Dec 9, 2012

සූරතාවය ටැන්සානියාවට ශ්‍රී ලංකාව හතරට බසී

සිංගප්පූරුවේ පැවති සය ජාතික දැල් පන්දු සූරතාවලියේ සූරතාවය දිනා ගැනීමට ටැන්සානියාව සමත් විය.තරගාවලියට සහභාගි වන විටත් සිංගප්පූරුවට  පමණක් පිටු පසින් සිටි ටැන්සානියාව, සිංගප්පූරුව ඉදිරියේ පැවත්වීමට නියමිත ජගත් කණිෂ්ඨ තරගාවලිය ඉලක්ක කර සිය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් ඉවත් කර යොවුන් ක්‍රීඩිකාවන්ට අත්දැනීම් සදහා අවස්ථාව දීමේ ප්‍රතිපලයක් ලෙස සිංගප්පූරුව සමග ද ටැන්සානියාව විශාල තරගයකින් තොරව ජය ගත්හ.
අවසන් තරගයට මැලේසියාව සමගින් පිවිසි ටැන්සානියාව තරගාවලියේ සිය අපරාජිත තරග වාර්තාවට කුසලාන ජයග්‍රහණය එක් කර ගත්තේ ලකුණු 45 - 38 ක ජයග්‍රහණයක් සමගින්ය.නමුත් මූලික තරග වලට වඩා අවසාන තරගයකට උචිත මානසික ශක්තියකින් සහ විශ්වාසයකින් සැදුම් ලත් මැලේසියානු ක්‍රීඩිකාවෝ අවසාන තරගයේදී ටැන්සානියාවට තියුණු තරගයක් ලබා දීම කැපී පෙණින.
මේ අතර ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මූලික වටයේ දී  තමන් විසින් පරාජයට පත් කළ නැමීබියාව සමග තරග වැදිණ.ඒ තරගාවලියේ තෙවන සහ සිව්වන ස්ථාන තීරණය කිරීම සදහා වූ තරගයටය.එහිදී යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිවන්තභාවය රදවා ගැනීමේ ගැටළුව යළිත් දකින්නට ලැබුණු අතර දරා ගැනීමෙන් සහ කායික ශක්තිය පවත්වා ගෙන යා නොහැකි දුර්වල කණ්ඩායමක් ලෙස යළිත් ශ්‍රී ලංකාව මේ තරගයේදී ද මැනවින් සනාත කළේය.ප්‍රතිපලය ලෙස ශ්‍රී ලංකාවට නැමීබියාව වෙතින් ලකුණු ලකුණු 76 - 71 පරාජයක් හිමි විය.  

තිලකා ජිනදාස වෙනුවට හයසින්ත් විජේසිංහ කැදවා ඒමට පිඹුරුපත් සකස් කළ කණ්ඩායමේ ප්‍රබල භුමිකාවක් රග දැක් වූ යසා රාමචන්ද්‍ර ට ද හයසින්ත්ට මෙන්ම  තමා පුහුණුකාරියක ලෙස ජාතික පුහුණුකාර ධුරයට පිවිසෙන මොහොතේ තරගකාරි කණ්ඩායමක පුහුණුකාරියක නොවිම තදින් බලපෑවේය.ඊටත් වඩා මට මහළු වයසේ බැරිය වීනා සේ පෙර සේ කියා තැවෙද්දී ශක්‍ර දේවේන්ද්‍ර‍යන්ගේ උදව් උපදේශ ලැබෙතැයි සිතා එම පුහුණුකාර ධුරය ලැබීමට ඇය ඉදිරිපත් වේ යැයි සැක සිතෙන්නේ ඇයගේ සාමාන්‍ය හැසිරීම් රටාව තුළ වුව කායික අබල දුබලතා මැනවින් දැකිය හැකි බැවිනි.

නමුත් ඇය යෝජනා කරන්නට ඊට වඩා මානසික සහ අක්ෂි දුබලතා ඇති පිරිසකගෙන් යුතු පාලන කමිටුවක් සිටි බැවින්ද,ඒ අය විසින් කරන ලද තේරීමෙන් පිනා ගොස් යසාට ද මානසිකව චූන් වීමක් ඇති වූ හෙයින්ද පාලන කමිටුවේ ප්‍රධානි අබේසිංහයන්  පවසන ආකාරයට මේක මැච් කීපෙක ටුවර් එකක් වීම නිසා යසාට ඒ චූන් එකට අවස්ථාව සැළසිණ.නමුත් තේරී‍ම මැච් කීපයක් වුවත් මෙහි ප්‍රතිපලය වසර ගණනකට බලපාන ඇද වැටීමක් සහ බිද වැටීමක් බව ශ්‍රේණිගත කිරීම්වල අපට වඩා පහතින් සිටින මැලේසියාවට සහ නැමීබියාවට පරාජය වීමෙන් ඉදිරියේදී පැහැදිළි කර ගැනීමට ලැබෙනු ඇත.
නමුත් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටි සිංගප්පූරුව පරාජය කිරීම එම කණ්ඩායම ජ්‍යෙෂ්ඨයන් කිහිපයක් ඉවත් කර ක්‍රීඩා කිරීම හේතු වශයෙන් දක්වා බරපතල ලෙස හෑල්ලුවට ලක් නොකරන නමුත් එය ලියා තැබිය යුතු වන්නේ තරග සංචාරයෙන් පසුව මේ තේරීම්වලට වගකිව යුතු පිරිස ගේ නරිවාදම් නවතා දමා ක්‍රීඩාවේ වර්ධනය පිණිස දැන්වත් අලුත් වැඩ පිළිවෙලක් ඇරඹිමට ය.
නැවත තරගය දෙසට අවධානය යොමු කරන්නේ නම් නැමීබියාව අතර තරගයේදී පළමු කාර්තුවේ සහ දෙවන කාර්තුවේ ජයග්‍රහණ ලබමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු අර්ධය නිම වන විට ලකුණු 36 - 34 ක් ලෙස ඉදිරියෙන් සිටියහ.නමුත් තෙවන අර්ධයේදී නැමීබියාව ලකුණු 23 ක් ලබන විට ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වන්නේ ලකුණු 15 ක් පමණි.ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ කාර්තු හතරම එක මට්ටමෙන් ක්‍රියාත්මක වීමට නොහැකි බවට මෙය නිදර්ශනයක් ලෙස ගත හැකිය.නමුත් මේ තරගාවලිය පුරාම ශ්‍රී ලංකාවේ තරග රටාව මේ ආකාරයෙන් හදුනාගත හැකි වුව ද,මෙම තරගයේ අවසාන කාර්තුවේ ලකුණු තත්ත්වය පෙන්වා එහි දී ශ්‍රී ලංකාව එක ලකුණක් ඉදිරියෙන් සිටින බව පෙන්නා සියල්ල කණපිට හැරවීමට ද මේ පරාජයේ වගකිවයුත්තන්ට පුළුවන.නමුත් එක් නියැදියක් සළකා සියල්ල අමතක කර දමන්නට තරම් ළදරු මානසිකත්වයක් ක්‍රීඩාවේ ප්‍රමුඛ බලධරයා වන අමාත්‍යවරයාට ඇතැයි අපි නොසිතන්නෙමු.
ශ්‍රී ලංකාව ජයගත් අවස්ථාවලදී හොද කායික ශක්තියක් පවත්වා ගනිමින් එම ජයග්‍රහණ ලැබූ බව ඉතිහාසය සාක්සි දරනවා ඇත.විශේෂයෙන්ම 2001 වසරේදී පුහුණුකාරියක ලෙස ඒ වන විට ප්‍රායෝගිකව ඉතා හොද මට්ටමක සිටි හයසින්ත් සිය කණ්ඩායම ඉතා මැනවින් මෙහෙය වූ අතර ශ්‍රී ලංකාව සිංගප්පූරුවෙන් ජයග්‍රහණය උදුරා ගත්තේ තරගයේ අවසාන කාර්තුවේ අවසාන විනාඩියේදී බව ඉතිහාසය දන්නෝ දනිති.
එහිදී මුළු තරගය පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය කාය ශක්තිය සහ දරා ගැනීමේ ශක්තිය උපරිමයට ප්‍රදර්ශනය කළ අතර අනතුරුව තිලකා ජිනදාස ගේ සමය හැදින්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කායික යෝග්‍යතාවය ඉතා ඉහළින් පැවති අවධිය ලෙස ය.
මෙම කරුණු සැළකිල්ලට ගෙන කෙටි කාලිනව මෙම ක්‍රීඩිකාවනගේ කායික යෝග්‍යතාවය නිසි පරිදි රදවා ගැනීමට හැකි පරිදි හෝ උසස් කිරීමට හැකි පරිදි ජාතික තලයේ ජයග්‍රාහී කණ්ඩායම් පුහුණුකරන පුහුණුකාරියකට එම අවස්ථාව ලබා දිය යුතුව තිබිණ.එම පුහුණුකාරියට ඉහළින් පුහුණු අධ්‍යක්ෂවරියක ලෙස එම පුහුණුකාරි සිය අත්දැකීම් වලින් අධීක්ෂනය කර සැළසුම් සකස් කිරීම සදහා යසා රාමචන්ද්‍ර ට අවස්ථාව දුන්නා නම් මේ ප්‍රතිපලය වෙනස් වන්නට තිබිණ.නමුත් යසා හෝ යසා තෝරා දුන් අය ද තමන් කළ යුත්තේ කුමක්ද යන්න පිලිබදව නිසි අවබෝධයකින් තොර බව සනාත කරමින් තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් අතරේ ජගත් ශ්‍රේණිගත කිරිම් සළකද්දී  තෙවන තැන සිටි ශ්‍රී ලංකාව සිව්වන තැනට පත් වී සිටියි.ඒ තමන්ට පහළ ශ්‍රේණියක සිටි කණ්ඩායම් දෙකක් ඉදිරියේ පරාජය වෙමින්ය.
සැනසීමට තිබෙන්නේ තමන්ට වඩා ඉහළින් සිටි සිංගප්පූරුව පරාජය කිරීමය.ඔවුන් ජගත් කණිෂ්ඨ තරගාවලිය ඉලක්ක කර ගෙන ඉතා ලාබාල ක්‍රීඩිකාවන්ට අත්දැකීම් සදහා මෙම තරගාවලිය විවෘත කරමින් ක්‍රීඩා කිරීම හේතුවක් නිසා එම පරාජයන් ඉදිරි සංවර්ධනය පිණිස හිතා මතා ගත් තීරණයන් නිසා අත් විදි ප්‍රතිපල ලෙස සැළකීමට සිංගප්පූරුවට අවස්ථාව ඇත ඒත් ශ්‍රී ලංකාව තේරීම් කමිටුව පත් කළ නව නායකත්වයද ප්‍රතික්ෂේප කර පරණ නායකත්වයන් යටතේම ගොස් පරණ පරාජිත අත්දැකීම්ම සමග ආපසු එන්නේය.මේ පරාජයට දැල් පන්දු පාලන කමිටුවද සියයට 50 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වගකිව යුතුය.එහෙත් එවැනි වගකීම් පිලිබදව නොසළකා හැර පරාජය ගැන කරුණු හොයන්නට එම නිලධාරි ගොන්නම හෝ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායමක් මෙම පරාජයේ හේතු සොයන්නට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරනවා ඇත.හිටපු දැල් පන්දු පාලනය පතුරු ගසන අතරේ කණ්ඩායමේ විනාශයට බල පෑ පුහුණුකාර ධූරය තිලකාගෙන් ඉවත් කිරීමට පිඹුරුපත් සැකසූ එම පරිපාලනයේම සිටි යසා පුහුණුකාරිය වන්නා සේම,එම පාලනයේ බලපෑම් වලට යටත් නොවි කොන්ද කෙළින් තබා ‍ගෙන ක්‍රියා කළ තේරීම් කමිටුවේ කිහිප දෙනෙකු ඉවත් කර දෝශ දර්ශනයට ලක් කළ පරිපාලන ඒකකයේ චන්ද්‍රානි පතිරාජ තේරීම් කමිටුවේ සභාපතිනියද වන්නේය.
ඒ නිසා ඊ ළගට ජාතික සංචිතය පවත්වා ගෙන යාමට පුහුණුකාරියක් අවශ්‍යය නම් අබේසිංහයන් ප්‍රමුඛ කමිටුවේ අවධානයට ලක් විය හැකි නම් කිහිපයක්ම ඇති බව අප මෙහි ලියා තබන්නේ එම නම් ඇති පිරිසට අගෞරව කිරිමට නොවේය.සිටින පාලන කමිටුව පිලිබද අවබෝධයක් ඇති කර ගැනීමට ය.
ශාන්ති උනන්තැන්න,ඔලිවියා ගමගේ,යැස්මින් ධර්මරත්න වැනි චරිතයකට අබේසිංහ පාලන කමිටුන ඊ  ළග අවස්ථාවේ පුහුණුකාරිනිය වන්න ආරාධනා කළහොත් පුදුම විය යුතු නැත.

No comments: