Mar 21, 2012

ලෝක සූරයන් සහ අනු සූරයන් පැරද වූ බංගලාදේශය අවසාන තරගයට


ලෝක කුසලාන අනු සූරයන් මෙන්ම කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අනු සූරතාවය ද දිනූ ශ්‍රී ලංකාව කඩුලු 5 කින් පරාජය කළ බංගලාදේශය හෙට පැවත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයේදී පකිස්තානයට එරෙහිව තරග වැදීමේ සුදුස්සන් වීමට සමත් විය.මීට ප්‍රථම තරගයේදී ලෝක ක්‍රිකට් සූරයන් වන ඉන්දියාව පරාජය කරමින් පෙරට පැමිණි බංගලාදේශය අවසාන තරගයට පිවිසීම සහතික කර ගනිමින් අනු සූරයන් වූ ශ්‍රී ලංකාව පරාජය කිරීම කැපී පෙණින.ආසියානු කුසලාන තරග ඉතිහාසයේ අවසාන තරගයකට සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව වෙනුවෙන් මග සකස් කළ හිටපු බංගලාදේශ නායකයා මෙන්ම මේ වන විට ජගත් එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින තුන් ඉරියව් ක්‍රීඩකයා ද වන සකීබ් අල් හසන් මෙම තරගාවලියේ දෙවන වරටත් තරගයේ වීරය සම්මානයට හිමිකම් කියමින් ශ්‍රී ලංකාවට එරෙහිව තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළේය.
කාසියේ වාසිය ලැබූ බංගලාදේශ නායක මුස්ෆිකර් රහීම් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර එහි ප්‍රතිපලයේ නිවැරදි බව සහතික කළ නස්මුල් හොසේන් ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීනතම පිතිකරුවන් තිදෙනා වන ටීඑම් ඩිල්ෂාන්,කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන යන තිදෙනාම ලකුණු පූවරුව 32 ක් වෙද්දී කඩුල්ලෙන් ඉවත් කිරීමට සමත් විය.නමුත් එතැන පටන් වාසනාවට මෙන් කණ්ඩායමට පැමිණි චාමර කපුගෙදර (62) සහ ලහිරු තිරිමාන්න (48) සිව්වන කඩුල්ලට ලකුණු 88 ක් එක් කළ අතර අනතුරුව කපුගෙදර උපුල් තරංග (48) සමග එක්ව ලකුණු 49 ක් පස්වන කඩුල්ලට එක් කළේය. තරගයේ අවසාන භාගයේ යළි කඩා වැටෙන්නට වූ ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් ලද අවස්ථාවෙන් ඉහළම දස්කම් දැක් වුව ද තවමත් කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් පිරි නොනමන සචිත්‍ර සේනානායක නොදැවී ලකුණු 19 ක් එක් කළේය.
ලකුණු 232 ට සීමා වූ ශ්‍රී ලංකා ඉණිම අවසානයේ වට වර්ෂාව හේතුවෙන් බංගලාදේශයට පන්දු ඕවර් 50 දී ලබා ගත යුතු ලකුණු 233 පන්දු ඕවර් 40 දී 212 ක් වන තරමට පහසු වූ අතර ආසියානු තණතිල්ලේ දග පන්දුවට ඇති වාසිය නොසළකා මෙම තරගයේදීත් වේග පන්දුව පිළිබදව වැඩි විශ්වාසය තබා කටයුතු කිරීමට යාමේ ප්‍රතිපලයක් ලෙස ලකුණු 212 ට එරෙහි ආක්‍රමණය පහසු එකක් නොවුණේය.යළිත් වරක් සාර්ථක වූ තවමත් ක්‍රිකට් තේරීමේ විශ්වාසයට නතු නොවූ සචිත්‍ර පන්දුවෙන්ද දස්කම් දක්වමින් සිය පන්දු ඕවර් 8 ලකුණු 38 ට නිමා කළේ බංගලාදේශ ඉණිමේ ශක්තිය බවට පත් වූ තමීම් ඉක්බාල් (59) සහ සකිබ්අල් හසන් (56) යන දෙදෙනාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට දායක වෙමින් ය.
තරගයේ ආරම්භය හොදින් පාලනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 40 ට කඩුලු 3 ක් ලෙස බංගලාදේශ ලකුණු පූවරුව ගෙන ආව ද සකීබ් අල් හසන් ගේ සහ තමීම් ඉක්බාල් ගේ ප්‍රහාරය නවතා දමන්නට තරම් හැකියාවක් ප්‍රදර්ශනය නොකළේය.විශේෂයෙන්ම සුරංග ලක්මාල් සහ ෆර්විස් මහරූෆ් ලකුණු 212 ක් රැක ගැනීමට සුදුසු අයුරෙන් පන්දු නොයවන තත්ත්වය තුළ වුව මහේල, කොමන්වෙල්ත් තරගාවලියේද අවසාන මොහොත තෙක්ම යොදා නොගෙන සිටි ටීඑම් ඩිල්ෂාන් අතට පන්දුව දීමට තරම් උනන්දුවක් නොදැක්වීම කැපී පෙණින.විටෙක තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ඩිල්ෂාන් ට ඇති ඉඩ හසර වසා දමමින් ඔහුට කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඇති ස්ථාවරය බිද දැමීමේ උවමනාවක් ක්‍රියාත්මක වන්නේ දැයි සැක සිතෙන තරමට ඩිල්ෂාන් ගේ පන්දු යැවීමේ හැකියාව සගවා තැබීමේ ප්‍රතිවිපාකය කණ්ඩායමට විදින්නට වීම කණගාටුදායක තත්ත්වයකි.
පහත දැක්වෙන්නේ තරගයෙ සමස්ථ ලකුණු සටහනට පිවිසීමට ඇති සබදතාවය ය. http://www.espncricinfo.com/asia-cup-2012/engine/current/match/535799.html

1 comment:

හෙලයෙක්ගෙන් ලොවට said...

අපිට ද්‍රෝහීවෙන ඉන්දියා‍‍වට අපි නැතුව මැච් එකක්වත් ගහගන්න බෑ.. මේක ඉන්දියාවට හොඳ දඬුවමක්.