Dec 28, 2011

බෙනාසීර් භූතෝ තරගාවලියේ දී ‘අමිල නුවන්’ ට ලෝකඩ පදක්කමක්


පකිස්තානු බොක්සිං සම්මේලනය විසින් දෙවන වරට සංවිධානය කරන්නට යෙදුණු රටවල් 16 ක් සහභාගි වන බෙනාසීර් භූතෝ අනුස්මරණ බොක්සිං තරගාවලියේ දී කිග්‍රෑ.49 බර පංතිය ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමිල නුවන් සමත් වී සිටිනවා.ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරන අමිල,2005 දී ස්ලිම් ලයින් ආයතනයේ ඩයන් ගෝමස් ගේ අදහසකට අනුව ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයේ සහ පන්නල මධ්‍ය විද්‍යාලයේ බොක්සිං ක්‍රීඩාව ආරම්භ කිරීමේ දී පන්නල මධ්‍ය විද්‍යාලය හරහා බොක්සිං ක්‍රීඩාවට පැමිණි ක්‍රීඩකයෙක් වන අතර එදා සිට මේ දක්වා ඔහු ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හර්ෂ කුමාර යි.
2010 වසරේ ජාතික කණ්ෂ්ඨ තරගාවලියේ දී හොදම ක්‍රීඩකයා වන අමිල,භූතෝ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී පකිස්තානයේ ජහාන් සහීබ් ලකුණු 15 – 8 ක් ලෙස පරදා අවසාන පූර්ව තරගයට පිවිසෙන අමිල අවසාන පූර්ව තරගයේදී ලකුණු 16 – 9 ක් ලෙස පරාජයට පත් වන්නේ මොංගෝලියානු ක්‍රීඩක අරියොන්බෝල්ඩ් ගන්සෙලාට් හමුවේයි.මේ  නිසා ඔහුට පකිස්තානයේ මොහොමඩ් නිසාර් සමග ලෝකඩ පදක්කම බෙදා ගැනීමට අමිලට සිදුවන අතර නිසාර්ව පරාජය කළ කෙන්යාවේ පීටර් මොන්ගායි සහ අමිලව පරාජය කළ ගන්සෙලාටි අද රන් පදක්කම සහ රිදි පදක්කම තීරණය වන එම බර පංතියේ අවසාන තරගයට මුහුණ දීමට නියමිතයි.
මෙම තරගාවලියේ අර්ධ අවසාන පූර්ව තරග සදහා අමිලට අමතරව තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව් දෙනෙකු අර්ධ අවසන් පූර්ව තරග සදහා පිවිසීම කැපී පෙණුනා.එහිදි කිග්‍රෑ. 52 බර පංතියෙන් තරග වැදුණු එම්වීඅයිආර් සෙනවිරත්න පකිස්තානයේ මොහොමඩ් වසීම් ඉදිරියේ ලකුණු 26 – 12 ක් ලෙස පරාජයට පත්වුණා.පිලිපීනයේ ජෝගින් ලැඩොන් හමුවේ කිග්‍රෑ. 60 බර පංතියේ තරගයේදී ආර්එම්එන් බණ්ඩාර පරාජයට පත් වූයේ ලකුණු 25 – 13 ක් ලෙස යි.කිග්‍රෑ 69 බර පංතියෙන් තරග වැදුණු එච්එන් මධුශංක ලකුණු 25 – 17 ක් ලෙස කෙන්යාවේ රේටෑන් ඔක්විරි හමුවේ පරාජය වුණා.ප්‍රතිවාදියාගේ ප්‍රහාරය හමුවේ කිග්‍රෑ 91 ට වැඩි අර්ධ අවසන් පුර්ව තරගයේදී තීරකයා විසින් තව දුරටත් තරග කළ නොහැකි බවට තීරණය කරමින් කෙන්යානු ක්‍රීඩක චාල්ස් ඔකොත් ට ජයග්‍රහණය ප්‍රදානය කිරීම නිසා දොන් රසිකට අවසාන පූර්ව වටය පිළිබදව තබා තිබූ බලාපොරොත්තු අතහැර දමන්නට සිදු වුණා.ඒ වන විටත් චාල්ස් ලකුණු 7 – 3 ක් ලෙස ඉදිරියෙන් සිටියා.
මූලික වටයෙන්ම පරාජයට පත් වුව ද ආර්ජී සිසිර කිග්‍රෑ 56 බර පංතියේදී පකිස්තානු ක්‍රීඩක අමීර් කාන් ට එරෙහිව ලැබූ පරාජය අභියෝගයට ලක්කිරීම‍ට ඇතැම් පකිස්තානු මාධ්‍යයද කටයුතු කර තිබුණා. එම තරගයේ අවසාන ප්‍රතිපලය 12 – 12 ක් වූයෙන් පැති විනිසුරුවන්ගේ තීරණ සළකා බලා තරගයේ ජයග්‍රහණය පකිස්තානුවාට පිරිනැමීම ඇතුළුව පළමු දිනයේ තරග සංවිධානය ද පකිස්තානු මාධ්‍ය මගින් විවේචනයට ලක්කර තිබුණා.





No comments: