Nov 9, 2012

සැගවුණ හොකී ලීලය

සිය ජීවිතය ලාංකේය හොකී සංස්කෘතිය තුළ දිය වන්නට හැර එහි උච්චතම අවස්ථාවට පිවිස ජාතික පුහුණුකරු ලෙස නිල වශයෙන් පත්වීම් ලැබ ඒ තනතුරත් සමග එක් දිනක් ක්‍රීඩා පිටියට නොබැසම,සිය ජීවිතයෙන් නික්ම ගිය ලීලානන්ද ඉත්තෑපාන පිළිබදව දැන් ඉතිරිව හොකී ක්‍රීඩාව වෙනුවෙන් පෑ ලීලවන්ත කමේ මතක සටහන් පමණකි.කොළම ආනන්දයෙන් අතට ගත් හොකී පිත්ත අතින් අතට පරපුරෙන් පරපුරට මාරු කළ ලීලානන්ද සිය ජීවිතයේ අඩ සිය වසකුත් එක් වසක් ගෙවෙන තැන සදහටම නික්ම යන්නේ සිය වසක් ජීවත් වූ මිනිසෙකු ලෙසය.
'හොද මනුස්සයා' ලීලානන්ද උපයාගත් උපරිමය එය විය.ඒ නිසාම ඔහුගේ මරණය ඇසූ සැණින් කම්පාවට පත් අයගේ මුවට එම වචන දෙක නිරතුරුව නැගිණ.ආනන්දයෙන් ඇරඹි හොකී ගමන ඔහුට ආනන්දයක්ම විය.සිය දැණුම පෝෂනය කර ගනිමින් කොළඹ ඉහළම පෙළේ පාසල් ගණනාවක හොකී පුහුණුකරු වන්නට මාවත විවර කර ගත් ලීලානන්ද,ඒ පාසල් පද්ධතියන් හා බැදුණු රටේ ඉහළින් වැජඹි බොහෝ චරිතයන් හී දූ - දරුවන්ට හොකී 'අ' යන්න කියා දුන් පුද්ගලයා විය.ඒ නිසාම හෙතෙම ඔහු එවැනි ඉහළ පංතියේ දෙමව්පියන්ගේ ද 'ස්ර්' විය.
ඒත් අද එවැනි වරප්‍රසාද වලින් ස්වීය චරිතයට රැස් වළලු අල්ලා ගන්නෙකු වන්නට ලීලානන්දට අනවැසි විය.ඔහු හැම විටම කල්පනා කළේ තමන්ට සියල්ල ලැබෙන හොකී පිත්ත නිවැරදිව අල්ලා ගන්නා සහ එය නිවරදිව මෙහෙයවන පරපුරක් පිලිබදවය.
ක්‍රීඩා ශක්ති වැඩ සටහන යටතේ දරුවන් මූලික පුහුණුව සදහා සහභාගි වන මොහොතක අනුරුද්ධ හේරත් බණ්ඩාරත් මමත් ලීලානන්දත් සංවාදයේ නියැලි මොහොතේත් ලීලානන්දයන් වික්ෂෝප වූවේ හොකී දරුවන් ක්‍රීඩා කල ද එහි පදනම වන තාක්ෂණික කාරණාවන් හී පෝෂනයක් ලබා නොමැති කම ගැනය.සම්මතය බිදීමට සම්මතය දැන සිටිය යුතුය යන න්‍යායේ සිටි ලීලානන්ද අධ්‍යයනයකින් ‍තොරව නිර්මාණාත්මක විය නොහැකිය යන මතයේ සිට කටයුතු කළ අයෙකි.
අද හොකී වලට පමණක් නොව සෑම තැනකටම අඩුවක්ව පවතින්නේ එවැන්නෝය.එවැන්නෝ සිය වගකීම දිවි දෙවැනි කොට තකති.ලීලානන්ද ට ද සිය රෝගී කම පසෙකලා ක්‍රීඩා පිටියේ රැදී සිටීම සිය අසනිපය මාරාන්තික අසනිපයක් බවට පත් ක‍ළේය.
ජීවත්ව සිටින බොහෝ අයට ජීවත්වීම පිලිබදව උගනින්නට ඉතිරි කළ බොහෝ දේ සමග ලීලානන්ද නික්ම ගියේ පුරවන්නට අපහසු හිස් තැනක් සැදූ මිනිසෙකු ලෙසය.ඉතිං ඒ හිස්කම පිරෙන දවසක් පැමිණි‍ය හොත් ලීලානන්ද වගේ කියා අපට කියවෙනු ඇත.ඔබ ඉතිරිකර ගිය ඒ ලොකුම ධනය දකින සිහිනය හිතැතිව අපි යන්න යැයි නොකියමු.ඒ ඔබ වැන්නන්ගේ හිස් කම සුවිසල් අඩුවක් වන බැවිනි.ඒ නිසා ඒ හිස් තැන යළි පිරෙනු දැකීමෙන් සමාජ හිතකාමීත්වය ඇතිව අපි  ඔබට මෙසේ කියන්නෙමු.
ගිහිං එන්න!
www.supirikrida.com

No comments: