Nov 23, 2013

නේෂන් කුසලානය විනිශ්චයට හතක්

සිංගප්පූරු දැල් පන්දු සම්මේලනය සංවිධානය කරන නේෂන් කුසලාන දැල් පන්දු තරගාවලියේ විනිශ්චය කටයුතු සදහා සත් දෙනෙකුගෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ විනිශ්චය මඩුල්ලක් යොදා ගැනීමට නියමිත බව සිංගප්පූරු දැල් පන්දු සම්මේලනය ප්‍රකාශ කරනවා.මෙම සත් සාමිජික විනිශ්චය කමිටුවට යූ බී ලින්ග්,ජෝන් යානි අබ්දුල්ලාහ්,එරික් ලී සහ නයිජල් වේන් සිංගප්පූරුවෙන්ද,ඇන්ඩ්‍රියා බූත්,බ්රෝන්වෙන් ඇඩම්ස් සහ එමා ඩේවි ඕස්ට්‍රේලියාවෙන්ද ඇතුළත් වෙනවා.
රටවල් හයක සහභාගීත්වය ඇතුව අට වන වරට සංවිධානය වන මෙම තරගාවලියේ ඉහළ මට්ටම සුරුක ගැනීමට විනිශ්චය කටයුතුවන ඇති පාරදෘශ්‍ය භාවය සහ විශ්වසනීය්තවය ඉතා වැදගත් බැවින් තරගාවලිය සදහා පිළිගත් ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක සේවය ලබා ගැනීමට තීරණය කළ බව සිංගප්පූරු දැල්පන්දු සම්මේලනය පවසනවා.
මෙවර තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් අතර ජගත් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින්නේ පැපුවා නව්ගිනියාව වන අතර ඔවුන් 17 වන ස්ථානයේත්,ඇමෙරිකා එක්සත් ජනපදය 19 වන ස්ථානයේත් සහ සත්කාරක සිංගප්පූරුව 21 වන ස්ථානයේත් පසු වෙනවා.ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 23 වන ස්ථානයේ රැදී සිටින අතර අයර්ලන්තය සිටින්නේ 28 වන ස්ථානයේ අතර මෙවර තරගාවලියට මෙතෙක් ජගත් ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන ගත කිරීම් වලට ඇතුළත් නොවුණු උගන්ඩාවද තරගාවලියට සහභාගි වෙනවා.
www.supirikrida.com

Nov 22, 2013

ඩිල්ෂාන්ගේ අර්ධ ශතක පෙරහැරේ සිව්වැනි රැගුම පල්ලෙකැලේදී

Tillakaratne Dilshan raises the bat after reaching his fiftyටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගෙන ඉදිරි කාල සීමාවේ සීමිත පන්දු ඕවර තරග සහ 20 /20 තරග සදහා පමණක් සහභාගි වන්නට තීරණය කළ,ටීඑම් ඩිල්ෂාන් එම තීරණයෙන් පසුව මුහුණ දුන් පළමු සීමිත පන්දුවාර තරග තුනේදීම අර්ද ශතක ලැබූ අතර ඊයේ මුහුණ දුන් පළමු 20/20 තරගයේදී ද අර්ධ ශතකයක් ලබමින් නවසීල්නතයට එරෙහිව මුහුණ දුන් තරග හතරේදීම අර්ධ ශතක ලබා ගන්නට සමත් වුණා.වර්ෂාවේ බාධා නිසා අතහැර දැමූ පළමු 20/20 තරගයෙන් පසුව දෙවන තරගය පල්ලෙත‍කැලේ දි පැවත් වු අතර එහිදී කඩුලු අටක ජයග්‍රහණයක් කරා පිවිසෙන්නට ශ්‍රී ලංකාවට ඩිල්ෂාන්ගේ ඉණිම විශාල හේතුවක් වූවා.
කාසියේ වාසිය දිනු හ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දු යැවීමට ගත් තීරණයට පළමුව සාධාරණය ඉටු කළ නුවන් කුලසේකර,තරගයේ දෙවන ඕවරයේ පළමු  පන්දුවෙන්ම හමීෂ් රදර්ෆඩ් දවා ගන්නට සමත් වුණා.විශේෂයෙන් ඊයේ 20/20 ජත්‍යන්තර තරග සදහා බෞතිස්ම ලැබූ රමිත රඹුක්වැල්ල සිය ප්‍රවේශය සදහා ඉහළ සමාජ සබදතා වලට වඩා වැඩි පදනමක් තිබෙන බව පැහැදිළි කරමින් සාර්ථක පන්දු යැවීමක නිරත වූ අතර ඔහු සිය පන්දු ඕවර් 4 තුළ ලකුණු 19 ට කඩුලු 4 ක් දවා ගත්තා.එසේම ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් අඩුම ලකුණු සාමාන්‍යයක් තබා ගැනීමට සමත් වූ පන්දු යවන්නාද රමිත් වූවා.
කෙසේ නමුත් ඇන්ටන් ඩෙව්සික්,ලුක් පොන්චි සහ නේදන් මැකලම් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවට යම් පීඩනයක් ඇති කරන්නට සමත් වූ අතර එහිදී ඔවුන් පිළිවෙලින් ලකුණු 30,නොදැවි 34 සහ ලකුණු 26 ක් ලෙස නවසීල්නත ලකුණු පූවරුව පොහොසත් කරන්නට වූ දායකත්වය හේතුවෙන් නවසීලන්ත ඉණිම කඩුලු 7 ට ලකුණු 142 දක්වා ඉදිරියට ගියා.
කඩුලු ලැබීමේදී මාලිංග,කුලසේකර,මැතිව්ස්,රඹුක්වැල්ල,තිසර සහ මැතිව්ස් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.පිලිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේල ජයවර්ධන තරගයේ දෙවන ඕවරයේදී ලකුණු 3 ට දැවී යාමෙන් පසු ඩිල්ෂාන්ට එක් වූ ජනිත් ප්‍රවේගකාරී ඉණිමක් ක්‍රීඩා කළේ ජයග්‍රහණය කරා අවශ්‍යය මාවත එලි පෙහෙළි කරමින්.නවසීලන්ත පන්දු රකින්නන් ද ඒ සදහා ආශිර්වාදය ලබා දුන් අතර ලකුණු 6 සහ 39 ක් ලබා සිටියදී ඔවුන් විසින් අතහැර දැමූ ජනිත්ගේ උඩ පන්දු දෙක නිසා නවසීලන්ත පරාජයට බෙහෙවින්ම හේතු වූ ලකුණු 57 ක් ජනිතගේ පිත්තෙන් ගලා ආවේ පන්දු 37 ක් තුළයි.එහි අවසාන ප්‍රතිපලය වූයේ ශ්‍රි ලංකාව පන්දු ඕවර් 17.5 ක් තුළ ලකුණු 143 ක් ලබා ගනිම්න් කඩුලු 8 ක ජයග්‍රහණයකට පිවිසීම වූ අතර ඊට හේතු වූ ප්‍රවේගකාරී ඉණිම වෙනුවෙන් ජනිත් කුසල් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.
www.supirikrida.com


ලෝක කුසලානයට ගණිකාවෝ ඉංග්‍රිසි පන්ති යති

ළැඹෙන 2014 වසරේ බ්‍රසීලයේ පැවත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් සිය ගණු-දෙනු කරුවන් සමග සබදතාවය වඩාත් ශක්තිමත් කර ගැනීම පිණිස බ්‍රසීල ගණිකාවන් ඉංග්‍රිසි හැදෑරීමට පටන් ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.දැනටමත් බ්‍රසීල ගණිකාවන් 2014 පැවත්වෙන ලෝක කුසලානය වෙනුවෙන්පැමිණෙන විදේශිකයන් දැලේ දා ගැනීම සදහා සංවිධානාත්මක සූදානමක් පෙන්වන බව පැහැදිළි කරන එම වාර්තා ගණිකා නිවාස පවා ඒ වෙනුවෙන් අලුත් වැඩියා කටයුතු කරන බව සදහන් කරනවා.ඒ අනුව බ්‍රසීල ජාතිකයන් තුළ ජාත්‍යන්තර ප්‍රජාව සමග සුහදතාවය වර්ධනය කර ගැනීමේ අඩුවක්ව පවතින ඉංග්‍රිසි දැණුම වර්ධනය කිරීමට ගණිකාවන් වෙනුවෙන් ඇතැම් සංවිධාන නොමිළේ ඉංග්‍රිසි ඉගැන්වීමට පංති පවත්වන බව ද එම ප්‍රවෘත්ති වාර්තා හී පෙන්වා දෙනවා.
ජනාධිපති සීඩා වියේරා ගණිකාවන් ගැන සදහන් නොකළ ද,පාපන්දු ලෝක කුසලානය සදහා පැමිණෙන විදේශිකයන් සමග ගණුදෙනු කිරීමෙන් හොද ප්‍රතිලාභ ලබා ගැනීමට මෙන්ම,රට ගැන හොද මිත්‍රශීලී චින්තනයක් ඇති කිරීමටද ඉංග්‍රිසි ඉතාමත් වැදගත් වනු ඇති බව පෙන්වා දී ඇති අතර ඒ නිසා ඉංග්‍රිසි දැණුම වර්ධනය කර ගැනීමට උනන්දුවන ලෙස ද ඉල්ලා තිබෙනවා.බ්‍රසීලයේ නගර 17 ක් ලෝක කුසලානයට කේන්ද්‍ර වන අතර ඒ නිසා 2016 ඔලිම්පික් උළෙලටත් වඩා රට තුළ විදේශිකයන් විසිරී යන බැවින් මුළු රටේම අවධානය සහ ආකර්ශනය මේ තරගාවලිය සම්බන්ධයෙන් වන කරුණු කෙරෙහි යොමු වී පවතින බවත් එම වාර්තා පැහැදිළි කරනවා.
www.supirikrida.com

Nov 20, 2013

හැකියාවට වැස්සේ තෙමෙන්නට දී දකුණු අප්‍රිකානු කුඩයේ හිල් ගනින්නට වීම

The covers are on in Pallekele
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්වන්නට යෙදී තිබුණු 20 / 20 ක්‍රිකට් තරගය වර්ෂාව නිසා අත හැර දමන්නට සිදු වීම හේතුවෙන් 20/20 තරග ශ්‍රේණිගත කිරීමේ දී පළමු තැන සිටි ශ්‍රී ලංකාවට සිය ස්ථානය රැක ගැනීමට පකිස්තානය ඉදිරියේ දකුණු අප්‍රිකා දස්කම් කෙසේ වනු ඇත්දැයි බලා සිටින්නට සිදු වෙනවා.පකිස්තානයට එරෙහිව දකුණු අප්‍රිකාව 20/20 තරග දෙකම ජය ගතහොත් සිය ස්ථානය රැක ගැනීමට ශ්‍රී ලංකාවද නවසීලන්තයට එරෙහි තරග දෙකම ජය ගත යුතු තත්ත්වයේ සිටි නිසා ඊයේ තරගය අතහැර දමන්නට සිදුවීමේ වැඩි අවාසිය ශ්‍රී ලංකාවට දරන්නට සිදු වෙනවා.
කාසියේ වාසිය උරගා බැලීමටවත් අවස්ථාව නොදෙමින් දිගින් දිගටම වැටි වර්ෂාව නිසා තරගය අතහැර දැමීම නිසා තරග දෙකකින් යුත් තරගාවලියේ ‍හෙට යෙදී තිබෙන තරගය වඩාත් තීරණාත්මක වෙනවා.විශාල ලකුණු පරතරයකින් ජය ගැනීම හොද දළ ලකුණු වේගයක් පවත්වා ගෙන යාම ආදී කරුණු පිළිබදව මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විශාල අවධානයක් යොමු කළ යුතුව තිබෙන අතර සිය ස්ථානය රැක ගැනීම සදහා දකුණු අප්‍රිකාවේ හැසිරීම දෙස බලා සිටින්නට සිදු වන තත්ත්වයට වර්ෂාව විසින් ශ්‍රී ලංකා කණ්ඩායම ඇද දමා තිබෙනවා.වැසි සහිත දේශගුණික තත්ත්වයකට පෙර නිමිති සහ පූර්වාදර්ශ තිබියදීත් මේ කාල වකවානුවේ එතරම්  පීඩනයක් ඇති නොකරනු ඇතැයි විශ්වාස කළ හැකි දඹුල්ල සහ සූරියකැලේ ක්‍රීඩාංගණ අතහැර දමා වර්ෂාව සම්බන්ධයෙන් වැඩිම අවධානම සහිත පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට මේ මොහොතේ තරගයක් ගෙන එන්නට ගත් පරිපාලන තීරණයේ වරදද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇද වැටීමට විශාල බලපෑමක් එල්ල කරනවා.මේ තත්ත්වය නිසා සිය හැකියාවන් වැසි දියේ පෙගෙන්නට හැර දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය සහ පරාජයට සිය ස්ථාවරය තීරණය කරන්නට දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වී තිබෙනවා.
www.supirikrida.com

Nov 19, 2013

මරීෂා ට නායකත්වය



සුපිරි ක්‍රීඩා වෙබ් අඩවිය පළ ආකාරයටම ජාත්‍යන්තර කණ්ඩායම් හයක් සහභාගි වන දෙසැම්බර් පළමු දින සිංගප්පූරුවේ ඇරඹෙන නේෂන් කුසලාන දැල් පන්දු තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මරීෂා ප්‍රනාන්දු ට හිමි වී ඇති අතර එහි උප නායකත්වය සෙමිනි  අල්විස් ට හිමි වී ඇත.මීට පෙර ද නායිකාව වීමට මරීෂා ට තිබූ අවස්ථාව විවිධ හේතුන් මත අහිමිව ගිය අතර මේ තත්ත්වය දැල් පන්දු පරිපාලනයේ අවධානයට ලක් කරන්නටත් එසේම ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායමට නායකත්වය දුන් සෙමිනි අල්විස් වැනි ක්‍රීඩිකාවට උප නායකත්වය දීම ඇයගෙන් දැල් පන්දු ක්‍රඩාවට ලබා ගැනීමට ඇති දායකත්වයට මෙන්ම රටේ දැල් පන්දු ක්‍රීඩාවට ද වැදගත් බව සුපිරි ක්‍රීඩා පෙන්වා දුන් අතර නායිකාව සහ උප නායිකාව පත් වීමේදි ඒ ආකාරයෙන්ම සිදු වි තිබීම ක්‍රීඩාවේ අනාගතය පිළිබදව දැල් පන්දු පරිපාලනය යම් වගකීමකින් බැදී තිබෙන බව පැහැදිළි කරන්නක් බව අපේ අදහසයි.
කෙසේ නමුත් කණ්ඩායමේ සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් තේරීමේ අවස්ථාවේ සිට විශාල ගැටළු ගණනාවක් පැන නැගෙනු දකින්නට තිබුණු අතර නමුත් ඒ සම්බන්ධයෙන් තෝරාගත් සංචිතයේ සිටින ක්‍රීඩිකාවන් අතරින් විශාල ප්‍රගතියක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තිළිණි වත්තේගෙදර හොද ආයෝජනයක් වනු ඇතැයි දැල්පන්දු සම්මේලනයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.නම් කරන ලද කණ්ඩායමේ වැඩි පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වන අතර තිළිණිට අමතරව සුරේකා කුමාරි සහ චතුරංගනී මල්කාන්ති ද ගුවන් හමුදාව නියෝජනය කරති.පාසල් දැල් පන්දු ක්‍රීඩිකාවන් තිදෙනෙක්ද සංචිතයේ සිටින අතර ඒ අතරින් කොළඹ විශාකා විද්‍යාලය නියෝජනය කරන ගයනි දිසානායක සහ තිසාලා අල්ගම ජාත්‍යන්තර තරග නියෝජනය කර ඇති වඩාත් අත්දැකීම් ඇති ජාතික මට්ටමේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවෝ වන අතර ගයන්ජලි අමරසේන කණ්ඩායමට තේරී පත් වී ඇත්තේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන්ය.
මෙවර ජාතික තරගාවලියේ දැල් පන්දු රැජින වූ කාංචනා ජයවීර සමග නොචිලි රාජපක්ෂ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවය.ශ්‍රී ලංකාවේ ප්‍රබලතම දැල් පන්දු කණ්ඩායම් ලෙස වැජඹි හැටන් නැෂනල් බැංකු කණ්ඩායමෙන් සහ සෙලාන් බැංකු කණ්ඩායමෙන් එක් ක්‍රීඩිකාව බැගින් පමණක් කණ්ඩායමට එක් වි සිටින අතර හැටන් නැෂනල් බැංකු කණ්ඩායමෙන් තරග වදින්නේ දර්ශිකා අබේවික්‍රමය.සෙලාන් බැංකුවෙන් තරග බිමට පිවිසෙන්නී තර්ජනී සිවලිංගම්ය.කණ්ඩායමේ උප නායිකා සෙමිනි ද අල්විස් වරාය අධිකාරිය නියෝජනය කරන අතර ටොයොටා ලංකා පුද්ගලික සමාගම නියෝජනය කරමින් මරීෂා ප්‍රනාන්දු කණ්ඩායමට එක් වී සිටියි.
මරීෂා අත්දැකීම් ඇති ක්‍රිඩිකාවක් මෙන්ම නායිකාවක් ලෙස මෙම තරගාවලියේදී වඩා පරිස්සමින් කටයුතු කළ යුතු අතර සියළුම ක්‍රීඩිකාවන් සිය පෞද්ගලික භාවිතාවන් සහ උවමනාවන් තරග බිමට රැගෙන ඒමෙන් වැළකී සිටීමට ප්‍රවේශම් විය යුතුය.එසේම ජයග්‍රහණයට වඩා නිසි ජාතික කණ්ඩායමක් අනාගතය වෙනුවෙන් සකස් කර ගැනීමේ හොද සංයුතියක් නිර්මාණය කර ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස මෙම තරුණ කණ්ඩායමේ සහභාගීත්වය තේරුම් ගත යුතු අතර කණ්ඩායම් කළමණාකාරිය ලෙස ලක්ෂ්මි වික්ටෝරියා සිය පරිපාලන වගකීම කණ්ඩායමේ අභ්‍යන්තර හැසිරීමට පීඩනයක් එල්ල නොවන ආකාරයෙන් මෙන්ම එල්ල විය හැකි පීඩනයන් වළක්වන ආකාරයෙන් භාවිතා කිරීම පිළිබදව සූක්ෂම හැසිරීමක ඥාණයකින් කටයුතු කිරීම ඉතා වැදගත්ය.
කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස සොමිතා අල්විස් කටයුතු කරන අතර කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස තරග සංචාරයට එක් වන්නේ වෛද්‍ය ලාල් ඒකනායකය.පීඩීඩීඑන් ප්‍රසාදි කණ්ඩායම් භාර නිලධාරිණිය ලෙස සංචාරයට එක් වි සිටින්නීය.
www.supirikrida.com

ඉතාලියේ ජය උගන්ඩාව උදුරා ගනියි

Gareth Berg hammered 90 from 47 balls
ග්රේත් බර්ග්
වසාන පන්දු ඕවරයේ ජයග්‍රහණය සදහා අවශ්‍යයව තිබූ ලකුණු 3 ලබා ගැනීම ඉතාලි කණ්ඩායමේ උප නායක ගයාශාන් මුණසිංහ විසින් පන්දු පහක් දක්වා පමා කළ ද  උගන්ඩාව වෙනුවෙන් වගකීම් සහගත ඉනිමක් දියත් කරමින් පන්දු 30 දී ලකුණු 33ක් නොදැවී ලබා ගත් රිචඩ් ඔකියා නවතා ගන්නට ගයාශාන්ට හැකියාව ලැබුණේ නැත.19 වන ඕවරය නිමා වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් ලබා ජයග්‍රහණයට ලකුණු 3 ක් පමණක් පිටු පසෙන් සිටි උගන්ඩාව වෙනුවෙන් ඒ වන විට නව වන කඩුල්ලට ලකුණු 49 ක විශිෂ්ඨ සබදතාවයක් ද එක් වී තිබිණ.එහිදී අවසාන ඕවරයේ පළමු පන්දුවෙන් එම සබදතාවය බිද දමා පන්දු 15 කින් ලකුණු 21 ක් ලැබ සිටි චාල්ස් වසිවා පිටියෙන් ඉවත් කරන්නට ගයාශාන් සමත් විමත් සමග තරගය දෙපසට දෝලනය වුව ත් අවසන් පිතිකරු එක ලකුණකට පැති මාරු කරමින් ඔකීවාට අවස්ථාව ලබා දීමෙන් පසු ඔහු කණ්ඩායම වෙනුවෙන් කරගෙන ආ යුතුකම ජයග්‍රහණයෙන් කෙළවර කළේ ඉතාලියේ ලකුණු 148 පසු කර යමින් අවසාන ඕවරයේ පස්වන පන්දුවට එල්ල කළ හතරේ පහරකින්ය.
ඒ නිසාම තරගයේ වීරයා සම්මානයද ඔකීවා ට හිමි විය.
කාසියේ වාසිය ලැබ උගන්ඩාව පළමුවෙන් පන්දුවට පහර දීමට කළ ආරාධනයට අනුව ඉතාලිය ප්‍රහාරය ඇරඹූ අතර ඇමෙරිකාවට එරෙහි ජයග්‍රහණයට මූලිකත්වය ගත් ඉතාලි කණ්ඩායමේ ග්රේත් බර්ග් මෙම තරගයේදී ද ප්‍රවේගවත් ලකුණු 62 ක් එක් කළ අතර තරගයේ අවසාන භාගයේ දී ඉතාලි ලකුණු පූවරුව ලකුණු 148 දක්වා ඉහළ දැමීමට බල පෑ ප්‍රහාරයක් දියත් කළ ඉතාලි කණ්ඩායමේ ජෝයි පෙරේරා පන්දු නවයකදී ප්‍රවේගවත් ලකුණු 18 ක් එක් කරන්නට සමත් විය.මෙම තරගයේදී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක්ම ඉතාලිය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ඉතාලියට මෙම පරාජය නිසා 20/20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ භාග්‍යය බොහෝ දුරට අහිමි වීමට පුළුවන.තරගයේ ලකුණු විස්තරයට http://www.espncricinfo.com/icc-world-twenty20-qualifier-2013/engine/current/match/660133.html සබදතාවයෙන් පිවිසීමට හැකි අතර අද ඉතාලිය හා නැමීබියාව තරග වැදීමට නියමිතය.
එසේම ටෙස්ට් තත්ත්වය හිමි නැති රටවල් අතරින් 20 / 20 ලෝක කුසලානය නියෝජනය කරන රටවල් තෝරා ගැනීම සදහා පවත්වන මෙම තරගාවලිය නියෝජනය කරන කැනඩා කණ්ඩායම වෙනුවෙන් ඉණිම ආරම්භ කරන රවිදු ගුණසේකර මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් ආරම්භක පන්දු යවන්නන් ලෙස කටයුතු කරන සදීප් සිල්වා සහ මංජුල ගුරුගේ ද ලාංකිකයෝ වීම විෂේශත්වයකි.
www.supirikrida.com

Nov 18, 2013

මලල ක්‍රීඩාවේ රජුත් රැජිණත් ජැමෙයිකාවෙන්

Shelly-Ann Fraser-Pryce and Usain Bolt at the World Athletics Gala 2013 (Philippe Fitte)මොනෑකෝ හි පැවති වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා සම ක්‍රීඩිකාව නම් කිරීමේ උළෙලේදී පස්වන වරටත් වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිරුළු දරන්නට කෙටි දුර ධාවන සූර උසෙයින් බෝල්ට් සමත් විය.2008,2009 යන වසර වල දී මෙම සම්මානයට හිමි කම් කී බෝල්ට් 2011 සහ 2012 වර්ෂ වලද මෙම ගෞරවයේ උරුමක්කාරයා වු අතර ඒ අනුව පිට පිටම තෙවරක් එම ගෞරවයට උරුමකම් කීමේ භාග්‍යය මෙම සම්මානයත් සමග බෝල්ට් විසින් හිමි කර ගත්තේය.
දක්ෂතම කාන්තා ක්‍රීඩිකාව වීමේ භාග්‍යය ලත් සෙලීනා ඈන් ප්‍රෙෂර් ඒ සදහා සුදුසුකම් ලද්දේ පළවන වතාවට වන අතර ඇය මේ වන විට ජගත් කෙටි දුර ධෘවන සූරියන් අතර පෙරමුණේ පසුවන්නීය.මීටර් 100 තත්පර 10.71 න් සහ මිටර් 200 තත්පර 22.13 න් නිම කරමින් පෑ දක්ෂතාවය සෙලීනා මෙම සම්මානය සදහා සුදුසු විමට හේතු වූ අතර ඇයට මෙන්ම මෙම සම්මානයත් සමග බෝල්ට් ද ඩොලර් ලක්ෂය බැගින් දිනා ගැනීමටද අවස්ථාව උදාවිණි.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදනමේ සභාපති වන මොනෑකෝ හී ඇල්බර්ට් කුමරු මෙන්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලැමිනේ ඩියැක් බෝල්ට් ට සහ සෙලීනා ට සම්මාන ප්‍රදානය කිරීම සදහා එකතු විය.
www.supirikrida.com

රංගන සහ දිමුත් වෙනුවට සීකුගේ සහ රමිත්


වසීලනත කණ්ඩායමට එරෙහිව නම් කරන ලද ශ්‍රී ලංකා 20 / 20 කණ්ඩායමට ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇතුළත්ව සිටි රංගන හේරත් සහ දිමුත් කරුණාරත්න ඇතුළත් වී නැති අතර ඒ වෙනුවට සීකුගේ ප්‍රසන්න සහ රමිත් රඹුක්වැල්ල කැදවා ඇත.මෑත කාලයේ ජාතික තලයට ප්‍රවේශ විම සදහා අවස්ථාවන් වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමේ භාග්‍යය ලද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ගේ පුතනුවන් වන රමිත්,ඒ ලද අවස්ථාවන් සමග සිය දක්ෂතා මට්ටමද වර්ධනය කර ගනිමින් මෑත කාලයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ප්‍රමාණාත්මක අවධානයක් දිනා ගෙන ඇත.වමතින් පිත්ත හසුරුවන දකුණතින් පිට දග පන්දු යවන,කොළම රාජකීය විද්‍යලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි රමිත් අද කොළඹ සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.
ටෙස්ට් තරගයකට සහ ජාත්‍යන්තර එක්දින තරග 9 ට සහභාගි වී ඇති සීකුගේ ප්‍රසන්න ද තවමත් ජාත්‍යන්තර 20/20 තරග සදහා ක්‍රීඩා කර නැත.දකුණත් පා දග පන්දු යවන්නෙක් ලෙස කැපි පෙනෙන මෙම දකුණත් පිතිකරණය මැත කාලයේ සිට ප්‍රහාරාත්මක මුහුණුවරක් ගෙන ඇති අතර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් ඒ ප්‍රහාරාත්මක පිතිකරණය අවස්ථා කිහිපයකදිම ජයග්‍රහණය වෙනුවෙන් මාවත සකස් කළේය.ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරන සීකුගේ බලපිටිය රේවත විද්‍යාලයෙන් ලැබුණු දායාදයකි.

Nov 17, 2013

ලංකාව ජාමේ බේරා ගනියි

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක් සනාත කිරීම සදහා නේදන් මැකලම් ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් අදුර පැතීරී යන්නට වු බැවින් අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නොපැවත්විය හැකි බවට තරග විනිසුරුවන් ගත් තීරණයත් සමග ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 36 ක ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.ඒ සමගම නවසීල්නතය ඉදිරියේ තරගාවලි පරාජයක් ලැබීමේ අවමානයෙන් ගැල වුණු ශ්‍රී ලංකාවට තරගාවලිය සම මට්ටමෙන් අවසාන කරන්නට හැකියාව උදා විණි.
Tillakaratne Dilshan raises the bat after reaching his fifty
කාසියේ වාසියෙන් පසුව නවසීලන්තය ශ්‍රී ලංකාවට පිතිකරණයට කළ ආරාධනය අනුව මහේල ජයවර්ධන ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පණ පෙවූ අතර එහි වැදගත් කම මොනවට පසක් කළ මහේල පන්දු 46 දි ලකුණු 46 ක් එක් කළේ,ආරම්භක කඩුල්ල සදහා ඩිල්ෂාන් සමග ලකුණු 91 සබදතාවයක් පවත්වමින්ය.තරගාවලියේ සිටි දෙපිළේම විශිෂ්ඨයා තමන් බව සනාත කළ ඩිල්ෂාන් තරගාවලියේ වීරයා වූයේ පිට පිටම මේ තරගයේදී ද අගනා අර්ධ ශතකයකින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව පොහොසත් කරමින්ය.පන්දු 50 ක දී ගලා ආ එම ලකුණු 53 ශ්‍රි ලංකා ඉණිමේ පිතිකරුවෙක් ලැබූ වැඩිම ලකුණු ගණන විය.
කණ්ඩායමට එමින් නැවත වීසි වෙමින් නිශ්චිත ස්ථානයක් නොමැතිව සිටින සචිත්‍ර සේනානායක ඊයේ තරගයේදී සිය තුන් ඉරියව් හැකියාව කදිමට ප්‍රදර්ශනය කළේ පන්දු 14 න් ලකුණු 21 ක් ලබමින් සහ ලකුණු 14 ට කඩුලු 2 ක් දවා ගනිමින් ද,ප්‍රහාරාත්මක පිතිකරු ලුක් රොන්චි දවා ගැනීමට විශිෂ්ඨ අඩ පන්දුවක් ද රැක ගනිමින්ය.ඒ නිසාම ශ්‍රී ලංකාවේ ජයග්‍රාහණයේ නියමුවා ලෙස  සළකා මෙම තරගයේ වීරයා සම්මානය සචිත්‍රට පිරිනැමිණ මීට පෙර තරගයේ අසාර්ථක රංගනයක යෙදි රංගන හේරත් ද මෙම තරගයේදී කඩුලු අතරට එමින් ලකුණු 25 ට කඩුලු 3 ක් දවාලු අතර පිත්තෙන්ද ලකුණු 17 ක් එක් කළේ පන්දු 7 ක් තුළ 4 පහර හතක් ද එල්ල කරමින්ය.
මෙම තරගයේ තීරණයටද විශාල බාධාවක් ඇති කරමින් ප්‍රවේගකාරීව හැසිරුණු නේදන් මැකලම් පන්දු 19 ක් තුළ නොදැවි ලකුණු 33 ක් ලැබූ අතර ඔහු ශ්‍රී ලංකාවට එරෙහි දරුණුම පීඩනය එල්ල කළ කිවි ක්‍රීඩකයා වෙමින් ලකුණු 13 ට කඩුලු 2 ක් දවා ගැනීමට ද සමත් විය.තරගය ආරම්භයේදී පන්දු ඕවර් 33 දී ලකුණු 216 ක් වී තිබු නවසීල්නත ඉලක්කයට පිවිසීමට විශාල අභියෝගයක් එල්ල කළ ලාංකේය පන්දු බල ඇණිය 19 වන ඕවරය වන විට නවසීලන්ත ලකුණු පූවරුව ලකුණු 63 ට කඩුලු 6 ක් බවට පත් කර තිබිණ.එතැන් සිට නොදැවී ලකුණු 42 ක් ලබා සිටි ජෙම්ස් නිශම් සමග පන්දු ඕවර් 6 ක් තුළ ලකුණු 63 ක් එක් කරමින් මැකලම් පීඩනය ශ්‍රී ලංකාව දෙසට හැරවීමට උත්සාහ ගත්තද ආලෝකය බැදි වැට ඉදිරියේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ලකුණු 36 න් සනාත විය.


ලාංකිකයන් සහිතව ඉතාලිය ඇමෙරිකාවට පහර දෙයි

Gayashan Munasinghe picked up 2 for 43
ගයාශාන් මුණසිංහ
ටෙස්ට් තත්ත්වය නොමැති රටවල් අතරින් 20 - 20 ලෝක කුසලානයට තරග වදින කණ්ඩායම් තෝරා ගැනිම සදහා පවත්වන සුදුසුකම් ලැබීමේ තරග වටය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද නියෝජනය කරන ඉතාලි කණ්ඩායම ඇමෙරිකාවට එරෙහිව කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් ලබන්නට සමත් විය.අබුඩාබි හී පැවති මෙම තරගයේදි පළමුව පන්දුවට පහර දුන් ඇමෙරිකාව සිය පන්දු ඕවර 20 තුළ ලකුණු 160 ක් රැස් කළේ කඩුලු 5 ක් පමණක් අහිමි කර ගනිමින්ය.පන්දු යැවීමේදී කැපී පෙණුන ඉතාලි පන්දු යවන්නා බවට පත් වූ ගයාශාන් මුණසිංහ ලකුණු 26 ට කඩුලු 2 ක් දවා ගත් අතර දැවී ගිය ඉතිරි කඩුලු තුනම දුවද්දි වූ දැව යාම් විය.ඒ අතරින් එක් දැවීමකට හවුල් වීමට ශ්‍රී ලංකාවේ ජෝයි පෙරේරා ට හැකි විය.
පිළිතුරු ඉණිමේදී දැවැන්ත ඉලක්කයට පිවිසීම පහසු කරමින් හොද ආරම්භයක් ලබා ගත් ජීකේ බර්ග් පන්දු 47 දි ලකුණු 90 ක් රැස් කිරීමට සමත් විය.තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට වරම් හිමි වූ එම ඉණිම ජයග්‍රහණයකින් කෙළවර කිරීමට සහය වූ කාර්ල් සැන්ඩ්රි පන්දු 16 දී නොදැවී එක් කළ ලකුණු ප්‍රමාණය 27 කි.තරගයේ සමස්ත ලකුණු විස්තරයට http://www.espncricinfo.com/icc-world-twenty20-qualifier-2013/engine/match/660117.html සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය.
මීට පෙර හොංකොං කණ්ඩායම සහ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වූ අතර අද ඉතාලිය උගන්ඩාව සමග තරග වැදීමට නියමිතය.තරගාවලිය කාණ්ඩ දෙකක් අතරේ ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව තරගාවලියට මුහුණ දෙන්නේ ඒ කාණ්ඩයෙන්ය.