Dec 30, 2011

රූපවාහිණී ආධුනික පිරිමි සූරතාවයට නේත්‍රා බැල්ම හෙළයි


ජාතික තරුණ සේවා සභාව සහ ජාතික රූපවාහිණි ආයතනය එක්ව සංවිධානය කරන රූපවාහිණි වොලිබෝල් තරගාවලියේ 27 වැන්න මාතර රුහුනු විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී පිරිමි ආධුනික සූරතාවය දොම්පෙ නේත්‍රා කණ්ඩායම විසින් දිනා ගන්නට සමත් වුණා.ගම්පහ සියනෑ සහ දොම්පෙ නේත්‍රා යන කණ්ඩායම් දෙක අතර පැවති අවසාන තරගයේ දී වට 3 - 1 ලෙස සිය ජයග්‍රහණය සනාත කර ගන්නට නේත්‍රා කණ්ඩායමට හැකි වුණා.
තරගයේ ආරම්භක ලකුණේ සිටම දැඩි තරගකාරී ස්වරූපයක් සහිත අවසාන තරගයක් බවට පත් වූ මෙම තරගයේ ප්‍රථම වටය ලකුණු 25 – 22 ක් ලෙස ජය ගන්නට ගම්පහ සියනෑ කණ්ඩායම සමත් වුණා.දෙවන වටයේ දී ඊට පිළිතුරු බැදී නේත්‍රා ක්‍රීඩකයන් ලකුණු 25 – 22 ක් ලෙසම දෙවන වටයේ ජයග්‍රහණය සියනෑ කණ්ඩායමෙන් උදුරා ගනු ලැබුවා.යළි තෙවන වටය තුළ දී දෙවන වටයේ ජයග්‍රහණයෙන් ලත් උද්දාමය සහිතව ක්‍රීඩා කළ නේත්‍රා ක්‍රීඩකයන් එම වටය ලකුණු 25 – 21 ලෙස ජය ගනිමින් තරගයේ වැඩි වාසි අත් කර ගත්තා.එම වාසාදායක තත්ත්වය උදුරා ගැනීමට සිව්වන තරග වටයේ දී සියනෑ ක්‍රීඩකයින් දැරූ උත්සාහය ව්‍යර්ථ කළ නේත්‍රා ක්‍රීඩකයින් එම වටය ලකුණු 25 – 23 ක් ලෙස ජය ගනිමින් රූපවාහිණි අභියෝග කුසලානය තමන් සතු කර ගැනීමට සමත් වුණා.
ක්‍රීඩකයින් ලෙස එකිනෙකා පරයන දක්ෂතා කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් වෙතින ප්‍රදර්ශනය වුව ද කණ්ඩායමක් ලෙස වඩාත් කැපී පෙණුන නේත්‍රා කණ්ඩායම එම හැකියාව ජයග්‍රහණයෙන් අවසන් කරද්දී තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඩබ් එස් ආර් ප්‍රනාන්දු තේරී පත් විය.
දක්ෂතම පන්දු පිරිනමන්නා ලෙස ඩබ් එස් ආර් ප්‍රනාන්දු ද,පන්දු ලබා ගන්නා ලෙස එස්ඒඩී තුසිත රුක්මාල් ද සම්මානනීය වූ අතර ඔවුන් දෙදෙනාම නේත්‍රා ක්‍රීඩකයෝ වූහ.එම් එන් චතුරංග නේත්‍රා කණ්ඩායම වෙනුවෙන් පන්දු ඔසවා දීමේදී දක්වන ලද දක්ෂතා අනුව දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස ද, සියනෑ කණ්ඩායමේ ජීඑම්සී මිහිරාන් දක්ෂතම ප්‍රහාරකයා ලෙසද සම්මානයට පාත්‍ර විය.දක්ෂතම ආවරණය කරන්නා ලෙස සම්මානයට පාත්‍ර වූයේ නේත්‍රා කණ්ඩායමේ ඩීඑම්බීපී ලක්මාල් වන අතර දක්ෂතම පිටිය රකින්නා ලෙස එම්එස්එච්ඩී උදයංග සම්මානනීය විය. 

No comments: