Feb 18, 2012

තරගාවලියේ විශිෂ්ඨම ජය ශ්‍රී ලංකාවෙන්

තිසර පෙරේරා

කොමන්වෙල්ත් බැංකු තුන් කොන් තරගාවලියේ මේ දක්වා පැවති තරග වලදී ලද විශිෂ්ඨම ජය ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.මේ දක්වා පැවති සියළු තරග තියුණු තරගයන් බවට පත් වුව ද ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට යටත් කළ වර්ෂාව විසින් ශ්‍රී ලංකාවට ඕවර් 41 දී පැවරූ ඉලක්කය ඕවර් 25 වන පන්දු ඕවරයේ ප්‍රථම පන්දුවේදීම පසුකර ගිය ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ජයග්‍රහණය සදහා වරප්‍රසාද ලකුණු ද දිනා ගනිමින්ය.ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ ලද පළමු ජයග්‍රහණයෙන්ම ලකුණු 5ක් ලබන්නට සමත් වූ අතර මේ වන විට තරගයක් ජයගෙන සහ සම වී ලකුණු 7 ක් ලබා ගන්නට සමත් වී සිටියි.
මයිකල් ක්ලාක් ගේ ආබාධය නිසා ඊයේ තරගයේ නායකත්වය පැවරුණු රිකී පොන්ටින්,කාසියේ වාසිය ලබා පන්දුවට පහර දීමට තීරණය කළ ද එම තීරණය නිවැරදි එකක් නොවන තත්ත්වයට පත් කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.විහේෂයෙන්ම ඊයේ කලෙකට පසුව කණ්ඩායමට එක් වූ ෆර්විස් මහරූෆ් ඕස්ට්‍රේලියානු පිත්කරුවන්ට ලකුණු ලබා ගැනීමට එරෙහි මහා ප්‍රාකාරයක් වෙමින් පන්දු යැවූ අතර ඔහු පන්දු ඕවර් 8 ක් තුළලකුණු 18 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් ලබා ගත්තේය.මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකාවේ පන්දු රැකීම කැපී පෙණුන අතර ඊයේ ඒ අතරින් තිසර පෙරේරා දැක් වූ ප්‍රදර්ශනාත්මක පන්දු රැකීම ඔහු තරගයේ වීරයා කිරීමට ඇවැසි ‍ප්‍රධාන හේතු පාඨයක් විය.දුවද්දී දැවී යාම් දෙකකට හවුල්වෙමින් සහ ලකුණු 29 ට කඩුලු 2 ක් දවා ගනිමින් ද ඔහු පෑ මෙම දක්ෂතාවය තුළ දී, මැතිව් වේඩ් දුවද්දි දවා ගැනීමට කළ පන්දු රැකීම අති විශිෂ්ඨ එකක් විය.
තරගාවලිය ඩක්වර්ත් ලුවිස් න්‍යයායට යටත් කළ වර්ෂාව පැමිණෙන විටත් ඕස්ට්‍රේලියාව අසරණව සිටි අතර ඒ වන විට ලකුණු පූවරුව දැක් වුණේ,කඩුලු 6 ට ලකුණු 88 ක් ලෙසය.අසරණ වූ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අතරින් හුදෙකලා සටනක නිරත වූ ඩේවිඩ් හසී,මිචෙල් ස්ට්‍රැක් ගේ ද සහය ඇතිව නව වන කඩුල්ල‍ට එක් කළ ලකුණු 49 ක සබදතාවය සමග එක් කළ ලකුණු 58 නොවන්නට ඕස්ට්‍රේලියාව ලකුණු 120 ට අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වන්නට තිබිණ.තව දුරටත් කණ්ඩායම ශක්තිමත් කර ගැනීමට ඊයේ කණ්ඩායමට සචිත්‍ර සේනානායක ද ඇතුළත් වන්නට තිබුණු අතර පසුගිය කාලය පුරාම එක්දින තරග වල පන්දු යවන්නෙකු ලෙස හ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නියැලි තිලකරත්න ඩිල්ෂාන් ගේ පන්දු යැවීමේ හැකියාව දෙස එතරම් උවමනාවකින් සැළකිල්ලක් දැක්වීමට මහේල ජයවර්ධන සූදානම් නැති බව පෙනීම මේ තරගාවලිය පුරාම දකින්නට ලැබිණ.රංගනට හේරත්ට වඩා සචිත්‍ර කණ්ඩායම තුළ රැදෙන්නේ නම් අංක 10 තෙක්ම වඩා විශ්වසනීය පිතිකරු නාමාවලියක පෙළ ගැස්ම සමග තරග කිරීමට හ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙන අතර ඒ තුළින් අනාගතයට වැදගත් කමක් ඇති ක්‍රීඩකයෙකුට අත්දැකීම් වලින් පරිණත වන්නටද අවස්ථාව සැළසෙනවා ඇත.
කෙසේ හෝ පන්දු ඕවර් 40.5 ක් තුළ ඕසට්‍රේලියාවේ සියල්ලම දැවී ගියේ ලකුණු පූවරුව ලකුණු 158 රදවමින්ය.පිලිතුරු ඉනිම සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් උපුල් තරංගට කණ්ඩායමේ දොර වැසී තිබුණු අතර ඒ අවස්ථාව ලබා ගෙන සිටි මහේල ජයවර්ධන එම තීරණයේ නිවැරදි බව පසක් කරමින් පළමු කඩුල්ලේ සබදතාවය ඕවර් 11.4 ක් තුළ ලකුණු 74 ක් තරම් වන දැවැන්ත ප්‍රහාරක වේගයක රදවන්නට සමත් විය.වේගවත් ලකුණු 45 ක් රැස් කළ තිලකරත්න ඩිල්ෂාන දැවී ගිය පසු පිටියට පිවිසි කුමාර් සංගක්කාර ද ප්‍රවේගකාරී ඉණිමක් ක්‍රීඩා කළ අතර ඔහු ලකුණු 11 ක් ලබා ගනිද්දී එක්දින තරග පිටියේ ලකුණු 10,000 ක් රැස් කළ තෙවන ලාංකික පිතිකරුවා බවට පත් වන්නට සංගක්කාරට හැකි විය.
සංගක්කාර ලකුණු 30 ට දැවී ගිය අතර ක්‍රියාත්මක වෙමින් තිබුණේ 22 වන පන්දු ඕවරය වූ අතර ලකුණු ප්‍රමාණය 133 ක් විය.එතැන් සිට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සදහා අවශ්‍ය වූ ලකුණු 19 සදහා පන්දු 18 ක් පමණක් වැය කළ මහේල සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ මේ දක්වා වාර්තා වූ ඉහළම ජයග්‍රහණය ලබා දුන්නේ තරගාවලියේ හොදම ලකුණු ලබා ගැනීමේ වේගයේ ගෞරවයද ශ්‍රී ලංකාව ට හිමි කර දෙමින්ය.
තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන සබදතාවය පහත දැක්වේ. http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518961.html

No comments: