Oct 20, 2012

නව ක්‍රීඩා පරිපාලන පහකට ඉන්දීය ඔලිම්පික්වරණයේ ඡන්ද බලය?

Ice Skating,
නොවැම්බර් 25 දා පැවත්වෙන ඉන්දීය ඔලිම්පික් නිලවරණයේදී නව ක්‍රීඩා පරිපාලන පහකට ඡන්දය භාවිතා කිරීමේ බලය ලබා ගැනීමට ඉන්දීය වැඩ බලන ඔලිම්පික් කමිටු සභාපති විජය කුමාර් මල්හෝත්‍රා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.එම ක්‍රීඩා පහෙන් තුනක්ම ශීත සෘතු ක්‍රීඩා වීම විශේෂත්වයක් වන අතර එම ක්‍රීඩා නම් Ice Skating,Ice Hockey සහ Luge වේ.ඊට අමතරව Golf  සහ Modern Pentathlon ක්‍රීඩා පරිපාලන ද එම ඡන්ද බලය අපේක්ෂිත ක්‍රීඩා පරිපාලන අතරට වැටේ.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉන්දීය ඔලිම්පික් බලධාරීන්ට එල්ල වූ වංචා චෝදනා පිළිබදව සළකා බලා සභාපතිව සිටි සුරේෂ් කල්මාඩි ඇතුළු තිදෙනෙකුට එරට ඔලිම්පික් නිලවරණයට ඉදිරිපත් වීම තහනම් කිරිම නිසා මෙවර නිලවරණයෙන් පසුව නව පරිපාලනයකට දොරටු විවර වන අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබදව දැඩි විමසිල්ලෙන් පසුවන බව ජාත්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරයි.
www.supirikrida.com

ශාන්ත ජෝන් ක්‍රිකට් නංවන්න ඕසට්‍රේලියානු ආදි සිසුන්ගෙන් උදව්


නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම සදහා එම විද්‍යාලීය ඕසට්‍රේලියානු ආදි ශිෂ්‍ය සංගමය ඉදිරිපත් වී සිටිනවා.ඒ අනුව එහි ප්‍රධානි බර්ටි එක්නායක ගේ ප්‍රදානත්වයෙන් රැස් වූ ඕසට්‍රේලියානු ශාන්ත ජෝන් ආදි ශිෂ්‍ය සංගමය මෙවර එම විද්‍යාලීය අවුරුදු 19 න් පහළ කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලැබීමට ඉදිරිපත් වී සිටිනවා.

ඒකනායකයන් විසින් පසුගිය හය වසර තුල සිය පෞද්ගලික වියදමින් රුපියල් ලක්ෂ පහක මුදලක් වසරකට වැය කළ අතර නව අනුග්‍රාහකත්වය මගින් වසරකට රුපියල් ලක්ෂ හතක මුදලක් ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.අදාළ අනුග්‍රාහකත්වය ඕස්ට්‍රේලියානු ශාන්ත ජෝන් ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ශ්‍රීනාත් කරුණාරත්න විසින් වත්මන් ශාන්ත ජෝන් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති චන්දන පෙරේරා ට භාර දුන් අවස්ථාව මේ සමග වන ඡායාරූපයේ දැක්වෙනවා.එම අවස්ථාවට විද්‍යාලීය විදුහල්පති  මේජර් ඩීඒඩී වානගුරු ඇතුළුව ආදි ශිෂ්‍ය සංගමයේ වර්ථමාන සහ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකුම එක් වී සිටියා.
www.supirikrida.com

Oct 19, 2012

Nike ආම්ස්ට්‍රෝන්ග් හැර යයි

ප්‍රංශ සවාරිය සත් වරක් ජය ගනිමින් ලෝක ප්‍රකට වූ සුපිරි පාපැදි සූර ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් සමග පවතින ගිවිසුම් වලින් ඈත් වීමට සුප්‍රකට ක්‍රීඩා උපකරණ සහ ඇගළුම් නිෂ්පාදන සමාගමක් වන Nike ආයතනය තීරණය කර ඇත.ප්‍රංශ පාපැදි සවාරිය තහනම් උත්තේජන මගින් ජය ගත් බවට එල්ල වී ඇති චෝදනා සහ සාක්ෂි නිසා ඔහුට එම ජයග්‍රහණ අහිමි කිරිමට කටයුතු කරමින් සිටින අතර මේ දිනවල සිය නිර්දෝෂිභාවය සනාත කිරීම සදහා ඔහු ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලය වෙත කරුනු ඉදිරිපත් කරමින් සිටියි.
මේ අවස්ථාවේ Nike  සිය බැදීම් ආම්ස්ට්‍රෝන්ග් වෙතින් පමණක් නොව ඔහු විසින් පවත්වා ගෙන යනු ලබන පිළිකා මර්ධන සමාජ සත්කාර සේවය වන Livestrong  සමග වන බැදීම් ද නවතා දැමීම කෙරෙහි සිය අවධානය යොමු කරමින් සිටියි.
www.supirikrida.com

දෙබිඩි මැල් ගේ හයේ කණ්ඩායමේ නායකත්වය මුබාරක් ට


 ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නිරන්තර ආශිර්වාද හිමි ජෙහාන් මුබාරක් ට යළිත් ජාතික කණ්ඩායමක නායකත්වයක් පිරිනමන්නට තේරීම් කමිටුව කටයුතු කර ඇත.ඒ අනුව ඔහු ට මෙවර හිමි වන්නේ හොංකොං සය සාමාජික තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ය.විශේෂත්වය වන්නේ 20 - 20 තරග සදහා ද අලුත් කණ්ඩායමක් පිළිබදව සිතිය යුතු බවට තේරීම් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කර දින කිහිපයකින් සය සාමාජික කණ්ඩායමක නායකත්වයට ජෙහාන් මුබාරක් නම් කිරීමය.

ශ්‍රී ලංකා කණ්ඩායමට කෙළින් දිගු පහර සදහා යා හැකි ජව සම්පන්න ක්‍රීඩකයන් නැති බව ජනමතයක් බවට පත් වෙමින් තිබෙන මොහොතක ගෙවුණු එස්එල්පීඑල් තරගාවලියේ දී දක්ෂාත අතර සිටි කෞශල්‍යය වීරරත්න සහ යොවුන් ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා වැනි ක්‍රීඩකයන් මෙම කණ්ඩායමට නොසළකා හැර තිබීමය.
ප්‍රහාරය මෙන්ම වේගයෙන් කඩුලු අතර දිව යා හැකි කඩිසර අනන්‍යතාවයක් සහිත ක්‍රීඩකයන් සය සාමාජික තරගයකට අත්‍යවශ්‍යය බව සාමාන්‍ය දැණුමක් ඇති අයෙකු හෝ දන්නා තත්ත්වයක මුබාරක් වැනි ක්‍රීඩකයෙකු එවැනි අනන්‍යතාවයක් තිබිය යුතු කණ්ඩායමක නායකයා වීම ගැටළුවක් නමුත් ජාතික කණ්ඩායමේ අවස්ථාවක් දිය නොහැකි තරමට දක්ෂයන් පිරී ඇති නිසා එවැනි වැඩි අවධානයක් යොමු නොවන කණ්ඩායමකට හෝ මුබාරක් හේත්තු කර දැමීමට තේරීම් කමිටුව කල්පනා කළා විය හැකිය.කාලයක් මුළු ජනමාධ්‍යයම මුබාරක් ජාතික කණ්ඩායමේ සිටීම ප්‍රශ්න කරද්දිත්,වෙනත් ක්‍රීඩකයෙකුට ලබන්නට තබා හිතන්නටවත් නොහැකි තරම් අවස්ථා ලබා දෙමින් මුබාරක් කණ්ඩායමේ තබා ගැනීමට මෙරට තේරීම් කමිටු කටයුතු කර තිබීම ආදර්ශයට ගනිමින් මෙවරත් තේරිම් කමිටුවේ ක්‍රීඩකයා නායකත්වයත් සමග සය සාමාජික නායකත්වයට කැදවා තිබෙන බවක් පෙනෙන්නට ඇත.
මුබාරක් ගේ නායකත්වයෙන් සහභාගි වන ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායමට චාමර කපුගෙදර,කෞෂාල් ලොකුආරච්චි,සචිත් පතිරණ,රමිත් රඹුක්වැල්ල,කෝසල කුලසේකර සහ කුසල් ජනිත් පෙරේරා ඇතුළත් වෙති.කණ්ඩායමේ කළමණාකරු ලෙස චන්න වීරක්කොඩි කටයුතු කරයි.
www.supirikrida.com

Oct 18, 2012

ඔලිම්පික් තරු පිපෙන බිමකින් LI-NING ලාංකේය නිල සම්ප්‍රාප්තිය සළකුණු කරයි

තරග අනුග්‍රාහක චෙක්පත පිරිනැමීම
මෙවර ඔලිම්පික් උළෙලේ දී ජගත්  අවධානය දිනූ නිලූක කරුණාරත්න මෙන්ම ඔලිම්පික් තරග නියෝජනය කළ තිලිනි ජයසිංහ ද සහභාගි වන 29 වන වෙළද සේවා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අනුග්‍රාහකයන් වෙමින් ලෝක ප්‍රකට බැඩ්මින්ටන් ක්‍රීඩා උපකරණ වන LI-NING ලාංකේය බැඩ්මින්ටන් පිටියේ සම්ප්‍රාප්තිය සටහන් කරයි.ඔලිම්පික් සූර ලී ඩාන් ඇතුළු ජගත් බැඩ්මින්ටන් සූරයන්ගේ තේරීම වන LI-NING සම්ප්‍රාප්තිය සිදුවන අවස්ථාවේ තරගකාරීත්වය මත සුදුසුකම් ලබා ඔලිම්පික් නියෝජනය කළ එකම ක්‍රීඩකයා සහ එකම ක්‍රීඩිකාව තරග පිටියේ සිටිනු දකින්නට ලැබීම විශේෂ අවස්ථාවක් බව LI-NING ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ එකම නියෝජිතයන් වන  ඩීඑස්අයි සමාගමේ අලෙවි සහ වෙළද සාමාන්‍යාධිකාරි රොහාන් සෝමවංශ සුපිරික්‍රීඩා හා පැවසීය.
 LI-NING දොරට වැඩුම
මෙම 24 දා සිට 28 දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී ක්‍රියාත්මක 29 වන වෙළද සේවා විවෘත බැඩ්මින්ටන් තරගාවලියට මෙවර අලුත් ඉසව්වක් ලෙස ප්‍රථම තරගයේ පරාජිතයන් අතර පැවත්වෙන පළිහ කුසලාන තරගාවලියක්ද පැවත්වීම විශේෂත්වයකි.ඊට අමතරව සුපුරුදු පරිදි කේවල,යුගල පිරිමි සහ කාන්තා තරග ද,මිශ්‍ර යුගල තරග සහ  අවුරුදු 40 න් ඉහළ ප්‍රවීන කාන්තා සහ පිරිමි කේවල සහ යුගල තරගද ඇතුළත් වන අතර අවුරුදු 50 ඉහළ පිරිමි කේවල සහ යුගල තරගද සුපුරුදු පරිදි ඇතුළත් කර ඇත.
ඒ පිලිබදව දැනුවත් කිරිමේ මාධය හමුවේදී ඩීඑස්අයි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලාල් නුගවෙල අතින් අදාළ අනුග්‍රාහක චෙක්පත වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිරෝධ ද කොස්තා වෙත පිරිනැමුණු අතර එම අවස්ථාවට LI-NING නිෂ්පාදන නියෝජනය කරමින් මාල දිවයින,ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග කළාප නියෝජිත ලෙස කටයුතු කරන ප්‍රදීප් සිං ද එක්විය.එසේම මෙම තරගාවලියේ මාධ්‍ය හමුවට සාපේක්ෂව LI-NING ලාකේය වෙළද පොළට නිල වශයෙන් හදුන්වාදීමද  එම අවස්ථාවේදී සිදු කෙරිණ.
තරගකරුවන් 350 දෙනෙකු තරග 265 ට මෙම තරගාවලිය තුළ මුහුණ දීමට නියමිත අතර මෙවර තරගාවලිය තුළ වෙනදාට වඩා පිබිදීමක් සහ සහභාගීත්වයක් දක්නට ලැබෙන බව වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිරෝධ ද කොස්තා සදහන් කළේය.තරගාවලියේ මාධහ හමුව මෙන්ම තරගාවලියේ තොරතුරු සම්පාදනය කිරීමට මාධ්‍යයට දායකත්වය දක්වමින් මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සදහා www.supirikrida.com වෙබ් අඩවිය කටයුතු කරයි.
www.supirikrida.com

බැඩ්මින්ටන් e-mail වංචාව දණ්ඩ නීති සංග්‍රහයෙන් දඩුවම් කළ හැකි වරදක්

බැඩ්මින්ටන් විනිසුරුවරියකගේ නම ජාත්‍යන්තර විශ්ව විද්‍යාල බැඩ්මින්ටන් තරගාවලියකට යෝජනා කරමින් විශ්ව විද්‍යාලයක ක්‍රීඩා ප්‍රධානියෙකුගේ විද්‍යුත් තැපෑල ( e-mail ) යොදා ගනිමින් ඔහු නොදැනුවත්ව ජාත්‍යන්තර සංවිධානයකට ලිපියක් යැවීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි විශාල වරදක් ලෙස සුපිරි ක්‍රීඩා මගින් ඒ පිළිබදව කළ විමසීමකදී නීති අංශ සනාත කරයි.
කෙනෙකුගේ පෞද්ගලික රහස්‍ය දෙයක් වංචනික ලෙස භාවිතා කිරීම මෙන්ම එම විනිශ්චය කටයුතු සදහා ගෙවීමක් ඇතුළුව වරප්‍රසාද රාශියක් හිමි විමද සළකද්දී එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව නීති අංශ පෙන්වා දෙන අතර එසේම නව විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් වන නීති සංශොධනයෙන්ද ඒ සදහා සැළකිය යුතු දඩුවමක් කිරීමට ප්‍රතිපාදන ඇතැයි ද නීති අංශ අවධාරණය කරයි.
අප මේ සම්බනධයෙන් අදාළ ක්‍රීඩා ප්‍රධානියාගෙන් කරන ලද විමසීදක දී ඔහු අවධාරණය කළේ බැඩ්මින්ටන් සම්මේලනය ජාතික මට්ටමෙන් සියල්ල සදහා වගකීමට බැදී සිටින බැවින් තමන් ඒ පිළිබදව දන්නා තොරතුරු සියල්ල බැඩ්මින්ටන් සම්මේලනයේ සබාපති පරාක්‍රම බස්නායකයන් දැනුවත් කරමින් සම්මේලනය වෙත ලබා දී ඇති බවයි.බැඩ්මින්ටන් කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වූ ඇතැමි කරුණු අනුව එම චෝදනා පිලිබදව තාක්ෂණ කමිටුවට ඉදිරිපත් කිරීම මග හරිමින් වංචනිකව යවන ලද ලිපියෙන් ලද විනිශ්චය වරප්‍රසාද අදාළ තැනැත්තියට ලබා දීමට කටයුතු කරන බව වාර්තා වූ බැවින් අප ඒ පිළිබදව සභාපති පරාක්‍රම බස්නායකගෙන් විමසිමක් කරන්නට යෙදිණ.
'එහෙම කතාවක් කියවුණා මතකයි.ඒත් මොකද්ද කියල හරියට දන්නෙ නැහැ,කරුනා කරල පාලිත හෙට්ටිආරච්චිගෙන් අහන්න' ඒ පිලිබදව සභාපතිවරයාගේ පිලිතුර එබදු විණි.
අදාළ විශ්ව විද්‍යාල ප්‍රධානියා සභාපතිවරයා දැනුවත් කර තිබෙන බව කී එම කරුණ පිලිබදව සභාපතිවරයා ට නිවැරදි මතකයක් නොමැති වීම ගැටළුකාරී නමුත් අප පාලිත හෙට්ටිආරච්චිව ඇමතීමට තීරණය කළ අතර ඔහු පවසන්නේද තමන්ට එවැනි තොරතුරක් තවමත් නිවැරදි ලෙස වාර්තා වි නොමැති බවයි.එහෙත් ඔහුට ද එවැනි චෝදනාවක් එල්ල වී තිබෙන බව සැළ වී ඇති අතර එම සැලවීමට අනුව වංචනික ලෙස ක්‍රීඩා ප්‍රධානියාගේ විදයුත් තැපෑලෙන් යොමු කර තිබෙන නම ඇති විනිසුරුවරියට අදාළ තරගාවලියට ආරාධනාවක් ලැබී ඇති බවත් පිළිගත්තේය.
එම ලිපිය ලැබුණු පසු තමා ජාත්‍යන්තර සංවිධානයට යළි පිලිතුරක් යවමින් එවැනි ආකාරයේ විශේෂ තේරීම් සදහා යොමු නොවිය යුතු බව පැහැදිළි කරමින් ඒ සදහා ක්‍රමවේදයක් තිබෙන බවද එම අවස්ථා ඒ අනුව පිළිවෙලින් ඒ ඒ පුද්ගලයාට හිමිවන ආකාරයේ සැළැස්මක් බැඩ්මින්ටන් සම්මේලනය සතු බවත් පැහැදිළි කළ බව ද පාලිත අවධාරනය කරන්නේය.
එම විනිසුරුවරියම එම විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා නොකළේනම් මෙම ආරාධනය ලැබී ඇත්තේ ඇයගේ අවශ්‍යයතාවයකට නොවන බැවින් ඒ සදහා බැඩ්මින්ටන් සම්මේලනයට එම සහභාගීත්වය වළකා නිසි පරිදි ඒ සදහා යොමු කළ යුතු නම් යොමු කිරීමේ බලයක් ඇති අතර සිදු වී ඇත්තේ බරපතල වංචනික ක්‍රියාවක් බැවින් එම විශයානුබද්ධ ප්‍රවීනයන් හරහා අපරාධ විමර්ශන ඒකකයට එම ‍තොරතුරු ලබා දීම බැඩ්මින්ටන් පරිපාලනයේ වගකීම බව බැඩ්මින්ටන් කේෂ්ත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් මෙන්ම අප විසින් මේ පිළිබදව නීතිමය වටපිටාව පැහැදිළි කර ගැනීමට කතා කළ නීතීඥයන්ගේද මතය විය.
දණ්ඩනීති සංග්‍රහය යටතේ ප්‍රබල වරදක් සිදු වී ඇති අවස්ථාවක එම වර‍ද හරහා වරප්‍රසාද යෝජනා වී ඇති අයෙකුට සිය පරිපාලන වපසරිය තුළ ඇති වගකීම් සහ වරප්‍රසාද භාවිතා නොකර එම වරප්‍රසාද භුක්ති විදීමට අවසර දීමද බරපතල වරදක් බව අප විසින් නීති අංශ හරහා කරන ලද විමසීමකදී තව දුරටත් පැහැදිළි කර ගැනීමට හැකිවිය.එසේම මෙහිදී වරප්‍රසාද කඩ වී ඇත්තේ රටේ ප්‍රධාන ආයතනයක ප්‍රධානියෙකුගේ බැවින් ද,ඔහු  ජාතික මට්ටමේ ක්‍රීඩා පරිපාලන හා සබැදි ඒවා යේ නිලතල දරණ සහ දැරූ පුද්ගලයෙකුද වීම නිසා මෙම තත්ත්වය තවත් බරපතල තත්ත්වයකට ඇදි වැටිය හැකි බව ද නීති අංශ පැහැදිළි කරයි.
පුද්ගලයෙකුගේ පෞද්ගලික රහස් තොරතුරු වංචනික ලෙස භාවිතයට ගැනීමක්  මෙහිදී සිදු වී තිබෙන බව පැහැදිළි අතර ඒ සමග ඔහු ගේ දත්ත යොදා එම විද්‍යුත් ලිපිනය වෙනුවට වෙනත් විදයුත් ලිපිනයක් හෝ වෙනත් විද්‍යත් සේවාවක පෙනී සිටිමින් විශාල අනර්ථයක් කළ හැකි අවදානමක් පැවතිමද මෙහිදී අවධානයට ලක් කළ යුතු බව ද එම නීති අංශ තව දුරටත් පැහැදිළි කළේය.
www.supirikrida.com

කෝට්ටේ ඇකඩමියේ සත් වර්ෂ පූර්ණ තරග නොවැම්බර් 3 දා

දිවයිනේ ප්‍රමුඛතම දැල්පන්දු ඇකඩමියක් වන කෝට්ටේ දැල්පන්දු ඇකඩමිය සිය සත් වර්ස පූර්ණය වෙනුවෙන් සංවිධානය කරන ක්‍රීඩා සමාජ සහ පාසල් සදහා වෙන් වූ දැල් පන්දු තරගාවලිය නොවැම්බර් 03 දා පැවත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.එම ඇකඩමියට නෑ කම් කියන පාසල් සහ ක්‍රීඩා සමාජ සදහා ආරාධිත තරගාවලියක් ලෙස ක්‍රියාත්මක මෙම තරගාවලියට පාසල් අංශයෙන් හොරයිසන් ජාත්‍යන්තර පාසල,ස්ටැඨර්ඩ් ජාත්‍යන්තර පාසල,මෙතඩිස්ට් බාලිකා පාසල,පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල,පිළියන්දල ම.ම.විදයාලය සහ කෝට්ටේ ඇකඩමියේ ඒ සහ බි කණ්ඩායම් තරග වැදීමට නියමිත අතර පාසල් තරග අවුරුදු 15 න් පහළ සහ ඉහළ ලෙස අංශ දෙකකින් ක්‍රියාත්මක විමට නියමිතය.
ක්‍රීඩා සමාජ මට්ටමෙන් ආරාධනා ලැබ ඇත්තේ සංවර්ධන ලොතැරයි මණ්ඩලය,කම්කරු දෙපාර්තමේන්තුව,හොරයිසන් ජාත්‍යන්තර පාසල් ගුරු කණ්ඩායම සහ පුහුනුකරුවන්ගේ ඇකඩමි කණ්ඩායමය.තරගාවලිය සදහා අයිසන් කන්ට්‍රක්සන්,ස්කොයා ටෙක් ඉංජිනියර්ස් යන ආයතන මෙන්ම පරීසියේ සිට චමිලා ජයවර්ධන සහ වසන්ති ලියනගේත් චාන්දනී බණ්ඩාර සැලූන් ආයතනයත් අනුග්‍රාහකයන් ලෙස එක් වේ.
www.supirikrida.com

දේශිය පැසි පන්දු තරගාවලියකට පළමු වරට විදෙස් කණ්ඩායමක්


මෙරට පැසි පන්දු තරගාවලියකට පළමු වරට සහභාගි වන විදේශිය කණ්ඩායම වීමේ භාග්‍යය මාල දිවයින් පැසි පන්දු කණ්ඩායමට හිමි වන බව මෙවර කාල්ටන් කුසලාන 2012 පැසි පන්දු තරගාවලියට මාල දිවයින පැසි පන්දු කන්ඩායම සහභාගි වීම සම්බන්ධයෙන් අදහස් දක්වන තාරුණ්‍යයට හෙටක් සංවිධානය ප්‍රකාශ කරයි.තාරුණ්‍යයට හෙටක්,හම්බන්තොට ක්‍රීඩා සමාජය සහ HSC Blues පැසි පන්දු සමාජය එක්ව සිව්වන වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය දිවයිනේ ප්‍රමුඛතම පැසි පන්දු පිටියක්ව තිබී පසුව වල් බිහි වෙමින් තිබූ හෙන්රි ප්‍රේද්‍රිස් පිටිය නවීකරණය කිරීමෙන් පසුව එහි පැවත්වෙන ප්‍රධානතම ජාතික මට්ටමේ තරගාවලිය ලෙස ඔක්තෝමබර් 19 වන දා සිට 24 දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
අග නගරයෙන් පිටතට ගොස් ග්‍රාමීය සංවර්ධනය සදහා ආධාර උපකාර කරන සංවිධාන ඇති සමාජ ව්‍යහුයක හම්බන්තොට ක්‍රීඩා සමාජය විසින් නවීකරණය කරන්නට යෙදුණ හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩා පිටියේ පැවත්වෙන මෙම තරගාවලියට ඒ කාණ්ඩයෙන් දිවයිනේ ප්‍රමුඛතම පැසි පන්දු කණ්ඩායම් 13 ක් තරග වදින අතර බී කාණ්ඩයෙන් කණ්ඩායම් 26 ක් තරග වදියි.මෙරට කාන්තා පැසි පන්දු ක්‍රීඩාව වෙනුවෙන් අවශ්‍යය තරම් තරගකාරී කණ්ඩායම් නොමැති වීමේ අඩුව මෙම තරගාවලියෙන් ද නොපියවීම කණගාටුවට කරුණක් වුව ද ඒ සදහා යහපත් ප්‍රවේශයක් ලෙස සැළකිය හැකි මෙවර කාල්ටන් තරගාවලියට ඇතුළත් අවුරුදු 14 න් පහළ පාසල් තරගාවලියට බාලක බාලිකා යන දෙකොටසම ඇතුළත් කර තිබිම පැසසුම් සහගතය.ඒ අංශයෙන් තරග වැදීමට එක් ව සිටින කණ්ඩායම් ප්‍රමාණය 50 කි.
තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක සහ කණ්ඩායම් අනුග්‍රාහක ලෙස Bharathi Airtlte ආයතනය කටයුතු කරයි.දත්ත සහකරු ලෙස Unico සහ Avian Technologies එක්ව කටයුතු කරන අතර Autobase ආයතනය Gold Sponser කටයුතු කිරීමට නියමිතය.හෝටලය නිල ආහාර පාන සැපයුම් කරු ලෙස මෙවර කාල්ටන් පැසිපන්දු තරගාවලිය සමග එක් වී සිටියි.
www.supirikrida.com

Oct 17, 2012

ක්‍රීඩා වෛද්‍ය ඒකකයට I.C.C. පැසසුම්

ගෙවුණු 20 - 20 ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා වෛද්‍ය ඒකකය කරන ලද කාර්්‍ය භාරය පිලිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රසාදය හිමි වූ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පෙන්වා දුන්නේය.ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නිල වෙබ්  අඩවිය වන ism.gov.lk වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී ද ජාත්‍යන්තර තරගවලදී වෛද්‍ය ඒකකයේ සහය අවශ්‍යය වන බවට ද අයිසීසී ප්‍රධානින් පැවසූ බවය.
කලක් ක්‍රීඩා වෛද්‍ය ඒකකය ක්‍රීඩකයාගේ විශ්වසනීය තැනක් නොවුණු බවත් ඒ නිසාම ක්‍රීඩකයන් වෛද්‍ය ඒකකයෙන් දුරස්වීමේ ප්‍රතිපලයක් ලෙස තහනම් උත්තේජන භාවිතය වැනි අවාසනාවන්ත තත්ත්වයන් වැඩි පුර දකින්නට ලැබුණු බවත් ක්‍රීඩක විනයේ යම් පිරිහුනු තත්ත්වයන් නිර්මාණය වූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා අද ඒ තත්ත්්වය වර්ථමාන ප්‍රධානියා වන මහාචාර්‍ය අර්ජුන ද සිල්වා යටතේ වෙනස් වෙමින් පවතින බවත් පෙන්වා දුන්නේය.විශේෂයෙන් ක්‍රීඩකයාගේ විශ්වසනීය ආයතනයක් බවට පත් වෙමින් සහ ආයතනය සහ ක්‍රීඩකයා අතර සහසම්බන්ධය යහපත් වෙමින් පැවතීම තුළින් ක්‍රීඩකයන් වැරදි සදහා යොමු වීම අවම වෙමින් පවතින බව ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ කතාව තුළින් ගම්‍ය විය.‍ඖෂධ සහ තහනම් උත්තේජන පිලිබද ක්‍රීඩකයා සහ පුහුණුකරුවා දැනුවත් කිරීමේ කාර්යය යහපත් කිරීම සදහා ගෙන යන වැඩ පිලිවෙල මත ඇති වී තිබෙන සාධනීය තත්ත්වයන් ද මෙහිදි අමාත්‍යවරයාගේ ප්‍රශංසාවට ලක් විය.
එසේම මෙම වෙබ් අඩවිය දොරට වැඩීමේ උත්සවයට සමගාමීව සම්භාහක පුහුණුව ලද 66 දෙනෙකුට සහතික පත් ප්‍රදානයද එදිනටම යෙදී තිබුණු අතර ත්‍රිවිධ හමුදාව,පොලීසිය සහ බන්ධනාගාරය යන ආයතන සමග සම්බන්ධ පිරිස් මෙම පුහුණුව හා එක් වී සිටි අතර ඒ අතරින් හොදම ඇගයීම නාවික හමුදාවේ එමජීජීටී මාලගොඩ විසින් දිනා ගනු ලැබීය.
මහාචාර්‍ය අර්ජුන ද සිල්වා ගේ ආරාධනය අනුව මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුර ජයවික්‍රම,සුගතදාස පාලනාධකාරියේ සභාපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත සමරතුංග.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි,ක්‍රීඩා විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ යන අයද එක් වූහ
www.supirikrida.com

60 වන ජාතික බැඩ්මින්ටන් ජාතික සූරතාවලිය 18 ඇරඹේ

හැට වන ජාතික බැඩ්මින්ටන් ජාතික සූරතාවලිය 18,19,20 සහ 21 යන දිනයන් හී පැවත්වෙන බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නියෝජිත පාලිත හෙට්ටිආරච්චි මෙන්ම එම සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක ද සුපිරි ක්‍රීඩා වෙත පවසා සිටියා.ඔලිම්පික් තරගාවලියේදී ඉහළ දස්කම් දැක් වූ නිලූක මෙන්ම දිනූක ද මෙම ජාතික තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටින බව පාලිත පෙන්වා දුන් අතර ඉකුත් වසරේ ජාතික සූරිය වූ අචිනි රත්නසිරි මෙම  තරගාවලියට ආබාධිත තත්ත්වයක් නිසා සහභාගි නොවන බව ද ප්‍රකාශ කර සිටියා.එසේම ප්‍රවීන ක්‍රීඩිකා තිළිනි ජයසිංහ ද මෙම තරගාවලියේදී කේවල තරග වලින් ඉවත් වී සිටින අතර නමුත් දැනට වයස්ගතම ක්‍රීඩිකාව ලෙස සැළකෙන චන්ද්‍රිකා ද සිල්වා කේවල,යුගල මෙන්ම මිශ්‍ර යුගල යන තරග අංශ ත්‍රිත්වයෙන්ම මෙම තරගාවලියට පෙනී සිටිනවා.
බැඩ්මින්ටන් සංගමයේ අදූරදර්ශි පාලනය පිළිබදව විශාල ගැටළු ගණනාවක් පවතින අතර ඒ පිළිබදව පරිපාලනය සමග සංවාදයකට ජනමාධ්‍යයට විවෘත අවස්ථාවක් ලබා දිම බැඩ්මින්ටන් සම්මේලනය මග හරිමින් සිටිනවා.නිලූක ගෙ ඔලිම්පික් සහභාගීත්වය පිළිබදව ප්‍රශ්නය ඉදිරියේ සුපිරික්‍රීඩා කළ හෙළිදරව්වකට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානියෙක් කරන ලද දැණුම් දීමකට අනුව මාධය හමුවක් කැදවා අතපසුවීම් සහ නොදන්නා කම් පිළිබදව පරිපාලනයකින් නොවිය යුතු ප්‍රකාශ ගණනාවක් ප්‍රකාශ කර අනුකම්පාව දිනා ගැනීමේ වෑයමක නිරත වූ අතර වඩාත්ම නින්දිත ලෙස කොරියානු සංචාරයේ කළමණාකරු පත් කිරීම ඇතුළු පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් වගකීමකින් තොරව හැසිරීම,පිළිබදව විමසා සිටියදී බැඩ්මින්ටන් සභාපතිවරයා ප්‍රකාශ කළේ ඒ පිළිබදව වෙනම මාධය හමුවක් පවත්වන බවයි.එම මාධය හමුව බාලගිරි දෝෂයට අසුවී ඇති අතර එල්ල වන දැවැන්ත චෝදනා හමුවේ මාධ්‍යයෙන් ගැලවීම සදහා මෙවර ජාතික තරගාවලියද මාධ්‍ය හමුවකින් තොරව පැවත්වීමට කටයුතු යොදා තිබෙනවා.ඒ පිළිබදව පරාක්‍රම බස්නායක සභාපතිවරයාගෙන් සුපිරි ක්‍රීඩා විමසා සිටිය අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ මාධය හමුවක් ගැන උනන්දු නොවූ බවයි.
එසේම සභාපතිවරයාට මෙන්ම පාලිත හෙට්ටිආරච්චිට ද සුපිරික්‍රීඩා පොරොන්දු වූ ප්‍රකාරව තරග කාල සටහන මෙහි පළ කරන අතර එය කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී මෙන් වරින්වර වෙනස් වීම් වලට භාජනය වේදැයි කරණ ලද විමසීමේදී එය එසේ නොවන බවට සහතිකයක් ලබා දීමට ද ඉදිරිපත් වුණා.
බැඩ්මින්ටන් සංගමය වෙනුවෙන් පාලිත හෙට්ටිආරච්චි විසින් ඉදිරිපත් කරන ලද තරග කාල සටහන මේ සමග ඇති google සබදතාවය තෙරපීමෙන් පරික්ෂා කිරීමට හැකියි
.https://docs.google.com/spreadsheet/ccc?key=0Aqd36zloZGpjdDlzcXUtenlKVkNEbkVLellzcWwtdVE&pli=1#gid=0
www.supirikrida.com

ලක් යෞවනියෝ ශ්‍රේණිගත කිරීම්වලින් ඉවතට

ව වන ආසියානු යොවුන් බාලිකා තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා යෞවනියන්ට ශ්‍රේණිගත කිරීම් තරගවලට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.කණ්ඩායම් 13 ක් සහභාගි වූ මෙම තරගාවලියේ ශ්‍රේණිගතකිරීම් සදහ කැදවන කණ්ඩායම් 12 අතරට එක් වීමට කිසිදු තරගයක් ජය නොගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අසමත් වී තිබෙනවා.තරගාවලිය පුරාම එකම තරග වටයක් පමණක් ජය ගත් ශ්‍රී ලංකාව එම තරග වටය මුහුණ දුන් අවසන් තරගයේදි ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කිරිමට සමත් වුණා.
වරගීකරණ වටයේ දී එච් කාණ්ඩයෙන් තරග බිමට පිවිසි ශ්‍රී ලංකාව ඊයේ ඕසට්‍රේලියාව සමග තරගයට පිවිසෙන විට ඒ වන විට දක්වා තිබූ දක්ෂතා පදනම් කරගෙන සළකා බලද්දී තරගය ජය ගත හැකි මට්ටමක සිටියා.ඒ තත්ත්වය තව දුරටත් පැහැදිළි  කරමින් ඔවුන් ප්‍රථම වටය ලකුණු 25 - 16 ක් ලෙස ඕස්ට්‍රේලියාවට එරෙහිව ජය ගත්තා.නමුත් ඉතිරි වට තුන ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ ඕස්ට්‍රේලියාව ලකුණු 25 - 21 ,26 - 24 සහ 26 - 24 ලෙස ජය ගැනීමට සමත් වුණා.
තරගය තුළ රැදී සිටීමට සහ අවස්ථානුකූලව ක්‍රියා කිරීමට ඇති වෘත්තිමය වට පිටාවකින් තොරවීම නිසා ලා බාල යොවුන් ක්‍රීඩිකාවන් ට තරගයේ ජය අහිමි වුව ත් ප්‍රථම වටයේ ඔවුන් ලැබූ පහසු ජය නිසා තරගයේ සමස්ත ලකුණු සටහනේ එකතුව විමසද්දී ශ්‍රී ලංකාව ලකුණු 94 - 93 ක් ලෙස ඕස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් සිටියා.එහි තරග වාර්තාව සදහා පහත සබදතාවය හරහා පිවිසිමට අවස්ථාව ලැබෙනවා http://www.asianvolleyball.org/upfile/bulletin/files/201210/1552642981_1350398272.pdf

www.supirikrida.com

Oct 16, 2012

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ඉරානයටත් දෙවැනි වේ

චීනයේ ක්‍රියාත්මක නව වන ආසියානු යොවුන් බාලිකා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව ප්‍රථම වටයේ දක්ෂතා මත අයත් වූ එච් කාණ්ඩයේ ප්‍රථම තරගයට ඊයේ ඉරානය සමග සහභාගි වූ අතර එහිදී ද වට 3 - 0 ක පරාජයක් ලැබීය.ලකුණු 21 - 25 ,22 - 25 සහ 21 - 25 ක් ලෙස (http://www.asianvolleyball.org/upfile/bulletin/files/201210/1737583024_1350310262.pdf) ශ්‍රී ලංකාව ඉරානය ඉදිරියේ පරාජයට පත් වූ මෙම තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට මුණ ගැසීමට නියමි.ව ඇත්තේ ඕස්ට්‍රේලියාවයි.
ඕස්ට්‍රේලියාව සහ ඉරානය අතර පැවති තරගයෙන්ද වට 3 - 0 ක් ලෙස ඉරානය ජය ලැබීමත්,ලකුණු ලබා ගැනීම සළකා බැලීමේදී එම තරගයේ ප්‍රතිපලය ඉරානය, ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ජයට වඩා පහසු ජයක් ලෙස දකින්නට ලැබීමත් නිසා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේදි ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ලබන ප්‍රථම ජය ලබනු ඇතයි අපේක්ෂා කළ හැකිය.නමුත් ඉරානය සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් දෙකම මූලික වටයේ දී ඉන්දියාව ඉතා පහසුවෙන් පරාජය කර තිබීම යනු කළාපීය අබියෝගය හෝ ජය ගැනීම පිලිබදව අපේ අවධානය මීට වඩා විශාල විය යුතු බවට ඉගි කරන්නකි.
ඡායාරූපයේ දැක්වෙන්නේ තරගාවලියේ මේ දක්වා ඉහළ දස්කම් ප්‍රදර්ශනය කර ජපන් බාලිකා කණ්ඩායම සිය පුහුණුකරුගේ පුහුණු උපදෙස් වලට සවන් දෙන අයුරුය.
www.supirikrida.com

ism.gov.lk අද දොරට වඩියි

ක්‍රීඩා අමාත්‍යංශයට අනුබද්ධ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ තොරතුරු සහ සේවාවන් පිළිබද දැන ගැනීම පහසු කර ගැනීම පිණිස සකස් කළ ism.gov.lk වෙබ් අඩවිය අද දින දොරට වැඩීමට නියමිතය.ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම සහ උපදෙස් මත සිදු වූ කළමණාකරණ වෙනස්කම් වලට සමගාමීව සිදුවන මෙම වෙබ් අඩවිය දොරට වැඩීමේ අවස්ථාව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානි මහාචාර්‍ය අර්ජුන ද සිල්වා ගේ ආරාධනය පරිදි අද (ඔක්තෝම්බර් 16) පෙ.ව 9.00 ට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සුරතින් දොරට වැඩීම ක්‍රීඩා වෛද්‍ය ආයතනයේදී සිදු වීමට නියමිතව ඇත.
තහනම් උත්තේජන භාවිතය වැළක්වීම,තහනම් උත්තේජන කවරේද යන්න පිළිබදව ජාත්‍යන්තර වාඩා ආයතනයේ අණ පනත් සහ නිති රීති පිළිබදවද,ක්‍රීඩාවේ යහ පැවත්ම උදෙසා ක්‍රීඩා වෛද්‍ය ආයතනය විසින් ඇරඹු ක්‍රීඩා දින පොත සේවාවන් ඇතුළු විවිධ මහජන සේවාවන් ද ක්‍රීඩා වෛද්‍ය ඒකකය ස්වීය අවශ්‍යයතා වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට හැකි දුරකතන අංක සහ විද්‍යුත් ලිපින ආදී තොරතුරු ද දැන ගැනීම සදහා මෙම වෙබ් අඩවිය හරහා අවස්ථාව හිමි වේ.
www.supirikrida.com

කොළඹ දිස්ත්‍රික් දැල් පන්දු තරග ටොරිංටන් හී දී

කොළඹ දිස්ත්‍රික් නෙට්බෝල් සංගමයට අනුබද්ධ ක්‍රීඩා සමාජ අතර පවත්වනු ලබන කොළම දිස්ත්‍රික් අන්තර් සමාජ නෙට්බෝල් තරගාවලිය ඔක්තෝම්බර් 21 දා පෙ.ව.8.00 සිට කොළඹ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පරිශ්‍රය පිහිටි ටොරිංටන් ක්‍රීඩා පිටියේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.
ඒ,බී සහ අවුරුදු 14 න් පහළ සහ වයස 35 න් ඉහළ ප්‍රවීන ලෙස කාණ්ඩ හතරක් යටතේ තරග ක්‍රියාත්මක වන අතර අවුරදු 35 න් ඉහළ ප්‍රවීන අංශයේ තරග සදහා පමණක් රුපියල් 1000/= ක ඇතුළත්වීමේ ගාස්තුවක් ගෙවිමට සිදු වේ.
මෙහිදී ඒ කාණ්ඩයෙන් ජයගනු ලබන කොළඹ දිස්ත්‍රික් සම්මේලනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ කණ්ඩායමට ජාතික දැල්පන්දු සම්මේලනය මෙහෙයවන ජාතික තරගාවලිය නියෝජනයට අවස්ථාව හිමිවනු ඇත.
www.supirikrida.com

Oct 15, 2012

සුනිමල් ගේ වැඩේට නිමල ඇගයීමක්

ප්‍රවීන මලල ක්‍රීඩකයෙකු මෙන්ම මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපතිවරයෙකු ද වන මලල ක්‍රීඩා පුහුණුකරු සුනිමල් රූපසිංහ විශේෂ ජාත්‍යන්තර පුහුණුවක් ලද කිඩ්ස් ඇත්ලටික් (ළමා මලල ක්‍රීඩා) වැඩ සටහන් මෙහෙයවමින් කරන ලද සත්කාරය මෙන්ම, ඔහු ඉගෙනුම ලැබූ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යලයේ කණිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවති 1000 ක් පමණ සහභාගි වූ ළමා මළළ ක්‍රීඩා පුහුණු වැඩ සටහන අවසානයේ ඔහුගේ සේවය අගයමින් උපහාර තිළිණයක් ප්‍රදානය කෙරුණා.
මෙම මලල ක්‍රීඩා උළෙලට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය හිටපු ඔලිම්පික් කමිටු ලේකම් වරයෙකු මෙන්ම,මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයෙකු ද වන ක්‍රීඩාව සම්බන්ධ ජනාධිපති උපදේශකයෙකු ද වන ප්‍රේමා පින්නවල ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම ක්‍රීඩා උළෙලේ දී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති චන්දන පෙරේරා එම සම්මානය පිරිනැමූ අයුරුත් ඡායාරූපයේ දැක්වේ.
www.supirikrida.com

'පතන' පාසල් රග්බි සූරයන් බව යළි සනාත කරයි

ලක් පාසල් රග්බි පිටියේ සදාකාලික වීරයන් සේ වැජඹි,ඉසිපතන විද්‍යාලය මේ වසරේ යළිත් එම කීර්තිමත් ඉතිහාස මාවතට පිවිසෙමින් ‍මේ වසරේ පාසල් පිටියේ සියළු ප්‍රදාන සූරතාවයන්ගේ උරුමක්කාරයා වෙමින් මයිලෝ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති කුසලාන රග්බි කිරුළ ද සියතට ගැනීමට සමත් වුණා.ඒ කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීරණයේ පැවති ජනාධිපති කුසලාන අවසාන තරගයේදී මනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 21 - 16 ක් ලෙස පරාජයට පත් කරමින්.
තියුණු මුහුණුවරක් ගත් අවසන් තරගයේ මුල් භාගය ලකුණු 13 - 10 ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය පෙරමුණ ගත්තද දෙවන භාගයේදී ආක්‍රමණය මෙන්ම ආරක්ෂාවෙන්ද සමබරව තරග වැදි ඉසිපතනය පෙරමුණට පැමිණි අතර ඔවුනගේ ලකුණු 21 එක් උත්සාහක දිණුමකින්,ගෝල් ප්‍රහාරයකින් සහ දඩුවම් පහර තුනකින් සපුරා ගත් අතර ත්‍රිත්ව විද්‍යාලය උත්සාහක දිණුම් දෙකකින් සහ එක් දඩුවම් පහරකින් සිය ලකුණු ප්‍රමාණය රැස් කර ගනු ලැබුවා.
www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කොරියාවට පරාදයි

වවන ආසියාතික යොවුන් කාන්තා බාලිකා වොලිබෝල් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ මූලික වටයේ දෙවන තරගයෙන්ද වට  3 - 0 ක පරාජයක් ලැබුවාය.ලකුණු තත්ත්වය 25 -  6 , 25 - 7 සහ 25 - 9 ක් වූ මෙම තරගයේදී තරග වට තුන පුරාම කොරියාව, හ්‍රී ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් විය.
චීනයේ පැවත්වෙන මෙ තරගාවලියේ මූලික වටය සදහා චීන තායිපේ සහ කොරියා කණ්ඩායම් සමග ඩී කාණ්ඩයේ තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ තරග වටයට පෙර දෙවන වටය සදහා එච් කාන්ඩයෙන් තරග වැදීමට නියමිත අතර එහි දි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඉරානය සහ ඕස්ට්‍රේලියාව යි.
ඒ අනුව අද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉරානය සමග තරග වැදීමට නියිමිත අතර හෙට ඕස්ට්‍රේලියාව සමග තරග වැදීමට නියමිතය.තරගාවලිය සදහා චිනය,ජපානය,තායිලන්තය,චීන තායිපේ මෙන්ම කසකස්තානය වැනි ආසියාවේ වොලිබෝල් ක්‍රීඩාවේ දැවැන්තයන් ගේ අනාගතය භාර කණ්ඩායම් සියල්ලම පාහේ සහභාගි වන අතර දකුණු ආසියාතික කළාපයේ ප්‍රබලයා ලෙස සැළකෙන ඉන්දියාව බී කාන්ඩයෙන් මූලික වටය නියෝජනය කරමින් දෙවන වටයේ දී ශ්‍රී ලංකාව තරග වදින එච් කළාපයේ සිටින ඉරානය සහ ඕස්ට්‍රේලියාව පරාජය කර සිටින නිසා ශ්‍රී ලංකාවට අද සහ හෙට තරග දෙක අතිශයින් වැදගත් ය.
www.supirikrida.com

මුම්බායි කිරුළ හොංකොං රැගෙන යයි - ලංකාවට පස්වන තැන

සියානු එච්එස්බීසී  සත් සාමාජික රගර් තරගාවලිය යටතේ මුම්බායි හී ක්‍රියාත්මක වූ සත් සාමාජික රගර් තරගාවලියේ සූරතාවය දිනා ගැනීමට හොංකොං කණ්ඩායම සමත් වුණා.අවසාන තරගයේදී ප්‍රබල ජපාන කණ්ඩායම ඉදිරියේ 28  - 7 ක් ලෙස පහසු ජයක් ලබමින් කිරුළට හිමි කම කී හොංකොං කණ්ඩායම මෙම තරගාවලියේ කණ්ඩායමක් ලද දැවැන්තම ජය වූ 54 - 0 ක ජයක් 66 - 0 ක ජයක් තායිලන්තයට එරෙහිව මූලික වටයෙදී වාර්තා කිරීම කැපී පෙණුනා.
සත් සාමාජික රගර් තරගාවල දී ආසියානු මට්ටමෙන් ලැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන සිටින ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ද මුල් කණ්ඩායම් පහ අතරට ප්‍රවේශ වෙමින් පස් වන සහ හය වන තැන තීරණය කරන්නට නියිමිත තරගයේදී මැලේසියාව පරාජය කරමින් ලකුණු 22 - 17 ක ජයක් ලබා ගත්තා.මෙම තරගාවලියට දකුණු ආසියාතික කණ්ඩායම් ලෙස සත්කාරක ඉන්දියාව,පනිස්තානය,ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව සහභාගි වූ අතර එම කණ්ඩායම් අතරින් පෙරමුණේ රැදෙන්නට හී ලංකාව සමත් වුණා.ඉන්දියාව තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් 16 ක් අතරින් 13 වන ස්ථානයට පත් වෙද්දී පිළිවෙළින් පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය 15 වන සහ 16 වන ස්ථාන තහවුරු කර ගත්තා.ඒ අනුව දකුණු ආසියාතික තරගාවලියට සත් සාමාජික රගර් ක්‍රීඩාව ඉසව්වක් ලෙස ඇතුළත් කිරීමට හැකිනම් එය කළාපීය රගර් ක්‍රීඩාවේ ප්‍රබෝධයට මෙන්ම ශ්‍රී ලංකාවට නිශ්චිත රන් පදක්කමක් බවට ද පත් කළ හැකි බව ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ලක්විය හැකියි.
හොංකොං කණ්ඩායම ඉදිරියේ පරාජය ලැබූ ජපානය දෙවන ස්ථානය දිනා ගනිද්දී තෙවන සහ සිව්වන ස්ථාන තීරණය කිරීම සදහා පැවති තරගයේදී තායිලන්තය පරාජයට පත් කළ චීන තායිපේ කණ්ඩායම ලකුණු 21 - 24 ක ජයක් හිමි කර ගැනීමට සමත් වුණා.ඡායාරූපයේ ජයග්‍රාහි හොංකොං කණ්ඩායම දැක්වෙනවා.
www.supirikrida.com

Oct 14, 2012

මෙවර තනි සූරයෝ වෙනුවට සම සූරයෝ

මස්ත ලංකා පාසල් ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම වරක් සූරතා දිනා ඇති වලල ඒ රත්නායක විද්‍යාලයට මෙවර සම සූරතාවයකට  ඈදී සිය ගෞරවය රැක ගන්නට සිදු විය.ඒ අනුව බාලිකා සූරතාවය  කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සමග වලල දිනා ගනිද්දී ඉකුත් වසරේ සූරියන් වූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයට තෙවන ස්ථානයෙන් සීමා වන්නට සිදුවිය.බාලක සූරතාවයේදී වලල ඒ රත්නායකයට තෙවන ස්ථානය දක්වා පහළ බසින්නට සිදු වූ අතර වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය පිරිමි සම සූරයෝ වුහ.මෙවර ක්‍රීඩා උළෙල වෙනුවෙන් අවුරුදු 21 න් පහළ තරග ඉසව් තරගකාරී ලකුණු සදහා බලපාන ඉසව් බවට පත් කිරීම ඇරඹීමෙන් පසු ප්‍රථම අවස්ථාවේම දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව අවුරුදු 21 න් පහළ ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක වීම විශේෂත්වයකි.
එසේම ගෙවුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී ඉහළ දස්කම් දැක්වීම කැපී පෙණින.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාලයේ අශේන් ප්‍රනාන්දු මීටර් 7 . 43 ක දක්ෂතාවයක් දැක් වූ අතර ඔහු ද ගෙවුණු ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නියෝජනය කළ සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකි.දක්ෂතම ක්‍රීඩිකාව වූ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ පබසරා සේනානායක ද එම ක්‍රීඩා උළෙල මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල ගණනාවකට ශ්‍රී ලංකාව නියෝජනය කළ මීට පෙර ද මෙම ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවය වීමට තරම් දක්ෂතා ප්‍රකට කර තිබූ ක්‍රීඩිකාවක්ය.
තරග උළෙලේ නව වාර්තා බිහි කිරීමට සමත් වූ ඉසව් 13 ක ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂයක් බැගින් පිරිනමන්නට තාරුණ්‍යයට හෙටක් සංවිධානය කටයුතු කිරීම අගය කළ යුතු ක්‍රියාවකි.නමුත් එම අගය කිරීම අතරේම වාර්තා 13 ට සීමා වීම ට තරගාවලිය බෙලිඅත්ත ඩීඒ රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිණීම හේතු වූ බව ද පැවසිය යුතුය.විශේෂයෙන් පබසරා සේනානායක වැනි ක්‍රීඩිකාවක් මීටර් 100 වැනි ඉසව්වක නව වාර්තාවකට පිවිසෙමින් තත්පර 12.30 ක ට තරගය නිම කිරීම අගය කළ යුතු අතර එවැනි වාර්තාවක් ඇගයීම මෙන්ම එම වාර්තාව බිහි වූ භෞතික පසුබිම සැළකිල්ල යොමු කිරීමේදී සුගතදාස පිටියේදී හෝ දියගම රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී එම ධාවනයේ කාලය තව දුරටත් අඩු වීමට ඇති භෞතික තත්ත්වයන් ගැන ද සැළකිල්ල යොමු කිරීම වටින්නේය.
ඒ නිසා ක්‍රීඩාවට යම් ඇගයීමක් හිමි වීම මෙන්ම ක්‍රීඩාවට ජාතික තලයෙන් ඉහළට ප්‍රවේශ වීමට ඇති ගුණාත්මක සාධක අහිමි වීම පිලිබදවද මෙහිදී අවධානය යොමු කිරීම වටින්නේය.එහිදී අධයාපන අමාත්‍යවරයා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානය ලබා දෙන ශක්තිය නිසි ආකාරයෙන් භාවිතයට ගැනීම වෙනුවෙන් තර්ක කිරීමට ඇති හැකියාව ස්වීය අවශ්‍යයතා වෙනුවෙන් අගුළු ලෑ අධ්‍යාපන අමාත්‍යංශ ක්‍රීඩා අංශය මෙන්ම පාසල් මලල ක්‍රීඩා සංගමයේ දේශපාලනය ශේප කර ගැනීමේ න්‍යායට අවනත වීමේ ක්‍රියා කළාපයද,ලබා දුන් ආශිර්වාදය ඒ ආකාරයෙන් නෙලා ගැනීමට අපොහොසත් වීමේ වගකීම භාර ගත යුතුය.
ක්‍රීඩා උළෙල කළෙකින් ගමට යාම ගැන උදම් අනමින් අධයාපන අමාත්‍යවරයා ඉදිරියේ ලකුණු ලබා ගන්නා අධ්‍යාපන ක්‍රීඩා බලධාරීන් එම තත්ත්වය ශ්‍රී ලංකාවට කෘතිම ධාවන පථයක් නොමැති කළ සිදු වූ බව අමාත්‍යවරයාට හෝ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට වටහා දෙන්නට හෝ තරගාවලිය බෙලිඅත්තට ගෙන යාම නිසා ක්‍රීඩා ශක්‍යතා වල වර්ධනයේ බලපෑමක් මෙන්ම එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ පරිසාධන මට්ටම්වලට පිවිසීමට ඇති අවස්ථා වැළකී යාම පිලිබදව කියන්නට ඔවුන්ගේ දිව වල් පැටලී තිබිණ.
දේශපාලනඥයන් සිය කාර්යයෙන් උපරිම සහ වැදගත්ම ප්‍රතිපලය බලාපොරොත්තු වන බව තේරුම් ගන්නට නොහැකි නිලධාරි නඩයක් ස්ව කැමැත්තෙන් ස්වීය කොදු නාරටි බිද ගෙන සිටින තත්ත්වයක දේශපාලනඥයන්ගේ වෙහෙසද හිල් කල වලට වතුර පිරවීමක් ලෙස අවසන් වන අතර එහි යම් යම් ඉස්මතු වීම් සළකා කරනු ලබන ඝෝෂාවන් හිස් කළ සෙලවීමක්ම පමණක් බව ද සිහි තබා ගැනිම වටින්නේය.
www.supirikrida.com

ශ්‍රී ලංකාව අද මුම්බායි අර්ධ අවසන් පූර්ව තරග වලට

සියානු එච්එස්බීසී සත් සාමාජික රගර් තරගාවලිය යටතේ මුම්බාය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන සත් සාමාජික රගර් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටය සදහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි විය.එහි මූලික වට වලදී ශ්‍රී ලංකාව තරග තුනකට මුහුණ දුන් අතර එහිදී ශ්‍රී ලංකාව තරග දෙකක් ජය ගෙන තරගයක් ජය ගැනීමට සමත් විය.
මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ලකුණු 31 - 19 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව ඉරානයට පරාජය අත් කර දුන්නේ ලකුණු 24 - 0 ක් ලෙස ය.චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය ලැබූ අතර එහිදී ශ්‍රී ලංකාව ලකුණු 12 ක් රැස් කරන විට චීනය ලකුණු 28 ක් ලැබීමට සමත් විය.
www.supirikrida.com