Nov 3, 2012

ඔනිනම් බලන්නත් පුළුවන් නොබලා සල්ලි ගන්නත් පුළුවන්

වසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දෙවන සහ තෙවන එක්දින තරග පැවත්වීමට නියමිතව තිබූ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය වෙනුවට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනය යොදා ගැනීමට තීරණය වීමෙන් එම තරග නැරඹීම සදහා ප්‍රවේශපත් මිළදී ගත් අයට මහනුවරට යාමට නොහැකිනම් එම ප්‍රවේශපත් මුදල් 4 දා ප.ව. 12.30 ට පෙර කොළම මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නැවත ලබා ගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කරයි.එසේම මෙම තරග නැරඹිම සදහා අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් මිළ දී ගත් අයට මේ වන විටත් මේ බව දන්වා එම විද්‍යුත් ලිපින වලට තොරතුරු යවා ඇති බවත් අවශ්‍යනම් එම මිළදී ගැනීම් අන්තර්ජාලය හරහාම අවලංගු කර නැවත සිය ගිණුම් වලට බැර කර ගැනීමට හැකි බවත් ඒ පිළිබදව කරුණු පැහැදිළි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හී මාධ්‍ය සහ සංනිවේදන කළමණාකරු රජිත් ප්‍රනාන්දු සුපිරික්‍රීඩා වෙත පැවසීය.
දඹුල්ලට අයිසීසිය කැමති නෑ-හම්බන්තොට ඉක්මණින් ලෑස්ති කරන්න බෑ 
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග අවලංගු කිරීමට බල පෑ හේතුව පැහැදිළි කළ රජිත් පැවසුවේ ප්‍රේමදාස ක්‍රීඩාංගනය අසළ ඇති ඇල පිරී එම නිවෙස් වලට ද වතුර දමා ඇති බවත් ක්‍රීඩාංගණයේ වතුර බැසීම සිදුවන්නේ මෙම ඇල හරහා බැවින් එම කාර්යය නිවැරදිව සිදු නොවන බවත්ය.ඒ නිසා ක්‍රීඩාංගණයේ හතරේ සිමාව ආසන්න ප්‍රදේශය දැඩි තෙත් බවක් ගන්නා බවත් මේ හේතුව නිසා තරගය පල්ලෙකැලේට රැගෙන යාමට තීරණය කළ බවත්ය.
ශ්‍රී ලංකාවේ දිවා රාත්‍රි තරග පැවත්වීමට සුදුසු පරිදි ඉදි කළ ක්‍රීඩාංගණ හතරෙන් වර්සාවේ අවදානම වැඩිම ක්‍රීඩාංගණය පල්ලේකැලේ ක්‍රීඩාංගණය ව තිබියදී දඹුල්ල හෝ හම්බන්තොට ක්‍රීඩාංගන සූදානම් නොකර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය තෝරා ගැනිම පිලිබදව අප විසින් කළ විමසීමේදී රජිත් පවසා සිටියේ දඹුල්ල ක්‍රීඩාංගණයේ ආලෝක පද්ධතිය පිලිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැහීමකට පත් නොවන බවයි.එම ආලෝක පද්ධතිය යටතේ තරග පැවත්වීමට අයිසීසී ය විරෝධය දක්වා ඇති බවද රජිත් වැඩි දුරටත් පැහැදිළි කළේය.
නමුත් 2010 ලෝක කුසලාන තරගාවලියටත් පෙර අයසීසී ය දන්වා තිබුණේ එම ආලෝක පද්ධතියේ ආලෝකය පිටිය මැද පැමිණිමේදී ප්‍රමාණාත්මක නොවන බැවින් එය නිවැරදි කර ගන්නා ලෙසය.නමුත්
 20 / 20 ලෝක කුසලානය වන විටවත් එය නිවැරදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් උත්සාහ නොකිරීම පැහැදිළි කරන්නේ සිය වගකීම පැහැර හැරීමය.නැතිනම් විශාල මුදලක් වැය කර තැනූ සහ වැඩිම දිවා රාත්‍රි එක්දින තරග ප්‍රමාණයක් පැවත් වූ දඹුල්ල ක්‍රීඩාංගණය පවතින පරිපාලනය හා විරුද්ධ මතයක් දරණ පිරිසක් විසින් ඉදි කිරීම නිසා එම ක්‍රීඩාංගණය නොසළකා හැර ඇති බවට සැක කිරිමද අසාධාරණ නැත.
හම්බන්තොට ක්‍රීඩාංගණයට තරග රැගෙන යාමට නොහැකි හේතුව පැහැදිළි කළ රජිත් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ එම ක්‍රීඩාංගණයේ තණතීරුව සූදානම් කිරිමට කාලයක් නොමැති බවය.ඒ සියළු තත්ත්වයන් සළකා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට තරගය රැගෙන යාමට එහි ජලය බැස යා‍මේ පද්ධතිය ඉතා හොදින් ක්‍රියාත්මක වීම ද සැළකිල්ලට ගත් බව ඔහු පවසන්නේය.නමුත් වර්ෂාවේ වැඩිම අවදානම ඇති ප්‍රදේශය තෝරා ගැනීමට සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් හී වගකීමක් නොමැති හැසිරීම හේතුවෙන් දඹුල්ල වැනි වර්ෂාවේ බලපෑම අඩු ක්‍රීඩාංගණයක් නොතකා හැරීම බව ද පිළිගත යුතු බව අපේ විශ්වාසයයි.
කෙසේ හෝ මෙම සටහන තැබෙන විටත් පල්ලේකැලේ ක්‍රීඩාංගණය ඉහළින් කළු වළා මුදුන්ව තිබෙන බව සුපිරික්‍රීඩා වෙත වාර්ත වන අතර කාලගුණ වාර්තාවලින් පැහැදිළි වන්නේ අන්තර් මෝසම සක්‍රීය වෙමින් පවතින බවය.
www.supirikrida.com

උදය සහ මුතු අති සූරයෝ වෙති

යඹ පළාත් මේස පන්දු සංගමය මෙහෙය වූ ජාතික කණිෂ්ඨ ශ්‍රේණිගත කිරිමේ මේස පන්දු තරගාවලියේ දී අතිසූර ක්‍රීඩකයා ලෙස මහනුවර විදයාර්ථ විද්‍යාලයේ උදය රණසිංහත් අති සූර ක්‍රීඩිකාව ලෙස අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ මුතුමාලි ප්‍රියදර්ශනීත් ඇගයීමට ලක් වුණා.උදය අවුරුදු 15 න් පහළ සහ අවුරුදු 18 න් පහළ යන බාලක සූරතාවයන් ද්විත්වයටම හිමකම් කී අතර මුතුමාලි අවුරුදු 15 න් පහළ බාලිකා සූරතාවයට සහ අවුරුදු 18 න් පහළ බාලිකා අනු සූරතාවයට හිමිකම් කිවා.
අවුරුදු 10 න් පහළ බාලක තරග අංශයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන සූරතාවයට හිමිකම් කී අතර අනු සූරතාවයට හිමි වූවේ කෑගලු විද්‍යාලයේ හංස මෙත්මාල්ට යි.අවුරුදු 10 න් පහළ බාලිකා සූරතාවය අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ දිල්මි කොළඹගේට හිමි වූ අතර අනු සූරතාවය අම්බලන්ගොඩ ධර්මාශොක විද්‍යාලයේ අහිකා සත්සරණි දිනා ගත්තා.
අවුරුදු 12 න් පහළ බාලිකා සූරතාවය නුගේගොඩ අනුලා විද්‍යාලයේ හංසනී පියුමාලා ට හිමි වූ අතර අනු සූරතාවය හිමි වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉමාසා ද සිල්වා ට යි.එම වයස් සීමාවේ බාලක සූරතාවය කොළඹ වෙස්ලි විද්‍යාලයේ ලිත්මිණ මහානාම දිනා ගත්තා.අනූ සූරයා බවට කෑගලු විදයාලයේ තේනුක ධිනුජය තේරී පත් වුණා.
අවුරුදු 15 න් පහළ බාලක සහ බාලිකා සූරතා උදය සහ මුතුමාලි විසින් දිනා ගනිද්දි පිළිවෙළින් එහි බාලක සහ බාලිකා අනු සූරතා විද්‍යාර්ථ විද්‍යාලයේ චින්තක ඒකනායකට සහ මහනුවර උසස් බාලිකාවේ චමත්කා ප්‍රනාන්දු ට හිමි වුණා.අවුරුදු 18 න් පහළ බාලක සූරතාවය උදය රණසිංහට හිමි වෙද්දී,එහි අනු සූරතාවය විද්‍යාර්ථ විද්‍යාලයේම තිළිණ විජේසිරි දිනා ගත්තා.අති සූර ක්‍රීඩිකාව වූ මුතුමාලි අවුරුදු 18 න් පහළ වයස් සීමාවේ අනු සූරිය බවට පත් කරමින් එම වයස් ඛාණ්ඩයේ සූරිය වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එරන්දි වරුසවිතාන යි.
මේ සමග වන ඡායාරූපයේ තරග සංවිධායකයන් සහ ජයග්‍රාහකයින් දැක්වෙන අතර ඉදිරිපෙළ වමේ සිට වයඹ පළාත් මේස පන්දු පුහුණුකරු ඩීඑම්ඩීඑස් කුමාර,වයඹ පළාත් මේස පන්දු සංගම් සභාපති තිසර පෙරේරා,ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ඉසුරු ජයවර්ධන,ජාතික මේස පන්දු සංගමයේ ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරි චන්දන පෙරේරා සහ තරගාවලි ලේකම් තුසාර සම්පත් දැක්වෙනවා.පසුපෙළ තරගාවලියේ ඒ ඒ වයස් සීමා ජයගත් තරගකරුවන් දැක්වෙන අතර වමේ මුතුමාලි ප්‍රියදර්ශණී,එරන්දි වරුසවිතාන,හංසි පියුමාලා,ලිත්මිණ මහානාම,දෙව්මිත් වීරසේන,දිල්මි කොළඹගේ සහ උදය රණසිංහ දැක්වෙන්වා.
www.supirikrida.com

Rio 2016 රග්බි පිටිය පිළිබදව විචිකිච්චාවෙන්

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හී පැවත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට ඇතුළත් කරන්නට යෙදී ඇති සත් සාමාජික රගර් තරගාවලිය පැවත්වීමට යෝජිත ක්‍රීඩාංගණය කුමක්ද යන්න පිළිබදව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙන්ම ජගත් රග්බි සම්මේලනය ද දෙගිඩියාවෙන් පසු වේ. 25,000 ක පමණ පිරිසකට තරග නැරඹිමේ පහසුකම් සැපයිය හැකි  Sao Januario Stadium පිළිබදව ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු වී තිබුණ ද,මේ වන විට ඒ සදහා ඔලිම්පික් තරගාවලිය පැවත්වීමට යෝජිත João Havelange Stadium පිළිබදව ද අවධානය යොමු වී තිබේ.
එම ක්‍රීඩාංගණය 40,000 සීමාවේ සිට 60,000 සීමාව දක්වා වර්ධන කර ගැනීමේ හැකියාව මත පදනම් කර ගනිමින් එම ක්‍රීඩාංගණය යොදා ගැනී‍ම කෙරෙහිද මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ජගත් රග්බි සම්මේලනය සාකච්ඡා කරමින් සිටියි.
කෙසේ හෝ ජගත් රග්බි සම්මේලනය මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද ප්‍රකාශ කර සිටින්නේ අදාළ ක්‍රීඩාංගණ බලධාරීන් හා ඇති කර ගන්නා ගිවිසුම් මත රගර් ක්‍රීඩකයන්ට මෙන්ම රගර් ලෝලීන්ට ද සදානුස්මරණිය වින්දනයක් සහිත තරගාවලියක් පැවත්වීමට තමන්ට හැකි වනු ඇති බවයි.
www.supirikrida.com

Nov 2, 2012

ඉරාන යෞවනයෝ සූරතාවය රැක ගනිති - මද පසු බැසීමක් සමග ලංකාව පියවර දෙකක් පෙරට

රානයේ පැවති ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලියේ දී එම සූරතාවය දිනා සිටි සත්කාරක ඉරානය සිය රටේදි තමන්ගෙන් කිරුල උදුරා ගන්නට චීනය දැරූ අති විශිෂ්ඨ උත්සාහය අවසාන මොහොතේදි ව්‍යර්ථ කර දමමින් තරග වට 3 - 2ක් ලෙස ජය ගෙන හයවන වරටත් ආසියාවේ යොවුන් බාලක සූරතාවය දිනා ගත්තේය.21 - 25, 25 - 21,23 - 25,28 - 26 සහ 15 - 8 ක් වූ තරග වට පහේ ප්‍රතිපලය අනුව ඉරානය සූරතාවය දිනා ගනිද්දි අක්බාර් වැලෙයි ඒ සදහා ඉරානය වෙනුවෙන් කළ කැපවීම සළකා ඔහුට තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය පුද කළේය.
ශ්‍රී ලංකාව ස්ථාන දෙකකින් ආසියානු යොවුන් බාලකයන් අතර පෙරට පැමිණ හයවන ස්ථානය ලබමින් තරගාවලිය නිම කළ අතර පස්වන ස්ථානය සහ හයවන ස්ථානය නිර්නය කර ගැනීම සදහා ඊයේ පැවති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම තරගාවලියේ මීට පෙර චීන තායිපේ කණ්ඩායම හමුවේ දැක් වූ දස්කම් ප්‍රදර්ශනය නොකිරීම මද පසු බැසීමක් ප්‍රදර්ශනය කිරීමකි.වර්ගීකරණය අනුව පැවති තරග වටයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තරගය ජය ගැනීමට චීන තායිපේ කණ්ඩායමට වට පහම ක්‍රීඩා කිරීමට සිදු වුව ද,ඊයේ ශ්‍රී ලංකාව ලකුණු 25 - 14 ,25 - 22 සහ 25 - 23 ක් ලෙස වට 3 - 0 කින් පරාජය කරන්නට චීන තායිපේ ක්‍රීඩකයන්ට හැකි විය.
කෙසේ හෝ සිය කළාපීය දැවැන්තයා වූ ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්දියාවට වඩා පියවරක් ඉදිරියට පැමිණ ඉන්දියාව හත් වන ස්ථානයේ රද වන්නට සමත් වූහ.1996 දී ශ්‍රී ලංකාව ආසියාතික පාසල් වොලිබෝල් තරගාවලියේදී සිව්වන තැනත්,2003 දී තෙවන තැනත් දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව ආසියාතික මට්ටමෙන් ලද විශිෂ්ඨතම වොලිබෝල් ජය ලෙස හැදින්විය හැකි මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ ක්‍රීඩක දක්ෂතා රටේ අනාගතය වෙනුවෙන් සුරැකෙන වැඩ පිළිවෙළකට යාම මේ මොහොතේදී ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ගේ මෙන්ම වොලිබෝල් බලධාරීන්ගේද වගතීමයි.
www.supirikrida.com

නවසීලන්ත තරගාවලිය ආයෙත් වැස්සට සේදෙයි

Wet scenes in Pallekeleටෙස්ට් තරග දෙකකට,එක්දින තරග පහකට සහ 20/20 තරගයකට සහභාගි වීම සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වීමට නියමිතව තිබූ එකම 20 / 20 තරගය වර්ෂාව නිසා අතරමග නවතා දැමීමට සිදුවිය.පළමු එක්දින තරග‍ය නවතා දැමුණේ එකදු පන්දුවක්වත් නො'යවමින්ය.මේ වන විට ශ්‍රී ලංකාව සතුව දිවා රාත්‍රි තරග පැවත්විය හැකි ක්‍රීඩාංගණ කිහිපයක් ඇතත් කාලගුණ තත්ත්වයන් සළකා තරග සදහා එම ක්‍රීඩාංගණ යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු නොවීම මේ තරගාවලියේදී ද ක්‍රීඩාංගණ නම් කිරීමේදී පැහැදිළි වන්නේය.
නිදහසට ලංකාවටම වැස්සා වැනි අං දෙකේ උත්තරයක් නොදී වස් පවාරණ වන මේ කාලයට වසින බව සාමාන්‍ය මතය නම් වඩාත් සුදුසු වන්නේ වර්ෂාව අඩු ප්‍රදේශයකට මෙම තරග තල්ලු කිරීමය.ඒ සදහා හම්බන්තොට සුදුසුය.වීසි කර දමා තිබෙන දඹුල්ල ද සුදුසු ය.නමුත් සර්ෂාව වැඩිම ප්‍රදේශයක් වන පල්ලෙකැලේට එම තරග ගෙන යාමේ ප්‍රතිපලය අනෙක් ස්ථාන වලට සාපේක්ෂව සාර්ථක වන්නට ඇති ඉඩ-කඩ වළකන්නේය.
එසේ නොවන තාර්කික නොවන තීරණ වලින් වන්නේ මේ ක්‍රීඩාංගණය පුරවා තිබෙන ජලයට මහජන මුදල් කිසිදු ලාභයකින් තොරව දියකර හැරීමය.
www.supirikrida.com

හොකී හෙළු වෙයි

ක්‍රීඩාව සංස්කාතියක් හැටියට පවතින රටක දියුණු මානසික මට්ටමකින් කටයුතු කරන්නට ද මිනිසුන්ට හැකියාව ඇත.ඒ නිසා කලවා අජක් නිරාවරණය වූ ඇදුමක් ඇදන් යන තරුනියක් දෙස විවිධ උපක්‍රම භාවිතා කරමින් බෙල්ල කැඩී යන තුරු හැරී බලන මිනිසුන් හෝ එවැනි ඇදුම් ඇද නිරාවරණය වූ කොටස වසා ගන්නට අනවශ්‍යය වෑයමක් දරන කාන්තාවන් ද එවැනි සංස්කෘතීන් තුළ හිගය.
‍සුන්දරත්වයට ආකර්ශණය වීම කොතැනත් පොදුය.ඒ නිසා කාටවත් හානියක් නොවන ආකාරයෙන් සංස්කෘතික පොලිසිවල බලපෑම් වලින් තොරව බිකිනිය ඇද ප්‍රසිද්දියේ සිටිය පමනින් ගැහැණුන් වෛශ්‍යාවන් වන්නේ හෝ පිරිමින් එවැනි දෘෂ්ටියකින් ඔවුන් දෙස බලන්නේද නැත.ඒ නිසා විවධ වූ වානිජමය ආකර්ශණයන් සදහා බිකිනිය භාවිතයට ගැනීම සාමාන්‍ය සිදුවීමකි.හොකී ක්‍රීඩාව ද වඩාත් ජනප්‍රිය කිරීම සදහා සහ අනුග්‍රාහක ආකර්ශණය දිනා ගනිමින් ක්‍රීඩාවේ පෝෂණය පිණිස වන වැදගත් ක්‍රියාමාර්ගයක් ලෙස බිකිනි හොකී තරගාවලියක් පැවත්වීමට කැනඩාව ඉදිරිපත් වී සිටියි.දැනටමත් කණ්ඩායම් සියයක් පමණ සහභාගිවීම සදහා කැමැත්ත ප්‍රකාශ කර ඇති බවට තොරතුරු ලැබෙන මෙම තරගාවලට ප්‍රසිද්ධ ක්‍රීඩිකාවන් මෙන්ම වෙනත් වෘත්තීන් හී ප්‍රසිද්ධ තරු ද කැමැත්ත පළ කර තිබෙන බවද වාර්තා වේ.
ආකර්ශණීය කාන්තා සිරුර කාමුක අවශ්‍යයතාවය ඉක්මවා ගිය සෞන්දර්‍යයකින් විදිය හැකි සමාජ වට පිටාවක එවැනි දේ කළ හැකි නමුත් ශ්‍රී ලංකාවේ බීච් වොලිබොල් ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකි බොහෝ ක්‍රීඩිකාවන් බිකිණිය නිසාම ක්‍රීඩාවෙන් ඈත් වී සිටියි.සභ්‍යයත්වය,ශීලාචාරකම බටහිරට ආදර්ශ ගන්න යැයි තන්හා රතී රගා ඉදිරියේ දමනය නොවුණු සිත් ඇතිව උන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අදහන රටක බිකිනියක් දැක රාගය අවුස්සා ගන්නා සහ ඊට එරෙහිව ගල් අතට ගන්නට සූදානම් ඊනියා සදාචාරවාදීන්ගේ බල පරාක්‍රමය තුළ ගැහැනිය අසරණය.ඇයට සීමා මායිම් ගසා ඇගේ සිරුරේ අනාවරණය  ඉවසා වදාළිය නොහැකි පිරිමි විසින් දැමූ වාරණ සහ තහංචි වලට යට වී ජීවත්වන්නට සිදුවීම තුළ වාන් වැටෙන්නේ සමාජ ප්‍රගමනයට ය.
සිල් බිදුණු බොරු සිල් රකින අයට බිකිනිය ඉවසන්නට බැරි නිසා සිය අවයව පාලනය පිළිබදව අවිශ්වාසයෙන් බිකිනිය අප්‍රකටව තබන්නට පිඹුරුපත් සකසන මොහොතක,අපි bikinihockeyleague.com වෙත පිවිස  එහි සුන්දරත්වය විදින්නට අපි ඔබට ආරාධනා කරමු.

මේ සමග  දැක්වෙන්නේ බිකිනි ලීගය වෙනුවෙන් පැවති මාධ්‍ය දිනය පිලිබදව යූ ටියුබ් හරහා බා ගන්නා ලද වීඩියෝ රූප පෙළකි
www.supirikrida.com

ජාතික කනිෂ්ඨ බොක්සිං තරගාවලිය අද ඇරඹේ

Yordenis Ugas Daouda Sow of France competes against Yordenis Ugas of Cuba during the men's 60kg semifinal boxing event at the Workers' Indoor Arena on Day 14 of the Beijing 2008 Olympic Games on August 22, 2008 in Beijing, China.ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලිය අද (02) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඇරඹෙන අතර තරගාවලිය 04 දා නිමා වීමට නියමිතය.රටේ අනාගත බොක්සිං දකුෂයන් නිර්මාණය කරන පැල තවානක් බදු මෙම තරගාවලිය සදහා අවුරුදු 17 - 19 වයස් සීමාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් අවස්ථාව ලැබෙන නිසා විශාල වශයෙන් පාසල් බොක්සිං ක්‍රීඩකයන්ගේ නියෝජනයක් දකින්නට ලැබෙයි.
කාන්තා සහ පිරිමි ලෙස ක්‍රියාත්මක වන මෙම තරගාවලියට එක් අංශයකින් බර පංති 10 ක ඉසව් ඇතුළත් වේ.ඉකුත් වසරේ කොළඹ රාජකීය විද්‍යාලීය බොක්සිං කවයේ පැවති ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලියේදි සූරතාවය දිනා ගන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය කණ්ඩායම සමත් වූ අතර දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා ලෙස ගෞරවයට පාත්‍ර වූයේ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ දුලිප් මෙණ්ඩිස් ය.දක්ෂතම පරාජිතයා වූයේ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ එම්ආර් සදරුවන් ය.
එක් බර පංතියකින් කීඩා සමාජයකට හෝ පාසලකට ක්‍රීඩකයන් අට දෙනෙකු ඇතුළත් කිරීමට අවස්තාව හිමි වන අතර ජයග්‍රහණ සදහා ලබා දෙන ලකුණු අනුව වැඩිම ලකුණු එකතුවක් ලබන කණ්ඩායමට සමස්ත සූරතාවය හිමි වේ
www.supirikrida.com

පකිස්තාන් යන බේස්බෝල් කණ්ඩායමට සම්භාහකයෙකු නැතත් නිලධාරීන් හයක්

කිස්තානයේ ලාහෝර් නුවර නොවැම්බර් 7 දා සිට 15 වන දා දක්වා පැවත්වෙන පන්ජාබ් අන්තර්ජාතික බේස්බෝල් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 18 දෙනෙකු සහ නිලධාරින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතය.නිලධාරීන් හය දෙනෙකු සහභාගි වුව ද මෙම කණ්ඩායමට භෞත චිකිත්සකයෙකු හෝ සම්භාහකයෙකු ඇතුළත් නොවන අතර කණ්ඩායම් ප්‍රධානියෙකු,කළමණාකරුවෙකු,ප්‍රධාන පුහුණුකරුවෙකු,පුහුණුකරුවෙකුසහ නිලධාරියෙකු සහ විනිසුරුවෙකු ලෙස එම නිලධාරීන් හය දෙනා ඇතුළත් කරද්දී ක්‍රීඩකයන්ගේ ශරීරි සහ මානසික යහපැවත්ම සහ ප්‍රතිවර්ධනය සදහා අත්‍යවශ්‍යය  භෞත චිකිත්සකයෙකු හෝ සම්භාහකයෙකු ඇතුළත් නොවීම හාස්‍යයට කරුණකි.
පසුගිය කාලයේ විශාල වශයෙන් වෙනස්කම් වලට භාජනය වෙමින් දකුණු ආසියානු මට්ටමෙන් කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා ක්‍රීඩක දක්ෂතා නිලධාරී අවශ්‍යයතා සදහා යොදා ගන්නා තවත් සුදු අලියෙකු වේදැයි යන්න සැකය මෙසේ බුරුතු පිටින් කණ්ඩායම සදහා නිලධාරීන් ඇතුළත් කරද්දී,ක්‍රීඩකයන්ගේ අත්‍යවශ්‍යය අවශ්‍යයතා නොසළකා හැරීමෙන් මතුවේ.
ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක පකිස්තානය,ඉරානය,ඇෆ්ගනිස්තානය,ඉන්දියාව සහ නේපාලය මෙම තරගාවලියට සහභාගි වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ,ශාලිත මධුශංක වන අතර උප නායකත්වය දරන්නේ ඉරේස් කෝසල යි.ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අමිල බන්දු පතිරාජ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් වල යෙදි සිටි අයුරුයි.
www.supirikrida.com

කෝට්ටේ දැල් පන්දුවට වැස්සෙන් බාධා - තරග කල් යයි

දිවයින පුරා ඇද හැලෙන මහ වර්ෂාව නිසා කෝට්ටේ දැල්පන්දු ඇකඩමිය සිය හත්වන සංවත්සරය වෙනුවෙන් පවත්වන්නට සංවිධානය කර තිබුණු දැල් පන්දු තරගාවලිය කල් දැමීමට තීරණය කර ඇත.ඒ පිළිබදව අදහස් දැක් වූ තරග සංවිධායාකා ශ්‍යාමා කුරේ ප්‍රකාශ කළේ තරගාවලිය සදහා සියල්ල සංවිධානය වී ඇතත් වර්ෂාව නිසා ක්‍රීඩාංගණය තරග පැවත්වීමට සුදුසු මට්ටමක නැති බැවින් මෙම තීරණය ගත් බවය.වැඩි දුරටත් අදහස් දැක් වූ ඇය පවසා සිටියේ කාලගුණ තත්ත්වය යහපත් අතට හැරුනු විගස තරගාවලිය පැවත්වෙන බවය.
හිටපු ජාතික පුහුණුකාරිය තිලකා ජිනදාස විසින් ආරම්භ කරන්නට යෙදුණ,ජාතික මට්ටමේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් විහාල පිරිසකගේ මාර්ගෝපදේශණ මධ්‍යස්ථානය වූ කෝට්ටේ දැල් පන්දු ඇකඩමිය සංවිධානය කරන්නට යෙදුණ මෙම තරගාවලියට සහභාගි වීමට ආරාධනා ලැබ තිබූ කණ්ඩායම් වලට  තරගාවලිය කල් දැමීම නිසා ඇති වූ අපහසුතාවය පිළිබදව කණගාටුව ප්‍රකාශ කරන බව කී තරග සංවිධායිකා ශ්‍යාමා,තරගාවලිය පැවත්වෙන ස්ථානයේ වෙනසක් සිදු නොවන බවත්,එය නුදුරු දිනකදී අංගම්පිටිය ක්‍රීඩාංගණයේදී ම පැවත්වෙනු ඇති බවත් ප්‍රකාශ කළාය.
www.supirikrida.com

Nov 1, 2012

මලල ක්‍රීඩා උළෙල කල් යයි

කුණු ආසායානු මලල ක්‍රීඩා උළෙල වෙනුවෙන් පවත්වාගෙන යන මලල ක්‍රීඩා සංචිතයට තේරීම සදහා පවත්වන අවසාන තේරීම් තරගාවලිය ලෙස පවත්වන්නට යෙදුණ 90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලිය පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමන්නට තීරණය කළ බව එහි ආවරණ කටයුතු සදහා යමින් සිටියදී මලල ක්‍රීඩා සංගමයේ ලේකම් රියල් අද්මිරාල් ශෙමාල් ප්‍රනාන්දු විසින් එවන්නට යෙදුණ කෙටි පණිවිඩයකින් දැන ගන්නට ලැබුණා.තරගාවලිය දිවයිනට බල පා තිබෙන අධික වර්ෂාධික තත්ත්වය නිසා හට ගෙන ඇති වි තිබෙන දේශගුණ තත්ත්වය මත නෙවැම්බර් 13,14 සහ 15 වන දා පැවත්වෙන බව ලේකම්වරයාගේ කෙටි පණිවිඩයෙන් දැණුම් දෙනවා.
ඒ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් වැසි සහිත කාලගුණ තත්ත්වයද නොතකා සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටින බව එහි සිටි අප නියෝජිතයෙකු ප්‍රකාශ කළා.
'හුගක් අය දවල්ට කෑමත් ඕඩර් කරලා' තරගාවලියට සංවිධානාත්මකව තරග වදින ආයතන ඒ වන විටත් ක්‍රීඩක ක්‍රීඩිිකාවන්ගේ දිවා භෝජනය පවා ඇණවුම් කර තිබෙන බව ඔහු පෙන්වා දුන්නා.
'සමහර අයට එන්නම බැරි තත්ත්වයක් තියෙන බව දැන ගන්න ලැබුණා.'ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග අදහස් හුවමාරු කර ගත් අප නියෝජිතයා පැහැදිළි කළා.
දින ගණනක් තිස්සේ එක දිගට පවතින තත්ත්වය නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවල දෛනික ජීවිත විශාල වශයෙන් අවුල්ව තිබෙන බවත් ප්‍රවාහන පහසුකම් බිද වැටී තිබෙන බවත් දින ගණනක සිට දැන ගෙන තිබියදී තරගාවලිය පැවත්වීම කල් දැමීම පමා කිරිම තරගාවලිය පැවත්වීමට යෝජනා කර තිබූ දිනයේ තරග ආරම්භය ආසන්න වන තෙක්ම කල් දැමීම පිළිබදව තීරණය නොකිරීමෙන් විදින්නට වූ අපහසුව ගැන ‍බොහෝ ක්‍රීඩක ක්‍රිඩිකාවන් කණස්සල්ලෙන් පසුවන බව ද සදහන් වෙනවා.
'අපට ඕවා කතා කරන්න බෑ' සංගමයේ ප්‍රදාන බලතල සදහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් පත් වී සිටීම නිසා තමන්ට අකටයුත්තක් වේය යන බියෙන් ත්‍රිවිධ හමුදාවල පහල නිලයන්හී සිටින බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පත් වී තිබෙන අපහසුතාවය ගැන කතා කරන්නට යාමෙන් වැළකි සිටිමින් ප්‍රකාශ කළා.කෙසේ හෝ අයහපත් කාලගුණ තත්ත්වය නිසා තරගාවලිය නොපැවත්වීම ගැන සුපිරික්‍රීඩා ද එකල අතර නමුත් අඩුම තරමේ ඊයේ දවසේදී හෝ මේ පිළිබදව සාකච්ඡා කර තරගාවලිය කල් දැමීම පිලිබදව ප්‍රසිද්ධ කළේ නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පත් වූ අපහසුතාවය වළකා ගන්නට තිබුණු බව අප ද පිළි ගන්නවා.
www.supirikrida.com

මංජු වන්නිආරච්චිගෙන් ක්‍රීඩා ඇමතිට තුති

හනම් උත්තේජන භාවිතය සම්බන්ධයෙන් ක්‍රීඩා තහනමකට ලක් වී සිට නැවත ක්‍රීඩාවට පිවිසීමට සූදානමින් සිටින බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි තහනම් උත්තේජන සදහා ක්‍රීඩකයන් ගොදුරු වීමට ඇති ඉඩ-කඩ වැසීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබදව සිය ප්‍රසාදය පළ කරයි.
'ඒ සිද්ධිය මට මෙන්ම රටටත් සිදු වූ විශාල පාඩුවක්.මට තවමත් ඒක අදහ ගන්න බෑ.එහෙම දෙයක් නොදැන වුණත් දඩුවමකට ලක් වෙන්න වෙනවා.මම වින්දෙ ඒ දඩුවම' මංජු තවමත් මුමණන්නේ කම්පිතවය.
ඒ වුණත් ඒ සිද්ධියත් එක්ක ගොඩක් දේවල් එළියට ආවා.ඒ හැම දෙයක් ගැනම ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මහින්දානන්ද අලුත්ගමගේ ඇමති තුමා විශේෂ අවධානයක් යොමු කළා.එසේ පවසන මංජු තව දුරටත් පවසන්නේ ක්‍රීඩා වෛද්‍ය ඒකකය ක්‍රීඩකයාගේ පහසුකම් සපයන විශ්වසනීය තැනක් බවට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම එහි ප්‍රධානි මහාචාර්‍ය අර්ජුන ද සිල්වා ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා අද ක්‍රීඩකයන් විශාල දැනුවත්භාවයකින් කටයුතු කරන බවයි.දැන්
වෙන තැන් වලට යන්න ඕනිත් නැ.ඒ වගේම ක්‍රීඩකයත් දැන් දන්නවා ‍තහනම් ඖෂධ ලේඛණය,හදිසියේ හරි පිටතින් බෙහෙතක් ගන්න වුණොත් ඒ බෙහෙත ලියන්න පොතක් අද ක්‍රීඩකයන් අතේ තියෙනවා.ඒකේ ‍ඖෂධ වර්ග විතරක් නෙමෙයි කරන පුහුණුවීම් පවා සදහන් කරල වෛද්‍ය විද්‍යාත්මකව ඒ වෙහෙස වෙනුවෙන් ගත යුතු පෝෂනය පවා විද්‍යාත්මකව තීරණය කරන්න පුළුවන් සටහන් මම දැක්කා.මේක හොද තත්ත්වයක්.
මංජු නැවත පැමිණීමට සූදානම් වෙමින් තිබෙන මොහොතක එසේ අදහස් දක්වමින් කියා සිටියේ දැන් කලෙකින් තහනම් උත්තේජන ගැන ඇහුණේ නෑ.ඒකට හේතුව ක්‍රීඩකයන්ට දැන් වෛද්‍ය ඒකකයෙන් පිට යන්න ඕනි නෑ.ක්‍රීඩාව ගැන අවබෝධයෙන් ඉන්න වෛද්‍ය ආයතනයෙන් ප්‍රතිකාර ගන්න පුළුවන් පහසුකම් ලැබිල තියෙනවා, යනුවෙනි.
එළැඹෙන දෙසැම්බරයේ පැවත්වෙන ජාතික සූරතාවලියට පිවිසීමට මෙන්ම එළැඹෙන දකුණු ආසියානු සූරතාවලිය සහ ලෝක සූරතාවලිය අපේක්ෂාවෙන් පුහුණුවීම් ක්‍රියාත්මක කරන බව පෙන්වා දෙන මංජු ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහ කණාමැදිරි එළියටත් බයයි.මම ඉදිරියෙදි හැම දේම කරන්නේ ක්‍රීඩා වෛද්‍ය ඒකකය එක්ක.එහෙම විශ්වසනීය තැනක් නිර්මාණය කිරීමට දායක වීම ගැන ක්‍රීඩා ඇමතිතුමා ට වගේම මහාචාර්‍ය අර්ජුන ද සිල්වා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ සෑම දෙනෙක්ටම ස්තූතිවන්ත වෙනවා යැයි පවසයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ මංජු වන්නිආරච්චිට රන් පදක්කම අහිමි වීම පාදක කර ගනිමින් ඔහුගේ ජීවන තොරතුරු සහ ක්‍රීඩා කේෂ්ත්‍රය දෙස විචාරකත්මව විමසා බැලීමකින් යුතුව ලියන ලද,රන් කදුළ ග්‍රන්ථය දොරට වැඩිය දා, කතුවරයා විසින්  ඔහුට එහි පිටපතක් පිරිනැමූ අවස්ථාවයි.
www.supirikrida.com


දකුණු ආසියානු මලල ක්‍රීඩා සංචිතයට ඇතුළත් වන්නට ලැබෙන අන්තිම අවස්ථාව - සමන් කුමාර

ද ඇරඹෙන ජාතික මලල ක්‍රීඩා සූරතාවලිය දකුණු ආසියාතික ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් සංචිතගත කර තිබෙන ජාතික මලල ක්‍රීඩා සංචිතයට ඇතුළත් වීමට ලැබෙන අවසාන අවස්ථාව බව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන සටහන්කරු සහ මාධ්‍ය සම්බන්ධිකර නිලධාරි සමන් කුමාර සුපිරි ක්‍රීඩා වෙත පැවසීය.ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1100 ක් පමණ තරගාවලිය නියෝජනය කරනු ඇති බව පෙන්වා දෙන සමන් කුමාර වර්සාව නිසා සහභාගීත්වයේ යම් අඩුවක් සිදු වේදැයි අප කළ විමසීමේදී පැහැදිළි කළේ දකුණු ආසියානු සංචිතයට ඇතුළත් වීමට ලැබෙන අවසාන අවස්ථාව නිසා මෙයින් කිසිවෙකු වැළකී සිටින්නට උත්සාහ නොකරනු ඇති බව තමන්ගේ විශ්වාසය බවයි.
ගෙවුණු ආසියානු කණ්ෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙන් පසුව මෙම ධාවන පථයේ පැවත්වෙන ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකට ගැටෙන ප්‍රධානම තරගාවලිය මෙය වන අතර වර්ෂාව බාධා නොකරන්නේ නම් ධාවන පථයේ වේගවත් බව නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොද දක්ෂතා වලට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.එසේම විවිධ ආබාධ වලට ලක් වී සිටි බොහෝ දෙනා මෙම තරගාවලියේදි යළි තරග බිමට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කරන අතර අලුත් අභියෝග ඉදිරියේ නවක දක්ෂතා උරෙන් - උර ගැටෙන මෙම තරගාවලියා වර්ෂාවෙන් බාධාවක් ඇති නොවන්නේනම් විශාල වෙනස් කම් සිදුවිය හැකි තරගාවලියක් වනු ඇත.
www.supirikrida.com

ශ්‍රී ලංකා යෞවනයන්ට ඓතිහාසික ජයක්

රානයේ පැවත්වෙන ආසියානු යොවුන් බාලක වොලිබෝල් සූරතාවලියේ දී ඓතිහාසික ජයක් ලබන්නට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.ඒ ඉන්දියාවට එරෙහිව ලකුණු 25 - 21,17 - 25 ,32 - 30 සහ 25 - 20 ලෙස වට 3 - 1 ක ජයක් ලබමින්.තරගාවලියට සහභාගි වන විට ආසියාවේ යොවුන් කණ්ඩායම් අතර අටවන තැන සිටි ශ්‍රී ලංකාවට මේ ජයග්‍රහණයත් සමග පස් වන තැනට හෝ හය වන තැනට පත් වීමට අවස්ථාව උදා වී තිබෙනවා.ඒ අද පැවත්වෙන චීන තායිපේ කන්ඩායමට එරෙහි තරගයේ ප්‍රතිපලය අනුවයි.
වර්ගීකරණ වටයේදී චීන තායිපේ කණ්ඩායම සමග වට 2 - 3 ක් ලෙස පරාජයට පත් වුව ද,ඉන්දියාව පැරාජය කිරීමෙන් ඇති වූ මානසික විශ්වාසය සමග අද තරගයට පිවිසෙන ශ්‍රී ලංකාවට චීන තායිපේ  කණ්ඩායම පැරදවීමට හැකි බවට හොද මානසික ස්ථාවරයක් ගොඩ නැගී තිබීම අගය කළ හැකියි.තරගාවලියේ මුල සිටම ප්‍රබලතම කණ්ඩායම් සමග ගැටෙන්නට සිදු වු ලංකාව එහිදී ඔවුන්ට එරෙහිව දක්වන ලද ඉහළ දක්ෂතා නිසා පරාජය වුව ද,ලකුණු ලබා ගැනීමේ දී දක්වන ලද දක්ෂතා මත තරගාවලියේ මුල් කණ්ඩායම් අට අතරට ප්‍රවේශ වීමට අවස්ථාව උදා කර ගත් අතර එහි දී මුහුණ දුන් ප්‍රථම තරගයේ දී ඉන්දියාව පරාජය කරමින් ප්‍රථම කණ්ඩායම් පහ අතරට එක් වීමට අවස්ථාව උදා කර ගත්තා.
තරගාවලියට නම් කරන ලද කණ්ඩායම සම්බන්ධයෙන් මෙන්ම යම් යම් බලතල බෙදී යාමේදී කටයුතු කර තිබූ ආකාරයේද ගැටළුකාරී තත්ත්වයන් දකින්නට ලැබුණද,මෙම කණ්ඩායම දක්වන දක්ෂතා ඉහළින් අගය කළ යුතු මට්ටමක පවතිනවා.එහෙත් විවේඡනයට බදුන් වන කරුණු ද මෙම කණ්ඩායම ලබන ජයග්‍රහණ වලින් තෘප්තියට පත් වී සාකච්ඡාවට බදුන් නොකර වීසි කර නොදැමීමට වොලිබෝල් පරිපාලකයන් වග බලා ගත යුතුයි.ඇතැම් විට ඒ විචේචනයට බදුන් වන කරුණු එසේ සිදු නොවන්නට ප්‍රතිපලය මීටත් වඩා යහපත් විය හැකිව තිබූ බව ද අවධානයට ලක් කළ යුතුයි.
කෙසේ හෝ ආසියාතික මට්ටමෙන් ශ්‍රි ලංකා පාසල් කණ්ඩායම 2003 දි ආසියාවේ තෙවන තැනට පත් වීම සහ 1996 දි සිව්වන තැනට පත් වීම යන අවස්ථා දෙකෙන් පසුව ශ්‍රී ලංකා වොලිබෝලය ආසියාතික මට්ටමෙන් ලද විශාලතම ජයග්‍රහනය දැනටත් අත් කර ගෙන සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දක්ෂයන් හදුනාගෙන නිවැරදි සැළසුමක් සහිතව ඉදිරියට ගෙන යාමටත් මේ ජයග්‍රහණය හරහා වගකීමක් සහ යුතුකමක් වොලිබෝල් පරිපාලනය වෙතත් පැවරී තිබෙනවා.2003 දි ආසියාවේ හොදම පන්දු සකසන්නා වූ කසුන් ප්‍රනාන්දු පසුව ජාතික මට්ටමේ තරග වලදී ද දක්ෂතා දක්වමින් ජාතික සූරතාවලදී පවා ඇගයීමට ලක් වුව ද ඔහු නො'උස් බව කියමින් ඉවත් කළ ආකාරයට ශාරිරක් හැඩතල බලා මේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වලට පයින් ගැීමට තරම් හෝ වෙනත් හේතු නිසා නොසළකා හැරීමට ලක් නොකරන්නේ නම් මෙය ආසියාවට පෙර හමුවන දැවැන්තම ජයග්‍රහණයට එරෙහි කඩුල්ල වන දකුණු ආසියාව පරයා නැගී සිටීමට විශාල ශක්තියක් වනු ඇති බව අපේ හැගීමයි.
දැනට ආසියාතික යොවුන් බාලක වොලිබෝල් සූරතාවය දිනා සිටින ඉරානය අවසන් තරගයට මෙවරත් පිවිස සිටින අතර සිය මව් රටේදී දැඩි ආත්ම විශ්වාසයකින් සූරතාවය ආරක්ෂා කර ගැනිම සදහා ඔවුන් දරන උත්සාහයට එරෙහිව නැගී සිටින්නේ චීනය යි.
www.supirikrida.com
 

දහ තුනටම දෙකයි -සල්ලි අමාරුයි කියා උපාලි පිළිගනී

ළැඹෙන වසරේ ශ්‍රී  ලංකාවට ටෙස්ට් තරග දෙකක් පමණක් හිමිවන අතර එයට හේතුව ක්‍රිකට් ආයතනය මුහුණ පා සිටින දැඩි මූල්‍යමය අර්බූදය නිසා එස්එල්පීඑල් තරගාවලියට මුල් තැන දීමට සිදු වී තිබීම බව ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපති උපාලි ධර්මදාස පවසයි.දකුණු අප්‍රිකාව සමග පැවත්වීමට තිබුණු ටෙස්ට් තරගාවලිය එම ක්‍රිකට් පරිපාලනය සමග සාකච්ඡා පවත්වා කල දැමීමට එකග කර ගත් පව පැවසුවත් දකුණු අප්‍රිකානු පාළක මණ්ඩලය ඒ පිලිබදව ප්‍රසාදයෙන් කතා කරන බවක් ජාත්‍යන්තර මාධ්‍යයන් නිරීක්ෂණයේදී පැහැදිළි වන කරුණකි.
දකුණු අප්‍රිකානු තරගාවලිය පැවත්වීමට වඩා පවතින මූල්‍යමය අර්බූදය විසදීම සදහා එස්එල්පීඑල් තරගාවලිය වැදගත් බව උපාලි ධර්මදාස පිළිගැනීම එක අතකින් ඇතැම් ක්‍රීඩා සහ ක්‍රිකට් ප්‍රධානින් ක්‍රිකට් පරිපාලනයේ ආර්ථික නිරුවත වැසීමට අඩිය හිල් බදුන් භාවිතා කිරීමට වඩා අගය කළ යුතු ක්‍රියාවක් නමුත් උපාලි  ධර්මදාසයන් ද හෙළිදරව් නොකරන කරුණක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සිය ක්‍රිකට් කාල සටහන එස්එල්පීඑල් අනුව මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන්ගේ ආර්ථික ලාභය සදහා හේතු වන අයිපීඑල් තරගාවලිය නිසා ද හකුළාගෙන තිබෙන බවය.
මේ තත්ත්වය නිසා ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දැඩි පසු බැසීමකට ලක් වීමට ඇති ඉඩ කඩ අති විශාලය.එමෙන්ම ටෙස්ට් තරග සදහා පමණක් යොදා ගැනෙන ක්‍රීඩකයන්ට ඒ නිසා ඇති වන අපහසුතාවය මෙන්ම ආර්ථික පාඩුව ද විශාලය.ක්‍රිකට් පරිපාලනය ආර්ථික වශයෙන් ඇති විය හැකි ගැටළුකාරී තත්ත්වය නිසා ටෙස්ට් ක්‍රීඩාවෙන් සිදු වන හානිය නොසළකා සිටීම මෙන්ම,ක්‍රීඩකයන් ද නිහඩව අයිපීඑල් සදහා දායකත්වය ලබා දිම වෙනුවෙන් ටෙස්ට් තරග වලට පයින් ගැසීමට සූදානම් වීම ඛේදවාචකයකි.එසේම ක්‍රීඩකයන් සාමූහිකත්වය රකිමින් ටෙස්ට් පමණක් ක්‍රීඩා කරන ප්‍රසන්න ජයවර්ධන,තරංග පරණවිතාන,තිලාන් සමරවීර.චානක වෙළගෙදර වැනි ක්‍රීඩකයන් ගැන හෝ සිතා පරිපාලනය සමග සාකච්ඡා කිරීම පසෙකලා කිහිප දෙනෙකුගේ ආර්ථික ලාභය පිළිබදව සැළකිල්ල යොමු කර ඔවුන් ද ක්‍රිකට් පරිපාලනය යන මගේම යමින් අයිපීඑල් සහභාගීත්වය සදහා ඔවුන් ද ටෙස්ට් සිතියම හැකිලීමට එකගවීම අදූරදර්ශි ක්‍රියාවකි.එමෙන්ම ජාතික වශයෙන් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිහීම සහ විනාශය පිළිඹිඹු කරන ඛේදවාචකයකි.
www.supirikrida.com

Oct 31, 2012

මැතිව්ස්ගේ ආරම්භයට වැස්ස හරස් වෙයි

The groundstaff bring the covers on ශ්‍රී ලංකා 20 / 20 ක්‍රිකට් කණ්ඩායමේ නිල නායකයා ලෙස පත් වී මුහුණ දුන් ප්‍රථම තරගය විශිෂ්ඨ ජයග්‍රහණයකින් අවසන් කරන්නට ඇන්ජලෝ මැතිව්ස් ට තිබූ විශාල අවස්ථාවක් වර්සාව නිසා අහිමි විය.මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ලැබූ නව 20 / 20 ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට නවසිල්නතයට කළ ආරාධනය නිවැරදි තීරණයක් ලෙස පෙනෙන්නට තිබුණු අතර සිය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ ඇන්ජලෝ මැතිව්ස් පළමු පන්දු වාරයම නිලකුණු ඕවරයක් ලෙස සටහන් කරමින් ඒ සදහා සාක්ෂි සැපයීය.
මැතිව්ස් කඩුලු නොලැබුවද 20 / 20 තරගයක සිදුවිය යුතු ලකුණු ලබා නොදීමේ කාර්යය ඉහළින්ම ඉටු කළ අතර ඔහු සිය විසින් යවන ලද පන්දු ඕවර 3 තුළ ලබා දී තිබුණේ ලකුණු 4 ක් පමණි.නුවන් කුලසේකර මැතිව්ස් සමග පන්දු යැවීම අරඹමින් පන්දු ඕවර් 3 ක් යවා ලකුණු 13 ට කඩුලු 2  ක් දවා ගන්නට සමත් විය.තිසර පෙරේරා ලකුණු 22 ට කඩුලු 2 ක් දවා ගත් අතර ශ්‍රී ලංකා දග පන්දුවේ අලුත් ආඩම්බරය අකිල ධනංජය ගේ පන්දු ඕවර් දෙක ඉදිරියේ මහත් අසරණ බවක් පෙන් වූ නවසීල්නතා පිතිකරුවන් කඩුලු 2 ක් පූජා කළේ ලකුණු 9 ක් පමණක් ලබා දෙමින්ය.
පන්දු ඕවර් 14 ට සීමා වූ නවසීලන්ත ඉණිමේ කඩුලු 7 ක් පන්දු ඕවර් 11 . 4 ක් තුළ ලකුණු 51 ට අහිමි කර ගෙන සිටි නවසිල්නතය වෙනුවෙන් අන්තිම පන්දු 14 තුළ ලකුණු 23 ක් කඩුලු ලබා නොදෙමින් ලබා දෙන්නට ටිම් සවුති (නොදැවී 21) සහ ජේකබ් ඕරම් (නොදැවී 10 ) සමත් වීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු ඕවර් 14 ලකුණු 74 ක් ලබමින් නිමා කරන්නට නවසිල්නතයට අවස්තාව උදාවිය.
වර්ෂාව නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යායට යටත් කරන ලද තරගයේ ශ්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය පන්දු ඕවර් 14 ක් තුළ ලකුණු 72 ක් වූ අතර තරගය නිමා වන විට ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවි පන්දු ඕවර් 2 ක් තුළ ලකුණු 6 ක් ලබා සිටියේය.තරගයේ සමස්ථ ලකුණු විස්තරයට මෙම සබදතාවයෙන් පිවිසීමට හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582186.html

www.supirikrida.com

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද සිය තත්ත්වය උසස් කර ගැනීමේ සටනක

 රානයේ ක්‍රියාත්මක ආසියානු යොවුන් බාලක වොලිබෝල් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා යොවුන් බාලකයෝ අද සිය ස්ථානය උසස් කර ගැනිමේ උත්සාහයකට ඉන්දියාවට එරෙහිව මුහුණ දීමට සූදානම්ය.තරගාවලියේ මූලික වටයේ සිටම ආසියාවේ ප්‍රබලතම බාලක කණ්ඩායම් වලට එරෙහිව තරග වැදිමට සිදු වූ ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීමේ තරගවලදී ඊයේ (30) මුලින්ම හමු වූයේ චීනය ය.එහිදී ලකුණු 25 - 20 ,25 - 22 සහ 25 - 10 ලෙස චීනයට පරාජය වූ ශ්‍රී ලංකාව අද තරගාවලියේ හත් වන සහ අට වන ස්ථාන තීරණය කිරීමේ තරගයට ඉන්දියාවට එරෙහිව තරග වදිති.
තරගාවලියට සහභාගි වන  විටත් ආසියාවේ යොවුන් බාලක කණ්ඩායම් අතර අටවන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මේ දක්වා තරගාවලියේ කිසිදු තරගයක් ජය නොගත්තද,දක්වන ලද දක්ෂතා හේතුවෙන් ප්‍රධාන කණ්ඩායම් අට අතරට පිවිස සිටින අතර,අද තරගයෙන් ඉන්දියාව පරාජය කළහොත් ස්ථානයක් ඉදිරියට පැමිණ හත් වන ස්ථානයට පත් වෙනු ඇත.ඇතැම් තේරීම් සහ නායකත්වය පත් කිරීම ආදියේද ගැයළු සහිතව මෙම තරගාවලිය නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකා බාලක කණ්ඩායම පැහිදිළි කරමින් සිටින්නේ නිවැරදිම දේ සිදු වන්නේ නම් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවට ආසියාවේ ජය කෙහෙළි නැංවීමට මීට වඩා අවස්ථාවක් ඇති බවය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පෙර වැරදි වලට දඩුවමක් ලැබෙයි

Action from the match between Nepal and Sri Lanka in the ACC Women's T20 Asia Cupචීනයේ ක්‍රියාත්මක ආසියානු කාන්තා 20 / 20 කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරගයට පිවිසි ශ්‍රී ලංකාවට එහි පැවති තත්ත්වය අනුව එකදු පන්දුවක්වත් නොයවා තරගය අත්හැර දමන්නට සිදු වුව ද,පෙර තරගවලදී දැක් වූ දක්ෂතා හේතුවෙන් ඉන්දියාවට අවසාන තරගයට අවස්ථාව උදා විය.විශේෂයෙන් ශ්‍රී ලංකාව මූලික වටයට මුහුණ දුන් බී කොටසෙන් එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ  දුර්වල පන්දුවට පහර දීම නිසා අහිමි වී යාම මෙම අවසාන තරගය අහිමි වීමට බෙහෙවින්ම බල පෑවේය.
බංගලාදේශය සමග පැවති තරගයේදී ශ්‍රී ලංකාවට එල්ල වූ ලකුණු 62 ක ඉලක්කය ලබා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකා පිතිකාරිණියන් පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාශය නිසා ඒ කාණ්ඩයෙන් දෙවන තැනට පත්වෙන පකිස්තානය හමු වීමට  තිබූ ඉඩ අහිමි විය.එසේ වූවා නම් බී කාණ්ඩයෙන් අපරාජිතව පෙරට ආ ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයෙන් ඉන්දියාවට පරාජය වී අවසාන පූර්ව තරගයට පැමිණි පකිස්තානයට වඩා දස්කම් දක්වා තිබුණු බැවින් ශ්‍රී ලංකාවට අවසාන තරගය හිමි වන්නට තිබිණ.
මෑත කාලීනව ගත් විට ශ්‍රී ලංකාව පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් විශාල ප්‍රගතියක් පෙන්නුම් කළ ද,පිතිකරණයේදී දක්වන විශාල දුර්වලතාවය හේතුවෙන් ජය ගැනීමට තිබූ තරග විශාල ප්‍රමාණයක් පරාජයෙන් කෙළවර ගත් බව දකින්නට හැකි විය.පිරිමි ජාතික කණ්ඩායමේ හැකියාවන් සහ ක්‍රියාකාරීත්වයේ වෙනස් කම් පිළිබදව යොමු කරන අවධානයෙන් සියයට 10 ක පමණ හෝ අවධානයක් හෝ සැළකිල්ලක් ලබන බවක් නොපෙනෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබදව සහ ඔවුන් දක්වන පන්දුවට පහරදීමේ දුර්වලතාවය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් මීට වඩා අවධානයක් යොමු කරන්නේ නම් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද,ලෝකයට අභියෝග කළ හැකි මට්ටටමට පත් කර ගැනීමේ හැකියාව ඇති බව අප වගකීමෙන් අවධාරණය කරන්නේමු.
අද ආසියානු 20 / 20 කාන්තා ක්‍රිකට් කුසලාන තරගාවලියේ අවසාන තරගය චීනයේ දී පැවත්වෙන්නේ ඉන්දියාව සහ පකිස්තානය අතරයි.
 www.supirikrida.com

Oct 30, 2012

ආම්ස්ට්‍රෝන්ගෙන් ගිලිහුණු ගෞරවය මිගුවෙල්ට?

හනම් උත්තේජන චෝදනා මත ප්‍රංශ සවාරිය සත් වරක් ජය ගනිමින් වාර්තා තැබූ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ට එම ජයග්‍රහණ අහිමි වීමත් සමග ප්‍රංශ සවාරියේ සුපිරි ජයග්‍රාහකයා වීමේ ගෞරවයේ වැඩි අවස්ථා ස්පාඤ්ඤයේ මිගුවෙල් ඉන්ඩුරේන්ට හිමි විය යුතු බව ක්‍රීඩා විචාරකයන් බොහෝ දෙනෙක්ගේ අදහස වී ඇත.ඔහු 1991 සිට 1995 දක්වා එක දිගට පස් වරක් ප්‍රංශ සවාරිය ජය ගැනීමට සමත් වි ඇත.
නමුත් හත් වරක් ප්‍රංශ සවාරිය ජය ගත් ආම්ස්ට්‍රෝන්ගෙන් පසුව වැඩිම වරක් ප්‍රංශ සවාරිය ජය ගත් අය නිරීක්ෂණය කිරීමේදී පස් වරක් ප්‍රංශ සවාරිය ජය ගත් සිව් දෙනෙකුගේ නම් දැකිය හැකිය.ඒ අතරින් ඉන්ඩුරේන්ට වැඩි සුදුසුකම් ඇතැයි විචාරකයන් පවසන්නේ ඔහු එක දිගට පස් වරක් ප්‍රංශ සවාරිය ජය ගෙන තිබීම නිසාය.පළමු වරට පස් වරක් ප්‍රංශ සවාරිය ජය ගත් තරගකරුවා ලෙස අපට හමු වන්නේ ප්‍රංශයේ ජැක්ස් ඇන්ක්වේටිල් ය.ඔහු 1957 පළමු වරට ප්‍රංශ සවාරිය ජය ගැනීමෙන් ඉනික්බිතිව 1961 සිට 64 දක්වා එක දිගට සිව් වරක් ප්‍රංශ සවාරිය ජය ගන්නේය.
බෙල්ජියම නියෝජනය කළ එඩී මෙරෙක්ස් 1969 සිට 72 දක්වා සිව්වරක් එක දිගට ප්‍රංශ සවාරිය ජය ගත් අතර අනතුරුව 1974 ප්‍රංශ සවාරිය ද ජය ගන්නේය.මිගුවෙල් 91 - 95 සමය තුල එක දිගට පස් වරක් ජයගන්නා තෙක්ම එක දිගට වැඩිම වරක් ප්‍රංශ සවාරිය ජය ගැනීමේ ගෞරවය හිමි වී තිබුණේ ජැක්ස් ට සහ එඩී ට ය.මේ තිදෙනාට අමතරව ස්පාඤ්ඤයේ බර්නාඩ් හීනෝල්ට් ද පස් වරක් ප්‍රංශ සවාරිය ජය ගෙන ඇත.1978 - 79 දෙවසර එක දිගට ප්‍රංශ සවාරිය ජය ගන්නා හීනෝල්ට් නැවත 81,82 සහ 85 යන වසර තුනේදී ද ප්‍රංශ සවාරිය ජය ගනිමින් ප්‍රංශ සවාරිය වැඩිම වරක් ජය ගැනීමේ ක්‍රීඩක නාම ලේඛණයේ ඉදිරියෙන්ම සිටින තරග කරුවන් සිව් දෙනා හා සමතැන් ගනියි.
www.supirikrida.com

Oct 29, 2012

වෙළද සේවා බැඩ්මින්ටන් කිරුළ හැටන් නැෂනල් බැංකුවට

වමේ සිට තෙවන ස්ථානය දිනූ සෙලාන් බැංකු කණ්ඩායම,සූරතාවය දිනූ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සහ අනු සූරතාවය දිනූ නේෂන් ට්‍රෂ්ට් බැංකු කණ්ඩායම ජය සංඛේත ප්‍රධානයට එක් වූ ලීනින්ග් ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ එකම නියෝජිතයන් වන ඩීඑස් අයි සමූහ ව්‍යාපාරයේ ලාල් නුගලියැද්ද වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිරෝධ කොස්තා සහ උප සභාපති රොෂාන් ප්‍රනාන්දු සමග
වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය මෙහෙය වූ වෙළද සේවා බැඩ්මින්ටන් තරගාවලියේ සමස්ත සූරතාවය හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් දිනා ගනිමින් හැටන් නැෂනල් බැංකු අභියෝග කුසලානය දිනා ගැනීමට සමත් විය.ලීනින්ග් නම් වූ ජාත්‍යන්තර බැඩ්මින්ටන් උපකරණ ශ්‍රී ලංකාවට හදුන්වා දෙමින් එම අනුග්‍රහය යටතේ පවත්වන්නට යෙදුණ මෙවර විවෘත වෙළද සේවා බැඩ්මින්ටන් සූරතාවලියේ අනු සූරතාවය නේෂන් ට්‍රෂ්ට් බැංකු කංඩායමට හිමි වූ අතර තෙවන තැන දිනා ගත්තේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමය.
ජාතික බැඩ්මින්ටන් සූරයා වන නිලූක කරුණාරත්න තමා ඉදිරිපත් වූ පිරිමි කේවල සහ යුගල සූරතා දෙකම දිනා ගැනීමට සමත් වූ ණ්ඩායමේ අතර කේවල තරගයේදී සිය සොහොයුරා වූ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ දිනුක කරුනාරත්න පරාජය කරමින් සූරතාවය දිනා ගත්තේය.යුගල තරගයේදී තමා නියෝජනය කරන මැක්ලරන්ස්  කණ්ඩායමේ නිම්මික එදිරිසූරිය සමග එක්ව හැටන් නැෂනල් කණ්ඩායමේ දිනුක කරුණාරත්න සහ අනුෂ්ක ලක්ෂාන් පරාජය කිරීමට සමත් විය.
ප්‍රධාන කාණ්ඩයේ අවසාන තරග තුනම නියෝජනය කරන්නට හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ නදීශා ගයත්‍රි සහ දිනුක කරුනාරත්න සමත් වුව ද ඔවුන් දෙදෙන එක්ව තරග කළ මිශ්‍ර යුගල අවසාන තරගයේදී සම්පත් බංකුවේ තිළිණි ජයසිංහ සහ හසිත චානක පරදා ජය අත් කර ගැනීම හැරෙන්නට කේවල සහ සිය යුගල තරග වලදී සිදු වූයේ අනු සූරතා වලින් සෑහෙන්නටය.
නදීශා කේවල අවසාන තරගයේදී චන්ද්‍රිකා ද සිල්වා වෙතින් පරාජය වූ අතර යුගල අවසාන තරගයේදී හැටන් නැෂනල් බැංකුවේම මධුෂා දිසානායක සමග එක්ව සූරතාවය දිනා ගැනීමට කළ උත්සාහය සෙලාන් බැංකුවේ චන්ද්‍රිකා ද සිල්වා සහ තිලිණි පරණවිතාන ඉදිරියේ ව්‍යර්ථ විය.ප්‍රවීන පිරිමි තරග අංහයේ ජය සංඛ ඉලේපෙරුමට හිමි වූ අතර එහි කාන්තා සූරිය වන්නට විවෘත සූරතාවය දිනූ චන්ද්‍රිකා ද සිල්වා සමත් වූවාය.ප්‍රවීන යුගල තරගයේදී නිලූකට පෙර පැවති බැඩ්මින්ටන් වීරයනගේ ආසන්න අතීතයට මතකය රැගෙන යමින් දුමින්ද ජයකොඩි සහ නිරෝෂන් විජේකෝන් දෙපසට වී ප්‍රදර්ශණාත්මක තරගයක නියැලුණු අතර එහි අවසාන ප්‍රතිපලය වූයේ දුමින්ද සමග එක් වූ දුමින්ද සෝමනායක විසින් නිරෝෂන් සමග එක් වූ දර්ශණ සේනාරත්න පරාජය කිරීමය.
අවුරුදු 50 න් ඉහළ පිරිමි තරග වලදී තවත් පියවරක් ඉතිහාසයට කැදවා ගෙන ගිය ප්‍රියන්ත විජේසේකර කේවල ඉසව්වේ දී ස්ටැන්ලි පෙරේරා පරාජය කරමින් ද, ස්ටැන්ලි සමග එක්ව යුගල අවසාන තරගයේදී ලලින්ද්‍ර සිල්වා සහ සුරේෂ් තවරාජ් පරාජය කරමින්ද ද්විත්ව සූරතා දිනා ගත්තේය.
දින පහක් පුරා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ආයතන 49 කි න් ඉදිරිපත් වූ තරගකරුවන් 350 ක් ඉක්මවා සහභාගි වූ තරගාවලිය සාර්ථක කර ගැනීමට සහ විධිමත් කර ගැනීමට වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය ගත් උත්සාහයේ සාර්ථක ප්‍රතිපල දකින්නට තිබිණ.විශේෂයෙන් කාන්තා අංශයේ දක්ෂතා දක්වන වැඩි පිරිසක් පාසල් මට්ටමේ ක්‍රිඩිකාවන් වන තත්ත්වයක් තුළ ජාතික මට්ටමේ අලුත් බලවේග කාන්තා අංශයේදී දකින්නට නොලැබුණ ද,පිරිමි අංශයේ සියළුම දක්ෂයන් පාහේ සහබාගී වීම නිසා තරගාවලිය ආකර්ශණිය තරග රටාවන්ගෙන් පෝෂණය විය.
දශක තුනකට පමණ පෙර නිලූකගේ සිට අතීතයට පිය නගන විට හ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාවේ සිටි දැවැන්ත චරිත වූ ප්‍රියන්ත විජේසේකර,නිරෝෂන් විජේකෝන් දුමින්ද ජයකොඩි වැනි සූරයන්ගේ වර්තමාන දක්ෂතාවල සිට නිලූක වැනි ජාත්‍යන්තර තලයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන් ක්‍රීඩකයෙකු දක්වා යුග - යුග බැබලුණු මතකයන් හී ස්මරණ සමග ගෙවුණු තරගාවලිය බැඩ්මින්ටන් ලෝලීන්ට යම් ප්‍රමාණයක් සොදුරු ඉතිහාස පාඩමක් බදු විය.
www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය බංගලාදේශයට පිරිනමති

සල්මා කතූන්
සියානු ක්‍රිකට් කවුන්සිලයේ 20 / 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 5 ක පරාජයක් ලැබුවාය.චීනයේ ගුවැන්සු හී ක්‍රියාත්මක මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට බංගලාදේශයට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු රැකීම සහ පන්දු යැවීම ඉදිරියේ බංගලාදේශය ලකුණු 62 ට සීමා කරන්නට සමත් විය.එහිදී කැපී පෙණුන පන්දු යැවීමක යෙදුණ ඉනෝකා රණවිර සිය පන්දු ඕවර් 4 නිමා කළේ ලකුණු 9 ට කඩුලු 3 ක් දවා ගනිමින්ය.
පන්දු ඕවරයකට ලකුණු 3 ක් පමණ වූ පහසු ඉලක්කය හඹා යෑමට පිවිසි ශ්‍රී ලංකාව ඒ පිළිබදව ඇති කරගත් අනවශ්‍යය බියකින් මෙන් ක්‍රීඩා කරන බවක් ප්‍රදර්ශනය කළ අතර එහි ප්‍රතිපලය වූයේ 20 වන පන්දු වාරයේ  සිව්වන පන්දුවේදී අදේශිකා ප්‍රබෝධනී ගේ කඩුල්ල දුවද්දී දැවී යාමෙන් ශ්‍රී ලංකා ඉණිම ලකුණු 57 කින් අවසන් වීමය.අනවශ්‍යය පීඩනයකින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වෙතින් මුලු ඉණිමටම එල්ල වූයේ එක් හතරේ පහරක් පමණක් වූ අතර එය චමරි අතපත්තු විසින් එල්ල කරන්නට යෙදිණ.
ශ්‍රී ලංකා පිතිකරණයට විශාලතම තර්ජනය එල්ල කළ සල්මා කතුන් ලකුණු සිය 20 / 20 ක්‍රිකට් දිවියේ හොදම පන්දු යැවීම සටහන් කරමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ලකුණු 6 ට කඩුලු 4 ක් දවා ගනිමින්ය.මෙම පරාජයත් සමග ශ්‍රීලංකාවට බී කාණ්ඩයේ පළමු තැනට පැමිණීමට තිබූ අවස්ථාව අහිමි වී ගිය අතර ඒ අනුව ශ්‍රී ලංකාවට 30 දා ඒ කාණ්ඩයෙන් පළමු තැන ගත් ඉන්දියාවට එරෙහිව අවසාන පූර්ව තරගයට මුහුණ දීමට සිදුවනවා ඇත.
www,supirikrida.com

ජපන් සිරි නරඹන්න පිටත් කළ පිරිසට 24 වන තැන

චීනය අවසාන තරගයේදී ජපානයට එරෙහිව 3 - 2 ක් ලෙස ජය ලැබීමෙන් අනතුරුව
 පානයේ පැවති කණිෂ්ඨ ජගත් බැඩ්මින්ටන් තරගාවලියේ ශ්‍රී ලංකාව අවසාන වරට සහභාගි වූ තූර්කිය සමග වන තරගයෙන්ද වට 3 - 0 ක පරාජයක් ලැබීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා කණ්ඩායමට 24 වන තැන හිමි විය.කණ්ඩායම් 30 ක් අතරෙන් එම ස්ථානයට පත්වීම හෝ පහසු කාරණයක් නොවන්නේය.නමුත් ශ්‍රී ලංකාවට මීට වඩා ඉහළ තැනකට ප්‍රවේශ වීමට හැකියාව තිබුණු බව පැහැදිළි විය.කණගාටුව එම අවස්ථාව ලබා ගැනීමට හැකි දැක්මකින් කටයුතු නොකිරීමය.
තරගාවලියට සහභාගි වීමට නියමිත වයස් ඛාණ්ඩයේ ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන් එය නියෝජනය කළේද යන්න මෙහි දී පැන නැගෙන පළමු ගැටළුවයි.ඒ සදහා පළමු බාධකය වැටෙන්නේ මුදල් හරහාය.මුදල් අනුග්‍රහ නොලැබෙන තත්ත්වයක් තුළ ජපන් සංචාරයට සහභාගි වීම සදහා මුදල් සොයා ගැනීමට නොහැකි දක්ෂයන් විවිධ හේතු කියා තේරීම් වලින් බැහැර විය.ඊට සාධාරණ ‍ඓතිහාසික හේතු ඇත.තේරිම් තරග සදහා සහභාගි වී තේරෙන ක්‍රීඩකයන් වෙනුවෙන් අනුග්‍රහයක් අවසාන මොහොත වන තෙක් නොලැබුණේ නම් ඔවුන්ට තරගයට සහබාගි වන්නට හැකි වන්නේ නැත.එය ඇතැම් විට විනය ක්‍රියා මාර්ගවලට යටත් වන්නට ද,ඇතැම් විට අලාභ මුදල් ගෙවන්නට ද විය හැකි තත්ත්වයක් බවට අනාගතයේ ඉතිරි කර තිබෙන කළු පැල්ලම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිය ගන් වන්නේය.
නිලූක,දිනූක සහ දිලූක වෙනුවෙන් එවැනි දඩ මුදල් අය කර ගනිමින් මහාචාර්ය බැඩ්මින්ටන් සංගමය කළ නිහීන ක්‍රියාව හෙළා දකිමින් එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ ගාමිණි ලොකුගේ මෙන්ම ඉන් පසු පැමිණි සීබී රත්නායකයන් ද එම මුදල් නැවත ගෙවන ලෙස නියෝග කළත් එම මුදල් නිලූකලාට ලබා ගන්නට  පහසු වූයේ නැත.
ඒ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය කණ්ඩායම මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි කළ හොදම කණ්ඩායම ලෙස පැවසීම සත්‍යයක් නොවන්නේය.එහෙත් සහභාගි වූ කණ්ඩායමට දානමය කුසලානිසංශ බලාපොරොත්තුවෙන් මෙන් තරග බෙදා නොදි ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි දක්ෂතමයන්ට වැඩි අවස්ථාවක් ලැබෙන ලෙස තරග ලබා දුන්නේ නම් මේ ප්‍රතිපලය මීට වඩා හොද වන්නට නොතිබිණ.
'ඒත් දිනන්න බෑ'
යමෙකු එසේ පැවසිය හැකිය.එය එසේම වුවා යැයි සිතන්න.දැනටද කණ්ඩායම් 30 අතරින් 24 වන තැන දක්වා පැමිණිමට ශ්‍රී ලංකාවට හැකි වූයේ එකම රටක් හෝ පරාජය නොකරය.එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග කිහිපයක් ජය ගැනීම,තරග වට කිහිපයක් ජය ගැනීම ජයග්‍රාහකයාට අඩු ලකුණු පරතරයක් තබා පරාජය වීම යන කාරණා බල පෑ බව සත්‍යයකි.
එසේනම් ශ්‍රී ලංකාව ‍වඩාත් දක්ෂ ක්‍රීඩකයන් වැඩිපුර භාවිතා කළේනම්,ඇතැම් විට ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට එරෙහිව ජය නෙලැබුවද,පරාජයේ ප්‍රමාණය අවම කර ගන්නට හැකියාව තිබුණු බව අප පිළිගත යුතුය.එය ශ්‍රී ලංකාව වර්ගීකරනයෙන් ඉහළට ඔසවා තබන්නට හේතුවක් නොවන්නේද?
බැඩ්මින්ටන් පරිපාලනය මෙන්ම එම පරිපාලනයේ වැරදි කණස්සලු සහගත මවා පෑමකින් ඉවසා සිටින අමාත්‍යංශයද පිළිතුරු දිය යුත්තේ එයටය.ඇතැම් විට බැඩ්මින්ටන් සභාපතිවරයා පවසන ආකාරයට අමාත්‍යවරයාගේ අනුකම්පාව මෙයට හේතුව විය හැකිය.ඔහු පවසනාකාරයට තරගාවලියට සූදානම් කර ගෙන සිටි කණ්ඩායම 16 දක්වා ඉහළ ගොස් ඇත්තේ අමාත්‍යවරයා දෙමව්පියන්ගේ ඉල්ලීම මත ඉතිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරන ලෙස කරන ලද ඉල්ලීමට අනුවය.ඒ ඉල්ලීමේ සංඥාව තරග බෙදාදීමක් කරන හැටියට කරන ලද අණ දීමක් ලෙස බැඩ්මින්ටන් පරිපාලනය පිළිගත්තේද?
කෙසේ හෝ මේ සියල්ල පිළිබදව යළිත් පරීක්ෂණාත්මක විමසා බැලීමක් අවශ්‍යය.එහෙත් සිදු නොවන්නේ අමාත්‍යවරයාගේ සිට අමාත්‍යංශයේ වගකිව යුතු සියල්ලෝම අතපසුවීම පිළිබදව සිදුකරන පශ්චාත්තාප විම පමණි.කරුණු විමසා බැලීමක් පරීක්ෂනයක් මේ කිසිවක් සිදු නොවන තැන නිද්‍රාශීලි පිරිස් අවදි වන්නේ නැත.කණිෂ්ඨ සංචාරයකට කළමණාකරුවෙකු ලෙස උප සභාපතිවරයෙකුගේ ආවතේවකරුවෙකු සහභාගි කරවීමේ සිටම එකින් එක වගකීමෙන් තොරව රටේ බැඩ්මින්ටන් අනාගතය සම්බන්ධයෙන් වන නොසැළකිලිමත් හැසිරීම මේ නිද්‍රශීලිත්වයට ලැබෙන ආශිර්වාදයේ ප්‍රතිපලයක් නොවන්නේද?
තරගාවලියේ සමස්ත සූරතාවය චීනය විසින් දිනා ගත් අතර අනු සූරතාවය ජපානයට හිමි විය.තෙවන තැන දකුණු කොරියාවටත් සිව්වන තැන ඉන්දුනීසියාවට හිමි විය.එපමණක් නොව මුල් ස්ථාන අටම ආසියාතික රටවල් වෙත හිමි විම කැපී පෙණින.චීන තායිපේ,මැලේසියාව,තායිලන්තය සහ හොංකොං පිළිවෙලින් පස්වන ස්ථානයේ සිට අටවන ස්ථානය දක්වා ස්ථාන දිනා ගත්තේය.
www.supirikrida.com

සියල්ලම පැරදුනත් ශ්‍රී ලංකා යෞවනයෝ අවසන් අටට පිවිසෙති

රානයේ ටෙහෙරාන් නුවර පැවත්වෙන ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ සහ වර්ගීකරණය අනුව පවත්වන වටයේ සියළුම තරග පරාජයට පත් වුව ද,අවසාන කණ්ඩායම් අට අතරට පිවීසිමට හැකි වී ඇත.පළමු වටයේ සිටම ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් සමග ගැටෙන්නට වු ශ්‍රී ලංකා යෞවනයන් එම ප්‍රබලත්වයට සාපේක්ෂව ගත් විට හොද සටනක් ලබා දෙන්නට සමත් විය.පළමු වටයේදි ශ්‍රී ලංකාව ඇතුළත්න සිටි කාණ්ඩයේ කුවේට් කණ්ඩායම සහ මොංගෝලියාව ඉවත් වීම නිසා ආසියානු යොවුන් සූරයන් සමග ශ්‍රී ලංකාව හුදෙකලා විය.ඒ අනුව වර්ගීකරණය අනුව පවත්වන වටයේදී ද ශ්‍රී ලංකාව එම කණ්ඩායමෙ අන්තිමයා ලෙස චීන තායිපේ සහ දකුණු කොරියාව සමග තරග කිරිමට පිවිසි අතර ඊයේ පැවති චීන තායිපේ සමග තරගයේදී ශ්‍රී ලංකා යෞවනයෝ අති විශිෂ්ඨ දස්කම් පෙන්වමින් චීන තායිපේ කණ්ඩායමට විශාල තර්ජනයක් ලබා දුන්නේය.
තරග වට 3 - 2 ක් ලෙස කියවුණු චීන තායිපේ කණ්ඩායමේ ශ්‍රී ලංකාවට එරෙහි ජයග්‍රහණයේ සමස්ත ලකුණු එකතුව 110 - 92 ක් විය.25 - 17 ,25 - 18 සහ 15 - 7 ලෙස තරගයේ පළමු වටය,සිව්වන වටය සහ පස්වන වටය ජය ගත් චීන තායිපේ කණ්ඩායමට එරෙහිව තරගයේ දෙවන වටය සහ තෙවන වට පිළිවෙළින් ලකුණු 25 - 23 සහ 25 - 22 ක් ලෙස ජය ගන්නට ලාංකික යෞවනයෝ සමත් වූහ.එම ගෞරවණිය පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම 30 දා අවසන් කණ්ඩායම් අට අතර වන තරග වටයේ පළමු තරගයට මුහුණ දෙන අතර එහිදී ප්‍රතිවාදියා වන්නේ චීනය ය.
www.supirikrida.com

පළමු දිනය පුරා ජයගත් ලංකාව දෙවැනි දිනය පුරා පරදියි සූරතාවය දකුණු අප්‍රිකාවට

2012 Hong Kong Sixes Cup champions South Africaමෙවර හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වෙමින් කැපී පෙණුන ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන දිනයේ දී එකම තරගයකින් හෝ ජය ලැබීමට නොහැකි විය.පළමු දිනයේ  අතිශයින් සාර්ථක වූ පිතිකරුවා වූ කුසල් ජනිත් ට දෙවන දිනයේ දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම ඊට බෙහෙවින් බල පෑවේය.නමුත් සිය ආරම්භක සගයාගේ අසාර්ථකබාවයෙන් නොසැලුණු කපුගෙදර පෙර දිනයේ මෙන්ම සිය සුපුරුදු පිතිහරඹයේ යෙදුණද ඒ කිසිදු දායකත්වයක් ජයග්‍රහණය කරා නොගොස් පරාජිත සීමාවේම හිර විණ.


කණ්ඩායමේ සංයුතිය තුළ විශ්වසනීය පන්දු යවන්නන් නොසිටීම දැඩි අර්බූදයක් වූ අතර ඉකුත් එස්එල්පීඑල් තරගාවලිය තුළ දී දක්ෂතා අතර සිටි කෞශල්‍යය විරරත්න,මිලින්ද සිරිවර්ධන වැනි ක්‍රීඩකයන්ට මෙම කණ්ඩායමේ තිබුණු ඉඩ පැහැදිළිව දකින්නට ලැබිණ.ස්ථාවර සය සාමාජික කීඩකයෙකුගේ ලක්ෂණ ඉතා අඩුවෙන් ප්‍රදර්ශනය කරන ජෙහාන් මුබාරක් කණ්ඩායමේ නායකයා වීම නිසා ඔහුව සසල කිරීමට හැකියාවක් නොතිබි අතර ඔහුට කුමක් නොහැකි වුව ද හැම දෙයක්ම හැකි ලෙස දකින තේරීම් කමිටුව ඔහුටත් වඩා ඔහුව විශ්වාස කරන බව පෙන්වා දෙන ඉතිහාසය මුබාරක් ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාවට බරක් ලෙස දැනීමේ ප්‍රති විපාකයේ ප්‍රධාන වගකීම අසන්ත ද මෙල් මහදැනමුත්තාගේ භූමිකාව රගන එම තේරීම් කමිටුව දැරිය යුතුය.
ඊයේ එකදු තරගයකවත් ලකුණු 100 ට පිවිසීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාව හොංකොං,දකුණු අප්‍රිකාව සහ පකිස්තානය ඉදිරියේ පරාජය ලැබිය.මූලික වටයේ ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය ලැබූ පකිස්තානය දකුණු අප්‍රිකාව සමග අවසාන තරගයට පිවිසි අතර එහිදී දකුණු අප්‍රිකාව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් පකිස්තානයට එරෙහිව ලකුණු 142 ක් රැස් කරන්නට සමත් විය.පිළිතුරු ලෙස පකිස්තානු ඉණිම වෙනුවෙන් එක් අන්තයක සිට තරගාවලියේ වැඩිම හයේ පහර ලාභියා වෙමින් දැවැන්ත ලකුණු 51 රැස් කළ කම්රාන් අක්මාල් සය සාමාජික කිරුළ පකිස්තානයට රැගෙන යන්නට ගත් හුදෙකලා උත්සාහය අසාර්ඛන විය.
මේ අතර පළිහ කුසලානය සදහා පැවති අවසාන තරගයේදී නෙදර්ලන්තය ඕස්ට්‍රේලියාව ඉදිරියේ පරාජයට පත් විය.
www.supirikrida.com

මගෙන් තවත් වැඩක් ගනිව් - චන්ද්‍රිකාගේ බැඩ්මින්ටන් පිත්ත කතා කරයි

ශ්‍රී ලංකාව බිහි කළ සුවිශේෂි බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වන චන්ද්‍රිකා ද සිල්වා සිය හැකියාව යළිත් වරක් විදහා පෙන්වමින් මෙවර වෙළද සේවා බැඩ්මින්ටන් තරගාවලියේදී සූරතා තුනකටම හිමිකම් කීවාය.විවෘත කේවල සහ යුගල තරග ජයගත් චන්ද්‍රිකා අවරුදු 35 න් ඉහළ ප්‍රවීනා කාන්තා කේවල ඉසව්ව ද ජය ගත්තාය.නමුත් වේගය මෙන්ම ප්‍රතික්‍රියා වේගයෙන්ද ඇයව ඉක්මවා යා හැකි ජවසම්පන්න තාරුණ්‍යයක් නිර්මාණය වෙමින් පවතින බව මෙම තරගාවලියේදී මෙන්ම ඉකුත් ජාතික සූරතාවලියේදි තරුණ ක්‍රීඩිකාවන්ගේ ප්‍රහාරයට ලක්වීම තුළ චන්ද්‍රිකාට ඒත්තු යන්නට ඇත.තත්ත්වය එසේනම් ඇයට කාලය ආරාධනා කරන්නේ ගෞරවණීය සමුගැනීමකටය.
එය ඇය විසින් ගනු නොලැබීමට හේතුව වසර ගණනක් මෙරට බැඩ්මින්ටන් පිටිවල ඇය හැලූ දහදිය සහ කදුළු වලට සියතින් පිත්ත ගලිහී යාමෙන් පසු ඉතිරිව ඇති ගෞරවය සහ පිළිගැනීම පිළිබදව සිය සිත තුළ මතු කරන විචිකිච්චාව විය යුතුය.එහෙත් වගකිව යුතු පරිපාලනයක් ලෙස ඇය තව දුරටත් යොවුන් ක්‍රීඩිකාවන් ගේ අභියෝගවල පීඩනයෙන් බැට කන ක්‍රීඩිකාවක් බවට පත් නොකිරීමේ වගකීම පවරා ගත යුතුය.ඇය වෙනුවෙන් ගෞරවනීය සමුගැනීමක් සකසා දිය යුතු අතර ඒ සමගම ඇයගේ ප්‍රායෝගික දැණුම් වපසරිය මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ප්‍රගමනය සදහා භාවිතා කළ හැකි වාත්තීමය වටිනාකමක් ඇති මාවතකට යොමු කළ යුතුය.
ගැහැව්ව නිසා පුහුණු කරන තත්ත්වයට ඇයව පත් නොකළ යුතුය.ඇයගේ ප්‍රායෝගිකත්වයට උසස් පුහුණු දැණුම එක් කිරීම සදහා අවශ්‍යය ජාත්‍යන්තර පරිසරයක ආශිර්වාදය ලබා දීමෙන් හෝ ඇයට විනිසුරුවරියක ලෙස පෙරට එන්නට අවශ්‍යය මාවත විධිමත්ව සැකසීමේ වගකීම බැඩ්මින්ටන් පරිපාලනය විසින් පවරා ගැනීමකින් චන්ද්‍රිකා,ඇයගේ ඓතිහාසික ගෞරවයට හානියක් නොවන පරිදි තරගකාරී බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉවත් කළ යුත්තේ, යළි යලිත් සිහිපත් කරමින් රස විදිය හැකි අතීතයක් බවට ඇයගේ හැකියාවන් හී ස්මරණය සිහිකල හැකි වට පිටාවක් ඉතුරු කරමින්ය.මේ වන විටත් තරුණ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගේම අභියෝග ඉදිරියේ පරාජිත චරිතයක් බවට පත්ව සිටින ඈ,තව දුරටත් ඒ ඉරණමෙන් පීඩාවට පත් නොවන මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් දිනා දුන් ගෞවරයන්ට හානිකර නොවන සේ ඒවා සුරැක තබා ගෙන සමුගැනීමට බැඩ්මින්ටන් පරිපාලනය ඇයව දැනුවත් කළ යුතුය.මැදිහත් විය යුතුය,උපදෙස් දිය යුතුය.එය අතිශයින් ගෞරවනීය සමුගැනීමක් බවට පත් කිරීමේ වගකීමට උර දිය යුතුය.
www.supirikrida.com

Oct 28, 2012

දිනූක සහ නදීශා වෙළද සේවා අවසන් තරග තුනටම



ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ලීනින් බැඩ්මින්ටන් උපකරණ හදුන්වා දෙමින් එම අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන වෙළද සේවා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ කේවල,යුගල සහ මිශ්‍ර යුගල අංශ තුනේම අවසන් තරග සදහා සුදුසුකම් ලැබීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම නියෝජනය කරන දිනුක කරුණාරත්න සහ නදීශා ගයත්‍රි සමත් ව සිටියි.අද සවස 2.00 සිට ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක මෙම තරගාවලියේ අවසන් තරග වලදි දිනුක කරුණාරත්න පිරිමි අවසන් තරගයේදී සිය සොහොයුරු ජාතික සූර නිලූක කරුනාරත්න සමග තරග වැදීමට නියමිතය.දිනුක පිරිමි යුගල අවසන් තරගයේදි අනූෂක ලක්ෂාන් සමග එක්ව තරග වදින අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ මැක්ලරන්ස් ආයතනය නියෝජනය කරන නිලූක කරුණාරත්න සහ නිම්මික එදිරිසූරිය ය.
නදීශා ගයත්‍රි මිශ්‍ර යුගල තරගයේදී දිනුක කරුණාරත්ව සමග එක්ව සම්පත් බැංකු කණ්ඩායම නියෝජනය කරන හසිත චානක සහ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ තිළිණි ජයසිංහට එරෙහිව තරග වදින අතර තිළිණි මෙවර තරගාවලියේදි තේරී ඇති එකම අවසන් තරගය ද මෙය වන්නේය.නදීශා කේවල අවසාන තරගයේදී තරග වදින්නේ සෙලාන් බැංකුව නියෝජනය කරන චන්ද්‍රිකා ද සිල්වා සමගය.කාන්තා යුගල තරගයේදි චන්ද්‍රිකා සමග එක්ව තරග වදින තිළිණි පරණවිතාන ට එරෙහිව නදීශා,මධූෂා දිසානායක සමග එක්ව තරග වදින්නීය.
මෙම තරගාවලියේ මාධ්‍ය සම්බන්ධිකරණ කටයුතු වලින් දායකවන්නේ www.supirikrida.com වෙබ් අඩවිය ය.
www.supirikrida.com

තිලිණිගේ ආබාධයෙන් ඇමෙරිකාවට එරෙහි ප්‍රහාරය නවතියි කැනඩාවට එරෙහිව ෂුස්මිතා තිළිණිගේ අඩුව පුරවයි

නැවත වරක් ජගත් කනිෂ්ඨ කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව කළ තේරීම් සහ කණ්ඩායම් නම් කිරීමේ දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගාවලිය තුළ ඉදිරියට ඒමට ඇති අවස්ථාවන් අහිමි කරමින් ශ්‍රී ලංකාව ඇමෙරිකාව ඉදිරියේද කැනඩාව ඉදිරියේද පරාජය විය. ඇමෙරිකාව සමග තරග අරඹමින් පැවති මිශ්‍ර යුගල තරගය තරගාවලිය පුරාම දස්කම් දක්වමින් සිටින බුවනෙක ගුණතිලක සහ ෂුස්මිතා ඉලංගකෝන් විසින් වට 2 - 0 ක් ලෙස ජය ගනිමින් ශ්‍රී ලංකාව පෙරමුණට ගෙන ඒමට සමත් විය.එහි ලකුණු තත්ත්වය 21 - 16 සහ 21 -6 ක් විය
පිරිමි කේවල තරගයේදී සචින් ඩයස් වට 1 - 2 ක් ලෙස අලෙක් සෙක්ටිමාන් ඉදිරියේ පරාජය ලැබීය.ඉතා තියුණු තරගයක් ලබා දුන් සචින් එම තරගය පරාජයට පත් වූයේ 19 - 21, 21 - 12 සහ 20 - 22 ක් ලෙස ලකුණු තත්ත්වය පවත්වා ගනිමින්ය.නමුත් යුගල තරගයේදී ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමේ අපේක්ෂාවෙන් එම කණ්ඩායමට බුවනෙක හෝ යොදවා නොතිබි අතර චරින්ද්‍ර හපුආරච්චි සහ රවිදු කේෂාන්ට ඇමෙරිකා අභියෝගයට ඔරොත්තු දීමට හැකියාවක් නොතිබිණි.එහි ප්‍රතිපලය වූයේ පිලිප් ටෙච් සහ ජෙෆ්රි ක්වෝ අතින් ඔවුන් දෙදෙනා ලකුණු 21 - 11 සහ 21 - 10 ක් ලෙස පරාජය වීමය. 
අනතුරුව පැවති කේවල කාන්තා තරගයේදී තිලිණි හෙන්දහේවා පළමු වටය ඉති පහසුවෙන් ජය ගත්තේ ඇමෙරිකාවේ අයිරිෂ් වෑන්ග් ලකුණු 21 - 17 ක් ලෙස පරාජය කරමින්ය. දෙවන වටයේදී ද තිලිණි වෑන්ග්ට එරෙහිව ලකුණු 12 - 10 ක් ලෙස ඉදිරියෙන් සිටිය දී තිළිණි අබාධයකට ගොදුරු වී පිටියෙන් ඉවත් වූයේ ශ්‍රී ලංකාවට ඇමෙරිකාවට එරෙහි තීරණය සදහා තවත් තරගයකට ප්‍රවේශ වීමට අවස්ථාව අහිමි කරමින් ඇමෙරිකාවට තරග 3 - 1 ජයක් හිමි කර දෙමින්ය.
කැනඩාව අතර තරගයේදි තරග වලදී වැඩි පුර තිළිණි හෙන්දහේවා,සචින් ඩයස්,බුවනෙක ගුණතිලක,සහ ෂුස්මිතා ඉලංගකෝන් භාවිතා කිරීමෙන් රටක් හැටියට ශ්‍රී ලංකාවට වඩා යහපත් ප්‍රතිපල අත් කර ගැනීමට අප ඉදිරිපත් කළ අදහස සනාත කිරිමට ෂුස්මිතා සමත් වූවාය.තිළිණි වෙනුවට ඒකල තරග සදහා පිවිසි ෂුස්මිතා සිය ප්‍රතිවාදි ක්‍රීඩිකාව වූ කැනඩාවේ ඇඩ්රියානා හොලෙක් ලකුණු 21 - 6 සහ 21 - 11 ක් ලෙස පරාජය කරමින් කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේ ශ්‍රී ලංකාව පෙරමුණේ තැබුවාය.පිරිමි කේවල තරගයේදි තරගාවලිය පුරා කැපී පෙණුන සචින් ඩයස් ඇන්ඩෘ ඩි ෂෝසා ඉදිරියේ පසුබැස්මක් පෙන්නුම් කළ අතර එහිදි සචින් ලකුණු 21 - 15 ක් සහ 21 - 7 ක් ලෙස ඇන්ඩෘ ඉදිරියේ පරාජය ලැබුවේය.
නැවතත් ෂුස්මිතා යොදවමින් යුගල තරගයේදී වාසියක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාව මග හැර ගිය අතර එහි ප්‍රතිපලය වූයේ කවින්දිකා බිනරි සහ මනේෂි ප්‍රසාන්දි, ටකීෂා වෑන්ග් සහ ජොෂපින් වූ ඉදිරියේ ලකුණු 21 - 12 සහ 21 - 12 ක් ලෙස පරාජයට පත් වූහ.එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දක්වන ෂුස්මිතා සහ බුවනෙක සහභාගි වන මිශ්‍ර තරගයෙන් ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් ලබා ගැනිමට උත්සාහ කිරීමේ හැකියාව තිබුණ ද,ඊට පෙර ශ්‍රී ලංකාව සචින් ඩයස් වැනි ක්‍රීඩකයෙකු යොදා ගෙන පිරිමි යුගල තරගයෙන් වාසියක් ලබා ගැනිමට කල්පනා නොකර තිබීම නිසා පිරිමි යුගල තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ චරින්දු හපුආරච්චිට සහ රවිදු කේෂාන්ට සිදු වූයේ ලකුණු 21 - 13 ක් සහ 21 - 15 ක් ලෙස කැනඩාවේ බෙනි ලින් සහ ඩන්කන් යාඕ ඉදිරියේ පරාජය වන්නටය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ සිට ‍සහභාගි කරවන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිවැරදි ලෙස යොදා ගැනීමට අසමත් වීම නිසා තරගාවලියේ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තිබූ ඉහළට පැමිණිමේ අවස්ථාව අහිමි වූ බව පැහැදිළිය.ඒ හරහා තව දුරටත් පැහැදිළි වන්නේ බැඩ්මින්ටන් පරිපාලනයේ අදූරදර්ශි බවය.ඒ සම්බන්ධයෙන් බැඩ්මින්ටන් පරිපාලකයන් ඉදිරිපිටම අමාත්‍යවරයා කරුණු විමසා බැලීමක් කිරීමට සූදානම් නම් අප ඒ වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් අතර ජාතික වශයෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට ජාත්‍යන්තර පිළිගැනීමේ ඉදිරියට ප්‍රවේශ වීමට තිබෙන අවස්ථාවන් අහිමි කිරීමට කටයුතු කරමින් ලබා ගත හැකිව තිබූ ප්‍රසාද අයාලේ යන්නට හැර තරගාවලියට විශාල පිරිසක් සහභාගි කරවමින් ජාත්‍යන්තරය ඉදිරියේ විහිළු සැපයීම පිළිබදව අමාත්‍යවරයා බැඩ්මින්ටන් සදහා පිරිනමන අසීමිත සමාව සහ කරුණාව තව දුරටත් ප්‍රදානය කරන්නට සූදානමින් සිටින්නේද යන්න පිළිබදව අප විමසිල්ලෙන් සිටිමු.
ශ්‍රී ලංකාව මේ දක්වා කිසිදු රටක් පරාජය නොකළ ද,බුවනෙක,ෂුස්මිතා සහ සචින් ලද ජයග්‍රහණ කිහිපයද, එම තිදෙනා සහ තිළිණි තරග වට ප්‍රමාණයක් ජය ගනිමින් ද ඔවුන් ලකුණු පරතරය  අඩුව තබා ගනිමින් ද දක්වන ලද දක්ෂතා නිසා ශ්‍රී ලංකාවට කණ්ඩායම් 30 ක් සහභාගි වූ මෙම තරගාවලියේදි 21 සහ 24 යන ස්ථාන සදහා තරග කිරීමට සුදුසුකම් ලැබීය.එහිදී අද සවස තූර්කිය සමග ශ්‍රී ලංකාවට තරග කිරිමට සිදු වනු ඇති අතර එිහදි දක්වන දස්කම් අනුව ශ්‍රී ලංකාවට 23 හෝ 24 යන ස්ථානයක් හිමිවනු ඇත.නමුත් නිවැරදිව කණ්ඩායම තේරීම සදහා මුල සිටම ප්‍රතිපත්තිමය වශයෙන් බැඩ්මින්ටන් පරිපාලනය නිවැරදි තීරණ ගත්තේ නම් සහ  යම් අඩුපාඩු කම් සහිතව කරන ලද තේරීම් වල දී තෝරාගත් පිරිස රටට පලදායි ලෙස භාවිතා නොකිරීම පිළිබදවද ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පරිපාලනය වගකිව යුතු බව පමණක් අප නැවතත් මතක් කරන්නෙමු.
www.supirikrida.com

කුසල් ජනිත් ගෙන් විශිෂ්ඨ දස්කම් - හොංකොං සය සාමාජික තරගාවලියේ පළමු දිනයේ අපරාජිත කණ්ඩායම ශ්‍රී ලංකාව


හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ එකම අපරාජිත කණ්ඩායම වෙමින් කුසල් ජනිත් පෙරේරාගේ හැකියාවන් සමග පෙරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවත්වෙන කුසලාන තරග අංශයෙන් කුසලානය සදහා තරග වැදීමට සුදුසු බව තහවුරු කළේය.හොංකොං සයසාමාජික තරගාවලියේ නීතියක් ලෙස ක්‍රියාත්මක වන ලකුණු 30 ඉක්මවා රැස් කිරීමෙන් පසු ක්‍රීඩා පිටියෙන් සමුගැන්වීමේ න්‍යාය යටතේ පැවත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව සහභාගි වූ තරග තුනේදීම ලකුණු 30 ඉක්මවා  රැස් කළේ  (පන්දු 8 - 34),(පන්දු 12 - 35) සහ (පන්දු 9 - 33 ) ශ්‍රී ලංකාව ජය මාවතට තල්ලු කිරිමේ පුරෝගාමීයා වශයෙනි.

නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 107 ක් සහ ඉන්දියාවට එරෙහිව ලකුණු 104 ක් ලෙස පැවති තරග දෙකේදීම ලකුණු 100 ඉක්මවා රැස් කළ ශ්‍රී ලංකාව පකිස්තානය අතර තරගයේදී තියුණු තරගයකින් පසුව කඩුලු 3 ට ලකුණු 89 ක් ලබමින් තරගය ජය ගැනීමට සමත් විය.
මේ දක්වා පැවති තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ ශක්තිය යම් අවධානමකට හසුව තිබෙන බව පැහැදිළිව දකින්නට තිබෙන අතර ඒ සදහා අවශ්‍යය වෙනස්කම කිරීමට කණ්ඩායම් ආකෘතිය තුළ ඉඩක් නැත්තේ මුබාරක් යම් ආකාරයකින් පිටතට ගෙන වෙනත් ක්‍රීඩකයෙක් යෙදවීමේ හැකියාව ඔහු නායකයා නිසා අහිමි වි ඇති බැවින්ය.එම ස්ථානයට තුන් ඉරියව් හැකියාවන් ඇති තරුණ ජවසම්පන්න ක්‍රීඩකයෙකු වන රමිත රඹුක්වැල්ල වැන්නෙකු යෙදවිමට ඇති ඉඩ මේ නිසා ඇහිරී ඇති අතර අද හොංකොං සය සාමාජික කුසලානය සදහා වන සටනේදී  ශ්‍රී ලංකාවට පළමුව හමුවන්නේ මූලික වටයේ තරග වලදී ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් පළමු තැනට එද්දී  ඒ කාණ්ඩයෙන් පළමු තැනට පැමිණ සිටින හොංකොං කණ්ඩායම සමගය.
අනතුරුව කුසලාන තරග සදහා තරග වැදීමට ප්‍රථම වටයේ දස්කම් අනුව තේරී සිටින දකුණු අප්‍රිකාව සහ පකිස්තානය සමග තරග වදින්නට ශ්‍රී ලංකාවට සිදුවන අතර එහිදී දක්වන දස්කම් අනුව ශ්‍රී ලංකාව අද පස්වරුවේ පැවත්වෙන අවසාන තරගයට තේරීම තීරණය වනවා ඇත.කුසලාන තරග සදහා එම කණ්ඩායම් හතර තරග වදින අතරතුර පළිහ කුසලානය සදහා ඉන්දියාව,ඕසට්‍රේලියාව,නෙදර්ලන්තය සහ එංගලන්තය තරග වදින්නේය.තරගයේ ලකුණු විස්තරයන් සදහා පහත සබදතාවය හරහා ඔබට ප්‍රවේශවීමට හැකියාව ඇත.
http://www.cricket.com.hk/db/ARCHIVE/2012-13/OTHERS/HKG_LOCAL/HKSIXES2012-SCHEDULE.html

www.supirikrida.com

ලාංකික යෞවනයෝ කොරියාව ඉදිරියේ පසු බසිති


 රානයේ ක්‍රියාත්මක නව වන ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලියේ වර්ගීකරනය අනුව පැවත්වෙන තරග වටයේ සිය පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකාව දකුණු කොරියාව ඉදිරියේ වට 3 - 0 ක පරාජයක් අත් කර ගත්තේය.මූලික වටයේ සිය කාණ්ඩයෙන් තරග කිරීමට නියමිතව සිටි මොංගෝලියාව සහ කුවේට් කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් වීම නිසා එම කාණ්ඩයේ ඉතිරි වූ වත්මන් සූරයන් වන සත්කාරක ඉරානය සමග ද්වන්ධ සටනක යෙදෙන්නටත්,ඒ ප්‍රතිපල අනුව වර්ගී කරණ වටයේ දී නැවත ඉරානය සිටින කාණ්ඩයේ දකුණු කොරියාව සහ චීන තායිපේ කණ්ඩායම් සමග තරග වදින්නටත් ශ්‍රී ලංකාවට සිදු වී ඇත.


මේ අතර දකුණු කොරියාව අතර තරගයේදි ශ්‍රී ලංකාව ලකුණු 25 - 16, 25 -19 සහ 25 - 11 ක් ලෙස පරාජයට අත් වූ අතර මෙම කාණ්ඩයේ ඉතිරිව ඇති ඉතිරි තරගය වන චීන තායිපේ කණ්ඩායමට එරෙහි තරගයට පසුව ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීමේ තරග සදහා තරග වදින්නට සිදුවනු ඇත.

චීනය පැරද වූ ලංකාව අවසාන පූර්ව තරගයට

Chamari Atapattu
චමරි අතපත්තු
චීනයේ ගුවැන්සු හී පැවත්වෙන ආසියානු කුසලාන 20 / 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව චීනයට එරෙහිව කඩුලු නවයක පහසු ජයක් ලබමින් අවසාන පූර්ව තරග වටය සදහා සුදුසුකම් ලැබීමට සමත් විය.තාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම චීනයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර චීනය සිය පන්දු වාර 20 කඩුලු නවයක් දැවී ලකුණු 52 ලෙස අවසන් කළේය.චීනයට වඩා පළපුරුදු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම මෙන්ම විශේෂයෙන් පන්දු රුකීමේදී දක්වන දක්ෂතාවය පසුගිය තරගවලදීද කැපී පෙණුන අතර මෙම තරගයේදීද චීනයට කඩුලු දෙකක්ම අහිමි වූයේ දුවද්දී දැවී යාම හේතුවෙන්ය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකාරිණියන් පන්දු ඕවර් 5.3 දී තරගය ජය ගත්තේ පන්දු 20 කින් හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 35 ක් ලබමින්චමරි අතපත්තු දියත් කළ ඉණිම පෙරමුණේ තබා ගෙනය.ඇයට ඒ නිසාම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වීමේ භාග්‍යයද උදා වූවාය.‍
මේ වන විටත් බී කාණ්ඩයෙන් අවසාන පූර්ව තරග සදහා පිවිස සිටින ශ්‍රී ලංකාව, සිය පළමු වටයේ සිය කාණ්ඩයේ ප්‍රථම සහ දෙවන ස්ථාන තේරීම සදහා වන  බංගලාදේශයට එරෙහි තරගයට මුහුණ දෙයි.එසේම ඒ කාණ්ඩයෙන් අවසාන පූර්ව වටයට පිවිසෙන ඉන්දියාව සහ පකිස්තානය එම කාණ්ඩයේ ප්‍රථමයා සහ දෙවැනියා තීරණය කරන තරගයට මුහුණ දෙන අතර මෙම තරග දෙකේ ජය ගන්නා සහ පරාජය වන කණ්ඩායම් අනුව අවසාන පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා කවුරුන් ද යන්න තීරණය විමට නියමිතය.
www.supirikrida.com