Sep 6, 2012

පැරා ඔලිම්පික් සාජන්ට් කමක් තරම්වත් බර නැතිද ?

Gunther Matzinger (L-R) Silver medallist Yohansson Nascimento of Brazil, gold medallist Gunther Matzinger of Austria and bronze medallist Pradeep Sanjaya Uggl Dena Pathirannehelag of Sri Lanka  pose on the podium during the medal ceremony for the Men's 400m - T46 final on day 7 of the London 2012 Paralympic Games at Olympic Stadium on September 5, 2012 in London, England.
ක්‍රීඩාවකින් ලොව දිනන්නට යද්දීම එහි ප්‍රතිලාභ විසින් අත් කර දෙන දේ ප්‍රසිද්ධ වී හමාරය.නමුත් පැරා ඔලිම්පික් යද්දී ඒ ගැන වචනයක් නැත.අමාත්‍යංශවල සිටින අය ද,ඊට සහභාගි වන වෙනත් වෘත්තිකයන්ද මේ ආබාධ වලින් පෙළෙන අයගේ කර පිටින් වෙනත් රටක් බලා කියා ගෙන එන්නට යන්නට අනුග්‍රාහකයන් සොයනු විනා ඔවුන්ට අත්විය යුතු වරප්‍රසාද ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන්ය.
ප්‍රදීප් සංජය සම්බන්ධයෙන් ද ගලා එන්නේ සුභ පැතුම් පමණි.ක්‍රීඩා අමාත්‍යවරයා ලෝකය ඉදිරියේ හ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තබන්නට සංජීව තරග වැදුණේ කෙලෙසින් ද යන්න දෑස් පනා පිටම දුටුවේය.තරගයට පෙරාතුව මෙන්ම පසුවද උණු උණුවේම ජයග්‍රහණය පතා පිටව යන දෑත් ද ජයග්‍රහණය ලබා ආ දෑත් ද දෝතින් ගෙන සුභ පතන්නට ක්‍රීඩා අමාත්‍යවරයා එහි සිටියේය.සැබෑ ලාංකිකයෙකු සේ ඔහු එයින් උද්දාමයට පත්ව කැ ගසන්නට ඇත.ඔහු ගේ ස්වභාවය එබදු බව ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී ඔහු අසළින් සිට තරග නැරඹූ කාට වුව අමුත්තක් නොවනු ඇත.එහෙත් ඒ අව්‍යාජකමට ලාංකේය හැගීමට අමතරව මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවේ බලධාරියා ලෙස සිය පරිපාලන තීන්දු තුළ ප්‍රදීප් සංජය වෙනුවෙන් කුමක් කරන්නේ ද යන්න ද ඉතා වටින්නේය.
සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම දිනා දීමෙන් පසුව ලංකාව ලද විශාලතම ජය මෙය බව සැක නැත.ඒ වෙනත් ලෝක සූරතා ජයග්‍රහණ අවතක්සේරු කිරිමට ලියන දෙයක් නොව,වැඩිම තරගකාරීත්වයක් ඇති ලෝක මට්ටමේ තරගයකදී අප ලද ජය මෙය ය.ඒ සදහා මුදල් තිබුණාට සහභාගි  වන්නට නොහැකිය.වැදගත්ම දේහැකියාව පෙන්නා සුදුසුකම් ලබා ගැනීමය ප්‍රදීප්  මෙන්ම සහභාගිවූ සියල්ල මෙම තරගාවලියට ගියේ ආසියාතික මට්ටමෙන් මෙම තරගාවලිය සදහා සුදුසුකම් ලද්දෝ ලෙස ය.වයිල්ඩ් කාඩ් හෝ අඩු තරගකාරීත්වයක් ඇති තරගාවලි නියෝජනය කර ලබා ගත් ලකුණු වලින් තේරී පත් වී පත්වීමක් එහි නොවිණ.
මීට තෙවරකට පෙර ඔහු මලල ක්‍රීඩකයෙකු නොවිණ.2008 දෙසැම්බර් හීතල මකාලමින් උතුරුකරයේ හුවමාරු වූ උණුසුම වෙඩි උණ්ඩ ඔහු ගේ දෑතින් උණු ලේ දහර වක්කරමින් ඔහු එක් අතක් ආබාධිත සහිත අයෙකු බවට පත් කළේ 28 වැනි දිනය.ඒ දෙසැම්බර් 28 වැනිදා යින් පසුව ඔහු මාතෘ භූමිය වෙනුවෙන් අතක් අහිමි කර ගත් රණවිරු නාම ලේඛණයේ එක් පුද්ගල චරිතයක් නොවී ආබාධ සහිත අයගේ මලල ක්‍රීඩා පොකුරේ සාමාජිකයෙකු වන්නේය.සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ඔහුට පාසලි වියේදී මලල ක්‍රීඩාවෙන් ඉහළ දස්කම් දක්වන්නට ඇවැසි පසුබිම ඔහු ඉගෙනගත් ගම්පහ දෙල්වල විද්‍යාලයේ නොතිබිණ.ඒ නිසා ඒවා අයාලේ ගොස් සිය දෙපයේ ජවයෙන් ඔහුට යුධ හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සාමාජිකයෙකු නොවී යුධ පෙරමුණට යන සෙබළෙකු පමණක් වන්නට සිදු විය
එහෙත් යුධ හමුදාව සතු පිරිස් බලය මෙන්ම භෞතික වට පිටාව ආබාධිතයෙකු ලෙස හුදෙකලාව කල්පනාවේ ගැලි මනසින් දුක් විදිනවාට වැඩි යමක් ඔහුට ලබා දී ඇත.දෑත දෙපය හොදින් තිබියදී සැගව තිබූ සිය ක්‍රීඩා කෞශ්‍යය ඔහුගේ සිරුරෙන් මතු ව නැග ආවේ ලක් මවට ආශිර්වාදයක් වෙමින් ය.ප්‍රදීප් ගේ දෙමව්පියන් වූ රංජනී මාතාව මෙන්ම කරුණාරත්න පියා ද පහසුකම් ඇති පාසලක සිය දරුවාට අධ්‍යාපනයක් ලබා දුන්නේ නම් ඔහු කොතැනක නවතීද යන්න සිහින දැකපු කාලයක් තිබෙන්නට ඇත.නිශිකා දුලංජලී තමාට සහ ප්‍රදීප් ට දාව උපන් තවමත් තෙමසක් වන සිය සිගිති දියණියට සාමාන්‍ය යුධ සෙබළෙක් නොවන අධ්‍යාපනයක් පිළිබදව හින දකිමින් සිටිය දී අද ඇයට සිය දියණියට සිය පියා ගැන ආඩම්බරයෙන් කතා කරන්නට තවත් යමක් එකතු වී ඇත.
යුද්ධය විසින් අතක් අහිමි කර ගත් උඹේ අප්පා රට වෙනුවෙන් ඒ දේ කළ වීරයෙකි.රටේ ඒකීයත්වය දිනා දීමට සිය ශරීරය කැප කළ වීරයෙකි යනුවෙන් පමණක් නොකියා හෙට සිගිති දියණිය බහ තෝරන විට උඹේ අප්පා ලොවම දිනූ වීරයෙකි.ලොව ඉදිරියේ රට අභිමානයට පත් කළ වීරයෙකි යනුවෙන් පවසන්නට මග බලා සිටිනවා සැක නැත.
මේ දස්කම කරන පරිසරය ඉතා වැදගත්ය.ශ්‍රී ලංකාවේ නිකංම නිකං ආබාධිතයෙකු නොවී ඔහුට ලෝකය ඉදිරියේ වීරයෙකු වන්නට ලැබුණේ යුධ හමුදාව නිසාය.ඒ ගැන අවිවාදිතය.නමුත් ලෝකයට සාපේක්ෂව එය මහා කජ්ජක් නොවන බව අප පිළිගත යුතුය.උදාහරණයකට සාමාන්‍ය මිනිසුන් සමග එකට සිට දිවිය හැකි ඔස්කා ප්‍රිස්ටෝරියස් ගත හැකිය.කෘතිම පාදය ඔහු ට අසාමාන්‍ය හැකියාවක් උත්පාදනය කරන බවට නැගූ චෝදනා ඔහු මීට පෙර ප්‍රතික්ෂේප කළේය.
නමුත් මේ 'තල දෙපා ඇති' මිනිසා පරාජය කරමින් මෙවර මිටර් 200 ජය ගන්නට බ්‍රසිලයේ ඔලිවේරා සමත් විය.ඒ සමග ප්‍රිස්ටෝරියස්,ඔලිවේරා ගේ දෙපයේ තාක්ෂණය ගැන සැකයෙන් මුමුණන්නට පටන් ගෙන ඇත.එය සත්‍ය හෝ අසත්‍ය විය හැකිය.නමුත් එයින් ඔප්පු වන්නේ ලෝකයේ මෙම ක්‍රීඩා වට පිටාව දැඩි වියදමක් සහිත තාක්ෂණික පසුබිමකින් පෝෂණය වෙමින් පවතින බව ය.පහසුකම් ඉතා ඉහළින් භාවිතා වන බවය.
ඉතිං ප්‍රදීප් මේ ජයග්‍රහණය ලබන්නේ එවැනි සුඛෝපභෝගී තාක්ෂණයන්ට එරෙහිව ටොරිංටනයේ ගස් යට බත් පත් ලිහා ගෙන කමින් කළ පුහුණුව සහ කැපවීම පදනම් කරගෙන බව අප පිළිගත යුතුය.ඒ නිසාම එහි වීරත්වය දෙගුණ තෙගුණ වන්නේය.ඒ වීරත්වයට අප මුළු හදින්ම සුභ පතද්දි ඊට වඩා යමක් ඒ වෙනුවෙන් කරන්නට හැකි පිරිසක් ක්‍රීඩාවේ,හමුදාවේ සහ රාජ්‍ය තාන්ත්‍රිකව සිටිති.
කඩුලු කිහිපයකින් ආසියාවම දණ ගැස් වූ කළ,උසස් වීම් ලැබුණු අයුරු අපට මතකය.ඒ සම්බන්ධ විවේචන අපට නැත.සියළු ක්‍රීඩාවන්ට සම වරප්‍රසාද සැළකිලි ලැබෙන්නේ නම් මේ ජයග්‍රහණය ලොව දිනීමකි.ඒ ගැන තර්ක විතර්ක අනවැසිය.රටවල් දෙසිය ගණනක් ඉදිරියේ සිහ ධජය ලෙලෙන විට රටවල් පහ - හයක් ඉදිරියේ ලද ජයට වඩා එය අවතක්සේරු කළ හැකිද?ලුතිනන් ධූරයක් නොව අඩුම තරමේ සාජන්ට් ධූරයක් හෝ මේ රණවිරුවා ගේ ලෝක ජයග්‍රහණය වෙනුවෙන් හිමි වන්නේනම් එය කෙතරම් අගනේද?ලෝකයක් ඉදිරියේ රටක් ජයග්‍රහණය කරා රැගෙන ගිය පියෙකු ගැන පුංචි කබඩයක තිබෙන පදක්කමක් පෙන්නා කතා කරන දියණියක ගැන අනාගත මාධය පරපුරට සිදු නොවන්නේ නම් එය අගනේය.ලොවක් දිනූ සිය පියා නිසා ආඩම්බරයෙන් කතා කරන හොද අධ්‍යාපනයක් ආර්ථික පසුබිමක් සහිත දියණියක් පියාගේ අප්‍රතිහත දිරියෙන්-සවියෙන් තමන්ට ලැබුණු දායාද ගැන පිය ප්‍රශස්ති ගයනු දකින්නට ලියන්නට හැකි පරිසරයක් ප්‍රදීප්ගේ දියණිය හරහා අපේ අනාගත මාධ්‍යවේදින්ට උරුම වන්නේනම් එය අපූරු අත්දැකිමක් නොවන්නේද?
අප බලා සිටිමු!ක්‍රීඩා අමාත්‍යවරයා,ආරක්ෂක ලේකම්වරයා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක ජනාධිපතිවරයා ද ප්‍රදීප් ගේ ලෝක ජයග්‍රහණයට කෙසේනම් ප්‍රතිචාර දක්වනු ඇත්ද?එසේම අද ද රණ විරුවන් සටන් පාඨයක් කර ගනිමින් උගුර ලේ රස වන තුරු වේදිකා වල මොර තලන මැති- ඇමති කැළ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මේ ජයග්‍රහණය හරහා රට ලැබූ කීර්තියට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
අපි ඒ සියල්ල දෙස විමසිල්ලෙන් බලා සිටින අතරේම රජයේ තේමා පාඨයම ගෙන ලොව දිනූ ශක්තිවන්ත දිරිය පුත්‍රයාට සුභ පතමු!
සුභ අනාගතයක්!

No comments: