Dec 15, 2012

අපි ලැම්බෝ ගිනි වලට විරුද්ධ නැහැ

දෙසැම්බර් 17 දාතමින් වෙළද පොළට නිකුත් වූ ලංකා පුවත්පතට සුපිරික්‍රීඩා සංස්කාරකවරයා ලෙස මා ලියන්නට යෙදුණ ලිපියෙන් කියන්නට උත්සාහ කරන්නේම ලැම්බෝගිනි යන වචන වල එල්ලි ඒ සදහා ලැබුණු වාසිය වෙනත් ක්‍රීඩා භාණ්ඩ සදහා ලබා නොගන්නට උත්සාහ කිරීම වැරදි බවය.නමුත් එම ලිපියෙන් පසුව හුග දෙනෙකු කතා කර අසන්නේම ලැබ්බෝ ගිනි ම්බන්ධයෙන් මගේ මතය ය.පැහැදිළිවම මම එයට විරුද්ධ නැත.ක්‍රීඩාව ධනවතාගේද දුප්පතාගේද යන්න අදාළ නොවන අතර එය ක්‍රීඩකයාගේ යන්න පළමුව සිතමි.


එහිදී ක්‍රීඩා උපකරණයක් ලෙස ලැම්බෝගිනි වෙත ලබා දෙන බදු සහනය ක්‍රීඩා භාණ්ඩයකට ලබා දෙන බදු සහනයක් ලෙස ගත් විට ප්‍රතික්ෂේප කළ නොහැකිය.ඒ සම්බන්ධයෙන් විය යුතු සංශෝධන පමණක් මම දකිමි.බදු සහනයෙන් ක්‍රීඩාවට වඩාත් පලදායක සේවයක් වන්නේ රේසින් කාර් අඩු කිරීමෙන්ද යන්න ගැටළුකාරීය.එසේනම් වැඩි පිරිසක් නියුතු වැඩි පිරිසකට පලදායිතාවයක් ඇතිවන ක්‍රීඩාවකට රේසින් කාර් වලට ප්‍රථම මෙම සහනය දිය යුතුව තිබිණ.
නමුත් දුන් සහනය දේශපාලනික හිතුවක්කාරකමක ප්‍රතිපයක් ලෙස දැක එයට එරෙහි වී පොඩි මිනිසා ව පාරට බැස්සීමේ සටන් පාඨයක් ලෙස යොදා ගැනීමෙන් ඔබ්බට ඒ පාරට බහින මිනිසුන්‍ගේ දරුවන් දුවන්න දාන ධාවන පාවහන් යුවළට,ගහන වොලිබෝලයට,දැලට පාපන්දුවට,සපත්තු වලටත් එන ලෙස මෙම බදු සහනය ව්‍යාප්ත කිරිමට බලපෑමක් කළේ නම් සාමාන්‍ය මිනිසාට ජයග්‍රහණයක් ලබා ගන්නට තිබිණ.ඒ නිසා එය සටන් පාඨයක් ලෙස යොදා ගත් ආකාරය වැරදි බව මම සිතමි.අවුල තිබෙන්නේ රේසින් කාර් වලට බදු සහන දීමට වඩා සාමාන්‍ය ක්‍රීඩාවන්හී නියුතු වූවන්ගේ ක්‍රීඩා සදහා බදු සහන නොදීමය.අරගලය ඒ වෙනුවෙන් මෙහෙයවනු වෙනුවට ලැම්බෝගිනි යන වචනයේ එල්ලී එය බස් ගාස්තුව වැඩි වීමේ සටනේ සිට ලූණු ගෙඩියේ අල ගෙඩියේ ගාන වැඩි වීම දක්වාම වන සටන් වල ප්‍රධානතම සටන් පාඨය කර ගන්නට යාමෙන් වූයේ අඩු ගණනේ ක්‍රීඩාව අසළවත් නොරුදී ලැම්බෝ ගිනි වේගයෙන්ම එම විරෝධයන් අපෙන් ඈත්වීමය.
ජාතික ක්‍රීඩා උළෙලේ බෝඩ් ලෑලි උස්සන් ගිය කිසිවෙකු හෝ ලැම්බෝගිනි වලට ලබා දුන් සහනය ගමේ ගොඩේ කොල්ලො කුරුට්ටන් කරන ක්‍රීඩා වල භාණ්ඩ සදහා ද ලබා දෙන්නට යැයි ඉල්ලීම් කළේ නැත.වෘත්තීය තත්ත්වය සහ වැටුප් අතරට එවැනි කාරණයක්ද එක් වූවේනම් කෙතරම් අපූරුද?තමන් අරගල කර දිනා ගන්නා වැටුප මෙන්ම අනතුරුව සිය සේවය ලබන දරුවන්ද යහපත් තත්ත්වයකින් ක්‍රීඩාවට යොමු වනු ඇත.ක්‍රීඩා කරන්නට බෝලයක් නැතිව සිටි අය බෝලයක් ගෙන සෙල්ලම් කරනු ඇත.පාවහන් අඩු වීම නිසා ක්‍රීඩාවට වැඩි පිරිසක් යොමු වනු ඇත.එහෙත් ඒ සටන් සිය බඩ - කට ට මායිම්ව රැදෙනු විනා පුළුල් සමාජ අර්ථයක් දක්වා විහිදී යන්නේ නැත.ඒ නිසාම අප ජනවාරි පළමු වැනිදා පළමු කාර්යය ලෙස කරන්නේ ජනාධිපතිවරයාට ක්‍රීඩා භාණ්ඩ සදහා බදු සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක් ලිවීමය.අප ලියූ සැනින් ජනාධිපතිවරයා එසේ බදු සහන ලබා දෙනු ඇතැයි අපට විශ්වාසයක් නැත.එසේ විශ්වාස කරන්න අපට මානසික ආබාධයක්ද නැත.
නමුත් අප කරන දේ තවත් බොහෝ පිරිසකට කළ හැකිනම් එයින් යම් ප්‍රතිපලදායක වැඩක් වන්නට ඉඩ ඇතැයි පුංචි සිහිනයක් අපට ඇත.අප හැම විටම වැඩ කරන්නේ යහපතක් වනු ඇතැයි සිහිනයක සිටය.
ක්‍රීඩා අමාත්‍යවරයාට ද ඇතැම් විට කරුණු පෙන්වා දෙමින් යම් යම් දේ නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ ඒ සිහිනයේ සිට මිස අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සිටින ඇතැම් අය සිතන පරිදි අපි අපි පිළිබදව වැරදි විහාල තක්සේරුවක පිහිටා නොවේය.එසේ පෙන්වා දී ඇමතිවරයා පිළිගත් කරුණු සහ ක්‍රියාත්මක කළ කරුණු වලින් ක්‍රීඩාවට මෙන්ම අමාත්‍යවරයාටද යහපතක් මිස අගතියක් අපකීර්තියක් අත් නොවූ බව එම නිලධාරීන් නොදන්නේ වුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ හෘදය සාක්ෂිය දන්නා බව ද අපි දනිමු.
ජනාධිපතිවරයාගේ හෘද සාක්ෂියටද ක්‍රීඩාව වෙනුවෙන් අප ආමන්ත්‍රණය කරන්නට යන්නේ රජ්ජුරුවන්ගේ නහයේ මැස්සන් වසන විට උන්ව එලවන්නට කඩු අතට ගත් ආරක්ෂකයන් සිටින බව දැන දැනමය.එහෙත් අප කපා දැමෙන කොයි මොහොතක හරි එ් අපරික්ෂාකාරී කඩු පහරවල තමන්ට ඇති අවධානම ජනාධිපතිවරයා දකිනු ඇතැයි යන සිහිනය ද අපි විදින්නෙමු.
www.supirikrida.com

No comments: