Feb 4, 2012

ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති


ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්ත ලයන් කණ්ඩායම සමග පැවත්වෙන තරගාවලියේ සිව්වන තරගය කඩුලු හතරකින් ජය ගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය සම කර ගැනීමට සමත් විය.තරගාවලියේ ප්‍රථම තරග දෙකම පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන සහ සිව්වන තරග ජය ගනිමින් යළි තරගාවලියට ප්‍රවේශ වී සිටින අතර 06 දා පැවත්වෙන තරගය ජය ගෙන තරගාවලිය ජය ගැනීමට අවශ්‍යය මානසික පරිසරයක සකසා ගැනීමට ද සමත් විය.
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති සිව්වන එක්දින තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා ඒ නායක තිළින කණ්ඩම්බි පළමුවට පන්දුවට පහර දීම ඇරඹූ අතර මාලිංග බණ්ඩාර (41/3),සීකු ගේ ප්‍රසන්න (43/3) සහ ධනුෂ්ක ගුණතිලක (43/2) ගේ පන්දු යැවීම ඉදිරියේ අසරණව අඩපණව ගිය එංගලන්ත ඉණිම ලකුණු 204 ට සීමා විය.එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අර්ධ ශතක ලබා ගත් අතර (සමිත් පටෙල් 50,ඇලෙක්ස් හෝල් 62 )ඔවුන් දෙදෙනාගේ ආරම්භ කඩුල්ලේ සබදතාවය ලකුණු 85 ක් විය.නමුත් ඉන් අනතුරුව ලකුණු අතරට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයනට අවස්ථාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එංගලන්ත ඉණිම නියමිත පන්දු ඕවර් 50 ට පෙර පන්දු ඔවර 42.1 දී නිම කළහ.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා ඉණිම ඇරඹිමේ වගකීම දිමුත් කරුණාරත්න සහ ධනුස්ක ග්නතිලක විසින් මනාව ඉටු කළ අතර පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 84 ක් විය.තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට දිනා දීමට මුල් වූ දිමුත් මේ තරගයේ දී ද ශ්‍රී ලංකා පිළේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 45 ක් රැස් කළ අතර පන්දුවෙන් දැක් වූ දක්ෂතා වලින් නොනැවතී ධනුෂ්ක සිය පිත්තෙන්ද ලකුණු 41 ක දායකත්වයක් ලබා දීමට සමත් විය.අහාන් ප්‍රියංජන ගේ පිත්තෙන් එක් වු ලකුණු 37 ද සහය කර ගෙන නියමිත පන්දු ඕවර 50 ට පන්දු 47 ක ට මෙපිටින් ශ්‍රී ලංකා ඉණිම ලකුණු 206 ක් ලබා ගන්නා විට අහිමිව ගොස් තිබුණේ කඩුලු 6 ක් පමණි.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබචතාවය තෙරපීමෙන් පිවිසීමට හැකිය.http://www.espncricinfo.com/ci/engine/current/match/549036.html ඡායාරූපයේ දැක්වෙන්නේ තරගයේ ජයග්‍රහණය සදහා පිත්තෙන් සහ පන්දුවෙන් මනා දායකත්වයක් දැක් වූ ධනුෂ්ක ගුණතිලකය.දකුණතින් මද වේග පන්දු යවන සහ වමතින් පිත්ත හසුරුවන ධනුෂ්ක,කොළඹ මහානාම විද්‍යාලයෙන් ක්‍රීඩාවට ලැබුණු දායාදයක් වන අතර වර්ථමානයේ ඔහු ද්‍රවිඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතු අඩි 6 ක උසකින් යුත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

නිලූක උගන්ඩා තරගාවලියේ අවසන් අට දෙනා අතරට


ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සූර නිලූක කරුනාරත්න උගන්ඩා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් අට දෙනා අතරට පිවිසෙන්නට සමත් වී සිටියි.නලූක ඊයේ දවස තුළ තමන් ඉදිරිපත් වූ පළමු තරගයේදී ඉරානයේ අලී සාහුසේනි වෙතින් නිතරග ජයක් ලැබූ අතර ඊ ළග තරගයේ දී ප්‍රතිවාදියා වූ දකුණු අප්‍රිකාවේ ජාකොබ් මැලෙයික පරාජය කිරීමට ද නිලූකට ගත වුණේ විනාඩ් 27 ක කාලයක් පමණි.ලකුණු තත්ත්වය 21 – 13, 21 – 8 ක් ලෙස මැලෙයිකා පරාජය කරමින් අවසන් අටදෙනා අතරට පිවිසි නිලූක ගේ අද අර්ධ අවසන් පූර්ව තරගයේ ප්‍රතිවාදියා වන්නේ ඊශ්‍රායලයේ මීසා සිල්බර්මන් ය.

ලක්ෂ දෙකේ ජය මල්ල යුධ හමුදාවේ ගයාන් කුමාර ට


දැයට කිරුළ පාපැදි සූරතාවයේ සමස්ත සූරතාවය දිනා ගැනීමට ශ්‍රී යුධ හමුදා පාපැදි කණ්ඩායම නියෝජනය කළ ගයාන් කුමාර සමත් විය.පැය 10:03:07 ක කාලයක් ගත කළ ගයාන්ට වඩා තත්පර 09 ක් පිටු පසින් සිටි එම කණ්ඩායමේ ම තිළිණ ද සිල්වා මෙම තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත්තේය.තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකා පොලිසියේ මොහොමඩ් සාලි හිමි කර ගත්තේ පැය 10:03:18 ක කාලයක් ගත් කරමින්ය
තරගයේ අවසාන අධියර මාතලේ සිට අනුරාධපුරයට පැමිණි අතර එම අදියර ජයගත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කිවිසුරු කරුණාරත්න සමස්ත තරගයේ ස්ප්‍රින්ට් ජයග්‍රාහකයා ද විය.එසේම අවසාන අදියරේ දෙවන ස්ථානය දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශිරාන් නදීර සමස්ත තරගයේ ස්ප්‍රින්ට් ජයග්‍රහණ අංශයේ දෙවන ස්ථානය ද දිනා ගත්තේය.සිව්වන අදියරේ තෙවන ස්තානය දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව නියෝජනය කළ ආසිරි කැළුම් දිනා ගත් අතර සමස්ත ස්ප්‍රින්ට් ජයග්‍රහණයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකා පොලිසියේ සුධීර නිලංග ට හිමි විය.

මලල ක්‍රීඩා තාක්ෂණික නිලධාරී හතරවන පියවරේ විභාග අයදුම් පත් සුපිරික්‍රීඩා වෙබ් අඩවියෙන්


ලල  ක්‍රීඩා සහය තාක්ෂණික නිලධාරීන් ගේ සිව්වන අදියර විභාගය සදහා පෙනී සිටින පිරිස ට ඒ සදහා අවශ්‍යය ඉල්ලුම් පත්‍රය සුපිරික්‍රීඩා වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව ඇත.විභාගය මාර්තු මස 18 දා පැවත්වෙන අතර ඒ සදහා ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසාන දිනය පෙබරවාරි 28 දා වෙයි.
රුපියල් 500 ක ඇතුළත්වීමේ ගාස්තුත් සමග වෙබ් අඩවියෙන් බා ගන්නා ඉල්ලුම්පත්‍රය පුරවා ඉල්ලුම්පත් භාරගන්නා අවසාන දිනයට ප්‍රථම,ලේකම්,ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය,නො.281,මීරානියා වීදිය,කොළඹ 12 යන ලිපිනයට යොමු කිරීමෙන් ඔබට මෙම විභාගය සදහා පෙනී සිටීමේ අවස්ථාව උදා කර ගැනීමට හැකිය.අප වෙබ් අඩවියේ ‘මලල ක්‍රීඩා සහය තාක්ෂණ නිලධාරී  විභාගය’ යන බැනරය තෙරපා ඉල්ලුම් පත්‍රය ප්‍රදර්ශනය කර ගැනීමට හැකිය. 

Feb 3, 2012

නැන්ජින් වලින් හම්බන්තොටට



තෙවන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල හම්බන්තොටට දිනා ගැනීමට හැකි වෙනු ඇතැයි විශ්වාසය පළවෙනවා.ඒ වෙනුවෙන් සාකච්ඡාවලට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ආසියාවේ ක්‍රීඩා ප්‍රධානින් සමග සමීප සම්බන්ධයක් ඇති ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප්‍රමුඛව කටයුතු කරන බව ක්‍රීඩා කේෂ්තුය සම්බන්ධ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.මීට පෙර හම්බන්තොටට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය දිනා ගැනීමට ගත් උත්සාහයේ දී හේමසිරි ප්‍රනාන්දු වැනි චරිත නිසියාකාරයෙන් යොදා නොගෙන කටයුතු කළ ආකාරයක් දක්නට ලැබුණු අතර මේ වනවිට 2017 පැවත්වීමට නියමිත් මෙම තරගාවලිය වෙනුවෙන් සටන් වදින්නට සිටි මැලේසියාව සහ වියට්නාමය තරග බිමෙන් ඉවත් කළ හැකි මට්ටමට සිය ජාත්‍යන්තර මිත්‍රත්වය ප්‍රදර්ශනය කරමින් හේමසිරි කටයුතු කරමින් තිබෙන බව ද එම ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා. 
මෙහි ප්‍රථම තරගාවලිය සිංගප්පූරුවේ පැවති අතර එහිදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගන්නට හැකි වුණා.දෙවන තරගාවලිය චීනයේ නැන්ජින් හී පැවත්වෙනවා.ඡායාරූපයේ දැක්වෙන්නේ ප්‍රථම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ඉදුනිල් හේරත් ය.

සුධීර ගේ කහ ජර්සිය තිළිණ ට

දැයට කිරුළ පාපැදි සවාරියේ දෙවන දිනය නිමා වන විට තරගයේ පෙරමුණේ රැදෙන්නට ශ්‍රී ලංකා යුධ හමුදාවේ තිළින ද සිල්වා ට හැකි වී තිබෙනවා.තංගල්ලේ සිට අවිස්සාවේල්ල දක්වා ක්‍රියාත්මක වූ තරගයේ ප්‍රථම දිනයේ ජයග්‍රහකයා වෙමින් ඊයේ රුවන්වැල්ලේ සිට මාතලේ දක්වා වූ තරගයේ දෙවන දිනයේ කහ ජර්සිය පැළද තරග කළ ශ්‍රී ලංකා පොලිසියේ සුධීර නිලංගට අද තරගයේ අවසාන දිනයේ තරගයේ දී එම ජර්සිය යුධ හමුදාවේ තිළිණ ද සිල්වා ට ලබා දෙන්නට සිදු වුණා.ඒ අනුව අද මාතලේ සිට අනුරාදපුරය දක්වා වන ගමන් මාර්ගයේ දී තරගකරුවන් අතර කහ ජර්සිය පැළද තරග කරන තිළිණ,සමස්ත තරගයේ ජයග්‍රාහකයන් අතර තත්පර දෙකක කාල පරතරයකින් ඉදිරියෙන් සිටිනවා.
තරගයේ දෙවන අදියරේ ජයග්‍රහකයා වූයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසන්ත හරිස්චන්ද්‍රයි.තත්පර 30 ක පමණ කාල සීමාවක විහාල තරගකරුවන් පිරිසක් දකින්නට ලැබෙන නිසා අද තරගය ඉතා තියුණු මුහුණුවරක් ගැනීම නිසැකයි.වර්ථමානයේ තරගයක් ඇතුළත කණ්ඩායම් ක්‍රියාවලියක් ක්‍රියාවට නැගෙන නිසා සිය කණ්ඩායම වෙනුවෙන් ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන් වැඩි වෙහෙසකට පත් නොකොට සෙසු තරගකරුවන් වෙහෙසී තරග කිරිම සාමාන්‍ය දසුනක් වී තිබෙනවා.ඒ නසි අද තීරනාත්මක දිනයේදී කාල පරතරය අඩු කර ගැනීමට ස්ප්‍රින්ට් ජයග්‍රහණ තම කණ්ඩායම්වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ට ජය ගැනීමට හැකි වන ලෙස සෙසු තරගකරුවන් සහය දැක්වීම නිසා අද තරගයේ පෙරමුණේ සිටින ක්‍රීඩකයන් අභිබවා විශාල කාල පරතරයක් තබා ගෙන යමෙකු ඉදිරියට එනු ඇතැයි සිතීම අපහසුයි.නමුත් මාර්ගයේ ඇති යම් දුෂ්කරතා ප්‍රයෝජනයට ගෙන යමෙකු ඉදිරියට පැමිණියහොත් එය අද තරගයේ මුල් සැතපුම් 50 පමණ දුර දී සිදුවිය යුතුයි.
www.supirikrida.com

IPL වෙන්දේසිය හෙට


මෙවර IPL තරගාවලිය වෙනුවෙන් පැවත්වෙන ක්‍රීඩක වෙන්දේසිය හෙට පැවත්වීමට නියමිත බව වාර්තා වෙනවා.මෙවර ක්‍රීඩක ලංසු තැබීමේ දී වැඩි මිළක් එංගලන්තයේ ග්‍රෙහැම් ස්වෝන් ට සහ ශ්‍රී ලංකාවේ මහේලට හිමි වීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.අප්‍රේල් 04 දා ආරම්භ වි මැයි මස 27 නිමාවට පත් වීමට නියමිත මෙවර IPL තරගාවලිය සදහා කණ්ඩායමක් අවම වශයෙන් ‍අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් ක්‍රීඩකයන් මිළ දී ගැනීම වෙනුවෙන් වැය කළ යුතු වෙනවා.
මෙම මිළ දී ගැනීමට ක්‍රීඩකයන් 144 දෙනෙකු ඇතුළත් වන අතර ඒ පිරිස ජාත්‍යන්තර පිටියෙන් සහ ඉන්දීය ක්‍රිකට් පිටියෙන් සොයා ගැනිමට නියමිතයි.

Feb 2, 2012

ප්‍රසාද්’ ගත් ‘නෙත්මිණි' ‍ගේ වොලිබෝල් ඡායාරූපයට ජාත්‍යන්තර ඇගයීමක්


ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය 2011 වසරේ දී එම සම්මේලනයට අනුබද්ධිත රටවල් 220 තුළම ක්‍රියාත්මක වූ Volley All Festival වැඩ සටහන ශ්‍රී ලංකාවේ හාලිඇල ජාතික පාසලේ දී ක්‍රියාත්මක වෙමින්  පැවතෙද්දී ප්‍රසාද් රශ්මික විසින් ගන්නා ලද ඡායාරූපයක් එම වැඩ සටහනට අදාළ හොදම ඡායාරූපය ලෙස තෝරා ගන්නට ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය විසින් තීරණය කර ඇත.


ප්‍රසාද් විසින් ගන්නා ලද මෙම ඡායාරූපයට හාලිඇල මුගුණුමන විද්‍යාලයේ නෙත්මිණි ශාක්‍යා පෙනී සිට ඇති අතර මෙම ඡායාරූපය මේ වසරේ ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය විසින් ප්‍රකාශිත සියළු ග්‍රන්ථ වලට යෙදීමට ද එම සම්මේලනය තීරණය කර ඇත.එසේම ප්‍රථම වරට ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයෙන් ශ්‍රී ලංකාවේ වොලිබෝල් ආශ්‍රිතව හිමිවන සම්මානනීය අවස්ථාව මේ ඡායාරූපය සමග ප්‍රසාද් විසින් හිමි කර ගන්නා අතර ඒ අනුව ඔහු මෙවර ඇමෙරිකාවේ දී පැවත්වෙන 33 වන ජාත්‍යන්තර වොලිබෝල් සමුළුවේදී එම ඓතිහාසික අවස්ථාව උදා කර ගන්නවා ඇත.

ප්‍රසාද් දැනට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ඒකකයේ ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කරන්නේය.






නිලූක උපරිමයට


සිය බැඩ්මින්ටන් ජීවිතයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිම්වල උපරිමයට ළගා වීමට ඉකුත් සතිය නිමාවන විට නිලූක කරුණාරත්න සමත් වී සිටිනවා.මීට පෙර වරෙක 71 වන ස්ථානයට පත් වී ඇති නිලූක, මෙවර සිය ස්ථානය 69 වන ස්ථානය දක්වා ඉහළට ඔසවා ගෙන තිබෙනවා.
මෑත කාලීන ඉතිහාසය තුළ ජාත්‍යන්තර ජයග්‍රහණ වැඩි ප්‍රමාණයකට සහභාගී වීමේ අවස්ථාව ලබා ගත් නිලූක ජාත්‍යන්තර තරගාවලි කිහිපයකම ජයග්‍රාහකයා වෙමින් ද තමන්ට වඩා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන් ගණණාවක් පරාජය කරමින් ද ජගත් බැඩ්මින්ටන් පිටියේ අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු කිරීමට සමත් වුණා.එහි ප්‍රතිපලයක් ලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ සිටින නිලූක,මේ වන විට ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වීමට හැකි නිර්‍දේශිත සීමාවේ සිටිනවා.නමුත් තරගාවලියට සහභාගි වීමට අවස්ථාව නොලැබී ගියහොත් ශ්‍රේණිගත කිරීම්වල පහතට වැටී එම අවස්ථාව නිලූකට අහිමි වී යන්නට ඉඩ තිබෙනවා.
මෙම තත්ත්වය පිළිබදව බැඩ්මින්ටන් පරිපාලනයේ මෙන්ම ක්‍රීඩා ප්‍රධානීන් ගේද අවධානය යොමු විය යුතුව ඇති අතර දැනට මැක්ලරන්ස් සමාගමේ වෙළද ලාංඡන තාතපති ලෙස එම ආයතයෙන් ලැබෙන අනුග්‍රහය ඇතිව සහ මනිලාල් ප්‍රනාන්දු ගෙන් ලැබෙන යම් අනුග්‍රහයන් මත නිලූක ජාත්‍යන්තර තරගවලට සහභාගි වන්නේ පුහුණුකරුවෙක් භෞත චිකිත්සකයෙක් හෝ නොමැතිව බැවින් ඔහු ගේ දක්ෂතා එම තරගවලදී උපරිමයෙන් දැක්වීමට ඉඩ නොලැබෙන්නේය. 

Feb 1, 2012

එංගලන්ත සිංහයන්ට එරෙහිව සැබෑ සිංහයෝ සටන අරඹති


එංගලන්ත සිංහ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවත්වෙන එක්දින තරගාවලියේ තෙවැන්න ඊයේ කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකාවට තරගාවලිය පිළිබද යහපත් බලාපොරොත්තු ඇති කරමින්ය.දඹුල්ල රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති පළමු තරග දෙකම ලකුණු 68 ක් සහ 67 ක් ලෙස පිටිපසින් සිට පරාජය වී සිටි ශ්‍රී ලංකාව මෙම තරගයේ දී කඩුලු 6 ක ජයක් ලබා නැවත තරගාවලියට අවතීර්ණ විය.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත සිංහ කණ්ඩායම සිය නියමිත පන්දු වාර 50 නිමාවට පත් කළේ කඩුලු 9 ට ලකුණු 258 ක් ලබා ගනිමින් ය.එංගලන්ත ඉණිම ලකුණු 119 ක් රැස් කළ ජොස් බට්ලර් වටා ගොඩ නැගුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 36 ට කඩුලු 3 ක් දවා ගනිමින් එංගලන්ත සිංහයන් අඩපණ කිරීමට මුල් තැන ගත්තේය.
ශ්‍රී ලංකා ඉණිමේ මුල් කඩුලු 2 ක ලකුණු 22 ක් වෙද්දී අහිමි වුව ද අනතුරුව පිටියේ එක් වූ භානුක රාජපක්ෂ සහ දිමුත් කරුණාරත්න තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 132 ක සබදතාවයක් ද සිව්වන කඩුල්ල වෙනුවෙන් කරුණාරත්න සහ නායක තිළිණ කණ්ඩම්බි ලකුණු 82 ක සබදතාවයක් ද පිහිටුවමින් තරගය ශ්‍රී ලංක‍ව දෙසට නැඹුරු කළහ.කරුණාරත්න ශතකය පෙනි පෙනී ලකුණු 94 ට දැවී ගිය අතර භානුක ලකුණු 72 ක් සහ කණ්ඩම්බි නොදැවී ලකුණු 55 ක් එක් කළහ.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය හරහා පිවිසිය හැකිය.


ස්පාඤ්ඤය, 2020 ඔලිම්පික් සටනේ නිල ප්‍රවේශය අරඹයි


ස්පාඤ්ඤය නිල වශයෙන් 2020 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙල මැඩ්රිඩ් නුවරට දිනා ගැනීම පිණිස වන ක්‍රියාදාමය අරඹමින් ජනවාරි 30 දා එහි නිල ලෝගුව ප්‍රකාශයට පත් කරන්නට යෙදිණ. 2013 වසරේ සැප්තැම්බර් 07 දා 2020 වසරේ ඔලිම්පික් උළෙල පැවත්වෙන රට කවරේද යන්න තීරණය කෙරෙන නිලවරණය ඔලිම්පික් සාමාජික රටවල් අතර පැවත්වීමට නියමිත අතර 2011 මැයි 16 දා සිට මෙම තරගාවලියේ සත්කාරකත්වයට පිවිසීම සදහා කරන ලද ඇරයුමෙන් ඉනික්බිති තරගාවලිය සදහා ඉල්ලුම් කළ ඇති රටවල් ගණන 6 දක්වා ඉහළ නැග ඇත.
ඒ අනුව ඉතාලියේ රෝමය,කටාර් හී දෝහා,අසර්බයිජානයේ බාකු,තූර්කියේ ඉස්තාන්බුල්,ජපානයේ ටෝකියෝ සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් යන නගර 2020 ඔලිම්පික් සත්කාරකත්වය දිනා ගැනීමේ සටනේ පොර වැදී  සිටිති.ඡායාරූපයේ දැක්වෙන්නේ සපාඤ්ඤය ඔලිම්පික් තරගාවලිය දිනා ගැනීමේ සටන අරඹමින් නිකුත් කළ එහි නිල ලෝගුව එළි දැක්වීමෙන් පසු සපාඤ්ඤ නියෝජිතයන් කැමරාවට මුහුණ දුන් අයුරුයි.

Jan 31, 2012

යළි හයසින්ත් පුහුනුකාරිය වෙයි?


ජාතික දැල් පන්දු පුහුණුකාරිය ලෙස යළි හයසින්ත් විජේසිංහම පත් වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ සැළ වෙයි.ඇය මෙවර පුහුණුකාරිය ලෙස පත්වන විට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියාතික සූරියන්ව සිටි අතර පුහුණුකාරිය ලෙස ඇය ගත් ස්කොට්ලන්ත සංචාරය පිළිබද තීරණයෙන් පසුව දිගින් දිගටම පරාජය ද,ශ්‍රේණිගත කිරිම් වල පහතට ද වැටි ශ්‍රී ලංකාව මේ වන විට ජගත් හ්‍රේනිගත කිරීම් වල 20 වන ස්ථානය දක්වා පහත බැස ඇත.
එවකට සිටි දැල් පන්දු පරිපාලනය කඩා විටී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාතික සූරියන් කරවීම සදහා දැඩි කැප වීමෙන් පුහුණු අපදෙස් ලබා දුන් තිලකා ජිනදාස පුහුණුකාරියගෙ භූමිකාවෙන් ඉවත් කිරීමට හැකිවන පරිදි පුහුණුකාරිය ලෙස හයසින්ත් විජේසිංහ ගෙන ඒමට අවශ්‍යය පසුබිම සකස් කළ අතර ඒ අනුව තිලකා බෘනායි වලින් ලැබුණු ඇරයුමක් මත එහි දැල්පන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වගකීම ගෙන බෘනායි වෙත පිටත්ව ගියාය.
ඇති වී තිබෙන තත්ත්වය මත යළි තිලකා කැදවීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පෞද්ගලිකව පවා මැදිහත් වෙමින් උත්සාහ කර ඇතත් ඇය එම රට සමග අත්සන් කළ ගිවිසුම අවසන් විමට තවත් කාලයක් ඇති බැවින් තිලකාට එම ඉල්ලීම පිළි ගන්නට හැකි වී නැත.මේ තත්ත්වය තුළ අසාර්ථක වුව ද අත්දැකීම් සළකා පුහුණුකාරියක ලෙස ඇති ජ්‍යෙෂ්ඨත්වය ප්‍රමුඛත්වයේ සළකන විට හයසින්ත් විජේසිංහ ට පුහුණුකාර ධූරය හිමිවීමට ඉඩ ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරන අතර මේ වන විට එම තින්දුව රැදි ලිපි ගොනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්  වරිය අතට පත් වී ඇති බව ද  සනාත කරයි.
ජ්‍යෙෂ්ඨ ක්‍රිඩිකාවන් වැඩි දෙනෙකු හයසින්ත් යටතේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර ඇති නිසා නවක කණ්ඩායමක් සමග සිංගප්පූරු ආරාධිත රටවල් හයේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාව අත්දැකීම් නැති ක්‍රීඩිකාවන් ගෙ අඩුව නිසා දැවැන්ත පරාජයක් ලැබීය.ඒ තත්ත්වය මත දැනට හයසින්ත්ට ප්‍රවින ක්‍රීඩිකාවන් එක් කර ගෙන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම යළි ඔසවා තැබීමට හැකියාවක් තිබේද යන්න ගැන ක්‍රීඩා අමාත්‍යවරයා දැඩි අවධානයෙන් සිටිනු ඇති බව ද එම අමාත්‍යංශ ආරංචි මාර්ග පැහැදිළි කරයි.
www.supirikrida.com

පාපැදියට හුළං ගැසීමේ වගකීම ගගන් ට

ලෙක පටන් අර්බූද වලට ලක් වී තිබූ ජාතික පාපැදි සම්මේලනය නැවත පණ ගැන්වීමේ කාර්යය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිෂ් මාෂල් ගගන් බුලත්සිංහල ගේ නායකත්වයෙන් යුත් අතුරු කමිටුවකට පැවරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් පියවර ගෙන ඇත.එහි ලේකම්වරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නම් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස බ්‍රිගේඩියර් රවී මායාදුන්න,නිශාන්ත පියසේන සහ එන් කරුණාරත්න නම් කර ඇත.
දිගින් දිගටම පැවති අර්බූද නිසා පාපැදි පරිපාලනය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබූ අතර එම කාලය තුළ පාපැදි නීතිය සම්බන්ධයෙන් ක්‍රීඩා නිලධාරීන්ට විශේෂ දැණුමක් ලබා දෙමින් පාපැදි ක්‍රීඩාව විනිශ්චය සම්බන්ධයෙන් පැවති ඒකාධිකාරය බිද දැමීමට අමාත්‍යවරයා පියවර ගත්තේය.ඒ නිසා කල්ලි ලෙස ක්‍රියාවට නැගුණු විනිශ්චය ක්‍රියාවලිය සියලු දෙනාගේ සහයෝගයෙන් ක්‍රියාවට නැගෙන අයුරු ගෙවුණු යොවුන් පාපැදි සවාරියේ දී දකින්නට ලැබුණු අතර එම දැණුම බෙදා දෙන්නට මූලිකව ක්‍රියා කළ ජාත්‍යන්තර විනිසුරු එන් කරුණාරත්න ද මෙම අතුරු කමිටුවට ඇතුළත් කර තිබේ.එසේම අවසාන වරට පැවති පාපැදි පරිපාලනයේ උප සභාපතිවරයෙකු වූ ද දිගු කාලයක් එහි ලේකම් ධූරය දැරුවා වූ ද නිශාන්ත පියසේන ද මෙම අතුරු කමිටුවට ඇතුළත් කර ඇත
www,supirikrida.com

කපුකොටුවගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

මෙරිකාවේ මේ දිනවල ක්‍රියාත්මක ගෘහස්ථ මලල ක්‍රීඩා තරග සදහා සහභාගි වන චරිත් කපුකොටුව 28 දා පැවති ඩේව් ලිට්ල් විවෘත ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ දී බර වීසිකිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරිමට සමත්විය.ඉකුත් සතියේ ශ්‍රී ලංකාවට ආගන්තුක එම ඉසව්වෙන් මීටර් 17.08 ක නව ගෘහස්ථ ශ්‍රී ලංකා වාර්තාවක් තැබූ කපුකොටුව මෙම තරගයේ දී එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගනිමින් මීටර් 17.23 ක දුරක් වීසි කර නව වාර්තාව තබන්නට සමත් විය.
ඉකුත් සතියේදී ගෘහස්ථ යගුලිය වීසිකිරීමේ නව ශ්‍රී ලංකා වාර්තාවද සිය නමට ලියා ගත් කපුකොටුව (මීටර්15.83) මෙම තරගයේ දී එම ඉසව්වෙන් අත් කර ගත්තේ තෙවන ස්ථානය ය.ඒ සදහා ඔහු මීටර 15.10 ක දුරක් යගුලිය වීසි කළේය.
www.supirikrida.com

ක්‍රීඩා නොකළ අය සංගම්වලට නිර්දේශ කිරීමට කමිටුවක්


ක්‍රීඩා නොකළ අය ක්‍රීඩා සංගම් සහ සම්මේලනවලට පත් කිරීමේ දී ඒ අය‍ විසින් ක්‍රීඩාවට කරන ලද සේවය සළකා බලා,පත් කිරීමට සුදුසුද නැද්ද යන්න නිර්දේශ කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය සෙනවිරත්නයන් විසින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇත.
එම කමිටුවවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න,නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එන්කේ අබේසිංහ යන අය පත් කර ඇත.

සීවලි නිවාසාන්තර බොක්සි තරග අද සහ හෙට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බොක්සිං පාසලක් වන රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලීය නිවාසාන්තර බොක්සිං තරග අද සහ හෙට එම විද්‍යාලීය බොක්සිං කවයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.අද පෙ.ව.10.00 සිට මුලීක තරග ක්‍රියාත්මක වන අතර හෙට අවසන් වටයේ තරග ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ ප.ව. 3.00 සිට ය.
ගැමුණු,පරාක්‍රම,විජය සහ ආටිගල යන නිවාස නියෝජනය කරමින් ක්‍රීඩකයන් 100 ක් පමණ මෙම ක්‍රීඩා උළෙලේ දී තරග බිමට පිවිසීමට නියමිත අතර එම ක්‍රීඩකයන් අතරින් මෙවර එල්වී ජයවීර තරගාවලිය නියෝජනය කරන බොක්සිං ක්‍රීඩකයන් කවරේද යන්න තීරණය කරන බොක්සිං සංචිතය තෝරා ගැනීමට නියමිතය.මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස මාස් සමූහ ව්‍යාපාරයේ මූල්‍ය කළමණාකාර අධ්‍යක්ෂ රුවන් කෑරගල සහභාගි වීමට නියමිතය.තරගාවලිය විද්‍යාලීය විදුහල්පති කමල් ආරියසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවත් වේ. 


දැයට කිරුළ වොලිබෝල් අද සහ හෙට

මෙවර දැයට කිරුළ වොලිබෝල් තරගාවලියේ පාසල් සහ කණ්ඩායම් තරගවලින් ජයගත් පළාත් සූරයන් අතරේ පැවත්වෙන තරග රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දී අද සහ හෙට පැවත් වේ.එම තරගාවලියේ අවසාන තරග පෙබරවාරි 05 සහ 10 අතර අනුරාධපුර දැයට කිරුළ භූමියේ දී පැවත්වීමට නියමිතය.
තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ දැයට කිරුළ සංවිධාන කමිටුවේ සභාපති විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහභාගි වීමට නියමිතය.


ජාතික අයෝමය පුරුෂයා තේරීම පෙබරවාරි 11 දා


ජාතික අයෝමය පුරුෂයා තේරීමේ තරගාවලිය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේ දී පැවත්වීමට නියමිත ය.කිග්‍රෑ.55 සිට 90 දක්වාත් 90 ඉහළ බර පංතිය සදහාත් ඊට අමතරව අවුරුදු 45 ට වැඩි ප්‍රවීන ක්‍රීඩකයන්ටත් මෙම තරගාවලියේ දී තරග වැදීමට හැකියාව ලැබෙන අතර ජාතික අයෝමය පුරුෂයා ලෙස කිරුළු දරන ක්‍රීඩකයාට මුදලින් රුපියල් 50,000 ක් සමග ගුවන් ටිකට්පතක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
සියළුම බර පංති ජයග්‍රාහකයනට නේදර් සීක්‍රට් වෙතින් පිරිනමන ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර මෙම තරගාවලියට ප්‍රධාන ආරාධිතයන් ලෙස නැවත පදිංචි කිරීමේ අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන්,කොළඹ නගරාධිපති ජේඑම් මුසම්මිල් සහ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග යන අය ද එක්වීමට නියමිතය.

වෙරළ වොලි‍බෝල් පුහුණුකරුවන් පුහුණු කෙරේ


ශ්‍රී ලංකාවේ වෙරළ වොලිබෝල් පුහුණුකරුවන්ගේ දැණුම වර්ධනය පිණිස කටාර් හී මොහොමඩ් බින් හමීඩියා විසින් මෙහෙයවනු ලබන වෙරළ වොලිබෝල් පාඨමාලාවක් මීගමුව වෙරළ ආශ්‍රිතව මාර්තු 20 සිට 24 දක්වා යන දින කිහිපය තුළ පැවත්වීමට කටයුතු යොදා ඇත.ඒ සදහා ඉදිරිපත් වීමට කැමති වෙරළ වොලිබෝල් පුහුණුකරුවන් ප්‍රධාන ලේකම්,ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය,අමාත්‍ය කාර්යාලය,ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය,නො.234,ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත,බත්තරමුල්ල යන ලිපිනයට පෙබරවාරි 15 දා ට පෙර ලැබෙන සේ යොමු කළ යුතුය.

Jan 30, 2012

ජාතික රට හරහා දිවීමේ සූරතා ගයන්තිකාට සහ ලයනල් ට

ගයන්තිකා

ජාතික ක්‍රීඩා උළෙලෙ ප්‍රථම අංකය ලෙස ක්‍රියාත්මක වූ ජාතික රට හරහා දිවීමේ තරගාවලියේ කාන්තා සූරතාවය දකුණු පළාත  නියෝජනය කළ ගයන්තිකා තුෂාරිට සහ පිරිමි සූරතාවය මධයම පළාත නියෝජනය කළ ලයනල් සමරසිංහ ට හිමිවුණා.කළුතර දොඩන්ගොඩ දී පැවති මෙම තරගාවලියේ දී සුපුරුදු පරිදි දුර දිවීමේ ආධිපත්‍යය තව දුරටත් සනාත කර ගත් මධ්‍යම පළාත කාන්තා සහ පිරිමි සූරතා ද්විත්වයම දිනා ගත්තා.

කාන්තා තරගයේ දී ගයන්තිකා ප්‍රථම ස්ථානය දිනා ගනිද්දී දෙවන ස්ථානය ගීතානි රාජසේකර ට හිමි වූ අතර තෙවන ස්ථානය දකුණු පළාත නියෝජනය කළ ඩබ්කේඑල්ඒ නිමාලි ට හිමි වුණා.ඉකුත් වසරේ මෙම තරගයේ සූරිය වූ අනුරාධි බෝගහවත්තට සිව්වන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වූණා.මෑත කාලිණව දුර ධාවනයේ හපන්කම් පාමින් ඉදිරියට එන ලයනල් සමරසිංහ තරගයේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට ගෙන දුන් අතර දෙවන ස්ථානය ඌවට ගෙන යන්නට රට හරහා දිවීමේ තරග සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග නියෝජනය කර ඇති  සමන් කුමාර සමත් වුණා.එවැනිම අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වන දකුණු පළාතේ උපුල් විජිත කුමාර තරගාය් තෙවන ස්ථානය දිනා ගත්තා.
www.supirikrida.com

කහවත්තේ වොලිබෝල් මරු - තේරිම් කමිටුව හිටියනම් ඊටත් වඩා මරු


මෙවර ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලියේ දිස්ත්‍රික්ක ජයග්‍රාහකයන් ගේ දෙවන අවසාන පූර්ව තරග සහ අවසාන තරගය හැරෙන්නට සියලු තරග පැවත්වූයේ   කහවත්ත මහජන ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගෙනයි.දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි මෙම තරගාවලියට කණ්ඩායම් 50 ක් (පිරිමි 25, කාන්තා 25) සහභාගි වීමට නියමිතව සිටි අතර එයින් වව්නියා කාන්තා කණ්ඩායම හැරෙන්නට අනෙකුත් සියළුම කණ්ඩායම් සහභාගි වී සිටි අතර ඒ අතර නමගිය කණ්ඩායම් වලට අභියෝගයක් විය හැකි කණ්ඩායම් මෙන්ම නමගිය ක්‍රීඩකයන්ට අභියෝගයක් විය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද දකින්නට ලැබුණත් මේවා දකින්නට මේ රට නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවරේද යන්න තීරණය කරන තේරීම් කමිටු සාමාජික සාමාජිකාවන් මෙම තරග බිමේ දකින්නට සිටියේ නැහැ.
තරගාවලිය සදහා කාන්තා අංශයෙන් ඉදිරිපත් වූ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාසල් ක්‍රීඩිකාවන් නියෝජනය කළ ශාන්ත මේරි කණ්ඩායම ප්‍රබල මාවතගම කැෂුවලයින් කණ්ඩායම පරාජය කරමින් ද,එවැනිම පාසල් ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇහැලියගොඩ ධර්මපාල කණ්ඩායම කොළොන්නාව එකමුතු කණ්ඩායම පරාජය කරමින් ද පෑ දස්කම් ඉහළ මට්ටමක පැවතිණ.එම කණ්ඩායම් සිය ප්‍රථම අවසාන පූර්ව තරග පරාජය වුව ද අවසාන තරග සදහා පිවිසෙන කණ්ඩායම් හතර අතරේ රැදෙමින් තව දුරටත් මෙම තරගාවලියේ සූරතාවය සම්බන්ධයෙන් සටන් කරන්නට සුදුසුකම් ලැබීම අගය කළ යුතුය
එසේම ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ බෙන්තොට සාගර වැනි කණ්ඩායම් වල ඇතැම් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා රටාවද ජාතික මට්ටමේ නියෝජනය දක්වා ගෙන එන්නට සුදුසු මට්ටමක පැවති අතර පරාජය වුව ද දක්ෂ කණ්ඩායමකට එක් කර කණ්ඩායම් ජයග්‍රහණයක් බවට පෙරළිය හැකි තවත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද මෙම තරගාවලිය තුළ සිටියත් මේවා දකින්නට තේරීම් කමිටු වල සාමාජිකයන් නොසිටීම කණගාටුදායක තත්ත්වයකි.
අති විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව ජනවාරි 28 – 29 දෙදින තුළ ක්‍රියාවට නැගුණු මෙම ක්‍රීඩා උළෙල සංවිධාන මට්ටමෙන් ආදර්ශවත් තරගාවලියක් බවට පත් කරන්නට වොලිබෝල් ප‍ාළක මණ්ඩලයේ උප සභාපති සබරගමු පළාත් සභා මංත්‍රී කාංචන ජයරත්න ලබා දුන් නායකත්වය අගය කළ යුතු වෙනවා.බොහෝ ජාතික මට්ටමේ තරග වල දී සංවිධානයට නායකත්වය දෙන පුද්ගලයන් සියල්ල දොඩම් ගොඩ බදා ගන්නා ආකාරයට බදා ගනිමින් කටයුතු කළ ද කාංචන සියල්ල එකිනෙකා අතර බෙදා හැර අධීක්ෂණය පමණක් තමා අතේ තබා ගනිමින් අවශ්‍යය අවස්ථාවේ දී පමණක් මැදිහත් වෙමින් කටයුතු කළ ආකාරය ඒ සාර්ථකත්වයට හේතු වූවා.
නමුත් මෙම තරගාවලිය අතිශයින් සාර්ථක වීමට කහවත්ත ප්‍රදේශයේ නරඹන්නන්ගේ උද්යෝගය සහ සහභාගීත්වය ද බල පෑ අතර ඒ අතර සිටි ප්‍රේක්ෂකයෙකු කිලිනොච්චි කණ්ඩායමට දකුණේ සුහදත්වය පිළිගැන්වීමක් ලෙස දිවා භෝජනය ඇතුළු සියළු සත්කාරයන් ලබා දෙමින් කළ කැපවීම ගැන ද අපා අසන්නට ලැබුණා.නමුත් තරගාවලියේ අවසාන පූර්ව තරගයකට පමණක් කහවත්තේ උද්යෝගය සීමා කළ වොලිබෝල් සම්මේලනය දෙවන අවසාන පූර්ව තරග සහ අවසාන තරග වෙනත් ප්‍රදේශයක පැවත්වීම කෙරෙහි කහවත්ත ජනතාව කණස්සල්ලෙන් පසු වුණා.
‘අපි කොට ඇදලා දුන්නම පෙරහැරේ වෙන අලි යනවා’ කණ්ඩායම් 49 ක තරග දින දෙකක් සංවිධානය කරමින් මෙම තරගාවලියේ වැඩිම වෙහෙස ඔවුන් දැරැවද රටේම අවධානය යොමු වන අවසාන තරග වෙනත් ප්‍රදේශයක පැවත්වීම කෙරෙහි අදහස් දැක් වූ එම ප්‍රදේශයේ බොහෝ දෙනෙක් සුපිරික්‍රීඩා වෙත පැවසුවේ දැඩි කළකිරීමකින්.

Jan 29, 2012

අපි බිකිනියේ අභියෝගය භාර ගන්න සූදානම් - මුලතිව් හී ශමන්දි



මන් ගේ සංස්කෘතික පරිසරය තුළ බිකිනියට ඉඩක් නැතත් වෙරළ වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ලැබෙනවානම් රට වෙනුවෙන් ඒ ඇදුමෙන් ක්‍රීඩා කරන්න තමන් මෙන්ම මුලතිව් හී තව විශාල පිරිසක් සූදානම් බව ඊයේ පැවති ජනාධිපති රන් කුසලාන තරගාවලියට දහභාගි වන්නට පැමිණි මුලතිව් හී මින්නෝලි කණ්ඩායමේ කනගරාජා ශමින්දි ප්‍රකාශ කළාය.තමා වෙරළට ආසන්නයෙන් ජීවත්වන බව කී ශමින්දි එය ඒ ප්‍රදේශයට අලුත් අත්දැකීමක් වෙනු ඇති බව පැවසුවා ය.
'අපි තවමත් වෙරළ වොලිබෝල් දැක ඇත්තේ ටී වී එකෙන්' යැයි පැවසූ ශමින්දි එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ තරගවලට ඉදිරිපත් වීමේ දී බිකිනියෙන් පෙනී සිටින්නට අකමැති වීම ගැටළුවක් වී ඇති බව අප පෙන්වා දුන් අවස්ථාවේ දී ඉහත අදහස ප්‍රකාශ කළාය.සියල්ලට පෙර රට යන හැගීමෙන් අදහස් දැක් වූ ශමින්දි ඒ වෙනුවෙන් කරන කැපවීමට සංස්කෘතිය බාධාවක් කර නොගන්නා බව පැවසුවා ය.
ඇය මෙන්ම අප සමග අදහස් දැක්වීමට එක් වූ මුලතිව් තුනුක්කායි කණ්ඩායම නියෝජනය කළ දැනට සරසවි අපේක්ෂාවෙන් සිටින ජගදීස්වරන් ජනත්තගන් ද තමන් ක්‍රීඩා කරන්නේ ක්‍රීඩාවේ තාක්ෂණික කරුණු නොදැන බව ප්‍රකාශ කළහ.ඔවුන් පවසන්නේ තමන්ට ඇත්තේ හිතේ හයියත් ඇගේ හයියත් පමණක් බවය.නමුත් මෙවැනි තරගාවලි වලට සහභාගි වද්දී එය ජාතික මට්ටමට ප්‍රමාණවත් නොවන බව කී ඔව්හූ ජාතික වොලිබෝල් සම්මේලනයෙන් හොද පුහුණුකරුවන්ගේ උපදෙස් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

වොලිබෝලයෙන් දේශපාලනය නොකරන නිසා පක්ෂ විපක්ෂ හැමෝම සහය දුන්නා - කාංචන ජයරත්න

යේ ඇරඹි ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ නොමද සහයෝගය ලැබීමට හේතුව තමන් මෙම තරගාවලිය සිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක් කර නොගෙන ඒ සදහා නිසි ජාතික වටිනාකම ලබාදීම බව සබරගමු පළාත් සභා මංත්‍රී කාංචන ජයරත්න පවසයි.වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් තරගාවලිය සංවිධානය කිරීමේ කාර්යය පවරා ගත් එහි උප සභාපතිවරයෙකු වන කාංචන පවසන්නේ තමා ක්‍රීඩකයෙකුව සිට වෙන්නප්පුව ජෝශප්වාස් විද්‍යාලයට ක්‍රීඩා කළ අවධියේ සිටම වොලිබෝල් ක්‍රීඩාවට ආදරය කළ අයෙකු බවත් මේ වන විට රත්නපුර ප්‍රදේශයේ වොලිබෝල් වෙනුවෙන් උප සංස්කෘතියක් නිර්මාණය කිරීමට තමා දරන වෑයම පිළිබදව පක්ෂ විපක්ෂ සියල්ලන්ගේ සහයෝගය ලැබී තිබෙන බවත් ය.
ක්‍රීඩාව තමාගේ දේශපාලන ප්‍රචාරන ව්‍යාපෘතියක් කර නොගෙන ක්‍රීඩාවේ අභිවෘද්ධියට දේශපාලන සහය ලබා ගැනීම පිණිස තමන් දරන කැපවීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ සියළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ගේ සහයෝගය ලැබී ඇති බව පෙන්වා දුන් කාංචන ජයරත්න මංත්‍රීවරයා ඒ සියල්ලන්ම මෙම තරගාවලියට සහභාගි වී හෝ සිය නියෝජිකයෙකු හෝ එවමින් තමා ධෛර්‍යයට පත් කිරීමෙන් ඒ බව සනාත වන බව ද කීවේය.රත්නපුර ප්‍රදේශයේ හදුනාගත් වොලිබෝල් දක්ෂතා ඇති පාසල්වල වොලිබෝල් සංවර්ධනය කරන අතරේම තමා හදුන්වා දුන් රාත්‍රී තරග සංකල්පය ද මේ වන විට ජනප්‍රිය වී ඇති බව පෙන්වා දුන් පළාත් සභා මංත්‍රීවරයා,කලෙකට පෙර කහවත්ත ක්‍රීඩා පිටියට රුසියානු කන්ඩායම් පැමිණ ක්‍රීඩා කරන්නට තරම් දක්ෂතා ඇති වොලිබෝල් ක්‍රීඩකයන් සිටි බව පැවසීය.යළිත් එවැනි දිනයක් උදා කිරීමට වොලිබෝල් වෙනුවෙන් ශක්තිමත් වටපිටාවක් නිර්මාණය කිරීමට තමා දරන වෑයමට සියල්ලන්ගෙන්ම විශාල සහයක් ලැබෙන බවත් වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයෙක් ලෙස එම සම්මේලනයේ සියල්ලන්ගෙන්ම විශාල උපකාරයක් ලැබෙන බවත් පෙන්වා දුන්නේය.