Mar 1, 2012

වෙන්නප්පුවෙන් මලල ක්‍රීඩාවට අරුණැල්ලක්


වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා වෙන්නප්පුව ප්‍රදේශයේ ජනතාවගේ ආධාර සහ උපකාර ලබා ගනිමින් වෙන්පුර අරුණළු නමින්  ජාතික මට්ටමේ මලල ක්‍රීඩා උළෙලක් පැවත්වීමට තීරණය කර ඇත.ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරු සේපාල  කුමාරදාසගේ මග පෙන්වීම මත ක්‍රියාත්මක මෙම ක්‍රීඩා උළෙල මාර්තු 10,11,සහ 12 යන තෙදින තුළ වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.දිවයිනේ සිටින පිළිගත් මලල ක්‍රීඩා විනිසුරුවන් ගේ නිරීක්ෂණය සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ක්‍රීඩා උළෙල විවෘත,ආධුනික සහ වෙන්නප්පුව ප්‍රදේශයේ පාසල් වලට විවෘත වූ බාලක බාලිකා සහය දිවීමේ සැණකෙළියකින් ද යුතු වේ.
මෙම තරගාවලිය ආශ්‍රිතව ළමා මලල ක්‍රීඩා පුහුණු සහ තරග වැඩ සටහනක් ද ක්‍රියාත්මක වන අතර වෙන්නප්පුව ප්‍රදේශයට ආගන්තුක මිටිය වීසි කිරීමේ ඉසව්ව ප්‍රදරශන තරගයක් ලෙස පැවත්වීමට ද අපේක්ෂා කරයි.එසේම දිවයිනේ ප්‍රධාන පෙළේ වෛද්‍යවරයෙකුගේ සහභාගීත්වයෙන් පෝෂණය පිළිබද වැඩමුළුවක්ද ක්‍රියාත්මක වීමට නියමිත අතර එහි දී ජාතික මට්ටමේ සිටින පෝෂණ ගැටළු හදුනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබා දීමටද වෙන්නප්පුව ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ මැදිහත් වීම ලැබීමට නියමිතය.
මාර්තු 10 දා පස්වරු 4.00 ට වෙන්නප්පුව ප්‍රදේශය පුරා රැගෙන යන ඔලිම්පික් ගිණි සිළුව එම ප්‍රදේශයෙන් ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩිකාවකගේ සහ  ක්‍රීඩකයෙකුගේ අතින් ක්‍රීඩාංගණයේ පිහිටි ඔලිම්පික් පහණට ආගෝකය මුසු කරන්නට නියමිත අතර දිනපතා පෙරවරු 7.30 ට ආරම්භ වී 10.30 දක්වා දිවෙන පෙරවරු තරග කාල සටහන පස්වරුවේ දී පස්වරු 2.30 ට ඇරඹී 6.30 ට නිමා වීමට නියමිතය.එහි සංවිධායකයෙකු කියා සිටියේ පස්වරු තරග තව දුරටත් පමා කර විදුලි ආලෝකය මැද්දේ පැවත්වීමෙන් මෙම ක්‍රීඩා උළෙල තවත් විචිත්‍රවත් කිරීමේ අදහසක්ද පවතින බවය.
සෑම ජයග්‍රාහකයෙකුටම වටිනා ත්‍යාග සහ සහතික පත් හිමිවන අතර ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කිරීමක දී වටිනා මුදල් ත්‍යාගයක් ලබා දීමට ද අපේක්ෂා කරන්නේය.එසේම ජයග්‍රාහී සෑම ක්‍රීඩකයෙකුටම අදාළව විශේෂ පීඨීකාවක් මත ඇයගේ හෝ ඔහු ගේ පුහුණුකරු ඇගයීමක් ද සිදුවන අතර මෙවැනි සාධනීය අංගෝපාංග රැසකින් යුත් ක්‍රීඩා උළෙලේ අවසානය සනිටුහන් කරන්නට යොදා ගෙන ඇති චාම් වූත් විචිත්‍රවත් වූත් සමාප්තිය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු වීමට නියමිත අතර ඒ සදහා ප්‍රදේශයේ ප්‍රභූ අමාත්‍යවරු සහ වෙනත් දේශපාලන සහ විවිධ වූ ආගමික නායකයන්ගේ ආශිර්වාදයද එක් වීමට නියමිතය.  
පාදේශයේ පාසල් වලින් හැරෙන්නට විවෘත සහ ආධුනික තරගවලදී එක් ඉසව්වක් සදහා රුපියල් 100 ක මුදලක් අය කරන අතර එම මුදල් මුදල් ඇණවුමකින් හෝ චෙක්පතකින් හෝ කෙළින්ම බැංකුවට යොමු කිරීම තුළින්ද ගෙවිය හැකි වන අතර ගිණුම් අංකය වන්නේ වෙන්නප්පුව හැටන් නැෂනල් බැංකුවේ 110010165160 අංක දරණ බැංකු ගිණුමය.ඉල්ලුම් පත් ක්‍රීඩාංගණභාර නිලධාරී,ශ්‍රිමත් ඇලබට් පීරිස් ක්‍රීඩාංගණ සංකීරණය,වෙන්නප්පුව නමට හෝ එම ලිපිනය යොදා 031 2253249 ‍ෆැක්ස් අංකයට හෝ wempuraarunalu@yahoo.com යන විද්‍යුත් ලිපිනයට ද යොමු කළ හැකිය.
තොරතුරු දැන ගැනීමේ ක්ෂණික දුරකථන අංකය ලෙස 0757318561 භාවිතා වන අතර එයට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමේ හැකයාව ඇත.  

No comments: