Dec 30, 2011

රූපවාහිණි කාන්තා ආධුනික අභියෝගය කැෂුවලයින් ජය ගනියි


ජාතික තරුණ සේවා සභාව සහ ජාතික රූපවාහිණිය එක්ව මාතර රුහුණු විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී 27 වන වරටත් සංවිධානය කරන්නට යෙදුණ රූපවාහිණි අභියෝග සූරතා වොලිබෝල් තරගාවලියේ ආධුනික අංශයේ කාන්තා සූරතාවය දිනා ගැනීමට මාවතගම කැෂුවලයින් කණ්ඩායම සමත් විය.පොතුපිටිය ලකීසික්ස් කණ්ඩායමට එරෙහිව පැවති එම අවසාන තරගය වට 3 – 0 ක් ලෙස ජය ගැනීමට ඔවුන් හැකි විය.
ප්‍රථම වටය කැෂුවලයින් කණ්ඩායම ලකුණු 25 – 20 ක් ලෙස ජයගත් අතර පළමු වටයේ ජයග්‍රහණයෙන් පිබිදුණු සිත් ඇතිව ක්‍රීඩා කළ කැෂුවලයින් ක්‍රීඩිකාවෝ  දෙවන වටයේ මුල සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවකට පිවිසෙමින් එම තරග වටය ලකුණු 25 – 14 ක් ලෙස නිම කළහ.තරගයේ තෙවන වටයේ දි ප්‍රථම වට දෙකේ දී ඇති වූ පීඩනයෙන් මිදුණු ලකී සික්ස් ක්‍රීඩිකාවෝ කැෂුවලයින් ක්‍රීඩිකාවන් වෙත තරගයේ මුල සිටම දැඩි අභියෝගයක් එල්ල කරන්නට වූ අතර නමුත් ප්‍රථම වට දෙකේ ජයග්‍රහණයෙන් ශක්තිමත්ව සිටි කැෂුවලයින් ක්‍රීඩිකාවෝ එම වටය ද ලකුණු 25 – 23 ක් ලෙස ජය ගත්හ.
පොතුපිටිය ලකී සික්ස් කණ්ඩායම වෙනුවෙන් දිරි ගැන්වීමට පැමිණි විහාල පිරිසක් මධ්‍යයේ කැෂුවලයින් කණ්ඩායම සිය පුහුණුකරු වන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ආනන්ද වන්නිතිලක ගේ මග පෙන්වීම යටතේ ප්‍රශංසනීය ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කළ අතර තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සචිනි නිමන්තිකා පතිරණ තේරී පත් වූවා ය.
තරගයේ දක්ෂතම පන්දු පිරිනමන්නිය ලෙස ආර්වීපී රාජපක්ෂ සම්මාන ලැබුවාය.දක්ෂතම පන්දු ලබා ගන්නිය ලෙස සම්මානනීය වූයේ එම්ඒඑස් ලක්මාලිය.එම දෙදෙනාගෙන් රාජපක්ෂ කැෂුවලයින් ක්‍රීඩිකාවක වූ අතර ලක්මාලි ලකීසික්ස් ක්‍රීඩිකාවක වූවා ය.දක්ෂතම පන්දු ඔසවන්නිය වූයේ කැෂුවලයින් ක්‍රීඩා සමාජයේ එස්එම්ඒඑන්එස් සුභසිංහය.ඩබ්ඒම්එච්සී ප්‍රනාන්දු කැෂුවලයින් ක්‍රීඩා සමාජයට දක්ෂතම ප්‍රහාරිකාවගේ සම්මානය දිනා දුන් අතර තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ සචිනි නිමන්තිකා පතිරණ දක්ෂතම වළකන්නිය ලෙස ද සම්මානනීය වූවා ය.දක්ෂතම පිටිය රකින්නිය ලෙස කැෂුවලයින් ක්‍රීඩා සමාජයේ එම්ආර්එස් සෙව්වන්දි සම්මානනීය වූවාය.

No comments: