Nov 8, 2012

ලෝක සූරතාවයක් දිනා ගැනීමටත් වඩා අපහසු රස්සාවක් සොයා ගැනීම

පාලුව කපන්නට මල ගෙදර දිග ඇරෙන කැරම් ලෑල්ලට ඊට වඩා වටිනාකමක් තියෙනවා කියන එක පසුගිය අවුරුදු කිහිපය තුළ ලංකාවේ කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔප්පු කරල තියෙනවා.පොඩියට හරි පාසල් කිහිපයක්ම කැරම් ක්‍රීඩාවක් හැටියට පවත්ගෙන යන්න පටන් අරගෙන තියෙනවා.නිශාන්ත ප්‍රනාන්දු සහ චමිල් කුරේ ප්‍රංශයේ පැවති ලෝක සූරතාවය දිනා ගෙන ආවම ඇති වූ මේ පිබිදීමට එවකට හිටිය කැරම් පරිපාලනය ඒ දෙදෙනා තෘප්තිමත් කිරීම වෙනුවෙන් කළ දහසින් බැදි පියලි ප්‍රදානයන්ද ඊට බලපැවා.
මේ අතරින් නිශාන්ත යළිත් ලෝක සූරයා වුණා.ඒ තනිවම.වරක් යුගල ලෝක සූරතාවයේ සහකරු වෙමින්ද,දැන් කේවල සූරයා වෙමින්ද ශ්‍රී ලංකාවට දෙවරක් ලෝක සූරතා ගෙනෙන්නට දායක වී සිටින්නේ නිශාන්ත පමණයි.ලාෆීර් 70 දශකයේ ගෙනා බිලියඩ් ලෝක සූරතාවයෙන් පසු 96' අර්ජුන ඇතුළු පිරිවර ක්‍රිකට් ලෝක සූරතාවය ගෙන එන තෙක්ම ලංකාවට ලෝක සූරතාවයක් ලැබිල තිබුණේ නෑ.මේ දෙක හැරුණ විට ලංකාවට තියෙන්නෙ ලෝක සූරතාවයන් දෙකයි.ඒ නිශාන්ත,චමිල් සමග එක්ව දිනා දුන් ලෝක සූරතාවය සහ නිශාන්ත මෙවර දිනා ගත් ලෝක සූරතාවයයි.
නමුත් ලෝක සූරතාවයක් දිනා ගන්නට කෙතරම් කැපවීමක් කළ යුතුද යන්න කාටවත් වැටහිලා නැති ගාණට දවස ගෙවෙනවා.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ට හිතෙනවා ඇති මේක නම් මොකද්ද වගේ හැගීමක්.ඒක එහෙම වෙනවා ප්‍රායෝගික නැති මිනිස්සු තීන්දු තීරණ ගන්න කොට.සමහර වෙලාවට දැලට බෝලයක් දා ගන්න බැරි මිනිස්සු,ගෝල කණු දෙකට පාපන්දුව තල්ලු කර ගන්නට බැරි මිනිස්සු ඒක බැරි වුණාට කැරම් බෝඩ් එකේ ප්‍රමාණය බලලා මේකනම් මොකද්ද කියල හිතල ඒ ගැන නොකතා ඉන්න පුළුවන්.ඒත් කැරම් ලෑල්ලෙ තියෙන  හිල ඒ දෙකටම වඩා ගොඩක් කුඩා සිය ඇගිලිවල ඉලක්කය පමණක් යොදා ගෙන ක්‍රියාකළ යුතු දෙයක් බව හිතන්න ඒ අයට බැහැ.
හැබැයි රට රටවල් මේ ලෝක සූරතා තරගයට එන්නෙ එකක් ඒකෙ ලෝක පිළිගැනිමක් තියෙන නිසා කියන කාරණය තේරුම් ගන්න ඕනි.දෙක ලෝක සූරතාවයක් ඇතුළත රට රටවලින් පැමිණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වදින්නෙ මේක ජය ගැනීම පහසු වැඩක් නොවන නිසයි.ඒ නිසා මේ ලෝක සූරතාවයත් ලෝකයට අපේ රටේ නම රැගෙන ගිය,ලෝකය ඉදිරියේ රටේ නම ආඩම්බරයෙන් සටහන් කර තැබීමක් බව අප පිළිගත යුතුයි.
ඉතිං එවැනි ජාතික වීරයෙක් රැක ගැනීම ඔහුට ගෞරව දැක්වීම රටේ ක්‍රීඩා බලධාරීන්ගේ යුතුකමක් නෙමෙයිද?ඔහු පළමුව සේවය කළ ආයතනික ව්‍යහුය ඇතුළතින් ලෝක සූරතාවයට ලැබුණු පිළිගැනීම ගැන අප දැන සිටියා.නමුත් එය ආර්ථික කළබැගෑනියකින් වැසී ගිය පසු ඇති වූ රාජ්‍යමය වශයෙන් සම්බන්ධ පරිපාලනයට ලෝක සූරයෙක් සිය ආයතනික ව්‍යහුය ඇතුළත තබා ගැනීමේ වගකීම හෝ එයින් කීර්තියක් ලබා ගැනීම කියන කාරණය වැදගත් වුණේ නැහැ.ඒ නිසා ඔහුට සිද්ධ වෙන්නෙ ගෙදර යන්න.
පසෙකින් ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරිම ගැන,ක්‍රීඩා ආර්ථිකයක් ගැන කතා කරද්දි ඒ කතා කරන රාජ්‍යමය ව්‍යහුය ඇතුළතින්ම ලෝක සූරයෙක්ට ගෙර යන්න පාර කපනවා.ලෝක සූරයෙක් රස්සාවක් නැතිව රස්සාවක් හොයා ගෙන පාරෙ අවිදිනව නම්,ඒ රටේ ඇති ක්‍රීඩා සංස්කෘතිය කුමක්ද?ලෝක සූරයෙක් කඩත්තු කරන්න ක්‍රමයක් නැති රටක කුමන ක්‍රීඩා ආර්ථිකයක්ද?
අමාත්‍යවරයාගේ දොර විවර කර ඇතුළුවන බොහෝ දෙනෙකුට ඇති ගැටළු පෞද්ගලික වීම සාමාන්‍ය දෙයක්.රාජකාරි ලිපි ගොනුවක් රැගෙන එන නිලධාරියාත් ආපසු හැරී යන විට ස්ර් අර මගේ වැඩේ කියා කුමක් හෝ සිහිපත් කර යන එකත් අලුත් අත්දැකීමක් නෙමෙයි.ඒත් ලෝක සූරයෙක් රස්සාවල් හොය හොයා පාරේ රස්තියාදු වෙනව,ඒක ක්‍රීඩාවට එච්චර හොද දෙයක් නෙමෙයි කියල සිහිපත් කරන්න කෙනෙක් නැති බව අපි දන්නව.ඒ නිසාම මේ වගෙ සටහනක් ඇස නොගැටෙන්නත් ඉඩ තියෙනවා.මේ ගැන යමක් කළ යුතුයි කියල කියන්න කෙනෙක් නැති වෙන්න තියෙන ප්‍රතිශතයත් අඩුයි.ඒක අපි අත්දැකීමෙන් දන්නවා.නමුත් මේක රටේ ක්‍රීඩාවේ ඛේදවාචකයක්.ඒක ක්‍රීඩා ඇමතිවරයාගේ සිට ක්‍රීඩා ඇමතිවරයාගේ දැක්මේ- ක්‍රියාවේ  සීමාවන් හී පරාසය පුළුල් වීම වළක්වා සිය පැවත්ම වෙනුවෙන් එය පටු කාරණා මතට ලඝු කරගෙන සිටින අයටත් අදාළයි.
එසේම ලංකාවේ කැරම් ගැන කතා කරද්දී අමතක නොකළ යුතු පරම්පරා දෙකක් ගැනත් කියවෙනවා.එකක් වික්‍රමසිංහ පරපුර.අනෙක මතායෙස් පරපුර.මේ දෙපිරිස කිසිවෙකුට එකම මේසයකට අරගෙන ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් මෙහෙයවන්නටත් බැරි වෙලා තියෙනවා.ක්‍රීඩා අමාත්‍යවරයාට ඒ කාරණය පිළිබදවත් අවධානය යොමු කරන්න පුළුවන් නම් කැරම් ක්‍රීඩාව තව දුරටත් ලෝකයට අභියෝග කරන ලාංකේය සළකුණක් බවට පත් කළ හැකි බවත් අවධාරණය කරනු කැමැතියි.
www.supirikrida.com

4 comments:

Unknown said...

Body builder Prasanna Peiris ge saha Boxing kridika Nilmini Jayasinghe ge World Championship Gold Medal 2,
Lankawata labu loka shuratha neweida?

nisman ranasinghe said...

මෙවැනි ප්‍රතිචාර ඉතා වැදගත්.ප්‍රසන්න ගේ සහ නිල්මිණි ගේ ජයග්‍රහණ පිළිබදව සටහන් කළ අයෙක් ලෙස එය අමතක වූයේ නැහැ.නමුත් මෙහි සදහන් ලාෆීර් ගේ සහ නිශාන්ත ගේ ලෝක සූරතා දෙක එම ක්‍රීඩාවේ ඉහළම තරගාවලියන් හී ලබා ගත් ඒවා.
කායවර්ධන සහ බොක්සිං ක්‍රීඩා වලදී මෙම තත්ත්වය වෙනස්.ආධුනික සහ වෘත්තීයමය වශයෙන් කොටස් දෙකක් තිබෙනවා.උදාහරණයකට වර්ථමානයේ ලයිලා අලි ගන්න.ඇය එම ඉසව්වෙන් නිල්මිනිලා මුහුණ දෙන ලෝක සූරතාවිය නියෝජනය කරන්නෙ නැහැ.ඒත් භාහිර ලෝකය සළකන්නෙ ඇය ලෝක සූරිය ලෙස නේද?
මේ අදහස් පළ කිරීමෙන් නිල්මිණි ගේ සහ ප්‍රසනන්ගේ ජයග්‍රහණ හෑල්ලු කරන්නේ නැහැ.ඒවා අගවමින් සහ එයට වරප්‍රසාද හිමි විය යුතු බවත් සිතන සහ ඒ වෙනුවෙන් මාධය මැදිහත්වමක් කළ අයෙක් හැටියටත් මම ඒ සදහා දායක වෙලා තියෙනවා.
නමුත් යථාර්ථය සදහන් කළ යුතු නිසා මෙය පැහැදිළි කළා

Unknown said...

වෘත්තීයමය බොක්සිං වලදි පැහැදිළි ලෝක ශුරයෙක් නම් කරන්න අපහසුඉ නේද?
වෘත්තීයමය බොක්සිං සංගමි 5ක් ප්‍රධාන වශයෙන් තියනව. WBC WBA WBO IBF TBRB
සත්‍යය ශුරය බිහි කරන්නෙ කවුද?
වර්තමාන ලෝක හෙවිවෙයිට් ශුරය වෙන්නෙ
WBC Heavyweight Champ Vitali Klitschko ද?
නැත්නමි ඔහුගේ සොයුරා වන
WBA Heavyweight Champ Wladimir Klitschko ද?
නමුත් ආධුනික බොක්සිං වලදි ලෝක ශුරයන් 1ය්

අනෙක් අතට වෘත්තීයමය බොක්සිං වලදි ක්‍රිඩකයා නියෝජනය කරන්නේ තමා මිසෙක රට නොවේ. බොක්සිං වලදි රටක් නියොජනය කරන්නෙ ආධුනික බොක්සිං පමනයි


nisman ranasinghe said...

ක්‍රීඩාවේදි ලෝකයවිශ්වගම්මානයක් වුණේ ඒ සංකල්පය එන්න බොහොම ඉස්සර කියල හිතෙන්නෙ නැද්ද?අපිට පෙලේල වීරයො වෙන්නෙ ෆුට්බෝල් වර්ල්ඩ්කප් ටීවී එකේ පෙන්නන්න තියා ටීවී එක ලංකාවටත් එන්න කළිං.මොහාමඩ් අලි සදතනික තවත් වීරයෙක්.ඔහු ඔලිම්පික් පදක්කම ගගට වීසි කරපු එක,වියට්නාමයේ යුද්ධයට විරුද්ධ වීම වගේ බොහෝ දේ බොක්සිං වලට අමතරව ඒ සදහා බලපෑවා කියලා කියන්න ප්‍රළුවන්.ඒත් ඔබ උදාහරණයට ගන්න නම් දෙකම බලන්න. WBC Heavyweight Champ Vitali Klitschko සහ WBA Heavyweight Champ Wladimir Klitschko එහෙත් ඔබටත් මටත් මේ දෙදෙනාට වඩා කෙතරම් ආගන්තුකද අසර්බයිජානයේ Teymur Mammadov මේකයි ඇත්ත.ක්‍රීඩකයා නිසා තමයි රට දැන ගන්නෙ බොහෝ වෙලාවට.සුසන්තිකා ජයසිංහ නිසා ලංකාව කියල රටක් තියෙන බව දැන ගත්ත අය කොජ්ජර ඉන්නවද?වෘත්තීය ක්‍රීඩාව තුළ තමයි ක්‍රීඩාවෙ ආකර්ශනය තියෙන්නෙ.ලංකාවට ඔමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායම මෑතකදී ආව.සෙල්ලම් කළේ ක්‍රීඩා සමාජ එක්ක.වෘත්තීමය තත්ත්වයට පිවිසෙන්න ආධුනික මට්ටම පහුකරල එන්න ඕනි කියන කතාවත් තියෙනවා.බොක්සිං ගත්තත් එහෙම නේද?ආධුනික සහ වෘත්තීය තරගයක වට ගණන වෙන වෙනම හිතන්න
මට ඔබට ක්‍රීඩාව හෝ බොක්සිං ඉගැන්වීම අවශ්‍යය නෑ.මම හිතනවා ඔබ ප්‍රසන්න පීරිස්ට සහ නිල්මිණි ජයසිංහට යම් අඩු-පාඩුවක් වුනා කියලා හිතගෙන නිශාන්ත ප්‍රනාන්දුට යමක් සිදු නොවිය යුතු බවට හිතන්න තරම් කෙනෙක් නෙමෙයි කියලා.හැබැයි ලෝකයේ වැඩිම ජනප්‍රියත්වයක තියෙන්නෙ ආධුනික ක්‍රීඩා නෙමෙයි.වෘත්තීය ක්‍රීඩා ආධුනික තරග වල ජයග්‍රාහකයන් රට නියෝජනය කරන බව සහ වෘත්තීය ක්‍රීඩකයා තමන් නියෝජනය කරන බව කිව්වත් ලෝකයේ වැඩි දෙනෙක් දන්නෙ වාත්තීය ක්‍රීඩකයා මොන රටේද කියලයි