුවට පමණක් සුළු පරාජයක් ලැබූ මැලේසියාව මෙම තරගාවලියේ ශක්තිමත්ම ආරක්ෂක පෙළක් සහිත කණ්ඩායමක් ලෙස කැපී පෙනෙයි. මෙම තරගය එක් කණ්ඩායමක ආක්‍රමණික හැකියාව සහ තවත් කණ්ඩායමක ආරක්ෂාව අතර ද්වන්ධ සටනක් ලෙස ක්‍රීඩා ලෝලීන්ට අපූරු රස වින්දනයක් ලබා දෙන තරගයක් වනු ඇතැයි විශ්වාස කළ හැකිය.
විශේෂයෙන් අද තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යොදා ගන්නා ක්‍රීඩා සංචිතය පිලිබදව වැඩි අවධානයක් යොමු කරන්නට පුහුණුකාරිනිය සැළකිලිමත් විය යුතු අතර තරගය පුරාවට වේගවත් තරග රිද්මයක් පවත්වා ගැනීමට හැකි අයුරෙන් සිය ක්‍රීඩිකාවන් මෙහෙයවීම සහ යොදා ගැනීමට ඇයට විශේස සැළසුමක් සහිතව ක්‍රියාත්මක වීමට සිදුවීම නොවැළක්විය හැකිය.
ඊයේ පැවති (29) තරගවලදී මලේසියාව,හොංකොං,මාල දිවයින සහ නේපාලය ජය වාර්තා කළ අතර එම සෑම තරගයක්ම ඒක පාර්ශවික ජයග්‍රහණ බවට පත් වු දුබලයන්  සහ ප්‍රබලයන් අතර ගැටුම් විය.නමුත් විශේෂයෙන් බෘනායි සහ මැලේසියාව අතර තරගය ඉතා වේගවත් මුහුනුවරක් ගත් අතර තිලකා ජිනදාස නම් පුහුණුකාරිය ගේ  අනන්‍යතාවය මොනවට පැහැදිළි කරමින් සම්පූර්ණ තරග කාලය මැලේසියා වේගයට සමානව ක්‍රියාත්මක වීමට බෘනායි කණ්ඩායම දැක් වූ ප්‍රශස්ත හැකියාව කදිමට කැපී පෙණින.
එම ප්‍රතිපලය අනුව බෘනායි කණ්ඩායම මේ වන විටත් තමන් තරග වදින බී කාන්ඩයේ තෙවැනි ස්තානය දිනා ගෙන ඇති අතර ඔවුන් අද ශ්‍රේණිගත කිරීමේ තරග යටතේ ජපානය සමග තරග වැදිමට නියමිතය.අද තරගය මෙන්ම අද ජයග්‍රහණය ලබා හෙට ලැබෙන තරගයද ජය ගතහොත් කෝඩුකාර බෘනායි කණ්ඩායමට සමස්ත තරගාවලියේ පසුවන තැනට පිවිසෙන්නට අවස්ථාව හිමි වන අතර එයද යම් මට්ටමක ශ්‍රී ලංකා ජයග්‍රහණයක් විය හැක්කේ එහි පුහුණුකාරිනිය තිලකා ජිනදාස ඉකුත් ආසියාතික සූරතාවලිය දිනා දිමට ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කළ ලංකාවෙ පුහුණුකාරිණියක වන බැවිනි.
www.supirikrida.com

වැස්සේ ආශිර්වාදය නැගෙනහිරට

ස්එල්පීඑල් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ තරගයක් ලෙස නිමාවට පත් වූ අතර තරගාවලියේ ඒ දක්වා දක්වා තිබූ දස්කම් සැළකිල්ලට ගනිමින් අවසන් පූර්ව තරගය සදහා නැගනහිර කණ්ඩායමට අවස්ථාව හිමි විය.කදුරට සහ නැගනහිර කණ්ඩායම් අතර පැවත්වීමට තිබූ මෙම තරගයේදී තියුණු තරගයක් ඇති විය හැකි තත්ත්වයක් දකින්නට තිබුණ ද ක්‍රීඩා ලෝලීන්ට එම අවස්ථාව අහිමි කරමින් වර්ෂාව විසින් බාධා ඇති කිරීමේ ප්‍රතිපලය නැගෙනහිර කණ්ඩායමට අවසාන තරගයට අවස්ථාව උදා කළේය.
Nagenahira celebrate an early wicketනමුත් තරගාවලියේ පෙරමුණේම සිටිය කණ්ඩායම වූ වයඹ පළමු අවසන් පූර්ව තරගයේදි පරාජය වූ ආකාරය සිතන විට සහ කදුරට කණ්ඩායම අවසානයට පැවති තරග වල දී ජයග්‍රහණ අතර සිටීම සළකා බලන විට ඔවුන්ට ද නැගෙනහිර පෙරළා අවසන් තරගයට පිවිසීමට අවස්ථාවක් තිබුණු බව සිතිය හැකි නමුත් තරගාවලියේ ආරම්භයේ සිටම දක්ෂතා අතර සිටි නැගෙනහිර කණ්ඩායම පෙරමුණට පැමිණීම වැළක්වීමට නොහැකි කරුණක් විය.
www/supirikrida.com

දකුණු අප්‍රිකාවට ත්‍රිත්ව සූරතා -ස්ට්‍රෝස් ගෙදර යයි

වතම ජගත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම ටෙස්ට්,එක්දින සහ 20 - 20 යන තරග අංශ තුනෙන්ම ලොව ප්‍රථම ස්ථානය හිමි කණ්ඩායම බවට පත්ව ඇත.එසේ අංශ තුනෙන්ම දකුණු අප්‍රිකාවට පෙරමුණට එන්නට මග පාදමින් එංගලන්තය ලකුණු 80 කින් එක්දින තරගය පරාජය වීමත් බිදවැටී තිබූ එංගලන්ත කණ්ඩායම පෙරට ගැනීමට නායකත්වය දුන් ඇන්ඩෘ ස්ට්‍රෝස් නායකත්වයෙන් පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද සමු ගන්නා බව ප්‍රකාශ කරන්නට යෙදිණ.
මේ වන විටත් එංගලන්තය යම් ස්ථාවරයකට කැදවා ඒමෙන් ඉනික්බිතිව ඇලිස්ටෙයාර් කුක් යටතට එක්දින කණ්ඩායම පවරා තිබුණු එංගලන්තය නව නායකත්වයක් පිලිබදව පෙර සිටම යම් කටු සටහනක් ඇද සිටි බවක් පෙනෙන්නට තිබුණ ද ස්ට්‍රෝස් බොහෝ කලකට පසුව එංගලන්ත කණ්ඩායම ලොව ප්‍රබලතම කණ්ඩායම බවට පත් කිරීමට මග පෙන් වූ නායකයා මෙන්ම ඒ සදහා සිය පිත්තෙන් විශාල දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකු ලෙස ද ගැනෙන බැවින් ඔහු ගේ සමුගැන්මෙන් ඇති වන හිදැස පිරවීමට අපහසු එකක් ලෙස එංගලන්තයට දැනෙනු ඇත.
එසේම දකුණු අප්‍රිකාව ජගත් ශ්‍රේණිගත කිරීම් වල කණ්ඩායමක් මේ ආකාරයට අංශ තුනෙන්ම ප්‍රථම ස්ථානයට පත් පළමු අවස්ථාව දිනා ගැනීමට සමත් වීමද ඓතිහාසික සිදුවීමක් වේ.ඉතාමත් ලාබාල වියේදී නායකත්වයට පත් ග්‍රෙහැම් ස්මිත් නායකයෙකු වශයෙන් පරිනත වෙමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ ක්‍රීඩකයින් අතර මනා සබදතාවයක් පවත්වා ගනිමින් සහ ඒ සියල්ලන් එකට කැටි කොට වැඩ ගත හැකි නායකයෙකු බව ඔප්පු කරමින් සිටීමද කැපී පෙනෙයි.
එළැඹෙමින් තිබෙන 20 - 20 ලෝක කුසලානය අභියස දකුණු අප්‍රිකාව මේ ආකාරයට ඕනෑම තරග අංශයක ලොව ප්‍රථමයා වීම, තරගාවලියට දැඩි විශ්වාසයකින් පැමිණීම සදහා ආශිර්වාදාත්මක පළසක් එලීමක් බදු වන අතර එය සෙසු කණ්ඩායම් වලට ද දැඩි මානසික අභියෝගයක් ඇති කරන්නක් වනු නිසැකය.
www.supirikrida.com

Aug 29, 2012

ආසියානු දැල් පන්දු වසන්තයේ දෙවන අදියර මීගමුවේදී


සියානු දැල් පන්දු වසන්තයේ දෙවන අදියර මීගමුවේදී අරඹමින් ආසියානු වෙරළ දැල් පන්දු තරගාවලිය සැප්තැම්බර් 1 දා මීගමුවේ කැටමාරන් වෙරළ තීරයේදී පෙ.ව. 8.00 සිට ප.ව.4.30 දක්වා පැවත්වීමට කටයුතු යොදා ඇත.ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය මහජන බැංකුවේ ප්‍රදාන අනුග්‍රාහකත්වය යටතේ පවත්වනු ලබන මෙම තරගාවලිය කාන්තා සහ පිරිමි ලෙස කොටස් දෙකකින් පැවත්වෙන අතර කාන්තා අංශයට රටවල් හතරක් සහ පිරිමි අංශයට රටවල් හතරක් සහභාගි වීමට නියමිතය.ඒ අනුව ඉන්දියාව,පකිස්තානය,මාල දිවයින සහ ශ්‍රී ලංකාව කාන්තා අංශයෙන් මෙන්ම පිරිමි අංශයෙන් ද මෙම තරගාවලියට සහබාගි වීමට නියමිතය.
යමුනා සදමාලි ගේ පුහුණුකාරීත්වය යටතේ වෙරළට බසින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට චාපා ගලප්පත්ති නායකත්වය ලබා දෙන අතර උප නායිකාව ලෙස නටයුතු කරන්නේ නිමාලි කුෂාන්ති ය.චතුරංගනී මල්කාන්ති,තිළිණි වත්තේගෙදර,සොනාලි නදීශා,විනුරි රණසිංහ,රධීකා ගයානි,කාංචනා ජයවීර,පීඩී උදානි සහ මධුමාලි සිංහබාහු සෙ‍සු ක්‍රීඩිකාවෝ වෙති.
ශ්‍රී ලංකා පිරිමි වෙරළ දැල් පන්දු කණ්ඩායමට ලක්මාල් දේශප්‍රිය,සුජිත් ගුණසේකර,බුද්ධික සූරියබණ්ඩාර,ෆ්රුන්ක් ඩිකල්ස්,නිතිල අබේසේකර,හංසක දිලෂාන්,සුජිත් ජීවන්ත,අසංක කුරගම,මහේෂ් කුමාර සහ මොහොමඩ් අෂාඩ් අයත් වෙති
www.supirikrida.com

පෙරමුණේ සිටි වයඹ ඔරම් විසින් එළියට තල්ලු කරයි

Jacob Oram celebrates a wicketස්එල්පීඑල් ලකුණු පෙළ ගැස්මේ ඉදිරියෙන් සිටි වයඹ කණ්ඩායම ඉවතට තල්ලු කර දමමින් අවසාන තරගයට පිවිසීමට ඌව කණ්ඩායම සමත්විය.ඌව කණ්ඩායමේ ජෙකබ් ඕරම් පන්දුවෙන් සහ පිත්තෙන්ද,ශිවනාරින් චන්ද්‍රපෝල් පිත්තෙන්ද දක්වන ලද දක්ෂතා හේතුවෙන් ලකුනු 20 ක ජයක් ලබමින් ඌව කණ්ඩායම වයඹ අභිබවා අවසාන තරගයට ප්‍රවේශ විමට අවස්ථාව සළසා ගත්තේය.
කාසියේ වාසිය ලබමින් පළමුව පන්දුවට පහර දුන් ඌව කණ්ඩායම ලකුණු 171 ක් ලැබූ අතර එය හඹා යාමට පැමිණි වයඹ කණ්ඩායම ලකුණු 27 ක් වන විට තමන්ගේ කඩුලු හතක් අහිමි කර ගත්තේ මෙම තරගාවලියේ අඩුම ලකුණු ලැබූ කණ්ඩායම බවට පත් වීමේ ලකුණු පහළ කරමින්ය.නමුත් වයඹ කණ්ඩායම වෙනුවෙන් අටවන කඩුල්ලට ප්‍රදර්ශණාත්මක පිතිහරඹයක යෙදෙමින් ලකුණු 120 ක සබදතාවයක් ඇති කළ අසාර් මෙහෙමුද් සහ ඉසුරු උදාන උද්දාමයට පත් වී සිටි වයඹ කණ්ඩායම විශාල තිගැස්මකට ලක් කළහ.
සිය 20 - 20 දිවියේ හොදම ඉණිම ක්‍රීඩා කළ ඉසුරු උදාන පන්දු 38 කින් ලකුණු 42 ක් රැස් කළේ හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින්ය.අසාර් මෙහෙමුද් සිත්පිත් නැති ප්‍රහාරයක නිරත වූ  අතර තරගය නිමා වන විට ඔහු ලකුණු 75 ක්  සමග නොදැවී සිටියේ පන්දු 48 ට මුහුණ දී හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් ද එක් කර ගනිමින්ය.
පන්දුවට පහර දීමේදී චන්ද්‍රපෝල් ගේ ලකුණු 50 ට සිය පිත්තෙන් ද ලකුණු 41 කින් දායක වූ ජෙකබ් ඕරම් පන්දුවෙන් ද ලකුණු 16 ට කඩුලු 3 ක් ලබා ගත්තේ ඌව කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වෙමින්ය.තරගයේ සමස්ත ලකුණු විස්තරයට මෙම සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571374.html

www.supirikrida.com

දැවැන්ත ජය ලකුණු ඔස්සේ ලංකාව පෙරට

සියාවේ දැල් පන්දු දැවැන්තයන් තමන් බවට සනාත කරන ලකුනු සමගින් ශ්‍රී ලංකාව සිය කිරීටය රැක ගැනීමේ සටනේ තවත් පියවරකදී ජපානය ලකුණු 110 - 8 ක් ලෙස පරාජය කිරීමට සමත් විය.මෙම තරගයේදි ත් ප්‍රතිවාදීන් ශ්‍රී ලංකාවේ ලකුණු යන්ත්‍රය ලෙස හදුනා ගෙන සිටින තර්ජනී සිවලිංගම් ගෙන් පමණක් ගැලවීමට උපක්‍රම යොදා පලක් නැති බව පෙන්වමින් තිසාලා අල්ගම යළිත් වරක් තමා ද අභියෝගයක් බව සනාත කළ අතර ඇය ජපානයට එරෙහිවද ලකුණු ලබා ගැනීමේදි 92 % ක සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට සමත් විය.
නමුත් තවමත් ශ්‍රි ලංකාවේ තරග රටාව එකම රිද්මයක ගමන් නොකරන තත්ත්වයක් දැකිය හැකි අතර උස් - පහත් වීම් සහිතව සිදුවන එම ගමන එක් රිද්මයක පවත්වා ගන්නේ කෙසේද යන්න හෝ ක්‍රමිකව වේගවත් කරන්නේ කෙසේද යන්න පිළිබදව හෙට පැවත්වෙන අවසාන පූර්ව තරගයේ සිට ඉතා වැදගත් වනු ඇත.ගයත්‍රි ලංකාතිලක,ශසිකා සමරසිංහ,මරීෂා ප්‍රනාන්දු මෙන්ම තිසාලා අල්ගම සහ සේමිණි අල්විස් ද ඉදිරි තරග වල දී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ සදහා අතිශයින් වැදගත් වනු ඇත.මෙම ක්‍රීඩිකාවන් පස් දෙනා ක්‍රීඩාවේදී යොදා ගන්නා ආකාරය පිළිබදව පුහුණුකාරිණිය හයසින්ත් විජේසිංහ මෙන්ම ෂූ ගෝර්ඩියන් ද සිදු කරනු ලබන උපක්‍රම ශ්‍රී ලංකා‍වට කිරිටය රැක ගැනීම කෙරෙහි ඉතාමත් වැදගත් වනු ඇත.
ජපාන තරගයේදී කෝඩුකාර ජපනියන්ගේ හපන්කම් අභිබවා ආසියාවේ අංක එකේ දැල්පන්දු ක්‍රීඩිකාවන් අපහසුවකින් තොරව ලකුණු රැස් කළ අතර ප්‍රථම කාර්තුවේදි 29 -0 ක් ද,දෙවන කාර්තුවේදී 27-02 ක් ද,තෙවන කාර්තුවේදි 30 - 02 ක් ද සහ සිව්වන කාර්තුවේදී 27 - 5 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියේය.නමුත් ලකුණු ගලා ඒමේදි තරගයේ කාලය වැය වීමත් සමග ක්‍රමිකව ප්‍රතිවදීන්ට අවස්ථාවන් වැඩිපුර හිමිවන බවක් මෙම ලකුණු සටහනෙන් වුව පැහැදිලි වන අතර ආරක්ෂාවේ යම් ශක්ති ඌනතාවයක් නිසා සිදුවන එම තත්ත්වය මැලේසියාව සිංගප්පූරුව යන රටවල් ඉදිරියේ පාලනය කර ගැනීමේදී සමන්ති නිලක්ෂිකා වැනි තරගය පුරාවට එකම වේගයෙන් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පිළට අවශ්‍යය වන අතර නැතහොත් එම වේගය පවත්වා ගැනීම කෙරෙහි වෙනත් උපක්‍රම සහ ක්‍රීඩක ස්ථාන ආදේශන කිරීමට සිදුවනු ඇත.
ඊයේ පැවති තරග වල දී යළිත් සිංගප්පූරුවට එරෙහිව යළිත් සිය ප්‍රගතිය පැහැදිළි කළ බානායි කණ්ඩායම මෙම තරගාවලියට කෝඩුකාරියන් ලෙස පැමිණිය ද,ආසියාවට වඩාත් විමසිලිමත් විය යුතු අනාගතයක් තමන් සතුව ඇති බව පැහැදිළි කළේය.තරගය පුරාවට එකම වේගයකින් ක්‍රීඩා කළ හැකි කායික යෝග්‍යතාවයක් සහිත බෘනායි කණ්ඩායම හිටපු ශ්‍රී ලංකා පුහුණුකාරිණී තිලකා ජිනදාස ගේ හැකියාවන් හදුනාගත හැකි හැදුණුම්පතක් බවට මෙම තරගාවලියේදි පත් ව තිබෙන අතර වසරක කාලයක පුහුණුවෙන් පසුව සිය නො'උස් සිරුරු ආසියාවේ දැවැන්තයන් හමුවේ නොසැලී භාවිතයට ගන්නා අයුරු ප්‍රශස්තය.
සිංගප්පූරු තරගයේදී බානායි කණ්ඩායමේ ආරක්ෂක වලල්ල කඩා ගෙන යාමට සිංගප්පූරුව දැරූ උත්සාහයන් වල දි සිංගප්පූරුවට සිය ආරක්ෂක වලල්ල ද යම් තරමකට ලිහිල් කරන්නට සිදු වූ බව තරගයේ ඒ ඒ කාර්තුවේ ප්‍රතිපල වලින් පැහැදිළි කර ගත හැකිය.16 - 05,17 -02,19 -05 සහ 24 - 06 ක් ලෙස වූ එම තරගයේ අවසාන ප්‍රතිපලයේදී වර්ථමානයේ ජගත් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ආසියාවේ එකට සිටින සිංගප්පූරුවට එරෙහිව ලකුණු 18 ක් ලැබීම මෙන්ම ඔවුන් ලකුණු 76 ට සීමා කිරීමත් කෝඩුකාර කණ්ඩායමකින්  බලාපොරොත්තු විය හැකි හොද දස්කමකි.
හොංකොං නේපාල තරගය ඇල් මැරුණු තරගයක් විය.ආසියානු තරගාවලියට පෙර දෙවන මට්ටමේ සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවත්විය යුතු බව මෙම තරගාවලියේ ඇතැම් කණ්ඩායම් වල ක්‍රීඩා රටාව පැහැදිළි කරන අතර එසේ නොවීමෙන් ක්‍රීඩාවේ ව්‍යාප්තියට පෙර ක්‍රීඩාව පිළිබද උනන්දුව මැරී  යා හැකි තත්ත්වයක් ඇති විය හැකිය.හොංකොං නේපාල තරගය හොංකොං 77 - 02 ක් ලෙස ජය ගත් අතර මැලේසියා - පකිස්තාන තරගයද අවසන් වූයේ 94 - 7 ක් ලෙස ය.ඒ නිසා ආසියාවේ හොදම කණ්ඩායම් හයක් තෝරා ඒ අතර ආසියානු සූරතාවලිය පැවත්වීම කෙරෙහි මෙන්ම ඒ සදහා සුදුසුකම් ලැබා ගැනීමට දෙවන පෙළින් කණ්ඩායම් තෝරා ගැනිමට වෙනම තරගාවලියක් පැවත්වීම කෙරෙහිද ආසියානු දැල්පන්දු බලධාරින්ගේ අවධානය යොමු වන්නේනම් ආසියාවේ දැල් පන්දුවේ ව්‍යාප්තිය මෙන්ම තරගකාරී මට්ටමද ඉහළ මට්ටමකට ඔසවා තැබීමට හැකිය.
www.supirikrida.com

FIVB තෙවන අදියරේ පුහුණුවට අයදුම්පත් කැදවති

FIVB දෙවන අදයරේ පුහුණු පාඨමාලාව මීට දෙවසරකට ඉහත සමත් වී ඇති අය සදහා එම පාඨමාලාවේ තෙවන අදියර හැදෑරීම සදහා අයදුම් පත් කැදවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.මෙම වසරේ (2012) නොවැම්බර් 04 සිට 11 දක්වා චෙන්නායි හී කලාපීය වොලිබෝල් මධ්‍යස්ථානයේදී පැවත්වෙන මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට කැමති ඉහත සුදුසුකමු ඇති පුහුණුකරුවන් සැප්තැම්බර් 04 දා පෙ.ව.10.00 ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ වොලිබෝල් සම්මේලන කාර්යාලයේ දී පැවත්වෙන සම්මුඛපරීක්ෂණය සදහා සිය සුදුසුකම් සනාත කිරීමට අවශ්‍යය සහතිකපත් රැගෙන පැමිණිය යුතුය.
අදාළ පාඨමාලාව සදහා සහභාගි වීමේදී අදාළ වියදමි තමන් විසින් පියවා ගත යුතු බව ඉල්ලුම්කරුවන් අවබෝධ කර ගත යුතුය.
www.supirikrida.com

Aug 28, 2012

ශ්‍රී ලංකා දෙවන පෙළේ ශක්තිය පැහැදිළි කළ වාර්තාගත ජයක්

ශ්‍රී ලංකාවේ අනාගත විශිෂ්ඨත්වය තිසාලා සහ සේමිණි (වමේ පිටුපස)
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 127 - 3 ක් ලෙස විශිෂ්ඨ ජයක් වාර්තා කලේ ආසියානු දැල්පන්දු සූරතා තරග ඉතිහාසයේ වාර්තාගත දැවැන්තම ජයග්‍රහණය වාර්තා කරමින්ය.එම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වුයේ තරගයේ වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ලකුණු යන්ත්‍රය වන තර්ජනී සිවලිංගම් අසුනක හිදුවා දෙවන බලාපොරොත්තුව වන තිසාලා අල්ගම යොදවා එම ජයග්‍රහණයට පිවිසීම නිසාය.තරගයේ යෙදි කාලය අනුව තිසාලා ට සහ  තර්ජණීට  පිළිවෙලින් අවස්ථාවන් 65 ක් සහ 68 ක් බැගින් ලැබුනු අතර එහිදී වඩාත් සාර්ථක වූයේ තිසාලාය.තර්ජනී මෙන්ම තිසාලා ද කණ්ඩායමට ලකුණු 58 බැගින් එක්කර දීමට සමත් වූ අතර එහිදි තිසාලා අඩු උත්සාහයන් ගණනකින් එම ලකුණු ප්‍රමාණය ලබා දීම කැපී පෙණින.
මෙහිදී සේමිණි අල්විස් ද ප්‍රගතියක් පෙන් වූ අතර ඇය විශේෂයෙන් දුර විදුම් වල දි ඉතාමත් සාර්ථක වෙමින් ලකුණු ලබා දීමට සමත් වීම කැපි පෙණින.මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් විවිධ ස්ථාව වලට ආදේශ කරමින් ක්‍රීඩා පිටියේ ක්‍රීඩාවට යෙදවීමක් සිදු කරන බව පසුගිය තරග වලදී පැහැදිළිව දකින්නට ලැබුණු අතර එහිදි තරුණ ක්‍රීඩිකාවන් වැඩි ප්‍රමාණයක් පිටියේ සිටින විට ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග රටාව ජව සම්පන්න වීම කැපී පෙනෙන තත්ත්වයකි.නමුත් ශසිකා,ගයත්‍රි සහ මරීසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන සම්බන්ධතා පුරුක් ලෙස අන් අයට වඩා ඉදිරියෙන් සිටිම කැපී පෙනෙන අතර තරග උපක්‍රම අතින් මෙන්ම පන්දුවට යොමුවිම යොමු කිරිම වැනි කාරනා වලදී ඔවුන් සතු ක්ෂනික නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ආසියාවේ සෙසු ක්‍රීඩිකාවන් හා සංසන්දනය කිරිමේදී ද ඉදිරියෙන් වේ.
එසේම ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් ගත් තීරණයන් ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරිම පමා වූ අයුරක් දකින්නට තිබුණු අතර එම තත්ත්වය හෙළිදරව් කිරීම නිසා අප වෙබ් අඩවිය ඇතැම් අය විසින් කණ්ඩායමේ යහපත් මානසික මට්ටමට ප්‍රහාර එල්ල කරන මාධ්‍යයක් ලෙස හදුන්වා දෙන්නට ද උත්සාහ ගනු දක්නට ලැබිණ.
නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ ද ආශිර්වාදය තේරිම් කමිටුවේ තීරණ සදහා ලැබුණු අතර එහිදී තේරීම් කමිටුව අභියෝගයට ලක් කරන්නට හේතු වු ක්‍රීඩිකාව වූ සමන්ති නිලුෂිකා වාර්තාගත තරගයේදී කාර්තු හතරම ඉහළම ශරීර යෝග්‍යතාවයකින් ක්‍රීඩා කළ ක්‍රීඩිකාව ලෙස පිටියේ කැපී පෙනෙමින් තේරීම් කමිටුවේ තීරණයේ නිර්වද්‍යතාවය පැහැදිලි කළාය.කෙසේ වුව ද ඉන් අනතුරුව පැවති තරගයේදී පකිස්තානය ලකුණු 2 ට සිමා කරමින් සිංගප්පූරුව ලකුණු 111 ක් රැස් කළේ තමන්ද ආසියානු කුසලානය දිනා ගැනීමේදි ශ්‍රී ලංකාවට අභියෝග කිරීමට සුදානම් බව පැහැදිළි කරමින්ය.
එහිදී සිංගප්පූරු ගෝල් කීපර් ක්‍රීඩිකා චෙන් ලී ලී නැවත වතාවක් තමා තර්ජනී ට අභියෝගයක් විය හැකිය යන අවදානම් සංඥාව මෙම තරගයේදී ද නිකුත් කරන්නට වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානයට ලක් විය යුතු කරුණකි.තරගාවලිය පැවත්වෙමින් තිබෙන ආකාරයට මේ වන විටත් බෙහෝ විට අවසාන තරගය ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තරගයක් විය හැකි බවට ඉගි පහළ වෙමින් තිබෙන අතර අවසාන පූර්ව තරග සදහා ශ්‍රී ලංකාව,සිංගප්පූරුව මේ වන විටත් සුදුසුකම් ලබා තිබෙන අතර ඉතිරි කන්ඩායම් දෙක බවට මැලේසියාව සහ හොංකොං පත් වීම ද විශාල විපර්යාසයකින් තොරව නවතාලිය නොහැකි වනු ඇත.
හොංකොං ඉන්දියා තරගයේදී හොංකොං ජයග්‍රහණය වාර්තා වූයේ ලකුණු 60 - 29 ක් ලෙසය.එහිදී අවධානයට ලක්විය යුතු කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලකුණු 85 ක් ලැබූවද ඉන්දියාව හොංකොං සහ ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ලකුණු ප්‍රමාණය (29) සම වීමය.
ශ්‍රී ලංකාව ලකුණු 85 ක් වැනි ලකුනු ප්‍රමාණයකට යාමේදි ඉන්දියාවට ද ලකුණු 29 ක් වැනි ලකුණු ප්‍රමාණයක් කරා යාමට ලැබෙන හැකියාවෙන් පැහැදිළි වන්නේ තීරනාත්මක ඉදිරි තරග වලදි ශ්‍රී ලංකා ආරක්ෂක අංශය සිය සැළසුම් වල යම් යම් වෙනස් කම් කළ යුතු බවය.
එසේම මැලේසියාව සහ මාල දිවයින අතර පැවති තරගයේදි මාල දිවයින ලකුණු ලබා ගැනිමට ලැබුනු අවස්ථා පැහැර නොහරින්නට මැලේසියාව දැඩි පීඩනයකට පත් වන්නට තිබෙන බව පැහැදිළි විය.ලකුණු 70 - 22 ක් ලෙස මැලේසියාව ජයගත් එම තරගයේදී මාල දිවයිනේ ශක්තිවන්ත ක්‍රීඩා විලාශය කැපී පෙණින.මෙම තරගාවලියේදී ඉන්දියාව සහ මාල දිවයින් දක්වන දක්ෂතා මෙන්ම කෝඩුකාර බෘනායි කණ්ඩායමේ දක්ෂතාවල ගෞරවයේ කොටසක් ද ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නිතැතින්ය.මාල දිවයින දැල් පන්දුව පෝෂණය කිරිමේ ගෞරවය හිමිවන තිලකා ජිනදාස සහ ලූඩ්ස් ජයසේකර මෙන්ම යළි ඉන්දිය දැල් පන්දුව නගා සිටුවීමට සසිය පුහුනුකාර දැණුම ලබා දුන් ලූඩ්ස් ජයසේකර ද ගත් විට එම කණ්ඩායම් වල ප්‍රගතියේ පදනම හැටියට ශ්‍රී ලංකා දැල්පන්දුව ගෞරවයට පාත්‍රවීම සැළකිල්ලට ගත යුතුය.එසේම වසරක පමණ කාලයක් තුළ බෘනායි දැල් පන්දු කණ්ඩායම අද පැමිණ සිටින තත්ත්වයට පත් කිරීමට තිලකා කර තිබෙන කැපවීමද අනුව මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා රටවෙන් පමණක් නොව පුහුණු හැකියාවෙන් ද ආසියාවට ආලෝකයක් ලබා දීම ශ්‍රී ලංකා දැල් පන්දුවට ඇති හැකියාව පැහැදිළි වන අතර වරක් ආසියාවේ ශ්‍රී ලංකාවේ දැල්පන්දු එදිරිවාදීන් ලෙස සිටින සිංගප්පූරුව ද සිය පුහුණුකාරිනයක ලෙස වත්මන් ශ්‍රී ලංකා පුහුණුකාරිනිය හයසින්ති විජේසිංහ තෝරාගත් බව ද මෙහිදී අමතක නොකළ යුතුය.
www.supirikrida.com


නැගෙනහිර අවසාන වටයට

Uva's Dilshan Munaweera plays a cut shot
ඩිල්ෂාන් මුණවීර
ස්එල්පීඑල් තරගාවලිය යටතේ ඌව සහ නැගෙනහිර කණ්ඩායම් අතර පැවති තරගයෙන් නැගෙනහිර කණ්ඩායම කඩුලු 6 ක ජයක් ලැබීය.පළමුව පන්දුවට පහර දුන් ඌව කණ්ඩායම ලකුණු 160 ක්  රැස් කළ අතර එහිදී 20 - 20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ සාමාජිකත්වය ලද ඩිල්ෂාන් මුණවීර පන්දු 35 දී ලකුණු 45 ක් ලබා ඌව පිළට හොද ආරම්භයක් ලබා දිමට සමත් විය.සමින්ද එරංග යලිත් වරක් කඩුලු අතරට පිවිසෙමින් ලකුණු 25 ට කඩුලු 2 ක් දවාලන්නට  සමත් විය.
 පිළිතුරු ඉණිමට පිවිසි නැගෙනහිර පිල වෙනුවෙන් ඉම්රාන් නසීර් ප්‍රවේගකාරි ආරම්භයක් ලබා දුන් අතර ඔහු පන්දු 25 කින් ලකුණු 44 ක් ලබා ගත්තේ 4 පහර 8 ක් සහ එක් හයේ පහරක් ද සමගින්ය.නසීර් ගේ ප්‍රවේගකාරීත්වය විසින් ලබා දුන් ශක්තිය සුරැකෙන ඉණිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස්  නොදැවී ලකුණු 43 ක් ලබා ගෙන නැගෙනහිර කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.ඌව කණ්ඩායම එම ජයග්‍රහණය ආපසු හැරවීමට ගත් උත්සාහයේ ප්‍රතිපලය වූයේ තරගාවලියේ නිසි වේලාවට සිය පන්දු ඕවර් ප්‍රමාණය නොයැවීම පමණක් වූ අතර ඒ නිසා පරාජයට අමතරව යම් දඩ මුදලකට යටත් වන්නට ද උ්ව කණ්ඩායමට සිදු විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවයෙන් පිවිසෙන්නට හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571373.html
www.supirikrida.com

ගයත්‍රිගෙන් ශතකයක්

ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ජාත්‍යන්තර තරග 100 ට සහභාගි වීම අසීරු කරුණකි.දැල් පන්දු වැනි ක්‍රීඩාවක දී ශ්‍රී ලංකාව වැනි රටක් සහභාගි වන සීමිත තරගාවලි ප්‍රමාණය සළකද්දී එම කාර්යය සැපිරීම සදහා විශාල කාලයක් ගත කරන අතර එවැනි කාලයක් සිය ශාරිරික යෝග්‍යතතාවය රදවා ගෙන කණ්ඩායමේ රැදී සිටීම දුෂ්කර කාර්යයකි.එවැනි සියළු බාධක මැඩ මෙම ආසියානු කුසලානයේදිත් ශ්‍රී ලංකා කණ්ඩායම සතු වේගවත්ම ක්‍රීඩිකාවක් වෙමින් සෙන්ටර් යන ස්ථානයේ ක්‍රීඩා කිරීමටත් කණ්ඩායමේ සම නායිකාව ලෙස නටයුතු කිරිමටත් වරම් ලද 'ගයත්‍රි ලංකාතිලක' නේපාලය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේදී සිය සියවැනි ජාත්‍යන්තර තරගය සැපිරීමට සමත් විය.
පාසල් දැල් පන්දු කේෂ්ත්‍රයේ කීර්තිමත් නමක් දිනූ කළුතර බාලිකාවෙන් දැල් පන්දු පිටියට දායාද කළ ගයත්‍රි ගේ පළමු දැල්පන්දු තරග අත්දැකිම 1988 දක්වා දිවෙන අතර,1994 වන විට ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිස ඕස්ට්‍රේලියානු තරග සංචාරයක දි හ්‍රී ලංකා කණ්ඩායමේ උප නායිකාව ලෙස කටයුතු කරන්නට තරම් පරිනතව වැඩෙන්නීය.1997 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු සූරතාවිලයට සහබාගි වන ගයත්‍රි,මෙවර සහභාගි වන්නේ සිය සිව්වන ආසියානු සූරතා තරගාවලියට යි.මීට පෙර ඇය සහභාගි වු 1997,2001 සහ 2009 ආසියානු සූරතා තරගාවලි තුනේදී ම ශ්‍රී ලංකාව ආසියානු සූරියන් වීම කැපී පෙනෙන සිදුවීමක් වන අතර 2004 සහ 2007 යන වසරවල ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරා  ඇති ගයත්‍රි 2011 වසරේ සිංගප්පූරුවේ පැවති ලෝක කුසලාන තරගාවලියකදි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් තරගයක තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව විමේ දුර්ලභ අවස්ථාව ලද අතර ඇයට අමතරව එම තරගාවලියේදී එවන් හැකියාවක් ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ සදුනි බොල්ලෑගල පමණි.
www.supirikrida.com

මලල ක්‍රීඩා විනිසුරු හෙල්ලට බිලිවෙයි

ර්මන් ජාතික මලල ක්‍රීඩා විනිසුරුවරයෙකු වන 74 හැවිරිදි ඩයටර් ස්ට්‍රැක් ඊයේ තරගයක් විනිශ්චය කිරීමට සහභාගි වෙමින් සිටියදී තරගකරුවෙකු විසින් වීසි කරන ලද හෙල්ලක දුර ගණනය කිරීමට උත්සාහ කිරීමේදී එම හෙල්ල ගෙලේ වැදීමෙන් මිය ගොස් ඇත.ජර්මණියේ පැවති එම මලල ක්‍රීඩා තරගය ඩයටර් ගේ අනතුරෙන් පසුව නවතා දැමිමට සංවිධායකයන් ක්‍රියා කර ඇති අතර අනතුර සිදු වී සුළු මොහොතකින් ඩයටර් අවශ්‍යය ප්‍රිතිකාර සදහා රැගෙන යාමට ගුවණින් සහ බිමින් යන දෙකෙන්ම ප්‍රවාහන පහසුකම් සූදානම් කිරීමටද ක්‍රීඩා උළෙල සංවිධායකයන් ක්‍රියා කර ඇති අතර මෙම ඡායාරුපයේ දැක්වෙන්නේ එහි ගිලන්රථ සහ හෙලිකොප්ටරයක් ළගා වී ඇති අයුරුයි.
මෑත දිනයක මලල ක්‍රීඩා විධායක සභාවේද වීසි කිරීම් ඉසව්වලදී වියපත් පිරිස් විනිශ්චයට යෙදවීමෙන් ඇතැම් විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් විය හැකි බව සහ ඔවුන්ගේ ශාරිරික යෝග්‍යතාවය පිරික්සීම පිළිබදව සාකච්ඡාවට ගත් අතර වත්මන් මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායකයන් ද එහිදි එම අදහස ඉතා ඉහළින් අගය කරමින් කතා කළේය.ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධානතම තාක්ෂන නිලධාරියා වන පීඩී වෛද්‍යතිලක එහි දී අදහස් දක්වමින් කියා ඇත්තේ මලල ක්‍රීඩා විනිසුරුවන් සම්බන්ධයෙන් වයස් සීමාවක් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය කටයුතු කර නැති බවය.
නමුත් මෙම සිදුවීමත් සමග ලංකාවේ මලල ක්‍රිඩා සංගමයේ අවධානයට යොමු වූ කරුන පිළිබදව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයද සිතා බලන්නට කටයුතු කළ හැකි බවක් සිතිය හැකි අතර මලල ක්‍රීඩා විනිසුරුවන් ලිඛිත විභාග වලට අමතරව නිරන්තරයෙන් තරග විනිශ්චයේදී ශාරිරික යෝග්‍යතා පරික්ෂණයන්ට මුහුණ දිය යුතු බව මෙම සිදුවීම ඔස්සේ අවබෝධ කර ගත  හැකිය.විශේෂයෙන් හෙල්ල,මිටිය සහ කවපෙත්ත වැනි ඉසව් වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වේගවත් වීසිකිරීම් සමග පතිත ස්ථාන නිවැරදිව දැක ගැනීමට මෙන්ම එම වීසිකිරීම් උපකරණ වලින් හානියක් නොවන සේ වහා ස්ථාන ගත විමට ද පෙනීම මෙන්ම ශාරීරික යෝග්‍යතාවය ද මැනවින් නඩත්තු කළ යුතුය.
www.supirikrida.com

Aug 27, 2012

වයඹ රුහුණ පළවා හරිති

Dinesh Chandimal celebrates his fiftyස්එල්පීඑල් තරගාවලිය යටතේ පැවති වයඹ සහ රුහුණ කණ්ඩායම අතර තරගයෙන් රුහුණ කණ්ඩායම ලකුණු 14 කින් පරාජයට පත් කළ වයඹ කණ්ඩායම තරගාවලියේ ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණේ සිටින්නට අවශ්‍යය පසුබිම සකසා ගනිද්දී රුහුණ කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වන්නට සිදු විය.තරගයේ පළමුවෙන් ලකුණු රැස් කළ වයඹ කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් රැස් කරන්නට යෙදුණ ප්‍රවේගකාරී ලකුණු 75 සහ ඔහු සහ තමීම් ඉක්බාල් (36) අතර පළමු කඩුල්ලට රැස් කළ ලකුණු 66 සබදතාවය හේතුවෙන් වයඹ ඉණිම ලකුණු 162 දක්වා දිගු විය.කඩුලු හතක් එම ලකුණු ප්‍රමාණය වෙනුවෙන් බිලි දීමට වයඹ කණ්ඩායමට සිදු වූ අතර එම කඩුලු වලින් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා වූ දිල්රුවන් පෙරේරා කඩුලු 2ක් ලකුණු 32 ට දවා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ රුහුණ කණ්ඩායම ලකුණු 148 ට සීමා වූ අතර එහිදී ලහිරු තිරිමාන්න ලකුණු 40 රැස් කරන්නට සමත්විය.තිරිමාන්න නොදැවී රැස් කළ එම ලකුණු ප්‍රමාණය මෙන්ම සියළු දෙනාම දැවී යාම වළකමින් ලසිත් මාලිංග තරගයේ අවසාන මොහොතේදී පන්දු 15 කින් ලකුනු 22 ක් නොදැවී ලබා ගැනීමද කැපී පෙණින.ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමෙන් පසුව අකිල ධනංජය සහභාගි වූ පළමු තරගයේදී එතරම් සාර්ථක වූයේ නැති අතර ඔහුගේ පන්දු ඕවර් 3 ට ලකුණු 37 ක් ලබා ගැනීමට රුහුණ කණ්ඩායම සමත් වූ අතර ඔහු දවා ගත්තේ එක් කඩුල්ලක් පමණයි.
තරගයේ සමස්ත ලකුණු විස්තරය මේ සමග ඇති සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571372.html
www.supirikrida.com

බෘනායි කෝඩුකාරියෝ තරගාවලියේ වැඩිම ලකුණුලාභියෝ වෙති


ටවන ආසියානු දැල්පන්දු තරගාවලියට ඉදිරිපත්වන කෝඩුකාර බෘනායි කණ්ඩායම වසරක් ඇතුළත ශ්‍රී ලංකා ජාතික පුහුණුකාරිණියව සිටි තිලකා ජිනදාස ඉදිරියේ ලබා ඇති ප්‍රගතිය අපූරුවට පැහැදිළි කරමින් පකිස්තානයට එරෙහිව ලකුණු 91 - 13 ක ජයක් ලබමින් තරගාවලියේ වැඩිම ලකුණුලෘභිණියන් වන්නට සමත්විය.පකිස්තානු ක්‍රීඩිකාවන අතින් සිදු වූ වැරදි නිසා වරින්වර අවවාද සහ නිදහස් පහර සදහා තරගය නො'නවත්වන්නට ප්‍රතිපලය ඊටත් වඩා වෙනස් වන්නට තිබුණු අතර එසේ වූවා නම් ලකුණු ප්‍රමාණය 100  ඉක්මවා යන්නට බොහෝ විට ඉඩ තිබිණි.

බෘනායි කණ්ඩායම මෙම තරගය පුරාවට පැහැදිළි කළ වේගවත්බව සහ ශක්තිවන්ත භාවය ඉතා ඉහළින් කැපී පෙණුන අතර පකිස්තානයට සිදු වූ ලොකුම හානිය සිදු වූයේද බෘනායි කණ්ඩායමේ දරා ගැනීමේ ශක්තියෙන් වූ අතර එම ශක්තිය සහ වේගයට සමීප වන්නටවත් නොහැකි තරමට අසරණ වූ පකිස්තානු කණ්ඩායම තරග නරඹන්නන් පමණක් බවට පත් විය.මාල දිවයින අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ඉදිරියට පිවිසි බෘනායි,එමපළමු තරගයේදී දක්වන්නට යෙදුණු සබකෝලයෙන් මිදී දිනක් ඇතුළත ලබා තිබූ ප්‍රගතිය අති විශිෂ්ඨ විය.
විශේෂයෙන් ඔවුන්ගේ මැද පෙළ,පෙර පෙළ සහ පසු පෙළ අතර අන්තර් සම්බන්ධය ඉතා ඉහළින් පැවතීම සහ සමබරව තරගය ඉදිරියට ගෙන යාමට දක්වන දක්ෂතාවය තුළින් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවය පැහැදිළි කරන අතර තිලකා ජිනදාස දැල් පන්දු ක්‍රීඩිකාවක් මෙන්ම මලල ක්‍රීඩිකාවක් ලෙස ලද ආභාෂයද මේ සදහා බල පාන්නට ඇත.කෙසේ හෝ මෙම තරගාවලියේදී ඉන්දියාව,මාල දිවයින වැනි රටවල් දක්වන දක්ෂතා දකින විට ලූඩ්ස් ජයසේකර වැනි පුහුණුකාරියන් එම රටවල දැල් පන්දුව පෝෂණය කිරීමට දක්වා තිබෙන දායකත්වය ඉහළින් කැපී පෙනෙන අතර,තිලකා ජිනදාස ගේ නම ද ලංකාවට ආඩම්බරයක් විය හැකි ජාත්‍යන්තර ඇගයීම් ලබන නාමයන් අතරට වසරක බෘනායි දැල්පන්දු වික්‍රමය හරහා පත්වනු නිසැකය.තරගයේ ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි බෘනායි කණ්ඩායම 21-3,25-5,25-2 සහ 21 -3 ක් ලෙස කාර්තු හතර  ඉදිරියෙන් සිටිමින් සිය ශක්තිවන්තභාවය මෙම තරගයේදී කදිමට ප්‍රදර්ශණය කළේය.
සිංගප්පූරුව සහ මාල දිවයින අතර පැවති තරගය ලකුණු 82 -11 ක් ලෙස ජය ගැනීමට සිංගප්පූරුව සමත් විය.තරගයේ මුල සිටම සිංගප්පූරුව ඉදිරියෙන් සිටි අතර මෙහිදී ශ්‍රී ලංකා ලකුණු යන්ත්‍රය අක්‍රිය කිරිම පිණිස සොයා  ගත් ඔවුන්ගේ සෙමි 196 ක් උස චෙන්ග් ලී ලී පළමු වරට තරගය සදහා යොදවා තිබුණු අතර එය ශ්‍රී ලංකාවට සිංගප්පූරුව අතර තරගයේදී අලුත් උපක්‍රම ගැන සිතීමට ලැබුණු යහපත් අවස්ථාවක් කර ගැනීමට තරගය නැරඹූ ශ්‍රී ලංකා පුහුණුකාියගේ උපක්‍රමශීලී මානසිකත්වය පොළඹවන්නට ඇත.
18 -01,22-0,21-4 සහ 21-6 ක් ලෙස ලකුණු පූවරුව සටහන් වූ එම තරගයේදී මාල දිවයින ක්‍රීඩිකාවන්ට කිසිදු ඉඩක් ලබා නොදෙමින් ලකුණු රැස් කළ සිංගප්පූරුව එම තරගයට තරගකාරී අවස්ථාවකට වඩා පෙර පුහුණු අවස්ථාවකට මෙන් විවිධ අත්දැකීම් ලබා ගැනීමට යොදා ගන්නා ආකාරයක් දක්නට තිබිණ.වර්ථමානයේ ආසියාතික රටවල් අතර ජගත් ශ්‍රේනිගත කිරීම්වල අංක එකට සිටින කණ්ඩායම වන සිංගප්පූරුව මෙම තරග‍ාවලියේදී එම කීර්තියට ආසියානු සූරතාවලියේ දී අංක එක වීම ගැනත් විශේෂයෙන් සිතනු නො'අනුමානය.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටේදී  මේ වන විට ශ්‍රේණිගත කිරිමවල දී ආසියාවේ අංක එක අහිමි වී තිබීම නැවත ලබා ගැනීමට දරණ උත්සාහයේදී සිංගප්පූරුවට බොහෝ විට බොහෝ බලාපොරොත්තු අහිමි කර ගන්නට වනු ඇත.
ජපානය සහ නේපාලය යන රටවල් දෙකම තරගාවලියට කෝඩුකාරයින් වූ බැවින් තරගය විවෘත ස්වභාවයක් ගත් අතර එහිදී ජපානය ලකුණු 52 ක් ලබන්නට සමත්විය.තරගාවලියේ පළමු අර්ධයේ සිටම ඉදිරියෙන් සිටි ජපානයට එරෙහිව නේපාලයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 27 ක් පමණි.ප්‍රථම කාර්තුවේදී ලකුණු 13 - 7 ක් ලෙස ඉදිරියට එන්නට පටන් ගත් ජපානයට නේපාලයෙන් දෙවන වටයේදී දැඩි තර්ජනයන් එල්ල වූ අතර එම වටයේ ලකුණු ප්‍රමාණය 10 - 9 ක් ලෙස ලකුණු එකකින් පමණක් ඉදිරියෙන් සිටීමට ජපානයට හැකි විය.තෙවන වටය 15 - 4 ක් සහ කෙවන වටය 14 -7 ක් ලෙස නිමා කළ ජපානය සිය කෝඩුකාර සහභාගීත්වයේ පළමු ජය සමුරන්නට සමත් විය.
www.supirikrida.com

ශ්‍රී ලංකාව ජය මාවතේ දැවැන්ත සටහනක් තබයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආසියානු දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවන තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 85 - 29 ක අති විශිෂ්ඨ ජයක් ලැබීය.තරගයේ මුල සිටම ඉන්දියාව අභිබවමින් පෙරට පැමිණි ශ්‍රී ලංකාව තරගයේ ප්‍රථම කාරතුවේදීම ලකුණු 23 -06 ක් ලෙස පෙරට පැමිනියේ ය.දෙවන කාර්තුවේදී තවත් ලකුණු 25 -09 ක් ලෙස ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව තෙවන කාර්තුවේදී දැඩි අපහසුතාවයකට පත් කළ ඉන්දියාව,ශ්‍රී ලංකාව ලකුණු 14 ක් ලබන විට ලකුණු 10 ක් ලබා ගැනීමට සමත් විය.තෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ තරුණ වීම ඉන්දියාව තෙවන වටයේ දී කළ ආක්‍රමණය පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති කළ අතර ඒ අනුව ඉන්දියාවට හැකි වූයේ ලකුණු 04 කින් සෑහෙන්නට ය.නමුත් අවසාන වටයේදී ආරක්ෂක අංශයේ මැදිහත් වීම මත පන්දුව 31 වතාවක්ම ශ්‍රී ලංකා දැල වෙත පැමිණියද එයින් සාර්ථක කර ගැනීමට ලැබුණේ අවස්ථා 23 ක් පමණි.
තරගයේ ලකුණු යන්ත්‍රය සක්‍රිය කිරීමට තර්ජනී සිවලිංගම් ට ඇති හැකියාව මෙහිදී ද පැහැදිළි වූ අතර ඇය උත්සාහයන් 55 කින් 53 ක් ම සාර්ථක කර ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 96 ක් විය.ශසිකා සමරසිංහ උත්සාහයන් 11 කින් 09 ක් ම සාර්ථක කර ගත් අතර ශ්‍රී ලංකාවේ දැල් පන්දු අනාගතය සවිබල ගැන්වීම පිණිස වඩා වැදගත් වන තිසාලා අල්ගම උත්සාහයන් 24 කින් 20 ක් ද සේමිණි අල්විස් උත්සාහයන් හතකින් 03 ක් ද සාර්ථක කර ගැනීමට සමත් විය.
තරගයේ කාර්තු හතර වෙනස් ක්‍රීඩිකාවන් යොදවමින් ජ්‍යෙෂ්ඨයන්ට විවේකය ලබා දීම හොංකොං තරගයේදී මෙන්ම මෙම තරගයේදී ද දකින්නට ලැබුණු අතර නමුත් කණ්ඩායමේ ආරක්ෂක පෙළ බිද ගෙන ගොස් ඉන්දියාව ලකුණු 29 ක් ලැබීම පිළිබදව නැවතත් සිතා බලන්නට සිදු වෙයි.තරගයේ දී නව මුහුණු වැඩි පුර දකින්නට ලැබුණු සිව්වන වටයේදී ඉන්දීය දැල ආක්‍රමණය 31 වතාවක් සිදු කිරිමට තරම් ශ්‍රී ලංකා ප්‍රහාරක අංශය සාර්ථක වීම හොද තත්ත්වයක් මෙන්ම එය තරගයේදී ශ්‍රී ලංකාව ප්‍රතිවාදී දැල ආක්‍රමණයට පිවිසි වැඩිම අවස්ථා ගණනද විය.එසේම ඉන්දීය ප්‍රහාරක අංශයට ද ශ්‍රී ලංකා දැල වෙත පිවිසීමට අවස්ථාවක් නොලැබුණු අතර එය අවස්ථා අටකට පමණක් සීමා වීම ද,ශ්‍රී ලංකා අාරක්ෂක අංශයේ හොදම මැදිහත් වීම විය.
මේ තත්ත්වය මවන ච්‍රිත්‍රය අතිශයින් වැදගත් වන අතර විශේෂයෙන් සේමිණි අල්විස් සහ තිසාලා අල්ගම ලකුණු ලබා ගැනීමට අමතරව ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා දැල ආක්‍රමණය කිරිම වැළක්වීමට ගත් පැසසිය යුතු දායකත්වය ද අවධානයට ලක් කර තරගාවලිය ගමන් කරන ආකාරයට බොහෝ විට ශ්‍රී ලංකා - සිංගප්පූරු විය හැකි අවසාන තරගයේදි කණ්ඩායමේ සංයුතිය සැකසීමට  ශ්‍රී ලංකා බලධාරින්ගේ අවධානය යොමු විය යුතුය.ඒ නිසා ඉදිරි තරගවලදී එම ක්‍රීඩිකාවන් දෙදෙනා ගෝල් කීපර් සහ ගොල් ඩිෆෙන්ස් යන ස්ථාන වල යොදවා ක්‍රීඩා කර යම් කිසි අධ්‍යයනයක යෙදිය හැකිනම් ශ්‍රී ලංකාවට තරගාවලියේ තීරණාත්මක තරග සදහා පිවිසීමේදී එය වැදගත් වනු ඇත.
මරීෂා ප්‍රනාන්දු,ශසිකා සමරසිංහ මෙන්ම ගයත්‍රි ලංකාතිලක ද මෙම තරගයේදි ද සිය ජ්‍යෙෂ්ඨත්වයේ සහ පළපුරුද්දේ වටිනාකම පැහැදිළි කරන්නට සමත් විය.ප්‍රථම තරගයේදී පැවසූ ආකාරයටම තර්ජණී තව දුරටත් සැහැල්ලු වීමට අවශ්‍යය බව මෙම තරගයේදී ද පැහැදිළි කළ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමණට බෙහෙවින්ම අත්‍යවශ්‍ය ය.
www.supirikrida.com

භාරතයේ හෙට දවස පැහැබරයි

ස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් සූරතාවලියේ අවසාන තරගයේදී සත්කාරක ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු හයක විශිෂ්ඨ ජයක් ලබන්නට ඉන්දියාවට හැකිවිය.ඉන්දියාව තරගය ජය ගැනීම මෙන්ම ඔවුන් ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ගත් තීරණ ද පැහැදිළි බව ද පෙන්වමින් නියම නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ උන්මුක්ට් චාන්ඩ් මෙම තරගයේදී ඕස්ට්‍රේලියාව විසින් රැස් කළ ලකුණු 225 එඹා යාමේදී දැක් වූ දක්ෂතාවය ඉතා ඉහළ මට්ටමක පැවතිණ.නායකත්වය පීඩනයක් නොව වගකීමක් බව පැහැදිළි කළ චාන්ඩ් පන්දු 130 දී නොදැවී ලකුණු 111ක් රැස් කළේ හතරේ සීමාව බිම දිගේ ඉක්මවා ගිය පහරවල් හතකින් සහ සීමාවට ඉහළින් එල්ල වූ පහරවල් හයක් ද සහිතවය.
ඕස්ට්‍රේලියාව මෙම තරගයේ සිය පන්දු වාර පනහෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් නිම වෙද්දී ද දැඩි අසරණ බවක ගිලී සිටි අතර ලකුණු 38 ක ට කඩුලු හතරක් බිද වැටීමෙන් පසුව නායක විලියම් බොසිස්ටෝ (නොදැවී 87),ට්‍රෙවිස් හෙඩ් (37) සහ ඇස්ටන් ටර්නර් (43) විසින් දක්වන දායකත්වය මත ඕස්ට්‍රේලියාවේ ලකුණු පූවරුව 225 ක් බවට පත්විය.පන්දු යැවිමේදී යළිත් දක්ෂතා දැක්වූ සන්දීප් ෂර්මා ලකුණු 54 ට කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙණින.
ඉන්දීය පිලිතුරු ඉණිමට ද ඕස්ට්‍රේලියාවට සිදු වූ දෙයම සිදු විණි.25 වන ඕවරයේ දෙවන පන්දුවේදී සිය සිව්වන කඩුල්ල අහිමි වන විට ඉන්දිය ලකුණු පූවරුව 97 ක් පමණක් විය.නමුත් ඉන් අනතුරුව ලකුනු පූවරුවේ දැවීම් වල සංඛ්‍යාව වෙනසක් නොවන්නට වග බලා ගත් නායක චාන්ඩ් සහ ස්මිත් පටෙල් (නොදැවී 62) නොබිදුණු ලකුණු 130 ක සබදතාවයක් පවත්වමින් 48 වන ඕවරයේ සිව්වන පන්දුවේදී ඉන්දීය ලකුණු පූවරුව 227 ක් බවට පත් කළේය.පහත සබදතාවයෙන් තරගයේ ලකුණු පූවරුවට පිවිසීමට හැකියාව ඇත.http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/match/554564.html
www.supirikrida.com

Aug 26, 2012

බස්නාහිර පහළටම වැටෙයි

Ruhuna's Nasir Jamshed hits through the leg sideස්එල්පීඑල් තරගාවලියේ පළමු තරගය ජය ගනිමින් හොද ආරම්භයක් ලබා ගත්තද ඉන් අනතුරුව දිගින් දිගටම පරාජය විදි බස්නාහිර කණ්ඩායම ඊයේ රුහුණ කණ්ඩායම ඉදිරි‍යේ යළිත් කඩුලු 4 ක පරාජයක් ලැබීය.පලඹුව පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායම වෙනුවෙන් නායක ටීඑම් ඩිල්ෂාන් ලකුණු 15 ක් ලබා සිටියදි දැවී ගිය පසු කැමෙරන් බ්‍රෝගස් ලකුණු 40 ක් සහ තරගයෙන් ඉවත් වූ රයිලි රොසොව් ලකුණු 31 ක් ලබා ගත්තද සිය පන්දු ඕවර් 20 නිම වන විට ලකුණු පූවරුව 123 දක්වා පමණක් ඔසවා තැබීමට හැකි විය.කඩුලු හතරක් පමණක් දැවී ගියද රැකුණු කඩුලු ප්‍රමාණයට සාපේක්ෂව ලකුණු ප්‍රමාණය ඉහළ ගියේ නැති නිසා රුහුණට අසීරු ඉලක්කයක් ලබා දීමට අපහසු විය.
දැවී ගිය කඩුලු හතරෙන් දෙකක්ම පකිස්තානය නියෝජනය කරන පන්දු යවන්නෙකු වන වහාබ් රියාස් වෙත හිමි වූ අතර ඔහු ඒ වෙනුවෙන් ලබා දුන්නේ ලකුණු 19 ක් පමණි.පිළිතුරු ඉණිමට පිවිසි රුහුණ කණ්ඩායමේ පිතිකරුවන්ද පිටියට පැමිණි විගස ආපසු හැරි යන පෙරහැරක් බවට පත් කිරිමට බස්නාහිර පන්දු යවන්නෝ සමත් වූහ.එහෙත් රුහුණ වෙනවෙන් යොදවා තිබෙන පකිස්තානු බල‍ය නැවත ක්‍රියාවට නැගුණු අතර ආරම්භක පිතිකරු නසීර් ජම්ෂෙඩ් නොදැවී ලකුණු 51 ලබමින් තරගය නිමවන තුරු පවත්වා ගෙන යමින් කැපී පෙණින.ඒ අනුව ඔහු තරගයේ වීරයාද විය.තරගයේ සමස්ත ලකුණු පූවරුවට ‍පහත සබදතාවය තෙරපා ප්‍රවේශ විය හැකිය.http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571369.html
www.supirikrida.com

අද 19 න් පහළ අවසාන තරගය-තෙවන තැන තරගයකින් තොරවම දකුණු අප්‍රිකාවට

William Bosisto and Unmukt Chand with the U-19 World Cup ahead of the finalස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගය අද ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවත්වෙන අතර ඊයේ පැවති තෙවන ස්ථානය තීරණය කරන තරගයෙන් අපහසුවකින් තොරව ජය ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ඉණිම ලකුණු 90 ට සීමා කරමින්ය.පන්දු ඕවර් 36.5 ක් තුළ ලකුණු 90 ට දැවී ගිය නවසීලන්ත ලකුණු ප්‍රමාණය 94 දක්වා ගෙන යන්නට දකුණු අපිකාවට ගත වූයේ පන්දු ඕවර් 14.4 ක් පමණක් වූ අතර ඒ සදහා වැය වූයේ කඩුලු  2 ක් පමණි.
මෙම සටහන තැබෙන විට මෙවර අවුරුදු 19 න් පහළ ලෝක සූරයන් තීරණය කෙරෙන තරගය ඕස්ට්‍රේලියාවේ ටවුන්ස්හිල් හී ක්‍රියාත්මක වන අතර පළමුව පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියාව ලකුනු 88 ට කඩුලු 4 ක් ලබා දුෂ්කර තත්ත්වයක පසු වෙයි.ලකුණු 38 ට කඩුලු 4 ක් දැවී ගොස් දැඩි අවදානමකට මුහුණ දී සිටි ඕස්ට්‍රේලියාව එම තත්ත්වයෙන් යම් තරමකට නිදහස් කරගෙන ක්‍රීඩා කරන නායක විලියම් බොලිස්ටෝ (13) සහ ට්‍රේවිස් හෙඩ් (32) ලකුණු 50 ක් එක් කර ගෙන සිටින නමුත් පන්දු ඕවර් 26 ක් ම ගෙවී අවසන්ය.අලුත් වන ලකුණු පූවරුව මෙම සබදතාවයෙන් දැක ගැනීමට හැකිය.
http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/current/match/554564.html
www.supirikrida.com

කෝඩුකාර බෘනායි විසේකාර අාරම්භයක

සරක පමණ කාලයක ඇවෑමෙන් සත් වන ආසියානු දැල් පන්දු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට මුල් වූ පුහුණුකාරිණිය තිලකා ජිනදාස ගේ මග පෙන්වීම යටතේ ආසියානු දැල් පන්දු තරගාවලියට පිවිසි බෘනායි කණ්ඩායම මාල දිවයින සමග පැවති තරගය 26 - 26 ලෙස නිමා කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.තරගයේ ඇරඹුමේ සිටම තමන්ට වඩා අත්දැකීම් ඇති මාලදිවයින ට කරට කර තරගයක් ලබා දුන් බෘනායි කණ්ඩායම ඇතැම් අවස්ථාවක මාලදිවයින අභිබවමින් පෙරට ආව ද,තරගයේ අවසාන තත්පර කිහිපයේදී මාලදිවයින ලකුණු දෙකකින් ඉදිරියෙන් සිටිය අතර ඒ අවස්ථාවේදී දැඩි විසේකාර ක්‍රීඩා රටාවකට පිවිසි බෘනායි කණ්ඩායම ශක්තිවන්ත සහ වේගවත් ක්‍රීඩා රටාවකට පිවිසෙමින් ලකුණු දෙකක් ලබා තරගය සම ලකුණු තත්ත්වයකින් අවසාන කළේය.
දැල් පන්දු ක්‍රීඩිකාවක් පමණක් නොව ශ්‍රී ලංකාවේ සිටි අති දක්ෂ මලල ක්‍රීඩිකාවක ද වන තිලකා ජිනදාස ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට ඔලිම්පික් පිටියට පා තැබූ කාන්තාව ලෙස ද ඉතිහාසයට එක් වි සිටින අතර ඇය කණ්ඩායමක දරා ගැනීමේ ශක්තිය ඉතා ඉහළින් රදවා ගැනිමට හැකි පුහුණුකාරියක ලෙස ප්‍රකටය.මාලදිවයිනට එරෙහි තරගයේදී බෘනායි කණ්ඩායමෙන් ඒ බව කදිමට පැහැදිළි වූ අතර එය බෘනායි කණ්ඩායම ලද ජයක් මෙන්ම ශ්‍රී ලංකා දැල් පන්දුව ආසියාවේ ඉහළ අවධානයකට ලක් වන තරගයක් ද වූයේ තිලකා ගේ පුහුණුකාරීත්වය වසරක පමණ කාලයකදී එරට දැල්පන්දු ක්‍රීඩාවේ ඇති කර තිබෙන ප්‍රගතිය එයින් පැහැදිළි වන නිසාය.
තරගයේ පළමු කාර්තුවේ ලකුණු 8 - 7 ක් ලෙස මාල දිවයින පෙරමුණේ සිටි අතර,දෙවන කාර්තුව නිම වන විට ලකුණු පූවරුවේ පෙරමුණ 15 -13 ක් ලෙස බෘනායි කණ්ඩායම විසින් අත් කරගෙන සිටියේය.තෙවන කාර්තුව නිමා වන විට ලකුණු පූවරුව දිස් වූයේ 21 -  20 ක් ලෙස වූ අතර පෙරමුණේ සිටියේ බෘනායි කණ්ඩායමය.තරගයේ අවසාන කාර්තුවේ අවසාන විනාඩිය එළැඹෙන්නට සුළු මොහොතකට පෙර ලකුණු පූවරුව 26 -24 ක් ලෙස දිස් වූ අතර ඒ අවස්ථාවේදී නැවත තරගයට පිවිසි බානායි ක්‍රීඩිකාවෝ ලකුණු දෙකක් ලබා ලකුණු පූවරුව 26 - 26 ක් ලෙස සම කිරීමත් සමග තරගය අවසාන කරන නලාව නාද විය.
ඊයේ දිනයේ පැවති ප්‍රබලතම තරගය වූ මැලේසියාව සහ සිංගප්පූරුව අතර තරගයේ ප්‍රථම වට තුනම ඉදිරියෙන් සිටි මැලේසියාවට අවසාන වටයේදී සිය වේගය සහ ජවය පෙන් වු සිංගප්පූරුව ලකුණු 38 - 34 ක් ලෙස මැලේසියාව පරාජය කළේය.තරගයේ පළමු කාර්තුවේ සිංගප්පූරුව දැඩි අපහසුතාවයකට පත් කළ මැලේසියානු ක්‍රීඩිකාවන් ලකුණු 11-5 ක් ලෙස පෙරමුණට පැමිණි  අතර,දෙවන කාර්තුව නිම වන විට එම තත්ත්වය ඉදිරියට ගොස් තිබුණේ ලකුණු 19 -14 ක් ලෙස මැලේසියාවටම වාසිය අත් වන ආකාරයෙන්ය.තෙවන කාර්තුව නිම වන විටද මැලේසියාව ලකුණු 28 -25 ක් ලෙස පෙරමුණේම සිටි අතර ලකුණු පරතරය තුන දක්වා අඩු කර ගන්නට සිංගප්පූරුව සමත් වී තිබිණි.නමුත් තරගයේ අවසාන කාර්තුවට පිවිසීමත් සමග දැඩි වේගයක් සහ පාලනයක් ඇතිව තරගයට අවතීර්ණ වූ මේ වන විට ජගත් ශ්‍රේනිගත කිරීම්වල ආසියාවේ අංක එකේ සිටින සිංගප්පූරුව සිය තත්ත්වය කදිමට පැහැදිළි කළ අතර සිය සමස්ත ලකුණු ප්‍රමාණයට ලකුණු 13 ක් එක් කර ගනිද්දී,මැලේසියාවට ලබා දුන්නේ ලකුණු හයක් පමණක් රැස් කිරීමටය.
ඉන්දියාව සහ ජපානය අතර තරගයේ දී කෝඩුකාර ජපනෙය සිය පාලනයට සම්පූර්නයෙන් යටත් කර ගත් ඉන්දියාව ලකුණු 64 - 17 ක් ලෙස තරගය නිම කළේ පහසු ජයක් ලබමින්ය.නමුත් ජපානය තරගයට කෝල බවක් නොපෙන්වා තරගය පුරාම ලකුණු හොයමින් වෙහෙස වූ ආකාරය ප්‍රශස්ත මට්ටමක විණි.ජපාන කණ්ඩායම කණ්ඩායමක් වශයෙන් ක්‍රියාත්මක වීම හදුනා නොගැනීම එහිදී මැනවින් පැහැදිළි වූ අතර ඔවුන්ගේ හොදම ලකුණු ලබන්නිය බවට පත් වූ නකතානි උත්සාහයන් නවයෙන් නවයක්ම සාර්ථක කර ගත්තද ඇය ලවා ලකුණු ලබා ගැනීමට පන්දුව යොමු කිරීමට වැඩි අවධානයක් යොමු කිරීම පසෙක ලා,තමන්ට ලකුණු ලැබීමට ලැබුනු අවස්ථාවන් 25 න් 16 ක් ම අනෙකුත් ක්‍රීඩිකාවන්ට පවරා තිබෙනු දැකීම ඒ බව පැහැදිළි කරන්නේය.ඉන්දීය කණ්ඩායමද ජපානයේ දුර්වල කමින් ලකුණු ලබා ගත්තේද යන්න කීමට වඩා ඇයගේ දැල ප්‍රහාරිකාව වූ කොවුර් විසින් සිය උත්සාහයන් 47 න් 40 ක් ම නිසි ඉලක්කයට යොමු කිරිමත් කැපී පෙණින.
www.supirikrida.com