Sep 5, 2012

එරංගා සහ මිලන්ත අති සූර ක්‍රීඩක‍ -ක්‍රීඩිකාවෝ වෙති

මෙවර ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උළෙලේ අති සූර ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ මිලන්ත සම්පත් දිසානායක ඇගයීමට ලක් වූ අතර අති සූර ක්‍රීඩිකාව වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එරංගා දුලක්ෂියි.මිලන්ත දුර පැනීමේ ඉසව්වෙන් පෑ දක්ෂතා හේතු කොට ගෙන අති සූර ක්‍රීඩකයා වෙද්දී මීටර් 3000 කාන්තා බාධක දිවීම ඉසව්වෙන් තමා සතුව පැවති විනාඩි 10:24.54 ක වාර්තාව බිද හෙලූ,එරංගා විනාඩි 10:17.56 ක් ලෙස ජාතික වාර්තාව යළිත් අලුත් කරමින් දක්ෂතම ක්‍රීඩිකාව වූවා ය.
මෙවර මලල ක්‍රීඩා උළෙලේ දි මීටර් 1500 ජාතික වාර්තාලාභිණිය වන ශ්‍රී ලංකා යුධ හමුදාවේ චම්පිකා දිල්රුක්ෂි මීටර් 800 ඉසව්වේදී විනාඩි 03:07.36 ක කාලයක් වාර්තා කරමින් නව ආරක්ෂක සේවා මලල ක්‍රීඩා වාර්තාවක් සිය නමට ලියා ගන්නට සමත් වීම කැපී පෙණින.එසේම කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී උස පැනීමේ ඉසව්වෙන් ලොව හත් වැන්නා වූ මිලාන් මධුෂ්ක දිසානායක මීටර් 2.13 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ ආරක්ෂක සේවා වාර්තාව සියතට ගත්තද ඊට වඩා විශාල දක්ෂතාවයක් ඇති ක්‍රීඩකයෙකු ලෙස ඔහු එම ඉසව්වෙන් මද පසුබැස්මක් පෙන්වීය.
කාන්තා උස පැනීමේ ඉසව්වේදී නාවික හමුදාවේ දුලාංජලී රණසිංහ මීටර් 1.80 සීමාවට පිවිසෙමින් ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ඉසව්වක 1.80 කඩඉමට පිවිසි පළමු ක්‍රීඩිකාව වීම අගය කළ යුතුය.තිබූ වාර්තාවට වඩා තත්පර 10 ක ප්‍රගතියක් පෙන් වු ගීතානි රාජසේකර මීටර් 5000 ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උළෙ නව තරග වාර්තාවට හිමිකම් කීවේ විනාඩි 17:10.13 කින් එම ඉසව්ව නිම කරමින් ය.එසේම වරථමාන හෙල්ල වීසි කිරීමේ සූර සචිත් මධුරංග ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උළෙලේ හෙල්ල වීසි කිරීමේ වාර්තාවට ද හිමිකම් කියමින් මීටර් 74.15 ක දුරක් තරණය කිරීමට සමත් විය.
කලෙක පටන් සිදුවන ආකාරයටම ශ්‍රී ලංකා යුධ හමුදාව සමස්ත සූරතාවය දිනා ගැනීමට සමත් විය.පසුගිය වසර දෙකක පමණ කාලයක් ඊට එරෙහිව සැහෙන සටනක් දියත් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පසු බැසිමක් දක්නට ලැබුණ අතර නාවික හමුදාව ඊට සාපේක්සව ප්‍රගතියක් දැක් වීය.
www.supirikrida.com

No comments: