Mar 20, 2012

බංගලාදේශය අවසාන තරගයට පිවීසීමටත් ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමටත් අද සටනට බසිති



සියානු කුසලාන තරගාවලියේ අවසාන තරගයේ දී පකිස්තානයට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබීමට නම් අද ශ්‍රී ලංකාවට එරෙහිව පැවත්වෙන තරගයේ දී ප්‍රසාද ලකුණක් සමග ජයග්‍රහණය කිරීමේ උවමනාව සහිතව පිටියට එන බංගලාදේශය සමග මෙම තරගාවලියේ මේ දක්වා කිසිදු ජයක් වාර්තා නොකළ ශ්‍රී ලංකාව සිය ආත්ම ගෞරවය රැක ගැනීමේ උවමනාවෙන් තරග පිටියට පිවිසෙති.ඉන්දියාවට එරෙහිව දැවැන්ත ලකුණු ඉලක්කයක් හඹා ගොස් ජය ගැනීම මෙන්ම පකිස්තානයට එරෙහිව තියුණු තරගයක් ලබා දීම යන කාරණා ගත් විට අද ශ්‍රී ලංකාවට හමුවන බංගලාදේශ කණ්ඩායම වෙනදා හමුවන අන්දමේ නොමේරු කණ්ඩායමක් නොවන බව පැහැදිළිය.
ශ්‍රී ලංකාව පකිස්තානය සමග පැවති තරගයේදී පිතිකරුවන් ලෙස  අසාර්ථක වන අයුරු දක්නට ලැබුණ ද පසුගිය කාල වකවානුව පුරාම අසාර්ථක වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ පන්දු යවන්නන් අසාර්ථක වීමය.විදේශ ජනමාධ්‍යවේදීන් සහ ක්‍රිකට් විචාරකයන්ගේ නොමද අවධානය සහ ආශිර්වාදය දිනූ ලසිත් මාලිංග සිය පන්දු යැවීමේ ඉරියව්ව සහ කායික ස්වරූපය මත ආකර්ශණීය චරිතයක් බවට පත් වුව ද මේ වන විට ඊට සාපේක්ෂව සිය දක්ෂතා නඩත්තු කිරීමේ අපහසුතාවයකින් සහ නව්‍යතාවයකින් කටයුතු කිරීමේ අපහසුතාවයකින් පෙළෙන බව පැහැදිළි කරමින් සිටීම ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් විට ප්‍රබල පසුබැස්මක් වී තිබෙන බව පැහැදිළිය.
එසේම වරින් වර හැකියාව තිබුණ ද අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයන් පිළිබද වන කතා ගොන්නට එකතුවන අලුත්ම චරිතය බවට සචිත්‍ර සේනානායක පත්ව ඇත.අවස්ථාව ලද හැම විටම එම තරගය වෙනුවෙන් යමක් කර තිබෙන සචිත්‍ර,තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට අවශ්‍යය ක්‍රීඩකයෙකු ලෙස පැහැදිළි කර ඇතත් තවමත් ඔහු පිළිබදව සිතා බලන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීත්වයෙ අවධානය යොමු වී නැත.
බංගලාදේශ 20/20 ක්‍රිකට් තරගාවලිය නිමා වූ සැනින් එම තණතීරු වලම ක්‍රියාත්මක වන ආසියානු කුසලාන තරගාවලියේදී 20/20 තරගවලදී පිතිකරුවක් ලෙස ප්‍රහාරාත්මකව කටයුතු කළ බංගලාදේශ පිතිකරුවන් මෙම තරගාවලිය තුළදී ද එම හැකියාව නඩත්තු කරමින් සිටීම දැක ගැනීමට හැකිය.වේගවත් පිතිකරණ රටාවට මෙන්ම උපක්‍රමශීලී පන්දු යැවීමේ ගුණාංගද එම තරගාවලිය තුළ දී වර්ධනය කරගෙන සිටින බංගලාදේශය සීඝ්‍ර වර්ධනයක් සහිතව මෙම තරගාවලියට මුහුණ දෙන අතර ඕස්ට්‍රේලියානු වේග තණතීරුවල ලොවේම අවධානය දිනා ගනිමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සිටින්නේ අනපේක්ෂිත කඩා වැටීමකට ලකුව යන කාරණා සැළකිල්ලට ගනිද්දී අද තරගය විවෘත තරගයක් වනු නිසැකය.පන්දුව සහ පිත්ත අතර දැඩි සටනක් අපේක්ෂා කළ හැකි තරගයක් බවට පත් විය හැකි මෙම තරගයේදී වැඩිම දෙපිළටම ජයග්‍රහණය යන්න අත්‍යවශ්‍යය කාරණයක් වී තිබීම එම තරගකාරීත්වය තව දුරටත් ඉහළ නංවන්නට හේතු වන බව සිතිය හැකිය.

No comments: