Jul 6, 2013

ජයග්‍රහණය තියෙන්නෙ අපේ ආරක්ෂක පෙළ සතුවයි - ධම්මිකා මල්කාන්ති

මැලේසියාවෙ සහ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් දෙකම කවදත් ෂූටිං වලට දක්ෂයි.ඒ නිසා අපේ ඩිෆෙන්ස් එක හොදටම කරන්න ඕනෑ.එතනදි ගයනි දිසානායක ඉන්න එක අපිට ලොකු වාසියක්.එයාට එක්ස්පීරියන්ස් තියෙනවා යැයි ශ්‍රී ලංකාව අවසාන වරට ආසියානු යොවුන් කුසලානය දිනා ගත් තරගාවලියේ ආසියානු යොවුන් දැල් පන්දු රැජිණ ලෙස තේරී පත් වූ ධම්මිකා මල්කාන්ති මෙවර අවසාන තරගය පිළිබදව කරන ලද විමසීමකදී කියා සිටියාය.
ආරක්ෂක පෙළ ක්‍රිඩිකාවක් ලෙස එවර තරගාවලියේදී ප්‍රතිවාදීන් මැඩීමට ධම්මිකා ක්‍රියාකළ ආකාරය ඇය දැල් පන්දු රැජින ලෙස අභිෂේක ගැන්වීමට හේතු වූ අතර 2001 ශ්‍රී ලංකාවේ පැවති ආසියානු දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය බවට පත් වෙමින් අවසාන මොහොතේ තරගයට පිවිස සිංගප්පූරු ප්‍රහාරයන් කිහිපයක් මැඩලීයට ක්‍රියා කළේද ධම්මිකාය.
හොද ටීම් එකක් ඉන්නවා.ඒ වගෙම හොද තීරණ අරං තියෙනවා.විෂේශයෙන්ම දුලංගි වන්නිතිලක ගේ පොසිසන් එක ෂූටර් ගෙ ඉදල සෙන්ටර් එකට ගෙනාපු එක හොද දෙයක්.එයාට ඉන්ටර්නැෂනල් ෂූටර් කෙනෙක් වෙන්න උස අඩුයි.ඒ වුණාට හොදට ෆිට්නස් තියෙන හොදට පාස් කරන ක්‍රීඩිකාවක්.ඒ නිසා එයාව සෙන්ටර් ප්ලේ කරන්න ගෙනාපු එක හොද තීරණයක් යනුවෙන් ද ධම්මිකා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවාය.
ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන සේමිනි අල්විස් මෙන්ම තිසාලා අල්ගම ද දැල අසළ කාර්යය නිවැරදිව ඉටු කරන බවට ලොකු විශ්වාසයක් තැබිය හැකි බව පෙන්වා දුන් ධම්මිකා ඒ දෙදෙනාටම ජාත්‍යන්තර මට්ටමේ ඇති අත්දැකීම් ඒ සදහා ලොකු පිටුවහලක් වනු ඇති බව ද පෙන්වා දුන්නාය.
ඊයේ අවසාන පූර්ව තරගයේදි හොංකොං කණ්ඩායමට ලකුණු 70 - 28 ක පරාජයක් අත් කර දුන් ශ්‍රී ලංකාව හෙට අවසාන තරගයේදී සිංගප්පූරුව ලකුණු 52 - 32 කින් පරාජය කළ මැලේසියාවට මුහණ දීමට සූදානම්ය.තරගාවලියේ මේ දක්වා පැවති තරග දත්ත සංසන්දනය කර බලද්දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පැහැදිළි නමුත් මැලේසියාව ද ලකුණු ලබා ගැනීමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඉහළ ප්‍රතිශතයක් පෙන්වන කණ්ඩායමක් බැවින් ඔවුන්ට ශ්‍රී ලංකා දැල ආක්‍රමණය කිරීමට ඇති ඉඩ - කඩ අවම කළ යුතු අතර එවැනි සෑම අවස්ථාවක්ම අපහසු අවස්ථාවක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශය ක්‍රියා කළ යුතුය.
මේ අතර ශ්‍රී ලංකාවේ හිටපු ජාතික පුහුණුකාරිණිය වන තිලකා ජිනදාසගේ මග පෙන්වීමෙන් ආලෝකමත් වී ඇති බෘනායි කණ්ඩායම,අද තරගාවලියේ පස්වන ස්ථානය සදහා තරග වදින අතර,ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ තායිලන්තය ය.හොංකොං කණ්ඩායමට කරට කර තරගයක නියැලි බෘනායි ක්‍රීඩිකාවෝ තියුණු තරගයකින් පසුව පරාජය නොවන්නට ඔවුන්ට මෙවර පළමු කණ්ඩායම් හතර අතර රැදෙන්නට අවකාශ තිබුණ අතර ඔවුන් ඊයේ ශ්‍රේණිගත කිරීම් තරග වලදී මාල දිවයින කණ්ඩායම පරාජයට පත් කර ලකුණු 82 - 18 ක ජයක් ලැබීමට අවස්ථාව උදා කර ගත්තේය.

No comments: