Jan 7, 2012

ශ්‍රී ලංකාවට ඉණිමක පරාජයක් වෙනුවට කඩුලු 10 ක පරාජයක්


අවුරුදු 3ක් පුරාවට සිය මව්බිමේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගන්නට බලා සිටි දකුණු අප්‍රිකාවට එම ජයග්‍රහණය ඉණිමක පරාජයන් දෙකක් සමග භුක්ති විදින්නට තිබූ අවස්ථාව අහිමි කළ තිලාන් සමරවීර ගේ ධෛර්‍යවන්ත ශතකය නිසා ශ්‍රී ලංකාව විදින්නට ගිය ඉණිමක පරාජයේ වර්ගපලය කඩුලු 10 ක පරාජයක් දක්වා අඩු කර ගන්නට හැකිවිය.මෙම තරගාවලියේ දෙවන ශතකයත් ලැබූ සමරවීර ශ්‍රී ලංකා දෙවන ඉණිම ලකුණු 342 ට සීමා වෙද්දී සමරවීර ලකුණු 115 ක් සමග නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.
සමරවීර සහ ඇන්ජලෝ මැතිව්ස් (63) සමග සමරවීර පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු 142 ක සබදතාවය නොවන්නට ශ්‍රී ලංකා දෙවන ඉණිම වඩාත් අසරණ වන්නට තිබූ අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙම තරගයේදී යළි සාර්ථක වූ ජැක් කලිස් සිය සුපුරුදු තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශණය කරමින් ශ්‍රී ලංකා දෙවන ඉණිමේ කඩුලු 3 ක් ලකුණු 35 ට දවා ගත්තේය.තරගාවලිය පුරාම අසාර්ථකව සිටි කලිස් සිය මව් ක්‍රීඩාංගණය වන කේප් ටවුන් හී දී දකුණු අප්‍රිකානු ප්‍රථම ඉණිම කඩුලු 4 ට ලකුණු 580 දක්වා රැගෙන යන්නට වාරු වෙමින් රැස් කළ අගනා ද්විත්ව ශතකය ද සමග පන්දුවෙන් පෑ මෙම දක්ෂතාවයද පාදක කර ගනිමින් ඔහු තරගයේ වීරයා ලෙස නම් කළ අතර තරගාවලිය පුරාවටම ලකුණු අතර සිටි ඒබී ඩිවිලියර්ස් තරගාවලියේ වීරයා ලෙස නම් කළේය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දි පිතිකරුවන් ලෙස පෙන්වන අසාර්ථකත්වයට අමතරව තෙවන තරගයේදී පන්දු යවන්නන් ලෙස ද අසාර්ථක බවක් ප්‍රදර්ශණය කළ අතර එය ශ්‍ර ී ලංකාවේ ක්‍රිකට් අඅනාගතය සම්භන්ධයෙන් තව දුරටත් අවධානය යොමු කළ යුතු බවට ලද ඉගියක් බදු විය.තරගයේ සම්පූර්න ලකුණ විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගන්නට හැකියාව ඇත.

සචිත් අද පුහුණුව අරඹයි


 ශ්‍රී ලංකා හෙල්ල වීසි කීරීමේ සූරයා වන සචිත් මධුරංග ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයෙන් ලැබුණු ප්‍රදානයක් මත පින්ලන්තයේ කෝර්තාන් හී පුහුණුව සදහා පිටත්ව ගිය අතර අද ඔහු ගේ පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිතය.පින්ලන්තයේ පවතින සීතල කාලගුණයට හුරුවීම තරමක් අසීරු කාර්යයක් බව පවසන සචිත් එම පුහුණු මධ්‍යස්ථානයේ ඇති පහසුකම් පිළිබදව දැඩි සතුටට පත් වී සිටියි.
‘මීටර් 80 සීමාවට අනිවාර්යයෙන් යන්න පුළුවන්’ යැයි පවසන සචිත් මෙවැනි පහසුකම් ශ්‍රී ලංකාවේ තිබුණේ නම් තම පුහුණුකරු ඒජේ රොද්‍රිගෝ සමග ද එම සීමාවට යාමට හැකියාව ලැබෙනු ඇති බව පවසයි.වර්ථමානයේ ඉදිරියෙන්ම සිටින හෙල්ල වීසි කිරීමේ සූරයා වන නෝර්වේ හී ඇන්ඩ්‍රියස් තොර්කිල්ඩ්සන් මෙන්ම පින්ලන්තයේ ටෙරෝ පිට්කමාකි වැනි ජාත්‍යන්තර මට්ටමේ ඉදිරියෙන්ම සිටින වීසි කරීමේ සූරයන් විශාල පිරිසක් පුහුනුව ලබන කෝර්තාන් හී අත්දැකීම් සහ මග පෙන්වීම මත ලාංකේය හෙල්ල වීසි කිරීමේ ඉසව්ව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට සචිත් ට ශක්තිය හා දිරිය ලැබේවා යැයි සුපිරික්‍රීඩා ප්‍රාර්ථනා කරන්නෙමු.
ඡායාරූපයේ දැක්වෙන්නේ කෝර්තාන් හී පුහුණුව ලබන ටෙරා පිට්කමාකි ක්‍රීඩා කරන ආකාරය යි.

දැල් පන්දුව තවත් පියවර දෙකක් පහළට


සියානූ දැල් පන්දු සූරතාවය හිමි ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම මේ වන විට ආසියානු සූරතාවයෙන් පසුව ඇති වූ වෙනස් කම් සමග සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර නවතම ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාවට හිමි ව ඇත්තේ 20 වන ස්ථානය යි.ආසියාවේ තොවැනියන් ව සිටි ශ්‍රී ලංකාව නැවත දැල් පන්දු සූරියන් බවට පත් කිරීමට වෙහෙස වූ දැල් පන්දු පුහුණුකාරිනිය වන තිලකා ජිනදාස ඉවත් කර ඒ වෙනුවට හයසින්ත් විජේසිංහ පත්කිරීම සදහා පුහුණුකාරිය තෝරන ක්‍රමවේදය සකස් කිරීමේ සිටම කටයුතු කළ හිටපු දැල්පන්දු පරිපාලනය ගත් අමනෝඥ ක්‍රියාවත් සමග මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමෙන් ස්ථාන 6 ක් පහළට වැටී ඇත.
හයසින්ත් පුහුණුකාර ධූරයට පත් වීමෙන් ඉනික්බිතිව සංවිධානය කරන්නට යෙදුණ ස්කොට්ලන්ත සංචාරයෙන් ලද පරාජයත් ඉන් අනතුරුව පසුගියදා සිංගප්පූරුවේ පැවති සය සාමාජික ජාත්‍යන්තර දැල් පන්දු තරගාවලියේ දී ලද දැවැන්ත පරාජයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වර්ගීකරණයේ පෙර නොවූ විරූ අයුරින් පහත වැටී ඇත.මේ තත්ත්වය මත බොහෝ විට 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය අහිමිවීමට ද ශ්‍රී ලංකාවට ඉඩ ඇති බව පෙන්වා දෙන දැල්පන්දු විචාරකයන් එසේ නොවන්නටනම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තරගවලදී විශාල ජයග්‍රහණ ලබා ගැනීමට සිදු වනු ඇති බව ද පෙන්වා දෙයි.
මේ වන විට ජාතික මට්ටමේ ප්‍රධාන ක්‍රීඩිකාවන් විශාල පිරිසක් වර්ථමාන පුහුණුකාරිය යටතේ පුහුණුවීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව සිංගප්පූරු තරගාවලිය ප්‍රතික්ෂේපකළ එම ක්‍රීඩිකාවෝ පසුව පැවති ජාතික සූරතාවලිය නියෝජනය කරමින් ඒ පිළිබදව සනාථ කළ හ.දැල්පන්දු පරිපාලනයට සම්බන්ධ පිරිස් ද මේ වන විට පුහුණුකාරිය සිය අවශ්‍යයතාවයන් සදහා යොදා ගනිමින් ඇයගේ අවශ්‍යයතාවය මත හැසිරෙන්නට පටන් ගෙන ඇති අතර තමාට වරප්‍රසාද ලබා ගැනීම සදහා ජාතික තරගාවලිය සදහා ද සුදුසුකම් නොලද කණ්ඩායමක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ජාතික ණ්ඩායමට ඇතුළත් කිරීමට පියවර ගැනීම ද දැක්විය හැකිය.
ජාතික පුහුණුකාරිය සිය ආධිපත්‍යයට ලාංකේය දැල් පන්දුව කෙතරම් දුරට යටත් කර ඇති ද පැහැදිළි කරන සිදු වමක් පසුගියදා ඇය සාමාජිකත්වය දැරූ ජාතික තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයන් තේරීමේ දී වාර්තා වී ඇති අතර ඇයගේ උවමනාවට ආරක්ෂක පෙළ ක්‍රීඩා නොකළ ක්‍රීඩිකාවකට ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබා දීමට යාම අවසන් මොහොතේ වැළකී ඇත්තේ එම තේරීම සදහා සහභාගි වූ අයෙකුට ඇය ආරක්ෂක පෙළ ක්‍රීඩා නොකළ බව සිහිපත් වීමෙනි.
මේ ආකාරයේ විහිළු මඩුවක් වී ඇති ශ්‍රී ලංකා දැල්පන්දුවේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා යළිත් තිලකා ජිනදාසගේ සේවය ලබා ගැනීම කෙරෙහි විමසිලිමත් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වුව ද ඇය මේ වන විට බෘනායි හී දැල් පන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ ප්‍රධානියා ලෙස පත්ව ඇති නිසා ඇයගේ පැමිණිම පිළිබදව විශ්වාසය තැබිය නොහැකි තත්ත්වයක් පැන නැගී ඇත. 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව 2012 ට මුහුණ දෙන හැටි පැහැදිළි කරයි


 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙම වසරේදී ජාත්‍යන්තර 
සහභාගි වීමට අපේක්ෂා කරන තරගාවලි සහ සංගමය 
මගින් පැවත්වීමට අපේක්ෂිත තරගාවලි ආශ්‍රිත තරගාවලි 
සම්බන්ධයෙන් නිල කාල සටහනක් නිකුත් කර ඇත.
ඇතැම් විට මෙම තරගාවලි වලට අමතරව තව දුරටත්
 විදේශ ග්‍රොන්ප්‍රී තරග ඇතුළත් වීමට ඒ ඒ ක්‍රීඩක
 දක්ෂතා සහ ලැබෙන ජාත්‍යන්තර පහසුකම් සහ මූල්‍යමය
 ප්‍රතිපාදන ද සමග අවස්ථාව හිමි වෙනු ඇතැයි 
එම සංගමයේ ආරංචි මාර්ග පැහැදිළි කරයි.

එසේම දැනටමත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම 
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පරිපාලනයේ ආශිර්වාදය
 ඇතිව විදේශ පුහුනුව ලැබී ඇති අතර ඉදිරියේ දී 
තව දුරටත් මෙවැනි අවස්ථා සදහා මග විවර කර දීම ට
උත්සාහ කරන බව ද එම ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
පහත දැක්වෙන්නේ මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කරන්නට
 යෙදුණු 2012 වසරට අදාළ නිල තරග කාල සටහනයි.


Month & Event
Date
Venue



January


National Cross Country Cahmpionships
29th




Standard Chartered Mumbai Marathon
15th
Mumbai, India



February


International Schools 12th Athletic Champ
17th to 19th
Diyagama



Over Distance & Under Distance Test
25th & 26th
Diyagama



Standard Chartered Hong Kong Marathon
05th
Hong Kong



March





Junior Athletic League
24th & 25th
Diyagama



Asian Cross Country Championship
24th
Qingzhen, China



11th Asian Cross Country Championships
24th
Qingzhen, China



April





National Athletic League - 1st Leg
28th & 29th
Diyagama



May





Asian Grand Prix (1st Leg)
6th
Bangkok, Thailand



Asian Grand Prix (2nd Leg)
9th
Kanchanaburi, Thailand



Junior National Championships
10th 11th 12th & 13th
Diyagama
(Final Trial for Asian Junior Championships)





Asian Grand Prix (3rd Leg)
13th
Nakomratsima, Thailand



SL Masters Athletic Meet
19th & 20th
Kandy



World Athletic Day
20th




Relay Carnival
25th 26th & 27th
Diyagama



June





National Athletic League - 2nd Leg
02nd & 03rd
Diyagama/Sugathadasa



15th Asian Junior Championships
09th 10th 11th & 12th
Sugathadasa Stadium



Lanka Lions Championship Meet
23rd & 24th
Diyagama



4th Asian All - Stars Competitions
30th June to 01st July
Almaty, Kazakastan



July





IAAF World Junior Championships
10th to 15th
Barcelona, Spain



Olympic Games
27th to 12th August
London



Mahaweli Kreeda

Embilipitiya, Mahaweli


Ground
August


National Sports Festival (Last Weekend)

Anuradhapura



September





Women's Championships
01st & 02nd
Diyagama



90th National Championships
21st 22nd & 23rd
Diyagama
(Final Trial for SAF Games)





October





12th LSR Colombo Marathon
07th
Colombo

Jan 6, 2012

පිබිදුණු සිංහයෝ යළි මැලවෙති


කුණු අප්‍රිකානු සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේ දී කලකට පසුව ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන ටෙස්ට් තරගයේදී එම ජයග්‍රහණය වාර්තා කළ කණ්ඩායම දැයි සැක හිතෙන තරමට දුර්වල ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කරමින් ඉණිමක පරාජයක් ලැබීමේ අවදානමට මුහුණ දී සිටියි.දකුණු අප්‍රිකාව ප්‍රථම ඉණිමට කඩුලු 4 ට ලකුණු 580 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය ප්‍රථම ඉණිමේ දී රැස් කළේ ලකුණු 239 ට දැවී ගිය අතර දෙවන ඉනිම සදහා ඊයේ දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී රැස් කර සිටියේ ලකුණු 138 ක් පමණි.
ප්‍රථම දෙදින තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 729 ක් එකතු වූ කේප්ටවුන් තණතිල්ල තුළ ශ්‍රී ලංකාව ඊයේ දිනයේ දී ලකුණු 228 ට කඩුලු 12 ක් අහිමි කර ගනිමින් පෑ පිතිහරඹය දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ  දක්ෂතාවයට වඩා ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසීම මදකම සහ නොසැළකිල්ල පැහැදිළි කරන්නක් බව පිළිගත යුතුය.ඉතා අපහසුවෙන් පරාජයෙන් නැගිට ජයග්‍රහණ අතරට පිවිසි ශ්‍රී ලංකාව ඊටත් වඩා අන්ධකාර පරාජයේ මාවතකට තල්ලු කරමින් දෙවන වරටත් දකුණු අප්‍රිකාව තුළ දී ඉණිමක පරාජයට මුහුණ දීමේ අවධානමට මුහුණ දී සිටින අතර එම අවමානයෙන් ගැලවීම සදහා ශ්‍රී ලංකාවට තව දින දෙකක්ම ඉතිරිව තිබීම එම අවධානමේ ප්‍රමාණය තිව්ර කරන්නේය.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට දෙවන ඉනිමේදී තිලකරත්න ඩිල්ෂාන් -ලකුණු 05,කුමාර සංගක්කාර - ලකුණු 34 සහ මහේල ජයවර්ධන -ලකුණු 12 යන විශ්වාසවන්තම පිතිකරුවන් තිදෙනාගේ කඩුලු අහිමිව තිබෙන අතර එය ශ්‍රී ලංකාව පරාජය දෙසට තල්ලු විය හැකි ප්‍රබලතම සාධකයක් ලෙස දැකිය හැකිය.පිලැන්ඩර් ගේ දෝලනය,ස්ටෙයින් ඉලක්කගත වේගය මෙන්ම ඉම්රාන් තාහීර් ගේ දග කැවීම ඉදිරියේ වැරදි වලට පෙළඹෙමින් සිටින ශ්‍රී ලංකා පිතිකරු නාම ලේඛණයේ මේ වන විට පිතිකරුවන් ලෙස විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයන් ඇත්තේ තිදෙනෙකු පමණි.ඒ මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින තිලාන් සමරවීර සහ උප නායක ඇන්ජලෝ මැතිව්ස් යන දෙදෙනාත් සමග දිනේෂ් චන්දිමාල් ය.මේ තිදෙනා කෙතරම් වේලාවක් කඩුල්ලේ රැදී සිට කෙතරම් ලකුණු ප්‍රමාණයක් රැස් කරයිද යන්න සහ පසුපෙළ පිතිකරුවන් සිය කඩුල්ල රැක ගනිමින් උපරිම දායකත්වය කණ්ඩායමට ලබා දීම තුළ හැරෙන්නට මේ තරගයෙන් ගොඩ ඒමක් ශ්‍රී ලංකාවට නැති බව අකමැත්තෙන් වුව ද පිළිගත යුතු සත්‍යයකි.
ලකුණු විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීමට හැකියාව ඇත. http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514034.html