Sep 2, 2012

පුංචි රෝමයේ ආසියානු වෙරළ දැල් පන්දු වසන්ත‍යේ සූරයෝ ඉන්දියාවෙන්- සූරියෝ ලංකාවෙන්

මීගමුවේ කැන්ටමාරා වෙරළ තීරයේ පැවති පළමු ආසියානු වෙරළ දැල් පන්දු තරගාවලියේ සූරියන් වෙමින් ඊට දිනකට පෙර අහිමි වූ ආසියානු දැල් පන්දු සූරියන්ගේ කිරිටයේ කදුළු යම් තාක් දුරට පිසලා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ජාතික දැල් පන්දු කණ්ඩායමට යොමු වූ අවධානයෙන් සහ සැළකිල්ලෙන් හරි අඩක්වත් යොමු නොවුණ ද ශ්‍රී ලංකා වෙරළ දැල් පන්දු ක්‍රීඩිකාවන් ආසියාවේ ලාංකේය දැල් පන්දුවට හිමි කීර්තියට කැළලක් නොවන්නට වග බලා ගත් අතර එම කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස 'යමුනා සදමාලි' ක්‍රීඩිකාවන්ගේ මුල් පුහුණුකාරියන්ගේ ද සේවය ස්වෙච්ඡාවෙන් ලබා ගනිමින් ඒවා නිසි සම්බන්ධිකරණයක් ඇතිව මෙහෙයවමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම සදහා කළ කැපවීම ද මෙහිදී ඇගයීමට ලක් කළ යුතුය.
එසේම යමුනා ගේ සේවය විශාල ඇගයීමකට ලක් කළ  තේරීම් කමිටු සාමාජිකාවක් ප්‍රකාශ කළේ ඇය කිසිදු බලපෑමක් තේරීමට නොකළ බවත් නම් කළ කණ්ඩායම ඉක්මණින් ලබා දී තමාට ඒ අතරින් දක්ෂ කණ්ඩායම තෝරා ගෙන පුහුණු කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළ බවය.පුහුණුකාරියක ලෙස ජාතික සංචිතයකට ඇතුළත් වන ඕනෑම ක්‍රීඩිකාවක දක්ෂ බව අවබෝධ කරගෙන ඔවුන් ගේ විශේෂ හැකියාවන් හදුනාගෙන ඒවා ඔප්නංවා ජයග්‍රහණය සදහා යොදා ගැනීමට පුහුණුකාරියකට දැණුම තිබිය යුතු බවත් යමුනා ට ඒ සම්බන්ධයෙන් විශාල අවබෝධයක් තිබුණු බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.
පිරිමි අංශයේ දී සූරතාවය ඉන්දියාවට හිමි වූ අතර පකිස්තානය අනු සූරයෝ වූහ.ශ්‍රී ලංකාවට තෙවන ස්ථානයෙන් සෑහෙන්නට සිදු විය.කාන්තා අංශයේ සූරතාවය ශ්‍රී ලංකාව වැඩි අභියෝගයකින් තොරව දිනා ගත් අතර මාල දිවයින මීට පෙර දකුණු ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙලේ ඉන්දියාවට එරෙහිව පරාජය වුව ද මෙවර ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව අනු සූරයන් වීමට වග බලා ගත්තේය.තෙවන ස්ථානය ඉන්දියාවට හිමි විය.
පිරිමි අංශය නියෝජනය කරමින් බලාපොරොත්තු වූ පරිදි මාල දිවයින සහභාගි නොවුණු අතර එම අංශයේ අවසාන තරගයට ශ්‍රී ලංකාවට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි කරමින් ඉන්දියාව සහ පකිස්තානය යන දෙරටම දැල් පන්දු කණ්ඩායම් ශ්‍රී ලංකාව පරාජයට පත් කළේය.කාන්තා අංශයේදී ශ්‍රී ලංකාවට අභියෝග කළ හැකි කණ්ඩායමක් නොවු තරම් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මූලික තරග වල දී පකිස්තානය 27/02,මාල දිවයින 17/10,ඉන්දියාව 25/03 ක් ලෙස පරාජය කළහ.අවසාන තරගයේදී ශ්‍රී ලංකාව මාල දිවයින කණ්ඩායමට එරෙහිව ජය ගත්තේ 19/04 ක් ලෙස ය.
පිරිමි කණ්ඩායම් තරගයේදි ජයග්‍රාහි  ඉන්දීය කණ්ඩායම මුලික වටයේ තරග වල දී ශ්‍රී ලංකාව ලකුණු 16/10 ක් ලෙස සහ පකිස්තානය ලකුණු 19 /13 ක් ලෙස පරාජයට පත් කළ අතර අවසාන තරගයේදි යළිත් වරක් පකිස්තානය පරාජයට පත් කළේ,ලකුණු 21/13 ක් ලෙස ය.
www.supirikrida.com

No comments: