Mar 14, 2012

ශ්‍රී ලංකාවෙන් අසාර්ථක ආරම්භයක්


සියාතික කුසලාන තරගාවලියේ පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ ලකුණු 50 ක පරාජයක් ලැබුවා.කොමන්වෙල්ත් කුසලාන තරගාවලියේදී අසාර්ථක වූ ලසිත් මාලිංග වෙනුවට කැදවනු ලැබූ සුරංග ලක්මාල් තරගයේ ප්‍රථම කඩුල්ල ලබා ගත්තද ඔහුගේ අවසාන පන්දු ඕවර කිහිපයේදී පුල්ටොස් පන්දු ගණනාවක් යොමු කරමින් ඉන්දියාවට ලකුණු පූජා කිරීම නිසා මෙන්ම ඒ ආකාරයෙන්ම නුවන් කුලසේකරගේ පන්දු යැවීමද ක්‍රියාත්මක වීම හේතුවෙන් අවසාන පන්දු ඕවර් කිහිපය තුළ ඉන්දියාව විසින් විශාල ලකුණු ප්‍රමාණයක් එකතු කර ගත්තා.එහි ප්‍රතිපලය ලෙස කඩුලු 3 ක් දැවී ලකුණු 304 ක් ලබා ගත් ඉන්දියාව සිය පන්දු ඕවර් 50 නිමාවට පත් කළේ ඕවරයකට 6.08 ක දළ ලකුණු වේගයක් සමගයි.
කාසියේ වාසිය ලැබූ මහේල පළමුව පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළ අතර එම තීරණය පලදායි එකක් බව ආරම්භයේ පෙනෙන්නට තිබුණද,විරාට් කෝලි (108) සහ ගෞතම් ගාම්බීර් (100)  පන්දු යවන්නන්ගේ බුරුලෙන් උපරිම ප්‍රයෝජන ලබමින් දෙවන කඩුල්ලට ලකුණු 205 ක සබදතාවයක් පැවත් වූවා.ඉන් අනතරුව තරගයේ සිව්වන කඩුල්ලට නොබිදුණු සබදතාවයක් එක් කළ නායක මහේන්ද්‍ර සිං දෝනි සහ සුරේස් රයිනා පන්දු ඕවර් 7.1 තුළ ලකුණු 78 ක් එකතු කළේ ඉන්දියාවට ලකුණු 300 සීමාවට පිවිසීමට මග සකසමින්.පන්දු යැවීමේ දී මහරූෆ් කඩුලු දෙකක් ලකුණු 57 ට දවා ගත් අතර සීකුගේ ප්‍රසන්න යම් කිසි පීඩනයක් එල්ල කරමින් පන්දු ඕවර් 9 ලකුණු 45 ට සීමා කරා.
පිළිතුරුඉණිමට පිවිසි ශ්‍රී ලංකාවේ ආරම්භය යහපත් නොවූ අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 7 ට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන විට ලකුණු පූවරුව 31 ක් පමණක් වුණා.නමුත් ඩිල්ෂාන් ගේ අඩුව දැනෙන්නට නොදුන් මහේල ජයවර්ධන ප්‍රවේගකාරී පිතිහරඹයක නියැලෙමින් ලකුණු වේගය සුරක්ෂිතව ඉදිරියට රැගෙන ගියා.සුපුරුදු රිද්මය සහ රටාව නොදුටුවද ඔහුට සහය වූ කුමාර සංගක්කාර මහේල සමග දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක් එක් කිරිමට සමත් වුණා.මහේල ගේ දැවී යැමෙන් පසුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් අනවශ්‍යය පීඩනයක් තමා තුළ ගොඩ නගා ගැනීම නිසා සීමාවෙන් පිටතට පැමිණ පන්දුවට පහර දීමට ගත් උත්සාහයේදී ඉලක්කය වැරදී පන්දුව කඩුල්ලේ දැවටුණා.
අනතුරුව යම් බලාපොරොත්තුවක් ඇති කරමින් සංගක්කාර සහ ලහිරු තිරිමාන්න ලකුණු රැස් කළ ද,දෙදෙනාම එකම පන්දු වාරයක දි ක්‍රීඩා පිටියෙන් ඉවත් කළ රවිචන්ද්‍රන් අශ්වින් තරගය ඉන්දියාව දෙසට හරවා දුන්නා.එහි අවසාන ප්‍රතිපලය ලෙස 46 වන පන්දු ඕවරයේ ප්‍රථම පන්දුවේදී ශ්‍රී ලංකාවේ සියළුම දෙනාට ලකුණු පූවරුව 254 ක් ව තිබිය දී ක්‍රීඩා ගාරයේ නැවත අසුන් ගැනීමට අවස්ථාව සකස් කළා.මේ තරගයේදී ත් මැත කාලයේදී සොයා ගන්නා ලද හොද තුන් ඉරියව් එක්දින ක්‍රීඩකයෙකු බවට සාධනීය ලක්ෂණ පහළ කළ සචිත්‍ර සේනානායක කණ්ඩායමේ නොසිටිය අතර ආබාධ සිට පැමිණ එක් වරම කණ්ඩායමට එක් වීමට සුරංග ලක්මාල් ට වාසනාව උදා වී තිබුණා.
තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකියි. http://www.espncricinfo.com/asia-cup-2012/engine/current/match/535795.html

No comments: