Dec 28, 2011

වෙළගෙදර’ ගෙදරට පැන දකුණු අප්‍රිකාව අසරණ කරයි


සිය ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ හොදම පන්දු යැවීම (ලකුණු 52 ට කඩුලු 5) ප්‍රදර්ශනය කළ චානක වෙළගෙදර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් හී පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී දකුණු අප්‍රිකාව ලකුණු 168 සීමා කරන්නට සමත් වුණා.තිලාන් සමරවීර ගේ ශතකයේ ආධාරයෙන් ලකුණු 338 දක්වා ගිය ශ්‍රී ලංකාවට වෙළගෙදර ගේ දක්ෂතාවය සහ ඔහුට අනගි සහයක් ලබා දෙමින් ලකුණු 49 ට කඩුලු 4 ක් දවා ගත් රංගන හේරත් ගේ පන්දු යැවීමත් නිසා ප්‍රථම ඉණිමේදී ලකුණු 170 ක වාසියක් ලබා ගන්නට හැකි වුණා.
ප්‍රථම දිනය නිමා වන විට ලකුණු 287 ක් කඩුලු 7 ක් දැවී ලබා සිටි ශ්‍රී ලංකාවට ඊයේ දිනය තුළ රැස් කර ගත හැකි වූයේ තවත් ලකුණු 51 ක් පමණයි.එහිදී ලකුණු 86 සිට ලකුණු 102 දක්වා පැමිණි තිලාන් සමරවීර සිය 13 වන ටෙස්ට් ශතකයට හිමිකම් කියන්නට සමත් වුණා.ප්‍රථම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව විනාශ කළ වර්නන් පිලැන්ඩර් වෙනුවට මෙම තරගයට කැදවා තිබූ මර්චන්ට් ඩි ලැන්ගේ ලකුණු 81 ක් තුළ ශ්‍රී ලංකා කඩුලු 7 ක් දවා ගනිමින් කැපී පෙණුනා.
දකුණු අප්‍රිකාවට ඒ ආකාරයට නවක වේග පන්දු යවන්නන් හදුන්වා දීමට හැකියාව තිබුණත් ශ්‍රී ලංකාව නවකයන් තුළ ඒ විශ්වාසය ගොඩ නගන්නට අසමත් වීම කැපී පෙනෙනවා.වේග පන්දු යවන්නන් පුහුණුකිරීමට වෙනම පුහුණුකරුවන් පවා යොදා ගන්නා ශ්‍රී ලංකාව දිල්හාර ප්‍රනාන්දු වැනි පන්දු යවන්නෙකු කෙදිනක හෝ සාර්ථක වන තෙක් එක දිගටම කණ්ඩායම තුළ රදවා ගනිමින් නවකයෙකු පිලිබද අත්හදා බැලීම පසෙක දමා තිබෙනවා.චමින්ද වාස් වැනි ශ්‍රේෂ්ඨ පන්දු යවන්නෙකු දක්ෂතා අතර සිටියදී ඔහු ගේ වියපත් බව පෙරට ගෙන කණ්ඩායමෙන්  එළියට දමන්නට  කටයුතු කළ ශ්‍රී ලාංකේය ක්‍රීඩා බලධාරීත්වය දිල්හාර ප්‍රනාන්දු වැනි ඉදහිට සාර්ථක විය හැකි  පන්දු යවන්නෙකු ජ්‍යෙෂ්ඨත්වය මතම කණ්ඩායමේ රදවා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවල තේරීම් හී ප්‍රතිපත්තිය ප්‍රශ්න කිරීමකට ලක් කරනවා.
චානක වෙළගෙදර සහ තිසර පෙරේරා පන්දු යැවීම ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව සිය ඉණිමේ මුල් භාගයේදීම අසරණ කරමින් ලකුණු 27 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වෙනවා.නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වන හසීම් අම්ලා සහ ඒබී ඩිවිලියර්ස් ලකුණු 76 ක් සබදතාවයක් පවත්වා ගෙන යාමට සමත් වන අතර යළි ක්‍රියාත්මක වන වෙළගෙදර ඒ අවස්ථාවේදී ඩිවිලියර්ස් ක්‍රීඩා පිටියෙන් ඉවත් කරනවා.ඒ සමගම යළි එක පිට එක කඩුලු වැටෙන්නට වන දකුණු අප්‍රිකාවේ කඩුලු 8 ක් ලකුනු 118 ක් තුළ දැවී ගොස් පිට පිටම දෙවන වතාවටත් පන්දුවට පහර දීමට සිදුවිය හැකි අවධානමකට මුහුණ දෙනවා.නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වන ඩේන් ස්ටෙයින්,මෝනි මෝර්කල් සමග නවවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 26 ක සබදතාවයක් ද අවසාන කඩුල්ලට ඉම්රාන් තහීර් සමග ලකුණු 23 ක සබදතාවයක් ද පවත්වමින් නෙදැවී ලකුණු 29 ක් රැස් කරමින් දකුණු අප්‍රිකාව පිට පිටම දෙවන වතාවට පන්දුවට පහර දීමේ අවධානමෙන් ගලවා ගන්නට සමත් වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමද මෙම තරගයේදී කළකට පසුව ප්‍රදර්ශනාත්මක මට්ටමක පැවති අතර ටෙස්ට් කෝඩුකාර චන්දිමාල් ගේ කඩුලු රැකීම මෙන්ම,මහේල ජයවර්ධන,තිලකරත්න ඩිල්ෂාන් සහ චානක වෙළගෙදර අති විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීමක නියැලෙමින් දකුණු අප්‍රිකාව අසරණ කර දැමීමේ කාර්යයේ විශාල වැඩ කොටසක් ඉටු කළා.
ලකුණු 170 ක වාසියක් සහිතව දෙවන ඉණිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව ඊයේ දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 7 ක් ලබා සිටිනවා.තරගයේ තව දින තුනක් සම්පූර්ණයෙන් ඉතිරිව ඇති නිසා ශ්‍රී ලංකාව කලකට පසු ලබා ගත් මේ වාසිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ජයග්‍රහණය කරා යන්නට නම් දෙවන ඉණිමේ දී වඩාත් ඉවසිලිවන්ත ඉනිමක් ගොඩනැගිය යුතුව තිබෙනවා. 
තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවය හරහා පිවිසීමට හැකියාව තිබෙනවා. http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514033.html 

No comments: