Feb 6, 2012

නිලූක,තෙ'මසක් තුළ සිව්වන ජාත්‍යන්තර තරගාවලි ජයත් වාර්තා කරයි

ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් සූරයා වන නිලූක කරුණාරත්න ගෙවුණු තෙමස තුළ වාර්තා කරන ලද තෙවන ජාත්‍යන්තර තරගාවලි ජය ද අත්පත් කර ගනිමින් අද උගන්ඩා ජාත්‍යන්තර තරගාවලිය ජයග්‍රහණය කළේය.එහිදී විනාඩි 40 ක කාලයක් තුළ ඉන්දුනීසියානු ජාතික,වර්ථමානයේ ඉතාලිය නියෝජනය කරන විශ්නු හර්යෙන් පුත්‍රෝ වට 2- 0 ක් ලෙස පරාජය කළ නිලූක උගන්ඩා ජාත්‍යන්තර තරගාවලියේ ජයග්‍රාහකයා විය.ලකුණු 21/11 ක් සහ 21/18 ක් ලෙස පුත්‍රෝ පරාජය කළ නිලූක හෙට උගන්ඩා ජයග්‍රහණයත් රැගෙන මව්බිමට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ අවසරය හැරෙන්නට මෙම තරගාවලි නියෝජනය සදහා නිලූකට සම්මේලනයෙන් හෝ ක්‍රීඩා අමාත්‍යංශයෙන් කිසිදු අනුග්‍රහයක් නොලැබෙන අතර ඔහු මෙම ජාත්‍යන්තර තරගාවලි කිහිපයම ජය ගෙන ඇත්තේ පුහුණුකරුවෙකු,භෞත චිකිත්සකයෙකු හෝ නොමැතිව එම තරගාවලි නියෝජනය කරමින්ය.
ගුවන් ටිකට් පතේ සිට ආහාර,නවාතැන් ආදි සියළු පහසුකම් තමා වෙළද තානාපතිත්වය දරන මැක්ලරන්ස් ආයතනයෙන් සහ මනිලාල් ප්‍රනාන්දු දක්වන යම් යම් සහයෝග මගින් යම් තරමකට පියවාගෙන තරගයකින් තරගයට පිය මනින පැය කිහිපය තුළ සිය ශාරිරික යෝග්‍යතාවය නැවත සකසා ගනිමින් ශ්‍රී ලංකාවට සුදුසුකම් මත ඔලිම්පික් යා හැකි බැඩිමින්ටන් ක්‍රීඩකයෙකු නිර්මාණය කර දීම සදහා වෙහෙසන නිලූකට ජාතිකත්වය ගැන වඩා අවධානයෙන් සිතිය යුතු ජාතික සංගමය හෝ අමාත්‍යංශය නිසි අවධානයෙන් නොලැබීම කණගාටුදායක තත්ත්වයකි.
හෙට ශ්‍රී ලංකාවට පැමිණෙන නිලූක මෙම සිකුරාදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඒ චීන මැකාවෝ හී මේ මස 11 සිට 19 දා දක්වා  පැවත්වෙන තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට ය.ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සමග පිටත්ව යන නිලූක,එම තරගාවලිය අවසානයේ යළි දිවයිනට නො'පැමිණ  ඉරානයේ පැවත්වෙන ඉරාන ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලිය නියෝජනය කිරීම පිණිස දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

No comments: