Feb 18, 2012

ගිනස් වාර්තාවකට වෛද්‍ය පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි මහාචාර්ය අර්ජුන ද සිල්වා


ගිනස් වාර්තාවක් තැබීමට පෙර ඔහු හොද සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන්නේදැයි පරික්ෂා කිරීම ඉතාමත් වැදගත් බව මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසීය.ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා වන මහාචාර්යවරයා මේ බව පැවසුවේ සනත් බණ්ඩාර වැඩිම ටී ෂර්ට් ප්‍රමානයක් ඇද ගිනස් වාර්තාවක් පිහිටුවීම සම්බන්ධයෙන් පැවති මාධය සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.
ගිනස් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බවත් ඔවුන් බොහෝ දෙනෙකු දිනපතාම තමන් සොයා ක්‍රීඩා වෛද්‍ය ආයතනයට පැමිණෙන බවත් පැවසූ මහාචාර්යවරයා ක්‍රීඩා වෛද්‍ය ආයනය යනු ගිනස් වාර්තා සම්බන්ධයෙන් කටයුතු කළ හැකි ආයනයක් ලෙස යම් යම් හේතු නිසා ඇති වී තිබෙන ජනතා මතය වැරදි එකක් බව පැහැදිළි කළේය.ආසියාවේම එවැනි ගිනස් නියෝජිතයෙකු ඇත්තේ ජපානයේ පමණක් බව පැහැදිළි කළ මහාචාර්යවරයා ලංකාවේ ගිනස් වාර්තා තැබීම සම්බන්ධයෙන් විවිධ සහතික නිකුත් වී ඇති බව පැහැදිළි කළ අතර ඒ කිසිවක් නියම ඒවා නොවන බව කී මහාචාර්යවරයා එසේ වාර්තා තැබූ නිවැරදි පිරිස කවුරුන්ද යන්න ද හෙළිදරව් කරන අතරේම වාර්තාලාභී සනත් බණ්ඩාරගේ සහතිකය ජනමාධ්‍යයෙන් ප්‍රදර්ශනය කරන ලෙස විශේෂ ඉල්ලීමක් කළේය.
ක්‍රීඩා වෛද්‍ය ආයතනයට ගිනස් වාර්තා තැබීම සම්බන්ධයෙන් පැමිණෙන පිරිසට උපකාර කිරීමට එම ආයතනයේ වගකීමක් නැති බව යළිත් පෙන්වා දුන් මහාචාර්යවරයා ශරීර සෞඛ්‍යය යහපත්ද යන්න විමසා බැලීම එවැනි  කරුණක් සදහා වෙනත් ප්‍රදේශයක වාර්තාව තැබෙන්නේ නම් වෛද්‍ය පහසුකම් ලබා දීමට එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සේවය ලබා දීම වැනි කරුණු සම්බන්ධයෙන් මැදිහත්වීම වැනි කාරණා වලට පමණක් යම් සහය දීමක් දිය හැකි බව ප්‍රකාශ කළේය.දැනට පැමිණෙන පිරිස මේ සදහා උපදෙස් ලබා ගැනීමට වාර්තාව නිවැරදි ආකාරයෙන් ලියා පදංචි වෙමින් සහ අවශ්‍යය කාරණා පියවරෙන් පියවර නිවැරදි ආකාරයෙන් ඉටුකළ සනත් බන්ඩාරට සහ ඔහු සමග මේ වාර්තාව තැබීම පිටුපස සිටි සහ විනිශ්චයට සහභාගි වූ  නිශ්මං රණසිංහ වෙත යොමු කරන බවත් මහාචාර්යවරයා මෙහිදී අවධාරණය කළේය.
සනත් බණ්ඩාර ප්‍රකාශ කර සිටියේ ගිනස් වාර්තා සිහිනය තමා බොහෝ කලෙක සිට සැබෑ කරන්නට බලා සිටි එකක් බවය.පැය 24 ක් මාර්ගයේ ධාවනයේ යෙදෙමින් තමා පළමුවරට පිහිට වූ වාර්තාව ජාත්‍යන්තර ගිනස් ආයතනය විසින් නිවැරදි ආකාරයෙන් තබා නොමැති බව කියමින් ප්‍රතික්ෂේප කළ බවත් මෙහිද බණ්ඩාර විසින් පෙන්වා දුන්නේය.ඒ අවස්ථාවේදී ගිනස් වාර්තා තැබීම සම්බන්ධයෙන් ඒ වන විට ලංකාවේ ක්‍රියාත්මක ක්‍රියාවලිය මිත්‍යාවක් බව තමාට හැගුණු බවත් මේ මිත්‍යාව පරදා කෙසේ හෝ ලාංකිකයෙකු ලෙස ගිනස් වාර්තා පොතට සිය නම ඇතුළත් කර ගැනීමට උවමනාවක් පැමිණි බවත් අවස්ථ කිහිපයකදී ඒ සදහා ජාත්‍යන්තර ගිනස් ආයතනයේ ලියාපදිංචි වෙමින් ගත් උත්සාහයන් කිහිපයක්ම ව්‍යර්ථ වූ බවත් බණ්ඩාර පැහැදිළි කළේය.ඒ සෑම අවස්ථාවකදීම නාවික හමුදා සෙබළෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව තමන්ට ලබා දුන් සහය අති මහත් බව ප්‍රකාශ කළ සනත් බණ්ඩාර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් අනුග්‍රහය ලබාදුන් මෙම වාර්තාව පිහිටුවීම දක්වාම නාවික හමුදාව සිය අරමුණ ඉටු කර ගැනීම දක්වා සෙවනැල්ලක් මෙන් තමා පිටුපස සිටි බව ද අවධාරණය කළේය.
තමා ගේ මෙම සිහිනය සැබෑ කර ගැනීමට දැරූ ගමනේදී දිගින් දිගටම  නාවික හමුදාව,උතුරුමැද පළාත් සභාව,ඇතුළුව විශාල පිරිසක් සහය දුන් බව පෙන්වා දුන් සනත් බණ්ඩාර,ක්‍රීඩා වෛද්‍ය ආයනයේ වෛද්‍ය ලාල් ඒකනායක සහ මාධ්‍යවේදී නිශ්මං රණසිංහ දැක් වූ සහයත් මෙම වාර්තාව විනිශ්චයට සහය වෙමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ කාලඝණක නිලධාරීන් වන සේන සිරිමාන්න සහ උපාලි පෙරේරා ද මහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන බන පැවසීය.

No comments: