Nov 8, 2012

වසර ගණන් තේරීම් කමිටුවේ තපින අය ක්‍රීඩාව වනසනවා - චින්තක ජයසිංහ

ශ්‍රී ලංකාව බිහිකළ අපූරු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චින්තක ජයසිංහ දිගින් දිගටම සිය හැකියාවන් නොසළකා හරින තේරිම් කමිටුව පිළිබදව විරෝධය ප්‍රකාශ කරමින් සිය පළමු පෙළ ක්‍රිකට් දිවියෙන් සමුගැනීම ප්‍රකාශ කළා.ආසන්නම සිදුවීම ලෙස චින්තක දක්වා සිටියේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ගිවිසුම් අත්සන් කිරිමට තෝරා ගත් ක්‍රීඩකයන් 60 දෙනා අතරට හෝ සිය නම ඇතුළත් නොවීම මෙම සමුගැනිමට බල පෑ බවයි.
'මට වඩා දක්ෂතා අඩු වයසින් වැඩි පිරිසක් එතන ඉන්නවා.එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ පුහුණුකරුවන් යටතේ පුහුණුව ලබන ඇතැම් අයත් මේ කොන්ත්‍රාත් පදනමට ඇතුළත් වී සිටිනවා.ඔවුන්ට වඩා දක්ෂතා අතින් ඉදිරියෙන් සිටියද මට ඒ අවස්තාව ලැබෙන්නෙ නැහැ'
චින්තක කාලයක සිට දකින ක්‍රිකට් පක්ෂපාතීත්වයේ අන්දරය දිග හැරියා.චින්තක බොහෝ දේවල් කළ හැකි ක්‍රීඩකයෙකු වුව ද,ඔහුට එයින් අල්පමාත්‍රයක දෙයක් හෝ කළ නොහැකි වුණා.ඔහු වරප්‍රසාදිත අනියම් ක්‍රියා මාර්ග සොයා නොයාම ඊට ප්‍රධාන හේතුව වුණා.සිය දක්ෂතා පිලිබදව පමණක් විශ්වාසය තැබූ ක්‍රීඩකයෙකු හැටියට 20 / 20 තරග කිහිපයකට හෝ සහභාගිවීමට ලැබීමත් එක් අතකින් ප්‍රාතිහාර්යයක් වන තරමට ලාකේය ක්‍රිකට් කල්ලියක උරුමයක් වී ඇතිදැයි සැක සිතෙන දේ බොහෝයි.
මේ ගැන ක්‍රිකට් ආයතනය එක්ක කතා කළේ නැද්ද?
කොන්ත්‍රාත් ලේඛණයට සිය නම ඇතුළත් නොවීම පිළිබදව බලධාරින් දැනුවත් කළේදැයි දැන ගැනීම පිණිස මාධය චින්තකව ප්‍රශ්න කළා.
'ඉහළම බලධාරියෙක්ගෙන් විමසීමක් කළා.සතියක් ඇතුළත පිලිතුරක්  දීමට පොරොන්දු වුණා.දැන් සතිය පහුවෙලා හුගක් කල් '
තව දුරටත් සිය හැකියාව තබා ගෙන හිගමනේ යාමට වඩා හිගන්නන් ලෙස ක්‍රිකට්වලට අතපා ජිවත්වෙන පිරිස ගේ බල පරාක්‍රමයන් වලින් තැලී පොඩි නොවෙන්නට චින්තක තීරණය කරන්නේ එතැනදියි.වසර ගණනක් තේරීම් කමිටුවේ එල්ලී සිටිමින් රටේ ක්‍රිකට් වෙනුවට තමන්ගේ ක්‍රිකට් රටේ ක්‍රිකට් ලෙස ලේබල් ගසා විකුණන පිරිස් දෙන ඇතැම් දේශනා කෙතරම් හාස්‍ය ජනකදැයි දැනෙන්නේ ඒ දේශනා සහ ක්‍රියාකාරීත්වයන් අතර ඇති පරතරය දුටු විටයි.
තෙවසරක් පළමු පෙළ ක්‍රිකට් සූරයා වූ චින්තක,අවසාන වරට නිමා වූ පළමු පෙළ තරගාවලියේදීත් ලකුණු 750 ක් පමණ රැස් කරන්නේ තරගාවලියේ වැඩිම හයේ පහර ප්‍රමාණය එල්ල කළ ක්‍රීඩකයාද වෙමින්.මේ කාරණය තේරීම් කමිටු සභාපතිවරයාගේ වචන වලට අනුව චින්තක 20/20 ශ්‍රී ලංකා සංචිතයේ රදවා ගන්නට විශාලතම හේතුවක් වෙනවා.
සභාපතිවරයාට අනුව ගත්විට ශ්‍රී ලංකාවේ 20 / 20 පරාජයට බල පැ ප්‍රධානතම හේතුවක් වන්නේ දිගු පහර සදහා යා හැකි ක්‍රීඩකයන් නොමැති වීමයි.එසේනම් චින්තක එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව මෙල් ගේ අවදානයට ලක් නොවන්නේ මන්ද?අඩුම තරමේ හොංකොං සය සාමාජික තරග සදහා හෝ?
'20/20 සංචිතයෙත් ඉන්නවා මම තරම් හොදට නොකරපු අය,හොංකොං ගිය හතම මම තරම් හොදට කරල තිබුණෙ නැහැ.තේරීම් කමිටු සභාපතිවරයා කියන්නෙ එය කැමති අය හයේ ඒවා ගහනවා මදි කියලා-ඒ අයට ගහන්න කියල වෙන්නැති.'
චින්තක ඊට වඩා රටේ අසාධාරණයට ලක් වූ අයත් කට වසා සිටියදී,සිය කටහඩ ඉදිරිපත් කරන්නට එළැඹීම කෙතරම් අගය කළ යුතුදැයි හැගෙන්නේ මෙරට බිහි වූ සුපිරිතම වේග පන්දු යවන්නා වන චමින්ද වාස් ගෙන් හෝ කිසිදු වැඩක් නොගෙන සිටින ක්‍රිකට් පාළකයන්ට ඔහු නවසීලන්තයෙන් තොරා ගන්නා විටවත් ඇස් නොහරෙන විටයි.එසේම ලෝකයම පිළිගත් ක්‍රීඩකයෙකු ලෙස වාසි වැන්නෙකුගේ හඩින් කළ හැකි බලපෑම සගවා සිටියදි චින්තක වැන්නන් ඉදිරියට ඇවිත කරන මේ අදහස් දැක්වීම් පිලිබදව කිව යුත්තේ එය අති විශිෂ්ඨයි යන්නයි.
මේ තේරිම් කම්ටුවට සහ යාන්ත්‍රණයට අභියෝග කිරීමෙන් එය ක්‍රිකට් වෙනුවෙන් සසල කරන සටනක් කරන්නේද යන්න හෝ සිය උවමනාවන් සදහා එම යාන්ත්‍රණයන් නම්‍යශීලී කර ගන්නා සටනක් කරනවාද යන්න පිළිබදව යමෙකුට සිතා බැලිය හැකියි.ඉන් දෙවැන්න පිලිබදව උදාහරණයන් දැනටමත් අපි විදිමින් සිටිනවා.ඒ මාවන් අතපත්තු වෙතින්.ඔහු හැදින්වූ මපට් තේරීම් කමිටුවත් සමග එකග වී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ හැකි දීගයකට පිවිසීම දක්වා ඔහුගේ විවේචනය ලඝු වී තිබෙනවා..
'මම මේ අය ඉන්න කම් ක්‍රිකට් කෝච් කරන්නෙවත් නෑ'
චින්තක මාවන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිට සිය අවශ්‍යයතාවය කේන්ද්‍ර කර නොගත් ක්‍රිකට් කේන්ද්‍රීය හඩකින් එසේ පැවසීම පැසසුම් සහගතයි.එහෙත් මේ හඩට අසන්ත ද මෙල් ලා පිළිතුරු දෙන්නට නො'එන බව අපි දනිමු.එය පෞද්ගලික වගකීමක් ලෙස සිතා කටයුතු කරනු විනා සිය තේරීම් ගැන ජාතික වගකීමක් ලෙස සළකා ජාතික මාධ්‍යයකට හෝ පිලිතුරු දෙන්නට නොයන වපසරියක ජාතික ක්‍රිකට් තමන්ගේ ක්‍රිකට් ලෙස ගෙන කටයුතු කිරීමට අසන්ත ඇතුළු නඩයට ඉඩ දී සිටින ක්‍රීඩා පරිපාලනයක තවත් චින්තකලා දහස් ගණනක් අපට අහිමි විය හැකිය.
ඒ ඛේදවාචකයේ මුවදොර ළග නැවති අපි චින්තකගේ හඩින් කියන මේ වචන වල බර ගැන සිතන ලෙස සමස්ත ක්‍රිකට් ලෝලීන්ට ආරාධනා කරමු.
'ක්‍රිකට් නගා සිටුවීම පිලිබදව කරන ව්‍යාපෘති කෙතරම් පලදායකද කියල තව අවුරුදු දෙකක් යන්න ඉස්සර දැනෙයි.විශේෂයෙන් අද ඉන්න ක්‍රීඩකයො දෙන්නෙක් තුන් දෙනෙකු ගියාට පස්සෙ ඒ ගැන බලා ගන්න පුළුවන්'
චිනතක කියන දේ අනාගතයට බාර දී නිහඩව සිටින්නේ ද ඒ වචන වල හරයන් සොයා ගවේශනයක නිරත වන්නේද යන්න ක්‍රිකට් සහ ක්‍රීඩා බලධාරින් කළ යුතු කාරියකි.අසන්ත කිසිවකය පිළිතුරු සපයන්නේ නැති බව දන්නා නමුත් මේ රටේ ක්‍රිකට් ආර්ථිකය ශක්තිමත් කරන ජනතාව වෙනුවෙන් අපට අසන්නට ප්‍රශ්නයක් ඇත.තෝරා ගත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ චින්තකගේ දක්ෂතා ප්‍රසිද්ධ කළ හැකිද?තොරා ගත් ඇතැම් ක්‍රීඩකයන් චින්තකට වඩා අඩු දක්ෂතා සහ වයසින් ද වැඩි පිරිසක් වන්නේ නම් ඊට බල පැ හේතුව කවරේද?යම් තරමක හෝ පාරදෘශ්‍ය බවක් ක්‍රිකට් ආයතනය තුළ වේදැයි දැන ගැනීමට මෙම සටහන අප පෞද්ගලිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රධානියා වෙත ද විද්‍යුත් තැපෑල මගින් යොමු කරන්නෙමු.සිය තනතුර ක්‍රිකට් ආයතනයේ ප්‍රශස්ති ගයන වන්දිභට්ටකමක්  පමණක් නොවන්නේ නම් ඔහුට හෝ මාධ්‍ය සම්බන්ධිකරණයේ එක් කාර්‍යයක් ලෙස සළකා මෙම කොන්ත්‍රාත් ගිවිසුමට තෝරා ගත් ක්‍රීඩකයන්ගේ ආසන්න දක්ෂතා කවරේද යන්න හෙළිදරව් කළ හැකිය.
අපි බලා සිටින්නෙමු.ඒ චින්තක වෙනුවෙන් නොව,ක්‍රිකට් වෙනුවෙනි.
www.supirikrida.com

No comments: