Mar 1, 2012

මම තවමත් වරායට යන්න තීරණය කරල නැහැ - සුමිත් ජයලාල්


‘තරුණ පුහුණුකරු’ වරායට වැටෙයි, යනුවෙන් අප වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික තරුණ සේවා සභාවේ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු සුමිත් ජයලාල් තමන් තවමත් එවැනි තීරණයකට එළැඹ නැති බව ප්‍රකාශ කරයි.එක් දිනක් තමා වරාය කණ්ඩායමේ පුහුණුව සදහා සහභාගි වූ බව ප්‍රකාශ කරන ජයලාල්,එහෙත් තමා එහි පුහුණුකාර ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් තීරණයකට එළැඹ නැති බවත් එසේ පුහුණුව සදහා සහභාගි වන්නේ නම් තරුණ සේවා සභාවෙන් නිසි අවසරය ලබා ගන්නා බවත් ප්‍රකාශ කරයි.
ඒ හේතුව නිසා මෙම ප්‍රවෘත්තිය පළවීම පිළිබදව තමාගේ විරෝධයක් නැති බව අවධාරණය කරන ජයලාල්,තමා මීට පෙර ද තරුණ සේවා සභාවේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ද පුහුණුව ලබා දී ඇති බවත් තමා ලංකාවේ සිටින අත්දැකීම් බහුලම පුහුණුකරුවෙකු බවත් ප්‍රකාශ කරයි.එසේම අදාළ ප්‍රවෘත්තිය පළවීම නිසා තරුණසේවා සභාවේ සේවය කරන දැනට වෙනත් ආයතනවලට සම්බන්ධව පුහුණුකරු ධුරයන් හී නියැලෙන පිරිසටද ගැටළුවක් ඇති විය හැකි බවත් පැහැදිළි කළ ජයලාල් ඒ පිළිබදව කම්පාවෙන් යුතුව අදහස් දැක්වීය.
මෙම කරුණු සම්බන්ධයෙන් වරායේ ක්‍රීඩා අංශයේ නියෝජිතයෙකුගෙන් කරන ලද අදහස් විමසීමක දී පැවසුවේ සුමිත් ජයලාල් වරායේ කාන්තා කණ්ඩායමේ පුහුණුව සදහා පැමිණී බවත් එය කාන්තා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීම අනුව සිදු වූ බවත් ය.තිබෙන තත්ත්වය අනුව තවත් පුහුණුකරුවෙකුට ගෙවීමක් කළ නොහැකි තත්ත්වයක් තුළ එම ගෙවීමේ වගකීම ද එම ක්‍රීඩිකාවන් විසින්ම පවරාගෙන ඇති බවය.
එසේම සුමිත් ජයලාල් ප්‍රකාශ කළ පරිදි තරුණ සේවා සභාවේ සේවය කරන අය ‍එහි අවසරයකින් තොරව වෙනත් කණ්ඩායම් පුහුණු කරන්නේ නම් ඒ ගැන සොයා බැලිය යුතු බව තරුණ සේවා සභාවේ නියෝජිතයෙකු සුපිරික්‍රීඩා වෙත පැවසීය.දැනට එවැනි චෝදනා වොලිබෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් පමණක්  නොව වෙනත් ක්‍රීඩා සම්බන්ධයෙන් ද එල්ල වී ඇති බව පැහැදිළි කළ එම නියෝජිතයා වොලිබෝල් නොවන ක්‍රීඩාවක පුහුණුකාරියක විසින් එහි සම්පත් යොදාගෙන ඇය පුහුණු කරන ආරක්ෂක හමුදාවකට අයත් ක්‍රීඩා කණ්ඩායමක් පුහුණුකරන බවට විශාල චෝදනාවක් ඇති බව ද ප්‍රකාශ කළේය.ඒ ක්‍රීඩාව කවරේද යන්න ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ එම නියෝජිතයා මෙම කරුණ ඉදිරියේදී සභාපතිවරයාට ඉදිරිපත් කර පරීක්ෂනයක් පැවත්විය යුතු තත්ත්වයේ පවතින බැවින් ද,එය චෝදනාවක් පමණක් වන බැවින් ද නම්-ගම්, ක්‍රීඩාව හෙළිකිරීම සදාචාරාත්මක නැතැයි ද ප්‍රකාශ කළේය.   
මේ සම්බන්ධයෙන් තරුණසේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා ප්‍රකාශ කර සිටියේ අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවය
www.supirikrida.com

No comments: