Jun 22, 2013

නීතිඥයෝ පෙරටම

තෙවන කොටසේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදි පැවති තරගයකදී බෝරා ක්‍රීඩා සමාජය පරදවා කඩුලු 7 ක පහසු ජයක් අත් කර ගන්නට සමත් විය.පළමුව පන්දුවට පහර දුන් බෝරා ක්‍රීඩා සමාජය ලකුණු 120 ට සීමා කරන්නට නීතිඥ කණ්ඩායමට හැකියාව ලැබුණු අතර එහිදී බෝරා ක්‍රීඩා සමාජයට නීතිඥ කණ්ඩායමේ දග පන්දු යවන්නන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය මැඩ ලකුණු අතරට ඒමට ගත් උත්සාහයේදී බෝරා ක්‍රීඩා සමාජයේ එම් හුසෙයින් ලකුණු 39 ක් ද,එම් තාහිර් ලකුණු 25 ක් ද ලබා ගන්නට සමත් විය.
නීතිඥ කණ්ඩායම වෙනුවෙන් පිට දග පන්දු යවන තරංග අබේකෝන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු17 ට කඩුලු 4 ක් දවා ගත් අතර යොහාන් ජිනසේන ලකුණු 19 ට කඩුලු 2 ක් සහ ගිහාන් කුලරත්න ලකුණු 20  ට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙණින.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට අදාළ ඉලක්කයට සමීප වීමට පන්දු ඕවර් 19.3 ක් පමණක් වැය වූ අතර එහිදී ජයග්‍රහණය ඉක්මන් කරන ප්‍රහාරාත්මක සහ ප්‍රදර්ශනාත්මක ඉණිමක් දියත් කළ නීතිඥ කණ්ඩායමේ නායක අසේල පටබැදි පන්දු 48 ක් තුළ නොදැවී ලකුණු 71 ක් ලැබීය.හතරේ පහර 7 ක් සහ හයේ පහර තුනක් සහිතව වාර්තා වු අසේලගේ ඉණිමට අමතරව බුවනෙක බස්නායක ලකුණු 18 ක් ලැබීය.
එළැඹෙන ඔක්තෝම්බර් මස ඉන්දියාවේ පැවත්වෙන නීතිඥ ලෝක කුසලාන තරගාවලිය සදහා පුහුණු වෙමින් සිටින නීතිඥ කණ්ඩායම මෙම තරග වාරයේ දක්වන දක්ෂතා අනුව මේ දක්වා අහිමිව තිබූ ලෝක කුසලානය සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කර ගත හැකි  මට්ටමක සිටින අතර මෙවර නීතිඥ කණ්ඩායම ප්‍රවීන ක්‍රිකට් පුහුණුකරුවෙක් මෙන්ම ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකුද වන,ජාතික ක්‍රීඩා ජනමාධ්‍ය පදනමේ සභාපති රන්ජන් පරණවිතාන යටතේපුහුණුව ලබයි.
www.supirikrida.com

ටීබී ජයා පළමු වරට ගංතලාවට රැගෙන යයි

ය වසරක් වූ ගංතලාව මධ්‍ය විද්‍යාලයේ බොක්සිං ඉතිහාසයට එක් වූ පළමු ජාතික මට්ටමේ බොක්සිං ජයග්‍රහණය දිනා ගන්නට 44 වන වරට පැවත්වූ ටීබී ජයා අණුස්ම‍රණ බොක්සිං තරගාවලියේදී එම විද්‍යාලීය ක්‍රීඩකයෝ සමත් වූහ.කලියාපිටිය සාරානාත් මධ්‍ය විද්‍යාලයේ පැවති මෙම තරගාවලිය නියෝජනය කරමින් පාසල් ක්‍රීඩකයන් 219 ක් පාසල් 48 ක් නියෝජනය කරමින් සහභාගි විය.
විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් ඇතිව පැවති මෙවර තරගාවලියේදී පාසල් ක්‍රීඩකයන්ගේ ශිල්පීය කුසලතා ඉහළ මට්ටමක පැවති අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට මහනුවර සිල්වෙස්තර් විද්‍යාලයේ එස් චන්දු තේරී පත් වූ අතර දක්ෂතම පරාජිතයා ලෙස කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ එච්ඒඑස් සුමුදුරංග තේරී පත් විය.
සමස්ථ සූරතාවය වෙනුවෙන් ගංතලාව මධ්‍ය විද්‍යාලය ලකුණු 27 ක් ලැබූ අතර ලකුණු 24 ක් ලැබූ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අනු සූරතාවය දිනා ගැනීමට සමත් විය.තෙවන ස්ථානය හිමි වූයේ හොරණ මේධංකර විද්‍යාලයටය.
www.supirikrida.com

Jun 21, 2013

එංගලන්තයට එදරිව ඉන්දියාව

Ishant Sharma enjoyed a good day with the ball
විශේෂ අවස්ථා සදහා මෙතනින් පිවිසෙන්න
http://www.espncricinfo.com/ci/content/video_audio/643959.html
මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලිය තුළ සිටින පිතිකරුවන්ගෙන් බහුලම කණ්ඩායම ලෙස සැළකෙන  ඉන්දියාව ඊයේ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේදී කඩුලු අටක පහසු ජයක් ලබමින් 23 දා පැවත්වෙන එංගලන්තය සමග වන අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනිමට සමත් විය.තරගයේ සියළු භෞතික වාසි ඉන්දියාව දෙට නැඹුරුව බැවති මෙම තරගයේදී එයින් ගොඩ ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැරූ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වී ගියේය.
තරගය ආරම්භයට වර්ෂාව යම් තරමක හරස් වූ අතර එවැනි පසු බිමක තීරනාත්මක සාධකයක් වන කාසියේ වාසිය ශ්‍රී ලංකාවට අහිමි විය.ඒ නිසා ඉන්දීය ආරාධනාව අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට තරගාවලිය පුරාම සිදු වූ පරිදි කුසල් ජනිත්තේ කඩුල්ල ඉක්මණින් අහිමි වූ අතර තරගාවලිය පුරාම පන්දුව හොදින් දකිමින් ලකුණු අතර  සිටින තිලකරත්න ඩිල්ෂාන් පාදයේ ආබාධයකට ගොදුරු විය.ඒ නිසා ඩිල්ෂාන්ට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නට සිදු වූ අතර ඒ වන විට ලකුණු 12 ක් ලබා සිටි ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉණිම කඩා වැටෙද්දී ආබාධය නොතකා පිටියට පැමිණ තරගය නිමා වන විට ලකුණු 18 ක් ලබා නොදැවී සිටියේය.පීඩනය හමුවේ නායක මැතිව්ස් සටන්කාමී අර්ධ ශතකයක් රැස් කළ අතර මහේල ලකුණු 38 ක් සහ ජීවන් මෙණ්ඩිස් ලකුණු 25 ක් රැස් කළේය.
එසේම ලාංකේය නරඹන්නන් විසින් මීට පෙර තරගයේ ජයග්‍රාහී උද්දාමය සමරමින් එල්ටීටීඊ හිතවාදීන්ට කරන ලද පහර දීම නිසා තරගයට පෙර සිටම එය තරගයට මෙන්ම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවටත් තර්ජනයක් විය හැකි බවට පැතිර ගොස් තිබූ රාවයන්ද ක්‍රීඩක මනසට යම් බලපැමක් කරන්නට ඇත.ඒ සදහා  ලාහෝර් තැති ගැන්මද ලාංකේය ක්‍රීඩකයන්ගේ සිත් තුළ තිබුණාට සැක නැත.
කෙසේ හෝ මේ සියළු සාධක ශ්‍රී ලංකා ඉණිම ලකුණු 181 සීමාවේ නවතන්නට සමත් වූ අතර අති ප්‍රබල පිතිකරුවන් සහිත ඉන්දීය කණ්ඩායමට ඒ ලකුණු ප්‍රමාණය සදහා වැය වූයේ පන්දු ඕවර් 35 ක් පමණි.තරගාවලිය පුරාම ලකුණු අතර සිටින සිකර් ධවානි යළිත් සිය පිත්තේ බලය ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රදර්ශනය කළ අතර ඔහු ලකුණු 68 ක් ලැබීය.ආරම්භක කඩුල්ලට ඉන්දියාව මේ තරගාවලිය පුරාම හොද සබදතාවයක් එක් කරන අතර ශ්‍රී ලංකාවට එරෙහිවද එය එසේ සිදු විය.ලකුණු 182 ක ඉලක්කයෙන් ලකුණු 77 ක් පළමු කඩුල්ල දැවී යන විට වාර්තා වී තිබුණේ,පන්දු ඕවර් 17 දී ය.
තරගයෙන් කඩුලු 8 ක ජයක් ඉන්දියාවට හිමි කර දීමට පිතිකරුවන් ගේ කාර්යය පහසු කළෝ ඉන්දීය පන්දු යවන්නෝය.ඉන්දීය පිතකරුවන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි අයුරෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉන්දීය පන්දු යවන්නන්ට ඉදිරියෙන් සිටින බව තරගයට පෙර ප්‍රවීන විචාරකයන්ගේ ද මතය විය.නමුත් ඉන්දීය පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා අධ්‍යයනය කරමින් නිසි ඉලක්කයට පන්දු යැවූ අතර,ඒ අතරින් ශ්‍රී ලංකා ඉණිම කඩා දැමීමට මුල් වෙමින් ලකුණු 33 ට කඩුලු 3 ක් දවා ගත් ඉෂාන්ට් ෂර්මා තරගයේ වීරයා විය.
ලකුණු විස්තරයට-http://www.espncricinfo.com/icc-champions-trophy-2013/engine/match/566947.html
www.supirikrida.com


Jun 20, 2013

කොමර්ෂල් ක්‍රෙඩිට් උසස්වීම් වල ප්‍රතිපල සූරතාවයෙන් සමරයි

වෙළද සේවා පැසිපන්දු තරගාවලියේ දක්ෂතා අනුව වසරින් වසර ඉහළ ආ කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කණ්ඩායම මේ වසරේ එහි උපරිම පල භුක්ති විදිමින් ඒ කොටසේ සූරයන් වන්නට සමත් වුණා.වසර තුණක් තුළ කොටසින් කොටසට උසස් වීම් ලද කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ඉකුත් වසරේ බී කොටසේ සූරතාවය දිනා ගනිමින් මේ වසරේ ඒ කොටසට ලද උසස් වීම සූරතාවයෙන් කෙළවර කළේ අවසාන තරගයේදී යුනියන් ඇෂුවරන්ස් කණ්ඩායම ලකුණු 63 - 53 ක් ලෙස පරාජයට පත් කරමින්.
ෆයිසාල් දේවානන්ද ගේ නායකත්වයෙන් තරග වැදුණු කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට මනරම් බණ්ඩාර, හර්ෂදේව සිල්වා,ගයාන් ද කෲස්,ගයාන් මීදෙණිය,ප්‍රනීත් උඩමලගල,සුදේෂ් අහමඩ්,සංජීව කුළුමිණ,ලක්ෂාන් පෙරේරා,ඉන්දික රොෂාන් සහ රංජිත් හෙට්ටිආරච්චි අතුළත් වූ අතර මනෝජ් ප්‍රනාන්දු සහ එස්පී නිරෝෂන් කණ්ඩායම් කළමණාකරුවන් ලෙස කටයුතු කළා.
මේ සමග දැක්වෙන්නේ ජයග්‍රාහී කණ්ඩායමේ ජායාරූපයයි.
www.supirikrida.com

එංගලන්තයේ එදිරිවාදියා ලංකාවද? තීරණය අද

මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසාන තරගයට දකුණු අප්‍රිකාව පරදවමින් සුදුසුකම් ලද එංගලන්තයට එළැඹෙන 23 දා බර්මින්හැම් හී පැවත්වෙන අවසාන තරගයේදී මුහුණ දෙන්නේ ශ්‍රී ලංකාවද ඉන්දියාවද යන්න තීරණය කරන අවසාන පූර්ව තරගය අද පැවත්වීමට වීමට නියමිතය.තරගාවලිය තුළ තවමත් අපරාජිතව සිටින ඉන්දියාව සහ ප්‍රථම තරගයේ සිට ‍තරගයෙන් තරගයට ප්‍රගතියක් පෙන්නුම් කරන ශ්‍රී ලංකාව අතරින් අද දිනයේදී සිය සාර්ථකත්වය රැක ගැනීමට සමත් සහ එය වර්ධනය කර ගැනීමට සමත් කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇති බව විචාරකයන්ගේ මතය වී ඇත.


ඉන්දීය කණ්ඩායම පිතිකරුනයේදී සුපිරි දක්ෂතා දක්වමින් සිටින අතර ඒ අතරින් සිකර් ධවාන් මෙවර තරගාවලියේ ඉදිරියෙන්ම සිටින පිතිකරු වී ඇත.ඔහු සමග සෑම තරගයකදීම ආරම්භක කඩුල්ලට හොද සබදතාවයක් ඇති කරන ඉන්දීය නායකයාගේ විශ්වාසය වන රෝහිත් ෂර්මා මෙන්ම දිනේෂ් කාර්තික්,විරාට් කෝලි,නායක මහේන්ද්‍ර සිං දෝනි සහ සුරේෂ් රයිනා දක්වන දක්ෂතා මැඩ පවත්වා ගැනීම මෙහිදී ශ්‍රී ලංකාවේ අවධානයට ලක් විය යුතුය.
ශ්‍රී ලංකාව ඊට වඩා වෙනස් මුහුණු වරකින් තරගාවලියට මුහුණ දෙන අතර මේ දක්වා පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද ප්‍රතිවාදීන්ට අභියෝග කරන තත්ත්වයක් ශ්‍රී ලංකා සංචිතය තුළ දකින්නට ඇත.එංගලන්තයට එරෙහිව පිත්තෙන්ද,නවසීලන්තයට එරෙහිව ලකුණු 138 ක් වෙනුවෙන් පන්දුවෙන් පෑ දස්කම් ද ඉතා ඉහළ මට්ටමක පැවති අතර මේ සමබරතාවය ඉන්දීය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වීමට ප්‍රමාණවත්ය.බලාපොරොත්තු නොවූ අයුරෙන් එංගලන්ත තණතීරු දග පන්දු යවන්නන්ට යම් හිතකර තත්ත්වයක් පෙන්නුම් කරන පරිසරයක් උද්ගත වී ඇති අතර ඒ අනුව වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා දෙන පන්දු යවන්නෙක් බවට පත් වී සිටින සමින්ද එරංග  ගේ ස්ථානය ඇතැම් විට සචිත්‍ර සේනානායකට හිමි වීමට ඉඩ ඇත්තේ ඔහු නව පන්දුවෙන් දග පන්දු යැවීම සදහා පසු ගිය කාලයේ දැක් වූ ප්‍රවනතාවයන්ද සළකාය.එසේ නොවුනොත් එරංග ට වඩා පිත්තෙන් සහ පන්දු රැකීමෙන්ද දක්ෂ තිසර පෙරේරාටද එම අවස්ථාව හිමි වීමට ඉඩ ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීනම පිතිකරුවන් ත්‍රිත්වය මේ තරගාවලියේදී කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන දායකත්වය ඉහළ මට්ටමක පවතින අතර මහේල,සංගක්කාර සහ ඩිල්ෂාන් දක්වන මේ දායකත්වයේ වටිනාකම තව දුරටත් ඉහළ දැමීමට ඉණිම ආරම්භයේ කුසල් ජනිත් දක්වන දායකත්වය වැදගත් වනු ඇති අතර මේ දක්වා ඔහු දක්වා තිබෙන දුර්වලතා ඉන්දීය තරගයේදී වෙනස් කිරීමට කටයුතු නොකළොත් එය ශ්‍රී ලංකාවට පීඩනයක් ඇති කරනු නොඅනුමානය.මේ තත්ත්වය නිසා ආරම්භක පතිකරුගේ ස්ථානය ඇතැම් විට අවශ්‍යයතාවය අනුව එම වගකීම ඉටු කර ඇති මහේල ජයවර්ධනට පවරා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැදවීමේ ඉඩක් ද අද ඇත.

Jun 19, 2013

අපි ආයෙත් පටන් ගත්තා

මූල්‍යමය වශයෙන්, තාක්ෂණික වශයෙන් මෙන්ම සෞඛ්‍යමය වශයෙන් ඇති වූ පීඩාකාරී තත්ත්වයන් නිසා පසු ගිය කාලයේ අප වෙබ් අඩවිය ක්‍රියාත්මක වුණේ නැහැ.නමුත් දැඩි පීඩාකාරී තත්ත්වය යටතේ වුව අපි නැවත ක්‍රියාත්මක වන්නට සූදානම්.ඒ ක්‍රියාත්මක වීම හමුවේ අප ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් නොනැවතී ක්‍රීඩා ඉසව් සංවිධානයට මෙන්ම ක්‍රීඩාවට නව ප්‍රවනතා හදුන්වා දීමටත් සූදානමින් සිටිනවා.
අප මාධ්‍ය භාවිතාව තුළ නිරන්තරයෙන් කටයුතු කරන්නේ,ක්‍රීඩාව,ක්‍රීඩකයා සහ ක්‍රීඩා පුහුණුකරුවා යන ත්‍රිත්ව මාධ්‍යයනට පිළිවෙලින් ප්‍රමුඛත්වය දෙමින්.ක්‍රීඩා පරිපාලනය එම විෂය කරුණු සදහා සංවේදි වන ආකාරය අනුව විවේචනය සහ ප්‍රශංසාව පිරිනැමීම අපේ මාධ්‍ය භාවිතාවේ ස්වභාවය වෙනවා.
මේ ආකාරයට කටයුතු කිරීම අසීරුයි.එහෙත් ක්‍රීඩා මාධ්‍ය තුළ සිටින තුරු ආත්මීය වශයෙන් බැදී සිටින එම කාරණා වලින් ඉවත් වීම අසීරුයි.ඒ නිසාම මේ සමග සිටින ක්‍රීඩා ප්‍රේමීන්ට මේ කාරණා සාක්ෂාත් කර ගැනීම සදහා අවශ්‍යය මූල්‍යමය ශක්තිය ලබා දීමට හැකිනම් හැකි පමණින් දායක වෙන්න යැයි අප ඉතා මිත්‍රශීලීව ඉල්ලා සිටිනවා.
මාධ්‍යකරුවගේ තොරතොරු වාර්තාකරණයේ සීමාව ඉක්මවා අප ක්‍රීඩකයාගේ පැවත්ම කෙරෙහි සිතූ බව සහ ඊට දායක වූ බව බොහෝ ක්‍රීජක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන්ද සිය හෘදය සාක්ෂියෙන් විමසා නිරාකරණය කර ගත යුතු කාලය පැමිණ තිබෙනවා.සිය නිවසේ ලිප දැල් වීම අමතක කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිවෙස් වල ලිප නිවී යාම නැවත්වීමට වෙහෙස මහන්සි වූ තෘප්තිමත් අතීතයක සිට තවමත් ඒ සදහා වෙහෙස වීම මාධය භාවිතාව කර ගත් අපට ඉදිරියේදී ඒ ක්‍රියාවලිය සාර්ථකව පවත්වා ගැනීමට තමන්ගේ අතීතය සිහි කර හෝ කටයුතු කිරීම එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කෘතවේදීත්වය සහ වගකීම ද වනු ඇති බව අපි විශ්වාස කරනවා.
එසේම ඔබ ක්‍රීඩාවට ප්‍රේම කරන්නේනම් මෙවැනි වෙබ් අඩවියක පැවත්ම වෙනුවෙන් දායක වීමට තීරණය කිරීම හෘදය සාක්ෂියට එකගව කළ හැකි දෙයක් බව ද අප මතක් කර සිටිනවා.ඒ සදහා විශාල මූල්‍යමය දායකත්වයකට වඩා අවශ්‍යය වන්නේ මාසිකව ඔබට හැකි ආකාරයේ මුල්‍යමය දායකත්වයක් මාසිකව ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ ඇති 70991900 ගිණුමට යොමු කරන මෙන් අප ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ඒක මහ මුදලක් නොවුණට කමක් නෑ.ඔබට හැකි පමණ.අපි ඒක ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සුපුරුදු භාවිතාවේ යොදවන බවට ‍පොරොන්දු වෙන්නම්.ඒ ගැන දෙන්න තියෙන පොරොන්දුව අපේ ඉතිහාස භාවිතාවම පමණයි.ඔබේ හෘද සාක්ෂියෙන් අසා බලන්න.
මහජන ශක්තිය පදනම වූ වෙබ් අඩවියක පොදු ක්‍රීඩාව අපේ ප්‍රධාන අරමුණ වෙනවා.ඒ නිසා එය මැනවින් දැන උපකාර කිරීමත් වැදගත්.පළමු දේ ක්‍රීඩාව වන බැවින් ඔබේ උපකාර කිරීම කිසි විටෙක ඔබේ වැරදි භාවිතාවක ආරක්ෂාව වෙනුවෙන් අපේ වෙබ් අඩවියේදී පළිහක් වන්නේ නැහැ
www,supirikrida.com

කාලිංගට සහ සාගරට මුවා වී පැරණි බේස්බෝල් පරිපාලකයෝ යුධ හමුදාවට විරිත්තති

හිටපු බේස්බෝල් පරිපාලනය විසින් නුරුස්සන ලබන ජාතික කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමේ නෙලංක කරුණාරත්න ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරිම පිණිම ජාතික බේස්බෝල් සංගමය විසින් නම් කරන ලද කණ්ඩායම් හයක් සහභාගි කරමින් පවත්වන ක්ලැසික් තරගාවලියේදී එකම කණ්ඩායමකට හෝ නම් නොකිරීමට කටයුතු කර ඇත.එහිදී ඇකැම් කණ්ඩායම් නායකයන් විසින් නෙලංකව යෝජනා කර ඇතත් පරිපාලනයේ සිටින ඇතැම් චරිත එම ඉල්ලිම ඉවත දමන්නට කටයුතු යොදා ඇත.
වර්ථමාන පරිපාලනයට පත් වී සිටින සභාපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මෙන්ම උප සභාපතිවරයෙකු වන බේස්බෝල් ක්‍රීඩා කර ඇති අයෙකුද වන සාගර කාරියවසම් යන නීතිඥයන් දෙදෙනා බේස්බෝල් පරිපාලනයට විරුද්ධ පාර්ශව වල ද සහය ලබා ගනිමින් බේස්බෝල් දියුණු කිරිමට උත්සාහ ගනිද්දී ඔවුන්ගේ අවධානයෙන් මිදී එහ සිටින පැරණි චරිත සිය අවශ්‍යයතා වෙනුවෙන් බේස්බෝල් ක්‍රීඩාව මෙහෙයවිම අශෝභන තත්ත්වය දිගින් දිගටම ක්‍රියාත්මක කිරිමට උත්සාහ දරණ බව ‍නෙලංක කරුණාරත්නගේ ඉවත් කිරීමෙන් පැහැදිළි වෙයි.වසර ගණනාවක් සමාජ සම්බන්ධතා ඇති චරිත බේස්බෝල් පරිපාලනයේ මුල් පුටු වලට ගෙන එමින් ඔවුන් හරහා සිය අරමුණු සාක්ෂාත් කර ගනිමින් වරෙක පුහුණුකරුවෙකු ලෙස ද,වරෙක කළමණකරුවෙකු ලෙස ද විදේශ සංචාර වලට එක් වෙමින් ජාතික කණ්ඩායමට ක්‍රීඩා නොකළ අයෙකු මෙම ක්‍රියාවලිය පිටු පස සිටින බව පැහැදිළිය.
ස්වීය අවශ්‍යයතාවයන් වෙනුවෙන් පුද්ගලයන් භාවිතා කිරිමට විශාල හැකියාවක් ඇති හෙතෙම මීට පෙරද යූද හමුදාවේ සිටි නිලධාරියෙකු හරහා නෙලංක කරුණාරත්නගේ යුධ හමුදා වරප්‍රසාද පවා සිමා කිරීමට උත්සාහ ගත බවට තොරතොරු ඇති අතර ඔහු නිරන්තරයෙන් ක්‍රීඩා සමාජ නියෝජිතයන් සහ ක්‍රීඩකයන් හමුවේ පත්වෙන සභාපතිවරයාගේ නියෝජිතයා ලෙස පෙනී සිටිමින් එම නියෝජිතයන් සහ ක්‍රීඩකයන් මුලා කිරීම දිගින් දිගටම කර ගෙන යන්නේය.
යුධ හමුදා ක්‍රීඩකයන් තිදෙනෙකුම මෙම කණ්ඩායම් හයේ නායකයන් ලෙස සිටිද්දී සිය කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ දක්ෂතා නොසළකා හැර කටයුතු කරද්දී විරෝධයක් හෝ නොදක්වා සිටීම මෙම පරිපාලනය ඉදිරියේ හමුදා ක්‍රීඩකයෙකුට හෝ මුහුණ දෙන්නට සිදුවන ඛේදවාචකයකි.තමන්ටම අනතුර පැමිණෙන තෙක් නිහඩව සිටීම ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතයේ බොහෝ ක්‍රීඩකයන්ගේ ස්වභාවය වී ඇති අතර එවැනි අසාධාරණයක් වන්නේනම් එයට මැදිහත් වීමට සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මෙන්ම සාගර කාරියවසම් ද සූදානම් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තත්ත්වයකදි වුව,ක්‍රීඩකයන් මෙසේ ක්‍රීඩාවට වන හානිය වැළක්වීම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම ඛේදවාචකයකි.
පැවති පරිපාලනය දැඩිව විවේචනය කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරියට කරුණු දැක්වීම සදහා සම්බන්ධ කර දෙන ලෙස ජනමාධ්‍යයෙන් පවා අවස්ථාව ඉල්ලමින් සිටි දැනට ජපානයේ සිටින ලාංකිකයෙකුට වරප්‍රසාද කිහිපයක් ලබා දී නිහඩ කිරීමට සමත් වූ පැරණි බේස්බෝල් පරිපාලනය මේ වන විට ඔහු දැඩි ලෙස කැමැත්ත දක්වන ඔහු සම්බන්ධ ප්‍රවෘත්තියක් හෝ පරිපාලන වෙබ් අඩවියේ පළ නොකරන බවට තොරතොරු වාර්තා වන අතර නෙලංක කරුණාරත්න ඔහුගේ සමීපතම හිතවතා ලෙස දේශීය වශයෙන් සුජීවගේ මාධ්‍ය සම්බන්ධතා ජාලය සවිමත් කිරීමට පෞද්ගලිකව උපකාර කළ මිත්‍රයා වන්නේය.විදේශගත ලාංකිකයා පරිපාලනයේ ආශිර්වාදයත් සමග නෙලංකගෙන් වේගයෙන් ඈත් වෙමින් සිටි අතර අද වන විට ඔහු ව පමණක් නොව නෙලංක ද බේස්බෝල් කේෂ්ත්‍රයෙන් ඉවත් කිරීමට  පැරණි පරිපාලනයේ සිට වර්ථමාන පරිපාලනය සමග සිටින ඇතැම් අයගේ අවශ්‍යයතාවය වී ඇත.
යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකුට මෙවැනි අසාධාරණයක් සිදු වී ඇති බව ප්‍රවෘත්තිය පළ කිරීමෙන් නොනැවතී අළුත් යුධ හමුදාපති වරයා ලෙස පත්වන හිටපු මලල ක්‍රීඩා සංගම් සභාපති දයා රත්නායකයන්ට ද දැණුම් දීමට අප වේබ් අඩවිය ඉදිරියේදී ක්‍රියා කරන අතර වත්මන් බොක්සිං සම්මේලනයේ උප සභාපතිවරයෙකු වන වත්මන් යුධ හමුදාපති සහ පත් වීමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජගත් ජයසූරියට ද මේ බව දැණුම් දිමට අවශ්‍යය පියවර අප විසින් ගණු ලබමින් සිටින්නේය.
එසේම මෙම කණ්ඩායම් හය තෝරා ගැනීමේදී හැකිනම් ප්‍රසිද්ධ තේරීමක් කරන ලෙස අප බේස්බෝල් පරිපාලනයට අභියෝග කරන අතර ඒ තේරීම සභාපති කාලිංග ඉන්ද්‍රතිස්සගේ සහ උප සභාපති සාගර කාරියවසම්ගේ දෑස් පනා පිට සිදු කර නෙලංක කරුණාරත්න මෙම කණ්ඩායම් හයට සුදුසු නැති අදක්ෂයෙකු දැයි පෙන්වා දෙන ලෙස ද අභියෝග කරමු.
www.supirikrida.com

ඩීඑස්අයි වොලිබෝල් වසන්තය ඇරඹේ

ලාංකේය වොලිබෝල් අනාගතය සාරවත් කිරීම පිණිස ක්‍රියාත්මක විශෂ්ඨතම දායකත්වය හැටියට සැළකෙන ඩීඑස්අයි වොලිබෝල් තරගාවලිය සදහා මේ වසරේත් අයදුම්පත් කැදවීම ආරම්භ කර ඇත.දිවයින පරා පිහිටි ඩීඑස්අයි වෙළද ප්‍රදර්ශණාගාරවලින් මෙන්ම www.supirikrida.com අපේ වෙබ් අඩවියෙන්ද ඒ සදහා අයදුම්පත් ලබා ගැනීමට අවස්ථාව සළසා ඇත.
අවුරුදු 18 න් පහළ,16 න් පහළ,14 න් පහළ බාලක බාලිකා  ලෙස තරගාවලිය ක්‍රියාත්මක වන අතර අවුරුදු 12 න් පහළ මිනි වොලිබෝල් තරගාවලියක්ද මෙම තරගාවලියට ඇතුළත් වේ.වර්ථමානයේ ජාතික කණ්ඩායම නියෝජනය කරන සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය වාරු කොට වර්ථමානයේ දක්වන දක්ෂතා සදහා අවශ්‍යය පසුබිම නිර්මාණය කර ගෙන ඇති අතර සෑම වසරකම මේ තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් ප්‍රමාණය වාර්තාගත අයුරින් ඉහළ යෑම පාසල් වොලිබෝල් ක්ෂේත්‍රය තුළ ඩීඑස්අයි වොලිබෝල් තරග සදහා දක්වන අප්‍රමාණ උනන්දුව පැහැදිළි කරයි.
රටේ විවිධ ප්‍රදේශවලට පාසල් මට්ටමින් වොලිබෝල් ක්‍රීඩාව රැගෙන යාමට ප්‍රධාන වශයෙන්ම බල පෑ ඩීඑස්අයි වොලිබෝල් තරගාවලිය ජාතික කණ්ඩායමට රටේ සතර අත විහිද සිටින වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා රැගෙන ඒම සදහා මූලික ව කටයුතු කළ තරගාවලිය ලෙස හැදින්විය හැකිය.ත්‍රීකුණාමලය,දෙනියාය,ඇහැළියගොඩ,අම්පාර වැනි ප්‍රදේශවල වොලිබෝල් ක්‍රීඩාව ආශ්‍රිත උප සංස්කාතියක් නිර්මාණය කිරිම උදෙසා අවශ්‍යය ප්‍රාදේශිය ආකර්ශණය ඇති කිරිමට මෙම තරගාවලිය හරහා ඇති වූ බලපෑම සහ උත්තේජනය අති විශාල වන අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අංශය සහ ජාතික වොලිබෝල් සම්මේලනය සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරමින් වොලිබෝල් ක්‍රීඩාවට අවැසි සවිමත් ක්‍රියාශීලී දෑත් ජාතියට දායාද කිරීමට එක්වන ඩීඑස්අයි ආයතනය දෙපයට හැඩකාර,සවිමත් පාවහන් නිෂ්පාදනය කිරීමේ දී දේශිය  නිෂ්පාදකයන් අතර ප්‍රමුඛත්වයේ වැජඹෙන දෙස් විදෙස් හී කීර්තිය පතල ආයතනයකි.
www.supirikrida.com

Jun 18, 2013

ඩිල්ෂාන් පමා වී ආ වසන්තය වෙයි

                                 
  Tillakaratne Dilshan celebrates his matchwinning catch

                              වීඩියෝ දර්ශණ සබදතාවයට
චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනාත කරමින් අවසාන මොහොතේදී කලකට අමතක නොවන උඩ පන්දුවක් රැක ගත් ටීඑම් ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ ක්ලින්ට් මැකී සහ ක්ෂේවියර් ඩොරති විසින් ඕස්ට්‍රේලියාව අවසාන පූර්ව තරගය කරා කැදවා යන්නට ගත් දිරිමත් උත්සාහය ව්‍යර්ථ කර දැමීය.පැවති තරග දෙකේදීම පිතිකරුවන්ට තර්ජනයක් වන ආකාරයට පන්දුව නිසි ස්ථානයන්හී පතිත කරමින් ප්‍රතිවාදීන්ට තර්ජනය ගෙන දුන් ඩිල්ෂාන්ට වඩා,ඕස්ට්‍රේලියාවේ ඩොරති විසින් විශිෂ්ට ලෙස පන්දුව දග කැවූ තණතීරුවේ තමන් පිළිබදව විශ්වාසය තැබූ නායක ඇන්ජලෝ මැතිව්ස් ඩිල්ෂාන්ට පෙර පන්දුව සියතට ගනු ලැබුවද තීරණාත්මක මොහොතේදි පන්දුව අතට ගත් ඩිල්ෂාන් ලකුණු 41 ක් දක්වා දුර ‍ගිය ඕස්ට්‍රේලියානු අවසාන කඩුල්ලේ සබදතාවය නිමා කර දැමීය.
කාසියේ වාසිය ලැබූ ඕස්ට්‍රේලියා නායකයා ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේ ඔවුන් අඩු ලකුණු ගණනකට දවා ගනිමින් වැඩි වේගයකින් ලකුණු රැස් කළ ශ්‍රී ලංකාව පරාජය කර අවසාන තරගයට පිවිසීමේ අදහස ඇතිවය.නමුත් ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් ගේ අභිප්‍රාය මොට කරමින් ලකුණු අතරට පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රවීනම පිතිකරුවා වන මහේල ජයවර්ධන තමන් විශ්‍රාම ගත යුතු බවට නගන හඩවල් කලෙකට විශ්‍රාහ ගන්වමින් සංවිධානාත්මක ඉණිමක් දියත් කළේ ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 253 දක්වා කැදවා ගෙන යමින්ය.ලහිරු තිරිමාන්න ප්‍රහාරය සදහා අවශ්‍යය පදනම වෙනුවෙන් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් විශිෂ්ඨ ඉණිමක් ක්‍රියාත්මක කළ අතර ඒ නිසා අවසාන පන්දු වාර වලදී කඩුලු මද වීමේ අවධානමෙන් මිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රවේගකාරී වීමට අවශ්‍යය පරිසරය හිමි විණි.
ඕවර් 9.2 දී හය වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක් ලැබූ මහේල සහ දිනේෂ් චන්දිමාල් ගේ ප්‍රවේගකාරී සම්බන්ධය මෙන්ම තෙවන කඩුල්ල සදහා ඩිල්ෂාන් සහ තිරිමාන්න එක් කළ ලකුණු 72 ක සබදතාවයද ඉණිම ශක්තිමත් කළ පදනම විය.පිතිකරුවන් විසින් ලබා දුන් අභියෝගය නිසා පන්දු ඕවර් 30 ක් තුළ අවශ්‍යය ලකුණු ප්‍රමාණයට ළගා වෙමින් අවසාන පූර්ව වටයේ ප්‍රවේශය සකසා ගන්නට ඕස්ට්‍රේලියාවට සිදු වූ නිසා මුල සිටම වේගවත් වන්නට ගිය ඕස්ට්‍රේලියා ඉණිමට දිගින් දිගටම අනතුරු වලට මුහුණ දෙන්නට සිදු විය.
ලකුණු වේගය රදවා ගැනීමට ගත් උත්සාහය නිසා අනවශ්‍යය ලෙස කඩුලු අහිමි වූ ඕස්ට්‍රේලියා ලකුණු  පූවරුව ලකුණු 192 ක් වෙද්දී  කඩුලු 9 ක් අහිමි කර ගෙන තිබිණ.නමුත් ඒ වන විට ගෙවි තිබුණේ පන්දු ඕවර් 30.2 ක් පමණක් වූ බැවින් අවසාන පූර්ව වටය කෙසේ වෙතත් තරගය ජය ගෙන ගෞරවය රැක ගැනීමට හෝ අවසාන පිතිකරුවන් වූ මැකේ සහ ඩොරති උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට විය.ඒ දක්වා මේ තරගාවලියේ පන්දුවෙන් තීරණාත්මක මෙහෙවරක කළ ඩිල්ෂාන් කැදවා නොසිටි,මැතිවිස් මෙම සබදතාවය නිමා කිරීමට ඩිල්ෂාන් කැද වූ පසුව අවස්ථා කිහිපයකදී පිතිකරුවන් දෙදෙන අපහසුතාවයට ලක් වන අයුරු දකින්නට ලැබිණ.එහි අග්‍රපලය ලෙස මැකේ ගේ කඩුල්ල දවා ගැනිමට පන්දු යවමින් අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වෙන්නට ඩිල්ෂාන් සමත් වූවේ ශ්‍රී ලංකාවට ලකුණු 20 ක ජයක් සමග අවසාන පූර්ව වටයට පිවිසිමට ද අවකාශ සළස්වමින්ය.
එංගලන්තයට එරෙහිව ප්‍රවේගකාරී පිතිකරණයක යෙදුණ කුලසේකර ඊයේ එම වගකීම පන්දුවෙන් ඉටු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වූයේ ලකුණු 42 ට කඩුලු 3 ක් දවා ගනිමින්ය.එසේම ඔහු නායක ජෝජ් බේලි දුවද්දී දවා ගැනීමට දායක වෙමින් ද මිචෙල් ජොන්සන් දවා ගැනීමට උඩ පන්දුවක් රැක ගනිමින් ද පන්දු රකින අවස්ථාවේදී ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල ශක්තියක් ලබා දුන්නේය. 
තරගයේ ලකුණු විස්තරය සදහා 
http://www.espncricinfo.com/icc-champions-trophy- 2013/engine/match/578625.html මෙම ලකුණු විස්තරය යොදා ගැනිමට හැකිය.

Jun 16, 2013

ලංකාව දිනන්නම ඕනි

මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ තව දුරටත් රැදී සිටිමට ශ්‍රී ලංකාව ඕසට්‍රේලියාව පරදවා ජය ගත යුතුම බව ප්‍රවීන මාධ්‍යවේදියෙක් මෙන්ම ක්‍රිකට් පුහුණුකරුවෙකුද වන රන්ජන් පරණවිතාන පවසනවා.ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මයිකල් ක්ලාක් හෙට තරග බිමට පවිසෙන්නේ නම් ඔවුන්ගේ පිතිකරු පෙළ ගැස්මට එය සවියක් විය හැකි බව පෙන්වා දෙන රන්ජන් පරණවිතාන අශෝභන හැසිරීම හේතු කොට මෙම තරගාවලිය නිමා වන තෙක් තරග තහනමකට යටත්ව සිටින ඩේවිඩ් වෝනර් ද ක්‍රීඩා නොකරන බැවින් හෙට මයිකල් ක්ලාක් ශ්‍රී ලංකාවේ පිතිකරු අංශය සිටින ප්‍රබල මානසිකත්වය සළකා ක්‍රීඩා කිරීම සදහා විශාල උත්සාහයක් ගනු ඇති බවට ඉගි පළ කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී තරගයේදී ඉවත් කර තැබූ තිසර පෙරේරා හැමදාටම බංකුවට සිමා කළ හැකි ක්‍රීඩකයෙකු නොවන බව පෙන්වා දෙන රන්ජන්,ඇතැම් විට සමින්ද එරංග ගේ තැන හෙට තිසරට පිරිනැමිමට ඉඩ තිබෙන බව පෙන්වා දුන්නා.එසේම දිගු පිතිකරු නාමාවලියක් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට දග පන්දු යවන්නන්ට ප්‍රයෝජනයක් ගත හැකි තණතිල්ලක් ලැබෙන්නේ නම් ලහිරු තිරිමාන්නගේ අවස්ථාව සචිත්‍ර සේනානායකට පිරිනැමීමටද අවස්ථාවක් ඇති බව පෙන්වා දුන්නා.
ක්‍රීඩකයෙකු දිනකින් නිර්මාණය කිරිමට නොහැකි බව පෙන්වා දෙන රන්ජන් කුලසේකරගේ අසාමාන්‍ය සහ අපූරු ඉණිමට අවශ්‍යය නිදහස සහ සැහැල්ලුව ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීනතම පිතිකරණ ත්‍රිත්වය දැක්වූ දක්ෂතාවයන් මහත් පිටුවහලක් වූ බව පෙන්වා දෙනවාඒ ආකාරයට හෙට තරගයේදී ද සංගක්කාර,මහේල සහ ඩිල්ෂාන් යන තිදෙනාගෙන් අවම වශයෙන් දෙදෙනෙකුවත් හොද ලකුණු සහිත ඉණිම් වලට පිවිස දීර්ඝ සම්බන්ධතාවයන් නඩත්තු කරන්නට හවුල් විය යුතු බව පෙන්වා දෙනවා.
www.supirikrida.com

විනිසුරු අවුල දිග් ගැස්සෙන ලකුණු

මාතර පාපන්දු කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රීඩා ලෝලීන්ද,පාපන්දු විනිසුරුවෙකුට පහර දීම පිළිබදව නිවැරදිව විනය ක්‍රියාමාර්ග නොගත් බවට පාපන්දු විනිසුරුවන් විසින් විරෝධය දක්වමින් ඉදිරියේදී පාපන්දු තරග විනිශ්චයෙන් වැළකි සිටිමට සූදානම් වන බවට තොරතොරු සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.පහරදුන් විදේශ ක්‍රීඩකයාට දුන් තහනම ප්‍රමාණවත් නොවන බවත් මාතර ක්‍රීඩා සමාජයට එරෙහිව ගත් විනය ක්‍රියාමාර්ග ප්‍රමානවත් නොවන බවත් පාපන්දු විනිසුරුවන්ගේ මතය වී ඇති අතර මේ නිසා මාතර පැවත්වෙන තරග විනිශ්චයෙන් වැළකි සිටින බවත් පාපන්දු විනිසුරුවන්ගේ මතය වි ඇත.
මේ තත්ත්වය මත මාතර ක්‍රීඩා සමාජය වෙන ස්ථානයක පවත්වන තරගයක් එම විනිසුරුවන්ගෙන් තොරව වෙනත් විනිසුරුවන් යොදා පැවත්වීමට ගෙන ඇති තීරණයට එරෙහිව වෙනත් තරග විනිශ්චයෙන්ද වැළකි සිටීමේ තීරණයකට එලැඹෙන්නට විනිසුරුවන් තීරනය කිරීමට සූදානමක් පවතින බවද සුපිරික්‍රීඩා වෙත වාර්තා වන තොරතොරු ඔස්සේ දැන ගන්නට ලැබිණ.
මාතර ක්‍රීඩා සමාජ ප්‍රකාශකයෙකු පැවසුවේ පාපන්දුවේ ප්‍රවර්ධනයට ක්‍රීඩා සමාජවල දායකත්වය අතිශයින් වැදගත් බැවින් පාපන්දු ප්‍රේමීන් වශයෙන් පාපන්දු විනිසුරුවන් මීට වඩා නම්‍යශීලීව කටයුතු කළ යුතු බවය.උද්වේගකර තරගයකදී විනිසුරුවෙකු අතින් සිදුවන වැරද්දකදී පාපන්දු ලෝලින් මෙන්ම ක්‍රීඩකයන්ද යම් ආවේගකාරී තත්ත්වයන්ට පත් වීම මේ සිදු වීමට පමණක් සීමා නොවුණු එකක් බව පෙන්වා දුන් එම ප්‍රකාශකයා ඇති වූ අනතුරුදායක තත්ත්වය මාතර ක්‍රීඩා සමාජ නිලධාරීන් පොලීසියේද සහය ඇතිව අවම කිරීමට අවශ්‍යය පියවර ගත් බව පෙන්වා දුන්නේය.
එසේම එවැනි තත්ත්වයක් ඇති විමට විනිසුරුගේ තීරණ ද බලපෑවේද නැද්ද යන්න විමසා බැලීමත් විනිසුරුවන්ගේ කාර්යය විය යුතු බව පෙන්වා දෙන එම ප්‍රකාශයා එක සිදුවීමක් අරඹයා ක්‍රීඩා සමාජයක් විනාශ කිරීමට උත්සාහ දැරීම කිසිම පාපන්දු ප්‍රේමියෙකු තුළින් බලාපොරොත්තු විය නොහැකි දෙයක් බව ද පෙන්වා දෙයි.
මේ අතර මේ සිදුවීම දෙස බලන මධ්‍යස්ථ මතධාරීන් ප්‍රකාශ කර සිටින්නේ පාපන්දු පරිපාලනය මැදිහත්ව දේපාර්ශවයම සාකච්ඡා මේසයකට කැදවා ඇති වී තිබෙන තත්ත්වය පිළිබදව තීරණයක් ගත යුතු බවය.පාපන්දු විනිසුරුවන්ගේ ගෞරවය කෙළෙසා නොදැමීමට කටයුතු කිරිම මෙන්ම විශාල උනන්දුවකින් සහ වියදමක් දරමින් දුෂ්කරතා මැද පාපන්දු ක්‍රීඩාව පවත්වා ගෙන යන මාතර වැනි පිට පළාත් ක්‍රඩා සමාජයක් ආරක්ෂා කිරීමත් පාපන්දු බලධාරීන්ගේ යුතුකම බව මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස වී ඇත.
www.supirikrida.com