Feb 27, 2012

යුවරාජ්,සිහින දකින්නට එන්න


විවාදිතය.
වත්මන් ක්‍රිකට් පිටියේ සිටින සුවිශේෂීම සටන්කාමී ක්‍රීඩක ගොන්නේ ඔහු සිටින්නේ මුල් පෙළේය.වරෙක පන්දුවෙන් ද තවත් වරෙක පිත්තෙන් ද නැතිනම් විශ්මය දනවන පන්දු රැකීමකින් ද ඔහු ඉන්දියාව වෙතින් ඉවතට ඇදෙන තරගය යළි ඉන්දියාව දෙසට හරවා දුන් අවස්ථා එමටය.ඔහු පරාජය කිරීම ඉන්දියාව පරාජය කරනවාටත් වඩා අපහසු බව සිතෙන්නට තරම් නොසිතූ විරූ දේ කරන මේ අපූර්ව ක්‍රීඩකයා ගෙවුණු ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවට දිනා දීමට පෙරමුණ ගත්තේ තරගාවලියේ වීරයා වෙමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙමින්ය.
එහෙත් ඔහු පරාජය කළ හැකි අයෙක් එක් වරම මතුවිය.ක්‍රිකට් ලෝකයම විශ්මයාර්ථය දනවමින් ඒ දෙස බලා උන්නේය.ප්‍රතිවාදියා නමින් පිළිකාව විය.නමුත් යුවරාජ් සිං නම් මේ සටන්කාමියා ක්‍රිකට් පිටියට ගෙනවිත් තිබුණේ ඔහුගේ ලේ බිදුවල පැටලුණු නිර්භීත සටන්කාමීත්වයක් බව පැහැදිළි කරමින් නවීන වෛද්‍ය විද්‍යාවේ උපකාරයෙන් අති සාර්ථකව එම සතුරා මඩිමින් සිටින්නේය.රසායනික සහ විද්‍යුත් ප්‍රතිකාර කුම මගින් කෙරෙන ප්‍රතිකර්ම හරහා සුවය ලබමින් සිටින යුවරාජ් ට යළිත සිහින දකින්නට හැකිවී ඇත.
ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට බිද වැටෙමින් සිටින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ හැකියාවන් සුරක්ෂිත කිරිමට යළිත් යුවරාජ් වැනි සටන්කාමින් පැමිණිම ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේද සිහිනය වී ඇත.ලොව වැඩිම දෙවන ජනගහනය සිටින රට මෙන්ම ලොව ක්‍රිකට් ක්‍රීඩාවට වශි වූ කෝටි සංඛයාත ජන ගංගාවක ආශිර්වාදයද සහිත යුවරාජ් ට දැන් යළිත් සිහින දකින්නට හැකිය.ලොව අති ප්‍රබල පන්දු යවන්නන් අන්දමන්ද කරමින් ක්‍රීඩා පිටියෙන් ඉවත පතිත වන අති දැවැන්ත හයේ පහරවල් මෙන්ම,අති විශිෂ්ඨ පිතිකරුවන් දවාලිය හැකි යුවරාජ් ගේ වමත් දග පන්දුවද විශ්මය දනවන පන්දු රැකීම් ද ක්‍රිකට් පිටියේ චමත්කාරය ප්‍රාර්ථනා කරන්නවුන් ගේ සිහිනයන් අතර ප්‍රබලය.ඉතිං ඒ සිහින සැභෑ කරන්නට යුවරාජ් ඔබට හැකියාව ලැබීම ක්‍රිකට් ආනන්දයේ වාසනාවමය.  

No comments: