Dec 29, 2011

ශ්‍රී ලංකාව,කළකට පසුව ජයග්‍රහණයේ මාවතට


                     කුමාර සංගක්කාර සහ දිනේෂ් චන්දිමාල්

මාස ගණනක් පරාජයේ අමිහිරි කටුක බව විදිමින් සිටින ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමග පැවත්වෙන තෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය නිම වන විට යළි පිබිදෙමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වී සිටියි.සම්පූර්ණ දින දෙකක් ඉතිරිව තිබියදී ලකුණු 426 ක් ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව සිය දෙවන ඉණිම සදහා ලකුණු 256 ක් ලබා සිටින්නේ කඩුලු 7 ක් පමණක් අහිමි කර ගනිමින් ය.ශ්‍රී ලංකාව ප්‍රථම ඉණිම සදහා ලකුණු 338 ක් ලැබූ අතර ඊට පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලකුණු 168 ට සීමා කරන්නට සමත් වූ ශ්‍රී ලංකාව දෙවන ඉණිම ලකුණු 177 ක් ඉදිරියෙන් සිටිමින් ආරම්භ කරන්නට ආශිර්වාදය ලද්දේය. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට තරගයේ සමස්ත ගෞරවය සියතට රැගෙන සිටින්නේ,තරගය පැවත්වෙන ඩර්බින් පිටියේ දිගින් දිගටම අසාර්ථක වීමේ දකුණු අප්‍රිකා ක්‍රිකට් ඉතිහාසය විසින් ශවුන් තුළ ඇති කර තිබෙන මානසික පීඩනය ද සමගය.
දෙවන ඉණිමේ ලකුණු 177 වාසිය රැක ගනිමින් සිව්වන ඉණිම ක්‍රීඩා කරන්නට පිවිසෙන දකුණු අප්‍රිකාවට පීඩනයක් ඇති කිරීම අරමුණු කරගෙන පිටියට පිවිසි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී සිය බලාපොරොත්තුවෙන් ඈතට තල්ලු වෙද්දී,යළි සුපිරි පිතිකරු සංගක්කාර සමග ක්‍රියාත්මක වූ ප්‍රථම ඉණිමේ වීරයා වූ තිලාන් සමරවීර සිව්වන කඩුල්ලට ලකුණු 94 ක සබදතාවයක් පවත්වමින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ලකුණු පරතරය ලකුණු 300 සීමාව කරා රැගෙන යන්නට සමත් විය. නමුත් ඇන්ජලෝ මැතිව්ස් ඒ වාසිදායක තත්ත්වයට තවත් ලකුණු 3 ක් පමණක් එක්වෙද්දී පිටියෙන් ඉවත්ව යාමත් සමග පිටියට පිවිසි ටෙස්ට් කෝඩුකාරයා දිනේෂ් චන්දිමාල්, සිය තේරිම ප්‍රමාද කිරිම පිළිබදව තේරීම් කමිටුවට යළි සිය පිත්තෙන් අවලාද නගන්නට ගත්තේ ශ්‍රී ලංකා ඉණිමේ හොදම ලකුණු සබදතාවය වන ලකුණු 104 ක් හයවන කුඩුල්ල්ට ඇති කරමින්ය.සංගක්කාර සමග ඇති කළ එම සබදතාවයෙන් ලකුණු 54 ක් චන්දිමාල් ට හිමි වූ අතර සංගක්කාර යළිත් වරක් ටෙස්ට් පිතිකරුවෙකු සතු විය යුතු සියළු ගුණාංග සහිතව අනගි ශතකයක්(108) එක් කළේය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩේන් ස්ටෙයින් ලකුණු 54 කඩුලු 3ක් දවා ගත් අතර ඉම්රාන් තාහීර් ට කඩුලු 2 ක් හිමි වූයේ ලකුණු 54 ට ය.ප්‍රථම ඉණිමේ ශ්‍රී ලංකා ඉණිමේ විනාශකාරයා වූ මර්චන්ට් ඩි ලැන්ගේ ට දවා ගැනීමට හැකිවූයේ ලකුණු 45 ට එක් කඩුල්ලක් පමණි.
තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීම‍ට හැකියාව ඇත. http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514033.html

No comments: