Nov 7, 2012

ක්‍රීඩා ඇමති නොදුටු පෙරහැර

පෙරහැරේ යන්නාට පෙරහැර නොපෙනේ.ඒ නිසා ක්‍රීඩා ඇමතිවරයාද පෙරහැරේ යනු විනා පෙරහැර දකින අයෙක් නොවේය.ඔහු පෙරහැර බලා විස්තර කියන්නට පවරා ඇති අයද ඇමතිවරයාට නොපෙනෙන්නට පෙරහැර නෙබලාම මග හැර යන්නේය.අනතුරුව හොදට නැටූ - බෙර ගැසූ අය ලෙස ඔවුන් ඇමතිවරයා ඉදිරියේ වනන්නේ ඇත්‍ත නැට්ටුවන් ගැන හෝ භේරී වාදකයන් ගැන නොවේය තමන්ට හිතවත් නොන්ඩි නැට්ටටුවන් ගැනය.ඇතැම් විට හොදම භේරී වාදකයන් ලෙස ඔවුන් වනන්නේ තාලම් පොට වැයූවන්ය.
දැල්පන්දු කේෂ්ත්‍රය සම්බන්ධයෙන් කියන්න ඇත්තේද නැට්ටුවන්ගේ වගකීම නොන්ඩි නැට්ටුවන්ටත්,බෙර වැයීම තාලම් පොට ගසන්නන්ටත් භාර දී තිබෙන බවය.ඇමතිවරයාද එය ඒකමතිකව අනුමත කර ඇත්තේ වසර ගණනක් පුරා හොදින් ප්‍රශස්ති කලාව ප්‍රගුන කර ඇති ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් තමන්ගේ වැඩේ කර ගන්නට වැනුම් කලාව හොදින්ම ප්‍රගුණ කර තිබෙන නිසාය.එහෙත් ඇමතිවරයා ආසියානු දැල්පන්දු පරාජයෙන් පසු සිදු වෙමින් තිබෙන බොහෝ වෙනස්කම් නිවැරදිව නොදැන සිටින බව නම් අපට විශ්වාසය.
පරාජයේ වැඩි වගකීම් පැවරුණේ පුහුණුකාරියටය.නමුත් ඇය ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමට මත්තෙන් අමාත්‍යංශයට,අමාත්‍යවරයාට,අතුරුපාලක කමිටුවට ගෝරනාඩු කරවරද පටවා පළා ගියේය.ඉන් පසුව ආ පරීක්ෂනයට ඉතුරු වුණේ අශ්වයා නොව උගේ සැදෑලය ය.එනම් අතුරු කමිටුවය.දැන් තලන්නේ අතුරු කමිටුවටය.එහෙත් අතුරු කමිටුවේ සිටි යසා රාමචන්ද්‍ර හෝ චන්ද්‍රානි පතිරාජ ඒ තීරණ වලට වගකිව යුතු නැද්ද?
දැන් නැවතත් මදක් ඉතිහාසයට ගොස් බලන්න.මේ සියළු අර්බූද ඇති වූයේ ආසියානු කුසලානය ලංකාවට දිනා දුන් පුහුණුකාරිය තිලකා ජනදාස ගේ ඉවත් කිරිමත් සමගය.එයට පිඹුරුපත් සකස් කරන්නට මේ දෙදෙනා සම්බන්ධම නැද්ද?එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට නොයා නිවැරදිව විමසා බැලිය හැකිනම් කවුරුත් බබාලා නොවන බව අමාත්‍යවරයාට සාධක ඇතිවම සොයාගත හැකිය.
දැන් නැවත පරීක්ෂණය පමා වීමෙන් ඇති වූ තත්ත්වයන් කවරේද යන්නත් අමාත්‍යවරයා දත යුතුය.පුහුණුකාරිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ප්‍රමාදයෙන් වැළකෙද්දී ඇය ජාතික කණ්ඩායමේ තමාගේ සහය පුහුණුකාරිය දැරූ තනතුර ඉහළින්ම බලපෑම් ඇති කර උදුරා ගෙන ඇති බව අමාත්‍යවරයා තවමත් නොදන්නවා විය යුතුය.ත්‍රිවිධ හමුදාවක අලුත පත් වූ ප්‍රධානියෙකුගේ බිරිද හා ඇති හිතවත් කම භාවිතා කොට එතෙක් කල් ජාතික කණ්ඩායමේ සහය පුහුණුකාරිය පුහුණුකරමින් සිටි එම හමුදා කණ්ඩායමේ පුහුණුකාරිය වන්නට ඇය සමත් වී ඇත.එක අතකට අමාත්‍යවරයාගේ සේවක මණ්ඩලයට ඇති වේගවත් ක්‍රියා පිලිවෙත ඉක්මවා ගිය වේගයකින් අවශ්‍යය ඉලක්ක සපුරා ගැනීමට ඇයට තියෙන හැකියාව විශිෂ්ඨය.ඒ පිළිබදව  අමාත්‍යවරයාද මේ මෑතක ක්‍රීඩා වෛද්‍ය ආයතනයේදී ඒ බව පවසා තිබීම නිසා ඔහු එය නොදන්නා බව ද අපි නොසිතන්නෙමු.
අමාත්‍යවරයා කියන දේ වේගයෙන් කිරීමට හෝ ඒවා මත පිහිටා කටයුතු කිරීමට ප්‍රමාණවත් නිලධාරී පිරිසක් නොවන බව අපි අත්දැකීමෙන් දනිමු.එහෙත් ඒ කියන ලේබලය යටතේ සුපුරුදු දේවල්ම කරන්නට අමාත්‍යවරයා පොළඹවාගෙන සිටින බව අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයටද නොතේරෙන්නට කර ගැනීමට හැකි ලිස්සන ද්‍රව්‍ය මේ බොහෝ දෙනා සතුව ඇති බව නම් පැහැදිළිය.සුපරුදු වැණුම් ඉදිරිපත් කර හෘදයාංගම බව පාමින් ඔවුන් පරණ කාර්යයන් කර ගැනිමට පරණ ලිපි ගොනු වල කාර්යයන්ගෙන්  වෙනස් කරන්නේ එක් දෙයක් පමණි.ඒ අමාත්‍යවරයා අනුමත කරන සුළු ලේබලයකින් ගොනුව නම් කිරීම පමණි.
අමාත්‍යවරයා මේ මෑතක දැල්පන්දු ප්‍රේමීන් අමතන විටෙක දැනට ජාතික තලයේ සිටින පුහුණුකාරිණියක් ආවේගශීලීව සහ නිවැරදිව මේ වී ඇති දේ සහ එයට පාදක හේතු පැහැදිළි කිරීමක යෙදුණේ අමාත්‍යවරයාගේ පැසසුමටද ලක් වෙමින්ය.නමුත් අනතුරුව කවුරුන් බලයට ආවද අතුරු කමිටුවේ හෝ බලයට පත්වන කණ්ඩායමේ එල්ලී සිටීමේ කලාව හොදින් ප්‍රගුණ කළ නිලධාරිණියක ඇයට බැන වැදීමෙන් නොනැවතී දැනට ඇය පුහුණු කරන කණ්ඩායමකින් එම කණ්ඩායමට අදාළ ආයතනයේ සිටින සිය ඥාතියෙකු වන නිලධාරියෙකුගේ උදව්වවේ ඇය ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා දන්නේ නැත.
එසේ ඇයද පැවසූ අමාත්‍යවරයාද පිළිගත් දැල් පන්දු ක්‍රීඩාවේ ප්‍රගමනයට ඇති තාරුණ්‍යයේ මැදිහත් වීම වෙනුවට අද ඇමතිවරයාටම හැට පැනපු අය පුහුණුකාරිත්වයට ද,තේරීම් කමිටුවට ද ගෙන එන්නට අනුමැතිය දෙන්නට සිදු වී ඇත.කුඩ ඉහළන් කණෙන් යන්නාක් මෙන් අමාත්‍යවරයාම කියන ප්‍රතිපත්ති කාරණා දෙදරවාලමින් සිය බලය සහ උවමනාවන් යාවත් කාලීන කරන පිරිසගේ ගොදුරක් විනා අමාත්‍යවරයා සිය හෘද්‍ය සාක්ෂියේ සාක්කිකරුවෙකුවත් වෙන්නට හැකි වී නැත.හොදින් විමසා බලන විට අමාත්‍යවරයාටම ඒ බව තේරුම් ගැනීමට හැකිවනු ඇත.ඔබ තවමත් ඔබේ හෘද්‍ය සාක්ෂියේ චූදිතයෙකි.
www.supirikrida.com

No comments: