Nov 7, 2012

කෙලින් හිටිය තේරීම් කමිටුවත් පෙරළයි

ක්‍රීඩා සංවර්ධන දෙප‍ාර්තමේන්තුව වගකීම් පැවරීමේදී ඒ හා බැදුණු පුද්ගලයන්ට ප්‍රමුඛතාවය දීමට වැඩි ඉඩ කඩක් සළසන බව පෙන්වමින් දැල් පන්දු තේරීම් කමිටුව ද ඉවත් කර සංවර්දන දෙපාර්තමේන්තුව හා බැදුණු වැඩි පිරිසකට එහි ද ඉඩකඩ සැළසීමට පියවර ගෙන ඇත.ගෙවුණු ආසියානු දැල් පන්දු තරගාවලියේදී විවිධ බලපෑම් මත ඉතාමත් හොද කණ්ඩායමක් තෝරා දිමට කටයුතු කළ තේරීම් කමිටුවේ තේරීම් අවසාන තරගයේදී නොසළකා හැරිම පිළිබදව අමාත්‍යවරයාගේ සිට වගකිව යුතු සියල්ලම පාහේ කණස්සල්ල ප්‍රකාශ කළ ද,එම තේරීම් කමිටුවේ බොහෝ දෙනෙකු නව තේරිම් කමිටුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව පත් කර තිබෙන තේරීම් කමිටුව විමසීමේදී පැහැදිළි වේ.
අමාත්‍යවරයාම දැල් පන්දු පරිපාලනය සහ ආසියානු තරගාවලියේ සංවිධානය වගකීම් පැහැර හැර ඇති බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කරන තත්ත්වයක් තුළ එහි විශාල වගකීමක් දැරූ නිලධාරිනියක වන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු දැල් පන්දු ව්‍යාපෘති නිලධාරිණියක වන චන්ද්‍රානි පතිරාජ නව තේරීම් කමිටුවේ සභාපතිණිය ලෙස පත් කර එයට අනුමැතිය ගැනීමට අමාත්‍යවරයා පොළඹවා ගැනීමටද සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත්ව ඇත.ඊට අමතරව එම සංචිතය සදහා චන්ද්‍රානි පතිරාජ ගෙන එන අතරේම ඇය ද සම්බන්ධ ඉකුත් තරගාවලිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කමිටුවේ සාමාජිකාවක වන ලක්මිණි සමරසිංහ ද තේරීම් කමිටුවට ඇතුළත් කිරීම කෙතරමි සදාචාරසම්පන්න ද යන්නත් ඇය ජාත්‍යන්තර විනිසුරුවරියක ලෙස කටයුතු කරන තත්ත්වයක් තුළ තේරිම් කමිටු සාමාජිකාවක ලෙස කටයුතු කිරීම සාධාරණද යන්නත් පිළිබදව පත් කළ බලධාරින්ට දෙවරක් සිතීමට තරම් කල්පනාවක් නොමැති වීම දැල් පන්දුවේ සහ ක්‍රීඩාවේ අභාග්‍යයකි.සෙසු සාමාජිකයන් ලෙස පත්කර ඇත්තේ සුනිමල් කුරුබලාපිටිය,සන්ධ්‍යා ජයසූරිය,ප්‍රියන්තා වර්ජිනී පීරිස් ය.
එසේම අප විසින් සදාචාරසම්පන්න බව පිළිබදව තර්කානුකූලව කරුණු අවධාරණය කිරීමේදී ත් මේ මොහොතේ ලාංකේය දැල්පන්දු පිටියේ සිටින දක්ෂතා අතර සිටින පුහුණුකාරිනියන් නොසළකා හරිමින්,යසා රාමචන්ද්‍ර පුහුණුකරු ධූරයටත්,තමාරා පරගොඩ ලියනගේ සහය පුහුණුකාරියටත් පත් කිරිමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය දිනා ගැනීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී සිටියි.එසේම වෛද්‍ය ශිරෝමි පිලපිටිය ශ්‍රී ලංකාවේ තහනම් උත්තේජන සම්බන්ධයෙන් පරික්ෂණ කිරිමේදී ප්‍රධානතම භූමිකාවක් කරන අයෙකු බව නිල දැන දැනම ඇය කණ්ඩායමක් සමග කටයුතු කරන නිලධාරිණියක කරමින් සිංගප්පූරු සංචාරයේ කළමණාකාර ධූරයට පත් කිරීමට අමාත්‍යවරයාගේ අනුමැතිය දිනා ගැනීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
අදාළ නිලධාරීන් පත් කිරීම එක් තරග සංචාරයක් සදහා සිදු කරන තාවකාලික පත් කිරීමක් බව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරියා මාධ්‍ය හා සෙසු ක්‍රීඩා ප්‍රේමීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබදව මාධ්‍ය අංශය කරන ලද විමසිමකට පිළිතුරු ලෙස පවසා ඇතත් මෙයින් සිදුවිය හැකි දීර්ඝකාලීන හානිය විශාල විය හැකි බව අප අමාත්‍යවරයා වෙත යළි යළිත් අවධාරණය කරන්නෙමු.ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී සිටින තැනින් ද පශල වැටුනොත් ජාත්‍යන්තර පිටීයේ මේ වන විට සිදු වී තිබෙන ඇද වැටීම තව දුරටත් පහළට යන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය තරග පිළිබදව සිහිනය තව දුරටත් ඈත් වී යනු ඇත.මෙසේ කෙටි කාලීන පැලැස්තර යෙදීමේ ඊ ළග ප්‍රතිපලය ලෙස තරගාවලියෙන් පසුව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තවත් කාලය කා දමන පරීක්ෂණයකට අමාත්‍යවරයාට කමිටුවක් පත් කළ හැකි අතර එයද මේ ආකාරයෙන්ම ක්‍රීඩා සංවරධන දෙපාර්තමේන්තුවේ සිටින සහ විශ්‍රාම ගිය නිලධාරීන් බහුතරයක් පිරුණු හොරාගේ අම්මාගෙන් පේන අසන කමිටුවක් වීමට ඇති ඉඩකඩ ද විශාලය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දැඩි තීරණ ගනිමින් ක්‍රීඩා පරිපාලන ඒකක පාලනය කිරීමට යාම පසෙක ලා සිය රාජකාරිය ලෙස එම ක්‍රීඩාවන්හී බලාත්මක කාරණා සදහා තම නිලධාරීන් සහ විශ්‍රාමික නිලධාරීන් පත් කිරීම විලාසිතාවක් බවට පත් කර ගනිමින් සිටින බව මෙවැනි කාරණා වලින් පැහැදිළි වන අතර වැඩ කිරීමේ ගාය ඇති ඇමතිවරයෙකු ලෙස සැළකිය හැකි මහින්දානන්ද අලුත්ගමගේ ඒ උවමනාවන් වෙනුවෙන් මෙහෙයවීමට හැකි පුද්ගලයෙකු බවට ක්‍රමිකව පත් වෙමින් තිබීම ක්‍රීඩාව සම්බන්ධ ඛේදවාචකයේ පරිමාව පුළුල් කිරීමකි.
www.supirikrida.com

No comments: