Sep 28, 2013

දැල් පන්දු තේරීම් කමිටුව හණ මිටි බදියි

නේෂන් කුසලානය සදහා තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදී දැල් පන්දු තේරීම් කමිටුව වසර ගණණක් ජාතික තලයේ ප්‍රධාන තරගාවලි අත්දැකීම් නැති ක්‍රීඩිකාවන් පළිබදව විශ්වාස තැබීමටත්,ඔවුන්ට අභියෝගයක් විය හැකි ක්‍රීඩිකාවන් සංචිතයෙන් කපා දැමීමටත් පියවර ගෙන ඇත.ලක්ෂ්මි ව්ක්ටෝරියා යනු ලාංකේය දැල්පන්දුවේ වෙනසක් කළ හැකි පරිපාලනයක් සිදු කරනු ඇතැයි සිතිය හැකි බොහෝ ගති ලක්ෂණ විද්‍යාමාන කළ ද,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ චරිත අයත් කුස්සියේ පරණ කුණු ගොඩට අමාත්‍යංශය හා දෙපාර්තමේන්තුව පැත්තෙන් ලැබෙන තල්ලුවට හිර වී ස්වීය ප්‍රතිපත්ති සහ යථාර්තය යටත් කර ගැනීමේ තත්ත්වයට ඇය ක්‍රමයෙන් තල්ලු වෙමින් ඇත.
දැල් පන්දු පරිපාලනයේ ප්‍රධානියා ලෙස නිරන්තරයෙන් තීරණ ගැනීමේදී ක්‍රීඩාව වෙනුවෙන් තීරණ ගැනීම සදහා ඇය ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ න්‍යාය පත්‍ර වලට සිර වී සිටින බව පැහැදිළි අතර ඇයම  නිරන්තරයෙන්ම තීරණ ගැනීමේදී අමාත්‍යවරයාගේ සහ සංවර්ධන දෙපාර්තමේනතුවේ අභිමතය සළකා බලන බව කිහිප විටකදීම ප්‍රකාශ කර ඇත.
නමුත් ආසියාවටම සේවය කිරීම වගකීම වී ඇති නිලධාරිණියක දේශපාලන භූමිකාවක සහ එහි නායකත්වය ඇති දේශපාලන කාර්යාලයක් බවට පත් වෙමින් තිබෙන ආයතනයක තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම ක්‍රීඩාවටනම් උචිත වන්නේ කැති බව පැහැදිළිය.
මෙවර නේෂන් කුසලාන තේරීම සදහා වන තේරීම  වර්ථමාන දැල් පන්දුවේ කඩා වැටීම ආරම්භ කිරීමට මූලික වූ චරිත කිහිපයක ආධිපත්‍යය විසින් ගිල ගැනීම පැහැදිළිව දැකිය හැකිය.විෂේශයෙන්ම මෑත කාලයේ මතක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජයග්‍රහණය වන 2009 ආසියානු කුසලානය දිනා ගැනීම සදහා ක්‍රීඩා කළ දැල්පන්දු කණ්ඩායම ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨතම ජයග්‍රහණය ලබා දුන් කණ්ඩායමය.ඊට ප්‍රතිචාර ලෙස අනතුරුව වෙනස් වූ දැල් පන්දු පරිපාලනය එහි උප සභාපතිවරියක වූ යසා ප්‍රේමචන්ද්‍ර මූලික කර ගනිමින් නව පුහුණුකාරිය තේරීමේ ක්‍රමවේදය සකස් කළ අතර එහිදී සූරතාවය ගෙන ආ පුහුණුකාරිය වූ තිලකා ජිනදාසට එම තනතුර අහිමි වී ඒ සදහා හයසින්ත් වි‍ජේසිංහ පත්වන ආකාරයට ක්‍රමවේදය සකස් කිරීමේ කාර්යයේ ප්‍රධානතම කාර්ය භාරය ඉටු කළේ යසා ය.ඒ සදහා එවකට සම්මේලනයේ ලේකම්වරිය ලෙස අවශ්‍යය පරිපාලන සහය ලැබුණේ දමයන්ති ජයසූරියගෙන් ය.
විෂේශයෙන් දමයන්ති ජයසූරිය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද දෝශ දර්ශනයට ලක් වූ අතර නමුත් අමාත්‍යවරයා සහ ක්‍රීඩාව ඒ මොහොතේ පරාජයට පත් කරමින් තිලකා වෙනුවට හයසින්ත් සම්ප්‍රාප්ත වීම සිදු විය. අනතුරුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ඊට සම්බන්ධ සහ සම්බන්ධව සිටි පිරිස් ක්‍රීඩා පරිපාලනයේ ප්‍රධාව භූමිකාවන් බවට පරිවර්ථනය කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය ඇතිව සිදුවන තත්ත්වයට පත් විය.ඒ අනුව යසාලගේ ආශිර්වාදාත්මක භූමිකාවන් බවට පත් වූ අතර ඇය වරෙක ජාතික කණ්ඩායමේ පුහුණුකාරිය වන්නට තරම් ප්‍රබල වූ අතර ඒ නිසාම ජාතික තලයේ ප්‍රබල ක්‍රීඩිකාවන් විවිධ හේතූන් කියමින් කණ්ඩායමෙන් ඈත් ව සිටින්න ද උත්සාහ කළාය.
මෙවර තේරීමේ මුල් පුටුව යසා ට යළි ලැබෙන්නේ ඒ ආශිර්වාදය ඔස්සේය.ඒ ආශිර්වාදය ඔස්සේ  තිලකා සංහාරයේ දී පරිපාලන ආශිර්වාදය ලබා දුන් ලේකම්වරියට  නැවත ක්‍රීඩි කිරීමට ඇති දොල සංසිදු වීම යසා භාර ගන්නේ විශාල කැමත්තකින්ය.ඒ සදහා හිටපු ලේකම්වරියට අවශ්‍යය පසුබිම සකසා ගැනීමට අවශ්‍යය මාධ්‍ය මෙහෙයුමක් ද හිටපු ලේකම්වරියගේ දායකත්වයෙන් ඇය සිදු කර ගන්නා අතර ඒ මෙහෙයුම මත යසා සිය විශ්වසනීයත්වය තහවුරු කර ගනිමින් දමයන්ති ජයසූරිය නම් හිටපු ලේකම් වරියට යළි දැල් පන්දු කණ්ඩායමට පැමිණිමේ අවශ්‍යයතාවය වෙනුවෙන් මාවත හෙළි පෙහෙලි කර දෙන්නේය.
ගෙවුණු දැල් පන්දු ආසියාතික කණිෂ්ඨ සූරතාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දස්කම ප්‍රදර්ශනය කළ ක්‍රීඩිකාව ලෙස දැල් පන්දු පරිපාලනය මාධ්‍යයට ප්‍රකාශ කළ දුලංගි චමත්කා වැනි ක්‍රීඩිකාවන්ද ඒ අවශ්‍යයතාවයේ ගොදුරක් වී ඇත.විෂේශයෙන් දමයන්ති ජයසූරිය ක්‍රීඩා කරන ස්ථානයට තරග වදින දුලංගි,ගුවන් හමුදාව නියෝජනය කරන සමන්ති මෙන්ම දැල් පන්දු පරිපාලනය විසින් පැවත් වූ තරගාවලියේ දීම දක්ෂතම සෙන්ටර් ක්‍රීඩිකාව වූ ජයමාලි ද මෙම අභියෝගය කිරීම සදහා අවසන් සංචිතයට තෝරා නොගැනීමට යසා අවශ්‍යය නායකත්වය දෙන්නේය.
තේරීම් සදහා සහභාගි වූ අයගේ තොරතොරු වලට අනුවම දුලංගි පරිපාලනය විසිනි ශ්‍රී ලංකාව විසින් මෑතකදී සොයා ගත් ප්‍රබලතම සෙන්ටර් ක්‍රීඩිකාවක් ලෙස ප්‍රසිද්ධ කරමින් සිටියදී යසා ගේ තීරණය වන්නේ ඇය වින්ග් ඇටෑක් යන ස්ථානයේ ක්‍රීඩා කළ යුතු බවය.තේරීම් ආරම්භ කරන්නේම මෑත කාලයේ දැල් පන්දු පරිපාලනය විසින් සොයා ගත් විශිෂ්ඨ ක්‍රීඩිකාවක් ලෙස පතුරු ගසපු යොවුන් ක්‍රීඩිකාව කැපි පෙනෙන ස්ථානයෙන් ඉවත් කර ක්‍රීඩා කිරීමට යොදවමින්ය.
තේරීම් කමිටුව ද පරිස්සම් වන්නේ යසාට ඇති බලය පිළිබදව හොදින් දන්නා නිසා තමන් කුමන තීරණයක් ගත්තද,තේරීම් කමිටුවේ බහුතරය ලෙස ක්‍රීඩා පරිපාලනය සළකන්නේ යසා බව දන්නා නිසාය.එසේම සෘජුවම ඇයට එකග වන ඇයගේ සංවර්ධන දෙපාර්තමේන්තු ජීවිතය තුළ එකට කටයුතු කළ චන්ද්‍රානි පතිරාජ ද එහි වන්නේය.මේ සියළු දෙනාම අවශ්‍යය විටෙක ක්‍රීඩා පරිපාලනයට අවශ්‍යය ආකාරයට සකසා ගත හැකි නමනීය චරිතය.එසේ නොවන තේරීම් කමිටුවක් දකින්නට ලැබුණේ ඉකුත් ආසියාතික තරගාවලිය තුළ පමණක් වූ අතර එයම එම තේරීම් සංයුතිය එක දිගට නොරදවා ගැනීමට ද හේතුවක් විය.
කෙසේ හෝ මේ වන විට නේෂන් කුසලානය සදහා සහභාගි වන කණ්ඩායමට ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනය ඉකුත් යොවුන් ආසියාතික සූරතාවලිය හරහා ප්‍රකාශයට පත් කරන්නට යෙදුණ අලුත් තර බලාපොරොත්තුව දුලංගි චමත්කා නැත.නමුත් ඒ වෙනුවට එම තරගාවලියේ එකදු තරගයකට හෝ ක්‍රීඩා කිරීමට නුසුදුසු වූ පිරිස් කණ්ඩායමේ සිටින්නේය.
කියන්නට ඇත්තේ එකකි.කවුරුන් වෙනස් වුව ද ක්‍රීඩාවේ ප්‍රධාන පරිපාලන යාන්ත්‍රණය මොන බෝතලයේ හැඩයෙන් අලුත් වී පැමිණියද,ඒවාට පුරවන්නට සකස් කර ගෙන සිටින අරක්කු වඩිය වෙනස් කරන්නේ නැත.ඒ නිසා පදම එකමය.ඉරණම වෙනමය.තමන්ට අවශ්‍යය කෙනා ක්‍රීඩා කිරීම දක්වා ග්‍රෝත්‍රික මානසිකත්වයන්ට ඉහළ පුටු පිරිනැමීමට ආශිර්වාද කිරීම හරහා පැහැදිළි වන්නේ ක්‍රීඩාවේ මෙහෛයුම් කාර්යය අලුත් ඇදුම් පැළද ගත්තද,නටන්නේ පරණ ග්‍රෝත්‍රික නැටුම්ම බවය.මේ තත්ත්වය තුළ දමයන්තිට නැවත නායකත්වය හිමි වීම හෝ යසාට පුහුණුකාරීත්වය හෝ උපදේශක පුහුණුකාරීත්වය හිමි වීම අසාමාන්‍ය දෙයක් නොවන අතර ලක්ෂ්මි වික්ටෝරියාගේ කාර්ය භාරය එවැනි තීරණ වලට අනුමත අත්සන යෙදීම දක්වා පටු වීම ඇය වැනි පුළුල් පරිපාලන මෙහෙයුමක් ඇති නිලධාරිනියක් පිලීබද අනුකම්පා සහගත හැගීමක් ඇති කිරීමක්ය.
මලල ක්‍රීඩාවේ සචිත් මධුරංගලා ගේ පෝලිමට දැල් පන්දුවෙන් එක් වන පිරිස බවට දුලංගි ලා එක් වීම නූතණ ක්‍රීඩාවේ දේශපාලන ආශිර්වාදය ඇතිව සිදු වීම වැළක්වීමට යමක් කළ හැකිද යන්න සැක සහිතය.මන්ද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියට බෘනායි හී දී කුමක් සිදු වූවේද යන්න නෙරෙහසක් නොවන්නේ ඇය ද එම සංචාරයේ නිරත වූ බවකි.එහෙත් න්‍යාය පත්‍රය සකස් කිරීමේදී එම කාරණා ඇතුළත්ව නැතිනම් ඇය කොහෙද යන්නේ මල්ලෙ පොල් මට්ටමේ පිළිතුරු බැදීමෙන් මේ ප්‍රශ්නයෙන් ලිස්සා යන බව ද පැහැදිළිය.
www.supirikrida.com

Sep 27, 2013

අාසියානු පිරිමි වොලිබෝල් සූරතාවලිය හෙට සවුදි අරාබියේදී ඇරඹේ

හෙට සවුදි අරාබියාවේ  හී දී ඇරඹෙන කණ්ඩායම් 23 ක් සහභාගි වන 17 වන ජ්‍යෙෂ්ඨ ආසියාතික පිරිමි වොලිබෝල් තරගාවලියේදී හ්‍රී ලංකාව මූලික වටයේ තරග සදහා එච් කාණ්ඩයෙන් ඕමානය සහ ජපානය සමග තරග වැදීමට සූදානමින් සිටියි.ශ්‍රී ලංකාවේ ප්‍රථම තරගය හෙට (28) පස්වරු 2.00 ට ඕමානය සමග පැවත්වෙන අතර ජපානය සමග වන තරගය 30 දා පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතය.
සැප්තැම්බර් 28 දා සිට ඔක්තෝම්බර් 6 දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියට සහබාගි වන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වර්ථමානයේ ශ්‍රී ලංකාව සතුව සිටින සුපිරිතම වොලිබෝල් ක්‍රීඩකයා වන ජනිත් සුරත්ට පැවරී ඇත.කණ්ඩායම ජ්‍යෙෂ්ඨයන්ගේ ක්‍රීඩා ජීවිතය කරන ලද කැපවිම් සළකා ආරක්ෂා කර ගන්නට නම් ඔවුන් කිහිප දෙනෙකුම විශ්‍රාම ගැන්විය යුතු බව ප්‍රකාශ කරන්නට යෙදුණ ද නම් කර තිබෙන කණ්ඩායමේ ද විශාල වෙනස්කමක් සිදු වී ඇති බවක් පෙනෙන්නට නැත.
විශේෂයෙන්ම මධයම කලාපීය වොලිබෝල් සූරතාවලියේදී පකිස්තානයට එරෙහිව තරගය ජය ගැනීමට අවශ්‍යය කණ්ඩායම් සංයුතිය පිටිය තුළ රදවා ගැනීමට පුහුණුකාරීත්වය දැක් වූ අපොහොසත් බව ද දැඩි කතා බහට ලක් වූ අතර නමුත් ඊට වඩා තත්ත්වයෙන් පහළ නේපාලයේ පැවති ආරාධිත වොලිබෝල් තරගාවලිය ජය ගැනීමෙන් ශ්‍රි ලංකාව දැක් වූ දස්කම් පළිහක් කර ගනිමින් බොහෝ දෙනෙකුට කණ්ඩ‍ායම තුළ යළි ස්ථාවරත්වයක් ගොඩ නගා ගන්නට හැකි විණ.
www.supirikrida.com

Sep 25, 2013

කුසල් ගේ කුසලයට වැසුණු කෞෂාල්ගේ කෞශල්‍යය යළි මතු වේ

ශ්‍රී ලංකාවේ තේරීම් කමිටු නිලධාරීන්ගේ දෘශ්‍ය පතයට හසු නොවන කෞෂාල් සිල්වා නවසීලන්තයට ඒ කණ්ඩායමට එරෙහිව පැවත්වෙන දෙවන නිල නොවන ටෙස්ට් තරගයේදී ද අගනා ඉණිමක් ක්‍රිඩා කරමින් ලකුණු 193 ක් රැස් කළා.මේ ඉණිම නිසා ශ්‍රී ලංකාවට සිය පළමු ඉණිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 555 ක් රැස් කරන්නට සමත් වුණා.රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනයේ තණතීරුවේ ලකුණු රැදී තිබෙන බව පසක් කරමින් මේ තරගයේදී කිත්රුවන් විතානගේ ද ලකුණු 116 ක් රැස් කළ අතර දිමුත් කරුණාරත්න ලකුණු 84 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් ලබා ගනිමින් කැපී පෙණුනා.
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ සෙවනැල්ල ලෙස විදෙස් විචාරක අවධානමට ලක් වූ කුසල් ජනිත් පෙරේරා සභාපතිවරයා සිය සෙවනැල්ල රැකීමට ගන්නා උත්සාහය නිසා දෝ දිගින් දිගටම කණ්ඩායමේ රැදි සිටීමේ සහ අවස්ථාව ලැබීමේ භාග්‍යය හිමි කර ගෙන සිටින අතර ඔහු ද සනත් වන්නට යාම නිසා ද ඒ ආරූඨයෙන් ලත් අනවශ්‍යය  පිම්බිමක් නිසා ද වගකීමකින් තොරව පිතිකරණයේ යෙදෙන බවක් දක්නට ලැබෙන අතර බොහෝ විට අනවශ්‍යය කළබලයකින් පහර දී කඩුල්ල පූජා කරන බවක් දක්නට ලැබෙනවා.
එහෙත් දිගින් දිගටම ලකුණු අතර සිටින පළමු පෙළ තරගාවලියේ කැපී පෙණුනම පිතිකරුවා ද වන කෞෂාල් සිල්වා අත්හදා බැලීමට හෝ ඉදිරිපත් වන තේරීම් කමිටුව කුසල් ජනිත් ව දිගින් දිගටම කණ්ඩායමේ තබා ගනිමින් ඔහුට අවස්ථාව ලබා දීමට පෙළඹි සිටිනවා.මෙවැනි තත්ත්වයන් වලට මුහුණ දෙන විට ක්‍රීඩකයන් කාලයකදි මානසිකව ඇද වැටී අසාර්ථක වීම ස්වභාවය වුව ද,කෞෂාල් දිගින් දිගටම තමාට වසා තිබෙන ජාතික කණ්ඩායමේ දොරටුවට සිය පිත්තෙන් පහර දෙමින් සිටින බව දැකිය හැකියි.අප්‍රතිහත දිරියෙන් ලකුණු අතර රැදෙමින් සිටින කෞෂාල් ගේ පිතිකරණය මෙම නවසීලන්ත සංචාරයේදි දෙවරක්ම ශතක ලබමින් වැසී ඇති දොරටුව බිදින සුළු  ප්‍රහාරයකට ලක් කර තිබෙන අතර ලකුණු බහුල පිටියක වුව,ලකුණු 193 ක් යනු පහසු කාරණයක් නොවන බව වගකිවයුත්තන්ගේ අවධානයට ලක් විය යුතුයි.
කුසල් ජනිත් ස්වීය පෞද්ගලික පසු බැසීමක් නිසා හෝ අධි විශ්වසනීයත්වය නිසා හෝ අසාර්ථක වෙමින් සිටියද ඔහු රට වෙනුවෙන් රැක ගත යුතු ක්‍රිකට් සම්පත් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක් බව අප ද පිළි ගන්නා නමුත් ඔහුව අභිබවා කෞෂාල් දක්ෂතා දක්වන මොහොතක කෞෂාල් ගැන නොතකා හැරිම රට වෙනුවෙන් වගකීම් ඉටු කළ යුතු අය ඒ වගකීම ඉටු නොකිරීමක් බව ද අපි පවසන්නෙමු.
www.supirikrida.com

Sep 24, 2013

නීතිඥයන්ගෙන් ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගත හැකි තවත් පිම්මක්

මෙවර නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබදව දැඩි විශ්වාසයකින් සහ සැළසුමක් සහිතව කටයුතු කරන ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම තෙවන කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව වටයට පිවිසෙමින් තර්ස්ටන් බී කණ්ඩායම කඩුලු අටකින් පරාජය කිරීමට සමත් විය.අසේල පටබැදිගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙන නිතිඥ ක්‍රිකට් කණ්ඩායම පුහුණුකිරීම මෙවර පැවරී ඇත්තේ ප්‍රවින ක්‍රිකට් පුහුණුකරුවෙක් මෙන්ම ප්‍රවීන මාධ්‍යවේදීයෙකු ද වන රන්ජන් පරණවිතානටය.
මේ සුසංයෝගය සමග දක්ෂතා අතින් වෙනදාට වඩා තරගකාරි තත්ත්වයකට පිවිස සිටින නිතිඥ ක්‍රිකට් කණ්ඩායම තර්ස්ටන් බී කණ්ඩායම පරාජයට පත් කළේ කඩුලු අටකින්ය.පළමුව පන්දුවට පහර දුන් තර්ස්ටන් බි කන්ඩායමට හිස රදයක් වූ නීතිඥ කණ්ඩායමේ දග පන්දු යවන්නන් වන යොහාන් ජිනසේන ලකුණු 6 ට කඩුලු 2 ක් සහ තුසිත රණතුංග ලකුණු 04 ට කඩුලු 3 ක දවා ගනිමින් තර්ස්ටන් කණ්ඩායම බිද දැමීමේ සංග්‍රාමයේ මූලිකත්වය ගනිද්දී එයට එරෙහිව සටනක් දිව හැකි ඉණිමක් ක්‍රීඩා කරන්නට තර්ස්ටන් කණ්ඩායම වෙනුවෙන් සමත් වුණේ ටී වික්‍රමසිංහ (30) පමණි.
ලකුණු 82 ක ඉලක්කයක් හඹා ගිය නීතිඥ කණ්ඩායම වෙනුවෙන් සුපුරුදු පරිදි හොද ආරම්භයක් ලබා දුන් උදිත රාජපක්ෂ (32) සහ එර්ෂාන් ආියරත්නම්(28) කල සේවය ඉහළ මට්ටමක පැවති අතර ඒ හේතුව නිසා අදාළ ලකුණු 83 ජයග්‍රාහී ඉලක්කයට නිතිඥ කන්ඩායම පන්දු ඕවර් 19.5 දී ප්‍රවේශ වූයේ කඩුලු දෙකක් පමණක් දැවෙමින්ය.
එසේම වාර්ශිකව පවත්වන නිතිඥ - වෛද්‍ය ක්‍රිකට් ගැටුමද පසුගියදා කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවති අතර එහිදී පිට පිටම පස්වන වතාවටත් සූරතාවය දිනා ගන්නට නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට හැකි විය.
www.supirikrida.com
  

පුංචිහේවාගෙන් ලොකු නායක හැකියාවක්

khgfලාංකේය බේස්බෝල් ක්‍රීඩා ක්‍රීඩාවේ නැවුම් පරිච්ඡේදයකට දොරගුළු විවර කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වු ක්ලැසික් බේස්බෝල් තරගාවලියේ සූරතාවය  දිනා ගන්නට නිරෝෂන් පුංචිහේවා නායකත්වය දුන් Golden Lion  කණ්ඩායමට හැකි වුණා.තරගාවලිය පුරාම බේස්බොල් ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතු නායකත්ව ලක්ෂණ ප්‍රදර්ශනය කළ නිරෝෂන් පුංචිහේවා ක්‍රීඩා විලාශය වගේම නායකත්වය තුළින් ප්‍රදර්ශනය කළ විශිෂ්ටත්වයත් සළකා මෙම ඓතිහාසික තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගෞරවයට පාත්‍ර වුණා.
untitledඅවසන් තරගයේදී ගෝලඩන් ලයන්ස් කණ්ඩායම ලකුණු 12 ක් රැස් කළ අතර අනු සූරතාවය දිනූ බ්ලැක් හෝර්ක්ස් කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 03 ක් පමණයි.ජයග්‍රාහී කණ්ඩායමට ලංකාවේ බේස්බොල් තරගාවලියක ප්‍රදානය කළ ඉහළම ත්‍යාග මුදල වන රුපියල් 1,20000 ක මුදලක් හිමි වූ අතර අනු සූරතාවය වෙනුවෙන් රුපියල් 60,000 ක මුදලක් හිමි වුණා.
තරගාවලියේ විශේෂ දක්ෂතා වෙනුවෙන් රුපියල් 15,000 බැගින් පිරිනැමුණු අතර නිරෝෂන් පුංචිහේවා දකෂතම ක්‍රීඩකයා ලෙසත් දක්ෂතම ප්‍රහාරකයා ලෙස ගෝල්ඩන් ලයන් කණ්ඩායමේම දම්පිය මහතන්තිලත්,දක්ෂතම පන්දු යවන්නා ලෙස එම කණ්ඩායමේ සංජීය ජයරත්නත් විශේෂ ත්‍යාග මුදල් සදහා හිමිකම් කියූ අතර දක්ෂතම පන්දු රකින්නා ලෙස බ්ලැක්හෝර්ස් කණ්ඩායමට හිමි වූ එකම විශේෂිත ත්‍යාගයට හිමි කම් කියන්නට දිලිප් කුමාර සමත් වුණා.හෝම් හිට් ප්‍රහාරයකට රුපියල් රුපියල් 5.000 බැගින් වෙන් කර තිබුණද කිසිම ක්‍රීඩකයෙකු මහින්ද රාජපක්ෂ බේස්බෝල් ක්‍රීඩාංගණයෙන් පිටතට පහරක් එල්ල කරන්නට අසමත් වීම කැපී පෙණුනා.
ලාකේය බේස්බෝල් පිටියේ සිටින දක්ෂයන් කණ්ඩායම් හයකට බෙදා දක්ෂයන් අතර තරගාවලියක් ලෙස පැවති මෙම තරගාවලියේ දී වර්ථමාන බේස්බෝල් පරිපාලන නායකත්වය ලාංකේය බේස්බෝල් පරිපාලනය තුළින් ක්‍රීඩාවට විය යුතු සේවය වෙනුවෙන් කැපවෙන පිරිස් විශාල වශයෙන් හදුනා ගන්නට ඇතැයි විශ්වාස කළ හැකියි.බලය වෙනුවෙන් සිය ප්‍රතිවාදීන්ට එරෙහිව වෙබ් අඩවි පවත්වා ගෙන ගිය බේස්බෝල් පරිපාලනයේ සිටින ඇතැම් පිරිස්ගේ ආහිර්වාදය ලත් තාවකාලිකව අටවා ගත් වෙබ් අඩවි මෙම තරගාවලිය වාර්තාකරනය උදෙසා පණ නොනැගීම කණ්ගාටුදායක තත්ත්වයක් වූවා.එම පිරිස් විසින් බේස්බෝල් ක්‍රීඩාවට සතුරු පිරිසක් ලෙස හදුන්වා දෙන්නට උත්සාහ කළ වෙබ් අඩවි තරගයෙන් තරගයට තරගාවලියේ දත්ත වාර්තා කරමින් ද,යම් මට්ටමකින් කෙටි පණිවිඩ සේවාවක් සක්‍රීය කරමින්ද කරන ලද සේවය ‍පරිපාලනය වෙනුවෙන් ප්‍රතිවාදීන්ට මඩ ඉසින්නට භාවිතා කළ වෙබ් අඩවි වලට අමතක වීම කණ්ගාටුදායකයි.
විෂේශයෙන්ම මෙම තරගාවලිය වෙනුවෙන් අපරිමිත වෙහෙසක් සහ කාලයක් වැය කරමින් මැදිහත් වූ බේස්බෝල් පරිපාලනයට නායකත්වය දෙමින් සිටින කාලිංග ඉන්ද්‍රතිස්ස මෙන්ම තවත් ප්‍රකට නිතිවේදියෙකු වන සාගර කාරියවසම් ද මෙම තරගාවලිය සාර්ථකව පැවත්වීමට දැරූ උත්සාහයට සෙසු පිරිස් නිවැරදි සහයක් දැක් වූවේදැයි සැක සහිතයි.තරගාවලියට සුදුසු විය යුතු දක්ෂතම ක්‍රීඩකයන් ඉවත් කිරීමට ඇතැම් විට එම පිරිස් ක්‍රියා කළ අතර විනිසුරු කටයුතු සදහා සිටින සියළු සුදුස්සන්ට අවස්ථාව ලබා දීම පසෙකලා නිරන්තරයෙන්ම අවස්ථාව ලබා දෙන පිරිස් පමණක් පෝෂනය කිරීමට ගත් උත්සාහයෙන් විනිසුරු පරිපාලනයේ සිටින පිරිස් අතරම ගැටළුකාරි තත්ත්වයන් මතු වී තරගාවලියේ සුපිරි කීර්තියට යම් කළු පැල්ලමක් එකතු වෙනු දක්නිනට ලැබුණා.
විෂේශයෙන්ම විනිසුරුවන් ගෙ සංගමය නොපිලිගනිමින් එය විසුරුවා හැර කිහිප දෙනෙකුගේ අවශ්‍යයතාවය පරිදි විනිශ්චය කටයුතු මෙහෙයවීමට පවරා ගත් දිනයේ සිට මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවෙකුගේ තත්ත්වයේ සිටින ලාංකිකයෙකු වන සුජීව විජයනායක ද මෙම තත්ත්වය කලෙක පටන් පෙන්වා දුන්නා.විනිසුරුවන් සදහා අවස්ථාව දීමේදි මෙන්ම විනිසුරු කටයුතු සිදුවන ආකාරයේද ගැටළුකාරී තත්ත්වයන් පවතින බව මෙම ලියුම්කරු සමගම ගොස් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියට පවා දැණුම් දුන් හෙතෙම පසුව බේස්බෝල් පරිපාලනය විසින් ජාත්‍යන්තර සම්මේලන නියෝජනය කරන්නට දුන් අවස්ථාව මෙන්ම විනිසුරුවන් මෙහෙයවීමේ බලය නාමිකව පැවරිමෙන් පසු නිහඩ පිළිවෙතකට පිවිසියා.
පක්ෂග්‍රාහි වීමටත් වඩා නිහඩව සිටීම බරපතල අපරාධයක් බව අප සිතන අතර ඔවුන් දෙපාර්ශවයටම යොමු වූ මුව ඇතිව ක්‍රීඩාව වළදමින් වැඩෙනා පිරිස් බව අපි විශ්වාස කරන්නෙමු.අවාසනාවකට එසේ තීරණයක් නැති වැඩි පිරිසක් සිදුවන දෙය සමග එක් වෙමින් වැල යන අතට මැස්ස ගසමින් සිය පැවත්ම තහවුරු කර ගැනීමට කටයුතු කරන ආකාරය බේස්බොල් වට පිටාව තුළ දකින්නට ලැබීම එම ක්‍රීඩාවේ අභාග්‍යයට හේතු වී තිබෙන බව සුපිරික්‍රීඩා නිරීක්ෂනය වන්නෙමු.විෂේශයෙන් කාලිංග ඉන්ද්‍රතිස්ස,සාගර කාරියවසම් වැනි සමාජ දේශපාලන අත්දැකීම් ඇති පිරිසකගේ නායකත්වය ලැබෙන මොහොතක මෙම සම්ප්‍රදා‍ය ආපසු හැරවීමේ ලක්ෂය සොයා ගැනීමට කටයුතු කරන්නේ නම් එය ලාංකේය බේස්බෝලයේ පැවත්ම පිණිස වනු ඇති බව අපේ විශ්වාසයය.සියළු පාර්ශව එක් කරවා එක හඩක් බවට පත් කිරීමේ න්‍යාය පත්‍රය ලාංකේය බේස්බෝල් වලට හදුන්වා දෙන්නේ නම් එය අනාගත බේස්බෝල් ක්‍රීඩාවේ ප්‍රගතිය පිණිස වන හොදම පියවර වන බව අපි විශ්වාස කරන්නෙමු.
ලංකාවේ විනිසුරුවන් ලෙස කටයුතු කළ හැකි කී දෙනෙකු සිටීද,ඒ කී දෙනෙකුට තරග විනිශ්චයන් සදහා අවස්ථාවන් හිමි වන්නේද,ක්‍රීඩකයන් තේරීමේදී වෙනත් කරුණු ඊට බල පා තිබේද,තේරීම් කමිටු සදහා පත් කර ඇති අයගේ සුදුසුකම් කවරේද?ඊට වඩා සුදුසු වූ අය සිටීද,තේරීම් සදහා පහළ සිට ඉහළට යන ආකාරයෙන් අවස්ථා කිහිපයක් ලබා දී තේරීම් වඩා නිවැරදි තැනකට ප්‍රවේශ කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග කවරේද යන්නද මෙහිදී විමසා බැලීම වටින්නේය.
‍කාර්ය බහුලත්වය තිබුණ ද,නිලතල ද අවශ්‍යය යැයි සිතන පිරිස් ස්විය කාර්යයන් පහසු කරගැනීම පිණිස ක්‍රීඩාවේ න්‍යාය පත්‍රයේ තමන්ට අයත් කොටස් මෙහෙයවීම වෙනත් අයට පවරා අනුන්ගේ න්‍යායපත්‍ර වල අවමනාවන්ට තමන්ගේ සීල් එක ගැසීම නව පරිපාලනය විසින් බොහෝ දුරට අඩු කර තිබෙන බව අප දන්නෙමු. ඒ සදහා ස්වීය පෞද්ගලික කාර්ය මණ්ඩලය පවා යොදවා ක්‍රීඩාව මෙහෙයවීම නිසා වත්මන් පරිපාලනයට සභාපතිවරයා යනු නාමික පෙනී සිටීමක් පමණක් යන්න අදාළ නොවන අතර එම ක්‍රියාකාරීත්වයේ ගති ස්වභාවයන් ඉදිරියේදී මේ දක්වා ස්පර්හ නොවුණ විනිසුරුවන් තේරිම සහ ක්‍රීඩකයන් තේරීම යන කාරනා සදහාත් ක්‍රීඩා සමාජවලට සමාන අවස්ථා සළසා දීම සදහාත් යොමු වන්නේනම් එය ක්‍රීඩාවේ හෙට දවස පැහැබර කිරීමට විහාල ශක්තියක් වනු ඇත.
 www.supirikrida.com

Sep 22, 2013

ලංකාව බලාපොරොත්තු වූවාට වඩා දෙගුණයක් නෙලා ගනියි

මැලේසියාවේදී නිමාව දුටු පළමු ආසියාතික පාසල් මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ පදක්කම් 10 ප්‍රමාණය 20 දක්වා ඉහළ නංවා ගන්නටත් රටවල් 9 ක් අතරෙන් පදක්කම් සටහනේ සිව්වන තැනට පත් වීමටත් අවස්ථාව උදා කර ගත්තා.දින හතරක් පුරා ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේදී පළමු ස්ථානය හිමි වූයේ සත්කාරක මැලේසියාවටයි.දෙවන ස්ථානය හිමි වූයේ ඉන්දියාවටයි.පදක්කම් එකතුවෙන් ස්ථාන පිරිනැමීම ජාත්‍යන්තර පිළිගැනීම නොවන අතර රන් පදක්කම් 4 ක් දිනූ ශ්‍රී ලංකාවට වඩා රන් පදක්කම් 6 ක් ලැබූ තායිලන්තය තෙවනස්ථානයට පත් වුණා.පදක්කම් එකතුව සළකද්දී තායිලන්තය පදක්කම් 18 ක් සහ ශ්‍රී ලංකාව 20 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නට සමත් වුණා.
සිව්වන දිනයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි කර දෙන්නට සමත් වුණේ,වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ ඒඑච්එම්පී අබේරත්නයි.ඒ මීටර් 2000 බාධක දිවීම තරගය විනාඩි 7:41.89 කින් නිමාවට පත් කරමින් ඒ රන් පදක්කම දිනා දෙන්නට ඇය සමත් වුණා.මීට පෙර මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කමක් සහ  මීටර් 1500 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා සිටි අබේසිංහ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා දුන් තෙවන පදක්කම හැටියට මෙම රන් පදක්කම හැදින්විය හැකියි.ඊට අමතරව ඇය මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට රිදී පදක්කම දිනා දීමට සහය දැක් වූයේ ඇයගේ සිව්වන පදක්කමට ද හිමිකම් කියමින්.එම සහය දිවීමේ පදක්කම සදහා ඇයට කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ආර්එම්ආර්කේ රත්නායක,සහ එම විද්‍යාලයේම පීකේසීඩී පල්ලෙවත්තත්,වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ එම්ඕ උදයංගනීත් සහය වුණා.එහිද රිදී පදක්කම වෙනුවෙන් ඔවුන් විනාඩි 3:55.72 ක කාලයක් වාර්තා කරන්නට යෙදුණා.
තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් හතරක්ම දිනා දීමට දායක වූ ක්‍රීඩකයා වූ මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ විනුර ලක්මාල් සිව්වන පදක්කම ලෙස අද මීටර් 400 සහය දිවීමේ ශ්‍රී ලංකාව දිනූ ලෝකඩ පදක්කමේ සහයකයා වු අතර ඔහු සමග එම ජයග්‍රහණය සදහා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආර්එම්ජීකේඩී රත්නායක,කදාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ යොමාල් රවිසර සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ  සතිර ශානක එක් වූවා.විනාඩි 3:21.14 ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්ව නිමා කර ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දීමට ඔවුන් සමත් වුණා.

ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ පළමු රන් පදක්කම දිනා දුන් වලල ඒ රත්නායක විද්‍යාලයේ ඩබ්ලිව්බීඑම් සමරවීර තවත් රිදී පදක්කමකට හිමිකම් කියමින් මීටර් 3000 බාධක දිවීමේ තරගය ජය ගන්නට සමත් වූ අතර ඔහු එහිදී විනාඩි 10:14.19 ක කාලයක් වාර්තා කළ අතර මීටර් 12.63 ක දක්ෂතාවයක් දක්වමින් බාලිකා තුන් පිම්ම ඉසව්වේදී එහි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාල‍යේ එච්ඩීවී ලක්ෂානි සමත් වුණා.කැගල්ල ශාන්ත මේරි විද්‍යාලයේ ආර්ඩි විදුශංක ආසියානු කණිෂ්ඨ මලලක්‍රීඩා සූරතවලියේ දිනූ ලෝකඩ පදක්කම යළිත් රැක ගනිමින් මීටර් 400 කඩුළු දිවීම ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගත්තේ තත්පර 55.17 ක කාලයක් වාර්තා කරමින්.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මීටර් 110 සහ 400 කඩුලු මතින් දිවීමේ තරග ජයග්‍රහණය කළ තානවුට් නන්චාන්ඇගයීමට ලක් වූ අතර බාලිකා දුර පැනීම සහ තුන් පිම්ම ඉසව් ජය ගත් මැලේසියාවේ නූර් සහිදතුන් නාඩියා මොහොමඩ් සුකී ඇගයීමට ලක් වූවා.
www.supirikrida.com


විනුර ලක්මාල්ගෙන් රත්තරන් පිම්මක්

මැලේසියාවේ ක්‍රියාත්මක ප්‍රථම ආසියානු පාසල් මලල ක්‍රීඩා සූරතාවලියේ තෙවන දිනයේ දී ශ්‍රී ලංකා පදක්කම් සටහනට තවත් රන් පදක්කමක් එකතු කරන්නට විනුර ලක්මාල් සමත් වුණා.මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ සිසුවෙකු වන විනුර දුර පැනීමේ ඉසව්වෙදී මීටර් 7.21 ක දස්කමක් දක්වමින් ශ්‍රී ලංකා පදක්කම් සටහනට  තෙවන රන් පදක්කම එකතු කරන්නට සමත් වුණා.ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකාව දිනා ගෙන සිටින සමස්ත පදක්කම් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබුණු අතර එයට රන් පදක්කම් තුනට අමතරව රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් එක්ව තිබෙනවා.
තරගාවලියේ තෙවන දින‍යේදී  ශ්‍රී ලංකාවට එක් රිදී පදක්කමක් හිමි වු අතර එය බාලිකා මීටර් 100 සහය දිවීමේ තරගයේදී දිනා ගන්නට සමත් වුණා.තත්පර 47.56 ක කාලයකින් සිය ඉසව්ව නිමා කරමින් දෙවන ස්ථානයට පත් මෙම කණ්ඩායමට කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ආර්එම්ආර්කේ රත්නායක,මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ මේධනී වික්‍රමනායක,පානදුර ශ්‍රී  සුමංගල බාලිකාවේ සාරංගි සිල්වා සහ කොළඹ කාන්තා විද්‍යාලයේ සලින්දා ප්‍රනාන්දු අයත් වුණා.බාලක මීටර් 100 සහය දිවීමේ තරගයේදී ශ්‍රී ලංකාවට හිමි වුණේ ලෝකඩ පදක්කමක් වන අතර තත්පර 42.85 කින් ඉසව්ව නිමා කළ එම කණ්ඩායමට රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ සමිත් ලක්මාල්,මාර්ස්ටෙල්ලා විද්‍යලයේ විනුර ලක්මාල්,කදාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ යොමාල් රවිසාර සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ සතිර ශානක ඇතුළත් වුණා.
ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවට සිය දෙවන පදක්කම ලෙස වලල ඒ රත්නායක විද්‍යාලයේ ඒඑම්එම්පී අබේසිංහ ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට සමත් වූ අතර සහය දිවීමේ පදක්කම් සමග ආර්එම්ආර්කේ රත්නායක සහ සමිත් ලක්මාල් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ දිවිත්න පදක්කම්ලාභින් බවට පත් ව සිටිනවා.මේ අතර මීටර් 100 සහය දිවීමේ පදක්කමත් සමග විනුර ලක්මාල් මේ වන විට දිනා ඇති පදක්කම් සංඛ්‍යාව තුනක් වන අතර ඔහු බොහෝ විට මීටර් 400 සහය ඉසව්වේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇත.
අද උදෑසනම පැවති බාලිකා උස පැනීමේ ඉසව්වේදී ජයග්‍රහණය මීටර් 1.55 ක ට සීමා වූ අතර එම උස ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු වෙතින්ම වාර්තා වුණා.ඉසව්ව ක්‍රියාත්මක වූ ආකාරය සැළකිල්ලට ගෙන තරගයේ ස්ථාන තීරණය වූ අතර එහිදී ප්‍රථම ස්ථානයක් සහ දෙවන ස්ථාන දෙකක් සහ සිව්වන ස්ථානයක් නම් කළ අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ ජයමාලි ගුණරත්නට සිව්වන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වුණා.
මේ සමග වන ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන හලාවත ආනන්ද ජාතික පාසලේ කේඑම්පී ජයවර්ධන කවපෙත්ත වීසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් අවස්ථාවේ ජය සංඛේත ප්‍රදානයට සහභාගි වූ අයුරුයි.
www.supirikrida.com

සූරතාවය තායිලන්තයට

සිය සත්කාරකත්වයේ වෙහෙසේ අග්‍රපලය නෙලා ගනිමින්  තායිලන්තය මෙවර ආසියානු කාන්තා වොලිබෝල් සූරියන් වන්නට සමත් වුණා.තරගාවලිය අරඹමින් සිය ප්‍රථම තරගයේදීම කසකස්තානය අතින් පරාජයට පත් වූ තායිලන්ත ක්‍රීඩිකාවෝ අළු ගසා නැගිට විත් ඉන් අනතුරුව දිගින් දිගටම ජය පැන් වල රස බලන්නට සමත් වූහ.අවසාන පූර්ව තරගයේදි ඒ දක්වා ආසියානු සූරියන්ව සිටි චීනයට පරාජය කැද වූ තායිලන්තය අවසාන තරගයේදී තව දුරටත් ජපානයට සිය අනු සූරතාවයේම රැදී සිටින්නට මාවත සකස් කරමින් වට 3 - 0 ක ජයක් ලබන්නට සමත් විය.
මේ සටහන සමග වන ඡායාරූපයේ සිටින තායිලන්තයේ විලාවන් අපින්වයාපොන්ග් 2011 වසරේදී මෙම සූරතාවලියේදී වටිනාම ක්‍රීඩිකාව ලෙස ලත් ඇගයීම තව දුරටත් රැක ගනිමින් මේ වසරේද වටිනාම ක්‍රීඩිකාව වන්නට සමත් වූවාය.මේ අතර චීනය තායිලන්තයෙන් ලද පරාජයෙන් නොනැවතී තෙවන ස්ථානය සදහා වූ තරගයෙන්ද වට 2 - 3 ක් ලෙස පරාජය ලැබූ  අතර ඒ අනුව මෙවර තරගාවලියේ තෙවන ස්ථානය දකුණු කොරියාවට හිමි වූවා.
මෙම තරගාවලි ජයග්‍රහණය හරහා තායිලන්තය ලෝක කාන්තා වොලි‍බෝල් සූරතාවලියට මෙන්ම 2014 පැවත්වීමට නියමිත ලෝක කාන්තා සූරතාවලි ග්‍රොන්ප්‍රී තරගාවලියට ද සුදුසුකම් ලැබීය.දකුණු ආසියාවෙන් මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 අතරට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් ව තිබූ අතර ඒ අතරින් ඉන්දියාව 11 වන ස්ථානය ද ලංකාව 15 වන ස්ථානය ද හිමි කර ගන්නට සමත් වුණා.
www.supirikrida.com