Dec 29, 2013

එස්එස්සී පිතිකරුවන්ගේ උත්සාහයට ජයම්පති ජය ගෙන දෙයි

Charith Jayampathi celebrates a wicket
චරිත් ජයම්පති
ශ්‍රී ලංකාවේ පළමු පෙළ එක් දින ක්‍රිකට් සූරතාවයට හිමි කම් කියන්නට කොළඹ එස්එස්සී ක්‍රීඩා සමාජයට හැකි වුණා.ඔවුන් සතු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අඩුව අවසන් තරගයට පිවිසි එස්එස්සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඊයේ පළමු වරට පළමු පෙළ තරගයකට සහභාගි වූ වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාලයෙන් බිහි වූ ක්‍රීඩකයෙක් වන විශ්ව විජේරත්න තවත් තරුණ ක්‍රීඩකයෙක් වූ ධනුෂ්ක විජේරත්න සමග එක්ව ලබා දුන් සාර්ථක ආරම්භය එස්එස්සී කණ්ඩායමට තරගයේ අවසන් භාගයේ රිසි සේ ප්‍රහාර සදහා යන්නට ආශිර්වාදයක් වුණා.28 වන ඕවරය තෙක් කඩුල්ලේ රැදෙමින් කඩුලු දැවී යාම වළක්වමින් ක්‍රීඩා කළ විජේරත්න අවාසනාවන්ත ලෙස සිය පළමු පෙළ පළමු අර්ධ ශතකයට එක් ලකුණක් අඩුවෙන් දැවී ගිය අතර ඔහු විසින් ඉදිරියට තල්ලු කර දුන් එස්එස්සි ඉණිමට අවසාන භාගයේ ජීවය කැවූ චාමර කපුගෙදර පන්දු 57 දී ලකුණු 70 ක් ලබා ගත්තේ දැවැන්ත 6 පහර තුනක් ද එල්ල කරමින්.චාමරට සහය වූ තිළිණ කණ්ඩම්බි සහ ධම්මික ප්‍රසාද් ගේ ද සහය ඇතිව එස්එස්සී ඉණිමට පන්දු ඕවර් 50 නිමා වන විට කඩුලු 9 ට ලකුණු 263 ක් කරා යන්නට හැකි වුණා.
පිළිතුරු ඉණිමට පිවිසි එන්සීසි කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය පුරාම සාර්ථකව සිටි නිරෝෂන් දික්වැල්ල අසාර්ථක කරමින් ඇරඹි චරිත් ජයම්පති ගේ පන්දු යැවීමේ වික්‍රමය හමුවේ එන්සීසී ක්‍රීඩකයන් සිව් දෙනෙක්ටම නැවත ක්‍රීඩාගාරය බලා හැරී යාමට වුණා.තරගය නිමා වන විට ලකුණු 49 ට කඩුලු 4 ක් ලබා සිටි ජයම්පති එන්සිසි ලකුණු පූවරුව ලකුණු 44 ක් වන විට කඩුලු ප්‍රමාණය 3 ක් බවට පෙරළන්නට සමත් වුණා.මෙසේ එන්සීසි කඩුලු බිද වැටෙද්දී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් බිහි වූ සිය පළමු පළමු පෙළ තරගාවලියට එක් වුණු ලහිරු උදාර එන්සීසී ඉණිම ගොඩ ගන්නට විශාල වෙහෙසක් දරමින් පන්දු 66 දී ලකුණු 42 ක් ලබා ගත්තා.මෙම වගකීම් පෙරදැරි ඉණිම හේතුවෙන් වඩා විශ්වසනීය ලෙස ප්‍රහාර සදහා යොමු වෙමින් අගනා අර්ධ ශතකයක් (55)  ලබන්නට  ජෙහාන් මුබාරක් සමත් වුණා.නමුත් කඩුලු අතර දිවීමේදී දක්වන දුරුවලතාවය මත මුබාරක් දුවද්දී දැවී ගිය අතර පසුව පැමිණි ෆර්විස් මහරූෆ් සහ ලහිරු මධුශංක යම් උත්සාහයක් දැරුවද එය එස්එස්සී ජය වැළක්වීමට ප්‍රමාණවත් නොවුණු අතර තරගයේ 46 වන ඕවරයේ පළමු පන්දුවේදි එන්සීසී ඉණිම ලකුණු 224 ට නිමාවට පත් වු‍ණා.
තරගයේ ලකුණු විස්තරයට පිවිසීම සදහා පහත සබදතාවය තෙරපන්න
http://www.espncricinfo.com/premier-limited-over-tournament-2013-14/engine/match/687891.html

www.supirikrida.com

Dec 28, 2013

චන්දිමාල් සහ මෙණ්ඩිස් පරජයේ අවමානය කෙටි කර දෙති

Kusal Perera and Tillakaratne Dilshan put on 75 for the first wicket
ජයග්‍රහණය සදහා හේතු වූ ශක්තිමත් ඇරඹුම
ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති එක්දින තරග 5 ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නොසැළකිල්ල හේතුවෙන් 4 - 1 ක් ලෙස ජය ගැනීමට පකිස්තානයට උදා වූ අවස්ථාව වැළක් වූ දිනේෂ් චන්දිමාල් ගේ ඉවසිලිවන්ත පිතිහරඹය සහ අජන්ත මෙණ්ඩිස් ගේ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරාජය 3 - 2 ක් ලෙස අවම කර ගන්නට හැකි විය.කාසියේ වාසිය ලැබූ පකිස්තානු නායක මිස්බා උල් හක් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර මීට ප්‍රථම තරග වලට වඩා විශ්වාසයෙන් යුතුව පන්දු යැවූ සහ පන්දු රැකි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පකිස්තානු ප්‍රහාරය පන්දු ඕවර් 49.3 දී ලකුණු 232 ට සීමා කරන්නට හැකි වූ අතර එම ලකුණු ප්‍රමාණය පන්දු ඕවර් 49.4 දී කඩුලු 8 ක් පමණක් දැවී ඉක්මවා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු දෙකක ජයක් ලැබූහ.
පකිස්තානය වෙනුවෙන් යළිත් ලකුණු අතරට පැමිණි මොහොමඩ් හෆීස් ලකුණු 41 ක් ලැබූ අතර ප්‍රහාරාත්මක ඉණිමක් ක්‍රීඩා කළ අන්වර් අලී නොදැවී ලකුණු 41 ක් රැස් කළේ පන්දු 38 ක් පමණක් වැය කරමින්ය.වැඩිම ලකුණු ලාභියා වූ නායක මිස්බා උල්හක් ලකුණු 51 ක් රැස් කළ අතර පන්දු යැවීමෙන් ලකුණු 57 ට ලසිත් මාලිංග කඩුලු 4 ක් දවා ගත් අතර සුරංග ලක්මාල් කඩුලු 3 ක් ලබා ගැනීම සදහා ලබා දුන් ලකුණු සංඛ්‍යාව 42 කි.නායක ඇන්ජලෝ මැතිව්ස් සිය පන්දු ඕවර් 10 පකිස්තානු පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීම අතිශයින් දුෂ්කර කාර්යයක් කරමින් අවසන් කළේ ලකුණු 26 ක් ලබා දෙමින් එක් කඩුල්ලක්ද කබා ගනිමින්ය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉතා හොද ආරම්භයක් ලබා ගත් අතර කුසල් ජනිත් (47) සහ ඩිල්ෂාන් (45) පන්දු ඕවර් 12.2 ක් තුළ ලකුණු 75 ක සබදතාවයක් පැවත්වීමට සමත් වූහ.නමුත් ඉන් අනතුරුව කිසිවෙක් සාර්ථක වන බවක් නොපෙණුන අතර තරගය ක්‍රමයෙන් පකිස්තානයේ ග්‍රහණයට නතු වෙද්දී දිනේෂ් චන්දිමාල් හුදෙකලා අරගලයක නියැලිණ.නමුත් ලකුණු 195 ක් ව තිබියදී පිටියට පිවිස නව වන කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සමග නොදැවුණු ලකුණු 40 ක සබදතාවයක් පැවත් වූ අජන්ත මෙණ්ඩිස් නොදැවී ලකුණු 19 ක් ලැබුවේ පන්දු 14 ක් තුළයි.චන්දිමාල් එක් හතරේ පහරක් සහ හයේ පහරක් පමණක් වැය කළද නොදැවී එක් කළ ලකුණු 64 වෙනුවෙන් අනවශ්‍යය ලෙස පන්දු වැය කිරීමක් නොකළ අතර ඔහු හොදින් ස්ථාන ගත කරමින් ලබා ගත් කෙටි ලකුණු හේතුවෙන් ලකුණු 64 සදහා වැය වුණේ පන්දු 70 ක් පමණි.
ශ්‍රී ලංකාවට තරගාවලියේ සිව්වන පරාජයත් ලබා දෙන්නට උත්සාහ ගත පකිස්තානු පන්දු යවන්නන් අතරින් ප්‍රබලම පීඩනය එල්ල කළ ජුනයිඩ් ඛාන් 31 කඩුලු 3 ක් දවා ගත් අතර සයීඩ් අජ්මාල් ලකුණු 42 ට කඩුලු 2 ක් ලබා ගත්තේය.තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකාවෙන් ඈත් වෙමින් තිබූ ජයක් නැවත ඒ දෙසට හැරවීම සදහා ප්‍රශස්ත පිතිකරණයක යෙදි දිනේෂ් චන්දිමාල් නම් කළ අතර තරගාවලියේ වීරයා වූ මොහොමඩ් හෆීස් ය.
තරගාවලියේ ලකුණු විස්තරයට පහත සබදතාවය මත තෙරපීමෙන් ප්‍රවේශ විය හැකිය.
http://www.espncricinfo.com/pakistan-v-sri-lanka-2013-14/engine/current/match/657645.html

www.supirikrida.com

Dec 16, 2013

සුක්කානම යළිත් තිලකාට?


ශ්‍රී ලංකා දැල් පන්දුවේ වත්මන් කඩා වැටීමට හේතු දක්වද්දී එයට තිලකා ජිනදාස පුහුණුකාරීත්වයෙන් ඉවත් කිරීම ද හේතු වූ බව ක්‍රීඩා අමාත්‍යවරයා පවා කලෙක සිට පවසන කතාවක් වුව ද,කිසිදු බලධාරීත්වයක් එය නිවැරදි කිරීමට ඉදිරිපත් වූයේ නැත.ඒ නිසාම ශ්‍රී ලංකාව ලෝකයේ පමණක් නොව ආසියාවේද තමන්ට හිමි තත්ත්වයෙන් පහත වැටී සිටින අතර මේ කඩා වැටීම නැවත්වීම සදහා යළිත් තිලකා ජිනදාසගේ සේවයේ අවශ්‍යයතාවය දැණුනද,බොහෝ දැල්පන්දු නෝනලා තිලකා ඉවත් කිරීම සදහා තමන් දායකවීම පිළිබද ආත්මීය වශයෙන් ඇති වූ තුවාලය නැවත පාරා ගනිමින් තිලකා දෙස සෘජුව බැලිය නොහැකි ආකාරයේ ආත්මීය ලැජ්ජාවකින් දුක් විදිමින් සිටිති.
ඒ නිසාම තිලකා කැදවීම පසෙක ලා,ඔවුන් ජාතික පුහුණුකාරියට අයදුම්පත් කැදවීමට තීරණය කර තිබෙන අතර සුපිරික්‍රීඩා කරන ලද විමසීමකදී තිලකා කියා සිටියේ තමන් ද එම තනතුරට ඉල්ලුම් කරන බවය.මම සිංගප්පුරුවෙදි දැක්කා අපේ තත්ත්වය ගැන.ඒ ළමයි අදක්ෂයි කියලා කියන්න බැහැ.
ඒත් දක්ෂතාවය කියන්නෙ සාපේක්ෂ දෙයක්.ඒ නිසා අපි සෙස්සන්ට වඩා දක්ෂ වෙන්න ඕනි කොහොමද කියන එක ඒ දරුවන්ට කියා දෙන්න ඕනි.ඒ තත්ත්වයට ඒ දරුවො පත් කරන්න ඕනි.මට පුහුණුකාර තනතුර ලැබුණොත් ඒ සදහා ක්‍රියාත්මක කරන්න නියමිත මගේ සැළසුම් සදහා ලැබෙන පහසුකම් අනුවත් ප්‍රතිපලයේ ප්‍රමාණය තීරණය වේවි. තිලකා එසේ පවසන්නේ වුව ඇය තවමත් ඉල්ලුම්කාරියක් පමණි.ඇතැම් විට සම්මුඛ පරීක්ෂණයේදී තිලකාගේ ප්‍රවීන්තවයට ලකුණු නොලැබී වෙනත් අපෙක්ෂිකාවන් සදහා ලකුණු ලැබෙනාකාරයට සම්මුඛ පරීක්ෂණයේ ලකුණු ලැබෙනාකාරය සකස් කළ ජ්‍යෙෂ්ඨයන්ද තවමත් දැල් පන්දුවේ සිටින බැවින් තිලකා ට සම්මුඛ පරීක්ෂනයට මුහුණදීම පහසු නොවනු ඇත.
කෙසේ නමුත් ජ්‍යෙෂ්ට පුහුණුකාරියන් කිහිප දෙනෙක්ම තිලකාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව දැන ගන්නට ඇති අතර එසේ වන්නේනම් සහය පුහුණුකාරිණී තනතුර සදහා වන තරගය වඩා උණුසුම් වනු ඇත.
දැල් පන්දු සම්මේලනය පවසනාකාරයට සිය සුදුසුකම් සහිතව ඉල්ලුම් පත්‍රය සකස් කර දෙසැම්බර් 31 ට පෙර ජාතික සහ ජාතික සහය පුහුණුකාරී තනතුර සදහා ඉල්ලුම්පත් ලබා දිය යුතු අතර ශ්‍යාමා කුරේ (0714 186 521) හෝ සුධර්මා ජයවර්ධන (0718 227 646) ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට අවස්ථාව සළසා ඇත.
www.supirikrida.com

Dec 14, 2013

ලංකාව තැන රැක ගනියි

Kusal Perera celebrates his half-centuryඩුබායි හී ක්‍රියාත්මක පකිස්තාන - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ දෙවන 20 / 20 තරගය ලකුණු 24 කින් ජය ගත් ශ්‍රී ලංකාව තව දුරටත් ජගත් 20/20 පිටියේ අංක ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.ඒ අනුව තරග දෙකකින් යුත් තරගාවලියේ තීරණය 1 - 1 ක් බවට පත් වුණා.පළමු තරගයේදී මෙන්ම කාසියේ වාසිය ලත් මොහොමඩ් හ‍ෆීස් පළමුව සිය කණ්ඩායම පන්දු රැකීමට පිටියට රැගෙන ආ යුතු බව තීරණය කළා.නමුත් පළමු තරගයේ මෙන් අසාර්ථක නොවුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පකිස්තානය කර කියා ගත නොහැකි තත්ත්වයට පත් කළා. 


කුසල් ජනිත් පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ලට එකතු කළ ලකුණු සම්බන්ධය ලකුණු 100 ක් වූ අතර 12 වන ඕවරයේ අවසාන පන්දුවට ඩිල්ෂාන් දැවී යන විට ඔහු ඉදිරියේ පන්දු 33 කින් ගලා ආ ලකුණු 48 ක් සදහන්ව තිබුණා.කුසල් දුවද්දී දැවී ගියේ තරගයේ අවසාන පන්දුවට වූ අතර ඒ වන විට ඔහුගේ ලකුණු ලබා ගැනීම පන්දු 59 කින් ලැබුණු ලකුණු 84 ක් ලෙස සදහන් වුණා.සිය පළමු 20/20 තරගයේදීම පිතිකරු නාමාවලියේ උසස්වීමක් ලැබූ සීකුගේ ප්‍රසන්න පන්දු 8 ට මුහුණ දී ලකුණු 21 ක් ලබා ගත්තා.ඩිල්ෂාන්ගේ ඉවත්ව යාමෙන් පසු පිටියට එක් වූ සංගක්කාර,කුසල් සමග එක් ව වඩාත් පහසුවෙන් පහර දෙන්නට වුණා.14 වන ඕවරයේ අවසාන පන්දුවේදි ඇරඹි මෙම සබදතාවය අවසාන ඹ්වරයේ අවසාන පන්දුවට පැමිණෙද්දී පන්දු ඹ්වර් 5.1 ක් තුළ ලකුණු 78 ක් එක් කර තිබුණා.ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කළ සංගක්කාර පන්දු 21 තුළ ලකුණු 44 ක් ලබා නොදැවී සිටියා.
පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තානය වෙනුවෙන් වගකීම උර මතට ගත් ආරම්භක පිතිකරු ෂාර්ජිල් ඛාන් පන්දු 25 ක් තුළ ලකුණු 50 ක් රැස් කළ අතර  සහීඩ් අෆ්රිඩී පන්දු 13 දී ලකුණු 28 ක් ද,සොහේල් තන්වීර් පන්දු 26 දී ලකුණු 41 ක් ද ලබා ඛාන් ගේ උත්සාහය යහපත් ප්‍රතිපලයක් බවට පත් කරන්නට උත්සාහ දැරුවද ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ රකින්නන් ඔවුන් පන්දු ඹ්වර් 19.2 දී ලකුණු 187 ට සීමා කළා.අපූරු ප්‍රහාරයක් දියත් කරමින් ශ්‍රී ලංකා ඉණිම පුරාම ජීව ගුණය රැද වූ කුසල් ජනිත් පෙරේරා තරගයේ වීරයා බවට පත් වෙද්දී පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් උදුරා ගත් සහීඩ් අෆ්රිඩී තරග දෙකේම දැක් වූ දක්ෂතා සැළකිල්ලට ගෙන තරගාවලියේ වීරයා ලෙස නම් කළා.
http://www.espncricinfo.com/pakistan-v-sri-lanka-2013-14/engine/match/657635.html සබදතාවය හරහා තරගයේ නිල ලකුණු පූවරුවට පිවිසීමට හැකියාව ඇත.

Dec 13, 2013

ඇමතිගේ හුළං ගෙන දන්දෙණිය විහිළු පුම්බයි

සුරාජ් දන්දෙණිය වර්ථමානයේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා වෙයි.ඒ සභාපතිකම ඔහුට ලැබුණේ ඔහු ක්‍රීඩා කර තිබුණු නිසා නොවන අතර ක්‍රීඩා ඇමතිවරයාගේ ආශිර්වාදය ඇතිවය.                    
Our players need to give first priority to badminton from the time they are at the junior level but with the O’ Level and A’ Level exams they can’t do that. If you look at players from China, India and Malaysia they are playing six hours of badminton at a professional level. Sri Lankan players are focused only on playing the National and Junior National championships. Foreign competitions are just like tours for them. - Suraj Dandeniya (Sri Lanka Badminton  Association President)එහිදී ද ගැටළු පැන නැගිණ.අමාත්‍යවරයාගේ ආශිර්වාදය තිබුණාට ඔහුට එදිරිව ආ කණ්ඩායමක්ද විය.එහි ජාතික සූරයෝ පමණක් නොව ජගත් තලයෙන් රටට කීර්තිය ගෙනාවෝද වූහ.නමුත් ක්‍රීඩා පණතේ යම් යම් වගන්ති සිය අභිමතය පරිදි අර්ථ ගන්වා ගත් දන්දෙණියවාදි බවට පත්ව සිටි හිටපු පරිපාලනය එම නාම යෝජනා පවා ප්‍රතික්ෂේප කරමින්  දන්දෙනිය එදිරිවාදීන් ඉදිරිපත් වීම පවා වළක්වන්නට උත්සාහ දැරූ අතර ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මර නින්දේ පසු වීම හේතුවෙන් මේ වන විට ප්‍රශ්නය ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය දක්වා ගොස් මේ වන විට එම සංගමය ප්‍රශ්නය පිළිබදව සොයා බැලීමට අනු කමිටුවක් ද පත් කර අවසන්ය.
ඒ ආකාරයට ක්‍රීඩා පරිපාලනයට සම්ප්‍රාප්ත දන්දෙණිය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඔලිම්පික් කමිටුවේ බලය වෙනස් කිරීමේ උවමනාව නියෝජනය කරන පිළේ භාණ්ඩාගාරිකවරයා ද වන්නේය.නමුත් අපේ සෙල්ලම් අපිට ඕන විදිහට තියෙන්න ඕනි කියල හිතන්නට යාමේ හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රීඩාවටද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තර්ජනාංගුලිය එසැවීමෙන් පසුව ඔලිම්පික් නිලවරණය ක්‍රීඩා පණතේ සංශෝධනයෙන් ඉක්බිති පැවත්වීමට ජාත්‍යන්තරය ඉදිරියේ පොරොන්දු වීමට අමාත්‍යවරයාට සිදු විය.එසේ නොවන්නේනම් වන්නේ ජාත්‍යන්තර වශයෙන් රටේ ක්‍රීඩාව තහනමකට ලක් වූ පසු ජාතික ධනය ද ඉතිරි කර ගෙන දන්දෙණිය වැනි චරිත කිහිපයක් අල්ලාගෙන දාම් ඇදීම,චක්ගුඩු,තාච්චි වැනි ක්‍රීඩා කිහිපයක් කර ගෙන අපේ කම ගැන මෝඩ ආස්වාදයක් ලබන්නටය.අවශ්‍යයනම් වෙලේ ගොයම් කැපූ කාලයට සම්බෝල කැඩීම වැනි ක්‍රීඩාවක් විශාල ඉඩකඩක පවත්වමින් ජාතික තරගාවලියක් පවත්වන්නට වුව කම් නැත.එහි නීති සැකසීමට ද ඊටම ගැලපෙන නීතිඥයෙක් මේ වන විටත් අමාත්‍යවරයාට සිටින නිසා ගැටළුවක් ඇති නොවනු ඇත.
කෙසේ හෝ අහම්බෙන් ඇමති අත්සනින් ක්‍රීඩා පරිපාලකයෙක් වන දන්දෙණිය මේ වන විට කාටත් හොරෙන් ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩා පරිපාලකයෙක්ට අදින්නට පටන් ගෙන ඇත.මේ ආකාරයට සිංහ හම් පොරවා ගත්තද කෑ ගසන විට හූ හඩ නැගෙන නිසා සතා හදුනා ගන්නට අපහසු නැත.එසේ දන්දෙණියගේ හූ හඩ මෙන්ම හූ හඩ දී සිනාසෙන්නට සිතෙන අන්දමේ ගොං පාට් තොග පිටින් එළියට දැමීමක් මේ කාලයේ දන්දෙණිය විසින් කර ගෙන යන්නේය.
පළමු වැන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලියන ලිපිය ය.ඒ ලිපියේ එක් තැනෙක ඔහු සදහන් කරන්නේ ඔහු ද හේමසිරි ප්‍රනාන්දු හා සම බවක්ය.ඇමති අත්සනෙන් සභාපති පුටුවකට එන දන්දෙණිය ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ඇගයීම් ලද ක්‍රීඩකයෙක්ව සිට ක්‍රීඩා පරිපාලනයට පිවිසි හේමසිරි හා සම වන්නේ කෙසේද?පරිපාලන නිලධාරියෙක් සිට මේ රටේ මුදල් ගැවසෙන ආයතන කිහිපයකම ප්‍රධානියාව සිටි හේමසිරිට මුල්‍ය චෝදනා නැත.සුරාජ්  එසේද යන්න ලෝක කුසලාන ක්‍රිකට් වල දැමූ සෙල්ලම් වල සිටම අපි දන්නෙමු.වර්ථමානයේද තැපැල් අමාත්‍යංශයේ ලේකම් ධූරය දරන හේමසිරි ප්‍රනාන්දු හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ය.වර්ථමාන ලේකම් පදවියට පත්වෙන තෙක් හේමසිරි,ජනාධිපතිවරයගේ ක්‍රීඩා සම්බන්ධ උපදේශකය.මේ හා කුමන සමානකමක් සුරාජ් සතුව ඇද්දැයි සිතන විට සුරාජ් හේමසිරිට වචනයකින් සමානකමක් ඇතැයි පැවසීම හේමසිරිට කරන අගෞරවයක් මෙන්ම සාමාන්‍යයෙන් දෙදෙනා ගැනම දන්නා අයෙක්ටනම් එය හොදින් සිනා සිය හැකි විහිළුවක්ය.
එසේම පසුගිය දිනෙක දන්දෙණිය අපූරු කතාවක් ද කීවේය.ඒ බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය කියා සංගමයක් තිබෙන බව ඔහු නොදන්නා බවය.වසර 40 ක් පැරණි සංගමයක් එසේ නොදන්නවා කියන දන්දෙනිය බස්නාහිර පළාතේම පදිංචිව සිටින්නෙකු වීම මෙන්ම ඔහු සභාපතිත්වය දරණ සංගමයේ නිල වෙබ් අඩවියේ එම තරගාවලිය පිළිබදව සදහන්ව තිබීමත් ඔහු නොදැන සිටීම විහිළුවක් නොවන්නේනම් එය අනුකම්පාවට කාරණයක්ය.නමුත් දන්දෙණියගේ එම විහිළුවට පිළිතුරු දෙන බස්නාහිර සභාපතිවරයා ඔහුට බස්නාහිර පළාතේ පදිංචිකරුවෙක් ලෙස සිය සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට ආරාධනා කර සිටින්නේ ය.එය දන්දෙණිය ලැජ්ජාවට පත් කරන්නට කරන යෝජනාවක්නම් දන්දෙණිය මේ තාක් කල් කළ කී දේ සිතන විට ඔහුට ලැජ්ජාවක් තිබෙන බව සිතීමත් විහිළුවක් පමණක් බව බස්නාහිර සභාපතිවරයා නොදැන සිටීම කණගාටුදායකය.
මේ සියල්ලට හේතුව ක්‍රීඩා ඇමතිවරයා තිරිංග නොමැති වාහනයක් බවට පත්වීමය.ඔහු අමාත්‍යධූරයට පත් වූ පසු පරිපාලන තිරිංග සියල්ල බුරුල් කර ගත්තේ එය වේගයෙන් සිය ගමණ යාමට පහසුවක් වේ යැයි සිතා නමුත් දැන් එම වේගය මරු කැදවන තත්ත්වයට පත්ව ඇත.වේදනාව ඒ වරදින් මරණාසන්නව ඇත්තේ ක්‍රීඩාව වීමය.ඔහු ක්‍රීඩා අමාත්‍යංශයේ මෙන්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේද පුටු වලට සිය හිතවතුන් කැදවා ගෙන ආවේ වැඩේ පහසු කර ගන්නටය.ඒ සියල්ලෝ මහින්දානන්ද සරණං ගච්චාමි වූ බැවින් කිසිවෙක් කිසිවකට විරුද්ධ නොවිණ.ඇතැමෙක් ඇමතිකම සිය තනතුරට ඈදා හිසට තබා රැස් වළලුද පැළද ගෙන වහසිබස් දොඩන තත්ත්වයට පත් වූවෝය.
අපට ක්‍රීඩා ඇමතිවරයාගේ පෞද්ගලික ජීවිත ප්‍රශ්නනම් අදාළ නැත.ඒ සදාචාරය පවත්වාගෙන යාමේ සීමා ඔහුට අයත් කාර්යයක්ය.නමුත් ඔහු රටේ ක්‍රීඩාවට කරන හානිය මෙන්ම ඔහු ගේ පෞද්ගලික ජීවිතයේ බිද වැටීම් පදනම් කරමින් මතු වෙන අයථා මුදල් ඉපැයීම් පිළිබද වාර්තා නම් රටට සහ ජනතාවට බලපාන බැවින් එය ඔහුගේ බිත්ති හතරට අදාළ කාරනාවක් ලෙස සිතා බැහැර කිරීමට නොහැකිය.මේ සියල්ල තුළ පැහැදිළි වන්නේ ඔහු කුමන හෝ අඩුවක් වසා ගන්නට උත්සාහ දරණ බවය.ආර්ථික වශයෙන් සිදුවන වැරදි ගණු-දෙණු පිළිබද වාර්ථා මෙන්ම ඔහු ක්‍රීඩාවේ පුද්ගලයන් ළංකර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම සළකා බලද්දී ද මේ බව තහවුරු කර ගැනීමට හැකිය.
ඔහු හේමසිරි වැනි චරිත ප්‍රතික්ෂේප කරන්නේය.ආසියානු දැල්පන්දු තරගාවලිය මොහොතේ සිය දරුවාගේ අධ්‍යාපනික කටයුතු ද නවත්වා සිය සැමියාගේ පාසල් සගයෙක් ලෙස අමාත්‍යවරයාගේ ඉල්ලීමට දැල්පන්දු අතුරු කමිටුවේ මුල් පුටුව භාර ගත් තමාරා ධර්මකීර්ති වෙනුවෙන් දක්වන සැළකිල්ලද මීට හොද උදාහරණය.බැංකු කේෂ්ත්‍රයේ පිළිගත චරිතයක් වන තමාරාට එසේ සළකන අමාත්‍යවරයා විදේශ රැකියා ඒජන්තවරයෙක් ලෙස මෙන්ම ලෝක කුසලාන තරගාවලියේද පළුදු ඇති කර ගත් නමක් ඇති සුරාජ් දන්දෙණිය සමීප හිතවතෙක් බවට පත් කර ගන්නේය.
ක්‍රීඩාවේදී මුළු ලෝකයම ක්‍රියාත්මක වන්නේ එක නිතියක් යටතේය.වොලිබෝල් පිටියේ දිග පළල රටින් රටට වෙනස් නොවන අයුරින්ම ඒ ක්‍රීඩාවල පරිපාලන ව්‍යහුය ද රටින් රටට වෙනස් වීමට ඉඩ නැත.අපි නිතැතින් ලෝක සම්මේලනවල සාමාජිකයන් ලෙස එම නීති-රීතින්ට යටත්ව කටයුතු කළ යුතුය.ඒ බව නොදැන කටයුතු කිරීම නිසා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයෙන් අපිට නොයෙකුත් බාධා එල්ල විය.මේ බව දැන දැනම අපි යළිත් අපි ජාත්‍යන්තරය සමග ඔට්ටු කරන්නට යාම භයානකය.ලෝකය ඉදිරියේ හුදෙකලා වී මේ ගමන යා නොහැකි බව කියා දෙන්නට හැකි අයෙක් ක්‍රීඩා අමාත්‍යවරයා සමීපයේ නොමැති වීම ඛේදයකි.ඒ වෙනුවට අමාත්‍යවරයාගේ සමීපකම පමණක් ඇතිව මුල් පුටුවලට පැමිණ තිබෙන සුරාජ් වැන්නන් ක්‍රීඩාවේ තාක්ෂණය සහ ජාත්‍යන්තර හැසිරීම් සහ පිළිවෙත් නොදැන අමාත්‍යවරයා චූන් කරමින් සිටියි.මේ නිසා එවැනි දර්ශණවලින් පිරුණු කොමඩියක් බවට පත් කර ඇත.එහෙත මේ කොමඩියේ නිමාව සටහන් කරනු ඇත්තේ දුංඛාන්තයකින්ය.ඒ නිසා පිටපත වෙනස් කිරීමට අවශ්‍යය වන්නේය.එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා අධ්‍යක්ෂවරයා ලෙස මෙහි චරිත මාරු කර ඒවාට සුදුසු පුද්ගලයන් රංගනයට යොදන්නට අප්‍රමාදව ක්‍රියා කළ යුතුය.එසේ නොවුණොත් අනුන්ට දිග් කරන ඇගිළි හකුලාගෙන සැබෑ බොල් පිලිම දැක ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ඔහු කියන දේ ක්‍රීඩාව විය යුතු බව සිතන සම්ප්‍රදායික දේශපාලන ඇම්බැට්ටයන් ලෙස ක්‍රියා කරන ඔහු ඇතුළු සියළු නිලධාරීන්ට තමන්ගේ නිවසේ ඇති කැඩපතේ උදව් ලබා ගැනීමට හැකිය.
www.supirikrida.com

ලංකාවෙ එකට තට්ටු කරන්නට පකිස්තානය උත්සාහ දරයි

Shahid Afridi after hitting the winning six for Pakistanඩුබායි හී පැවත්වෙන ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති පළමු 20/20 තරගය සහීඩ් අෆ්රිඩී විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් පකිස්තානයට ජය ගැනීමට හැකි වූ නිසා 20/20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව සිව්වන ස්ථානයේ සිටි පකිස්තානය නවතම ශ්‍රේණිගත කිරීම් වලදී පියවරක් ඉදිරියට පැමිණ අංක 3 ස්ථානයට උසස් විය.අද දෙවන තරගයද පකිස්තානය ජය ගතහොත් දැනට අංක එකට සිටින ශ්‍රී ලංකාවට එම ස්ථානය අහිමි වීමේ අවදානමට මුහුණ දෙන්නට සිදුවන අතර පකිස්තානයට අංක එක සදහා ප්‍රවේශ විය හැකි මාර්ගය සකස් වෙනවා ඇත.
පැවති පළමු 20/20 තරගයේදී  කාසියේ වාසිය ලැබූ පකිස්තාන නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ට ලකුණු 145 ක් ලබා ගන්නට සමත් විය.මෑත කාලයේ දිගින් දිගටම සාර්ථක වූ ඩිල්ෂාන් ලකුණු 7 ට දැවී ගිය අතර,14 වන පන්දු ඕවරයේ සිව්වන කඩුල්ල ලෙස සංගක්කාර දැවී යන විට ලකුණු පූවරුවේ සටහන් වූයේ ලකුණු 84 ක් පමණි.අනතුරුව පිටියේ එක් වූ මැතිව්ස් සහ තිරිමාන්න දෙදෙනා පස්වන කඩුල්ලට ලකුණු 58 ක් පන්දු 34 ක් තුළ එක් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් අගනා ලකුණු 50 ක් රැස් කරන්නට යෙදිණ.
පිලිතුරු ඉණිමට පිවිසි පකිස්තානය වෙනුවෙන් දෙවන කඩුල්ලට නායක මොහොමඩ් හෆීස් සහ ෂාර්ජීල් ඛාන් එක්ව ලකුණු 57 ක සබදතාවයක් පැවත් වුව ද,15 වන ඕවරයේදී පකිස්තානයට පස්වන කඩුල්ලත් අහිමිව ගොස් තිබිණ.අනතුරුව පිටියට පිවිසි සහීඩ් අෆ්රිඩී සුපුරුදු අනුකම්පා විරහිත ප්‍රහාරයට පිවිසෙමින් නියමිත පන්දු ඕවර් 20 නිමා වීමට තවත් පන්දු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය පකිස්තානය ගෙන දුන්නේය.අ‍ේරිඩී පන්දු 20 කින් ලකුණු 39 ක් උදුරා ගෙන තිබුණේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගය.ඒ නිසාම ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමි විය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට පිවිසය හැකි සබදතාවයය. http://www.espncricinfo.com/pakistan-v-sri-lanka-2013-14/engine/match/657633.html
www.supirikrida.com

Dec 11, 2013

අංක එක සහ අංක හතර ගැටෙති

Pak vs Sri Lank Series 2013ඩුබායි හී පැවත්වෙන ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් අද එම තරගාවලියට අදාළ ප්‍රථම 20/20 තරගය පැවත්වීමට නියමිතය.වර්තමානයේ ලොව 20/20 ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම් වල දී අංක එකට සිටින කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාව වන අතර අංක හතරට සිටින කණ්ඩායම පකිස්තානය ය.නිරන්තරයෙන්ම හොද සටනක් පවතින තරග බවට පත් වෙන ශ්‍රී ලංකා පකිස්තාන තරග ඉතිහාසය අනුව යමින් ශ්‍රී ලංකාවේ අංන එකේ ගෞරවයට හානි කරන්නට පකිස්තානය උත්සාහ දරනාකාරයෙන්ම ශ්‍රී ලංකාවද සිය තත්ත්වය රැක ගැනීමට උපරිමය කරනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමට අත්දැකීම් බහුල මහේල ජයවර්ධනගේ සහය මෙම තරගාවලියේදී නොලැබෙන අතර නමුත් පසුගිය තරග වලදී ඉදිරියට පැමිණි තරුණ ක්‍රීඩකයන් අතර සිටින කුසල් ජනිත් කල්පනාකාරී වුවහොත් එය එතරම්ම ගැටළුවක් නොවනු ඇත.කල්පනාකාරීත්වය මෙන්ම වේගය මනාව පාලනය කර ගනිමින් සිටින ඩිල්ෂාන් මෙම තරගාවලියේදි කෙතරම් දුරට සාර්ථක වේද යන්න ශ්‍රී ලංකාවට තීරණාත්මක සාධකයක් වනු ඇති අතර කුමාර සංගක්කාරගේ දායකත්වය අතිශයින් වැදගත් වනු ඇත.ලසිත් මාලිංග මෙන්ම නිවන් කුලසේකර ද පන්දු යැවීමේ අංශයේදී වැදගත් භූමිකාවන් නිරූපනය කරනු ඇති අතර,සිය පළමු 20/20 තරගයේදී සාර්ථක වූ රමිත් රඹුක්වැල්ල අද ශරීර සෞඛ්‍ය මත තරග වැදීම හෝ නොවැදීම  සිදු කරනු ඇති අතර ඔහු තරගයට සහභාගි නොවන්නේනම් සීක්ගේ ප්‍රසන්න එම ඉඩ වසා දැමීමට හැකි යහපත් මට්ටක සිටින්නේය.
www.supirikrida.com

සූරතා ද්විත්වයම ඔටර්ස් සතු වේ

Displaying A DIVISION  MEN AND WOMAN  CHAMPIONS  AUTUS CLUB.JPGස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන්නට යෙදුණ 40 වැනි බස්නාහිර පළාත් කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේ ඒ කොටසේ සූරතා ද්විත්වයම දිනා ගන්නට ඔටර්ස් කණ්ඩායම සමත් වුණා.ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ පැවති මෙම තරගාවලිය ජාතික බැඩ්මින්ටන් සංගමයේ කෙණහිලිකම් මැද ඉතා සාර්ථකව නිමා කරන්නට එයට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ සහයෝගය ඉතා ඉහළ මට්ටමකින් පැවතුණා.
ජාතික බැඩ්මින්ටන් සංගමය සිය තරගාවලි කාල සටහනේ වසර මුල සිට ඇතුළත් කර තිබෙන මෙම තරගාවලිය සිය සංගමයට අදාළ තරගාවලියක් නොවන බව කියමින් ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට හේතුවක්.ක්‍රීඩා අමාත්‍යංශයේ ආශිර්වාදය ඇතිව පැමිණි  අයෙක් මිස ක්‍රීඩා කළ අයෙක් නොවන සුරාජ් දන්දෙණියට මෙවැනි ආකාරයට හැසිරෙන්නට ආශිර්වාද කරමින් ජාත්‍යන්තර ලේබල් ගසා ගත් පුද්ගලයන් කටයුතු කිරීම කණගාටුවට කරුණක් වන අතර ජනාධිපතිවරයා සිය රජය විවිධ පක්ෂවලට සම්බන්ධ පුද්ගලයන් ගැට ගසා ගෙන සියල්ලම දායක කරගෙන ඉදිරියට කැදවා ගෙන යන්නට වෙර දරන වටපිටාවක සුරාජ් දන්දෙණිය වැනි චරිත වලට මෙසේ හැසිරෙන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශයේ ආශිර්වාදය හිමි වීම රජයේ දේශපාලනික අනන්‍යතාවයද විනාශ කර දැමීමකි.
ක්‍රීඩා නොකළ පුද්ගලයෙක්ට ක්‍රීඩාව වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරයේ හැගීම කියා දී ඔහුව ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් මෙහෙයවිය යුතු වුව ද,ක්‍රීඩාවට සම්බන්ධතා ඇති අය ද සිය පැවත්ම සදහා හේත්තු වී සභාපතිවරයාගේ ඔඩොක්කුවට වැටුණු සර්ප පැටව්න් සේ කටයුතු කිරීම ක්‍රීඩාවේ අවාසනාවක් වන අතර මාධ්‍ය කිහිපයකට ජාත්‍යන්තර චරිතයක් ලෙස පාරම්බාන තරගාවලි කමිටු සභාපතිවරයා බස්නාහිර පළාත් තරගාවලිය සිය සංගමයට අදාළ තරගාවලියක් බව ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර චරිතයක් ලෙස නොව අතිශයින් ප්‍රාථමික ග්‍රෝත්‍රික චරිතයක් ලෙස හැසිරෙමින්ය.
http://www.srilankabadminton.lk/pdf/Tournament_Calender_2013_SLBA.pdf නම් ජාතික බැඩිමින්ටන් සංගමයේ නිල වෙබ් අඩවියේ තරගාවලි කාල සටහන පැහැදිළිවම ඒ බව පෙන්වා දෙද්දී ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තා එසේ තරගාවලියක් නොමැති බව ප්‍රකාශ කිරීම ජාත්‍යන්තර නොව අතිශයින් ප්‍රාථමික විලි ලැජ්ජා නැති කම ප්‍රකට කිරීමක්ය.ජාතික තරගාවලියක් පැවත්වීමට නොහැකි තරමේ දුෂ්කරතා ඉදිරියේ බැඩ්මින්ටන් අසරණ තත්ත්වයට වැටෙන අවස්ථාවලත් බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සිය තරගාවලිය පවත්වාගෙන ගිය අතර 40 වන වරට එය සංවිධානය කිරීමට හැකි වන සේ වෙළද අනුග්‍රහ දිනා ගැනීමටද සමත් වී තිබිණ.FKC1 ශාකසාර ශක්තිජනක අතිරේක ආහාර නිෂ්පාදනායතනය ප්‍රධාන කොට මැලිබන් බිස්කට් සහ හමීඩියා හී අඩිඩාස් සම අනුග්‍රාහකත්වය දැරූ මෙම තරගාවලිය ක්‍රීඩාවට අවශ්‍යය තරගාවලියක් ලෙස හදුනා ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය පවත්වා ගෙන යාම වෙනුවෙන් දැක් වූ සහයෝගය ඉතා ඉහළින් අගය කළ යුතුය.
සිය සහෝදර ක්‍රීඩකයන්ගේ තරග විනිශ්චය කිරීමට දායක වීම මෙන්ම කිසිදු පාක්ෂික බවකින් තොරව කටයුතු කිරීම මෙන්ම එකිනෙකා කෙරෙහි වූ අතිශය වැදගත් විශ්වාසයකින් සහ ක්‍රීඩකත්වයකින් තමන් සම්බන්ධයෙන් සහෝදර ක්‍රීඩකයන් ලබා දෙන තීරණ හිස නමා පිළිගැනීම පිළිබදව ද ක්‍රීඩකයන් නොමද ගෞරවයට ලක්විය යුතුය.බැඩ්මින්ටන් නිලධාරීන් වසර ගණනක් ජාතික තලයේ ක්‍රීඩකයන් නිර්මාණය කරන්නට දායක වු වැදගත්ම සහ දීර්ඝකාලීනව පවත්වා ගෙන ආ තරගාවලියක් පිළිබදව කටයුතු කිරීමේදී සිය කොන්ද බිද ගෙන නිවට නියාලුව ක්‍රියා කරද්දී,ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙසේ කටයුතු කිරීම ඉතා ඉහළින් අගය කළ යුතුය.
ක්‍රීඩා සංගම් 43 හරහා ක්‍රීඩක කණ්ඩායම් 50 ක් සහ ක්‍රීඩිකා කණ්ඩායම් 17 ක් තරගාවලිය නියෝජනය කළ අතර ක්‍රීඩක තරග කාණ්ඩ හතරක් යටතේ මෙන්ම ක්‍රීඩිකා තරග කාණ්ඩ දෙකක් ඔස්සේ ක්‍රියාත්මක විය.ජාතික මට්ටමෙන් වර්තමානයේ ඉදිරියෙන් සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් මෙම තරගාවලිය නියෝජනය කළ අතර පහත දැක්වෙන්නේ එම තරගාවලියේ නිල ප්‍රතිපල සටහනය.


Division                           Champions                          Runner Up                                            Results

Division D Men's         Royal College - Panadura        Carey College - Colombo                           3/1

Division C Women      Aponso Badminton Club 'B'     Mighty Shuttlers 'B'                                     2/0

Division C Mens          Millenium IT Sports Club         Suns of Victoria Sports Academy & Club    3/1

Division B Mens          Seylan Sports Club                   Bankhill Sports Club 'B'                              3/2

Division A Ladies         Otters Aquatic Club                 Sri Lanka Air Force                                    2/0

Division A Mens           Otters Aquatic Club                Bankhill Sports Club 'A'                              3/1
තරගාවලියේ ජය සංඛේත ප්‍රදානයට FKC1 වෙනුවෙන් පෝෂනවේදී ජාවෙඩ් අබ්දුල්ලා, හමිඩියාස් ආයතනයේ අඩිඩාස් අලෙවි අධ්‍යක්ෂ හරූස් රසාද් සහ සීමාසිහති එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් ඇතුළු සම්භාවනීයන් පිරිසක් සහභාගි වූ අතර තරගාවලියේ මාධය අන්‍රග්‍රාහකත්වය සීමාසිහත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ සුපිරික්‍රීඩා වෙබ් අඩවිය විසින් දරන්නට යෙදිණ
www.supirikrida.com

Dec 8, 2013

ගුවණත් සමග එක් වූ සංගප්පූරුව උගන්ඩාවේ සූරතාවය පැහැර ගනියි

ගුවන් ගමන් ප්‍රමාදය නිසා තරගාවලියේ එක් තරගයකට සහභාගි වීමට අවස්ථාව නොලද උගන්ඩාවට, සිංගප්පූරුවේ පැවති නේෂන් කුසලාන දැල් පන්දු තරගාවලිය නිමා කරමින් පැවති තරගයේදී සිංගප්පූරුවට එරෙහිව ලකුණු 52 - 29 ක විශිෂ්ඨ ජයක් ලැබූවද අනු සූරතාවයෙන් සෑහෙන්නට සිදු වුණා.සිය ආරම්භක තරගයට සහභාගි වන්නට අවස්ථාව නොලැබීම නිසා තරග නොවැදීම පරාජයක් උරුම කර ගන්නට සිදු වූ උගන්ඩාව,පිටියට බට පසු අපරාජිතව සෑම තරගයකදීම අපරාජිතව සිටින්නට සමත් වූ අතර පැපුවා නිව්ගිනියා තරගය ලකුණු සම තත්ත්වයෙන් නිමා කරන්නට සමත් වුණා.
තරගාවලියේ උගන්ඩාවට පමණක් පරාජය වූ සිංගප්පූරුව නේෂන් කුසලානයේ හිමිකාරීත්වයට හිමි කම් කී අතර තරගාවලියේ තෙවන ස්ථානය සිංගප්පූරුවට පරාජය වූ සහ උගන්ඩාව සමග තරගය ජය පරාජයෙන් තොරව නිමා කළ පැපුවා නිව් ගිනියා කණ්ඩායමට හිමි වුණා.පැපුවා නිව්ගිනියා කණ්ඩායම තරගාවලියට සහභාගි වූ ජගත් තල‍යේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම වූ අතර ඔවුන් සත්කාරක සිංගප්පූරුවට එරෙහිව ලකුණු 43 - 44 ක් ලෙස පරාජය ලැබීම කුකුසට භාජනය වු අනපේක්ෂිත පරාජයක් ලෙස බොහෝ දෙනා තුළ විමතිය ඇති කළා.එම පරාජය නොවන්නට තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස සූරතාවය සදහා වැඩිම ඉඩක් පැපුවා නිව් ගිනියා තිබූ කණ්ඩායමට තිබුණා.
ඇමෙරිකාව සහ අයර්ලන්තය පරාජය කරමින් දැක් වූ දක්ෂතාවය නිසා තරගාවලියේ සිව්වන ස්ථානයට පත් වන්නට ශ්‍රී ලංකාවට හැකි වූ අතර පස්වන ස්ථානය සහ හය වන ස්ථාන සදහා පිළිවෙලින් අයර්ලන්තය සහ ඇමෙරිකාව නම් වුණා.
තරගාවලියට ජගත් ශ්‍රේණිගත කිරීම් හී ස්ථානයක් නැති නවක කණ්ඩායමක් ලෙස සහභාගි වූ උගන්ඩාව අනු සූරයන් ලෙස තේරී පත්වීම හරහා ඔවුන් සමස්ත දැල්පන්දු ලෝකයේම අවධානය දිනා ගත් අතර ගුවන් ගමන් ප්‍රමාදය නිසා ඇමෙරිකාවට නිතරග ජයක් හිමි නොවන්නට ඔවුන්ට අවිවාදිතවම මෙම තරගාවලියේ සූරියන් වීමට අවස්ථාව තිබුණා.කළු අප්‍රිකාවේ දැල්පන්දු රැජිණන් ලෙස හැදින්වෙන මලාවි කණ්ඩායමේ සෙවනැල්ලක් සේ දිලෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරන උගන්ඩාව,අවසාන වරට ආසියාව ජය ගන්නට ශ්‍රී ලංකාව පාඩම් උගත් මලාවි තරගාවලිය පිලිබදව සහ එයින් ලබා ගත් ශක්තිය හා ජවය පිළිබදව ශ්‍රි ලංකාව අගත් පාඩම් පිලිබදව නැවත සිතන්නටත් මෙම තරගාවලිය මතක් කර දුන්නා.
www.supirikrida.com

ජාතික බොක්සිං කිරුළේ හිමිකරුවන් තීරණය කිරීමේ සටන 9 දා ඇර‍‍‍‍‍ෙඕ

ප්‍රධාන තරගවලින් ජයගත් හෝ අනු සූරතාවය දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත, ජාතික බොක්සිං තරගාවලිය 89 වන වරටත් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදී දෙසැම්බර් 9 වන දින ආරම්භ කිරීමට තීරණය කර ඇත.ත්‍රිවිධ හමුදා කණ්ඩායම්,පොලිසියි මෙන්ම මාස් ආයතනයට සම්බන්ධ විවිධ ක්‍රීඩා සමාජ කණ්ඩායම් මෙම තරගාවලියේ කාන්තා හා පිරිමි සූරතාවයන් දිනා ගැනීම පිණිස පෙළ ගැසී සිටිති.ආධුනික බොක්සිං තරගාවලිය,ස්ටබ්ස්,අන්තර් මාධ්‍ය සහ ජාතික කණිෂ්ඨ සූරතාවලියේ ජයග්‍රාහකයන්ටත් තරග වැදිය හැකි මෙම තරගාවලිය සදහා අවුරුදු 19 ට වැඩි සහ 40 ට අඩු ඉහත තරග ජයග්‍රහණ පිළිබද සුදුසුකම් ද සපුරා ඇති අයෙකුට ඉදිරිපත් විය හැකිය.
දෙසැම්බර් 9 වන දා සිට 13 දා දක්වා පස්වරුව,සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටිය,ජාතික බොක්සිං සූරයන්ගේ දක්ෂතා වලට වෙන් වන අතර ඉකුත් වසරේ, වසරේ දක්ෂතා අතින් ඉදිරියෙන්ම සිටි බොක්සිං ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව නිර්ණය කිරීමේ දී අනූෂා කොඩිතුවක්කුට හිමි වූ සම්මානය දිනා ගැනීමට මෙවර විශාල තරගකාරීත්වයක් ඇති වී තිබෙන බව දැකිය හැකිය.
වසරේ අවසානම බොක්සිං තරගාවලිය මෙන්ම වසරේ හොදම කාන්තා සහ පිරිමි බොක්සිං කණ්ඩායම නිර්ණය කිරීමට පාදක වන දත්ත සැපිරෙන අවසාන මොහොතද මෙම තරගාවලිය ආශ්‍රිතව යෙදී ඇති බැවින් ත්‍රිවිධ හමුදා කණ්ඩායම්,පොලිසිය මෙන්ම මාස් ආයතනය ආශ්‍රිත කණ්ඩායම් ද මෙම තරගාවලිය සම්බන්ධයෙන් සිය සියළු ශක්තීන් වැය කිරීමට බලා සිටිති.
www.supirikrida.com

Dec 7, 2013

උගන්ඩාව ඉදිරියේ දැවැන්ත පරාජයක්

සිංගප්පූරුවේ ක්‍රියාත්මක නේෂන් කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත් වී සිටින උගන්ඩාව,ලකුණු 75 - 38 න් ශ්‍රී ලංකාව පරාජය කරන්නට සමත් විය.තරගයේ මුල සිටම ශ්‍රී ලංකාව දැඩි ග්‍රහණයකට නතු කර ගෙන ක්‍රීඩා කළ උගන්ඩාව තරගය පුරාවට සිය ග්‍රහණය බුරුල් නොකරන්නට වග බලා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ශක්තිය ක්‍රමයෙන් හීන වීම සහ ක්ෂය නොවන ස්ථිර ජවයකින් තරගය පුරාම රැදෙන්නට උගන්ඩා ක්‍රීඩිකාවන්ට තිබුණු හැකියාව කණ්ඩායම් දෙක අතර පරතරය කාර්තුවෙන් කාර්තුවට වැඩි කරන බවක් දකින්නට ලැබුණේ අප නිරන්තරයෙන් පෙන්වා දෙන ශක්තිමත් සහ දරා ගැනීමෙන් උපරිම කණ්ඩායමක වැදගත් කම පෙන්වා දෙමින්ය
ලංකාවේ ඇතැම් ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකාරියන් ඇතැමෙක් ද,තර්ජනී පමණක් ජයග්‍රහණයට සෑහෙන බව පෙන්වා දෙක අවස්ථා අප කොතෙකුත් දැක ඇත.ඒ සැබෑවක් නොවන විශ්වාසය ක්‍රීඩිකාවන්ගේ සිත් තුළ පැල නොකළ යුතු අතර මේ තරගාවලිය පුරා යහපත් සෞඛ්‍යයකින් පසු නොවන ඇයව උගන්ඩාවට එරෙහිව තරගයේදිත් කාර්තු දෙකකට පමණක් යොදා ගැනීමෙන් සෑහෙන්නට සිදු විණ.කෙසේ වුව ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමටනම් ප්‍රතිවාදීන්ගේ දැල ආක්‍රමණය කිරීමට ශක්තිමත් සහ බුද්ධියෙන් කටයුතු කළ හැකි පෙර පෙළකින් සහ තම සීමාවට පැමිණෙන්නට නොහැකි වන සේ ප්‍රතිවාදීන් පාලනය කළ හැකි කායික සහ බුද්ධි ශක්තියක් ඇති  ආරක්ෂක පෙළකින්ද ශ්‍රී ලංකා කණ්ඩායම පෝෂණය කිරීම අත්‍යවශ්‍යය කාරණයකි.
ඒ සදහා ක්‍රීඩිකාවන් අලුතින් ඉපිද හැදී වඩෙන තෙක් බලා නොසිට වර්ථමානය නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවන් ගේ කාය ශක්තිය සහ දරා ගැනීමේ ශක්තිය ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් කළ හැකි මට්ටමකට ගෙන ඒම සදහා මග පෙන්වීමට ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනය සැණෙකින් යොමු විය යුතුය.
www.supirikrida.com

අචිනි සහ උපුලිත් ඉවතට

බංගලාදේශයේ ක්‍රියාත්මක යොනෙක්ස් සන්රයිස් ජාත්‍යන්තර විවෘත බැඩ්මින්ටන්අභියෝගතා සූරතාවලිය ආශ්‍රිතව ශ්‍රී ලංකාව සතුව ඉතිරිව තිබූ අවසාන බලාපොරොත්තුවත් බිද දැමූ ඉන්දියාවේ ප්‍රජක්තා සවාන්ට් සහ අරාති සාරා සුනිල් විනාඩි 27 ක කාලයක් තුළ ලකුණු 21 -16 සහ 21 -13 ක් ලෙස අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්හ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට පිරිමි සහ කාන්තා කේවල තරග අංශ වලින් සහ කාන්තා යුගල,පිරිමි යුගල සහ මිශ්‍ර යුගල තරග අංශයන්ගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක් වූහ.එහිදී පිරිමි අංශයෙන් දිනුක කරුණාරත්නත්,කාන්තා අංශයෙන් අචිනි රත්නසිරිත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර අවසාන පූර්ව තරග සදහා පිවිසීමට සමත් වූයේ අචිනි සහ උපුලි පමණි.
www.supirikrida.com

Dec 6, 2013

නීතිඥයෝ අවසන් තරගයට සුදුස්සෝ වෙති

කොළඔ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය මෙහෙයවන තෙවන කොටසේ ක්‍රිකට් සූරතාවලියේ අවසන් මහා තරගයට සුදුස්කම් ලබන්නට ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.කදාන ද මැසනඩ් ක්‍රීඩාංගනයේ පැවති අවසන් පූර්ව තරගයේදී සමර්සෙට් ක්‍රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් නයාය යටතේ පරාජය කරමින් නීතිඥ ක්‍රිකට් කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළා.තරගයේ කාසිය වාසිය ලැබූ නිතිඥ කණ්ඩායමේ නායක අසේල පටබැදි පළමුව පන්දුවට පහර දීමට සමර්සෙට් කණ්ඩායමට ආරාධනා කළ අතර,ඔවුන්ට කාලගුණික සාධක අනුව නිසා සීමා පැන වුණු පන්දු ඕවර් 26 ක් තුළ සමර්සෙට් ක්‍රීඩකයෝ ලකුණු 137 ක් රැස් කළා.
නීතිඥ කණ්ඩායමේ ඉණිම අයහපත් කාලගුණය විසින් තවත් කෙටි කළ අතර ඒ අනුව නීතිඥ කණ්ඩායමේ ඉලක්කය,පන්දු ඕවර් 24 දී ලකුණු 130 ක් බවට පත් විය.සිව්වන නීතිඥ ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වූ යොහාන් ජිනසේන සමර්සෙට් කණ්ඩායම ලකුණු 137 ට සීමා කිරීම වෙනුවෙන් ලකුණු 30 ට කඩුලු 5 ක් ලැබූ අතර ජිනසේන ඇගයීමට තරගාවලියේදී ශතකයක් ලැබූ ප්‍රියන්ත රාජපක්ෂ ලකුණු හඹා යමේදී යලිත් කැපී පෙනෙමින් නොදැවී ලකුණු 72 ක් ලැබීය.එම ලකුණු 72 සමග එර්සාන් ආරියරත්නම් එක් කළ ලකුණු 35 ත් සමග නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට කඩුළු පහක ජයක් ලබන්නට හැකි විය.
එලැඹෙන 16 වන දා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම ආදි තර්ස්ටන් කණ්ඩායම සමග එන්සීසී ක්‍රීඩා පිටියේදී අවසන් තරගයට පිවිසෙන අතර ශ්‍රී ලංකා නිතිඥ ක්‍රිකට් කණ්ඩායමක් දේශිය ක්‍රිකට් පිටියේ පැමිණි ඉහළම ස්ථානය මේ අවස්ථාව වන අතර ඒ සදහා නායකත්වය දෙමින් දායක වන්නට අසේල පටබැදි සමත් වූ අතර ඒ සදහා මග පෙන්වූ පුහුණුකරු ලෙස ප්‍රවීන මාධ්‍යවේදී සහ ක්‍රිකට් පුහුණුකරු රන්ජන් පරණවිතානගේ නම ද ඉතිහාසයට එක් වනු ඇත.
www.supirikrida.com

අචිනි සහ උපුලි අවසන් පූර්ව තරගයට

බංගලාදේශයේ ක්‍රියාත්මක යොනෙක්ස් සන්රයිස් විවෘත ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ කාන්තා යුගල අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලබන්නට අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා සමත් වුණා.ඒ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ බංගලාදේශයේ බ්‍රිස්ටි කතුන් සහ රෙහානා ප්‍රවින් ලකුණු 21 - 7 සහ 21 - 8 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමින්.අද ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ මෙම තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම් හී කාන්තා යුගල අංශයේ අංක එකට සිටින ඉන්දියාවේ ප්‍රජක්තා සවාන්ට් සහ ආරති සාරා යි.
අචිනි, උපුලි සමග එක්ව යුගල තරගයට මුහුණ දුන් අයුරින් කාන්තා කේවල අර්ධ අවසන් පූර්ව තරගයටත් සහභාගි වුණා.එහිදී අචිනිගේ ගමන් මග අහුරා නැගී සිටි සායිලි රානේ ලකුණු 22 - 20 සහ 21 - 15 ක් ලෙස අචිනිව පරාජය කළා.මේ අතර දිනුක කරුණාරත්න අවසාන පූර්ව වටයට පිවිසෙන්නට දැරූ වෑයම ව්‍යර්ථ කරන්නට ඉන්දුනීසියාවේ දර්මා අල්රි ගුනා සමත් වූ අතර එහිදී තරගයේ පළමු වටය 21 - 6 ක් ලෙස දිනුක පහසුවෙන් ජය ගත් අතර නමුත් ඉදිරි වට දෙකම ධර්මා ලකුණු 21 - 19 ලෙස ජය ගනිමින් දිනුකගේ ගමන් මග වෙනස් කරන්නට සමත් වුණා.
මේ අතර තෘප්ති මුර්ගන්ඩේ සහ අබ්ජිත් නායිම්පල්ලි උපුලි සමන්තිකා සහ තිලාන් පෙරේරා 21 - 15 සහ 21 - 12 ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාවට මිශ්‍ර යුගල තරග අංශයෙන් ඉදිරියට යෑමට තිබූ අවස්ථාවද අහිමි කළා.
www.supirikrida.com

Dec 5, 2013

අහස තරහ වුණ උගන්ඩාව සිංගප්පූරුවට තරු පෙන්වයි

WNC 2011සිංගප්පුරුවේ පැවත්වෙන නේෂන් කුසලාන තරගාවලියට ගුවන් යානා ගැටළුවක් නිසා නිසි වේලාවට සහභාගි වීමට නොහැකි වූ උගන්ඩාව දැල්පන්දු ලෝකයේ බිළිදියක් ලෙස හැදින්වූව ද,තමන් ජාත්‍යන්තර තරග බිමට පිවිසියේ නිසි ලෙස වැඩීමෙන් පසුව බව විදහා පෙන්වමින් සිංගප්පූරුවට එරෙහිව අති විශි"ෂ්ඨ ජයක් වාර්තා කරන්නට සමත් වුණා.ලකුණු 60 - 32 ක් ලෙස සිංගප්පුරූව පරාජය කළ උගන්ඩා ක්‍රීඩිකාවන්ගේ ශක්තිවන්ත කුඩා ශරීර කූඩු ශ්‍රී ලංකාව අවසාන වරට ආසියාතික කුසලානය දිනා ගත් අවස්ථාවේ ඒ සදහා ශක්තිය සොයා ගත් මලාවි කණ්ඩායමේ ක්‍රීඩා රටාවට බෙහෙවින් සමාන බව සිංගප්පූරු වාර්තා පෙන්වා දෙනවා.ඒ සමගම නැවතත් ශ්‍රී ලංකාවට ශක්තිවන්ත සහ දරා ගැනීමේ ශක්තියෙන් යුත් ක්‍රීඩා ශරීර කූඩු නිර්මාණය කළ හැකි පුහුණුකාරියක් පිළිබද සිතීමට පෙළඹවීමක් කරන අතර මෙවැනි කාරනා සම්බන්ධයෙන් සැළකිලිමත් වීමට ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනය මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයද සැළකිල්ල යොමු කළ යුතුව තිබෙනවා.
ඒ ජයග්‍රහණය පිටුපස සැප සහිත සංචාරයක් තෝරා ගැනීම වෙනුවට ආසියාව ජය ගැනීමට අවශ්‍යය වෙනස් තරග රටාවක් නිර්මාණය කළ හැකි වේගවත් සහ ශක්තියෙන් යුත් දරා ගැනීමේ ශක්තියෙන් හෙබි කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට තිලකා ජිනදාස ගත් තීරණය ආසියාව එවැනි ක්‍රීඩා රටාවකට කෙතරම් ආගන්තුක ද යන්න පිළිබදව කල්පනා කිරීමට මෙම සිංගප්පූරු පරාජයම හේතුවක් කර ගැනීමට හැකියාව තිබෙනවා.කෙසේ වුව ද උගන්ඩාව ශ්‍රී ලංකාව සමග වන තරගය ද ජය ගන්නේ නම් මේ තරගාවලියේ තෙවන ස්ථානය සදහා තරග වැදීමට සුදුස්සන විය හැකියි.එසේම ඇමෙරිකාව ඉදිරියේ සිංගප්පුරු කණ්ඩායම පරාජය වුව හොත් සහ උගන්ඩාවට ශ්‍රී ලංකාව පරාජය කිරීමට හැකි වුවහොත් අවසාන තරගයට පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමග මුහුණ දීමේ අවස්ථාවද උගන්ඩාවට හිමි විය හැකියි.තරගාවලියේ පළමු තරගයට ගුවන් යානා ප්‍රමාදය ලෙස සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ උගන්ඩාව පැපුවා නිව්ගිනියා තරගයද ජය පරාජයෙන් තොරව නිමා කර මේ දක්වා අපරාජිත බව රැක ගෙන සිටිනවා.
මේ අතර අයර්ලන්තය පරාජය කරමින් ඊයේ දිනයේ ශ්‍රී ලංකාව  තරගාවලියේ සිය දෙවන ජය වාර්තා කළා.එහි ලකුණු තත්ත්වය 65 - 49 ක් ලෙස දිස් වුණා.ඊයේ ශ්‍රී ලංකාවේ ලකුණු යන්ත්‍රය තර්ජනී ගේ සහය නැතිව තරග වැදීමේ අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩිකාවන්ට හැකි වීම අගය කළ යුතුයි.ඒ සමගම ශක්තිය සහ වේගයත් දරා ගැනීමේ ශක්තියත් මැනවින් වර්ධනය කළ හැකි ක්‍රීඩිකා සංයුතියක් නිර්මාණය කළ හැකි පුහුණුකාරියක සහ තර්ජනීගෙන් තොරව අභියෝග ජය ගැනීමේ හැකියාව අනාගත දැල් පන්දු දියුණුව සදහා අත්‍යවශ්‍යය සාධකයක් වන බවද,මේ තරග ජයග්‍රහණ හරහා මතු වෙමින් තිබෙනවා.
www.supirikrida.com

දිනුක සහ අචිනි ඉදිරියට

මැලේසියාවේ අහමද් සමාන් අපහසුවකින් තොරව පරාජයට පත් කළ දිනුක කරුනාරත්න බංගලාදේශයේ පැවත්වෙන සන්රයිස් යොනෙක්ස් බංගලාදේශ විවෘත බැඩිමින්ටන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් වුණා.තරගාවලිය සම්බන්ධ මීට ඉහත ප්‍රවෘත්තියේදී අචිනි මුහුණ දෙන්නේ අර්ධ අවසන් පූර්ව වටයට යැයි අත්වැරදීමකින් සදහන් වුවත් ඇය සැබවින්ම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ අද ඉන්දියාවේ මොහිතා සදෙව් පරාජයට පත් කරමින්.දිනුක සමාන්ව ලකුණු 21 - 13, සහ 21 -18 ක් ලෙස පරාජය කළ ද,අචිනිට මොහිතාව පරාජය කිරීම පහසු වුණේ නැහැ.හරියටම පුරා පැයක් දිවුණු තරගයේදී වට 2 - 1 ක් ලෙස අචිනි තරගය ජය ගත්තේ ලකුණු 21 -23,21-18 සහ 22 - 20 ක් ලෙස යි.
හෙට දවසේද අචිනිට තවත් ඉන්දියානු ක්‍රීඩිකාවක වන සායිලි රයිනා මුණ ගැසෙන අතර ඇය මෙම තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වලට අදාළව අංක දෙකේ සිටින ක්‍රීඩිකාව වන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව 79 වැන්නිය වේ.ඒ නිසා අචිනිට අර්ධ අවසන් පූර්ව තරගය විශාල අභියෝගයක් වීම නොවැළක්විය හැකි කාරණයක් වනු ඇත.එහි පීඩනයට හෙට දවසේ ඇය උපුලි සමන්තිකා සමග එක්ව කාන්තා යුගල තරග අංශයේදී බංගලාදේශයේ බිස්ට් කාතුන් සහ රෙහානා පාර්වින් හමු වීමට නියමිතයි.එසේම මිශ්‍ර යුගල අංශයෙන් රෙහානා පාර්වින් සහ ලාල් චන්ද්‍ර පරායට පත් කළ උපුලි සහ තිලාන් පෙරේරා ද හෙට  ඉන්දියාවේ තෘප්ති මුර්ගන්ඩේ සහ අබිජිත් නායිම්පාලී හමු වීමට නියමිතයි.
www.supirikrida.com

Dec 4, 2013

ඇමෙරිකාවෙන් ගත් සතුට සිංගප්පූරුව උදුරා ගනියි

මෙරිකානු දැල් පන්දු කණ්ඩායමක් පරාජය කළ පළමු ආසියාතික කණ්ඩායම වීමේ ගෞරවය සහ සතුට පැය විසි හතරක් විද ගන්නටත් මත්තෙන් ආසියාවේ සිය සම්ප්‍රදායික දැල් පන්දු ප්‍රතිවාදිනිය වූ සිංගප්පූරුව වෙතින් දැවැන්ත පරාජයක් භුක්ති විදින්නට ශ්‍රී ලංකාවට සිදු වුණා.ලකුණු 60 - 43 ක් ලෙස විශාල ලකුණු පරතරයකින් සිංගප්පූරුව ඉදිරියේ පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරු ක්‍රීඩිකාවන්ගේ ශක්තිය සහ වේගය ඉදිරියේ බොහෝ පසුපසින් සිටිම මේ පරාජයට හේතු වූ බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.
තරගයේ දෙවන වටය නිමා වන විට පරාජය භාර ගෙන අවසන් බවක් පෙන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන වටයේදි සිය ලකුණු යන්ත්‍රයන් දෙක ලෙස සැළකූ තර්ජනි සිවලිංගම් සහ සේමිනි අල්විස් ඉවත් කර තැබූ අතර අවසන් වටයේදී වත් තර්ජනි නැවත පිටියට කැද වන්නට තීරණය නොකිරීම විමතියට කාරණයක් වුණා.ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානය දිනා ගන්නා මොහොතේ ආසියාවේ සිටි ශක්තිවන්තම සහ වේගවත්ම කණ්ඩායම ලෙසත් හොදම දරා ගැනීමේ ශක්තියක් සහිත කණ්ඩායම ලෙසත් ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවට ඒ සදහා මග පෙන් වූ තිලකා ජිනදාස ගේ ඉවත් වීමෙන් පසු ක්‍රමිකව එම සාධනීය තත්ත්වයන් අහිමිව තිබෙනවා.නමුත් මේ තරගාවලියට ක්‍රීඩා කරන නවුජලී රාජපක්ෂ,ගයාංජලී අමරවංශ,සුරේකා කුමාරි,ගයනි දිසානායක,තිළිණි වත්තේගෙදර,සෙමිනි අල්විස් වැනි යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ආසියාතික යොවුන් තරගාවලියේදී කැපී පෙණුනම චමත්කා වන්නිනායක වැනි ක්‍රීඩිකාවන්ගේ තරුණ ශරීර ඒ සදහා හුරු කිරීමට හැකි මාර්ගෝපදේශනයක අවශ්‍යයතාවය සහ නැවත ඒ තුළින් ආසියාව ජය ගැනීමට ඇති හැකියාව මේ පරාජයන් තුළින් මතු වීම කෙරෙහි දැල් පන්දු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබෙනවා.
ශ්‍රී ලංකාව ලකුණු ලබා ගැනීමේදී කෙතරම් දක්ෂතා දැක් වුව ද,ඔවුන් වෙත පන්දුව පැමිණිමේ දෝෂය මෙන්ම,ප්‍රතිවාදි දැල විදින්නිය සහ ප්‍රහාරිකාව වෙත පන්දුව ගමන් කිරීම වැළක්වීමට ඇති නොහැකියාව ද,ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයේ සංඛේතය බවට පත් වී තිබෙන බව දීර්ඝ කාලයක සිට පැහැදිළි වුව ද,ඒ සදහා ඇති ආසන්නම විසදුම වන තිලකා වැනි පුහුණුකාරියක් වෙත යොමු වීම කෙරෙහි අවධානය යොමු කිරීම ඊට සම්බන්ධව සිටින ඇතැම් ප්‍රවීනයන් විසින් වළක්වන බවට පැතිරී යන කතා තුළ විශාල සත්‍යතාවයක් ඇති බවට සාධාරණ සැකයක් දක්ෂ ක්‍රීඩිකාවන්ගේ උපරිමය රටට  ලබා ගැනීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවීම තුළින් මතු වෙනවා.
www.supirikrida.com

  

දිනුක අවසන් 16 ට පැමිණෙයි

බංගලාදේශයේ ඩකා නගරයේ පැවත්වෙන යොනෙක්ස් සන්රයිස් බංගලාදේශ වීවෘත බැඩ්මින්ටන් සූරතාවලිය සදහා තරග වදින දිනුක කරුණාරත්න එම තරගාවලියේ අවසන් 16 දෙනා අතරට ප්‍රවේශ වීමට සුදුසුකම් ලබා සිටිනවා.තරගාවලියට නිලූක කරුණාරත්න සහභාගි වන බව ප්‍රකාශ වුව ද ඔහු තරගාවලියට සහභාගි වී නැති අතර නමුත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේනුක බෝධිමළුව,කෝලිත ලහිරු වැනි ක්‍රීඩකයන් ගණනාවක් එක් වී සිටියත් තරග ජයග්‍රහණයට පිවිසෙන්නට අවස්ථාවක් උදා වුණේ නැහැ. තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් ශ්‍රේණි ගත කිරීමේදී සිව්වන ස්ථානයේ සිටින දිනුක පළමු තරගයේදී බංගලාදේශයේ ආයුමාන්  ජමාන් වට 2 - 0 ක් ලෙස පහසුවෙන් පරාජය කළ අතර අද ඔහු අර්ධ අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් තරග වදින්නේ මැලේසියාවේ අහමද් සමාන් ට එරෙහිවයි.
කාන්තා තරග අංශයේ අඩු තරග සහභාගීත්වයක් පවතින අතර ඉදිරිපත් වු අයදුම්පත් 19 අතරින්ද ඇතැම් ක්‍රීඩිකාවන් තරගාවලිය නියෝජනය කරන බවක් පෙනෙන්නේ නැහැ.මේ තත්ත්වය යටතේ පැවති තරග කිහිපයෙන් එකකට මුහුණ දුන් උපුලි සමන්තිකා ඉන්දියාවේ ප්‍රබල ක්‍රීඩිකාවක් වන අරාති සාරා අතින් පරාජය වූ අතර නිතරග ජය ඔස්සේම අර්ධ අවසන් පූර්ව වටය තෙක් පිවිස සිටින අචිනි රත්නසිරි අද එම වටයේදී ඉන්දියාවේ මොහිතා සදෙව් මුණ ගැසීමට නියමිතයි.නිමා වූ වෙළද සේවා කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේදී සිය සොහොයුරිය වූ රුවිනි රත්නසිරි සමග එක් ව මැක්ලරන්ස් ආයතනය ඒ කාණ්ඩයේ සූරියන් කිරීමෙන් නොනැවති එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ද වූ අචිනි රත්නසිරි හොද මානසික මට්ටමක පසු වීම අර්ධ අවසන් පූර්ව තරගයේදී ඇයට වාසිදායක විය හැකියි.
www.supirikrida.com

Dec 3, 2013

ලක් බවලතුන් ලෝක බලවතාගේ බවලතුන්ට රිද්දයි

සිංගප්පූරුවේ පැවත්වෙන නේෂන් කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පැවති තරගය ලකුණු  67 - 37 ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.ජගත් ශ්‍රේණිගත කිරීම් හී 23 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රණය වඩා වැදගත් වන්නේ ඇමෙරිකාව දැනට ජගත් ශ්‍රේණිගත කිරීම් හී පසු වන්නේ 19 වන ස්ථානයේ වීම නිසයි.ඒ‍සේම දැල් පන්දු තරගයකදී ලොව දැල් පන්දු බලවතා නොවුණ ද,ලෝක බලවතා ලෙස සැළකෙන ඇමෙරිකාව පරාජය කළ පළමු ආසියාතික කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් වන්නටත් මෙම ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකාවට හැකි වීම සුවිශේෂි තත්ත්වයක් ලෙස හැදින්විය හැකියි.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකාවෙන් බලාපොරොත්තු වූ තරම් පීඩනයක් එල්ල නොවීම ද එක් හේතුවක් වූ බව තරගයෙන් පසුව මාධ්‍ය ඇමතූ පුහුණුකාරිණි සොමිතා අල්විස් පෙන්වා දුන් අතර සිංගප්පූරු ආරංචි මාර්ග තව දුරටත් පෙන්වා දෙන්නේ ඊයේ තරගයට යොදා ගත් කණ්ඩායම් සංයුතිය දැඩි කැපවීමෙන් ක්‍රියා කිරීම මෙම ජයග්‍රහණයට පදනම වූ බවත් ඔවුන් අනවශ්‍යය ලෙස කළබලකාරී නොවන්නේනම් මෙවැනි ජයග්‍රහණයන්හී අවසානය මීටත් වඩා ලකුණු පරතරයක් ඇතිව ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බවත්ය.
තරගයේ දී සුපුරුදු පරිදිම ඉහළ ප්‍රතිශතයක් සමග ශ්‍රී ලංකාවේ ලකුණු යන්ත්‍රය වන තර්ජනී සිවලිංගම් ක්‍රියා කළ අතර ඇයට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් උප නායිකා සෙමිනි අල්විස් ගෝල් ඇටෑක් යන ස්ථානයේ ක්‍රීඩා කරමින් තරගය මනා පාලනයකට යටත් කිරීමට ක්‍රියා කළ ආකාරය දැල්පන්දු ලෝලින්ගේ පැසසුම දිනූ කාරනයක් වි ඇත.එසේම ගයනි දිසානායක ඇමෙරිකානු ශක්තිමත් ශරීර කූඩු හමුවේ නොසැලී දැල රකින්නිය ලෙස මෙම තරගයේදී ආරක්ෂක පෙළට ලබා දුන් ශක්තියද,දර්ශීකා අබේවික්‍රම ගෝල් ඩිෆෙන්ස් ලෙස ඇයට ලබා දුන් සහය ද මෙම තරගයේ ජයග්‍රහණයට බෙහෙවින්ම බල පෑ කාරණයක් වි ඇත.
පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදී අඩක් ක්‍රීඩා කළ සුරේකා කුමාරි ද කැපී පෙනෙන ක්‍රීඩිකාවක් ලෙස ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රසාදයට ලක් වී ඇති ක්‍රීඩිකාවන් ගොන්නේ සිටින අතර නවුජලී රාජලක්ෂ,තිලිණි වත්තේගෙදර සහ ගයාංජලී අමරවංශ ක්‍රීඩිකාවන් දැල් පන්දු අනාගතයේ පලබර බලාපොරොත්තු බවට ඉගි කරන තරග රටාවක නියැලුනෝය. තර්ජනී හැරුණු විට කණ්ඩායමේ සිටින පළපුරුදුම ක්‍රීඩිකාව වන මරීෂා ප්‍රනාන්දු ප්‍රතිවාදීන්ට එරෙහි දැඩි ආක්‍රමණශීලි තරග රටාවක නියැලුන ද,තවමත් තරගයට අවශ්‍යය මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම කෙරෙහි ඇයගේ අවධානය යොමු වූ බවක් දැකීමට අපහසු බව සිංගප්පූරු ආරංචි මාර්ග පෙන්වා දෙන අතර ඒ නිසා සුළු අත් වැරදීම් ගණනාවක්ම ඇය අතින් සිදු ව බව ද වාර්තා වෙයි.ඇතැම් විට සිය නායකත්වය දෙන කණ්ඩායමේ සංයුතිය අඩු අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන් පිරිසකගෙන් යුක්ත වීම එයට හේතු වන්නට ඇති බව පෙනවා දෙන දැල්පන්දු විශාරදයින් ඇමෙරිකාවට එරෙහි ලද පහසු ජය ඉදිරියේදී ඒ තත්ත්වය වෙනස් කිරීමට හේතු විය හැකි බව පෙන්වා දෙයි.
එසේම කණ්ඩායම් ආරංචි මාර්ග පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ අවසානම ආසියාතික කුසලාන ජයග්‍රහණයේ සිටි යෝධ ශක්තිය වූ තිලකා ජිනදාසයන් ද මෙම තරගාවලියට එක් වී සිටින අතර ඇය ද තරගයෙන් තරගයට මෙන්ම තරගය තුළ ද  විවිධ උපදෙස් දෙන්නට නොමසුරුව දෙන සහයෝගයද ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ශක්තියක් වී ඇත.
www.supirikrida.com

Dec 2, 2013

කාලිංගගේ ඇස වසා සැග වූ නෙලංක රටට කීර්තිය ගෙන දෙයි

කිස්තානයේ ක්‍රියාත්මක වූ බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්ලැසික් තරගාවලියෙන් නෙරපා දැමූ නෙලංක කරුනාරත්න තරගාවලියේ හොදම කැචර් ලෙස තේරි පත් වන්නට සමත් වී ඇත.ක්ලැසික් තරගාවලියේදී තේරීම් කමිටුවේ අවධානයට ල්ක නොවූ ශ්‍රී ලංකාවේ සිටින දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතර සිටින හොදම කැචර් ක්‍රීඩකයා ලෙස සැළකෙන නෙලංක කරුණාරත්න කපා දැමීම පිළිබදව මාධ්‍ය කිහිපයක්ම කරුණු ඉදිරිපත් කළ ද,එයට ඇහුංකං දීමට බේස්බෝල් පරිපාලනය එකග නොවූයේ ඒ වන විට සිටි පැරන්නන් විසින් ඇද පෙන් වූ චිත්‍රයට රැවටී වුව ද,විදේශ තරගයකදී ශ්‍රී ලංකාවට එවැනි ක්‍රීඩකයෙක් අඩු වීමෙන් වන හානිය ද,එයින් සිය සළු ද ගැලවී නිරුවත් වන්නට සිදුවන බැවින් ද නෙලංක බටහිර ආසියානු තරගාවලියට කැදවන්නට තීරණය විය.
ක්ලැසික් තරගාවලියේ කණ්ඩායමක අතිරේක ක්‍රීඩකයෙක් ලෙස හෝ යොදා නොගැනීමට තරම් දුර්වලයෙක් ලෙස පැත්තකට වීසි කර දැමූ නෙලංක ඉන් අනතුරුව පැවත්වෙන බටහිර ආසියානු තරගාවලියට සුදුසු වූයේ ඔහුගේ දක්ෂතාවයට වඩා ඊට එක් වන නිලධාරීන්ට සිය ගෞරවය රැක ගැනීමට හැකි අන්දමේ තරගයක් දීමට නෙලංක වැනි ක්‍රීඩකයෙක් අත්‍යවශ්‍යය වන නිසාය.ඔහු ද තමාගේ ජාතික කණ්ඩායමට ඇති වැදගත් කම පෙන්වා දෙමින් තරගාවලිය පුරා හොදින් ක්‍රීඩා කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ගණනක් ලැබූ ශ්‍රී ලංකා පිතිකරුවෙක් වන්නට ද අවස්ථාව උදා කර ගනිමින් රට වෙනුවෙන් සිය උපරිමය ලබා දෙමින් තරගාවලියේ වීරයා වන්නට සුදුසුකම් ලැබීය.
සමස්ත තරගාවලියේ පකිස්තානය ඉක්මවා යෑමට අවසාන තරගයේදී මෙවරත් ශ්‍රී ලංකාවට හැකි නොවූ නමුත් කණ්ඩායම ඉතා ඉහළ මට්ටමක අභියෝගයක් ලබා දෙමින් මනා පිටිය රැකීමක නියැලෙමින් පකිස්තානය ලකුණු 3 ට සීමා කරන්නට සමත් විය.නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රහාරාත්මකව කටයුතු කිරීමට ඇති නොහැකියාව යළිත් වරක් පහදමින්,ලකුණු නොලබාම පරාජය උරුම කර ගත්තේය.ඒ අනුවත් සිය සම්ප්‍රදායික එදිරිවාදියා අසළ දී යළිත් ශ්‍රී ලංකාවට අනු සූරතාවයෙන් සෑහෙන්නට සිදු විය.
අලුත් ගමණක සිහින මතු කරමින්,ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය ක්‍රියාත්මක වන මොහොතක ඒ සදහා ජීවය දෙන්නට එක් වී සිටින අලුත් චරිත වන කාලිංග ඉන්ද්‍රතිස්ස ඇතුළු පිරිසකගේ ඇස වසමින් නෙලංක වැනි දක්ෂ ක්‍රීඩක චරිත කප්පාදු කිරීමට දරණ වෑයමත්,නෙලංක ඉවත් කළ ක්ලැසික් තරගාවලියේ දී විනිසුරු තීරණයට විරෝධය පා සිය කණ්ඩායම තරගයෙන් ඉවත් තර ගත් පුද්ගලයෙක් විනයානුකූල ක්‍රියාමාර්ගයකට නතු නොකර ගනිමින් තරගාවලියේ පුහුණුකරු ලෙස පත් කිරීමත් ගැන කාලිංග ඇතුළු පිරිසගේ අවධානය යොමු වීම සහ ඒ වෙනුවෙන් තීන්දුවක් ගැනීම, ලාංකේය බේස්බෝලයේ ඉදිරියේ යහපත පිලිබද තීරණය කරනු ඇතැයි යන්න අපේ විශ්වාසය යි.
තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගන්නට ඇෆ්ගනිස්තානයට හැකි වු අතර ඔවුන් නේපාලයට එරෙහිව ලකුණු 3 ක් ලැබූවත් නේපාලයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 2 ක් පමණයි.
www.supirikrida.com

MBA පස්සර දෙමළ මහා විද්‍යාලයට අත දෙයි

වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය මෙවර දුෂ්කර පාසල්වල බැඩ්මින්ටන් ක්‍රීඩාව නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීමේ ව්‍යාපෘතිය යටතේ පස්සර දෙමළ මහා විද්‍යාලයට උපකරණ පරිතයාග කරන්නට යෙදුණා.ඉකුත් වසරේ ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ අවුරුදු 15 න් පහළ ඌව පළාත් සූරයන් වී ඇති විද්‍යාලීය සිසුවන් අතිශය දුෂ්කරතා මැද එළිමහනේ පුහුණුවීම් කරමින් ඌව පළාතේ ජනප්‍රිය පාසල් වලට තර්ජනයක් වෙමින් දිනා ගත් එම පළාත් සූරතාවයෙන් නොනැනවතී ජාතික තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය තෙක් පිවිස කොළඹ ආනන්ද විදළ්‍යාලය ඉදිරියේ පරාජය වී තිබෙනවා.
පරිගණක තාත්ෂණය පිළිබද ගුරුවරයෙක් වන එම විද්‍යාලයේම ආදි සිසුවෙක්ද වන ආර් චන්ද්‍රසේකරන් යටතේ පුහුණුව ලබන මෙම කණ්ඩායමේ දුෂ්කරතා පිළිබදව පැහැදිළි කළ හෙතෙම කියා සිටියේ ආර්ථික ප්‍රශන නිසා මෙම ප්‍රදානයන් ලැබීම සදහා ද කණ්ඩයමේ හය දෙනාගෙන් සිව් දෙනෙක් පමණක් රැගෙන එන්නට හැකි වූ බවයි.සාමාන්‍යයෙන් උතුරේ දෙමළ ජනතාවට වඩා ආර්ථිකමය වශයෙන්ද අධ්‍යාපනික වශයෙන්ද පහළ මට්ටමක පසුවන දකුණේ දෙමළ ජනයා ගැන අඩු අවධානයක් යොමු වන තත්ත්වයක් තුළ වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය කළ මෙම පරිත්‍යාගය මිල කළ නොහැකියි.තව දුරටත් ඔවුන්ට ඔබ භාවිතා කළ එහෙත් තවත් ප්‍රයෝජනයට ගත හැකි උපකරණ වලින් හෝ සහය වීමට හැකියාව තිබෙනවා.මේ පිළිබදව ඔබේ අවධානය යොමු වේ නම් දුරකථන අංක 0773 815 999 ඔස්සේ අප ඇමතිය හැකි අතර අප දෙමළ මහා විද්‍යාලයේ පුහුණුකරු හෝ විදුහල්පතිතුමා සම්බන්ධ කර ගැනීම පිණිස මැදිහත් වීමේ කාර්යය කරන්නට කැමතියි
www.supirikrida.com

සමස්ත සූරතාව සෙලාන් සතුවේ ඒ කොටසේ කාන්තා පිරිමි සූරතා ද්විත්වයම මැක්ලරන්ස් ට

වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය 30 වන වරටත් සංවිධානය කළ වෙළද සේවා බැඩ්මින්ටන් කණ්ඩායම් තරගාවලියේ සමස්ත සූරතාවය දිනා ගන්නට සෙලාන් බැංකු කණ්ඩායම සමත් වූ අතර අනු සූරතාවය දිනා ගන්නට නේෂන් ට්‍රස්ට් බැංකු කණ්ඩායම සමත් වුණා.තෙවන ස්ථානය දිනා ගත්තේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී නොවැම්බර් 24 දා ඇරඹි තරගාවලියේ වැඩිම අවධානය දිනා ගත් තරග අංශය වූ ඒ කාණ්ඩයේදී කාන්තා සහ පිරිමි කණ්ඩායම් සූරතා ද්විත්වයම මැක්ලරන්ස් ආයතන කණ්ඩායම දිනා ගැනීමට සමත් වුණා.ඒ සදහා පිරිමි අංශයෙන් නිලූක කරුණාරත්න,තිසර නිම්මික,නවීන් පෙරේරා සහ ලසන්ත තිලකවර්ධන සහභාගි වූ අතර කාන්තා ඒ කොටසේ සූරතාවය මැක්ලරන්ස් ආයතනයට දිනා දෙන්නට සටන් වැදුණේ අචිනි රත්නසිරි සහ රුවිනි රත්නසිරි දෙසොහොයුරියන් වීම ද කැපී පෙණුනා.
මෙවර තරගාවලිය ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් ගණනක් සහභාගි වූ තරගාවලිය ලෙස ඉතිහාසයට එක් වන අතර ආයතන 63 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 94 ක් සහභාගි වුණා.ජාත්‍යන්තර සහතික ලත් තරග විනිසුරු චන්දන නිලන්ත තරගාවලියේ ප්‍රධාන තීරක ලෙස කටයුතු කළ අතර ඔහු විසින් නිකුත් කරන්නට යෙදුණ නිල ප්‍රතිපල ලේඛණයට  https://docs.google.com/document/d/1O4ADAnrO-hbeG2q2B8qm1fIXpiiXWWLi-m5zZITdN-A/pub මෙම සබදතාවය හරහා ඇතුළත් විය හැකියි.එසේම චන්දන විසින් නිකුත් කරන්නට යෙදුණ ඒ ඒ තරග අංශයන්හී දක්ෂතම ක්‍රීඩක සූරතා දිනා ගත් නාම ලේඛණයට https://docs.google.com/document/d/1epfSLCtYNCCA0IuTAPdLRTBWndY1yWpTK57d59zHBZE/pub මෙම සබදතාවය හරහා ඇතුළත් විය හැකියි.
www.supirikrida.com

පකිස්තානය සහ ශ්‍රී ලංකාව අවසන් තරගයට


කිස්තානයේ පැවත්වෙන බටහිර ආසියානු බේස්බෝල් සූරතාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලබන්නට පකිස්තානය සහ ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.පකිස්තානය නේපාලයට එරෙහිව ලකුණු 19 - 0 ක ජයක් වාර්තා කරමින් අවසාන තරගයට පිවිසි අතර ශ්‍රී ලංකාව ඇ‍ේගනිස්තානය ලකුණු 15 - 0 ක් ලෙස පරාජයට පත් කළා.කණ්ඩායමේ මුළු බර ඊයේ ඇෆ්ගනිස්තාන තරගයට යොදා ගන්නවාට වඩා එය පකිස්තාන තරගයට රැගෙන යාමට සිතා කටයුතු කළ බවක් ඊයේ තරගයේදී දැක ගන්නට ලැබුණු අතර විහේෂයෙන්ම විවිධ අත්හදා බැලීම් කරමින් ඇ‍ෆ්ගනිස්ථානයට එරෙහිව නිදැල්ලේ ජයග්‍රහණය කරා පිවිසෙන්නට ශ්‍රී ලංකාව කටයුතු කළා.

ඇෆ්ගනිස්තානය සමග වූ තරගය වට 7 ක් පුරා දිව ගිය අතර ශ්‍රී ලංකාව එහිදී රැස් කළ ලකුණු 15 න් 4 ක් ම අකලංක රණසිංහ වාර්තා කළ අතර ලකුණු 2 බැගින් වාර්තා කිරීමට සුපුන් අබේසූරිය,ක්‍රිෂ්ණ හපුආරච්චි සහ නෙලංක කරුණාරත්න සමත් වුණා.

පැපුවා නිව්ගිනියා තරුනියන් ඉදිරියේ ශ්‍රී ලංකාව පසු බසියි

සිංගප්පූරුවේ පැවත්වෙන නේෂන් කුසලාන ජාත්‍යන්තර ‍දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය 72 - 56 ක් ලෙස ජය ගන්නට පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමත් වුණා.දැනට ජගත් ශ්‍රේනිගත කිරීම් හී ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින කණ්ඩායමක් වන පැපුවා නිව් ගිනියා කණ්ඩායම 2011 වසරේදි හ්‍රී ලංකාව ඉදිරියේ පරාජය ලැබූ කණ්ඩායමක් වෙනවා
නමුත් අත්දැකීමෙන් සහ පළපුරුද්දෙන් පහළ අඩියක තිබෙන කණ්ඩායමක් ලෙස මෙම තරගාවලියට එක්වී සිටින ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩිතාවන් පැපුවා නිව් ගිනියාවට තර්ජනයක් දෙමින් තරගයේ දෙවන කාර්තුවේදී සමතැන ගෙන ක්‍රියා කරන්නට සමත් වූ අතර ඔවුන්ගේ හැකියාව එසේ පැවතියද පුහුණුකාරිණිය තරගයට පිවිස සිටියේම පරාජය අපේක්ෂාවෙන් බව තරගයෙන් අනතුරුව මාධ්‍යයට කරුණු දැක්වීමේදි කළ ප්‍රකාශ වලින් පැහැදිළිවීම නරක තත්ත්වයකි.ඇය අප මෙය බලාපොරොත්තුවෙන් සිටියා ලෙස අප යන බහු වචනයද යොදා ගනිමින් ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසෙන විට කණ්ඩායම පිටුපස තිබී ඇති සූදානම පරාජය වැළද ගැනීමක් ලෙස ඒත්තු ගැන්වෙන බව පැහැදිළිය.එයට හේතු ලෙස මාස දෙකක පුහුණු කාලය මද බව මෙන්ම යොවුන් අත්දැකීම් අඩු ක්‍රීඩිකාවන් විම කණ්ඩායම් පුහුණුකාරිය වශයෙන් සොමිතා හුවා දැක්වීම තුළ ඇය පුහුණුකාර තනතුරට ඉල්ලා ඇත්තේ පරාජය සදහා කණ්ඩායමක් සූදානම් කිරීමට ද යන්න ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරන අතර ඇය ඇමෙරිකා තරගයද මෙම ඉරණමම සහිත තරගයක් විය හැකිය යන මතයේ සිට අද තරගයට ද කණ්ඩායම තෝරන බවට ඉගි පළ කරන ප්‍රකාශ කිරීම ද අනුමත කළ නොහැකි තත්ත්වයකි.
තරගය පුරා පෙර පෙළ මැද පෙළ සහ පසු පෙළ මනා සම්බන්ධිකරණයකින් කටයුතු කරන බවක් නොපෙන්වූ අතර ආරක්ෂක පෙළ කලක සිට දක්වන දුර්වලකම් ද මෙහිදී ශ්‍රී ලංකාවට එරෙහිව බල පෑ බවට සිංගප්පූරුවෙන් ලැබෙන වාර්තා සනාත කරන්නේය.නමුත් ගයනි දිසානායක ගේ තරග රටාව පරාජය තුළ වුව ද තරගය නැරඹිමට පැමිණ සිටි දැල්පන්දු ලෝලින්ගේ ප්‍රසාදයට ලක් වී ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේය.විනග් ඩිෆෙන්ස් යන ස්ථානයේ ක්‍රීඩා කළ ඇය කැපී පෙණුනද සමස්තයක් ලෙස ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියා කළ අලස ක්‍රියාවලිය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පැවති පන්දුව ශ්‍රී ලංකාවට එරෙහිව මෙහෙයවීමක් බවට පත් කර ගන්නට පැපුවා නිව්ගිනියා කණ්ඩායමට බොහෝ අවස්ථාවලදී ඉඩකඩ විවර වූ බවක් පෙනෙන්ට තිබිණ.
www.supirikrida.com

Dec 1, 2013

ලෝකෙට සැර දමන්නට ගොස් චොර වීම

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනස් කිරීමට අමාත්‍යවරුන්ට නොහැකි වන්නේ ස්වීය උවමනාව වෙනුවෙන් යහපත් මග පෙන්වීමක් නොලැබීම නිසාය.මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත්වන විට ගාය ඇති ඇමති කෙනෙක් ලෙස විහාල වෙනස්කමක් කළ හැකි බවට විශ්වාසයක් ඉපදුණු අය අතර අප ද සිටියෙමු.විශේෂයෙන් අමාත්‍යවරයා ගැන ඉතා පැහැදීමෙන් ප්‍රකාශයක් කළ ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයාට හැකි සෑම සහයක්ම ලබා දීමට මැදිහත් වන්නැයි මාධ්‍යයෙන්ද ඉල්ලා සිටියේය.
මේ සබැදියාව එතරම් යහපත් එකක් නොවනු ඇති බව ක්‍රීඩාව සිය න්‍යාය පත්‍ර තුළ ක්‍රියාත්මක කිරීමට බලා සිටින පිරිසට මෙන්ම අමාත්‍ය මණ්ඩල නිලධාරීන් ලෙස වැජඹෙන්නට කැමති චරිත වලට ද වැටහිණ.ප්‍රතිපලය වූයේ ජාතික ඔලිම්පික් කමිටුව පාලනය කළ හැකි සීමාවන් සහ ඊට අන්තර්ජාතික වශයෙන් ඇති බැදීම් සමග ක්‍රීඩා අමාත්‍යංශ විෂය පථයට හසු නොවන සේ ඇති ස්වාධිනත්වය වසන් කරමින් ඔලිම්පික් කමිටුව අමාත්‍යංශයේ වහල් සේවය සදහා යොදා ගැනීමට අමාත්‍යවරයාගේ මනසට විෂ පෙවීමය.ශ්‍රී ලංකාවේ සිටින අති දැවැන්ත පරිපාලන මෙහෙයුම් සමග සුපිරි දේශපාලන සබදතා සහ අන්තර්ජාතික සම්බන්ධතා ඇති හේමසිරි ක්‍රීඩා අමාත්‍යංශයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ගැනීමට යාම ගැටළුවක් ඇති වීමක් බව මේ පිරිස් දැන සිටි අතර ඔලිම්පික් කමිටුවේ ස්වාධිනත්වය හෝ ස්වීය ස්වාධිනත්වය අමාත්‍යවරයාට උගස් කරන මට්ටක නැති ඉතිහාසයක් හේමසිරි සතුව පැවතීම නිසා මේ සදහා පෙළඹවූ සිගාල මානසිකත්වයක් ඇති පිරිස සිංහ - කොටි ගැටුමෙන් තමන්ට භුක්ති විදින්නට ලැබෙන වරප්‍රසාද මූලික කොට ඊ ළග පියවරට අවශ්‍යය න්‍යාය පත්‍ර ලහි - ලහියේ සකස් කරන්නට විණ.
වර්ථමාන ක්‍රීඩාවේ දේශපාලන නායකත්වය සහ ඊට සම්බන්ධ වට පිටාව ක්‍රමයෙන් ජරාජීර්ණත්වයට පත් වෙමින් ලාංකේය ක්‍රීඩාවන්ට අන්තර්ජාතික තලයට ප්‍රවේශ විමට ඇති ද්වාර වැසී යාමේ අවධානමක් මතු වෙමින් පැවතීම දක්වා තල්ලු වී යන්නේ මේ තත්ත්වයය.ක්‍රීඩාවක් යනු ලෝකයටම පොදු නීතිමය සාධක මත ජයග්‍රහණය හෝ පරාජය තීරණය වන්නකි.ඒ නිසා අදාළ ක්‍රීඩාවන් හී පැවැත්ම තීරණය කරන සාධකය වන්නේද,ඒ - ඒ ක්‍රීඩාවන් හී අන්තර්ජාතික දේහයන් වල ක්‍රියාකාරිත්වයයි.අපේ ඇගේ හැටියට ක්‍රීඩාව වෙනස් කරන්න යාමෙන් වෙන්නෙ අපිට පොඩි ස්වයං වින්දනයක් විදින්න ලැබීම පමණක් වන අතර ලෝකයට එය තුට්ටුවකට නොවටිනා ක්‍රියාවක් බවට පත් වෙනවා.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හරහා පසුගියදා ඒ විදිහට අපේ ස්වයාං වින්දන හීනොත්මාදය නවතා දමන බලපෑමක් ඇති කරමින් ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කල් දැමීම සිද්ධ කරන්නෙ ඒ පරිසරය මතයි.
ක්‍රීඩාවකට ජාත්‍යන්තර මෙහෙයුම් දේහයක් පනතින බව සැබෑවක්.ක්‍රීඩාව ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිළිබදව තීරණ ගැනීමේ බලය පවතින්නේ මේ අන්තර්ජාතික දේහයටයි.එම රාමුවෙන් පිට වැඩ කරන්න ක්‍රීඩා අමාත්‍යවරයාට තබා එම රටේ දේශපාලන නායකයාටවත් හැකියාවක් නැහැ.නමුත් ඇමතිවරු ප්‍රභුවරු සමග ඡායාරූපයකට පෙනී සිටිමත් ජීවිතයේ ලද මහත් වු භාග්‍යයක් ලෙස සළකන පිරිස් ඇමතිවරුන්ට මේ තත්ත්වය මතක් කර ‍දීමේ දැණුමෙන් පහළ අඩියක සිටින්නෝ බැවින්,ස්ර්ට උඩින් මේ ස්පෝර්ට්ස් ෆීල්ඩ් එකේ මැස්සෙක්ටවත් යන්න බෑ කියන නලාව ගහමින්  ඇතැම් විට මාධ්‍යවලටද ක්‍රීඩාව උගන්නන්න හදන අවස්ථා උදා වෙනවා.
ක්‍රීඩා අමාත්‍යංශය ලෝකයත් එක්ක පාහන්න ඕනි තැන් මේ සිස්ටම් එක ඇතුලෙ බිදි යන අතර රටේ ක්‍රීඩාවට ලෝකය ඉදිරියේ අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා.ඉකුත් වසරේ මලල ක්‍රීඩා නිලවරණය පැවත්වුණේ එය වෙනස් විය යුතු බවට විශාල මතවාදයක් පැතිරී තිබුණු මොහොතකයි.එහෙත් ඒ වෙනස් වීම චණ්ඩියෙක් විදිහට කරන්න යාම නිසා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට වේවැල අතට ගන්නට සිද්ධ වුණා.මේ ගමණ ඡන්දය වෙලාවෙ ගියවර වේවැල අතට අරං අපේ සෙල්ලම් අපිට ඕනි විදිහට කියල චණ්ඩි පාට් දාපු අමාත්‍යංශයට සහ දෙපාර්තමේන්තුවට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ඉදිරියෙ හ්ම් කියන්නවත් චාන්ස් එකක් ලැබුණෙ නැහැ.බොහොම කීකරු විදිහට හැසිරෙන්නට සිද්ධ වුණා.
ඒ අත්දැකීම විදින අතරේ ක්‍රීඩා පනත පාවිච්චි කරමින් පොතේ හැටියට වැඩේ දීල ඔලිම්පික් ආයතනය ක්‍රීඩා අමාතයංශයට නැතිනම් දේශපාලන අධිකාරියට සම්පූර්ණයෙන් යටත් ආයතනයක් කරන්නට පිඹුරුපත් සකස් කරන්නට වුණා.ඒකට පත් කළ කමිටුවට අනුව ක්‍රීඩාවේ සර්වබලධාරියා වුණේ ක්‍රීඩා අමාත්‍යවරයා.ඔහු වැඩ සිටින අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු දෙවොලට විත් යාතිකා කර ආශිර්වාද ලබා නොගෙන යමක් කළ නොහැකි තත්ත්වයට වෙන වෙන රූප රාමු මවමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලය සම්පූර්ණයෙන් ක්‍රීඩා පිටිය මත පතිත කරන්නට වුණා.මේ ක්‍රීඩා සංගම් අතරින් ඔලිම්පික් ක්‍රීඩා ලෙස පිළිගත් ක්‍රීඩා පරිපාලනයන් හී මුල් පුටු වෙනස් වීමෙන් ඔලිම්පික් ආයතනයේ බලය තීරණය කරන නිලවරණයේ දි පවතින පරිපාලනය වෙනස් කළ හැකි මට්ටමට ඊට එරෙහි ඔළු ගණන සංඛ්‍යාත්මකව ඉහළ නංවා ගැනීමේ ක්‍රියාවලියක් දියත් වන්නට ගන්නවා.
නීති පණත් සංශෝධන ගෙනා පිරිස් නංගි පෙන්නා අක්කා දීමේ ස්වභාවයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති මැදිහත් වීමේ හැකියාවන් අවම කරන බව පෙන්වමින් වෙනත් ආකාරයකට අමාත්‍යවරයාගේ සහ ඔහුට අවනත කර ගත හැකි අමාත්‍යංශයේ බලපෑමේ පරිමාව විශාල කරන්නට වුණා.ඒත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සවිස්තරාත්මකව විමසා බැලීමේදී ඒ ඒ ජත්‍යන්තර  ක්‍රීඩා පරිපාලන ඒකකයන්හී මූලික හර පද්ධතීන් මෙම ක්‍රීඩා පණත තුළ යම් අවස්ථාවන්හී ක්‍රියාත්මක නොවන බව උල්ලංඝනය වන බව පෙන්වා දීමෙන් ඉනික්බිති කන්දක් තරමට විලි රුදා පෙනවා වදන්නට හැදූ අලුත් ඔලිම්පික් පරිපාලනයේ සිහිනය ගබ්සාවට ලක් වෙනවා. දැන් නිලවරණය හැකිලෙනවා.අමාත්‍යංශය සමග ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කළ සාකච්ඡාවේදී රටේ ක්‍රීඩකයන්ට සිංහ ධජය අතැතිව ජාත්‍යන්තර උළෙල සදහා සහභාගි වීමට ඇති අවස්ථාව පවා අහිමි කිරීමට ඔවුන්ට ඇති හැකියාව පැහැදිළි කළ විට ක්‍රිඩා පණතෙන් ක්‍රීඩා පරිපාලන ස්වාධිනත්වයට බලපෑම් කරන වදන් ඉවත් කර ගැනීමට එකග වන්නට සිදු වෙනවා.
මේ එකගතාවය ඇති කර ගැනීම තුළ පැහැදිළි වන යථාර්තයක් තියෙනවා.අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ක්‍රීඩා පනත අවධිමත් එකක් බව මෙන්ම  එය අන්තර්ජාතික මට්ටමේ වටිනාකම් හදුනා නොගත් එකක් බව එයින් ප්‍රධානයි.72 ඇති වූ පණත එසේ වූවා යැයි සිතමු.නමුත් එය මෑත දි වෙනස් වීමේ දී වෙනස් වී නැති බවත් මේ එකගතාවයෙන් පැහැදිළි වෙනවා.ජගත් ක්‍රීඩා පරිපාලන ඒකක හදුනා ගෙන, ඊට සාපේක්ෂව ක්‍රීඩා පණතේ සංශෝධන සිදු වී නැති බව පැහැදිළි කරන මේ සිදුවීම හරහා අදාළ සංශෝධනයන් ක්‍රීඩාවේ ස්වාධිනත්වය ඇති කිරීම වෙනුවට එය තව දුරටත් යටහත් පහත්ව ක්‍රියා කිරීම සදහා යොදා ගැනීමක් සිදු කර තිබෙන බවත් පැහැදිළි කරනවා.
ක්‍රීඩා පනත සංශෝධනය කිරීමේදී ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල අණ පනත් අධ්‍යයනය කළේ නම් මෙවැන්නක් සිදු විය නොහැකියි.එහි ප්‍රතිපලය වූයේ බෘස්ලිට පොල් අඩි කාරයෙක් සරම උස්සා ගෙන පාට් දමන්නට ගියහොත් වන ආනිශංසයට ලංකාවේ ක්‍රීඩා පණත පත්වීමයි.ක්‍රීඩා පණත සංශෝධනය කිරීමට අදහස් ලබා ගැනීමට පිරිස රැස් කරද්දීත් මුණිවත රකින සහ අමාත්‍යවරයාට හෝ රජයට එදිරිව නොයන පිරිස් ලෙස තෝරාගත් පිරිසක් රැගෙන එන්නට කටයුතු කරන්නට අමාත්‍යවරයා වට කරන සිටින කේවට්ට නිලධාරීන් උනන්දු වුණා.එහෙත් මේ සංශෝධනය ගැන කන්දක් වදන විලි රුදා පෙන්වමින් කෙදිරි ගෑ නීතිඥ පණ්ඩුක කීර්තිනන්දට මේ ලියුම්කරුම පළමු ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ ජාතික පදනම රැස් වූ අවස්ථාවේදී ප්‍රසිද්ධියේ කරුණු ඉදිරිපත් කළා.එය පසුව කතා කළ යුතු වැදගත් දේ බව ප්‍රකාශ කර සාකච්ඡා කිරීමට එකග වූ නිතිඥවරයා සභාවේ වැඩ කටයුතු නිමා වීමටත් ප්‍රථම සැලියුට් එකක් දමා පිටව ගියා.
ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල මූලික හැඩයට මෙන්ම ඇතැම් සටන් ක්‍රීඩා ආදියට රටේ පොදු නීතිය ක්‍රියාත්මක කරන ආකාරයේද යම් යම් සංශෝදන විය යුතු බව පේනවා දුන්නත් ඒවා මරු යැයි කීවා හැරෙන්නට අඩුම තරමේ සාකච්ඡාවට හෝ උත්සාහ නොකළ නීතිඥවරයා තවමත් ක්‍රීඩා අමාත්‍යංශයේ නීති කටයුතු වල ප්‍රධානියා ලෙසම කටයුතු කරනවා.ඉතාම ආසන්න අවස්ථාවක ක්‍රීඩා පණත සංශෝධනය කිරීමේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උදහසට ලක්විය හැකි කරුනු එම පණතේ ඇත්දැයි යන්න නොදැන ක්‍රියා කර ඇති බව ක්‍රීඩා පණතේ ඇතැම් කොටස් සංශෝධනය කිරීමට එකග වීම තුළ පැහැදිළි වෙනවා.එය නොසළකා හැරීමක් ලෙස නොසළකා තව දුරටත් ඔහුම සේවයට යොදවා ගැනීමට තරම් ලංකාවේ නීති කේෂ්ත්‍ර තුළ දැණුමත්තන්ගේ හිගයක් පවතීද යන්න  කල්පනා කළ යුතුව තිබෙනවා.
එවැනි අතපසුවීම් හෝ පැහැර හැරීම් කරන  චරිතම තව දුරටත් ඒ සංශෝධන කිරීම සදහා ද යොදා ගන්නවාද,නොගන්නවාද යන්න ක්‍රීඩා අමාත්‍යවරයා මේ මොහොතේ සිතිය යුතුව තිබෙනවා.බැටළුවන්ට සිංහ හම් පොරවා සිංහයන් කළ නොහැකිය යන්න සත්‍යයක් බව අප අමතක නොකළ යුතු අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අභියස සිදු වූයේද සිංහ හම් පොරවා ගත් බැටළුවන් කේසර නාදය නගන්නට ගොස් හත් පොලේ ගා ගැනීම බව අප අමතක නොකළ යුතුව තිබෙනවා.ඊ ළගට මතුවන ගැටළුව මාධ්‍ය විසින් මේ සිදුවීම් වාර්තා කළ යුතු ආකාරය පිලිබදව ක්‍රීඩා අමාතයංශයේ මාධ්‍ය අංශයේ උපදෙස් අනුව සිදුවිය යුතුය යන්න ඔබ විසින් සිතීමය.මාධ්‍ය අංශය එසේ සිතුවද බොහෝ විට අමාත්‍යවරයා ඊට වඩා සුභදායී හැගීමෙන් මාධ්‍ය සමග  කටයුතු කළ අතර දැන් එය ද විපර්යාසයකට භාජනය වෙමින් තිබෙන බවක් දැනෙන්නට ඇත.එම සිංහ වේශය ද ඉදිරි පැවැත්මට සුදුසු එකක් නොවන අතර ඇතැම් විට එහි ප්‍රතිපලය සිංහ හම ගැලවී ගොස් බැටළු හමට වඩා අජූව  සත්ව රූපයක් මතු වී ප්‍රදර්ශනය විමක් විය හැකිය යන්න ක්‍රීඩා අමාත්‍යවරයා සිහියේ තබා ගත යුතු වෙනවා.  

බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් හොද ආරම්භයක්

ටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය 11 වන වරටත් පකිස්තානයේ පන්ජාබ් ක්‍රීඩාංගණයේදි ආරම්භ කරමින් නේපාලයට එරෙහිව තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 18 - 0 ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායමක් හැටියට පෙන් වූ දක්ෂතාවය ඉහළ මට්ටමක පැවති බව වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනාථ කිරීම සදහා දම්පිය මහතන්තිල ලකුණු 4 කින් දායකත්වය ලබා දුන් අතර නෙලංක කරුණාරත්න සහ සමීර රත්නායක ලකුණු 3 බැගින් කණ්ඩායමට එක් කරනු ලැබුවා..මෙම තරගය මෙන්ම පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගයද වට පහ බැගින් ක්‍රියාත්මක වූ අතර එම තරගයේදී පකිස්තානය ලකුණු 31 -0 ක ් ලෙස ඇෆ්ගනිස්තානය පරාජය කළා
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද එරට වේලාවෙන් පස්වරු 2.00 ට ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවත්වෙනවා.තරගාවලියේ නිමාව සටහන් කරමින් හෙට ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය එරට වේලාවෙන් පස්වරු 2.00 ට පන්ජාබ් ක්‍රීඩාංගනයේදි පැවත්වීමට නියමිතව තිබෙනවා.එසේම තරගාවලියේ ආරම්භක දිනයේදී පකිස්තානය සහ නේපාලය අතර තරගයේ ප්‍රධාන විනිසුරු ලෙස සුජීව විජේනායක කටයුතු කිරීම මෙන්ම එම තරගයේ පළමු බේසයේ විනසුරු ලෙස තරංග සම්පත් කටයුතු කිරීමත් ශ්‍රී ලංකාව ලැබූ ජයක් ලෙස හැදින්විය හැකියි.
එසේම  අලුත් ප්‍රවර්ධන ක්‍රියාවලියක් හරහා ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව ඉහළ තැනකට රැගෙන යාමට වත්මන් සභාපති කාලිංග ඉන්ද්‍රතිස්සයන් දරණ වෑයම අගය කරමින් පරිපාලනයේ සිටින සම්ප්‍රදායික බේස්බෝල් ක්‍රියාකාරීන් ‍පිරිසක් සිය අවශ්‍යයතා වෙනුවෙන් කාලිංගව සෙමින් යොදවා ගැනීමක් සිදුවන බව ද මේ තරගාවලියට කණ්ඩායම තෝරා ගැනීමේ සිට වුව ද වටහා ගැනීමේ හැකියාව තිබෙනවා.උදාහරණයකට ලංකාවේ ක්‍රියාත්මක වූ ඉහළ මට්ටමේ දේශිය තරගාවලියේදී කිසිදු කණ්ඩායමකට තෝරා නොගත් නෙලංක කරුණාරත්න මේ සංචාරයට තෝරා ගැනීමෙන් පසුව පැවති පළමු තරගයේදීම දක්ෂතා අතරට පිවිසෙමින් දේශිය තරගාවලිය අහිමි කිරීමේ අසාධාරණය පැහැදිළි කර පෙන්වා දී තිබෙන අතර තරගාවලිය අතරතුර විනිසුරු තීරණයන්ට පිටු පා කණ්ඩායම තරගයෙන් ඉවත් කර පුහුණුකරුටම මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම පුහුණු කිරීම භාර දීමටත් කටයුතු කර තිබෙන බව දකින්නට ලැබෙනවා.
කරුණු අනාවරනය කර ගැනීමෙන් පසුව නිරහංකාරව සිය ස්ථාවරයේ වැරදි අඩු-පාඩු සකස් කර ගැනීමට ඉදිරිපත් වීමේ දුර්ලභ ගුණයක් කාලිංග සතුව තිබෙන බවට මෙම සටහන් කරුට ක්‍රීඩා කේෂ්ත්‍රය සම්බන්ධයෙන්ම අත්දැකීම් තිබෙනවා.වරක් ජාතික නෙට්බෝල් සංගමය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි සීබී රත්නායක ඉදිරියේ කාලිංග සහ මා මතවාද දෙකක් දරමින් පෙනී සිටි අතර මා ඉදිරිපත් කළ කරුණු අමාත්‍යවරයා ඉදිරියේදීම දුරකථන ඇමතුම් මගින් තහවුරු කර ගත් කාලිංග සිය ස්ථාවරය වෙනස් කරමින් පැවති නෙට්බෝල් පරිපාලනය වෙනස් කළ යුතු බවට මා ඉදිරිපත් කළ කරුණු අනුව කටයුතු කිරීමට අමාත්‍යවරයා ඉදිරියේ එකගත්වය පළ කළා.ඒ කරුණු සිහියේ තබා ගෙන මෙම සටහන් හි සත්‍යයද අවබෝධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් කාලිංග ඉන්ද්‍රතිස්ස ලාංකේය බේස්බෝල් ක්‍රීඩාව තුළ අලුත් පැහැබර පරිච්ඡේදයක් ලෙස ඉතිහාසයට එක් වීම නොවැළක්විය හැකි බව සුපිරික්‍රීඩා අදහසයි.
www.supirikrida.com

Nov 25, 2013

කළු සුද්දෝ අතපත්තුට එරෙහි වෙති

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුරට විදේශිකයෙක්ම අවශ්‍යය බවට තර්ක කරන පිරිසක් වර්ථමාන ජාතික පුහුණුකරු තනතුරට ඉදිරිපත් වූ පිරිස අතරින් වැඩි සුදුසුකම් සපුරා තිබෙන මාවන් අතපත්තුට එම තනතුර ලැබීමට එරෙහි වෙමින් සිටින බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.එංගලන්තයේ සසෙක්ස් පුහුණුකරු වන මාක් ඩේවිස් සහ මාවන් අතරින් වඩා සුදුසුකම් ඇත්තේ මාවන්ට වන අතර වර්ථමාන පුහුණුකරු ග්‍රෙහැම් ෆෝර්ඩ් ද එම මතයම දරන බව වාර්තා වන අතර එවැනි තත්ත්වයක මාවන් පුහුණුකරු තනතුරට පත් වීම වළකන්නට උත්සාහ කරන පිරිස මාවන් සමග ක්‍රීඩා කළ පිරිස් තවමත් කණ්ඩායමේ සිටීම ද උදාහරණ ලෙස දක්වයි.
ලෝක මට්ටමෙන් මෙවැනි උදාහරණ කොතෙකුත් දැකිය හැකි අතර ක්‍රීඩාවෙන් සමුගත් පසු ජාතික කණ්ඩායමේ සිය සමකාලීනයන් සිටියදි පුහුණුකරු බවට පත්වන්නෝ බොහෝ සිටිති.එසේම වර්ථමාන කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කළ සනත් ජයසූරිය තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නම් මාවන්ට ද,පුහුණුකරු තනතුරට පත් වීමට අවහිරයක් තිබෙන්නට නොහැකිය.
හැකියාවන් සළකා බලද්දී මාවන්ට වඩා දක්ෂයෙක් සිටීනම් ඔහුගේ හමේ වර්ණය මුල් කර ගනිමින් මාවන් වෙනුවෙන් පෙනී සිටීමට ග්‍රෝත්‍රික මානසිකත්වයක් අප තුළ නැති අතර එබැවින් යටත්විජිත මානසිකත්වයෙන් නොමිදී මාවන් දෙවැනි කොට සුදු හම වෙනුවෙන් පෙනී සිටින පිරිස මාවන් ප්‍රතික්ෂේප කිරීමට ගෙන එන මතය අප දැඩි ලෙස හෙළා දකින්නෙමු.
www.supirikrida.com

Nov 24, 2013

තිළිණ සහ එරන්දි බස්නාහිරෙන් මුලට එති

ස්නාහිර පළාතේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර 2013 වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ තිළිණ කරුණාරත්නත්,දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළම සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉෂානි එරන්දිකා සේනානායකත් සම්මාන ලැබීමට නියමිතයි.අද (24) පෙරවරු 9.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී,බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානාගේ ප්‍රදානත්වයෙන් පැවත්වෙන මෙම වර්ණ ප්‍රදානෝත්සවයේදී උස පැනීමේ ඉසව්වෙන් ඉහළ දස්කම් දක්වමින් සිටින තිළිණ සහ පිහිණුම් ඉසව්වෙන් කැපී පෙණෙන එරන්දි එම සම්මාන ලබා ගැනීමට නියමිතව ඇත
බස්නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් මෙම වර්ණ ප්‍රදානෝත්සවයේදී නැගී එන ක්‍රීඩක සම්මානයට සුදුසුකම් ලබා සිටින්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ චිරන්ත ද සිල්වා වන අතර ඔහු පිහිණුම් ඉසව්වෙන් දක්වා තිබෙන දක්ෂතා ඒ සදහා හේතු වී තිබෙනවා.දුර පැනීමේදී මෙන්ම කෙටි දුර ධාවන සූරියක ලෙස ද පසුගිය කාලයේ ජාත්‍යන්තර වශයෙන් ලංකාවට කීර්තිය ගෙන ඒමට මුල් වූ පානදුර සුමංගල බාලිකා විද්‍යාලයේ සාරංගි ද සිල්වා නැගී එන ක්‍රීඩිකාවගේ සම්මානයට සුදුසුකම් ලබා තිබෙනවා.
බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පළාත් අමාත්‍යවරු මෙන්ම,ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු මධ්‍යම ආණ්ඩුවේ මැති ඇමතිවරු පිරිසක්ද මෙම වර්ණ ප්‍රදානෝත්සවයට සහභාගි වීමට නියමිතව ඇතැයි බස්නාහිර පළාත් උධයාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සුපිරික්‍රීඩා වෙත පවසා සිටියා.
www.supirikrida.com

Nov 23, 2013

නේෂන් කුසලානය විනිශ්චයට හතක්

සිංගප්පූරු දැල් පන්දු සම්මේලනය සංවිධානය කරන නේෂන් කුසලාන දැල් පන්දු තරගාවලියේ විනිශ්චය කටයුතු සදහා සත් දෙනෙකුගෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ විනිශ්චය මඩුල්ලක් යොදා ගැනීමට නියමිත බව සිංගප්පූරු දැල් පන්දු සම්මේලනය ප්‍රකාශ කරනවා.මෙම සත් සාමිජික විනිශ්චය කමිටුවට යූ බී ලින්ග්,ජෝන් යානි අබ්දුල්ලාහ්,එරික් ලී සහ නයිජල් වේන් සිංගප්පූරුවෙන්ද,ඇන්ඩ්‍රියා බූත්,බ්රෝන්වෙන් ඇඩම්ස් සහ එමා ඩේවි ඕස්ට්‍රේලියාවෙන්ද ඇතුළත් වෙනවා.
රටවල් හයක සහභාගීත්වය ඇතුව අට වන වරට සංවිධානය වන මෙම තරගාවලියේ ඉහළ මට්ටම සුරුක ගැනීමට විනිශ්චය කටයුතුවන ඇති පාරදෘශ්‍ය භාවය සහ විශ්වසනීය්තවය ඉතා වැදගත් බැවින් තරගාවලිය සදහා පිළිගත් ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක සේවය ලබා ගැනීමට තීරණය කළ බව සිංගප්පූරු දැල්පන්දු සම්මේලනය පවසනවා.
මෙවර තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් අතර ජගත් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින්නේ පැපුවා නව්ගිනියාව වන අතර ඔවුන් 17 වන ස්ථානයේත්,ඇමෙරිකා එක්සත් ජනපදය 19 වන ස්ථානයේත් සහ සත්කාරක සිංගප්පූරුව 21 වන ස්ථානයේත් පසු වෙනවා.ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 23 වන ස්ථානයේ රැදී සිටින අතර අයර්ලන්තය සිටින්නේ 28 වන ස්ථානයේ අතර මෙවර තරගාවලියට මෙතෙක් ජගත් ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන ගත කිරීම් වලට ඇතුළත් නොවුණු උගන්ඩාවද තරගාවලියට සහභාගි වෙනවා.
www.supirikrida.com

Nov 22, 2013

ඩිල්ෂාන්ගේ අර්ධ ශතක පෙරහැරේ සිව්වැනි රැගුම පල්ලෙකැලේදී

Tillakaratne Dilshan raises the bat after reaching his fiftyටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගෙන ඉදිරි කාල සීමාවේ සීමිත පන්දු ඕවර තරග සහ 20 /20 තරග සදහා පමණක් සහභාගි වන්නට තීරණය කළ,ටීඑම් ඩිල්ෂාන් එම තීරණයෙන් පසුව මුහුණ දුන් පළමු සීමිත පන්දුවාර තරග තුනේදීම අර්ද ශතක ලැබූ අතර ඊයේ මුහුණ දුන් පළමු 20/20 තරගයේදී ද අර්ධ ශතකයක් ලබමින් නවසීල්නතයට එරෙහිව මුහුණ දුන් තරග හතරේදීම අර්ධ ශතක ලබා ගන්නට සමත් වුණා.වර්ෂාවේ බාධා නිසා අතහැර දැමූ පළමු 20/20 තරගයෙන් පසුව දෙවන තරගය පල්ලෙත‍කැලේ දි පැවත් වු අතර එහිදී කඩුලු අටක ජයග්‍රහණයක් කරා පිවිසෙන්නට ශ්‍රී ලංකාවට ඩිල්ෂාන්ගේ ඉණිම විශාල හේතුවක් වූවා.
කාසියේ වාසිය දිනු හ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දු යැවීමට ගත් තීරණයට පළමුව සාධාරණය ඉටු කළ නුවන් කුලසේකර,තරගයේ දෙවන ඕවරයේ පළමු  පන්දුවෙන්ම හමීෂ් රදර්ෆඩ් දවා ගන්නට සමත් වුණා.විශේෂයෙන් ඊයේ 20/20 ජත්‍යන්තර තරග සදහා බෞතිස්ම ලැබූ රමිත රඹුක්වැල්ල සිය ප්‍රවේශය සදහා ඉහළ සමාජ සබදතා වලට වඩා වැඩි පදනමක් තිබෙන බව පැහැදිළි කරමින් සාර්ථක පන්දු යැවීමක නිරත වූ අතර ඔහු සිය පන්දු ඕවර් 4 තුළ ලකුණු 19 ට කඩුලු 4 ක් දවා ගත්තා.එසේම ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් අඩුම ලකුණු සාමාන්‍යයක් තබා ගැනීමට සමත් වූ පන්දු යවන්නාද රමිත් වූවා.
කෙසේ නමුත් ඇන්ටන් ඩෙව්සික්,ලුක් පොන්චි සහ නේදන් මැකලම් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවට යම් පීඩනයක් ඇති කරන්නට සමත් වූ අතර එහිදී ඔවුන් පිළිවෙලින් ලකුණු 30,නොදැවි 34 සහ ලකුණු 26 ක් ලෙස නවසීල්නත ලකුණු පූවරුව පොහොසත් කරන්නට වූ දායකත්වය හේතුවෙන් නවසීලන්ත ඉණිම කඩුලු 7 ට ලකුණු 142 දක්වා ඉදිරියට ගියා.
කඩුලු ලැබීමේදී මාලිංග,කුලසේකර,මැතිව්ස්,රඹුක්වැල්ල,තිසර සහ මැතිව්ස් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.පිලිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේල ජයවර්ධන තරගයේ දෙවන ඕවරයේදී ලකුණු 3 ට දැවී යාමෙන් පසු ඩිල්ෂාන්ට එක් වූ ජනිත් ප්‍රවේගකාරී ඉණිමක් ක්‍රීඩා කළේ ජයග්‍රහණය කරා අවශ්‍යය මාවත එලි පෙහෙළි කරමින්.නවසීලන්ත පන්දු රකින්නන් ද ඒ සදහා ආශිර්වාදය ලබා දුන් අතර ලකුණු 6 සහ 39 ක් ලබා සිටියදී ඔවුන් විසින් අතහැර දැමූ ජනිත්ගේ උඩ පන්දු දෙක නිසා නවසීලන්ත පරාජයට බෙහෙවින්ම හේතු වූ ලකුණු 57 ක් ජනිතගේ පිත්තෙන් ගලා ආවේ පන්දු 37 ක් තුළයි.එහි අවසාන ප්‍රතිපලය වූයේ ශ්‍රි ලංකාව පන්දු ඕවර් 17.5 ක් තුළ ලකුණු 143 ක් ලබා ගනිම්න් කඩුලු 8 ක ජයග්‍රහණයකට පිවිසීම වූ අතර ඊට හේතු වූ ප්‍රවේගකාරී ඉණිම වෙනුවෙන් ජනිත් කුසල් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.
www.supirikrida.com


ලෝක කුසලානයට ගණිකාවෝ ඉංග්‍රිසි පන්ති යති

ළැඹෙන 2014 වසරේ බ්‍රසීලයේ පැවත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් සිය ගණු-දෙනු කරුවන් සමග සබදතාවය වඩාත් ශක්තිමත් කර ගැනීම පිණිස බ්‍රසීල ගණිකාවන් ඉංග්‍රිසි හැදෑරීමට පටන් ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.දැනටමත් බ්‍රසීල ගණිකාවන් 2014 පැවත්වෙන ලෝක කුසලානය වෙනුවෙන්පැමිණෙන විදේශිකයන් දැලේ දා ගැනීම සදහා සංවිධානාත්මක සූදානමක් පෙන්වන බව පැහැදිළි කරන එම වාර්තා ගණිකා නිවාස පවා ඒ වෙනුවෙන් අලුත් වැඩියා කටයුතු කරන බව සදහන් කරනවා.ඒ අනුව බ්‍රසීල ජාතිකයන් තුළ ජාත්‍යන්තර ප්‍රජාව සමග සුහදතාවය වර්ධනය කර ගැනීමේ අඩුවක්ව පවතින ඉංග්‍රිසි දැණුම වර්ධනය කිරීමට ගණිකාවන් වෙනුවෙන් ඇතැම් සංවිධාන නොමිළේ ඉංග්‍රිසි ඉගැන්වීමට පංති පවත්වන බව ද එම ප්‍රවෘත්ති වාර්තා හී පෙන්වා දෙනවා.
ජනාධිපති සීඩා වියේරා ගණිකාවන් ගැන සදහන් නොකළ ද,පාපන්දු ලෝක කුසලානය සදහා පැමිණෙන විදේශිකයන් සමග ගණුදෙනු කිරීමෙන් හොද ප්‍රතිලාභ ලබා ගැනීමට මෙන්ම,රට ගැන හොද මිත්‍රශීලී චින්තනයක් ඇති කිරීමටද ඉංග්‍රිසි ඉතාමත් වැදගත් වනු ඇති බව පෙන්වා දී ඇති අතර ඒ නිසා ඉංග්‍රිසි දැණුම වර්ධනය කර ගැනීමට උනන්දුවන ලෙස ද ඉල්ලා තිබෙනවා.බ්‍රසීලයේ නගර 17 ක් ලෝක කුසලානයට කේන්ද්‍ර වන අතර ඒ නිසා 2016 ඔලිම්පික් උළෙලටත් වඩා රට තුළ විදේශිකයන් විසිරී යන බැවින් මුළු රටේම අවධානය සහ ආකර්ශනය මේ තරගාවලිය සම්බන්ධයෙන් වන කරුණු කෙරෙහි යොමු වී පවතින බවත් එම වාර්තා පැහැදිළි කරනවා.
www.supirikrida.com

Nov 20, 2013

හැකියාවට වැස්සේ තෙමෙන්නට දී දකුණු අප්‍රිකානු කුඩයේ හිල් ගනින්නට වීම

The covers are on in Pallekele
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්වන්නට යෙදී තිබුණු 20 / 20 ක්‍රිකට් තරගය වර්ෂාව නිසා අත හැර දමන්නට සිදු වීම හේතුවෙන් 20/20 තරග ශ්‍රේණිගත කිරීමේ දී පළමු තැන සිටි ශ්‍රී ලංකාවට සිය ස්ථානය රැක ගැනීමට පකිස්තානය ඉදිරියේ දකුණු අප්‍රිකා දස්කම් කෙසේ වනු ඇත්දැයි බලා සිටින්නට සිදු වෙනවා.පකිස්තානයට එරෙහිව දකුණු අප්‍රිකාව 20/20 තරග දෙකම ජය ගතහොත් සිය ස්ථානය රැක ගැනීමට ශ්‍රී ලංකාවද නවසීලන්තයට එරෙහි තරග දෙකම ජය ගත යුතු තත්ත්වයේ සිටි නිසා ඊයේ තරගය අතහැර දමන්නට සිදුවීමේ වැඩි අවාසිය ශ්‍රී ලංකාවට දරන්නට සිදු වෙනවා.
කාසියේ වාසිය උරගා බැලීමටවත් අවස්ථාව නොදෙමින් දිගින් දිගටම වැටි වර්ෂාව නිසා තරගය අතහැර දැමීම නිසා තරග දෙකකින් යුත් තරගාවලියේ ‍හෙට යෙදී තිබෙන තරගය වඩාත් තීරණාත්මක වෙනවා.විශාල ලකුණු පරතරයකින් ජය ගැනීම හොද දළ ලකුණු වේගයක් පවත්වා ගෙන යාම ආදී කරුණු පිළිබදව මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විශාල අවධානයක් යොමු කළ යුතුව තිබෙන අතර සිය ස්ථානය රැක ගැනීම සදහා දකුණු අප්‍රිකාවේ හැසිරීම දෙස බලා සිටින්නට සිදු වන තත්ත්වයට වර්ෂාව විසින් ශ්‍රී ලංකා කණ්ඩායම ඇද දමා තිබෙනවා.වැසි සහිත දේශගුණික තත්ත්වයකට පෙර නිමිති සහ පූර්වාදර්ශ තිබියදීත් මේ කාල වකවානුවේ එතරම්  පීඩනයක් ඇති නොකරනු ඇතැයි විශ්වාස කළ හැකි දඹුල්ල සහ සූරියකැලේ ක්‍රීඩාංගණ අතහැර දමා වර්ෂාව සම්බන්ධයෙන් වැඩිම අවධානම සහිත පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට මේ මොහොතේ තරගයක් ගෙන එන්නට ගත් පරිපාලන තීරණයේ වරදද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇද වැටීමට විශාල බලපෑමක් එල්ල කරනවා.මේ තත්ත්වය නිසා සිය හැකියාවන් වැසි දියේ පෙගෙන්නට හැර දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය සහ පරාජයට සිය ස්ථාවරය තීරණය කරන්නට දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වී තිබෙනවා.
www.supirikrida.com

Nov 19, 2013

මරීෂා ට නායකත්වය



සුපිරි ක්‍රීඩා වෙබ් අඩවිය පළ ආකාරයටම ජාත්‍යන්තර කණ්ඩායම් හයක් සහභාගි වන දෙසැම්බර් පළමු දින සිංගප්පූරුවේ ඇරඹෙන නේෂන් කුසලාන දැල් පන්දු තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මරීෂා ප්‍රනාන්දු ට හිමි වී ඇති අතර එහි උප නායකත්වය සෙමිනි  අල්විස් ට හිමි වී ඇත.මීට පෙර ද නායිකාව වීමට මරීෂා ට තිබූ අවස්ථාව විවිධ හේතුන් මත අහිමිව ගිය අතර මේ තත්ත්වය දැල් පන්දු පරිපාලනයේ අවධානයට ලක් කරන්නටත් එසේම ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායමට නායකත්වය දුන් සෙමිනි අල්විස් වැනි ක්‍රීඩිකාවට උප නායකත්වය දීම ඇයගෙන් දැල් පන්දු ක්‍රඩාවට ලබා ගැනීමට ඇති දායකත්වයට මෙන්ම රටේ දැල් පන්දු ක්‍රීඩාවට ද වැදගත් බව සුපිරි ක්‍රීඩා පෙන්වා දුන් අතර නායිකාව සහ උප නායිකාව පත් වීමේදි ඒ ආකාරයෙන්ම සිදු වි තිබීම ක්‍රීඩාවේ අනාගතය පිළිබදව දැල් පන්දු පරිපාලනය යම් වගකීමකින් බැදී තිබෙන බව පැහැදිළි කරන්නක් බව අපේ අදහසයි.
කෙසේ නමුත් කණ්ඩායමේ සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් තේරීමේ අවස්ථාවේ සිට විශාල ගැටළු ගණනාවක් පැන නැගෙනු දකින්නට තිබුණු අතර නමුත් ඒ සම්බන්ධයෙන් තෝරාගත් සංචිතයේ සිටින ක්‍රීඩිකාවන් අතරින් විශාල ප්‍රගතියක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තිළිණි වත්තේගෙදර හොද ආයෝජනයක් වනු ඇතැයි දැල්පන්දු සම්මේලනයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.නම් කරන ලද කණ්ඩායමේ වැඩි පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වන අතර තිළිණිට අමතරව සුරේකා කුමාරි සහ චතුරංගනී මල්කාන්ති ද ගුවන් හමුදාව නියෝජනය කරති.පාසල් දැල් පන්දු ක්‍රීඩිකාවන් තිදෙනෙක්ද සංචිතයේ සිටින අතර ඒ අතරින් කොළඹ විශාකා විද්‍යාලය නියෝජනය කරන ගයනි දිසානායක සහ තිසාලා අල්ගම ජාත්‍යන්තර තරග නියෝජනය කර ඇති වඩාත් අත්දැකීම් ඇති ජාතික මට්ටමේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවෝ වන අතර ගයන්ජලි අමරසේන කණ්ඩායමට තේරී පත් වී ඇත්තේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන්ය.
මෙවර ජාතික තරගාවලියේ දැල් පන්දු රැජින වූ කාංචනා ජයවීර සමග නොචිලි රාජපක්ෂ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවය.ශ්‍රී ලංකාවේ ප්‍රබලතම දැල් පන්දු කණ්ඩායම් ලෙස වැජඹි හැටන් නැෂනල් බැංකු කණ්ඩායමෙන් සහ සෙලාන් බැංකු කණ්ඩායමෙන් එක් ක්‍රීඩිකාව බැගින් පමණක් කණ්ඩායමට එක් වි සිටින අතර හැටන් නැෂනල් බැංකු කණ්ඩායමෙන් තරග වදින්නේ දර්ශිකා අබේවික්‍රමය.සෙලාන් බැංකුවෙන් තරග බිමට පිවිසෙන්නී තර්ජනී සිවලිංගම්ය.කණ්ඩායමේ උප නායිකා සෙමිනි ද අල්විස් වරාය අධිකාරිය නියෝජනය කරන අතර ටොයොටා ලංකා පුද්ගලික සමාගම නියෝජනය කරමින් මරීෂා ප්‍රනාන්දු කණ්ඩායමට එක් වී සිටියි.
මරීෂා අත්දැකීම් ඇති ක්‍රිඩිකාවක් මෙන්ම නායිකාවක් ලෙස මෙම තරගාවලියේදී වඩා පරිස්සමින් කටයුතු කළ යුතු අතර සියළුම ක්‍රීඩිකාවන් සිය පෞද්ගලික භාවිතාවන් සහ උවමනාවන් තරග බිමට රැගෙන ඒමෙන් වැළකී සිටීමට ප්‍රවේශම් විය යුතුය.එසේම ජයග්‍රහණයට වඩා නිසි ජාතික කණ්ඩායමක් අනාගතය වෙනුවෙන් සකස් කර ගැනීමේ හොද සංයුතියක් නිර්මාණය කර ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස මෙම තරුණ කණ්ඩායමේ සහභාගීත්වය තේරුම් ගත යුතු අතර කණ්ඩායම් කළමණාකාරිය ලෙස ලක්ෂ්මි වික්ටෝරියා සිය පරිපාලන වගකීම කණ්ඩායමේ අභ්‍යන්තර හැසිරීමට පීඩනයක් එල්ල නොවන ආකාරයෙන් මෙන්ම එල්ල විය හැකි පීඩනයන් වළක්වන ආකාරයෙන් භාවිතා කිරීම පිළිබදව සූක්ෂම හැසිරීමක ඥාණයකින් කටයුතු කිරීම ඉතා වැදගත්ය.
කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස සොමිතා අල්විස් කටයුතු කරන අතර කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස තරග සංචාරයට එක් වන්නේ වෛද්‍ය ලාල් ඒකනායකය.පීඩීඩීඑන් ප්‍රසාදි කණ්ඩායම් භාර නිලධාරිණිය ලෙස සංචාරයට එක් වි සිටින්නීය.
www.supirikrida.com

ඉතාලියේ ජය උගන්ඩාව උදුරා ගනියි

Gareth Berg hammered 90 from 47 balls
ග්රේත් බර්ග්
වසාන පන්දු ඕවරයේ ජයග්‍රහණය සදහා අවශ්‍යයව තිබූ ලකුණු 3 ලබා ගැනීම ඉතාලි කණ්ඩායමේ උප නායක ගයාශාන් මුණසිංහ විසින් පන්දු පහක් දක්වා පමා කළ ද  උගන්ඩාව වෙනුවෙන් වගකීම් සහගත ඉනිමක් දියත් කරමින් පන්දු 30 දී ලකුණු 33ක් නොදැවී ලබා ගත් රිචඩ් ඔකියා නවතා ගන්නට ගයාශාන්ට හැකියාව ලැබුණේ නැත.19 වන ඕවරය නිමා වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් ලබා ජයග්‍රහණයට ලකුණු 3 ක් පමණක් පිටු පසෙන් සිටි උගන්ඩාව වෙනුවෙන් ඒ වන විට නව වන කඩුල්ලට ලකුණු 49 ක විශිෂ්ඨ සබදතාවයක් ද එක් වී තිබිණ.එහිදී අවසාන ඕවරයේ පළමු පන්දුවෙන් එම සබදතාවය බිද දමා පන්දු 15 කින් ලකුණු 21 ක් ලැබ සිටි චාල්ස් වසිවා පිටියෙන් ඉවත් කරන්නට ගයාශාන් සමත් විමත් සමග තරගය දෙපසට දෝලනය වුව ත් අවසන් පිතිකරු එක ලකුණකට පැති මාරු කරමින් ඔකීවාට අවස්ථාව ලබා දීමෙන් පසු ඔහු කණ්ඩායම වෙනුවෙන් කරගෙන ආ යුතුකම ජයග්‍රහණයෙන් කෙළවර කළේ ඉතාලියේ ලකුණු 148 පසු කර යමින් අවසාන ඕවරයේ පස්වන පන්දුවට එල්ල කළ හතරේ පහරකින්ය.
ඒ නිසාම තරගයේ වීරයා සම්මානයද ඔකීවා ට හිමි විය.
කාසියේ වාසිය ලැබ උගන්ඩාව පළමුවෙන් පන්දුවට පහර දීමට කළ ආරාධනයට අනුව ඉතාලිය ප්‍රහාරය ඇරඹූ අතර ඇමෙරිකාවට එරෙහි ජයග්‍රහණයට මූලිකත්වය ගත් ඉතාලි කණ්ඩායමේ ග්රේත් බර්ග් මෙම තරගයේදී ද ප්‍රවේගවත් ලකුණු 62 ක් එක් කළ අතර තරගයේ අවසාන භාගයේ දී ඉතාලි ලකුණු පූවරුව ලකුණු 148 දක්වා ඉහළ දැමීමට බල පෑ ප්‍රහාරයක් දියත් කළ ඉතාලි කණ්ඩායමේ ජෝයි පෙරේරා පන්දු නවයකදී ප්‍රවේගවත් ලකුණු 18 ක් එක් කරන්නට සමත් විය.මෙම තරගයේදී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක්ම ඉතාලිය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ඉතාලියට මෙම පරාජය නිසා 20/20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ භාග්‍යය බොහෝ දුරට අහිමි වීමට පුළුවන.තරගයේ ලකුණු විස්තරයට http://www.espncricinfo.com/icc-world-twenty20-qualifier-2013/engine/current/match/660133.html සබදතාවයෙන් පිවිසීමට හැකි අතර අද ඉතාලිය හා නැමීබියාව තරග වැදීමට නියමිතය.
එසේම ටෙස්ට් තත්ත්වය හිමි නැති රටවල් අතරින් 20 / 20 ලෝක කුසලානය නියෝජනය කරන රටවල් තෝරා ගැනීම සදහා පවත්වන මෙම තරගාවලිය නියෝජනය කරන කැනඩා කණ්ඩායම වෙනුවෙන් ඉණිම ආරම්භ කරන රවිදු ගුණසේකර මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් ආරම්භක පන්දු යවන්නන් ලෙස කටයුතු කරන සදීප් සිල්වා සහ මංජුල ගුරුගේ ද ලාංකිකයෝ වීම විෂේශත්වයකි.
www.supirikrida.com

Nov 18, 2013

මලල ක්‍රීඩාවේ රජුත් රැජිණත් ජැමෙයිකාවෙන්

Shelly-Ann Fraser-Pryce and Usain Bolt at the World Athletics Gala 2013 (Philippe Fitte)මොනෑකෝ හි පැවති වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා සම ක්‍රීඩිකාව නම් කිරීමේ උළෙලේදී පස්වන වරටත් වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිරුළු දරන්නට කෙටි දුර ධාවන සූර උසෙයින් බෝල්ට් සමත් විය.2008,2009 යන වසර වල දී මෙම සම්මානයට හිමි කම් කී බෝල්ට් 2011 සහ 2012 වර්ෂ වලද මෙම ගෞරවයේ උරුමක්කාරයා වු අතර ඒ අනුව පිට පිටම තෙවරක් එම ගෞරවයට උරුමකම් කීමේ භාග්‍යය මෙම සම්මානයත් සමග බෝල්ට් විසින් හිමි කර ගත්තේය.
දක්ෂතම කාන්තා ක්‍රීඩිකාව වීමේ භාග්‍යය ලත් සෙලීනා ඈන් ප්‍රෙෂර් ඒ සදහා සුදුසුකම් ලද්දේ පළවන වතාවට වන අතර ඇය මේ වන විට ජගත් කෙටි දුර ධෘවන සූරියන් අතර පෙරමුණේ පසුවන්නීය.මීටර් 100 තත්පර 10.71 න් සහ මිටර් 200 තත්පර 22.13 න් නිම කරමින් පෑ දක්ෂතාවය සෙලීනා මෙම සම්මානය සදහා සුදුසු විමට හේතු වූ අතර ඇයට මෙන්ම මෙම සම්මානයත් සමග බෝල්ට් ද ඩොලර් ලක්ෂය බැගින් දිනා ගැනීමටද අවස්ථාව උදාවිණි.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදනමේ සභාපති වන මොනෑකෝ හී ඇල්බර්ට් කුමරු මෙන්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලැමිනේ ඩියැක් බෝල්ට් ට සහ සෙලීනා ට සම්මාන ප්‍රදානය කිරීම සදහා එකතු විය.
www.supirikrida.com

රංගන සහ දිමුත් වෙනුවට සීකුගේ සහ රමිත්


වසීලනත කණ්ඩායමට එරෙහිව නම් කරන ලද ශ්‍රී ලංකා 20 / 20 කණ්ඩායමට ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇතුළත්ව සිටි රංගන හේරත් සහ දිමුත් කරුණාරත්න ඇතුළත් වී නැති අතර ඒ වෙනුවට සීකුගේ ප්‍රසන්න සහ රමිත් රඹුක්වැල්ල කැදවා ඇත.මෑත කාලයේ ජාතික තලයට ප්‍රවේශ විම සදහා අවස්ථාවන් වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමේ භාග්‍යය ලද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ගේ පුතනුවන් වන රමිත්,ඒ ලද අවස්ථාවන් සමග සිය දක්ෂතා මට්ටමද වර්ධනය කර ගනිමින් මෑත කාලයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ප්‍රමාණාත්මක අවධානයක් දිනා ගෙන ඇත.වමතින් පිත්ත හසුරුවන දකුණතින් පිට දග පන්දු යවන,කොළම රාජකීය විද්‍යලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි රමිත් අද කොළඹ සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.
ටෙස්ට් තරගයකට සහ ජාත්‍යන්තර එක්දින තරග 9 ට සහභාගි වී ඇති සීකුගේ ප්‍රසන්න ද තවමත් ජාත්‍යන්තර 20/20 තරග සදහා ක්‍රීඩා කර නැත.දකුණත් පා දග පන්දු යවන්නෙක් ලෙස කැපි පෙනෙන මෙම දකුණත් පිතිකරණය මැත කාලයේ සිට ප්‍රහාරාත්මක මුහුණුවරක් ගෙන ඇති අතර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් ඒ ප්‍රහාරාත්මක පිතිකරණය අවස්ථා කිහිපයකදිම ජයග්‍රහණය වෙනුවෙන් මාවත සකස් කළේය.ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරන සීකුගේ බලපිටිය රේවත විද්‍යාලයෙන් ලැබුණු දායාදයකි.

Nov 17, 2013

ලංකාව ජාමේ බේරා ගනියි

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක් සනාත කිරීම සදහා නේදන් මැකලම් ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් අදුර පැතීරී යන්නට වු බැවින් අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නොපැවත්විය හැකි බවට තරග විනිසුරුවන් ගත් තීරණයත් සමග ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 36 ක ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.ඒ සමගම නවසීල්නතය ඉදිරියේ තරගාවලි පරාජයක් ලැබීමේ අවමානයෙන් ගැල වුණු ශ්‍රී ලංකාවට තරගාවලිය සම මට්ටමෙන් අවසාන කරන්නට හැකියාව උදා විණි.
Tillakaratne Dilshan raises the bat after reaching his fifty
කාසියේ වාසියෙන් පසුව නවසීලන්තය ශ්‍රී ලංකාවට පිතිකරණයට කළ ආරාධනය අනුව මහේල ජයවර්ධන ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පණ පෙවූ අතර එහි වැදගත් කම මොනවට පසක් කළ මහේල පන්දු 46 දි ලකුණු 46 ක් එක් කළේ,ආරම්භක කඩුල්ල සදහා ඩිල්ෂාන් සමග ලකුණු 91 සබදතාවයක් පවත්වමින්ය.තරගාවලියේ සිටි දෙපිළේම විශිෂ්ඨයා තමන් බව සනාත කළ ඩිල්ෂාන් තරගාවලියේ වීරයා වූයේ පිට පිටම මේ තරගයේදී ද අගනා අර්ධ ශතකයකින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව පොහොසත් කරමින්ය.පන්දු 50 ක දී ගලා ආ එම ලකුණු 53 ශ්‍රි ලංකා ඉණිමේ පිතිකරුවෙක් ලැබූ වැඩිම ලකුණු ගණන විය.
කණ්ඩායමට එමින් නැවත වීසි වෙමින් නිශ්චිත ස්ථානයක් නොමැතිව සිටින සචිත්‍ර සේනානායක ඊයේ තරගයේදී සිය තුන් ඉරියව් හැකියාව කදිමට ප්‍රදර්ශනය කළේ පන්දු 14 න් ලකුණු 21 ක් ලබමින් සහ ලකුණු 14 ට කඩුලු 2 ක් දවා ගනිමින් ද,ප්‍රහාරාත්මක පිතිකරු ලුක් රොන්චි දවා ගැනීමට විශිෂ්ඨ අඩ පන්දුවක් ද රැක ගනිමින්ය.ඒ නිසාම ශ්‍රී ලංකාවේ ජයග්‍රාහණයේ නියමුවා ලෙස  සළකා මෙම තරගයේ වීරයා සම්මානය සචිත්‍රට පිරිනැමිණ මීට පෙර තරගයේ අසාර්ථක රංගනයක යෙදි රංගන හේරත් ද මෙම තරගයේදී කඩුලු අතරට එමින් ලකුණු 25 ට කඩුලු 3 ක් දවාලු අතර පිත්තෙන්ද ලකුණු 17 ක් එක් කළේ පන්දු 7 ක් තුළ 4 පහර හතක් ද එල්ල කරමින්ය.
මෙම තරගයේ තීරණයටද විශාල බාධාවක් ඇති කරමින් ප්‍රවේගකාරීව හැසිරුණු නේදන් මැකලම් පන්දු 19 ක් තුළ නොදැවි ලකුණු 33 ක් ලැබූ අතර ඔහු ශ්‍රී ලංකාවට එරෙහි දරුණුම පීඩනය එල්ල කළ කිවි ක්‍රීඩකයා වෙමින් ලකුණු 13 ට කඩුලු 2 ක් දවා ගැනීමට ද සමත් විය.තරගය ආරම්භයේදී පන්දු ඕවර් 33 දී ලකුණු 216 ක් වී තිබු නවසීල්නත ඉලක්කයට පිවිසීමට විශාල අභියෝගයක් එල්ල කළ ලාංකේය පන්දු බල ඇණිය 19 වන ඕවරය වන විට නවසීලන්ත ලකුණු පූවරුව ලකුණු 63 ට කඩුලු 6 ක් බවට පත් කර තිබිණ.එතැන් සිට නොදැවී ලකුණු 42 ක් ලබා සිටි ජෙම්ස් නිශම් සමග පන්දු ඕවර් 6 ක් තුළ ලකුණු 63 ක් එක් කරමින් මැකලම් පීඩනය ශ්‍රී ලංකාව දෙසට හැරවීමට උත්සාහ ගත්තද ආලෝකය බැදි වැට ඉදිරියේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ලකුණු 36 න් සනාත විය.