Jan 5, 2013

වේඩ් ඇණයක් වෙයි

Matthew Wade is airborne after reaching his century
වේඩ්
ශ්‍රී ලංකා මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන්ට ආදර්ශයක් වෙමින් ඔස්ට්‍රේලියානු කඩුලු රකින්නා වන මැතිව් වේඩ් රැස් කළ අගනා ශතකය හේතුවෙන් (නොදැවී 102) ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකාවට එරෙහි තෙවන ටෙස්ට් තරගයේදි ලකුණු 138 ක වාසියක් ලබා ගැනීමට හැකිවිය.විශේෂයෙන්ම කඩුලු 6 ක් දැවී ලකුණු 307 ක් ලෙස විවාත මුහුනුවරකට හැරෙමින් තිබූ තරගය ඕස්ට්‍රේලියාවට වැඩි වාසිදායක තත්ත්වයක් නිරුමාණය වන පරිදි හැඩ ගසන්නට මූලික වූ වේඩ් සමග හත් වන කඩුල්ලට ලකුණු 77 ක සබදතාවයක් ඇති කරන්නට දායක වූ පීටර් සීඩ්ල් (38) ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ගේ සංයමය සැකසිය යුතු ආකාරය පිළිබද වැඩමුළුවක් ඉදිරිපත් කළහ.
ලකුණු 393 ක් ව තිබියදී නව වන කඩුල්ල අහිමි වූ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වේඩ් ට හිමි විමට තිබූ ශතකය අහිමි වීම වැළක්වීමට සිය පළමු ටෙස්ට් ඉණිම ක්‍රීඩා කරන ජොන්සන් බ්ර්ඩ් (නොදැවී 06) යහපත් සහයක් ලබා දුන් අතර ඔහු පිටියේ රැදී සිටි කාලය තුළ පන්දු 11 ට පමණක් මුහුණදීමේ අවකාශය සැළසූ වේඩ් සිය වගකීම මොනවට පැහැදිළි කරමින් හිමිවිය යුතුවම තිබූ ශතකයේ හිමිකාරයා වන්නට සමත් විය.
ලකුණු 432 දී ඉණිම අත් හිට වූ ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවන ඉණිම ඇරඹූ ශ්‍රී ලංකාව දිවා භෝජනය සදහා තරගය නතර කරන විට ලකුණු 18 ක් ලබා කිසිවෙකු නොදැවී සිටි අතර මෙම සටහන තැබෙන විට ශ්‍රී ලංකාව එක කඩුල්ලක් දැවී ගබා ඇති ලකුණු ප්‍රමාණය 112 කි .ඩිල්ෂාන ගේ ඉණිම ලකුණු 5 ට සීමා වූ අතර නවන ක්‍රීඩක දිමුත් කරුණාරත්න සිය ප්‍රහාරාත්මක සුපුරුදු පිතිකරණය විදහා දක්වමින් නොදැවී ලකුණු 69 ක් ලබා සිටියි.
තරගයේ සමස්ත ලකුණු විස්තරයේ අලුත් තත්ත්වය දැන ගැනීමට පහත සබදතාවය තෙරපීමෙන් හැකි වෙනු ඇත.http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573013.html

www.supirikrida.com

බේස්බෝල් අවුල් සහ විනය ගැන අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අවධානයෙන්

බේස්බෝල් පරිපාලනය ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියේ දිගුවක් ලෙස පවත්වන ලීග් තරගාවලියේ දී ලීග් තරගාවලියට සුදුසුකම් නොලත් පරාජිත කණ්ඩායම් වල ක්‍රීඩකයන් තේරී පත් වූ ක්‍රීඩා සමාජ වලට ඇතුළත් කිරීමේ සම්ප්‍රදාය විරෝධී සහ සදාචාරසම්පන්න නොවන ක්‍රියාවට නිලධාරි බලය යොදමින් ක්‍රීඩා සමාජවල කැමැත්ත ලබා ගනිමින් සිටින බව වාර්තා වන අතර ඒ පිලිබදව ක්‍රීඩා අධ්‍යක්ෂජෙනරාල් වරිය මේ වන විටත් කරුණු සෙවීම සදහා අදාළ අංශ දැනුවත් කර තිබෙන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.මේ තත්ත්වය නිසා එක තරගවාරයක දී එක ක්‍රීඩකයෙකුට ක්‍රීඩා සමාජ දෙකකට පෙනී සිටීමේ සදාචාරසම්පන්න නොවන අනීතික තත්ත්වයට පරිපාලනයම පාර කපන බව මෙන්ම සුදුසුකම් ලැබූ ක්‍රීඩා සමාජ එම තත්ත්වයට ගෙන ඒම සදහා පාර සැකසූ ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදු වෙනවා සේම,පරාජිත ක්‍රීඩා සමාජ වලට තමන් සතුව සිටි දක්ෂතා ඇති ක්‍රීඩකයන් අහිමි වීමෙන් එම ක්‍රීඩා සමාජ තවත් අකර්මන්‍ය වීම සහ මානසිකව කඩා වැටීමකට ලක්වීම සිදුවන බවත් සුපිරි ක්‍රීඩා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියට පෙන්වා දුන් අතර ඇයද ක්‍රීඩාවේ නාමයෙන් පරිපාලනයක් ක්‍රීඩාවේ පුනරුදයට හේතු නොවන මෙවැනි ක්‍රියාවක නිරත වන්නේනම් එය පිළිබදව වහාම ක්‍රියාත්මක විය යුතු බව ද පිළි ගත්තේය.


එසේම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ජපාන කනගාවා උසස් පාසල් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගවලදී විනසුරුවරයන් දුරකථන භාවිතා කිරීම පිළිබදව ජපන් නිලධාරීන්ගේ විරෝධය එල්ල වී ඇති බවත් එක් අවස්ථාවකදී විනිසුරුවරයෙකුගේ එම අවිනීත ක්‍රීයාවට එරෙහිව තරගය තාවකාලිකව නවතා ඇති බවත් තමන්ට දැන ගන්නට ලැබුණු බවටත් ලැබුණු තොරතොරු සම්බන්ධයෙන් අදාළ විනිසුරු කටයුතු වල ප්‍රධානියා ලෙස කටයුතු කළ සුජීව විජේනායකගෙන් ලිඛිතව තොරතොරු ඉල්ලා ඇති බවත් පැවසූ අතර එම තොරතොරු මත එම විනිසුරුවරයන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන බවත් පැවසීය.
ජපානයෙන් ක්‍රීඩාව ඉහළ මට්ටමෙන් පවත්වා ගෙන යාම පිළිබදව මෙන්ම විනයගරුක ලෙස ක්‍රීඩා කිරීමේ සහ වෙනත් ක්‍රියාවන් හී නිරතවීම පිළිබදවත් පාඩම් උගත යුතු බව පැහැදිළි කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ක්‍රීඩා අමාත්‍යතුමා ක්‍රීඩාවේදී ක්‍රීඩකයන්ගේ සහ නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරන බව පෙන්වා දුන් අතර එවැනි අයට වරප්‍රසාද ලබා ‍නොදීම මෙන්ම එවැන්නන්ට වරප්‍රසාද ලබා දීමට කටයුතු කරන්නන් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට පසුබට නොවනු ඇතැයි ද පෙන්වා දුන්නාය.
මේ බව සුජීව වි‍ජේනායකගෙන් කළ කරුණු විමසීමකදි ඔහු විනිසුරුවරයන් ක්‍රීඩාවට අනුචිත ආකාරයට දුරකතන භාවිතා කළ බව පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ ඉල්ලීම පිට ඇයට ලිඛිතව දැණුම් දීමට කටයුතු කරන බව පැවසීය.එසේම ජපානයෙන් පැමිණි  කෝජියසො වැනි ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු කේෂ්ත්‍රයේ දැවැන්තයන්ගේ අවධානය යොමු වූ බව සහ අප්‍රසාදය පළ වූ බව පවසන   සුජීව ඔවුන් ද මේ පිළිබදව තමන්ගෙන් ලිඛිතව ඒ පිළිබදව තොරතොරු බලා‍පොරොත්තුවෙන් සිටින බව පැවසීය.විශේෂයෙන්ම ජපන් ක්‍රීඩකයන්ද එවැනි ක්‍රියා සිදුවීම පිළිබදව කණස්සල්ලෙන් කතා කළ බව පෙන්වා දෙන සුජීව විශාල මුදලක් වැය කර ක්‍රීඩාංගණයක් තනමින් ජපානය මෙරට ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරන අවස්ථාවක මෙවැනි ක්‍රියාවන් ඔවුන් ඉදිරියේදීම සිදු කිරීම රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධියට  විශාල පහරක් බවත් ස
www.supirikrida.com

මුතුමාලි ගේ ප්‍රිය සිහින බොද වෙයි

මුතුමාලි
යේ මහනුවර පේරාදෙණිය ජගත් රාජපක්ෂ අන්තර් ජාතික ගෘහස්ථ මේස පන්දු ක්‍රීඩාංගණයේ ඇරඹි ජාතික කණිෂ්ඨ මේස පන්දු සූරතාවලියේදී මූලික වටයේ තරගයකදී අවුරුදු 15 න් පහළ බාලිකා අංක එක ක්‍රීඩිකාව වන මුතුමාලි ප්‍රියදර්ශණී පරාජය කරන්නට රෝෂිනි දහනක සමත් වූවා ය.අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ක්‍රීඩිකාවක වන මුතුමාලී ට එරෙහිව කුරුණාගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවක වන රෝෂිනි,ලකුණු 11 /05 , 11 / 08 , 09 / 11 , 08 / 11 සහ 12 / 10 ලෙස ජය ගන්නට සමත් වූවා ය.
මේ අතර අවුරුදු 15 න් පහළ බාලිකා අංශයේදීම තවත් පෙරළියක් කරමින් එම වයස් ඛාණ්ඩයේ අංක තුනට ශ්‍රේණිගතව සිටින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තෙදිනි තුෂාරා එම විද්‍යාලයේම ඉමාෂා ද සිල්වා අතින් ලකුණු 11 / 08 , 11 / 07 , 07 / 11 සහ 11 / 08 ලෙස පරාජය ලැබුවාය.
සෙසු වයස් ඛාණ්ඩ වලදී එවැනි පෙරළිකාරි සිදුවීම් වාර්තා නොවුණු අතර අද තරගාවලියේ අවසාන දිනය යි.
www.supirikrida.com

දැල් පන්දුවේ අනාගතය චන්දදායකයන් අතේ



ව දැල් පන්දු පරිපාලනයක් පත් කර ගැනීමට ශ්‍රී ලංකා දැල් පන්දු කේෂ්ත්‍රයේ ක්‍රීඩා සමාජ වලට ලැබී ඇති අවස්ථාව නිවැරදිව ප්‍රයෝජනයට ගත යුතුව ඇත.මෙවර දැල් පන්දු නිලවරණයේදී අලුත් මුහුණු කිහිපයක් දකින්නට ලැබෙන අතර දැල් පන්දු කේෂ්ත්‍රයේ මෑතකාලීන අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් කිහිප‍ දෙනෙකුද ඒ අතර වේ.මෙම නිලවරණයේදී හිටපු සභාපතිවරියක වන ට්‍රික්සි නානායක්කාර සහ බැංකු නිලධාරිණියක වන ලක්ෂ්මි වික්ටෝරියා තරග බිමට පිවිස සිටින අතර එම දෙදෙනා මුල් කර ගත් කණ්ඩායම් ලෙස බොහෝ දෙනෙකු මෙම නිලවරණයට ඉදිරිපත් වි සිටියි.
ට්‍රික්සි නානායක්කාර හිටපු නිලධාරිණියක ලෙස අත්දැකීම් ඇති තැනැත්තියක් මෙන්ම විවිධාකාර ගැටළු වලට මුහුණ දුන් පරිපාලිකාවක්ද වේ.ලක්ෂ්මි, මහජන බැංකුවේ අනුග්‍රාහාත්මක මැදිහත්වීමත් සමග දැල්පන්දු කේෂ්ත්‍රයට යළිත් අවතීර්ණ වූ අතර ඇය පසුගිය කාලයේ ඇතිවූ අක්‍රමිකතා පිළිබදව සොයා බැලීමට පත්කළ කමිටුවේ ප්‍රධානත්වයද දැරුවාය.
මෙම නිලවරණයට සහභාගි වන කණ්ඩායම් අතර ලක්ෂ්මී විසින් සොයා බලන ලද අක්‍රමිකතා වලදී පරීක්ෂාවට ලක් වූ ඇතැම් චරිත ද ඇයගේ පාර්ශවයම නියෝජනය කරමින් තරග වදිනු දකින්නට ලැබීම යහපත් දර්ශනයක් නොවන අතර මීට පෙර ට්‍රික්සි නානායක්කාර පාලනය යටතේද එම තැනත්තියන් විවිධ චෝදනා වලට ඉලක්ක වූ අය වීම ද මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණකි.ඒ නිසා මෙහිදී පාර්ශව ගත නොවී ක්‍රීඩා සමාජ යහපත් අය එම තනතුරු සදහා තෝරා ගැනීම වැදගත් බව සුපිරික්‍රීඩා අදහස වේ.හිටුපු නායිකාවක වන ජයන්ති සෝමසේකරන්ගේ ආගමනය කැපී පෙනෙන අතර ඇයට අභියෝග කරමින් ඇය සමග ලේකම් තනතුරට තරග වදින්නී පාසල් දැල්පන්දු කේෂ්ත්‍රයේ කැපී පෙනෙන්නියක වන ශිරෝමි කුරුප්පු ය.
පාලන කිහිපයක් යටතේම විවිධ චෝදනා වලට ලක් වූ හිටපු භාණ්ඩාගාරිකවරියන් මෙවර වෙනත් තනතුරු හරහා කේෂ්ත්‍රයට අවතීර්ණ වීමට උපක්‍රමශීලීව කටයුතු කරමින් සිටින බවක් පෙනෙන්නට ඇති අතර ඒ අනුව භාණ්ඩාගාරික තනතුරට නිශාන්ති ඕවිටිගල ට තරගයක් දීමට අයෙක් ඉදිරිපත් වී නැත.ක්‍රීඩා අමාත්‍යවරයා කලෙක සිට පවතින අතුරු පාලන කමිටු පාලනයන් වලින් දැල් පන්දුව නිදහස් කර ගැනීම පිණිස වැදගත් වේ යැයි යන විශ්වාසයෙන් මෙම නිලවරණයට පිවිසිය ද,එහිදී අක්‍රීයව පැවති සංගම් වලට ඡන්ද බලය පිරිනැමීමට කටයුතු කිරීමෙන් දැල්පන්දුව වෙනුවෙන් ක්‍රියාකාරී සහයෝගයක් ලබා නොදුන් ඇතැම් පිරිස්  වෙත බලය පැවරී ඇති ආකාරය ගැටළුකාරීය.
කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යවරයා බොහෝ තැන් වලදී දැල්පන්දුවේ සම්ප්‍රදායික මුහුණු වලට ඔබ්බෙන් මෙහි පරිපාලනය පිළිබදව සිතිය යුතු කාලය පැමිණ ඇති බව අදහස් කළ ද ඔහු වටා සිටින ඇතැම් නිලධාරීන් අමාත්‍යවරයාව උපක්‍රමශිලී ලෙස එම මතයට විරුද්ධ දිශාවන් වෙත යොමු කරන බවක් දැකිය හැකි අතර ඉකුත් සය ජාතික සිංගප්පූරු දැල්පන්දු තරගාවලියේදි ඒ තත්ත්වය මැනවින් දකින්නට ලැබිණ.
කෙසේ හෝ කණ්ඩායම් ගතව තරගයට ඉදිරිපත් වුව ද ඡන්දය භාවිතය කණ්ඩායම් ගතව සිදු නොවන්නේ නම් ක්‍රීඩාවේ යහපත පිණිස වන පිරිස තීරණය කර ඡන්දය භාවිතා කිරීමෙන් දැල් පන්දුවේ ප්‍ර‍බෝධය පිනිස ඡන්දදායකයින්ට විශාල සේවයක් කිරීමේ හැකියාව තිබෙන බව අපේ විශ්වාසය වන්නේය.ඒ සදහා අවංක මැදිහත් වීමක් කරන්නට ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මැදිහත් වන්නේ නම් සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමට ඡන්දදායකයාට ඇති අවස්ථාව රකිමින් මෙම නිලවරණය රහසි ඡන්දයක් ලෙස පැවත්විය යුතු බව ද අපි දැඩිව අවධාරණය කරනු කැමැත්තේමු.
www.supirikrida.com

Jan 4, 2013

වෙළද සේවා බැඩ්මින්ටන් මුල් පුටුව නැවතත් නිරෝධට

වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ මුල් පුටුව නැවතත් නිරෝධ ද කොස්තා ට හිමි විය.ඉකුත් කාලයේ ගැටළුකාරි තත්ත්වයන් නිර්මාණය වුණු ජාතික බැඩ්මින්ටන් සංගමයට මෙන්ම එවැනිම අර්බූද සහිත වූ අනෙකුත් පරිවාර සංගම්වලට ද ආදර්ශයක් වෙමින් ක්‍රියාත්මක වූ වෙළද සේවා බැඩිමින්ටන් සංගම‍ය සංවිධානයක් ලෙස එකමුතුව සහ සහයෝගයෙන් ක්‍රියා කළ ආකාරය පැසසුම් සහගතය.
මෙවරත් ලේකම් ධුරය රොහාන් සන්තානම්ට හිමි වී ඇති අතර උප සභාපතිවරුන් ලෙස රොෂාන් ප්‍රනාන්දු, ශිරන්ති මැද්දෙගොඩ,ශ්වොන් ශීක්,අනිල් සමරසේකර සහ සංචලා ලියනගේ පත් වූ අතර, ප්‍රසාද් ආර් අබේසුන්දර භාණ්ඩාගාරික ලෙස පත් විය.
උප ලේකම් ලෙස නවින් සමරසේන ද උප භාණ්ඩාගාරික ලෙස නලින් නානායක්කාර ද පත් වූ අතර තරග ලේකම් සහ උප කරග ලේකම් ලෙස පිළිවෙළින් මෝදිත ජයසේකර සහ චන්දන නිලන්ත තේරී පත් විය.සංගමයේ ප්‍රධාන අනුශාසකත්වය මැක්ලර්ස් ආයතනයේ රොහාන් ද සිල්වා ට හිමි වූ අතර සෙසු අනුහාසකයන් ලෙස බාර්ට්ලිට් සමූහයේ එරාජ් විජේසිංහ,ඇක්සෝ නෝබෙල් පේන්ට් පුද්ගලික සමාගමේ ජෙරල්ඩ් ද සේරම්,ඩග්ලස් සහ පුත්‍ර සමාගමේ සරෝජ් පෙරේරා,ටෙම්පල් පබ්ලිසිටි සර්විස් සමාගමේ ගාමිණි ජයසූරිය සහ අල්මාර් ට්‍රේඩිං සමුහයේ අජිත් විජයසිංහ තේරී පත් වූහ.
සංගමයේ විධායක කමිටු සාමාජිකත්වය සදහා සීමාසිහිත බ්‍රැන්ඩෙක්ස් ඇපරල් පුද්ගලික,සෙලින්කෝ ක්‍රීඩා සමාජය,ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම,ඩයලොග් ඇක්ෂියාටා පීඑල්සී,සීමාසහිත.ඩග්ලස් සහ පුත්‍ර සමාගම,ඩීඑස්අයි සැම්සන් සමුහය,හේලිස් සමූහය,අයිබීඑම් වරල්ඩ් ට්‍රේඩ් සංස්ථාව,සීමාසහිත අයිසීඑම් මයික්‍රෝ කම්පියුටර්  සිස්ටම් පුද්ගලික,ජෝන් කීල්ස් සමූහය,මැක්ලරන්ස් සමූහය,සම්පත් බැංකුව පීඑල්සී,සෙලාන් බැංකුව පීඑල්සී,සීමාසහිත ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව සුදුසුකම් ලබා ගත්හ.
www.supirikrida.com

තිරිමාන්න, මේල් ලා දොන් ලා එක පෙළට තබා පහර දෙති

Lahiru Thirimanne drives during his innings of 91
තිරිමාන්න
රුන් ලොගාඩ් ගේ කෝටි ගණනක් වටිනා වාර්තාවෙන් ද හදුන්වා දුන් ක්‍රිකට් තේරීම් කමිටුව නම් වූ අශුද්ධ සංධානය විසින් ඕසට්‍රේලියානු සංචාරයෙන් ගලවා දමන ලද මැත කාලයේ බිහි වූ වේග පන්දුවට මැනවින් මුහුණ දෙන පිතිකරුවෙකු ලෙස ප්‍රකට ලහිරු තිරිමාන්න,කුමාර සංගක්කාරගේ අබාධයෙන් ඇති වූ හිදැස පුරවමින් අපූරු පිතිහරඹයක යෙදෙමින් ශ්‍රී ලංකාව සහ ඕසට්‍රේලියාව අතර පැවත්වෙන තෙවන ටෙස්ට්  තරගයේදී ලකුණු 91 ක් ලබා ගැනීමට සමත්විය.ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ තිරිමාන්න කඩුලු දෙකක් ලකුණු 72 ට අහිමි ව තිබියදී පිටියට පිවිස දැවී යන විට ලකුණු පූවරුව 250 දක්වා ඉහළ දැමීමට සිය දායකත්වය දැක්වා තිබිණ.ආරක්ෂාව සහ ආක්‍රමණය යන කරුණු දෙකම රැදුණු තිරිමාන්නගේ ඉනිමට විනාඩි 215 ක් ගත වී තිබිණ.එහිදී පන්දු 151 ට මුහුන දුන් තිරිමාන්න හතරේ පහර 13 ක් සහ එක් හයේ පහරක් එක් කර තිබිණ.
තිරිමාන්නට අමතරව ලකුණු අතරට පිවිසෙමින් නායක මහේල ජයවර්ධන ලකුණු 72 ක් ලබා ගත් අතර එය අතිශයින් අලංකාර වූ සිත් ගන්නා සුළු ඉණිමක් විය.කලෙකට පසුව විදේශ ටෙස්ට් තරගයකදී අර්ධ ශතකයක් ලැබූ මහේල නායකත්වය දරන අවසාන ටෙස්ට් තරගය මෙය වන අතර ඇතැම් විට ඔහු ටෙස්ට් පිටියේ දකින්නට ලැබෙන අවසාන තරගයද මෙය විය හැකිය.කෙසේ හෝ මහේල සහ තිරිමාන්නගේ සුපිරි ඉණිම් දෙක සදහා ප්‍රමාණාත්මක සහයෝගයක් නොලැබුණු අතර ඔවුන් දෙදෙනාට අමතරව ලකුණු 20 සීමාව ඉක්මවා ගියේ ඩිල්ෂාන් (34) සහ චන්දිමාල් (24) පමණි.ඒ නිසා එම පිතිකරුවන් දෙදෙනාගේ වෙහෙසට සරිලන අවසාන ප්‍රතිපලයක් ලකුණු පූවරුවේ දක්නට නොලැබුණු අතර ශ්‍රී ලංකා ඉණිම ලකුණු 294 දි නිමාවට පත් විය.
පිළිතුරු ඊනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියාව දෙවන දිනයේ දිවා භෝජනය වන විට ලකුණු 127 ක් ලබා සිටි අතර අහිමි වී තිබුණේ එක කඩුල්ලක් පමණි.ඒ එඩ් ක්‍රවුන් වු අතර ඔහු මේ තරගාවලිය පුරාම පාහේ දැවී ගිය ආකාරයට දුවද්දී දැවී ගියේ ලකුණු 4 ක් පමණක් ලබා සිටියදි ය.ඩේවිඩ් වර්නර් තරගාවලිය පුරාම ලකුණු අතර රැදෙන ක්‍රීඩකයෙකු ලෙස මේ තරගයේදී යළිත් ඒ බව තහවුරු කළේ අර්ධ ශතකයක් රැස් කරමින්ය.පන්දු 37 දි ගලා ආ එම ලකුණු ප්‍රමාණය දිවා භෝජනය වන විට පන්දු 63 දී නොදැවී රැස් කළ ලකුණු 68 ක් බවට පත් වී තිබුණු අතර පිලිප් හියුග්ස් පන්දු 90 ට මුහුණ දි ලකුණු 50 ක් නොදැවී ලබා උන්නේය.
පහත සබදතාවය හරහා තරගයේ සජීවී ලකුණු විස්තරයට පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573013.html
www.supirikrida.com

ආයුබෝවන් වටනබේ

ශ්‍රී ලංකා පොළව මත ජපානයෙන් පැමිණ සිට වු දකුණු ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය යථාර්තයක් බවට පත් කිරීමට දහදිය වැපිරු සොදුරු ජපන් හපනා,ශ්‍රී ලංකා ජාතික බේසබෝල් පුහුණුකරු වටනබෙ යසුමා ඊයේ ලක්බිමෙන් නික්ම ගියේය.අපේ පොළව මත සිහිනයක්ව පැවති බේස්බෝල් ක්‍රීඩාංගණ සිහිනය යථාර්තයක් කිරීමට ඔහු දැරූ වෑයමට එරෙහි වූවෝ ද වූහ.සංවිධානාත්මකව ඔහු එම ක්‍රීඩාංගණයේ වැසිකිළි වළද රැගෙන යනු ඇති බවට  ගද ගහන කතා  පැහැරූ පිරිස්, මුඛය පසෙක ලා අධෝ මුඛයෙන් ජාතිකත්වය ගැන කතා කරන්නෝ බවට පත් වෙද්දී  වටනබේ සිය දෙවන නිජබිම බවට ලංකාව පත් කර ගනිමින් ඒ වෙනුවෙන් සිය යුතුකම ඉටු කරන්නට අපවාද - අවලාද ඉදිරියේ නොසැලී කටයුතු කළහ.
අද ලංකාවට කියා ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයක් ඉතිරිව ඇත.එය දකුණු ආසියාවේ ඇති එකම ක්‍රීඩාංගණයද වන්නේය.ඒ නිසාම දකුණු ආසියාවේ තරගාවලියක් පැවත්වීමට සුදුසුම බිම ද එය වන්නේය.අපට බිම ඇතත්,ඇතැමෙකු රැගෙන යතැයි කී වැසිකිලි වළක් එහි දකින්නට නැත.අඩුම ගණනේ අප ඒ වචන පුවත්පිටු තුළ රදන්නට සැළසුම් කළ පුගුළන්ට දැන් අභියෝගයක් ඇත.ඒ අඩුම තරමින් කල් නොයවා එහි තරග වදින්නන් හට ප්‍රමාණවත් කැසිකිළි - වැසිකිළි පහසුකම් ලබා ගන්නට හැකි පරිදි වැසිකිළියක් තැනීමය.මඩප්‍රචාර වෙනුවෙන් සහ සිය පෞද්ගලික නයාය පත්‍ර වෙනුවෙන් ලංකාවේ බේස්බෝලය බුදින්නන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ජාතික බේස්බෝලය දෙස වඩා පුළුල් අරුතකින් බලා සිය පෞද්ගලික ඕනැකම් වෙනුවෙන් ලාංකේය බේස්බෝලයේ හැඩතල රකින්නට වැය කරන දේ අඩුම තරමේ ජාතික බේසබෝල් ක්‍රීඩාංගණයට වැසිකිළි කටක් ලබා දීමට භාවිතා කරන ලෙසය.
ආදි නාලන්දියෙකු වූ චාරුක සුරවිර (වර්ථමානයේ ශ්‍රී එෆ් හි ඉහළ විධායකයෙකි) විසින් කරන්නට යෙදුණ යෞවන සම්මාන දිනූ ජුදාස් මුහුණ (පසුව එය තිත්ත කුසලාන නමින් නිර්මාණය විය) නාට්‍යයේ එක් ගීතයක දෙවියන් වහන්සේ නාම පදයක් නොවේ එය ක්‍රියා පදයකි නමින් ගීතයක් විය.(ඉවාන් පවුලූෂා නම් වූ ජනප්‍රිය ගීතයේ පද රචකයාද චාරුකය) මට වටනබේ පිළිබදව සිතද්දී එය සිහිවන්නේ වටනබේ දෙවියන්ට සම යැයි සිතීමකින් නොවේය.ඔහු අසම සම දරා ගැනීමකින් යුතුව නොසැලී සිය සත්භාවයේ සිතුවිල්ල යථාර්තයක් දක්වා ගෙන යන්නට වචනයෙකු හෝ නො'බැන ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමට දැක් වූ වෙහෙස ගැන සිතද්දීය.
ඔහු ක්‍රීඩාංගණය විවෘත වෙද්දී අපේ ජාතික ගීතය ගායනා කරන ලද සාඩම්බර විලාශය අපූරුය.එම තරගය විනිශ්චය කරන්නට යොදා සිටි අපේ විනිසුරුවරයෙක් ජාතික ගීය අතරතුර සිය ජංගම දුරකථනයට පැමිණි ඇමතුම් පිලිබදව විමසිලිමත් වෙද්දී (තවත් විනිසුරුවරයෙකුට ද මේ ආකාරයෙන් දුරකථන භාවිත  චෝදනාවම එල්ල වී ඇත.)මේ ජපන් ජාතිකයා මදකුදු නොසැලී සීරුවෙන් සිට ලාංකේය ජාතික ගීතය ගැයූ හැටියෙන් මේ රටේ ඉපදුණු මිනිසුන්ට ද ජාතික ගීතය හරහා ජාතියට සළකන අයුරු මේ අපූරු මිනිසා කියා දුන්නේය.
සේද මාවතේ පැමිණි ඓතිහාසික සුහදත්වයේ ගමනේ අලුත් පිටුවක් ලියූ සොදුරු මිනිසාන!ඔබ සමුගෙන ගියද,ඔබේ මතකය යළි යළිත් අවදි වෙමින් ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ මිහිරියාවේ අන්දරයේ ඔබේ පරිච්ඡේදය අනාගතයට කියවන්නට දීමට ජපානය හෝ කටයුතු කරනු ඇති බව අපි විශ්වාස කරන්නෙමු.ක්‍රීඩා අමාත්‍යතුමා දෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය දෙස මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා දෙස ද අපි වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඉන්නේ ආදර්ශමත් ජාතික පාඩමක් ලෙස අපේ රටේ ‍බේස්බෝල් ක්‍රීඩාවට ජාතික වටිනාකමක් ලබා දුන් වටනබේ ගේ නමින් අඩුම තරමේ ක්‍රීඩාංගනයේ ලකුණු පූවර්ව හෝ නම් කරාවිය යන විශ්වාසයෙනි.
වටනබේ ඔබට ආයුබෝවන්!ඔබ විසින් ජපානයේ මිතුරු කම යළි අවදි කරමින් මෙරටට ලබා දුන් මිළ අධික බේස්බෝල් ක්‍රීඩාංගණය හරහා ප්‍රදර්ශනය කළ අමිළ මිතුරු මානවී ගුණයට අපි සදා ණය ගැති වන්නෙමු.
www.supirikrida.com

පාපන්දුවේ කාන්තා ලාලිත්‍යය ඔප නැංවීමට වැඩි ඉඩක් -බිලැටර් අල්ජසීරා සමග පවසයි

නාගතයේදී ලොව පුරා කාන්තා පාපන්දුවේ ව්‍යාප්තිය සහ දක්ෂතා ඉහළ නැංවීමට විශාල අවධානයක් යොමු කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලැටර් අල්ජසීරා රූපවාහිණි සේවයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.ඒ අනුව රූපවාහිණි ප්‍රචාරන්‍ය ආදී කටයුතු වලදී කාන්තා පාපන්දුවේ ජනප්‍රියත්වය වැඩි කිරීම සදහා වැඩි ඉඩක් ලබා දීමට අපේක්ෂා කරන බව ද බ්ලැටර් පෙන්වා දෙයි.
සෑම ජාතික පාපන්දු සංගමයක්ම කාන්තා පාපන්දුව සංවර්ධනය කෙරෙහි නැඹුරු කිරීම සිය අපේක්ෂාව බව පෙන්වා දෙන බ්ලැටර් එහි ප්‍රතිපලද පැහැදිළි කළේය.විශේෂයෙන් අවුරුදු 17 න් පහළ 2012 කාන්තා පාපන්දු ලෝක සූරතාවලිය සංවිධානයේදී  අසර්බයිජානය වැනි මුස්ලිම් රටක් පෙරට ගැනීමට හැකිවීම කාන්තා පාපන්දු ක්‍රීඩාව වර්ධනය කෙරෙහි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ගෙන ඇති උත්සාහයේ ප්‍රතිපලයක් බව එහිදී බ්ලැටර් තව දුරටත් පෙන්වා දුන්නේය.
නමුත් කාන්තා මෙන්ම පිරිමි පාපන්දුවේ සංවර්ධන කාර්යයට ද පෙර සේම මැදිහත් වන බව පැහැදිළ කළ බ්ලැටර්,පිරිමි පාපන්දු ක්‍රීඩාව තරමටම ජනතාව අතර ව්‍යාප්ත වූ සහ සහභාගීත්වයෙන් සහ තරගකාරීත්වයෙන් ඉහළ ගිය ක්‍රීඩාවක් බවට කාන්තා පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරිමට විහාල කැපවීමකින් කටයුතු කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කරන බව බ්ලැටර් මෙහිදී පෙන්වා දී ඇත.
www.supirikrida.com

Jan 3, 2013

තිරිංග නැති බේබදු යතුරුපැදිකරු දමන්නට හැදූ විලංගු වලින් මිදී චමින්ද අද යුග දිවියට

ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම මැදි දුර ධාවකයා ලෙස සැළකෙන චමින්ද විජේකෝන් අද යුග දිවියට පිවිසීමට නියමිතය.මීටර් 1500 ඉසව්ව විනඩි 3:40 සීමාවෙන් අඩුවෙන් නිම කර ඇති එකම ලාංකිකයා වන චමින්ද සතුව ඇති මීටර් 1500 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව වන්නේ විනාඩි 3:39.62 කි.ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියාතික මට්ටමෙන් මීටර් 1500  ඉසව්වේ විශිෂ්ඨතම ජයග්‍රහණය ලබා දීමටත් ලුසෆෝනියා තරගාවලියේ දී එම ඉසව්වට රන් පදක්කම ලබා දීමටත් සමත් වූ චමින්ද මේ වන විට එම ඉසව්වේ දකුණු ආසියාතික සූරයා ද වනවා.
අද චමින්ද දිලේකා නම් සිය සහකාරිය සමග යුග ගමන් ඇරඹීමට පැය කිහිපයකට පෙර බේබදු පාපැදි කරුවෙකුගේ නොසැළිකිලිමත් යතුරු පැදි හැසිරීම නිසා අනතුරකට මුහුණ දුන්නද ක්‍රීඩා පිටියේ දී ඔහු විසින් රටට අත් කර දුන් කීර්තියේ ආශිර්වාදය නිසාවෙන් හෝ එම අනතුර විශාල බාධාවක් නොවී චමින්දට සිය ජීවන සහකාරිය සමග කරදරයකින් තොරව අද පෝරු මස්තක වීමට අවශ්‍යය පරිසරය සක්සා දුන්නා.
අලුත් ධාවන පථයක යුගල ධාවනයකට පිවිසෙන චමින්ද ට සහ දිලේකාට සුපිරික්‍රීඩා සුභ පැතුම්!
www.supirikrida.com


කුසල්ට කුසල පාදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඕස්ට්‍රේලියානු සංචාරයේ එක්දින සහ 20 - 20 තරග සදහා නම් කරන ලද කණ්ඩායමේ අතිරේක කඩුලු රකින්නෙකු ලෙස කුමාර සංගක්කාරගේ ඉවත්වීමෙන් ඇති වු හිස් තැන පිරවීමට දක්ෂ පිතිකරුවෙකු ද වන කුසල් ජනිත් පෙරේරා ඇතුළත් කිරිමට පියවර ගෙන ඇත.එහෙත් අත්දැකීම් බහුල මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක බිග්බෑෂ් තරගාවලියට සහභාගි වන සචිත්‍ර සේනානායක මේ තරගාවලියට ඇතුළත් කර නොමැති වීම ගැටළුවකි.පසුගිය කාලයේ තමන්ට ලැබුණු අවස්ථාවලදී වේග තණතිලිවල කඩුලු අතරට පැමිණි දග පන්දු යවන්නෙකු මෙන්ම සුවිශේෂී පන්දු රකින්නෙකු මෙන්ම පිතිකරණයේ ද හැකියාවක් ඇති සචිත්‍රට අවස්ථාවක් නොලැබීම මෙන්ම සුරංග ලක්මාල් ට වඩා එක්දින ජාත්‍යන්තර තරග දස්කම් අතර පෙරමුණේ සිටින පිතිකරණයේදී වේගවත් ප්‍රහාරකයෙකුද වන ධම්මික ප්‍රසාද් ද ටෙස්ට් තරග වලින් පසුව ශ්‍රී ලංකාවට කැදවීමට තීරණය කර තිබීම ද ගැටළුවකි.
මේ අතර ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන කණ්ඩායමේ අබාධ වලට ලක් වූ ක්‍රීඩකයන් අතරින් මේ වන විට හ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇතතේ චානක වෙළගෙදර පමණක් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුල්‍ය අර්බූදයකට ලක් වී සිටියදී ආබාධ වලට ලක් වූ ක්‍රීඩකයන් වෙනුවෙන් පහසුකම් සළසමින් ඕස්ට්‍රේලියාවේ රදවා තබා ගැනීම ගැටළුකාරීය.
ඕස්ට්‍රේලියාව සමග පැවත්වෙන එක්දින සහ 20 - 20 තරග සදහා නම් කරන ලද සංචිතය පහත දැක්වේ.නායක මහේල ජයවර්ධන,උප නායක ඇන්ජලෝ මැතිව්ස්,තිලකරත්න ඩිල්ෂාන්,උපුල් තරංග,ලහිරු තිරිමාන්න,දිනේෂ් චන්දිමාල්,නුවන් කුලසේකර,අකිල ධනංජය,ලසිත් මාලිංග,තිසර පෙරේරා,අජන්ත මෙණ්ඩිස්,ජීවන් මෙණ්ඩිස්,සුරංග ලක්මාල්,රංගන හේරත්,කුසල් ජනිත් පෙරේරා සහ සමින්ද එරංග
www.supirikrida.com

ජාතික මේසපන්දු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සූරතා මහනුවර දී

මෙවර 66 වන වරට පැවත්වෙන ජාතික කණිස්ඨ සහ ජ්‍යෙෂ්ඨ මේස පන්දු සූරතාවලිය මහනුවර,පේරාදෙනිය ජගත් රාජපක්ෂ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.600 ක් පමණ සහභාගි වනු ඇතැයි අපේකෂා කරන මෙම තරගාවලියේ දී කණිෂ්ඨ අංශයෙන් අවුරුදු 10 න් පහළ ,12 න් පහළ ,15 න් පහළ සහ 18 න් පහළ යන තරග පැවත්වෙන අතර එම වයස් ඛාණ්ඩ වලින් කේවල සහ යුගල තරග ක්‍රියාත්මක වන අතර 18 න් පහළ තරග අංශයේදී මිශ්‍ර යුගල තරග ද ඇතුළත් වේ.


විවෘත තරග අංශයේදී කේවල ,යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් වන අතර අතර ප්‍රවීන කාන්තා සහ පිරිමි තරග සහ ආබාධිත ප්‍රජාව සදහා වන කාන්තා සහ පිරිමි ඉසව් ද ඊට අයත්වේ.
ශ්‍රේණිගත කිරීම් අනුව ඒ ඒ තරග කාණ්ඩවල දී තරග වටයේ ඉහළින් සහ පහළින් ඇතුළත් කර සිටින දක්සයන්ගේ නාම ලේඛණයක් ද මේස පන්දු සම්මේලනය මගින් ඉදිරිපත් කර ඇති අතර,ඒ අතරින් ලාබාල ක්‍රීඩකයෙකු වන උදය රණසිංහ අවුරුදු 15 න් පහළ සහ 18 න් පහළ කේවල සූරයා ලෙසින්ද කේ වික්‍රමරත්න සමග අවුරුදු 18 න් පහළ යුගල පිරිමි අංශයේ අංක එකටද අමතරව බිඑන්බී ජයසිංහ සමගජාතික පිරිමි යුගල සූරතාවයේ අංක එකට පසු වීමද කැපී පෙනෙයි.මේ අතර ජාතික සූරීය ලෙස සිටින ඉෂාරා මධුරංගි කේවල සූරිය සහ කාන්තා යුගල අංශයේ දි මවුලි පීරිස් සමග අංක එකට පසු වීමද කැපී පෙනෙයි.

එරංගත් ආබාධිතයන්ගේ ගොඩට

Shaminda Eranga got rid of Peter Siddleස්ට්‍රේලියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ අබාධිත කණ්ඩායම දිනෙන් දින ඉහළ යමින් පවතින අතර අලුතින්ම ඊට එක් වූ සාමාජිකයා බවට පත්ව ඇත්තේ සමින්ද එරංග ය.ඒ අනුව ඔහු ද ඇතුළුව අබාධ මත තෙවන ටෙස්ට් තරගය කුමාර සංගක්කාර,ප්‍රසන්න ජයවර්ධන,චානක වෙළගෙදර අහිමි වී ඇති අතර මේ තරගයේදී එම හේතුව නිසා පළමු සහ දෙවන ටෙස්ට් තරග වලදී නොදුටු මුහුණු කිහිපයකටම කණ්ඩායමේ ස්ථාන හිමි වී ඇත.
ලහිරු තිරිමාන්න,සුරංග ලක්මාල්,නුවන් ප්‍රදීප් මෙන්ම දිනේෂ් චන්දිමාල් ද මෙම තරගයට ක්‍රීඩා කරති.තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවත්වෙන අතර කාසියේ වාසිය ලැබූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට පවරා ඇත.එහිදී යළිත් අවස්ථාවක් අසාර්ථක වූ දිමුත් කරුනාරත්න ලකුණු 5 ට පිටියෙන් ඉවත් කිරීමට ජැක්සන් බ්ර්ඩ් සමත් වූ අතර මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින්නේ නායක මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් ය.
මෙම තරගය මහේල ජයවර්ධන නායකත්වය ලබා දෙන අවසාන ටෙස්ට් තරගය වන අතර මයික් හසී සිය ටෙස්ට් දිවියේ සහභාගි වන අවසාන ටෙස්ට් තරගය ද මෙය වනු ඇත.ඇතැම් විට තිලකරත්න ඩිල්ෂාන් සහ තිලාන් සමරවීර යන ක්‍රීඩකයන්ද මෙම ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් පිටියේ නොදැකීමට වැඩි ඉඩක් තිබෙන බවට ද තොරතොරු වාර්තා වේ.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට මේ සමග ඇති සබදතාවය ඔස්සේ පිවිසීමේ හැකියාව ඇත.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573013.html

www.supirikrida.com

ඔලිම්පික් සූරයාට බාල අපරාධ සදහා පස් අවුරුදු සිර දඩුවම්

ජූඩෝ ක්‍රීඩාවෙන් 2004 සහ 2008 යන වසරවල දී කිලෝ ග්‍රෑම් 66 බර පංතියෙන් රන් පදක්කම් දිනා ගත් මසාටෝ උචිසිබා ට බාල වයස් දැරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ දැරීමේ වරදට පස් අවුරුදු සිර දඩුවමක් ලබා දීම කොරෙහි ජපන් අධිකරනයේ අවධානය යොමු වී ඇත.34 හැවිරිදි ජූඩෝ සූරයා මෙම දැරිවිය කාමරයක් තුළට රැගෙන ගොස් ඇයට මත්පැන් පානය කරන්නට දී මේ අතවරය සිදු කර තිබෙන බව ඒ සම්බන්ධ වාර්තා සදහන් කරයි.
අදාළ කාම‍රයේ රූපවාහිණි යන්ත්‍රයේ ශබ්දය වැඩි කරමින් සහ දැරිවියගේ මුව සියතින් වසා ඇයට මෙම බලහත්කාරකම කර ඇති බවද එම වාර්තා වලින් පැහැදිළි කරයි.දෙවතාවක් ජූඩෝ වැනි ක්‍රීඩාවකින් ඔලිම්පික් රන් පදක්කම් දිනා ගැනීමේ දුෂ්කර කාර්යය පහසුවෙන් නිම කළ උවිසිබා,පසුව කාන්තා ජූඩෝ උපදේශකයෙකු ලෙස ජපන් සරසවියක සේවයේ යෙදුණු අතර මෙම චෝදනාවත් සමග ඔහුට එයද අහිමි වී ඇත
www.supirikrida.com

ලිත්මිණට 'TIBHAR' සහය

ර්මණියේ නිෂ්පාදිත ලොව ප්‍රධාන පෙලේ මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ලාංකේය මේස පන්දු ක්‍රීඩාව තුළ ද අතිශයින් ජනප්‍රිය TIBHAR මේස පන්දු උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින හිටපු ජාතික මේස පන්දු සූරයෙකු වන ඩබ්ඒ බුද්ධසිරි විසින් නැගී එන මේස පන්දු ක්‍රීඩකයෙකු වන ලිත්මිණ මහානාමට වසරක කාලයක් සදහා TIBHAR අනුග්‍රහකත්වය පිරිනැමීමට තීරණය කර ඇත.හිටපු ජාතික සූර බුද්ධසිරි සහ ජාතික සූරියක වන නාමල් ගුණසේකරගේ මූලකත්වයෙන් ක්‍රියාත්මක TIBHAR  මේස පන්දු ඇකඩමියේ ක්‍රීඩකයෙකු වන ලිත්මිණ,කොළඹ වෙස්ලි විද්‍යාලයේ සිසුවෙකු වන අතර මේ වන විට අවුරුදු 12 න් පහළ වයස් සීමාවේ ලංකාවේ අංක තුනේ ක්‍රීඩකයා ලෙස කැපී පෙනෙන අතර ජාතික මට්ටමේ තරග වලදී එම වයස කාණ්ඩයේ සූරතාවයන්ද දිනා ඇත.
ඡායාරුපයේ දැක්වෙන්නේ බුද්ධසිරි විසින් ලිත්මිණ වෙත TIBHAR, අනුග්‍රාහකත්වය පිරිනැමූ අවස්ථාව වන අතර ඡායාරූපයේ එම අවස්ථාවට එක් වූ නාමල් ගුණසේකර ද වේ.
www.supirikrida.com

Jan 2, 2013

බේස්බෝල් ලියුම ගැන සොයා බලනවා - රංජනී ජයකොඩි

පැවති ප්‍රතිමළුන් පිටුදැකීමේ ජාතික බේස්බෝල් තරගාවලියේ හොදම කණ්ඩායම් අට අතර පැවත්වෙන ලීග් තරගාවලියේදී ලීග් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් ශක්තිමත් කිරීමට පරාජිත කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට එම කණ්ඩායම් වලට ක්‍රීඩා කිරීමට දීමේ සදාචාරසම්පන්න විරෝධී ක්‍රියාව නීත්‍යානුකූල තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය ලබා ගත් බව කියමින් ක්‍රීඩා සමාජ වෙතින් ලිපියකට අත්සන් ලබා ගැනීම පිළිබදව සොයා බලන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි පැවසුවාය.අප ක්‍රීඩා සමාජ වෙතින් ලැබුණු තොරතොරු මත මේ පිළිබදව අධ්‍යක්ෂ ජෙනරාල්වරියගෙන් මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනාගෙන්ද විමසීමක් කළ අතර එම තිදෙනාටම එවැනි ලිපියකට අනුමැතිය ලබා දුන් බවක් මතක තිබුණේ නැත.
මෙහිදී එම අනුමැතිය ලබා ගැනීමේ දී අදාළ ප්‍රතිමළුන් පිටුදැකීමේ තරගාවලිය පදනම් කරගෙන ලීග් තරගාවලිය පැවත්වෙන්නේ නම් පරාජිත ක්‍රීඩා සමාජ වල ක්‍රීඩකයන් ලීග් තරගාවලියට සුදුසුකම් ලත් කණ්ඩායම් වලට ඇතුළත් වීම අසාධාරණ බව එම නිලධාරීන්ද පිළිගත් අතර මෙම තරගාවලියට කණ්ඩායම් තෝරා ගැනීමේදී එය නව තරගාවලියක් ලෙස සළකන්නේ නම් එම කණ්ඩායම් තෝරා ගැනීම පිළිබදව පැහැදිළි කිරිමක් අවශ්‍යය වන බවද ඔව්හූ පිළි ගත්හ.
සාමාන්‍යයෙන් මෙවැනි ඉල්ලීමක් ක්‍රීඩා සමාජ හරහා ඉදිරිපත් විය හැකි අතර එය සදාචාර සම්පන්නද - නැද්ද යන්න තීරණය කිරීම අදාළ පරිපාලනය විසින් කළ යුතුය.නමුත් මෙහිදී ක්‍රීඩා සමාජ ‍එම සදාචාර සම්පන්න නොවන තත්ත්වයට ඇද දැමීමට ලිඛිතව කැමැත්ත ලබා ගැනීම පරිපාලනයක් විසින් සිදු කිරීම හාස්‍යයට තුඩු දෙන කරුණක්ය.මේ වන විට එම අවසර ලබා ගැනීම ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය මත සිදු වන බවට ඇතැම් ක්‍රීඩා සමාජ වලට දැණුම් දී තිබෙන බවත්,එහිදි ඇතැම් ක්‍රීඩා සමාජ අමාත්‍යංශයෙන් අවසර ලබා ගැනීම සිදු වී ඇත් නම් යළි ක්‍රීඩකයන්ගෙන් අත්සන් ඉල්ලා සිටින්නේ කුමකට ද යන්න ප්‍රශ්න කර ඇති බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.
මෙසේ ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියට ක්‍රීඩා කළ පරාජිත කණ්ඩායම් වල ක්‍රීඩකයන් ලීග් තරගාවලියට සුදුසුකම් ලත් කණ්ඩායම් වලට ඇතුළත් කිරීමෙන් ලීග් තරගාවලිය සදහා කණ්ඩායම උසස් කිරීමට දායකත්වය දැක් වූ එම කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදු වන බවත්,පරාජිත කණ්ඩායම් වල දැනට සිටින දක්ෂ ක්‍රීඩකයන්ද මේ තත්ත්වය නිසා එම කණ්ඩායම් වලට අහිමි වී යාමෙන් එම කණ්ඩායම් වල ඉරණම තව දුරටත් අවාසනාවන්ත තත්ත්වයක් ගනු ඇති බවත් පෙන්වා දෙන බේස්බෝල් ක්‍රීඩකයන් පවසන්නේ නමුත් පරිපාලනය විසින් ලිපියකට අත්සන් තැබීමට බලපෑම් කරද්දී එය ප්‍රතික්ෂේප කිරීමෙන් තමන්ගේ ක්‍රීඩකත්වයට අවැඩක් වෙනු ඇති බවත්ය.පරිපාලනයේ කාර්යය විය යුත්තේ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට නම් ක්‍රීඩා සමාජ වලට දක්ෂයන් බෙදී යාම ද ව්‍යාප්ත කිරීම වුවත් පරිපාලනය කටයුතු කරන්නේ ක්‍රීඩා සමාජ කිහිපයකට දක්ෂයන් කොටු කර එම ක්‍රීඩා සමාජ අතරේ පමණක් මෙම ක්‍රීඩාව රදවා ගැනීමට බවත් එම අදහස් දක්වන්නන් තව දුරටත් පැහැදිළි කරයි.
පරාජිත කණ්ඩායම් වල ක්‍රීඩකයන් ඇතුළත් නොකර මෙම ක්‍රීඩා සමාජ වලට නව තරුණ ක්‍රීඩකයන් අලුතින් ඇතුළත් කර ගැනීමට හැකියාව ඇති බව පෙන්වා දෙන තවත් පිරිසක් පැහැදිළි කළේ මෑත කාලයේ ජපන් කනගාවා කණ්ඩායම අතර පැවති තරගවලදීත් නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතා මනාව හදුනා ගැනීමට හැකි වූ බවය.එවැනි කිසිදු පරාජිත කණ්ඩායමකට ඇතුළත් නොවන ක්‍රීඩකයෙකු ලීග් තරගාවලිය නියෝජනය කරන කණ්ඩායමකට ඇතුළත් වීම ගැටළුවක් නොවන නමුත් ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියේම දිගුවක් ලෙස පැවත්වෙන ලීග් තරගාවලියේදී පරාජිත කණ්ඩායමක ක්‍රීඩකයෙක් ලීග් තරගාවලියේ කණ්ඩායමට ඇතුළත් වන්නේනම් එය එක තරගාවලියක් තුළ ක්‍රීඩකයෙකු  ක්‍රීඩා සමාජ දෙකකට ක්‍රීඩා කිරීමක් වන බව පැහැදිළි කරන එම පාර්ශවය මෙය පරිපාලනය විසින් සිදු කිරීමට මැදිහත් වීම ඉතා භයානක තත්ත්වයක් බවත් ඒ අනුව ලීග් තරගාවලියට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් වල ක්‍රීඩකයන් පරිපාලනයේ හිතවත් කණ්ඩායම් වලට ඇතුළත් කර අනෙකුත් කණ්ඩායම් දුර්වල කිරීමට හැකි බවත් පෙන්වා දෙති.
ක්‍රීඩකයින් අධෛර්යට පත් කිරීම,ක්‍රීඩා සමාජ අකර්මන්‍ය කිරීම වැනි ක්‍රීඩාවට අහිතකර විශාල බලපැමක් මෙම සිදු වීම හරහා විය හැකි බවත්,සුපිරික්‍රීඩා ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියට පැහැදිළි කළ අතර ඇය ද මෙම තත්ත්වය පිළිගනිමින් එවැනි තත්ත්වයකට කිසිසේත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් අවසර නොලැබෙන බවත් පෙන්වා දුන් අතර කිසියම් නොමග යැවීමක් මගින් එවැනි දෙයක් සිදු වී ඇත්නම් වහාම එය නිවැරදි කිරීමට සිය දායකත්වය ලබා දෙන බවත් පැහැදිළි කළාය.
www.supirikrida.com


ජූඩෝ 2014 සත්කාරකත්වය රුසියාවට



ජූඩෝ ලෝක සූරතාවලිය 2014 වර්ෂයේ පැවත්වීමේ සත්කාරකත්වය රුසියාව විසින් දිනා ගත්තා.ඒ අනුව රුසියාවේ චෙලියාබින්ස්ක් නම් වූ ආසියාව සහ යුරෝපය වෙන් කෙරෙන සීමාවේ වන නගරය 2014 දී ලෝක ජූඩෝ සූරතාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිතයි.රටවල් 45 ක් නියෝජනය කරමින් 50,000 ක් පමණ තරගකරුවන් සහ තරගකාරියන් මේ තරගාවලිය නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කරති.
ලෝක ජූඩෝ සම්මේලනයේ සභාපති මාරියස් වීසර් (මැද),යුරෝපීය ජූඩෝ සම්මේලනයේ සභාපති සහ රුසියානු ජූඩෝ සම්මේලනයේ උප සභාපති සර්ගෙයි සොලොවෙයිචික් (දකුණ) සහ චෙලියාබින්ස්ක් ප්‍රාදේශීය ආණ්ඩුකාර මිකායිල් යුරිවිච් අතර තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධ ගිවිසුම අත්සන් කළ අවස්ථාව ඡායාරෑපයේ දැක් වේ.
www.supirikrida.com

Jan 1, 2013

ග්‍රෙග්ට ශෝකය පළ කර ඕස්ට්‍රේලියානුවෝ කළු පටි පළදිති

ග්‍රේග් වෙනුවෙන් ශෝක වන පවුලේ හිතවතුන්
ටෝනි ග්‍රේග් කාලයක සිට ජීවත් වූ ප්‍රදේශය හැටියට ගැනෙන සිඩ්නි නුවර දී අනිද්දා ඇරඹෙන ශ්‍රී ලංකා ඕසට්‍රේලියා ටෙස්ට් තරගයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ අංශ කිහිපයකින්ම දැවැන්තයෙකු වූ සහ කාගේත් ගෞරවයට පාත්‍ර වූ මිනිසෙකු වූ ටෝනි ග්‍රේග් ගේ වියෝවට ශෝකය පළ කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් එම ටෙස්ට් තරගයේදි කළු පටි පැළද ක්‍රීඩා කිරීමට තීර්‍රණය කර ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.එසේම තරගයට පෙරාතුව විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවත්වීමට කටයුතු සංවිධානය වී ඇත.
දකුණු අප්‍රිකාවේ උපත ලැබූ මේ විශිෂ්ඨ ක්‍රිකට් දැවැන්තයා,එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර පසුව නායත්වයට ද පත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස 70 දශකයේදී කැපි පෙණුන අතර ක්‍රීඩක දිවියට සමු දුන් පසු විස්තර විචාරකයෙකු ලෙස ක්‍රීඩකයෙකු ලෙස ලැබූ ගෞරවයටත් වඩා ගෞරවයක් සහ ආදරයක් සමගින් ක්‍රිකට් ලෝකය තුළ ජනප්‍රිය චරිතයක් බවට පත් විය.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට මහත් සේ සිය විචාරක භාවිතාවන් තුළින් සේවයක් කළ ග්‍රෙග් වෙනුවෙන් හෙට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග එක් වී ශ්‍රී ලංකා කණ්ඩායමද ශෝකය පළ කිරීම වෙනුවෙන් කළු පටි පළදිනු ඇතැයි ද ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන තොරතොරු ඔස්සේ වාර්තා වේ.
www.supirikrida.com

මෙණ්ඩිස් තේරිම් කමිටුවට බලපෑම් කරයි

 මේ දිනවල පැවත්වෙන ප්‍රිමියර් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටින අජන්ත මෙණ්ඩිස් ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සංචිතයට සහ 20 - 20 සංචිතයට ඇතුළත් වීමට තමා සූදානමින් සිටින බවට ශ්‍රී ලංකා තේරීම් කමිටුවට කැුණු අනාවරණය කරමින් සිටියි.ගෙවුණු ලෝක කුසලාන 20 - 20 තරගාවලියෙන් ඉනික්බිති ආබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් දුරස්ව සිටින අජන්ත මෙණ්ඩිස් එම තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා විය.
මෙවර ප්‍රිමියර් තරගාවලියේදී මේ දක්වා පන්දු යැවීමේ දක්ෂතා සළකද්දී ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා වන අජන්ත,මේ වන විට කඩුළු 22 ක් දවා ගෙන ඇති අතර,ඉකුත් සතියේ දී ඔහු ගාළු ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 23 ට කඩුළු 7 ක් බිද හෙළමින් මෙවර තරගයක හොදම පන්දු යැවීම ද වාර්තා කරන්නට සමත් විය.
www.supirikrida.com

සුභ අලුත් අවුුද්දක්!


Dec 31, 2012

ලංකාවේ ක්‍රීඩාවට වටිනාම හිමිවීම වටනාබෙගෙන් වටිනාම අහිමිවීම ග්‍රේග්ගෙන්


දින් 2012 ඉවරයි.ගෙවුණු වසරෙදි අපට හිමි වුණේ මොනවද - අහිමි වුණේ මොනවද කියලා හොයල බලන්න වෙනවා.හිමිවීම් ගැන කතා කරද්දි අපට ඒවා මනින්න පදක්කම් වර්ධනය ආදි කරුණු විවිධ වූ නියැදි ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්.අහිමි විම් වුණත් එහෙමයි.ඒත් අපේ විග්‍රහයට අනුව හිමිවීම් වල භෞතිකමය වටිනාකම් සළකද්දි සහ එහි ඇති පලදායිතාවයන් පිළිබදව විමසා බලද්දි ශ්‍රී ලංකාව ගෙවෙන වසරේ ලැබූ විශාලතම ජයග්‍රහණය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ඉදි වුණ බේස්බෝල් ක්‍රීඩාංගණය යි.                              මේ ක්‍රීඩාංගණය අපට ලැබෙන්න විශාලතම දායකත්වය දැක් වූවේ ජපන් ජාතික වටනාබෙයි.ඔහු ඒ සදහා විශාල මුදලක් වැය කර ඉදි කරා නෙමෙයි.ඒ සදහා අවශ්‍යය සංවිධානකත්වය දැරුවා.ජපාන රජයෙන් සහ ඊට සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා සහ ස්වෙච්ඡා පදනම් වගේම මේ වන විට ජාත්‍යන්තරය ගොස් සිටින සුජීව විජේනායක වැනි ලාංකිකයොත් එක රැහැනකට බැද ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාංගණ පිළිබද වචන හරඹ යථාර්තයක් කරන්න වටනබේ දැක් වූ සංවිධානාත්මක හැකියාව අති විශිෂ්ඨයි.

ලංකාව බොහෝ දේ කරන්න පෙරුම් පුරමින් සියල්ල සාක්ෂාත් වන තුරු ඉවසා සිටින වට පිටාවක වටනබේ අතේ සත පහක් නැතිව දැවැන්ත පරිත්‍යාගශීලී අරමුණක් වෙනුවෙන් කැප වූ අයුරු ජපානයේ ආර්ථික සහ සමාජීය වටපිටාව පිළිබදව අපූරු උදාහරණ සපයන්නක්.
වචන හරඹ වලදී ජපනා හපනා කියලා ජපනාගේ හැකියාව එම ගොඩනැගීමේ පරාර්ථ පිළිබදව නොවිමසා වීසි කරන දමන අපට ඔවුන් යමක් වෙනුවෙන් අවංකව කැපවීමෙන් ක්‍රියාකරන ආකාරය පිළිබදව පාඩමක් වටනබේ අපට කියා දුන්නා.ඒ සදහා ඔහු උත්සාහ කරද්දි ඇතැම් හූ වටනබේ ගේ කකුළෙන් ඇද්ද බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවලින් අපට පැහැදිළි වුණා.ඒ තමයි ලංකාවෙ දේශපාලන හැදියාව.ඉතා පටු පෞද්ගලික,පරමාර්ථ සහ න්‍යාය පත්‍ර වලට කොටු වුණ පිරිස් කරන්නෙ ඒක තමන්ගෙ දෙයක් කර ගන්න උත්සාහ කිරීම පමණයි.වෙනත් ආකාරයකින් ඒ වැඩේ සිද්ධ වෙන්න යද්දි ඒකට අකුල් හෙලීමයි.
මේ යථාරතයත් එක්ක හැප්පෙන්න ජපානයේ මහා සම්ප්‍රදායට අපහසු වුණේ නැහැ.ඒ වටනබේ නිසාම නෙමෙයි.අපි සහ ජපානය අතර ඇති සමාජ ආර්ථික වටපිටාවේ වෙනස්කම් එක්ක රටක් හැටියට පරිත්‍යාගයක් ලෙස ලැබෙන අපේ ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා වූ භෞතික වටිනාකමට පිටුපාලා හිට ගන්න පුළුවන් රාජ්‍යතාන්ත්‍රික වටිනාකමක් අපට නැති නිසා.
ඒ වගේම ඒ හරහා කී  දෙනෙක්ට ලංකාවෙ ඉතිහාසයේ නමක් තියා ගන්න පුළුවන් වෙනවද කියන කාරණය වගේම අවසන් මොහොතෙදි එය තමන්ගේ බැබලීමට යොදා ගන්න වැඩ කරන ෙද්ශපාලනයත් මේ ක්‍රීඩාංගණය යථාර්තයක් වෙද්දි අපි දැක්කා.වටනබේ සාමාන්‍ය මිනිහෙක් විදිහට තමන්ගෙ වාත්තීය ඉටු කරමින් ක්‍රීඩා පිටියෙ පුහුණුකරුවාගේ භූමිකාව ඉෂ්ට කළා.සුජීව විනිසුරුවරයා හැටියට වැඩ කළා.මේ දෙන්න ගැන බොහොම අඩුවෙන් කියවෙද්දි ඇතැම්හු ඊට ඔප්පු - තිරප්පු ලියා ගත්තා.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහෝදරයා ජපානයේ ශ්‍රී ලංකා කොන්සල්වරයා විදිහට වැඩ කරනවා.ඒ නිසා මේ ක්‍රීඩාංගණය තුළ හැදෙන ක්‍රීඩාගාරයවත් වටනබේ නමින් නම් කරන්න ප්‍රකාශයක් කරන්න ක්‍රීඩා අමාත්‍යවරයාට හැකි වුණා නම් ඒක අපේ රටේ වටිනාකම ජපානයට දැනෙන දෙයක්.ඒත් ක්‍රීඩා අමාත්‍යවරයා මාධයවේදීන් කියන දේවල් ගණන් ගන්න ඕනි නෑ කියන මතයක ඉන්න නිලධාරින් මාධ්‍යවේදීන්ගේ මතය ඇමතිවරයා ළගට යවනවද නියන එන සැකයි.
ඒකත් අපේ දේශපාලන සංස්කෘතියෙ හැටියක්.කාගෙ අදහසක් හරි වංචා කරගෙන තමන්ගෙ දෙයක් විදිහට ඒ ආකෘතියේ නම ගහ ගන්න හදන අය වැඩියි.වටනබේ ඒ සංස්කෘතිය ඇතුළෙ යට යන එක ඒ සිදුවීමට සීමා නොවුණු දෙයක් සහ  විශාල අවස්ථාවන් ප්‍රමාණයක් අහිමි කර ගැනීමක් කියල හිතන්න පුළුවන් පිරිස ක්‍රීඩා අමාත්‍යවරයා ළගත් අඩුයි.පටු අරමුණු වලින් තොරව යම් දෙයක් ප්‍රකාශ කරද්දි ඇතැම් විට එම ප්‍රකාශය කරන පුද්ගලයාට තියෙන පෞදගලික වර්ණ විතරක් දැකල චිත්‍රය නිර්මාණය කර ගන්න උදවිය සැබෑ චිත්‍රය දකින්නෙ නැහැ.වටනබේ මෙන්ම ඔහුගේ කාර්ය භාරයද ඒ විදිහට දැක්කෙ නැතුව කරන වර්ණාවන් අන්ධයෙක් තොරණක් ළග ඉදල විරිදු අහල තොරණෙ හැඩතල ගැන කරන විස්තරයකට සමානයි.
ඒ නිසා වටනබේ ලංකාවෙ ක්‍රීඩාවෙ මුල ඉදල අගටම ඉන්න පිරිස් කියවන්න ඕන චරිතයක්.ඉල්ලීම් සහ ලැබීම් ගැන පමණක් උනන්දු වන පිරිසක් අතර පාවෙන ලාංකේය ක්‍රීඩා වපසරියට යුතුකම් සහ වගකීම් මෙන්ම පරිත්‍යාග ගැන කියා දෙන්න වටනබේ පාඩම් පොතක් වගේ.ලංකාවේ කරුණානන්දගෙ ඔලිම්පික් මීටර් 10,000 දිවීම ජයග්‍රහණය වෙනුවට මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්‍යය සහ නොපසුබස්නා වීර්ය පිලිබදව ජපානයෙ දරුවන්ට උගන්නන් පාඩමක් කර ගත්ත ජපානය වගේ රටක දේශපාලන ව්‍යහුය අප උදාහරණයකට ගත්තොත් වටනබේ කරුණානන්දල වගෙ මිනිස්සු ගැන හදරපු තැනට අපේ අධ්‍යාපනයෙ මනස වෙනස් කරන්න තීරණය කළොත් වටනබේත් අපට ඉගෙන ගන්න පුළුවන් චරිතයක්.ඒ නිසා පදක්කම්,සම්මාන සහතික ඔක්කොටම වඩා ගෙවෙන වසරේ ශ්‍රී ලංකාවට වටිනාම දේ ලබා දුන්නෙ වටනබේ.
ඒ වගේම 20 - 20 ලෝක කුසලාන අවසාන තරගයෙන් පරාජය වි කුසලානය අහිමි කර ගැනීම වගේම ශී ලංකා දැල් පන්දුව සතුව තිබුණු ආසියානු කුසලානය අහිමිකර ගැනීම වැනි කාරණා වලට වඩා ශ්‍රී ලංකාවට වටිනාම අහිමි වීම ටෝනි ග්‍රේග් ගේ ජීවිත සමු ගැනීමයි.ඔහු ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ පිටුපස වැටි තිබුණු සෙවනැල්ලක් බදු වූවා.විශේෂයෙන් අර්ජුන රණතුංග, ඩැරල් හෙයා වැනි සිදුවීමකදී අර්ජුන හැසිරුණු ආකාරය ක්‍රීඩාවේ සම්ප්‍රදායන් සමග සළකද්දී එකග විය නොහැකි කරුණක් විය හැකි වුව ද ඊට මානුෂීය මුහුණුවරක් දී ජාත්‍යන්තරයේ මානුෂික අවධානය අර්ජුන ට පක්ෂපාතීත්වය පිණිස හැඩ ගැහුණේ ටෝනි ග්‍රේග් නිසයි.
කළු සහ සනත් ලෝකයේ භයානක පිතිකරුවන් ලෙස ප්‍රතිවාදි මනස් තුළ ස්ථාවර කිරීමට ටෝන් කළ සේවය මහත්ය.එසේම ලෝකයේ ක්‍රිකට් බලධාරියා බවට පත්වී සිටින ඉන්දියාවේ බිෂන් සිං බෙඩී නම් එවකට ආසියාවෙන් බිහි වි සිටි වැඩිම කඩුලුලාභි දග පන්දු යවන්නා පවා මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බව කියන බටහිර කදවුර නියෝජනය කරද්දී ටෝනි මුරලිගේ ස්වභාවිකත්වය රැක ගැනීම වෙනුවෙන් සිය හඩ අවදි කළේය.මාස්ටර් බ්ලාස්ටර්ලා,කැප්ටන් කූල් ලා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලාංකේය ප්‍රතිවාදීන් පීඩනයට ලක් කරන අනන්‍යතාවයක් ගොඩ නැංවීම වෙනුවෙන් ටෝනි ග්‍රේග් කළ මෙහෙය ඇතැම් ක්‍රිකට් පරිපාලකයන්ගෙන් හෝ සිදු වී නොමැති බව අප දත යුතුය.
ජාත්‍යන්තර වශයෙන් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම වළකාලන්නට එල්ල වූ පීඩාවන් සහ තර්ජනයන් හමුවේ ඊට එරෙහිව හබල් ගසන්නට ටෝනි ගේ හඩින් සිදු වූ මෙහෙය අපමණය.අපේ ඇතැම් විචාරකයන් පවා අපේ ඉංග්‍රිසි නොදත් ක්‍රීඩකයන් සමග ඉංග්‍රිසියෙන් කතා කරමින් ඔවුන්ව මානසිකව පීඩාවට ලක් කරන වපසරියක,ග්‍රෙග් එවැනි ක්‍රීඩකයන් සොයා එමින් ඔවුන් අපහසුවට ලක් නොවන ආකාරයට පූර්ව සැළසුම් සකස් කරමින් කටයුතු කර තිබෙන ආකාරය ඔහුගේ ජාත්‍යන්තර සහ ක්‍රිකට්ශීලී වීමට කදිම උදාහරණයකි.
ඒ නිසා අපට භෞතික වශයෙන් නොපෙනෙන,ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව භෞතික වශයෙන් අත් කර ගත් බොහෝ දේ සදහා මැදිහත් වූ ටෝනි, ලාකේය ක්‍රිකට් හි මතු වෙමින් තිබෙන ‍බිද වැටීමේ ඉර සළකුණු මකා දමන්නට ඉදිරියේදි යොදා ගත හැකිව තිබුණු ශක්තිමත් සාධකයක් අහිමි වී යාමකි.ඒ නිසා  ගෙවුණු වසරේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කේෂ්ත්‍රයෙන් අහිමි වූ විශාලතම අහිමිවීම ටෝනි ග්‍රේග් ය.
කෙසේ හෝ එළැඹෙන වසරේ හ්‍රී ලංකාවේ අලුත් මලල ක්‍රීඩා බලාපොරොත්තු පිලිබදව කතා කිරීමට අවස්ථාවක් උදා වේයැයි සිතිය හැකිය.විශේෂයෙන්ම කාන්තා බොක්සිං ක්‍රීඩාවේ අලුත් පිබිදීමක් සමග නිමා වුණු වර්ෂයේ එහි උපරිම ප්‍රතිපල සදහා පිවිසෙන්නට එළැඹෙන වසර බෙහෙවින් තීරණාත්මක විය හැකිය.
වෙළද සේවා මලල ක්‍රඩා පිටියේ මෙන්ම වෙළද සේවා වොලිබෝල් පිටියේද යහපත් තරගාවලි දෙකක් ගෙවුණු වසරේදී ගෙවී ගියේ එහි පරිපාලන පුටු පවා තරුණ කරමින් සහ එහි වැදගත් කම පෙන්වමින්ය.පුද්ගල ආදර්ශ වෙනුවට ක්‍රියාකාරි ආදර්ශ හමු වූ එම තරගාවලි දෙක හරහා මතු කළ අපූරු සංවිධාන ශක්‍යතායේ අලුත් පිටුව එළැඹෙන වසරේදි එම කේෂ්ත්‍ර දෙකේ ප්‍රබෝධය වෙනුවෙන් විශාල දෙයක් කරනු සැක නැත.
අපි කල්පනාවෙන් බලා සිටින්නෙමු!

www.supirikrida.com

Dec 30, 2012

තේරීම් කමිටුව සරම් ඇද හිසින් සිට ගනියි

ස්ට්‍රේලියාවේ සංචාර‍ය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර සංගක්කාර සහ චානක වෙළගෙදර ආබාධිත තත්ත්වයට පත්වීම හේතු කර ගෙන ඒ වෙනුවට ලහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල් කණ්ඩායමට කැදවීමට තීරණය කර ඇත.සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර සිටි සහ දැනටත් ඕස්ට්‍රේලියානු තණතිලි වල අත්දැකීම් ලබා ගනිමින් සිටින සහ ජාත්‍යන්තර විචාරකයන්ගේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම අවධානයක් දිනූ ක්‍රීඩකයා ද වන තිසර කණ්ඩායමට නො'කැදවා සුරංග කැදවීමෙන් මේ වන විට ඔහුට වීසා ලබා ගැනීමේ ගැටළුවකට ද ක්‍රිකට් පරිපාලනය මුහුණ දී සිටියි.
මීට පෙර ද කිහිප වතාවක්ම මතක් කළ සේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කෝටි ගණනක වියදමක් දරා හරූන් ලොගාඩ් ලවා ලබා ගත් වාර්තාවෙන්ද විවේචනයට ලක් වූ ක්‍රිකට් තේරුම් කමිටුව සම්බන්ධයෙන් මේ වන විටත් අමාත්‍යවරයා හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කිසිදු තීරණයක් ගන්නා බවක් පෙනෙන්නට නැති අතර ඔවුන් කිසිදු හිරිකිතයකින් තොරව තමන්ට අවශ්‍යය පරිදි තීරණ ගනිමින් සිටියි.අවසානයේ වසර ගණනක් තිස්සේ මෙරට මාධය විසින් පෙන්වා දුන් කරුණුම ඉදිරිපත් කර ලොගාඩ් ට කෝටි ගණනක මුදලක් ගැනීමට ආශිර්වාදයක් ලැබීම හැරෙන්නට හරූන් ලොගාඩ් ගේ වාර්තාවෙන් කිසිදු වෙනසක් ක්‍රිකට් වලට සිදුවන බවක් පෙනෙන්නට නැත.පසුගිය කාලය පුරාම විශිෂ්ඨ දස්කම් දැක් වූ ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන තිසර පෙරේරා,අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍රේලියානු සංචිතයට නම් කර සිටියදී ඔහු ව ඉවත් කර සුරංග ලක්මාල් කැදවීම පිළිබදව හේතු කාරණා විමසීමටවත් ලංකාවේ ක්‍රිකට් තේරුම් කමිටුවට අභියෝග කරන්න ක්‍රීඩා බලධාරියෙකු නැති වීම ක්‍රිකට් ක්‍රීඩාවේ ඛේදවාචකයකි.
වඩා වැදගත් සුරංග ලක්මාල් නම් ඔහුව නම් නොකර පළමුව තිසර පෙරේරා නම් කරේ ඇයි යන්න මෙන්ම තිසර පෙරේරා අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයේ සිටියදි ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශය විශාල වශයෙන් කඩා වැටි තිබියදී,පිතිකරණයේදී සුරංග  ලක්මාල් ට වඩා දායකත්වයක් දැක්විය හැකි තිසර පෙරේරා නම් නොකළේ ඇයිද යන ප්‍රශ්නය ඇසීමට ක්‍රිකට් ආයතනයේ ගෙවීමක් ලැබිය හැකි සුද්දෙක් හෝ නොමැති වීම නිසා මෙවැනි ගැටළුකාරී තත්ත්වයන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිට තීන්දු ගත හැකි කිසිදු බලධාරියෙක්ට නොදැනෙනු ඇත.
www.supirikrida.com

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ සුදු තාත්තා සමු ගනියි

'පිය' යන වචනය දිනා ගන්නට තරම් පියකරු ලැබැදි බවක් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඔහු තුළ විය.නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තලයේ වීරත්වයේ සළකුණක් බවට පත් කරන්නට හේතු වූයේ ඔහුය.ඒ නිසාම ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් මිදුණු සමස්ත ලාංකේය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් වෙත ද වීරයෙකු බවට පත් විය.අන්නාසි කෑල්ලක රස බලමින් එය ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වන රස පළතුරක් කරන අතරේම ලිට්ල් කළු,මාස්ටර් බ්ලාස්ටර්,කැප්ටන් කූල් යන වචන ක්‍රිකට් සංස්කෘතියට හදුන්වා දෙමින් ලාංකේය ක්‍රිකට් වීරයන්ගේ ප්‍රතිරූපය ජගත් ක්‍රිකට් පිටිය තුළ සනාත කරන්නට ටෝනි ග්‍රෙග් නම් මේ සුවිෂේශී මිනිසාට හැකි විය.
ලාකේය ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉංග්‍රිසි ව්‍යවහාරයේදී පසුබෑම පිළිබදව ක්‍රීඩක කාමර වලටම එබී කතා කර ඔවුන් අපහසුවට පත් නොවන ආකාරයට කතා බහ කිරීමට වටපිටාව සකස් කර ගන්නට තරම් මේ සුන්දර මිනිසා දක්වා තිබෙන කැපවීම හෙළිදරව් වෙද්දී ඉංග්‍රිසි දැණුම අඩු ක්‍රීඩකයන්ව ද අපහසුවට පත් කරමින් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අසන ඇතැම් ලාංකේය නිවේදකයන් ට ඉ‍ගෙන ගන්නට බුද්ධියක් තිබේනම් ග්‍රෙග් විශ්ව විද්‍යාලයකි.ලංකාවේ සාහිත්‍යධරයන් කලා කරුවන් සමග  එකම බෝඩිං කාමර වල කරක් ගැසූ ඇතැම්හූ සීගිරිය,දඹුල්ල පිළිබදව කියා ගන්නට නොහැකිව ලතවෙන විට ශ්‍රී ලංකා ක්‍රිකට්  ජාත්‍යන්තර වශයෙන් අපහසුවට ලක් වන තැන් හී විස්තර විචාරක කුටිය තුළ සිය ගැඹුරු හඩින් ලංකාවේ ගැලවුම්කරු වූ ටෝනි එවැනි අවස්ථාවල දී උපන් රට ගැන නොදන්නා පිරිසගේ ද ගැලවුම්කරු වෙනු අප දැක ඇත.
සනත් ජයසූරිය වැනි පිතිකරුවෙක් වීරයෙක් වීමට ඔහුගේ ජවසම්පන්න පහරවල් තරමටම තදින් ජව හදවත් තුළට වදින්නට ඔහු සම්බන්ධයෙන් ටෝනි පැවසූ වචන ද හේතු වූ බව අපි පිළිගත යුතු වන්නෙමු.ඒ නිසාම ලෝකය පුරා ජනප්‍රිය චරිතයක් බවට පත් වූ සනත් පාර්ලිමේන්තු මංත්‍රී පදවියක් දක්වා සිය ජනප්‍රියත්වය ඔසවා තැබීමෙන් ඉනික්බිති විස්තර විචාරක කුටියද ආක්‍රමණය කළේය.එහිදී ද විස්තර විචාරකයාගේ වගකීම් ක්‍රිකට් ඉක්මවා ගිය එකක් බව සනත්ට පැහැදිළි කළ ටෝනි, සනත් නොදත් සනත්ගේ රටේ ජාතික අනන්‍යතා පිළිබදව සනත් ට කියා දුන්නේය.
ඔහු ලංකාවේ ඉතිහාසයේ සිට වර්ථමානය පිළිබදව ඓතිහාසික මෙන්ම දේශපාලනික කියවීමක් ද ඇති පුද්ගලයෙකු ලෙස අපට අනන්‍ය වූ ඇවතුම් පැවතුම් පිළිබදව ද විශාල අවබෝධයක් ඇතිව කටයුතු කළ අයෙකි.ඔහුගේ ක්‍රීඩක අවධියේ ඇතැම් සිදුවීම් නිසා ඔහු කළු ජාතික විරෝධියෙකු ලෙස හංවඩු ගැසුණු අවස්ථා දැක තිබුණත් ක්‍රීඩක භූමිකාවෙන් නික්මීමෙන් ඉනික්බිතිව ඔහු කුඩා රටවල ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙන ඒමට විශාල කැපවීමකින් සිය හඩ අවදි කළ ක්‍රීඩකයා විය.ශ්‍රී ලංකාවේ පමණක් නොව බංගලාදේශය වැනි රටවල ද ශකීබ් අල් හසන් වැනි ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයේ ඉදිරියට ගෙන ඒමට ටෝනි ගේ හඩට විශාල ශක්තියක් තිබිණ.
ක්‍රීඩක භූමිකාවන් විවිධ චරිත සදහා ජේදනය වෙනු දකිමින් සහ අනතුරුව ඒවා සිය න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙයවන්නට වෙර දරා ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට යම් යම් හානි කරක අයුරුද අප කලින් කල දැක ඇත.නමුත් ටෝනි කිසි විටෙකත් එවැනි හානියක් නොකළ ලංකාවේ ක්‍රිකට් අභිවෘද්ධිය වෙනුවෙන්ම සිය කැපවීම ඇපවීම උපරිමයෙන්  කළ ටෝනි ඇතැම් විට ජන්මයෙන් ලාංකිකයන් වූ අයෙකුට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා‍ව වෙනුවෙන් සැබෑම ලාකේය ක්‍රිකට් ප්‍රේමියෙකි.ඒ ප්‍රේමය සදාකාලිකව ක්‍රිකට් පිටියේදී අපේ ඓතිහාසික ජයග්‍රහණ ස්මරණය කරමින් සිහිකරනු හැකි වුව ද යළිත් සජීවීව ඒ හඩ අපට අසන්නට වරම් නැත.ටෝනි නික්ම ගොස් ඇත්තේ නොඑන ගමණකටය.එහෙත් කාටවත් යා නොහැකි දුරක් ඔබ ලාංකේය ක්‍රිකට් ප්‍රේමීන්ගේ හෘදයාංගම බව තුළ ගොස් ඇත.එ හෘදයාංගම බව අසළට හෝ ඒමට හැකි අයෙක් දැනටනම් නැත.ඒ නිසා ඔබ සිටින විට දැණුනු පිරුනු බව බොහෝ කාලයක් අපට හිස් ව දැණෙනු ඇත.
ටෝනි!
 ඔබට දෙව් මව් තුරුළේ සැතපෙන්නට ප්‍රාර්ථනා කරන්නට හෝ නිවන් සුව පතන්නට හෝ පෙර ටෝනි ගේ උවමනාව ගුරු කොට ලාංකේය ක්‍රිකට් සම්බන්ධයෙන් මැදිහත්වීමේදී ඊට අවංකව ආදරයෙන් මැදිහත් වීම තුළින් ටෝනිට දැක්විය හැකි ගෞරවය පාරභෞතික ප්‍රාර්ථනාවන්ට වඩා ටෝනිට දැක්විය හැකි ‍ඉහළම ගෞරවය බව අපි විශ්වාස කරන්නෙමු!
www.supirikrida.com