Oct 6, 2012

සුපිරි ක්‍රීඩා සංස්කාරක 20 / 20 අවසන් තරගය විචාරයට ශ්‍රී ටීවී සමග එක් වෙයි

මෙවර 20 / 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවත්වෙන අවසාන තරගය පිළිබදව සජීවි විස්තර විචාරයට www.supirikrida.com වෙබ් අඩවියේ සංස්කාරක නිශ්මං රණසිංහ එක් වීමට නියමිතය.තරගාවලියේ අවසාන පූර්ව තරගයේ සිට නිල සජීවි විකාශය සම්බන්ධයෙන් ඇති කොන්දේසි උල්ලංඝණය නොකරමින් තරගය පිලිබදව සජිවි තොරතුරු වාර්තා කරණයක නියැලෙන නිශ්මං හෙට අවසන් තරගයේදී ද ශ්‍රී ටීවී සමග එක් වීමට නියමිතය.
රටවල් 150 ට වැඩි සංඛ්‍යාවක ලාංකිකයන් උදෙසා තොරතුරු සම්පාදනයේ ලා වගකීමෙන් හැසිරෙන මාධ්‍ය ජාලයක් වන ශ්‍රී ටී වී මීට පෙර ද අවස්ථා කිහිපයකදීම සිය ක්‍රීඩා වාර්තාකරණයේදී නිශ්මං ගේ සහය ලබා ගෙන ඇත.අන්තර්ජාලය ඔස්සේ මෙම සැටලයිට් චැනලයට සම්බන්ධ වීමට www.justin.tv/sritvlk හරහා ද අවස්ථාව සළසා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com

ගේල් ප්‍රමුඛ කොදෙව් පිතිකරුවෝ ඕස්ට්‍රේලියානු බලාපොරොත්තු සංහාරය කරති

The West Indies team dances to celebrate victory over Australiaක්‍රිස් ගේල් ඇතුළු කොදෙව් පිතිකරුවෝ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බලාපොරොත්තු සියල්ල සුන්නද්දූලි වන ප්‍රහාරයක් එල්ල කරමින් මෙවර 20 / 20 ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් එක් ඉණිමක රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් කඩුලු 4 ලකුණු 205 ක් ලබා ඕස්ට්‍රේලියාවට ලකුණු 74 ක පරාජයක් අත් කර දුන්නේය.ක්‍රිස්ගේල් පන්දු 41 දී නොදැවී ලකුණු 75 ක් ලබා ගැනීමට සමත් වූයේ කොදෙව් ඉණිමේ නියමුවා වෙමින්ය.ගේල්  හයේ පහර හයක් සහ ඩ්වේන් බ්‍රාවෝ සහ කෙරන් පොලාඩ් හයේ පහර තුන බැගින් ද එල්ල කළ අතර මාලන් සැමුවෙල්ස් හයේ පහර දෙකක් එල්ල කළේය.හයේ පහර 14 ක් සහ හතරේ පහර 13 ක් එල්ල වූ කොදෙව් ප්‍රහාරයෙන් වැඩියම බැට කෑ පන්දු යවන්නා වූයේ ෂේවියර් ඩොරතිය.ඔහු පන්දු ඕවර් 3 ක් තුළ ලකුණු 48 ක් ලබා තිබුණු අතර කොදෙව් ඉණිම නිමා වූ ඕවරයේදී ඩොරතිට එරෙහිව ලකුණු 25 ක් රැස් විණ.
පිලිතුරු ඉණිමට පිවිසි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරගාවලිය පුරාම ලකුණු අතර සිටි වොට්සන් මෙන්ම ඔහු සමග හොද ආරම්භක සබදතාවයක් පැවත් වූ ඩේවිඩ් වර්නර් ද ලකුණු 205 පීඩනයෙන් ඇති කර ගත් තැති ගැන්මෙන් අඩු ලකුණු ගණනකට දැවී ගියේය.නමුත් නායක ජෝජ් බේලි පන්දු 29 ක ට ලකුණු 63 ක් ලබා ගත්තේය.එහෙත් ඔහුට සහයට කිසිවෙකු නොවුණු බැවින් ඕස්ට්‍රේලියා ඉණිම ලකුනු 131 ට සීමා විය.
ඒ අනුව දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස් කරමින් ප්‍රතිවාදීන්ට විශාල ලකුණු ගණනකින් පරාජය අත් කළ කොදෙව් කණ්ඩායම ලකුණු 139 ක් වැනි ලකුණු ගණනකින් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ලත් ශ්‍රී ලංකාව සමග අවසාන තරගයට මුහුණ දීමට නියමිතය.ඒ අනුව අවසාන තරගයේදී කොදෙව් පිතිකරණ ප්‍රචණ්ඩත්වයට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපක්‍රමශීළී පන්දු යැවීමේ සටන ක්‍රියාත්මක වන්නේ කොස්දැයි යන්න නරඹන්නන්ගේ ආනන්දයට හේතු වනවා නිසැකය.
කොදෙව් , ඕස්ට්‍රේලියා තරගයේ ලකුණු විස්තරයා පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533297.html

www.supirikrida.com


ක්‍රිකට් මුල් අයිතිකාරයෝ කම්බායෙන් විලි වසා ගනිති


එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ක්‍රිකට් මුල් අයිතිකාරයෝ වුව ද,මෙවර 20 /20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයට පිවිසෙන්නට එම කන්ඩායම්  දෙකෙන් එකකටවත් අවස්ථාවක් නොලැබිණි.නමුත් සිය ඓතිහාසික පෞඩත්වය රැක ගනිමින් කාන්තා එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අද පැවත්වෙන කාන්තා 20/20 අවසාන තරගයට තරග වැදීමට නියමිතය.

Julie Hunter finished with 5 for 22
ජූලි හන්ටර් 
ලෝකයේ ක්‍රිකට් ව්‍යප්තිය සිදුවන වේගය කාන්තා ක්‍රීඩාව කෙරෙහි එතරම් බලපෑමක් ඇති නොකිරීමත් අයිසීසී ය වුව ද,කාන්තා ක්‍රිකට් අවර ගණයේ සැළකිල්ලට ලක් කිරිමත් නිසා ක්‍රීඩාවේ වර්ධනය යම් මට්ටමකින් පහත තිබෙන බව පිලිගත යුතුය.එසේම ආසියාකරයේ කාන්තාවට එහි ඇති සම්ප්‍රදායන් විසින් ඇති කරන්නට යෙදෙන බලපෑමද ගත් විට කානිතා ක්‍රීඩාවේ පිබිදීමට යම් බලපෑමක් එල්ල වීම නිසා පිරිමි ක්‍රීඩාවේ දැවැන්තයන්් වන ආසියාකරය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් තවමත් සිටින්නේ තොටිලි වැට අල්ලන තත්ත්වයකය.
 කෙසේ හෝ වර්ථමානය වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ යම් පෙරළිකාර කණ්ඩායමක් වෙමින් සීඝ්‍ර වර්ධනයක් පෙන්වමින් සිටින අතර‍ මෙවර අවසාන පූර්ව තරගයේදී ඔවුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම පහත හෙලුව ද,එය රැක ගෙන ඉදිරියට ඒමට කොදෙව් පිතිකාරිනියන්ගේ වෘත්තීය මට්ටමේ පසුගාමී තත්ත්වය තදින් බලපානු පෙණින.ජුලී හන්ටර් විසින් කොදෙව් පන්දු යවන්නියන් ලබා ගත් වාසිය එංගලන්ත පිතිකාරිනියට ලබා ගැනීමට ඉඩ නොතබා විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අතර ඇය ලකුණු 22 ට කඩුලු 5 ක් දවා ගත්තේය.තරගයේ ලකුණු සටහනට මෙම සබදතාවය හරහා පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-2012/engine/current/match/533312.html

www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට තවත් පරාජයක්

තායිලන්තයේ පැවත්වෙන 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ යොවුන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසිලන්තය අතර පැවති තරගයෙන් වට 3 - 0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.තරගයේ ලකුණු තත්ත්වය ලකුණු 25 - 10 ,26 - 24 සහ 25 -18 ලෙස වාර්තා විය.
මූලික වටයේ තරග වලදී ශ්‍රී ලංකාව දක්වන ලද දස්කම් පදනම් කරගෙන දෙවන වටය ක්‍රියාත්මක වන වන විට ජී කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර ඒ අනුව ජී කාණ්ඩයේ තරග දෙකක් සදහා ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිත අතර නවසීලන්තය සමග පැවති තරගය එම කාණ්ඩයේ  ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම තරගය විය.අද දෙවන තරගය ලෙස කුවේට් කණ්ඩායම සමග තරග කිරීමට නියමිත අතර එය අපහසුවකින් තොරව ජය ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට තිබෙන බව පැහැදිළිය.
අද තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට ශ්‍රේනිගත කිරීමේ තරග සදහා සහභාගි වීමට ලැබෙනු ඇති අතර ශ්‍රී ලංකාව සිටින ජී කාණ්ඩයේ හොංකොං සහ කුවේට් කණ්ඩායම් අතර පැවති තරගය නිමාවට පත් වූයේ 25 - 3,25 - 3 සහ 25 - 5 ක් ලෙස ය.මෙම තරග වටයේ ඊ කාණ්ඩයේ තරග යටතේ තායිලන්තය 3 - 0 ක් ලෙස කසකස්තානයත්,දකුණු කොරියාව 3 - 0 ක් ලෙස ඉරානයත් පරාජයට පත් කිරීමට සමත් විය.එෆ් කාණ්ඩයේ තරග අතරින් චීනය ජපානය වට 3 - 0 ක් ලෙස පරාජය කළ අතර චීන තායිපේ කණ්ඩායම ඉන්දියාව පරාජයට පත් කළේද වට 3 - 0 ක් ලෙස ය.එච් කාණ්ඩයෙන් වියට්නාමය සහ ටර්කිමෙනිස්තානය තරග වැදි අතර එම තරගයේ ජය වට 3 - 0 ක් ලෙස වාර්තා විය.ඕස්ට්‍රේලියාව වට 3 - 1 ක් ලෙස මොංගෝලියාව පරාජයට පත් කළේය.
www.supirikrida.com

ලී-නින් වෙළද සේවා විවෘත බැඩ්මින්ටන් තරග‍ාවලිය ගල්කිස්සේදී

වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය 29 වන වරටත් මෙහෙයවන විවාත බැඩ්මින්ටන් තරගාවලිය ඔක්තෝම්බර් 24 දා සිට 28 දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදි පැවත්වීමට නියමිත ය.ශ්‍රී ලංකාවේ ලී -නින් ‍ක්‍රීඩා භාණ්ඩ බෙදාහැරීමේ එකම නියොජිතයන් ලෙස ඩී සැම්සන් සහ පුත්‍ර සමාගම මෙම තරගාවලිය සදහා ලී -නින් වෙළද නාමය යටතේ අනුග්‍රහය දැක්වීම නිසා ජගත් කෙළිබිමේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ භාවිතා වන ඉහළම ක්‍රීඩා භාණ්ඩ නාමයක අනුග්‍රහයක් මෙම තරගාවලියට එකතු වී ඇත.
                                විවෘත තරගාවලිය කාන්තා සහ පිරිමි අංශයේ කේවල සහ යුගල තරග ලෙසත් මිශ්‍ර යුගල තරග ලෙසත් පැවත්වෙන අතර ජ්‍යේෂ්ඨ අංශයේ පිරිමි කේවල සහ යුගල තරග වයස 40 න් ඉහළ තරග ලෙස ක්‍රියාත්මක වන අතර එම කාන්තා කේවල සහ යුගල තරගවල දී  වයස් සීමාව අවුරුදු 35 න් ඉහළ ලෙස දක්වා ඇත.
ප්‍රවීන පිරිමි කේවල සහ යුගල තරග ක්‍රියාත්මක වන්නේ අවුරුදු 50 න් ඉහළ තරග ලෙසයි.
මෙම තරගාවලිය සදහා අයදුම්පත් ඔක්තෝමබර් 12 දා ට ප්‍රථම ලේකම්,වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය,ජයලත් ගොඩනැගිල්ල,අංක 65/1,දෙවන මහළ,නාවල පාර,නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතුය.තරගාවලිය සම්බන්ධ වැඩි තොරතුරු වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති රොෂාන් ප්‍රනාන්දු (දුරකථන අංකය -0772 442432) වෙතින් හෝ ලේකම් මෝදිත ජයසේකර දු (දුරකථන අංකය -0714 900631)  වෙතින් දැන ගැනීමට හැකි අතර වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ නිල වෙබ් අඩවියෙන්ද (http://www.mercantilebadminton.lk/) ලබා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com

Oct 5, 2012

කුසලානයට තට්ටු කරන්නට ලංකාවට තව පොඩ්ඩයි

Sri Lankan fans celebrate their team's victoryමෙවර 20 / 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වයේ අභිමානය සමග ලෝක කුසලානය දිනා ගැනීමේ අභිමානය ද මුස් කිරීමට හ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දරණ වෑයමේ උච්ච පලය වෙත තවත් පියවරකින් ළගා වන්නට අවසන් පූර්ව තරගයෙන් අති විශිෂ්ඨ ජයක් ලැබූ ශ්‍රී ලංකාවට හැකි විය.තරගයට පෙර සිටම ක්‍රීඩා විචාරකයන් පැවසූ පරිදි තීරනාත්මක කාසියේවාසිය දිනා ගැනිමට මහේල ජයවර්ධන සමත් වීමත් සමග එම තණතීරුවේ ගත හැකිව තිබූ හොදම තීරණය වූ පන්දුවට පහරදිම සදහා තීරණය කළේය.
ආරම්භක පිතිකරුවන් ලෙස ඩිල්ෂාන් සහ මහේල මේ තරගයේදී ද සිය වගකීම ඉටු කළ අතර 11 වන පන්දු ඕවරයේ ලකුණු 63 ක් ව තිබිය දී පළමු කඩුල්ල ලෙස මහේල දැවී ගියේය.ඩිල්ෂාන් පන්දුවට පහර දීමේ අසීරුතා සහිත එම තණතිල්ලේ නැංගුරම් ලා ගනිමින් සෙසු පිතිකරුවන් ට ප්‍රහාරාත්මක වීමට අවශ්‍යය පසුබිම සකස් කරමින් කඩුල්ල රැක ගත් අතර ඔහු 18 වන ඕවරයේ දී ලකුණු 35 ට දැවී යාමෙන් ලකුණ 150 සීමාව පිළිබදව දුටු සිහිනය බොද වී යන්නට පටන් ගත්තේය.නමුත් ඩිල්ෂාන් ගේ කඩුල්ල රැක ගැනීම නිසා පන්දු ඕවර 20 තුළ කඩුලු 4 ක් පමණක් අහිමි කර ගැනීමෙන් සීමා වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 139 ක් ලබා ගත්තේය.
තණතීරුවේ හැසිරීම සමග එම ලකුණු 139 ආරක්ෂා කර ගැනීමට හැකි ශක්තියක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණ ද,කිසිවෙකුට පන්දු යැවීමෙන් හෝ රැකීමෙන් තර්ජනයක් එල්ල කිරීමට ඉඩක් නැති තරමට පකිස්තානු කණ්ඩායම ද ශක්තිමත් පිතිකරණ නාමාවලියකින්  යුතු බැවින් තරගය විවාත ස්වභාවයක් ගෙන තිබිණ.නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් වගකීම ඉටු කිරීම තුළ ත් නිසි පරිදි ඔවුන් ව මෙහෙයවීමෙන් මහේල ජයවර්ධන දැක් වූ අති විශිෂ්ඨ නායකත්වයක් මත ශ්‍රී ලංකාවට ජය ගැනිම අපහසු නොවිණ.විශේෂයෙන් පන්අවසාන දු රැකීමේදී ලසිත් මාලිංග හැරෙන්නට අන් සියළු පන්දු රකින්නන් සිය වගකීම උපරිමයෙන් ඉටු කිරීම අවසාන තරගයට පා තබන ශ්‍රී ලංකාවට විශාල ආශිර්වාදයක් මෙන්ම සැනසිල්ලක් ද වනු නිසැකය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533296.html යන සබදතාවය ඔස්සේ තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසිය හැකිය.
www.supirikrida.com

පාසල් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් තාරුණ්‍යයට හෙටක් සත්කාර කරයි

මේ රටේ පසුගිය දිනවල පැවති ජාත්‍යන්තර ක්‍රීඩා  ඉසව් වලට මැදිහත් වීමෙන් ලංකාවේ ක්‍රීඩාවන් කෙරෙහි ආධාර අනුග්‍රහ දක්වන ආයතන යම් මූල්‍යමය ගැටළුක සිටිය දී ඒ තත්ත්වය විශාල වශයෙන් අවම කොට නාමල් රාජපක්ෂ මංත්‍රීවරයා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානය මෙවර සමස්ත ලංකා ක්‍රීඩා උළෙ පැවත්වීම සදහා ලබා දෙන අනුග්‍රහය ඉතා ඉහළින් අගය කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.උදෑසන  කිරි වීදුරුවේ සිට ප්‍රවාහන කටයුතු වල ට ආදිය තාරුණ්‍යයට හෙටක් සංවිධනය දක්වන සහයෝගය ඉතා ඉහළින් අගය කළේය.
කොළම සිට මාතරට විශේෂ දුම්රිය සේවයකින් පිවිසෙන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්  මාතර නගරයේ සිට බෙලිඅත්ත ඩිඒ රාජපක්ෂ ක්‍රීඩාංගණය ආසන්නයේ සකසා ඇති නවා තැන් පොළවල් වෙත ගෙන යාමට අවශ්‍යය ප්‍රවාහන පහසුකම් සැළසීම ද තාරුණ්‍යයට හෙටක් සංවිධානය මගින් සිදු කර තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එසේම තරගාවලිය පැවත්වෙන අතර තුර ලැබෙන විවේකයන් හී,සුරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය,හම්බන්තොට වරාය,මත්තල ගුවන් තොටුපළ ආදිය නරඹිම සදහා පාසල් සිසුන්ට සහ ඔවුන් කැටුව එන ගුරුවරුන්ට නොමිළේ ප්‍රවාහන පහසුකම් සැළසීම ද තාරුණ්‍යය හෙටක් සංවිධානය භාර ගෙන ඇත.
තරගාවලියේ තොරතුරු සජීළුීව වාර්තා කිරීමට සීඑස්එන් රූපවාහිණිය ඉදිරිපත් වී තිබීම නිසා උතුරු නැගෙනහිර ආදී ප්‍රදේශවල සිට ලංකාවේ බොහෝ දුර බැහැර ප්‍රදෙශවල සිටින පිරිසටද,සිය දුවා දරුවන්,සහෝදර සහෝදරියන් ජාතික මට්ටමෙන් තරග වැදීමට තරමට දැක් වූ කුසලතාවයන් නිවසේ සිට නැරඹිමට අවස්ථාව හිමි විමද සමස්ත ලංකා පාසල් තරග උළෙල ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ අත්දැකීමක් වනු ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා,සෙසු මාධය ආයතන ද හැකි පමණින් මේ සදහා දායකත්වය සපයනු ඇති බවට තමා විශවාස කරන බව ද කීවේය.
www.supirikrida.com

තර්ස්ටන් ක්‍රිකට් නව නිල මඩුල්ල පත් වේ

ර්ස්ටන් විද්‍යාලයේ 2012 / 2013 වසර සදහා ක්‍රිකට් කමිටුවේ නව නිල මඩුල්ල පත් වීම එහි වාර්ෂික මහා සභාවේදී තීරණය වූ අතර එහිදී එම කමිටුවේ සභාපතිවරයා ලෙස වසන්ත වර්ණසූරිය තේරී පත් වී ඇත.ලේකම් වරයා ලෙස පත් වූයේ ගෙවුණු ජගත් නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අනු සූරතාවය දිනා ගැනීම සදහා නායකත්වය ලබා දුන් නිතිඥ මාලික ගුණසේකරයි.
කමිටුවේ භාණ්ඩාගාරික ධුරයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හේමන්ත බොතේජු තේරී පත් වූ අතර උප සභාපති ධූරයකට ප්‍රවීන පුහුණුකරුවෙක් වූ ජයලත් අපොන්සු ද තේරීපත් විය.එසේම උප සභාපතිවරයෙකු ලෙස ආධාර එක් කිරීමේ කාර්යය පැවරුණේ ශ්‍රී ලංකා -කැනඩා වෙළද කවුන්සිලයේ සභාපති සම්පත් ලියනගේ තේරී පත් විය.
මෙහි විධායක කමිටුවට පත් වූ සෙසු සාමාජිකයන් අතරට උප ලේකම් ලෙස රොෂාන් බුරාන් ද,උප භාණ්ඩාගාරික අමිල මායාදුන්නද එක් වූ අතර ඒ අතරට එක් වූ සෙසු පිරිස වූයේ අෂෝක වෙදගේ,රෝහිත ප්‍රියන්ත,එම්එස්අයි පීරිස්,රෝහිත ජයසිංහ,රෝයි ප්‍රනාන්දු,ධම්මික විජේසේකර,ලක්මාල් අලුත්ගමගේ,ලලිත් නානායක්කාර,නදීෂ් ප්‍රනාන්දු,නිශාන්ත පෙරේරා,නාලක ද සිල්වා,තිස්ස සල්ගාදු,චන්න සිල්වා,ශානක සිරිපාල,චමින්ද ජයසිංහ,අතුල අකරවිට,ලිෂාන් අමරසේකර සහ අසංක පීරිස් එක් වෙති.
www.supirikrida.com

Oct 4, 2012

පාසල් බැඩ්මින්ටන් ගැන හොයා බලන්න -අධ්‍යාපන ඇමති

මේ මොහොතේ ක්‍රියාත්මක වන කණිෂ්ඨ පාසල් බැඩ්මින්ටන් තරගාවලිය අක්‍රමිකතාවලින් පිරුණු  එකක් බව සුපිරි ක්‍රීඩා විසින් පෙන්වා දීමෙන් අනතුරුව,අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන එම කරුණු පිළිබදව සොයා බලන ලෙස ශාරිරික අධයාපන සහ ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට එසැනින්ම නියෝග කළේය.සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පිළිබදව පැවති මාධ්‍ය හමුවේදී මෙම කරුණු හෙළිදරව්ව සිදු වූ අතර ක්‍රීඩා අධයක්ෂවරයා ප්‍රකාශ කළේ තමන්ටද ඒ සම්බන්ධයෙන් පැමිණිළි ලැබී ඇති බවය.නමුත් කිසිවෙක් ලිඛිතව කරුණු ඉදිරිපත් නොකිරීමෙන් පරීක්ෂණ කළ නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙහිදි අමාත්‍යවරයා ලේකම් ගෝඨභය ජයරත්නයන්ට සහ අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේ මාධ්‍ය වාර්තා සහ ලැබෙන තොරතුරු මත පරීක්ෂණ අරඹන ලෙස ය.මෙහිදී කණිෂ්ඨ සංචාරයකට ජාතික සංගමයේ උප සභාපතිවරයෙකුගේ ආවතේව කරුවෙකු කළමණාකරු ලෙස යැවීම පිළිබදවද ජනමාධ්‍යවේදීන් කරුණු දැක් වූ අතර එහිදී අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ එය තමන් ගේ නිර්දේශ නොසළකා කටයුතු කිරීමක් ලෙසය.ජාතික සම්මේලනයේ අවිධිමත් ක්‍රියා පටිපාටිය රකින රූකඩයක් බවට පාසල් සංගමය පත්ව තිබෙන බවට කළ චෝදනා සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා තව දුරටත් කරුණු පැහැදිළි කිරිමක් කරමින් ආසියානු සම්මේලනයේ කණිෂ්ඨ තරග සදහා ලංකාවට සහභාගි විය නොහැකි අවදානමක් තිබෙන බව මාධ්‍යයට හෙළි කළ අතර එය ජාතික සංගමය කරන ලද වගකීමක් පාසල් සංගමය මත පැටවීමෙන් සිදු වූවක් බව ද අනාවරණය කළ අතර ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ලේකම්වරයාගෙන් උපදෙස් ලබා ගැනීම පිණිස ලිපියක් සකස් කර ඇති බවද,අධ්‍යක්ෂවරයා පැහැදිළි කළේය.
පැවත්වෙන කනිෂ්ඨ තරගාවලියේ කිසිම කලාප සංවිධායකවරයෙකු තරග කාල සටහන සෑදීමට එක් කර ගෙන නැති වීම පිලිබදව තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් මේ නිසා විශාල නිතරග ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තාවී තිබීම,නිසි පරිදි සංනිවේදනය නොවීම නිසා උතුරු නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික් ගණනාවකින් ක්‍රීඩකයන් විශාල වශයෙන් තරගාවලියට සහභාගි නොවීමත් පිළිබදව අධ්‍යක්ෂවරයාටද තොරතුරු ලැබී තිබෙන බව ඔහු පිළිගත්තේය.ඒ සමගම ගම්පහ ප්‍රදේශයේ යම් අයෙකු විසින් විදේශ සංචාර සදහා ළමුන් සහභාගි කරවීමත්,ඒ ළමුන්ට කලාප තරග වලට සහභාගි නොවී මෙම තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබා දීමත් පිළිබදවද එම සාකච්ඡාව පැවත්වෙන විටත් අධ්‍යක්ෂවරයාට පැමිණිලි ලැබී තිබිණ.
නිසි පරිදි තරග කාල සටහන ඉදිරිපත් නොකිරීම සහ එය ප්‍රමාදව ඉදිරිපත් ජාතික සම්මේලයේ නිල වෙබ් අඩවියට ඇතුලත් කිරීම සහ තරග පැවත්වෙන විට එහි ඇති අපිළිවෙල සම්බන්ධයෙන් නැගුණු චෝදනා මතත්,ඇතැම් අයගේ ඕනෑ එපා කම් මතත් නැවත තරග සටහන වෙනස්වීම ගැන ද මාධ්‍යවේදීන් කරුණු ඉදිරිපත් කරන විටත් අධ්‍යක්ෂවරයාද දැනුවත්ව තිබිණි.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා සුපිරික්‍රීඩා වෙත ඒ පිළිබදව සොයා බැලීමට බැඩ්මින්ටන් සංගමයේ ලේකම් වරයා මෙන්ම තරග ලේකම්වරියද සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් ප්‍රමාණය සිය දුරකථනයේ ඇති ඇමතුම් ප්‍රමාණයෙන්ම පෙන්වා දුන් අතර එහිදී ඔවුන් දුරකථන ක්‍රියා විරහිත කර හෝ ඇමතීමට සම්බන්ධ නොවන බව ද පෙන්වා දුන්නේය. ඇති වී තිබෙන බරපතළ තත්ත්වය  පාසල් බැඩ්මින්ටන් සංගමය විසුරුවා දැමීමට තරම් බලවත් වෙමින් තිබෙන බව ද ක්‍රීඩා  අධ්‍යක්ෂවරයා පැහැදිළිව ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්නයන් ද තමන් ද මේ ඇති වී තිබෙන තත්ත්වය සොයා බැලීමට සූදානමින් සිටින බව පැහැදිළි කළ අතර තොරතුරු ලබා දෙන ලෙස ජනමාධ‍්‍යයෙන් ද විශේෂ ඉල්ලීමක් කළේය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාසල් සිසුන් ප්‍රමුඛස්ථානයේ රදවා කටයුතු කළ යුතු බවත් එසේ නොකරන අවස්ථාවන් වලදී තරාතිරම නොබලා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිය අමාත්‍යංශය නොපැකිළිව ඉදිරිපත් වන බවද පැහැදිළි කළේය.
www.supirikrida.com

පැරදුනත් ලක් ක්‍රීඩිකාවන්ගෙන් ප්‍රගතියක්

මේ දිනවල තායිලන්තයේ ක්‍රියාත්මක 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ වොලිබෝල් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ ප්‍රබල හොංකොං කණ්ඩායම ඉදිරියේ පරාජය වුව ද එහි දී ක්‍රීඩා රටාවේ විශාල වර්ධනයක් පෙන්වීමට සමත් වී ඇත.ශ්‍රී ලංකාව මූලික වටය නියෝජනය කරන සී කාණ්ඩයට ඇතුළත්ව සිටින ආසියාවේ අංක දෙක කණ්ඩායම වන දකුණු කොරියාවට ද විශාල තර්ජනයක් එල්ල කළ හොංකොං ඉදිරියේ පරාජය වුව ද ලකුණු තත්ත්වය 22 -25,24 -26 සහ 22 -25 ලෙස තබා ගෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාව සමත් වීම කැපී පෙණින.
මේ අතර කසකස්තානය සහ දකුණු කොරියාව අතර පැවති තරගය ද වට 3-0 ක් ලෙස දකුණු කොරියාවට ජය හිමි වෙමින් නිමා වූ අතර එහි ලකුණු තත්ත්වය 25 -17,25 -12 සහ 25 -17 ක් විය.තරගාවලියේ තෙවන දිනය වූ ඊයේ (03) විශාලතම පෙරළිය සිදු කළ චීන තායිපේ කණ්ඩායම ජපන් කණිටු ක්‍රීඩිකාවන් වට 3-2 ක් ලෙස පරාජය කළේ ලකුණු 27 - 29,25 -19,18 -25,25 -21 සහ 15-8 ක් ලෙස ලකණු සටහන ප්‍රදර්ශනය කරමින්ය.ඩී කාණ්ඩයෙන් පැවති එම තරගයෙන් අනතුරුව එම කාණ්ඩයේ ඉතිරි තරගය ලෙස ක්‍රියාවට නැගුණු ටර්කිමෙස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් වට 3 - 0 ක ජයක් නවසීල්නතයට හිමි විය.
ඒ කාණ්ඩයෙන් තරග බිමට පිවිසි නවසීලන්තය ඉරානය ඉදිරියේ වට 3 - 0 ක පරාජයක් ලැබූ අතර එම කාන්ඩයේ තායිලන්තය සහ කුවේට් අතර පැවති තරගයෙන් මේ දක්වා තරගාවලියේ වැඩිම ලකුණු පරතරයකින් වාර්තා වූ ජය හිමි කර ගන්නට වට 3 - 0 ක ජයක් ලැබූ සත්කාරක තායිලන්තය සමත් විය.බී කාණ්ඩයේ දී චීනය ඉන්දියාව වට 3 - 0 කින් පරාජය කළ අතර මොංගෝලියාව වට 3- 1 ක් ලෙස වියට්නාමයට පරාජය විය.
පළමු වටයේ තරග ප්‍රතිපල අනුව දෙවන වටයේදී තවත් කාණ්ඩ හතරකට කණ්ඩායම් වෙන් කොට තරග පැවත්වීමට නියමිත අතර එහි දී ජී කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත ශ්‍රී ලංකාව ඔක්තෝම්බර් 5 දා සිය පළමු තරගයට නවසීලන්තයට එරෙහිව මුහුණ දීමට නියමිතය.
www.supirikrida.com

Oct 3, 2012

මෙවර 20/20 අපරාජිතයන්ගෙන් තොර තරගාවලියක් බවට පත් වෙති

MS Dhoni leads his side from the field having won the game but been knocked out
ගෙදර යන්න තීරණය වුණු ඉන්දියාව
කිස්තානු පන්දු යවන්නන් විසින් යටත් කර ගන්නා ලද ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පකිස්තානයට ලකුණු 32 ක ජයක් ලබා දෙමින් ලකුණු 117 ට සීමා වීමත් සමග මෙවර තරගාවලිය අපරාජිතයන්ගෙන් තොර තරගාවලියක් බවට පත් විය.පළමුව පන්දුවට පහර දුන් පකිස්තානය ලකුණු 149 ක් ලැබූ අතර එයට පිළිතුරු දීමට පැමිණි ඕස්ට්‍රේලියාව පකිස්තානු දග පන්දුව ඉදිරියේ දිගින් දිගටම අසරණ වෙද්දී වේග පන්දු යවන උමාර් ගුල් ගේ සහය පමණක් පන්දු ඕවර් දෙකකට ලබා ගනිමින් නායක මොහොමඩ් හෆීස් කළ මෙහෙයවීම සාර්ථක කරමින් ඕස්ට්‍රේලියාව ලකුණු 117 ට සීමා විය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ මෙතෙක් ලද එකම පරාජය උරුම කර දුන් දකුණු අප්‍රිකාව එම පන්දු වාර 7 ජයෙන් පසුව ජයග්‍රහණයක් නොමැතිවම ඊයේ තරගාවලියෙන් ඉවතට වීසි විය.ඒ තනිවම නොව ඉන්දියාවට ද එම ඉරණම අත් කර දෙමින්ය.එක ලකුණකින් ඉන්දියාව ජය ගත් එම තරගයේ දී දකුණු අප්‍රිකාව ඉන්දියාව ලබා ගත් ලකුණු 152 ට පිලිතුරු වශයෙන් ලකුණු 151 ක් ලබා ගැනීම නිසා,ලකුණු ලබා ගැනීමේ වේගය මත අවසාන පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව පකිස්තානයට ලබා දී තරගයෙන් ඉවත් වී යන්නට ඉන්දියාවට සිදු විය.
පකිස්තානය සහ  ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයේදී කාසියේ වාසිය ලද ඕස්ට්‍රේලියාව පළමුවට පන්දුවට පහර දීමට පකිස්තානයට ආරාධනා කළේය.එහිදී නසීර් ජම්ෂෙඩ් ලබා ගත් ලකුණු 55 සහ ඔහුට අනගි සහයක් දෙමින් කම්රාන් අක්මාල් නසීර් සමග එක්ව තෙවන කඩුල්ලට එක් කළ ලකුණු 79 ක සබදතායත් නිසා පකිස්තානයට පන්දු ඕවර් 20 තුළ ලකුණු 149 ක් ලබා ගැනීමට හැකිවිය.පිතිකරණ බල ඇණියට අතිරේක ශක්තියක් ලබා දීම පිණිස කණ්ඩායමට කැදවන ලද අබ්දූල් රසාක් ද ලකුණු 22 ක් ලබමින් පකිස්තාන ලකුණු පූවරුව සවිමත් කළ අතර පකිස්තානයට එරෙහිව කැපී පෙණුනු පන්දු යවන්නා වූ මිචෙල් ස්ට්‍රැක් ලකුණු 20 ට කඩුලු 3 ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉණිමට පන්දුවට පහර දීමට පැමිණි ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු යැවීම ඇරඹු රාසා හසන් සහ මොහොමඩ් හෆීස් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරගාවලිය පුරාම ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා දුන් ෂේන් වොට්සන් සහ ඩේවිඩ් වර්නර් අසරණ කරන්නට තරම් ප්‍රබල විය.වොට්සන් ගේ ප්‍රචණ්ඩත්වයට  මෙන්ම වර්නර් ගේ ප්‍රචණ්ඩත්වයට ද ලකුණු 8 බැගින් ලබා නවතින්නට සිදු වූ අතර අනෙකුත් පිතිකරුවන්ගේ ඉරණම ද එබදු විය.මයික් හසී පමණක් හුදෙකලා සටනක නිරත වෙමින් ලකුණු 54 ක් ලැබූ අතර ලකුණු ලබා ගැනීමට එරෙහිව ඕස්ට්‍රේලියාවට ප්‍රබලම පීඩනය එල්ල කළ පන්දු යවන්නා වූ රාසා හසන් ලකුණු 14 ට කඩුලු 2 ක් ලබමින් තරගයේ වීරයා විය.රාසා විසින් මුල් බුරුල් කර ඕස්ට්‍රේලියානු පිතිකරු බල ඇණියේ අතු රිකිලි ඩැහැ ගත් සහීඩ් අජ්මාල් ලකුණු 17 ට කඩුලු 3 ක් දවා ගත්තේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසීමට පහත සබදතාවය තෙරපා පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533294.html

පකිස්තානය විසින් ඕස්ට්‍රේලියාව පරාජය කිරීම නිසා ඉන්දියාව දකුණු අප්‍රිකාවට එරෙහි තරගයට පිවිසියේම  විශාල පීඩනයක් සහිතවය.ජයග්‍රහණය පමණක් නොව ජයග්‍රහණයට අවශ්‍යය නිශ්චිත හැඩයක්ද එහි තිබුණු බැවින් එම හැඩයෙන් තොර ජයක අවසාන ප්‍රතිපලය වන්නේ ඉන්දියාවට තරගාවලියෙන් ඉවත්වීම පමණක් යන්න තරගයට පෙර සිටම එහි ලියැවී තිබිණ.ඒ පීඩනය දර ගෙන විශාල ලකුණු ප්‍රමාණයකට පිවිසීමේ සිහිනයෙන් පිටියට පිවිසි ඉන්දියාව වෙනුවෙන් අවසාන මොහොතේ නායක දෝනි (නොදැවී 23) සහ සුරේෂ් රයිනා (නොදැවී 45) දියත් කළ වේගවත් ප්‍රහාරය නොවන්නට ඉන්දීය ලකුණු පූවරුව ඉතා අඩු ලකුණු ගණනකට සීමා වන්නට තිබුණු අතර අවසාන මොහොතේ ඇති වූ එම සබදතාවය නිසා ඉන්දීය ලකුණු පූවරුව ලකුණු 151 ක් දක්වා දිගු විණි.
එම ලකුණු ප්‍රමාණය නොදී සිටීමට වඩා ජයග්‍රහණයේ නියම ප්‍රතිපලය විද අවසාන පූර්ව වටයට පිවිසීමට අවශ්‍යය ලකුණු මට්ටමේ දකුණු අප්‍රිකාව රදවා ගැනීම ඉන්දියාවේ උත්සාහය වුව ද ෆැ‍ෆ් ඩු ප්ලෙසිස්  එල්ල කළ ප්‍රචණ්ඩ ප්‍රහාරය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ පීඩනය හඹා යාමේ අවදානම සහ පීඩනය අඩු විය.අවසාන පූර්ව වටයට පිවිසීමේ මාර්ග බාධක ලකුණ ලකුණු පූවරුවේ සටහන් වීමත් සමග ඉන්දියානු ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු ගේ ඇස් කදුළින් බර වුව ද,අවසානයේ ජයග්‍රහණය ඒ වෙනුවෙන් පූජා කිරීමට ඉන්දීය ක්‍රීඩකයන් සූදානම් නැති බව පෙන්වමින් තරගයට අවතීර්න විය.
ලකුණු පිපාසිත දකුණු අප්‍රිකානු පිතිකරුවන් වැරදි ප්‍රහාරයන්ට පොළඹවන සුළු පන්දු යැවීමක නිරත වූ ඉන්දීය පන්දු යවන්නෝ තමන් ලබා ගත් ලකුණ ප්‍රමාණයට එක් ලකුණක් පිටු පසින් සිටියදී සියල්ලෝම දවා ගැනීමට සමත් වූහ.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533295.html  සබදතාවය යොදා ගෙන සමස්ත තරගයේ ලකුණු විස්තරය ලබා ගැවීමට හැකිය.
මෙම තරග ද්විත්වයේ ප්‍රතිපලත් සමග මෙවර අවසාන පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතචර තීරණය වූ අතර ඒ අනුව අවසාන පූර්ව තරග අරඹමින් ශ්‍රී ලංකාව ,පකිස්තානයට එරෙහිව 4 දා තරග බිමට පිවිසෙන අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වදින්නේ ඉටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමය.එම තරගය 5 දා පැවත්වීමට නියමිතය.
www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කසකස්තානයට එරෙහිව තරග වටයක් ජය ගනිති

තායිලන්තයේ ක්‍රියාත්මක 16 වන කණිෂ්ඨ ආසියාතික කාන්තා වොලිබෝල් තරගාවලියේ සිය දෙවන තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්තානය ඉදිරියේ පරාජය වුව ද එක් තරග වටයක ජයක් ලබන්නට සමත් විය.ප්‍රතිපලය  3- 1 ක් වූ මෙම තරගයේදී කසකස්තානය ප්‍රථම දෙවන සහ සිව්වන වට වලදී පිළිවෙලින් 25 - 11,25 - 19 සහ 25 - 17 ක් ලෙස ජය ගත් අතර ශ්‍රී ලංකාව තෙවන වටයේදී ලකුණු 28 - 26 ට කතකස්තානය පරාජය කළේය.
ශ්‍රී ලංකාව තරග වදින කාණ්ඩයේ ක්‍රීඩා කරන හොංකොං කණ්ඩායම ප්‍රබල කොරියාවට තර්ජනයක් වෙමින් තරග වටයක් ජය ගැනීම හොංකොං සහ දකුණු කොරියාව අතර තරගයේදී දකින්නට ලැබුණු අතර එහිදී කොරියාව එම තරගය ජය ගත්තේ ලකුණු 25 -12, 25 -14, 23 -25 සහ 25 - 17 ක් ලෙසය.
ඒ කාණ්ඩයේ තරග වල දී ඉරානය,කුවේට් කණ්ඩායමට එරෙහිව තරග වට 3 - 0 ක පහසු ජයක් වාර්තා  කළ අතර නවසීලන්තය,තායිලන්තය ඉදිරියේ පරාජය වූවේ ද තරග වට 3- 0 ක් ලෙස ය.බී කාණ්ඩයේ තරග වල දී ඉන්දියාව,මොංගෝලියාව පරදවා වට 3- 1 ක ජයක් අත් කර ගත් අතර,චීනය , වියට්නාමයට එරෙහිව වට 3- 0 ක ජයක් ලැබීය.ඩී කාණ්ඩයේ තරග වලදී ජපානය,ටර්කිමෙනිස්තානය පරාජයට පත් කළේ වට 3- 0 ක් ලෙස වන අතර ඕසට්‍රේලියාව සහ චීන තායිපේ අතර තරගයෙන් චීන තායිපේ කණ්ඩායම වට 3- 1 ක් ලෙස ජය ලබා ගත්තේය.
www.supirikrida.com

Oct 2, 2012

මාලිංගගේ වික්‍රමයෙන් එංගලන්තය අසරණ වේ

Lasith Malinga celebrates Jos Butler's wicketසිත් මාලිංග ගේ විශිෂ්ට පන්දු යැවීම (31/5)  ඉදිරියේ අසරණ වූ එංගලන්තය ශ්‍රී ලං කාවට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 19 කින් පරාජයක් ලැබීය.පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව තම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 169 ක් ලැබූ අතර එහි විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් සියළු දෙනාම පාහේ ලකුණු අතරට පිවිසීමය.නොදැවී ලකුණක් ලබා ගත් නුවන් කුලසේකර හැරෙන්නට සියළුම පිතිකරුවන් සිය පහරදීමේ වේගය සියය ඉක්මවූ සාමාන්‍යයක රදවා ගැනීමට සමත් වු අතර අවසාන තරගයට පිවිසීමට පෙර මේ අකාරයෙන් ප්‍රහාරක වේගය පවත්වා ගෙන යාම විශාල ශක්තියක් වනු නො'අනුමානය.එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් නායක ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 32 ට කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය.
පිලිතුරු ඉණිමට පිවිසි එංගලන්තය සාර්ථක පිලිතුරක් සදහා සූදානම් වන බවක් පෙනෙන්නට තිබුණද සිය පළමු ඕවරයේදී ම කඩුලු තුනක් දවා ගත් ලසිත් මාලිංග තරගය ශ්‍රී ලංකාව දෙසට හැරවීමට සමත් විය.ඔහුට අනගි සහයක් ලබා දුන් අකිල ධනංජය පෙරේරා සිය පන්දු වාර 4 ලකුණු 26 ට කඩුලු 2 ක් ලෙස නිම කිරීමට සමත් වූ අතර මෙම තරගාවලිය තුළ ශ්‍රීලංකාව වෙනුවෙන් ලෝක වාර්තාවක් ද සමග කැපී පෙනෙන දස්කම් දක්වන අජන්ත මෙණ්ඩිස් ඊයේ දිනය තුළ නිසි ඉලක්කයට පන්දුව යොමු කිරීමට අසමත් වීමෙන් සිය පන්දු ඕවර් 4 තුළ එංගලන්තයට ලකුණු 40 ක් ලබා දීම ගැටළුකාරී තත්ත්වයක් උදා කළේය.එංගලන්තය වෙනුවෙන් හුදෙකලා සටනක නියැලි සමිත් පටෙල් ලකුණු 67 ක් ලැබුව ද,ඔහු ද මාලිංග ගේ පන්දුවක ගොදුරක් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට අපහසුවකින් තොරව ජයග්‍රහණයට පිවිසීමට අවශ්‍යය පසුබිම සැකසිණ.
පහත සබදතාවය තෙරපීමෙන් තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසීමට හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533293.html
දෙවන වරටද සුපිරි ඕවරය නවසීලන්තයේ පරාජයක් බවට පත් කළ ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් සුපිරි ඔවරයෙන් ලකුණු 18 ක් රැස් කිරිමේ අභියෝගය පන්දු පහක් තුළ සාර්ථක කර ගන්නට සමත් විය.තරගයේ නියමිත පන්දුවාර 20 තුළ දෙපිළම ලකුණු 139 බැගින් ලැබූ නිසා සුපිරි පන්දු ඕවරයට පිවිසෙන්නට සිදු වූ අතර එහිදී ගේල් ගේ සහ සැමුවෙල් ගේ සුපිරි පිතිකරණය මෙන්ම ටිම් සවුති ගේ ඉලක්කයකින් සහ නිසි අවධානයකින් තොරව පන්දු යැවීම නිසා වයිඩ් පන්දු සහ නිපන්දු යවමින් කොදෙව්වන්ට ලකුණු ප්‍රමාණය ලබා ගැනීම සදහා අතිරේක පන්දු ද ලබා දීමෙන් කොදෙව්වන්ට ඉලක්කය තවත් පහසු කර ගැනීමට හැකි විය.
ලකුණු 139 ඉලක්කය හඹා ගිය නවසීල්නතය අසරණ කළ සුනිල් නරයින් ගේ දග පන්දුව ලකුණු 20 ට කුඩුලු තුනක් දවා ගත් බැවින් නවසීලන්තය දැඩි අසරණ තත්ත්වයකට ඇද දැමීය.ඒ නිසාම තරගයේ වීරයා වීමට ද ඔහුට හැකියාව ලැබිණ.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය හරහා පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/match/533292.html
www.supirikrida.com

දකුණු කොරියාව ඉදිරියේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට පරාජය

මේ දිනවල තායිලන්තයේ ක්‍රියාත්මක 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ වොලිබෝල් තරගාවලියේ දී සී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව එහි ප්‍රථම තරගය කොරියාව ඉදිරියේ වට 3 - 0 ක් ලෙස පරාජය වූවාය.තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතරින් ආසියාවේ දෙවන තැනට ශ්‍රේණිගතව සිටින දකුණු කොරියාව සමග තරගයේ ලකුණු තත්ත්වය 25 -16 ,25 -9 ක් සහ 25 - 12 ක් ලෙස ය.ඊයේ (ඔක්තෝම්බර් 01) තරගාවලිය අරඹමින් පැවති එම කාණ්ඩයේ හොංකොං සහ කසකස්තානය අතර තරගයෙන් කසකස්තානය ජයගත් අතර එහිදී ලකුණු තත්ත්වය 25 -21, 25 -14 ක් සහ 25 - 16 ක් විය.
මේ අතර තරගාවලියේ ඒ කාණ්ඩයේ ක්‍රියාත්මක වූ තරග වලින් නවසීලන්තය තරග වට 3 - 0 ක ජයක් කුවේටයට එරෙහිව වාර්තා කළ අතර ඉරානය තරග වට 3 - 0 ක් ලෙස පරාජය කරන්නට තායිලන්තය ට හැකිවිය.බී කොටසෙන් තරග වදින ප්‍රබල චීනය මොංගෝලියාවට එරෙහිව තරග වට 3 - 0 ක ජයක් වාර්තා කළ අතර එම කාණ්ඩයේ ඉන්දියාව සහ වියට්නාමය අතර තරගයේ ජය ඉන්දියාවට හිමි වූයේ ද වට 3 - 0 ක් ලෙස ය.
කාණ්ඩ හතරක් යටතේ මූලික තරග ක්‍රියාත්මක තරගාවලියේ ඩී කාණ්ඩයෙන් තරග වදින ටර්කිමෙනිස්තානය චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ වට 3- 0 ලෙස පරාජය වූවාය. එම කාණ්ඩයේ ජපානය සහ  ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් ජපානය වට 3 - 0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ශ්‍රි ලංකාව සහ කොරියාව අතර තරගයේ වීඩියෝ දර්ශනයක් මෙම සටහන ඉහළ ඇතුළත් වේ.
www.supirikrida.com



Oct 1, 2012

ගුස්තාවෝ ප්‍රාටා සූරතාවලියේ අනු සූරතාවෙන් සෑහීමට නිලූකට සිදු වේ

ගත් බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරිම් හී වර්ථමානයේ අංක 37 පසුවන ශ්‍රී ලංකාවේ නිලුක කරුනාරත්නට බ්‍රසීලයේ පැවති ගුස්තාවෝ ප්‍රාටා අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ අනු සූරතාවයෙන් සෑහෙන්නට සිදුවිය.අවසාන තරගයේ ඔහු අතින් පරාජයට පත් වූයේ කලක් ලොව අංක 23 ස්ථානයේ සිටි සහ වර්ථමානයේ අංක 45 ස්ථානයේ රැදී සිටින ගුවාතමාලාවේ කෙවින් කෝර්ඩන් ය.එහිදී නිලූක ප්‍රථම වටය 21 - 17 ක් ලෙස ජය ගත්තද දෙවන සහ තෙවන වට පිලිවෙළින් 20 -22 ක් 19 -21 ක් ලෙස පරාජය ලබමින් කෙවින්ට සූරතාවය හිමිවනු බලා සිටීමට නිලූකට සිදු විය.
මෙ තරගාවලියේදී නිලූක ගේ සොහොයුරු දිනුක කරුණාරත්න ද තරග බිමට පිවිසි අතර ඔහු කේවල තරග අංශයේ දෙවන වටයේ තරගයකින් පරාජය විය.නමුත් පිරිමි යුගල තරග අංහයේ අවසාන පූර්ව වටය දක්වා පිවිසි සොහොයුරන් දෙපළ කලක් ලොව 12 ව ස්ථානයේ සිටි සහ වර්ථමානයේ අංක 50 ට ශ්‍රේණි ගතව සිටින මැලේසියාවේ ටීක් චායි ගන් සහ යුන් හොක් ඔන් ඉදිරියේ පරාජය ලැබීය.නිලූක තරග අංශ දෙකකින් තරග වැදීම මෙහිදී යම් වෙහෙසකාරී තත්ත්වයක් ඇති කරන්නට හේතු වූවා ට සැක නැත.එසේම ඔලිම්පික් තරගාවලියේ පසු ජගත් අවධානයේ ඉදිරි පෙළ දිනා සිටින ක්‍රීඩකයෙකු බවට පත් ව සිටින නිලූක,සිය වෘත්තීය මට්ටම පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් අතර ඉදිරි ජාත්‍යන්තර තරගවලදී ඔහු කේවල ක්‍රීඩකයෙකු ලෙස පමණක් තරග වැදීම රටට මෙන්ම ඔහුටද වැදගත් බව අපේ විශ්වාසය වන්නේය.
www.supirikrida.com

තරගාවලියේ වීරයා කිරුළට වොට්සන් තවත් පියවරක් ඉදිරියට තබයි

මේ දක්වා අපරාජිත එකම කන්ඩායම බවට පත්ව සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ජයග්‍රහණයේ පදනම බවට පත් වසිටින ෂේන් වොට්සන් ඊයේ මෙම තරගාවලිය තුළ සිව්වවන වරටත් තරගයේ වීරයා වෙමින් මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වීමට ආසන්නම ක්‍රීඩකයා බවට පත් විය.දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදි පළමුව පන්දු රැකි ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 29 ට කඩුලු 2 ක් දවා ගත් වොට්සන් ලකුණු 147 ක් ව ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 147 න් ලකුණු 70 ක්ම ලබා ගත්තේ පන්දු 47 ක් පමණක් වැය කරමින්ය.
වොට්සන් විසින් ගොඩ නැගූ පීඩනය හේතුවෙන් සුපිරි පන්දු රැකීමක යෙදෙන දකුණු අප්‍රිකානු පන්දු රකින්නන් අතින් උඩ පන්දු රූටා යන තත්ත්වයක් උද්ගත විය.ඒ නිසා ජයග්‍රහණය හඹා යාමේ පීඩනය ක්‍රමයෙන් ඕස්ට්‍රේලියාව වෙතින් දුරස් ව ඕවර් 17.4 ක් තුළ ඕස්ට්‍රේලියා ජය සම්පූර්ණ වෙද්දී දැවී ගොස් තිබුණේ කඩුලු 2 ක් පමණි.ලකුණු විස්තරය සදහා පහත සදහන් සබදතාවය තෙරපන්න.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/match/533290.html
Virat Kohli plays a shot towards the off side
මේ අතර ඉතා තියුනු මුහුණුවරක් ගැනීම සාමාන්‍ය ස්වභාවය බවට පත් ව තිබුණද,පීඩනය ගොඩ නැගීමට අවශ්‍යය පන්දු රැකීමක් නොතීමෙන් ඉන්දියාව සිතූ තරම් අපහසුවකින් තොරව පකිස්තානයට එරෙහිව කඩුලු 8ක ජයක් වාර්තා කළේය.විනසුරු තීරනවල යම් දුර්ලතාද පකිස්තානු ඉණිමේ පීඩනයට හේතු වුව ද,ලක්ස්මන් බාලජී සහ රවිචන්ද්‍රන් අස්වින් ගේ කල්පනාකාරී පන්දු මිශ්‍රණය ඉදිරියේ ලකුණු ලැබීමේ කඩුලු රැක ගැනීමේ විහාල දුෂ්කරතාවයකට මුහුණ දුන් පකිස්තානය පන්දු ඕවර් 19.4 දී සියල්ල දැවී ලබා ගත්තේ ලකුණු 128 කි.
පිළිතුරු ඉණිමේදී ගෞතම් ගාම්බීර් (0) ලකුණු පූවරුව එකක් ව තිබියදී තරගයේ දෙවන පන්දුවෙන්ම සාර්ථක ප්‍රතිපල අත් කර ගැනිමට ඉන්දියාව සමත් වුව ද,විරාට් කෝලි සහ විරෙන්ද්‍ර ෂෙවාග් එක් වීමෙන් ඉනික්බිති පකිස්තානයේ දුර්වල පන්දු රැකීමේ සහය ද ඇතිව ඉන්දීය ලකුණු පූවරුව වේගයෙන් ඉහළ යන්නට විය.යලිත් සුපිරි පිතිකරණයක නියැලි විරාට් කෝලි පන්දු 61 දී ලකුණු 78 ක් නොදැවි ලබමින් ඉන්දීය ජයග්‍රහණයේ පදනම වෙමින් තරගයේ වීරයා සම්මානයට මාවත සකසා ගත්තේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය හරහා පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/match/533291.html

www.supirikrida.com

ලක් ක්‍රීඩිකාවන් ගේ අවසාන පූර්ව සිහිනය බොද වෙයි

Amy Satterthwaite made an unbeaten 32 to steer her side homeටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පරාජය කරමින් 20/20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාර ජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ නවසීලන්තය ඉදිරියේ එම දස්කම් පවත්වා යා ගත නොහැකිව අසරණ වීමෙන් නවසීලන්තයට කඩුලු අටක ජයක් ලබා ගැනීමට හැකි විය.තරගාවලිය පුරාම පන්දු යැවීම සහ රැකීම අතින් සෙසු කණ්ඩායම් හා සම විය හැකි මට්ටමක උන්නද පිතිකරණයේදී එම පන්දු යැවීමේ දස්කම හරහා රැක ගැනීමට හැකි ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීමට අපොහොසත් වීම මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම හරහා දකින්නට ලැබුණු ප්‍රධාන දුර්වලකම විය.
නවසීලන්තයට එරහෙිව ද සිය පන්දු වාර 20 තුළ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවු‍යේ ලකුණු 89 ක් පමණි.විශාල ලකුණු ගණනක් නොලැබුවද එහිදී යළිත් වරක් ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 14 ක් ලැබූ ශෂිකලා සිරිවර්ධන සහ එම ලකුණු ප්‍රමාණයම ලැබූ ඉනෝකා ගලගෙදර හැරෙන්නට ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතරින් ඉලක්කම් දෙකේ සීමාවට පිවිසියේ ලකුණු 11 බැගින් ලැබූ චමරි අතපත්තු සහ ඩිලානි මනෝදරා පමණි.
නවසීලන්තය පිලිතුරු ඉණිම සදහා ලකුණු 90 ක් ලබා ගැනීමට වැය කළේ පන්දු ඕවර් 15.4 ක් පමණි.වැය වූ කඩුලු ප්‍රමාණය දෙකක් විය.පහත ලකුණු සටහන සදහා පිවිසීමට අවශ්‍යය සබදතාවය දැක්වේ.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-2012/engine/match/533308.html

www.supirikrida.com

Sep 30, 2012

ගේල්ට තිරිංග දැමූ ලංකාව කොදව්වන් පරදයි

කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ බිහිසුණුම පිතිකරුවා ලෙස සැළකෙන ක්‍රිස් ගේල් නුවන් කුලසේකරගේ පන්දුවක් ඉදිරියේ ලකුණු දෙකකට දැවී යාම නිසා පීඩනයට හසු වූ කොදෙව්වන් පසුව අජන්ත මෙණ්ඩිස් ගේ පන්දු යැවීම ඉදිරියේ ලකුණු සොයා ගත නොහැකිව අසරණබාවයට පත් කළ ශ්‍රී ලංකාව 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරගයෙන් කඩුලු නවයක අති විශිෂ්ඨ ජයක් වාර්තා කළේය.
Mahela Jayawardene attempts an unorthodox shotපල්ලෙකැලේ තණතිල්ලේ ස්වබාවය අනුව කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහරදීම වාසිදායක වනු ඇතැයි කල්පනා කළ ඩැරන් සාමි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ද එම තීරණය  අභියෝගයට ලක් වෙමින් ශ්‍රී ලංකා ආරම්භක පන්දු යැවීම බාර ගත් නුවන් කුලසේකර සහ ඇන්ජලෝ මැතිව්ස් කොදෙව් ප්‍රහාරය වළක්වන පවුරු සේ ක්‍රියාත්මක වන්නට වූහ.එහි ප්‍රතිපලයක් ලෙස තරගයේ පස්වන පන්දු ඕවරයේදී ජොන්සන් චාල්ස් (12) සහ හයවන ඕවරයේදී ක්‍රිස් ගේල් (2) දෙදෙනාම ක්‍රීඩාගාරයට යැවීමට සමත් වූහ.ඒ දෙදෙනාම දැවී යන විට ලකුණු පූවරුව 16 තිබුණු අතර අනතුරුව කොදෙව් ඉණිම වෙනුවෙන් ක්‍රියාත්මක වූ සාර්ථකම සම්බන්ධතාවය වූ ඩියොන් බ්‍රාවෝ (40) සහ මාලන් සැමුවෙල් (50) අතර වූ ලකුණු 65 ක සබදතාවය ගලා ආවේ අජන්ත මෙණ්ඩිස් විසින් පන්දු ඕවර් 4 ක් තුළ ලකුණු 12 ට කඩුලු 2 ක් දවා ගනිමින් ඇති කළ පීඩනය ද සමගය.ඒ නිසා ඕවර් 20 අවසානයේ කොදෙව්වන්ට කඩුළු පහක් පමණක් දැවී කඩුළු 5 ක් ඉතිරි කර ගන්නට හැකි වුව ද,ලකුණු ප්‍රමාණය 129 න් නතර වන්නට සිදු විය.
පිළිතුරු ඊණිමට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 22 ක් එක් වෙද්දී ඩිල්ෂාන් ට නැවත ක්‍රීඩාගාරයේ නවතින්නට සිදු විය.ඒ ලකුණු 13 ක් පමණක් ලබා ය.අනතුරුව මහේල සහ සංගක්කාර  එක්ව සිය පළපුරුද්දේ අත් අඩංග්වට ගත් කොදෙව් පන්දු යවන්නන්ගේ පන්දු වලින් තමන්ට රිසි සේ වැඩ ගනිමින් නොදැවුණු ලකුණු 108 ක සබදතාවයක් පවත්වමින් තරගයේ ජය ශ්‍රී ලංකාව වෙත ජය ලබා දෙද්දී ගත වී තිබුණේ පන්දු ඕවර් 15.2 ක් පමණි.එයින් ලකුණු 65 ක් පන්දු 49 දී රැස් කර ගත් මහේල ජයවර්ධන තරගයේ වීරයා වූ අතර තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපා පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533289.html

www.supirikrida.com

ස්ටබ්ස් සූරතාවය විද්‍යාරතනයට

මස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක ස්ටබ්ස් කුසලාන ජාතික පාසල් බොක්සිං තරගාවලියේ මෙවර සූරතාවය හොරණ විද්‍යාරත්නයට හිමි විය.සැප්තැම්බර් 21,22 සහ 23 යන තෙදින තුළ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේදී සූරතාවය සදහා විදයාරතනය ලකුණු 28 ක් රැස් කරද්දී ,මහනුවර විද්‍යාර්ථය ලකුණු 18 ක් ලබමින් අනු සූරතාවය දිනා ගැනීමට සමත් විය.ලකුණු 12 ක් ලැබූ පානදුර සුමංගල විද්‍යාලය තෙවන ස්ථානයට පත් විය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඒඑස් තුඩුවේවත්ත තේරී පත් වූ අතර දක්ෂතම පරාජිතයා ලෙස මහනුවර සිල්වෙස්තර් විද්‍යාලයේ කේබීඑන්ජේ පෙරේරා තේරී පත් විය.පාසල් කණ්ඩායම් 30 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 121  ක් මෙම තරගාවලිය නියෝජනය කළහ.
www.supirikrida.com

කසුනි ගේ නායකත්වයෙන් කාන්තා කණ්ඩායම තායිලන්තයට

ත්‍රිකුණාමලය මිහිදුපුර විද්‍යාලයේ කසුනි චතුරිකා ගේ නායකත්වයෙන් යුත්  ශ්‍රී ලංකා කාන්තා කණිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ වොලිබෝල් තරගාවලිය සදහා සහභාගි වීමට තායිලන්තය බලා පිටත්ව ගියා.කණ්ඩායමේ පුහුණුකරු ලෙස මාදම්ප සේනානායක ජාතික ක්‍රීඩා පාසලේ ප්‍රධාන ක්‍රීඩා උපදේශක චාල්ස් තිලකරත්න කටයුතු කරන අතර කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර වොලිබෝල් සම්මේලන සභාපති,විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වෙනවා.
රටවල් 17 ක් සහභාගි වන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සී කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර එම කොටසේ සෙසු කණ්ඩායම් ලෙස කසකස්ථානය,කොරියාව සහ හොංකොං තරග බිමට පිවිසීමට නියමිතයි.තරගාවලියේ 10 වන තරගයේදී තරග බිමට පිවිසීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ කොරියාවයි.තරගය ඔක්තෝම්බර් 1 දා පැවත්වීමට නියමිත අතර ඔක්තෝමබර් 2 දා ශ්‍රී ලංකාව සහ කසකස්තානය තරග වැදීමට නියමිතයි.ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන අවසාන තරගය හොංකොං සමග පැවත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් 3 වන දා යි.
www.supirikrida.com