Feb 10, 2012

නිලූක 63 ට




ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් සූරයා වන නිලූක කරුණාරත්න ජගත් ශ්‍රේණිගත කිරීම්වල 63 වන ස්ථානය දක්වා ඉහළ නැග ඇත.එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ජගත් ශ්‍රෙණිගත කිරීමක පැමිණි ඉහළම ස්ථානය ලෙස සැළකේ. මෙම ශ්‍රේනිගත කිරීම සදහා ඔහු පසුගිය තෙමසක කාලයක් තුළ ජාත්‍යන්තර ‍තරගාවලි හතරක ජයග්‍රහණ ලබා ගනිමින් සහ තවත් ජාත්‍යන්තර තරගාවලි ගණනාවක විශිෂ්ඨ දක්ෂතා පෙන්වමින් ක්‍රීඩා කළ අතර මේ තත්ත්වය අනුව මේ වන විට මෙවර ඔලිම්පික් නියෝජනයට අවශ්‍යය සුදුසුකම් ද සපුරන්නට සමත් වී ඇත.
ක්‍රීඩකයෙකුට වඩා රටකට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස ඔලිම්පික් නියෝජනයට ලැබෙන අවස්ථාව සැළකෙන අතර ඒ සදහා නිලූක පුහුනුකරුවෙක් හෝ තරගයෙන් තරගයට සිය සිරුර තරගය සදහා සූදානම් කිරීමට අවශ්‍යය සම්භාහකයෙකු හෝ නොමැතිව මෙම අවස්ථාව ලංකාවට උදා කර දීමට පියවර ගෙන ඇත.ඒ සදහා ක්‍රීඩා අමාත්‍යංශය හෝ බැඩ්මින්ටන් පරිපාලනය කිසිදු මූල්‍ය අනුග්‍රහයක් නොදැරූ තත්ත්වයක් තුළ,තමා වෙළද තානාපති ලෙස ක්‍රියා කරන මැක්ලරන්ස් ආයතනයේ අනුග්‍රහය සහ මනිලාල් ප්‍රනාන්දු වැනි ක්‍රීඩා හිතෛශීන්ගේ ආධාර උපකාර ද සහිතව මේ අවස්ථාවට පැමිණීම විශේෂයෙන් අගය කළ යුතු තත්ත්වයකි.
නමුත් බැඩ්මින්ටන් පරිපාලනයේ නියොජිතයන් ලෙස ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කරුණු දක්වන්නට පැමිණෙන පිරිස් රටට ‍මෙම ක්‍රීඩකයා ගෙන දුන් කීර්තිය හෑල්ලුවට ලක් කරමින් සිය කුහකකම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට උත්සාහ දැරීම කණගාටුදායක තත්ත්වයකි.නිලූක ජයගත් තරගාවලි වල දී වැඩි අවස්ථා ගණනක ඔහු ජයගෙන ඇත්තේ තමන්ට වඩා ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන් වීම මෙන්ම ලොව ප්‍රථම ක්‍රීඩකයන් 25 අතර සිටින ක්‍රීඩකයන් ද පරාජය කරමින් සහ ඔවුන්ට තියුණු තරගයක් ලබා දෙමින් ක්‍රීඩා කරන්නට ද නිලූකට හැකි වූ බව එම පුද්ගලයින් අමතක කිරීම පතුල නැති බදුනකින් නිරුවත වසා ගෙන විලිලැජ්ජාකමේ වටිනාකම ගැන දේශනයක් පැවත්වීමක් බදුය. 

No comments: