Feb 9, 2013

ලංකාවට අපල දවසක්

Chamari Atapattu was bowled for a duckකාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව නවසීලන්තය ඉදිරියේ පරාජයට පත් වුණා.ඒ එංගලන්ත තරගය ජය ගෙන අනතුරුව අදහාගත නොහැකි අන්දමින් බටහිර ඉන්දීය කොදෙව් තරගයට පරාජය වූ අයුරින්මයි.ඉන්දියාවට එරෙහිව සුපිරි ජයක් ලබමින්  සුපිරි හය වටයට පිවිසි ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයග්‍රහණයකින් පසුව අනවශ්‍යය ආකාරයට සැහැල්ලු වන්නේ දැයි සැක සිතෙන තරමට නවසීලන්තයට එරෙහිව ලකුණු 103 ට දැවී යාම ද අදහාගත නොහැක්කක්.
ඉන්දීය තරගයේදී පිතිකරු පෙළ ගැස්ම ඉතා හොද මට්ටමකින් ක්‍රියාත්මක වූ අතර ඒ නිසාම පිතිකාරිණියන් සිව් දෙනෙකුම අර්ධ ශතක ලබා ගත්තා.නමුත් එම පිතිකරු අනු පිළිවෙළ ඊයේ යළත් වෙනස් කම් වළට භාජනය වී තිබෙනු දකින්නට ලැබුණු අතර මෙසේ ස්ථාවර පිතිකරණ අනු පිලිවෙළක් දකින්නට නොලැබීම තරගාවලිය පුරාම ක්‍රියාත්මක වනවා.මේ තත්ත්වය දක්ෂතා අතින් ඉහළින් සිටියද පරිනත වෘත්තීය තත්ත්වය හා සම වීමට ශ්‍රී ලංකාවට තව දුර යා යුතු බව පෙන්වා දීමක්.
එය ක්‍රීඩාවේ පරිපාලනය හා සෘජුවම සම්බන්ධ වෙනවා.ස්ථාවර වෘත්තීය මට්ටමක් වෙනුවට තරගයෙන් තරගයට මුදල් උපයන දෛනික කූලි රැකියාවක් බදු ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ජීවිත වල අස්ථාවර ස්වභාවයද පරිනත තත්ත්වයට ප්‍රවේශ වීමට ඇති මාර්ගය ඉදිරියේ තබා ඇති මාර්ග බාධක බදුයි.
මේ තත්ත්වය නිසා විශාල ජයග්‍රහණයකින් පසු ඊ ළග තරගයට අතිශයින් සරල විදිහට සෙසු කණ්ඩායම නොසළකා හැර සහභාගි වන්නේද යන සැකය පසු ගිය කාලය තුළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හැසිරීම් නිරීක්ෂණය කිරීමේදී සාධාරණ සැකයක් ඇති වෙනවා.
මේ සදහා වෘත්තීය තත්ත්වය ස්ථාවර වීම සහ ජයග්‍රහණය ආඩම්බර වීමට ආභරණයක් නොවන සාමාන්‍ය ජීවිතයේ කොටසක් වන තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ භෞතික සහ අධ්‍යාත්මික පරිසරය සකස් වීම වැදගත් වෙනවා.ඒ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අද දෑස් වලට ඇගිල්ලෙන් අනින තරමේ දස්කම් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙන්වා තිබෙනවා.දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිය පමා වූ වගකීම ඉටු කිරීමට කාලය එලැඹ තිබෙන බව මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ සිදු වූ පරාජයන් සහ ජයග්‍රහණ හරහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පැහැදිළි කරමින් සිටිනවා.
එසේම නවසීල්නතයට කඩුලු අටකින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරාජයට පත් වෙමින් සුවිශාල දක්ෂතා මගින් තහවුරු කරන ලද ජයග්‍රහණ වල දීප්තිය අඩු කර ගනිද්දී එංගලන්ත ක්‍රීඩිකාවන්ට ලකුණු දෙකක තියුණු පරාජයක් ඕස්ට්‍රේලියාවෙන් හිමි වීමටත් ශ්‍රී ලාංකිකයෙකු බල පෑවා.ඒ තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ රුචිර පල්ලියගුරු ලබා දුන් දුර්වල විනිසුරු තීරණ දෙකත් ඒ සියුම් පරාජයට විශාල වශයෙන් හේතු වූ නිසයි.විස්තර විචාරකයන්ගේ දැඩි දෝශ දර්ශනයට ලක් වූ පල්ලියගුරුගේ විසින් එංගලන්තයේ ප්‍රබලතම පිතිකාරිණිය වන නායිකා චාලට් එඩ්වර්ඩ්ස් ට එරෙහි කඩුල්ල ආවරණය කිරීමේ තීරණයත්,එයින් බිද වැටෙමින් තිබූ එංගලන්ත ඉණිම ගොඩ ගනිමින් ලකුණු 57 ක සබදතාවයක් ගොඩ නැගී තිබියදී සාරා ටේලර්ට ලබා දෙන කඩුල්ල ආවරණය  කිරීමේ  තීරණයත් යන දෙකම නොදැවීම් හැටියට හදුනා ගැනීමට හැකි වුණා.
මේ නිසා ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව සුපිරි හය වටයේදී ශ්‍රී ලංකාවට ප්‍රතිවාදියෙකු ලෙස හමුවන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවට ද  යම් අවාසියක් මේ ජයග්‍රහණයෙන් අත් විය හැකි නිසා පල්ලියගුරුගේ ගේ දුර්වල තීරණයන් ශ්‍රී ලංකාවට ද බලපාන තීරණ ලෙස හැදින්විය හැකියි.
www.supirikrida.com

බැඩ්මින්ටන් දන්දෙණියට දන් දෙන වෑයමක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ උදහසට ලක් වී තිබෙන වර්ථමාන බැඩ්මින්ටන් පරිපාලනයේ අක්‍රමවත් සහ විනිවිද භාවයකින් තොර පාලනය නිසා මෙවර ඔවුන්ට අමාත්‍යවරයාගේ ආශිර්වාදය නොලැබෙන තත්ත්වයක් තුළ සුරාජ් දන්දෙණිය සභාපති පුටුවට ගෙන ඒමට වත්මන් පරිපාලනය විසින් න්‍යාය පත්‍ර සකස් කරමින් සිටින බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.මෑත ඉතිහාසයේ පරිපාලනය කොයි පිට පෙරලුණ ද,බලය සහිත කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටීමට අවශ්‍යය පදනම සකස් කර ගන්නා පාලකයා යන අර්ථය සිය නමේම ඇති පුද්ගලයෙකු මේ කොන්ත්‍රාත්තුව මෙහෙයවන බව ද එම තොරතොරු ඔස්සේ වාර්තා වෙයි.
ක්‍රීඩා අමාත්‍යවරයා ද බැඩ්මින්ටන් පරිපාලනයට ද මේ පුද්ගලයා ඉවත් කළ යුතු බව වරක් දැන් වුව ද,අවසානයේ සිදු වූයේ අමාත්‍යවරයාගේ ඉල්ලීම ක්‍රියාත්මක වීම වෙනුවට ඔහුට පරිපාලනය තුළ වඩාත් බලසම්පන්න වීමට අවස්තාව ලැබීමය.නාඩි වැටෙන අයුරෙන් ලෙඩේ නිගමනය කළ හැකි වෙදනෙකු වැනි යැයි කේෂ්ත්‍රයේ කතා බහට ලක් වන මේ පුද්ගලයා අමාත්‍යවරයාගේ කැමැත්ත ‍ගත හැකි පුද්ගලයෙකු නිලවරණයට කැදවමින්,එම කණ්ඩායමේ ප්‍රබල භූමිකාවට අර ඇදීමට සූදානමින් සිටින බව ද එම ප්‍රවෘත්ති වාර්තා පෙනවා දෙයි.මේ හැකියාව භාවිතා කරමින් තමන් ගැන ඉහළින් ඇති විරෝධය මැඩ ගත හැකි පුද්ගලයන් යොදා ගැනීමට ඔහුට ඇති හැකියාව නිසාම අතැමුන් ඔහු 'නාඩි වෙදා' ලෙස හදුන්වන බව ද එම ආරංචි මාර්ග පැහැදි"ළි කරයි.
ඉකුත්2011  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ ප්‍රවේශපත් වංචාවන් සහ ක්‍රීඩා පිටි ඉදිකිරීමේ කොන්ත්‍රාත් පිළිබදව නිතරම මාධ්‍ය හරහා නම කියැවුණු පුද්ගලයෙකු වූ දන්දෙණියට මේ සදහා රජයේ ඉහළ ආශිර්වාදය හිමි වනු ඇතැයි යන විශ්වාසයෙන් බැඩ්මින්ටන් මුල් පුටුවට ගෙන ඒමේ සටන ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර,එම පරිපාලනයේද බොහෝ වගකීම් අමාත්‍යවරයාගේ සිටම විවේචනයට ලක් වූ පවතින පරිපාලනයේ පුද්ගලයන් අතටම සුළු සුළු වෙනස්කම් සහිතව පත් වීමට නියමිත බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.සුරාජ් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇති වූ ආන්දෝලනාත්මක කතා බහ තුළ ක්‍රීඩා අමාත්‍යවරයාට සුරාජ්ට මේ සදහා ආශිර්වාද කිරීමට තරම් දේශපාලනික වශයෙන් යටත් පහත් වන්නට සිදු වුවහොත් අමාත්‍යවරයාම දැඩිව විවේචනය කළ බැඩ්මින්ටන් පරිපාලන දේහය ඒ ආකාරයෙන්ම පවතිද්දී වෙනත් පාට ඇදුමකින් එය සැරසීමක් පමණක් සිදු වනු ඇති බව සුපිරික්‍රීඩා අවධාරණය කරන්නෙමු!
www.supirikrida.com

දැල්පන්දු තේරීම් කමිටුවේ නාම ලේඛණය සැකසීමේදී ඉහළ නිලධාරිණියක් ඇමති SALE කරයි

දැල් පන්දු තේරීම් කමිටුවේ නාම ලේඛනය සැකසීමේදී අමාත්‍යවරයාගේ හිතවතියන් බව කියමින් සෙසු නිලධාරීණියන්ගේ අකමැත්ත සහ විරෝධය නොතකා එම නාම ලේඛනයට දෙදෙනෙකුගේ නම් ඇතුළත් කිරීමට දැල්පන්දු ඉහළ නිලධාරිණියක් කටයුතු කළ බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.අදාළ නිලධාරිණිය වරින්වර විවිධ පාර්ශව වල සාමාජිකාවක් වෙමින් වසර ගණනාවක් නිල වරණ වලදී ජයග්‍රහණය කරන කණ්ඩායමේ සාමාජිකාවක් වීම සදහා පිල් මාරු කිරීමට ප්‍රසිද්ධියක් උසුලන්නියක් වන අතර ඇය විසින් මෙසේ ඇමතිවරයාගේ නම විකුණා විරෝධයන් යටපත් කොට ඇතුළත් කර ඇති එක් නමක් වර්ථමාන දැල්පන්දු කඩා වැටීමට මුලීකත්වය ගනිමින් ජාතික පුහුණුකාරියව සිටි තිලකා ජිනදාස ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන්ම පිඹුරුපත් සැකසූ නිලධාරිණිය යි
හිටපු අති විශිෂ්ඨ ක්‍රීඩිකාවක් වූ තේරීම් කමිටුවට නම් කරන ලද තැනත්තිය සිය පරිපාලන සමයේදී පුද්ගල හැකියාවන් සහ දක්ෂතාවයන් වෙනුවට සිය රුචිකත්වයන් මත ලාංකේය දැල් පන්දුවේ හැඩතල වෙනස් කිරීමට දැරූ උත්සාහයන් නිසා අද වන විට දැල් පන්දුව ජාත්‍යන්තර වශයෙන් කඩා වැටී ඇති ස්ථානය දක්වා පහළ වැටී ඇත.මේ නිසා පෞද්ගලික කැමැත්තන් මත කටයුතු කිරීමේ ඇය සතු ලක්ෂණය මෙන්ම වෙනත් විනය කාරණාද සැළකිල්ලට ගනිමින් ඇයගේ නම ඉදිරිපත් කිරීමට සෙසු නිලධාරිණියන් විරෝධය දක්වද්දී ඇය ක්‍රීඩා අමාත්‍යවරයාගේ සමීපතම හිතවතියක් බව පවසමින් ඇය නම් නොකිරීමෙන් දැල්පන්දු සංගමය ඇමති උදහසට ලක්වන තැනක් වනු ඇතැයි පෙන්වීමට ඇයගේ නම ඉදිරිපත් කළ නිලධාරිණිය කටයුතු කර ඇත.
බලයට පත්වන පාර්ශවයට හේත්තු වී ඉහළ නිලයකට ප්‍රවේශ වීම මෙන්ම සිය පෞද්ගලික සබදතා සදහා සංගමයේ යම් යම් කාර්යයන් පවරා ආර්ථික වාසි ලබා ගැනීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වි ඇති තේරීම් කමිටු නාම ලේඛණය සැකසීමට බලපෑම් කළ නිලධාරිණිය පළමු වරට අමාත්‍යවරයාට ඉදිරිපත් කළ නම් අට, අමාත්‍යවරයා 10 දෙනෙකු දක්වා දීර්ඝ කර එවන මෙන් කළ ඉල්ලීමට,අනුව ඉතිරි නම් දෙක සැකසීමේදී ද,පළමුව නම් කළ නම ඇති තැනත්තිය සේවය කරන ආයතනයට සම්බන්ධ තවත් හිටපු ක්‍රීඩිකාවකගේ නම ද,අමාත්‍යවරයාගේ හිතවතියක් බව කියමින් සෙසු නිලධාරිණියන්ගේ විරෝධය යටපත් කොට ඇතුළත් කිරීමට මෙම නිලධාරිණිය කටයුතු කර ඇත.එම තැනත්තිය මීට පෙර අතුරු කමිටුවක් සදහා ගෙන ඒමට තැත් කර ඇති තැනත්තියක් වන අතර ඒ නිසා විශාල ගැටළු ගණනාවකට සිය පෞද්ගලික ජීවිතයේද මුහුණ දෙන්නට සිදු වූ තැනත්තියක් බව පරිපාලනයේ ඇතැම් අය පෙන්වා දීමට උත්සාහ කළ ද,ඉහළ නිලධාරිණිය ඒ සෑම අවස්ථාවකම අදාළ නම් දෙක ඉදිරිපත් නොකිරීම අමාත්‍යවරයාගේ උදහසට හේතු විය හැකි තත්ත්වයක් නිරිමාණය කිරීමට හේතු වනු අතැයි පෙන්වා දී ඇත.
වසර ගණනක සිට පැවති පරිපාලනයන්හි සාමාජිකයෙකු ලෙස ඇති වී තිබෙන සෑම ගැටළුවකටම වගකිව යුතු නිලධාරිණියක් වන මෙම ඉහළ නිලධාරිණිය අමාත්‍යවරයාගේ උවමනාවන් බව අගවමින් මේ ආකාරයට කටයුතු කළහොත්,දැල්පන්දුවේ දියුණුව අපේක්ෂාවෙන් පළමු වරට නිල වගකීම් ගැනීමට තීරණය කළ වර්ථමාන පරිපාලනයේ සිටින බොහෝ දෙනෙකු තමන් අපේක්ෂා කළ පරිදි කටයුතු කිරීමට නොහැකි වනු ඇතැයි සවේගයෙන් පසුවෙති.ඒ අතරම මෙම නිලධාරිණිය තේරීම් කමිටුවට අදාළ නම් යෝජනා කිරීම පිළිබද සැලවීමෙන් පසු තේරීම් කමිටුවට කැදවීම් කරන ලද කිහිප දෙනෙකුම පෞද්ගලික හේතු මවා පෙන්වමින් ඒ සදහා සහභාගි වීමට නොහැකි බව දන්වා ඇත.
එසේම මෙම තේරීම් කමිටු නාම ලේඛණයේ තේරීම් කමිටුවල සාමාජිකාවන් ලෙස කටයුතු කිරීමේදී පෞද්ගලිකත්වය නොතකා සෘජු තීරණ ගණිමින් සහ ඒ තීරණ වෙනුවෙන් සෘජුව පෙනී සිටි නිලධාරිණියන් ද  සිටින අතර එසේම තනතුරු වගකීම් ආභරණ කොට සළකා සිය සෞඛ්‍යය තත්ත්වය හෝ වයස පවා නොසළකා වගකීම් බදා ගැනීමට ගිජු කමක් දක්වන මෙන්ම අමාත්‍යංශයට සම්බන්ධ වී දැල්පන්දුව දියුණු කිරීමේ වගකීමට නිසි ලෙස සහ නිර්මාණාත්කව උර නොදුන්න ද,එම තනතුරේ ආලෝකයෙන් වරප්‍රසාද භුක්ති විදින චරිතද ඇතුළත්ව ඇත.කෙසේ වුව ද අමාත්‍යවරයා නිවැරදි තේරීමක් නොකළහොත් දැල් පන්දු පරිපාලනය වැඩ ආරම්භ කිරීමට උත්සාහ දරමින් පළමු වරට තේරීම් කමිටුව නම් කිරීමට දරණ උත්සාහයේදීම බරපතළ තත්ත්වයක් ඇති විය හැකි බව සුපිරි ක්‍රීඩා පෙන්වා දෙන්නේ මේ වන විටත් මෙසේ නම් කරන ලද ඇතැමුන් නිවැරදි පුද්ගලයන් එයට සම්බන්ධ නොකොට තම නම ඇතුළත් වුවහොත් තේරීම් කමිටු සාමාජිකත්වය නොදරණ බව ප්‍රකාශ කර ඇති තත්ත්වයක් තුළය.
www.supirikrida.com 

Feb 8, 2013

සාලිය සමන් ට කඩුලු ත්‍රිත්වයක්

Pitigala Arachchi Saliya Saman Jeewanthaපළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ බදුරලිය සහ එස්එස්සී ක්‍රීඩා සමාජ අතර එස්එස්සී සමාජ ක්‍රීඩා පිටියේ ඇරඹි තෙදින තරගයේ පළමු දිනය නිමා වන විට බදුරලිය ක්‍රීඩා සමාජ කණ්ඩායමේ,සාලිය සමන් ‍කඩුලු ත්‍රත්වයක් දවා ගනිමින් කරන ලද  විශිෂ්ඨ පන්දු යැවීම ඉදිරියේ එස්එස්සී කණ්ඩායම දැඩි අසරණ තත්ත්වයකට පත් වී සිටියි.වර්ථමාන ජාතික කණ්ඩායමේ සහ ජාතික කණ්ඩායම නියෝජනය කළ  ක්‍රීඩකයන්ගෙන් සපිරි එස්එස්සී කණ්ඩායමේ කඩුලු ත්‍රිත්වය ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න,කෞෂාල් සිල්වා සහ තිළිණ කණ්ඩම්බි ගොදුරු වූ අතර එම කඩුලු ත්‍රිත්වය එස්එස්සී කණ්ඩායමේ මුල් කඩුලු තුන ලෙස දැවී යාමද  විශේෂත්වයකි.
බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉණිමට ලකුණු 227 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ඉණිම ක්‍රීඩා කරන එස්එස්සී ක්‍රීඩා පිටිය සිය ක්‍රීඩා පිටියේදීම අසරණ කළ සාලිය සමන් දිනය නිමා වන විට ලකුණු ඔවුන්ගේ ලකුණු පූවරුව කඩුලු 6 ට ලකුණු 45 ක් බවට පත් කර තිබිණ.දැවී ගිය එම කඩුලු හයම ලකුණු 21 ක් ලබා දෙමින් ජයගත් සාලිය සමන් ගාල්ල ක්‍රීඩා සමාජය ඉකුත් සතියේ ඉණිමකින් පරාජය කරද්දී ද,මුළු තරගයේදී ලකුණු 36 ට කඩුලු 7 ක් දවා ගත්තේය.( 23 /2 සහ 13 / 5) ඒ අනුව මේ වන විට බදුරලිය ක්‍රීඩා සමාජය මෙම තරගවාරයේ මුහුණ දෙන දෙවන තරගයේ පලමු ඉණිමේ අඩක් නිම වන විටත් සමස්ත තරගයේ ලකුණු 57 ට කඩුලු 13 ක් ලබා ස්ථාවර මට්ටමක රැදී සිටියි.
වේග පන්දු යවන්නෙකුට සරිලන උසක් ඇති අඩි 6 අගල් දෙකක උසකින් යුත් සාලිය, බලපිටිය රේවත විද්‍යලයෙන් ක්‍රිකට් පිටියට දායාද කළ 27 හැවිරිදි වියේ පසු වන්නේය.
www.supirikrida.com

TEN SPORTS සත් වසක ඉල්ලමට ඇමතිගෙන් වාරණයක්

ත් වසරක කාලයක් ක්‍රිකට් විකාශය සදහා ටෙණ්ඩරයකින් තොරව TEN SPORTS වෙත විකාශන අයිතිය ලබාදීමට ක්‍රිකට් ආයතන ෂබාපති උපාලි ධර්මදාස කළ ඉල්ලීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.TEN SPORTS සහ ක්‍රිකට් ආයතනය සත් වසරක කාලයක් සදහා විකාශන අයිතිය සම්බන්ධයෙන් එකගතාවයකට පිවිස තිබෙන බව දන්වමින් එම කාල පරිච්ඡේදය සදහා විකාශන අයිතිය TEN SPORTS වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ක්‍රිකට් සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීම මේ ආකාරයට ප්‍රතික්ෂේප කරන්නට යෙදුණ බව ක්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අමාත්‍යවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ඇති බව පවසන ක්‍රීඩා අමාත්‍යංශ ප්‍රකාශනය,එම උපදෙස් වලට අනුව යමින් විකාශන අයිතිය ටෙණ්ඩරය විනිවිද භාවයකින් යුත් ටෙණ්ඩර් කැදවීමකට අනුව සිදු කරන ලෙස ක්‍රිකට් ආයතනය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද අවධාරණය කරන්නේය.
www.supirikrida.com

වසරේ වේගවත්ම කාලය මේරියම්ගෙන්

French sprinter Myriam Soumare (Getty Images)


මේ වසරේ ගෘහස්ත කාන්තා මීටර් 200 ඉසව්වේ හොදම කාලය වාර්තා කරමින් Eaubonne  හී පැවති Meeting Feminin du Val d’Oise’ මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 200 ඉසව්ව තත්පර 22.87 කින් නිම කර ජය ගන්නට ප්‍රංශයේ මේරියම සමෝර් සමත් වූවාය.එහි විශේෂත්වය වන්නේ ඇය ප්‍රථම වරට එම ඉසව්වේ තත්පරේ 23 කාලයෙන් මෙපිට සිට එම තරගය නිම කිරීම වන අතර එහි දෙවන ස්ථානය ලැබූ ජැමෙයිකානු ක්‍රීඩිකා පැට්ට්‍රිසීයා හෝල් තත්පර 23.20 කින් තරගය නිම කළ අතර ඇය ඉකුත් වසරේ මෙම තරගාවලියේ මීටර් 200 ඉසව්ව ජයගත් ක්‍රීඩිකාව වූවාය.
ගෘහස්ථ තරගාවලියන් හී ධාවන පථය මීටර් 400 ක් වන්නේ නැති අතර එම ධාවන පථයක දිග ප්‍රමාණය මීටර් 200 ක් පමණි.මීටර් 400 ධාවන පථයක දී මීටර් 200 සදහා එක කවාකාර ධාවනයක පමණක් යෙදෙන්නට සිදු වුව ද,මීටර් 200 ධාවන පථයේදී එම දුර සදහා කවාකාර ධාවන දෙකක යෙදෙන්නට සිදුවන බැවින් මීටර් 400 ක ධාවන පථයක දී වාර්තා කරන කාලය වාර්තා කිරීමට නෙහැකිය.
www.supirikrida.com

මහත්තුරුන්ගේ සෙල්ලමේ නෝනලාට කොන්ත්‍රාත් නැත

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන් නොවන ක්‍රීඩකයන් සමගද ගෙවීම් සම්බන්ධ යම් යම් එකගතා ගිවිසුම් පවත්වා ගෙන යන බව ද,එවැනි තැන් වලදී ක්‍රීඩකයන් තේරීම ආදියේදී සිදුවන අක්‍රමිකත ගැනද කොතෙකුත් වාර්තා වන නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලෝකයට අභියෝගයක් වෙමින් සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට එවැනි නිශ්චිත වූ ගෙවීම් සම්බන්ධ කොන්ත්‍රාත් පදනමක් මේ දක්වා ක්‍රියාත්මක නොවන බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
රැකියාලාභීන්ට විශාල වශයෙන් පඩි ගෙවන සහ සුඛෝපභෝගී පහසුකම් ලබා දෙන ආයතනයක් වන ක්‍රිකට් ආයතනය රට නියෝජනය කරන ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් වගකිව යුතු ලෙස කටයුතු නොකිරීම ගැටළුකාරී තත්ත්වයක් ඇති කරන අතර ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවක්,ජාතික සංචිතයේ ක්‍රීඩිකාවක් මෙන්ම වරින්වර මෙම අවස්ථා සදහා ගැලපෙන කැදවීමට හැකි පිරිස් ද වන අතර ජාතික මට්ටමේ සිටින ඔවුන්ව ද යම් අනුග්‍රාහක පදනමකින් සුරැකිව තබා ගැනීම කළ යුතු බව ක්‍රිකට් ආයතනය තේරුම් ගැනීම වටින්නේය.ඒ නිසා  ඉහළ තනතුරු දරන නිලධාරීන් සිය අවශ්‍යයතාවය පදනම් කරගෙන ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල ඉහළ තනතුරු සදහා බදවා ගන්නා අයට තරම්වත් නොලැබෙන, තරග වැටුපකට සීමා වී තිබෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයන්ගේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මීට වඩා පලදායී මැදිහත්වීමක් කළ යුතුය.
එසේම ජාතික තලයට ගමේ ක්‍රීඩකයන් කැදවා ගෙන ඒම සදහා මේ වන විට විශාල වශයෙන් මුදල් යොදා කරන ව්‍යාපෘති දියත් කරමින් සිටින අතර  නමුත් තවමත් රටේ පළාත් හතරක පාසල් කිහිපයකින් හැරෙන්නට වෙනත් ආකාරයකින් කණ්ඩායමට ආ පිරිස සීමිතය.ජාතික කණ්ඩායම පැමිණි එම පාසල් අයත් නොවන පළාතක එකම ක්‍රීඩකයා කෑගල්ල ශාන්ත මේරී විද්‍යලයෙන් පැමිණි තරංග පරණවිතාන පමණක් වන අතර,ඔහු ද කොළඹ එස්එස්සි ක්‍රීඩා සමාජයෙන් තරග බිමට පිවිසි අයෙකි.සෙසු සියල්ලෝ බස්නාහිර,දකුණ වයඔ සහ මධ්‍යම පළාත් වල  ක්‍රීඩකයෝ ය.
නමුත් කාන්තා ක්‍රිකට් මේ වන විටත් ගමෙන් පිටතට ගොස් තිබෙන අතර  ජාතික කණ්ඩායමේ අනුරාධපුර වැනි දුෂ්කර පළාත් නියෝජනය කරන ක්‍රීඩිකාවන් ද සිටිනු පෙනේ.එසේම ජනප්‍රිය පාසල් සංස්කෘතිය තුළ නොකියවෙන පාසල් පද්ධතියක් හරහා මෙම ක්‍රීඩිකාවන් වැඩි දෙනෙකුගේ ජාතික කණ්ඩායම් සම්ප්‍රාප්තිය සිදු වී ඇති අතර,පාස් ගත්තද රත්නපුර සුමනා බාලිකා වැනි දුර බැහැර පාසල් කාන්තා පාසල් ක්‍රිකට් කේෂ්ත්‍රය ආක්‍රමණය කරමින් සිටිනු බවක් පෙනෙයි.ඒ නිසා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් පිළිබද අඩු මට්ටමේ සැළකිල්ල කාන්තාවන්ට දක්වන අඩු සැළකිල්ල නිසා මෙන්ම ගමට දක්වන කැකිරි සැළකිල්ල නිසා ද සිදු වූවක් විය හැකිය.
www.supirikrida.com

Feb 7, 2013

දැයට කිරුළ වොලිබෝල් සූරතාවයට තරග වදින කණ්ඩායම් තේරී පත් වේ

 දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා වොලිබෝල් පාළක මණ්ඩලය,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පාසල් වොලිබෝල් සංගමය,දැයට ප්‍රදර්ශන සංවිධාන කමිටුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සාදර අනුග්‍රහය යටතේ සංවිධානය කරන්නට යෙදෙන,ජාතික මට්ටමේ පිරිමි සහ බාලක වොලිබෝල් තරග මාලාවේ අවසාන පූරව තරග සදහා තරග වදින කණ්ඩායම් මේ වන විට තේරී පත් වී තිබෙනවා.රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ ඉකුත් 19 සහ 20 යන දෙදින තුළ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේ විවෘත පිරිමි අංශයෙන් දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය,නාත්තණ්ඩිය යුනයිටඩ්,කටාන ඒකාබද්ධ සහ ආනමඩුව ක්‍රීඩා සමාජය අවසාන පූර්ව වටයට පිවිස සිටිති.පාසල් අංශයෙන් නාත්තණ්ඩිය ධම්මිස්සර,සීදුව දවිසමර , රුවන්වැල්ල රාජසිංහ සහ මීගමුව මාරිස්ටෙල්ලා කණ්ඩායම් අවසාන පූර්ව තරග වලට පිවිස සිටිති.
මෙම කණ්ඩායම් අතර පවත්වන අවසාන තරග සහ අවසාන තරග අම්පාර දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී පැවත්වීමට නියමිතය.
www.supirikrida.com

කාන්තා ලෝත කුසලාන තරගාවලියේ කළු අශ්වයාගේ භූමිකාව සිංහ ධේනුවන්ට

මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දෙවන ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම අත් කර ගත්තේ ඉන්දියාවට එරෙහිවයි.ලකුණු 138 ක දැවැන්ත ජයක් වූ එම ජය ද එංගලන්තය පළමු වරට පරාජය කළ අයුරෙන්ම ඉන්දියාව පළමු වරට පරාජය කිරීමක් වෙනවා.ඒ නිසා මේ වන විට ලෝක කුසලාන තරගාවලියක පළමු වරට සුපිරි හය වටයට ද පිවිසීමට හැකි වී තිබෙන ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ වැඩිම කතා බහට ලක් වූ පිල ලෙස තරගාවලියේ ජයග්‍රහණයට ඔට්ටු වන කළු අශ්වයා බවට පත් වී තිබෙනවා.
ආසියාතික මට්ටමෙන් ගත්  විට අංක එකට මෙන්ම ලොව අංක තුනට සිටින ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මේ නිසා සිය මව් රටේදීම සුපිරි හය වටය අහිමි වීමත් ශ්‍රී ලංකාවේ දස්කම් නිසා සිදු වී තිබෙන අතර එසේම ශ්‍රී ලංකාව පරාජය කළ එංගලන්ත කණ්ඩායම දැනට ලොව අංක එකේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද වෙනවා.මේ අනුව සළකා බලද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා කර සිතිය යුතු නැති අතර ඔවුන් මෙම තරගාවලියේ සූරතාවය සදහා අභියෝග කළහැකි කණ්ඩායමක් බවට හදුනා ගෙන තිබෙනවා.
සුපිරි හය වටයේදී ශ්‍රී ලංකාවට හමුවන ඕසට්‍රේලියාව දැනට අංක දෙකට ජගත් ශ්‍රේණිගත කිරීම් වල සිටින කණ්ඩායම වන අතර,නවසීලන්තය අංක හතරට සිටිනවා.ශ්‍රී ලංකාවට හමු වන දකුණු අප්‍රිකානු කණ්ඩායම පුහුණු තරග වටය තුළ ශ්‍රී ලංකාවට පරාජය වී තිබෙන අතර ශ්‍රේණිගත කිරීම් වලදී ද ශ්‍රී ලංකාවට පසු පසින් රැදී සිටිනවා.ඒ අනුව ගත් කළ අංක එකේ කණ්ඩායම පරාජය කිරීමේ හැකියාවක් පෙන් වූ ශ්‍රී ලංකාවට අංක දෙකේ කණ්ඩායම සහ අංක එක සහ තුන කණ්ඩායම් පරාජය කළ බැවින් අංක හතරට සිටින නවසීලන්තයට හොද මානසික විශ්වාසයකින් මුහුණ දීමට හැකියාවක් තිබෙනවා.
ශ්‍රී ලංකා පිතිකාරිණියන් දක්වන වෘත්තීය මට්ටම මෙහිදී වඩාත් අවධානයෙන් සැළකිල්ලට ගත යුතු වනවා.ඉණිම ගොඩ නැගීමේ පළමු පියවර පැවරෙන යශෝධා මෙණ්ඩිස් මෙන්ම චමරි අතපත්තු එංගලන්තයට එරෙහිව දියත් කළ ඉණිම නැවත ක්‍රියාත්මක කිරීමේ විශ්වසනීයත්වය ගොඩ නගා ගන්නේනම් ශ්‍රී ලංකා වේ මැද පෙළ ශක්තිමත් කරන දැනට ලෝක කුසලාන තරගාවලියේ ප්‍රහාරාත්මකම පිතිකාරිණියක් බවට සියල්ලගේ අවධානය නො'අඩුව දිනා සිටින කෞශල්‍යයා ලොකුසූරිය වැනි ක්‍රීඩිකාවන්ට ප්‍රතිවාදිනියන් මට්ටු කිරීමේ හැකියාව ලැබෙනවා.නමුත් ශ්‍රී ලංකා පිතිකරණ බල ඇණිය තවමත් නිවැරදිව පෙළ ගස්වා නැති බව පැහැදිළියි.එය දක්ෂතා නිවැරදිව වටහා ගනිමින් තිබෙන බවක් දැකීම තව දුරටත් පෙනෙන්නට තිබීම අවාසනාවන්ත තත්ත්වයක්.
ඉන්දියාවට එරෙහිව තාක්ෂනයෙන් පිරිපුන් ඉණිමක් දියත් කළ දීපිකා රසාංගිකා,එංගලන්ත තරගයේදී අංක නවයට පිටියට පිවිසි ක්‍රීඩිකාවයි.දැන්වත් ඇය අංක තුන ස්ථානයේ පිහිටුවා තැබිය යුතුයි.එසේම අවසාන පන්දුව වන විට එංගලන්තය හා සම මට්ටමට පත්ව සිටි ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පිණිස වන දැවැන්ත හයේ පහර එල්ල කළ ඩිලානි මනෝදරා ද පෙර අංකයක පන්දුවට පහර දීමට කැදවීම සුදුසුයි.ඇය පීඩනය යටතේ ප්‍රති පීඩනය ඇති කළ හැකි අන්දමේ ක්‍රීඩිකාවක් ලෙස තේරුම් ගැනීමට අවසාන පන්දුවට එල්ල කළ එම හයේ පහරම ප්‍රමාණවත් වනවා.
ඒ නිසා සුපිරි හය වටයේදී කණ්ඩායමේ ස්ථාවරය සළකා අවසාන පන්දු ඕවර් කිහිපයේදී ලකුණු වේගය වැඩි කළ හැකි පිතිකාරිණියන් ගැන සිතනු විනා,ශ්‍රී ලංකාවේ පිතිකාරිණියන්ගේ පෙළ ගැස්ම සාමාන්‍ය මට්ටමෙන් පවත්වා ගෙන යාම වැදගත් වනවා.දැනටමත් ලෝක කුසලාන තරග ඉතිහාසය හා බැදුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව හා සබැදි ඉතිහාසය වෙනස් කිරීමකට බදුන් කර තිබෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සුභ පතන අතරේම ලැබූ ජයග්‍රහණ වලින් පමණට වඩා උදම් වීම නවතා සෑම තරගයකටම ජයග්‍රහණය සදහා විශාල උත්සාහයක් දැරිය යුතුය යන හැගීමෙන් ජයග්‍රහණය පතා ක්‍රීඩා කිරීම වැදගත් වනවා.
ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් හිමි වූ ඉන්දියාවට එරෙහි තරගයේ ලකුණු සබදතාවයට පහත සබදතාවයෙන් පිවිසීමට හැකි අතර සුපිරි හය වටයේදී ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව 8 වන දා සිය ප්‍රථම තරගයට මුහුණ දෙනවා.
http://www.espncricinfo.com/icc-womens-world-cup-2013/engine/match/594901.html
www.supirikrida.com

Feb 5, 2013

ඉතිහාසයේ ප්‍රථමවරට ජාතික ක්‍රීඩා උළෙලේ පහස උතුරට

මේ වසරේ පැවත්වෙන 39 වන ජාතික ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් තරග යාපනයේ පැවත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර 1972 ඇරඹි ජාතික ක්‍රීඩා උළෙලක ඉසව්වක් යාපනයේ පැවත්වෙන ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වීමට නියමිතය. එසේම 1972 වසරේ ඇරඹි ජාතික ක්‍රීඩා උළෙලේ පස් වැන්න ත්‍රීකුණාමලයේ මැක්හෙයිසර් ක්‍රීඩා පිටියේදී පවත්වා ඇති අතර ඉන් අනතුරුව ජාතික ක්‍රීඩා උළෙලක ප්‍රධාන ඉසව්වක් හෝ නැගෙනහිර පළාතේ පවත්වා නැති අතර මෙවර ක්‍රීඩා උළෙලේදී මඩකළපුවේදී ඉසව් කිහිපයක් පවත්වමින් එම අවස්ථාව නැගෙනහිර පළාතට උදා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව මෙවර ක්‍රීඩා උළෙලේ ජූඩෝ,මල්ලව පොර සහ මඩකළපුව ප්‍රසිද්ධියක් උසුලන පැසිපන්දු තරග මඩකළපුවේදී පැවත්වීමට තීරණය වී ඇත.
www.supirikrida.com

කණිෂ්ඨ කාන්තා පංච ප්‍රයාම ගෘහස්ථ ලෝක වාර්තාව අලුත් වෙයි

Belgium's Nafissatou Thiam at the 2012 IAAF World Junior Championships (Erik van Leeuwen)බෙල්ජියමේ නෆිස්සටෝව් තිහාම්  කාන්තා කණිෂ්ඨ පංච ප්‍රයාම ගෘහස්ත ලෝක වාර්තාව සිය නමට ලියා ගන්නට ඉකුත් ඉරිදා (පෙබරවාරි 03) මොනැකෝ හී දී සමත් වුණා.වසර 10 ක් ස්වීඩනයේ කැරොලිනා ක්ලෆ්ට් ගේ නමට තිබූ වාර්තාව මේ අනුව තිහාම් ට හිමි වන අතර 2002 දී කැරොලිනා විසින් ලකුණු 4535 ක් රැස් කර පිහිටුවා තිබූ එහි ලෝක වාර්තාව හිමි කර ගැනීම වෙනුවෙන් තිහාම් විසින් එකතු කර ගත් ලකුණු ප්‍රමාණය 4558 ක් වුණා.
එහිදී තිහාම් මීටර් 60 කඩුලු පැනීම තත්පර 8.65 කින් නිම කරමින් ද,උස පැනීම ඉසව්වේදී මීටර් 1.84 ක උසක් තරණය කරමින් ද,දුර පැනීමේදී මීටර් 6.30 ක දක්ෂතාවයක් පෙන්වමින් ද,යගුලිය මීටර් 14.00 ක් දුරය වීසි කරමින්ද දක්ෂතා දැක් වීමට සමත් වූ අතර මීටර් 800 ඉසව්වේදී ඇය වාර්තා කළ කාලය විනාඩි 2:21.18 ක් වුණා.
තිහාම් 2011 ජගත් යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේදී සිව් වන ස්ථානයට පත් ව තිබෙන අතර ඇය එහිදී උස පැනීමේ ඉසව්වේ දී මීටර් 1.88 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වුණා.
www.supirikrida.com

නඩාල් යළි පිටියට

ATP World Tour 250 Tennis Tournament - Movistar Open - Vina del Mar, Chile ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාව සිටි රැෆායෙල් නඩාල් සත් මසකට පසු යළි ජාත්‍යන්තර ටෙනිස් පිටියට පා තබමින් චිලී දේශයේ Viña del Mar හී පැවත්වෙන ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියෙන් යළි පිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.2012 ජූනී මස 28 දා අවසන් වරට ජාත්‍යන්තර ටෙනිස් පිටියේ පෙනී සිටි නඩාල් සත් මසක කාලයක් සිය ආබාධිත තත්ත්වයට ප්‍රතිකර්ම ලැබීමෙන් අනතුරුව පිටියට බසින මෙම තරගාවලිය ඔහු වඩාත් ඇළුම් කරන සහ දක්ෂකා දක්වන මැටි පිටියක පැවතීම නිසා නඩාල් ගේ පැමිණීම වඩා යහපත් ප්‍රතිපල සහිත එකක් කර ගැනීමට ඔහුට හැකි වනු ඇතැයි විචාරකයන්ගේ මතය වී තිබෙනවා.
සරල බව මෙන්ම අවිධිමත් බව ද විලාසිතාවක් බවට පෙරළා ගත් නඩාල් තුළින් දිස් වූ සාමාන්‍ය පෙණුම ඔහු ටෙනිස් ලෝකයේ වෙනම ප්‍රතිචාර සහ ආදරය දිනූ චරිතයක් බවට පත් කළ අතර ටෙනිස් සාමාන්‍ය ජනයා අතර ජනප්‍රිය ඉසව්වක් බවට පත් කිරීමට ඔහුගේ පෙණුම,හැසිරීම මෙන්ම සරල විලාසිතාවන් ද විශාල වශයෙන් හේතු වුණා.ඊයේ ( පෙබරවාරි 04) Viña del Mar තරගාවලිය පෙබරවාරි 10 දා අවසන් වීමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com

Feb 4, 2013

කපුකොටුවගෙන් යළිත් දස්කම්

දැනට ඇමෙරිකාවේ පුහුණුවීම් සහ අධයාපන කටයුතු වල නියැලෙන ශ්‍රී ලංකා විවෘත සහ ගෘහස්ත යගුලිය,මිටිය සහ බර වීසි කිරීමේ ජාතික වාර්තාලාභියා වන චරිත් කපුකොටුව Chadron State-Nelson Physical Activity Center හී පැවති ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේදී බර වීසි කිරීමේ තරගයේදී ප්‍රථම ස්ථානයත් යගුලිය වීසි කිරීමේ තරගයේදී දෙවන ස්ථානයත් දිනා ගන්නට සමත් වුණා.
බර වීසි කිරීමේතරගයේදී මීටර් 17.43 ක දක්ෂතාවයක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනූ චරිත් මීටර් 16.03 ක දක්ෂතාවයක් යගුලිය වීසි කිරීමේ තරගයේදී ප්‍රදර්ශණය කරමින් එහි දෙවන ස්ථානය දිනා ගන්නට සමත් වුණා.
www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ උපයා ගත් කීර්තිය දින දෙකකට සීමා කර ගනිති

ලෝක සූර එංගලන්ත ක්‍රීඩිකාවෝ පරාජය කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ විශාලතම පෙරළිය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එයින් දින දෙකකට පසුව බටහිර ඉන්දීය ක්‍රීඩිකාවන් අතින් ලකුණු 209 ක අදහාගත නොහැකි පරාජයකට මුහුණ දුන්හ.ඉකුත් වසරේ ලොව විශිෂ්ඨතම ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වූ කොදෙව් ක්‍රීඩිකා ස්ටෙෆනී ටේලර් පන්දු 137 කින් නෙලා ගත් ලකුණු 171 නිසා කොදෙව් ඉණිම ලකුණු 368 දක්වා ඉහළ යාමෙන් ශ්‍රී ලංකාවට හඹා යාමට ඉතා අසීරු ඉලක්කයක් එල්ල වන්නේය.ටේලර් ගේ ආරම්භය තව දුරටත් ආලෝකමත් කරන ඩියෙන්ද්‍ර ඩොටින් පන්දු 22 කින් ලබන ලකුණු 50 ද ශ්‍රී ලංකාව දැඩි අසීරු ඉලක්කයකට යොමු කළේය
පන්දු ඕවරයට ලකුණු 7 ට වඩා ඉලක්කයක් තබා ගෙන පන්දුවට පහර දෙන්නට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ඉලක්කය හමු‍වේ දැඩි අපහසුවකට  පත් වූ බවක් මුල සිටම නිරූපනය වන අතර එහි ප්‍රතිපලය ලෙස සියළුම ලාංකේය පිතිකාරිණියන් ස්ථාවර ඉණිමක් ගොඩ නගා ගන්නට නොහැකිව අසරණ බවක් පෙන්නුම් කළහ.පන්දු ඕවර් 40 දී ඒ නිසා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ඉණිම ලකුණු 159 ට සීමා විය.දින දෙකකට පෙර ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේම අවධානයට ලක් කළ ක්‍රීඩිකාවන් එය අහම්බයක් දෝ යන සැකය ජගත් ක්‍රිකට් ප්‍රජාව තුළ ඇති කරමින් ලකුණු 209 ක පරාජයක් අත් කර ගත්හ.
නමුත් මෙවර ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ඓතිහාසික පියවරක් තව දුරටත් ඉදිරියට තැබීමට ඉඩ විවරව තිබෙන අතර ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ තරග වදින ඒ කාණ්ඩයේ සියළුම කණ්ඩායම් මේ වන විට එක තරගය බැගින් පමණක් ජය ගෙන තිබීම කිසා ශ්‍රී ලංකාවට ඉන්දියාවට එරෙහි තරගය ජය ගතහොත් අවසාන පූර්ව තරගයට පිවිසීමට තවමත් අවස්ථාව ඇත.
කෙසේ වුව ද ටේලර් වැනි සුප්‍රකට ක්‍රීඩකාවක් ලකුණු අතරට පැමිණීම නිසා ශ්‍රී ලංකාවට විදීන්නට වූ අන්ත පරාජය එංගලන්ත ජයෙන් පසුව ඇති කර ගත් අනුචිත සැහැල්ලුව නිසා අත් වූවක් දැයි සැක සිතෙන අතර ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරගයේදී ජයග්‍රාහී මානසිකත්වය වෙනුවට 'ජයගත යුතුය' යන සටන්කාමී මානසිකත්වයට පිවිසීමට  ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කළ යුතුය.
ශ්‍රී ලංකා - කොදෙව් තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය ඔස්සේ පිවිසීමට හැකියාව ඇත.

http://www.espncricinfo.com/icc-womens-world-cup-2013/engine/current/match/594898.html
www.supirikrida.com

අජන්තගේ වටිනාකම දහ හතර ගුණයකටත් වඩා ඉහළ යයි

යිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේ දී අජන්ත මෙණ්ඩිස් ගේ  මූලික වටිනාකම ඩොලර් 50,000 ක් ලෙස සළකුණු කර තිබුණත්, පූනේ වොරියර්ස් කණ්ඩායම ඔහු මිළට ගත්තේ ඩොලර් 7,25,000 ට ය.එම වටිනා කම මෙවර ක්‍රීඩක වෙන්දේසියේ ගෙවන ලද දෙවන වැඩිම මුදල වන අතර වැඩිම මුදලක් ගෙවා මිළට ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්ය.ඔහුට ගෙවා ඇති මුදල ඩොලර් ලක්ෂ 10 කි.ඔහුට දී තිබූ මූලික වටිනාකම වූයේ ඩොලර් ලක්ෂ 2 ක් වූ අතර ඒ අනුව මැක්ස්වෙල්ට සිය මූලික වටිනාකම මෙන් පස් ගුණයක් ගෙවා ඇත.වෙන්දේසියේ තෙවන වැඩිම මුදල වන ඩොලර් 6,75,000 හිමි වී ඇත්තේ තිසර පෙරේරා ට ය.
මෙවර විශාල පිරිසක් වෙන්දේසියේ දී අලෙවි වූයේ නැත.ඒ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝද වෙති.විශේශයෙන් කුසල් ජනිත් පෙරේරා,අකිල ධනංජය වැනි ක්‍රීඩකයන් ද මිළට ගන්නා විට දිනේෂ් චන්දිමාල්,රංගන හේරත් වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසක් වෙන්දේසියේදී මිළට ගෙන නැත.සියළු මිළදී ගැනීම් පිළිබද තොරතොරු පහත සබදතාවය පිරික්සීමෙන් ලබා ගැනීමට හැකියාව ඇත.
http://sports.ndtv.com/indian-premier-league-2013/auction
www.supirikrida.com

Feb 3, 2013

ක්‍රීඩා සංගම් පාර්ලිමේන්තුවෙන් වසා තැබේ

ක්‍රීඩා සංගම්වල සිටින විවිධ පුද්ගලයන් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු හෝ අමාත්‍යවරයෙකු රැගෙන විත් එම සංගම් වල මුල් පුටුවේ හිදුවා තබා තමන්ගේ අවශ්‍යයතාවයන් ඉටු කර ගැනීම සාමාන්‍යය සිදුවීමක්ව පවතින බව පසුගිය කාලයේ වූ සිදුවීම් වලින් පැහැදිළී කර ගන්නට හැකි වී ඇත.ඒ නිසා මෙවර නිලවරණයේදී පාර්ලිමේන්තු මංත්‍රීවරුනට හෝ අමාත්‍යවරුනට ක්‍රීඩා සංගම්වල නිලවරණ සදහා සහභාගි වීමට අවසර නොදීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
දැනට වොලිබෝල් මුල් පුටුවේ සිටින ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාට පමණක් එම තනතුරේ රැදී සිටීමට වෙනත් කරුණු කිහිපයක් පදනම් කර ගෙන අවසර ලැබී ඇති බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග වෙනත් අමාත්‍යවරුනට හෝ මංත්‍රීවරුනට එම අවසරය ලබා නොදීමට ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ තිබෙන බව  වැඩි දුරටත් පැහැදිළි කරයි.
www.supirikrida.com