Sep 4, 2012

ජවන හා පිටිය වැඩි දස්කම් බෝගම්බරින්

 මෙවර බන්ධනාගාර මලල ක්‍රීඩා උළෙල අති සාර්ථක ලෙස කොළඹ වෙස්ලි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූ අතර එහිදී පිරිමි සූරතාවය සහ සමස්ත සූරතාවය බෝගම්බර බන්ධනාගාරයට හිමි වූ අතර කාන්තා සූරතාවය වැලිකඩ බන්ධනාගාරයට හිමි විය.මෙහිදී විශේෂත්වයක් ගත්තේ ක්‍රීඩා උළෙලේ සංවිධායක වගකීම කරට ගත් බන්ධනාගිර දෙපාර්තමේන්තුවේ මලල ක්‍රීඩා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරිකවරයා ද වන බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායකයන් ගේ යටි සිතේ තැන්පත්ව තිබූ අදහසකට සුපිරික්‍රීඩා වෙතින් පණ පිඹිමෙන් ඉනික්බිතිව තරගාවලියට ඇතුළත් කරන ලද සිපිරියන්ගේ මීටර් 400 සහ මීටර් 100 ඉසව්වට විශාල ප්‍රතිචාරයක් සහ අවධානයක් හිමි වීමත් ඒ සදහා තරගකරුවන් ඉතා උනන්දුවෙන් සහභාගී වීමත්ය.
තරගාවලියේ ඒ ඒ වයස් ඛාණ්ඩවල දක්ෂතම ක්‍රීඩකයන් තෝරා ගැනීමේදි විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හෙල්ල වීසිකිරීමේ ඉසව්වෙන් 2006 දකුණු ආසියාතික තරගාවලිය නියෝජනය කළ දැනට කුරුවිට බන්ධනාගාරයේ සේවයේ නියුතු කේඒජීසී තිලකරත්න සම්මාන ලැබීය.
මේ වන විට ක්‍රීඩාවට සම්බන්ධ නැතත් තවමත් තාරුණ්‍යයේ පසුවන මෙම ක්‍රීඩකයා මෙහිදි මීටර් 54.22 දක්ෂතාවයක් දක්වමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වෙමින් තමා තුළ තවමත් තාරුණ්‍යය මෙන්ම ක්‍රීඩාවද ඉතිරිව තිබෙන බව පැහැදිළි කළේය.ක්‍රීඩා පවුලකට උරුමකම් කියන හෙතෙම කණිෂ්ඨ තුන්පිම්ම ඉසව්වේ වාර්තාලාභියෙකු මෙන්ම වර්ථමානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකුද වන ඉසුරු උදානගේ සොහොයුරා ද වෙයි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වූයේ බෝගම්බර බන්ධනාගාරය නියෝජනය කළ නිල්මිණි රණසිංහ ය.ඇය මීටර් 100 ඉසව්ව තත්පර 14.7 කින් නිම කර එම ජයග්‍රහණය ලද්දාය.වයස් 35 - 39 අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස බෝගම්බර කේබී අලවත්තේගම දුර පැනීම ඉසව්වෙන් පෑ දක්ෂතාවය හේතු කොට සම්මාන ලබද්දී,එම වයස් ඛාණ්ඩයේ දුර පැනීම කාන්තා ඉසව්වේදී මීටර් 3.59 ක දක්ෂතාවයක් දැක් වූ තුෂාරා රෝෂිණි දක්ෂතම ක්‍රීඩිකාව වූවා ය.40 -44 වයස් ඛාණ්ඩයේ පිරිමි දුර පැනීම ඉසව්ව මීටර් 5.69 ක දුරක් පනින ලද වැලිකඩ ඒඑම් ආරියරත්න එම වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා වෙද්දී,දක්ෂතම ක්‍රීඩිකාව වූයේ දුර පැනීම ඉසව්ව මීටර් 3.49 ක දක්ෂතාවයකින් ජයගත් බෝගම්බර පීකේ පෙතියාගොඩය.
වයස 45 - 49 ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩක සම්මානය දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.21 ක් වාර්තා කළ මඩකළපුව නියෝජනය කළ කේ චන්ද්‍රකුමාර්ට හිමි වූ අතර එම වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රිඩිකාව වූයේ කළුතර නියෝජනය කළ කේකේඑන්එච් රණවීර ය.ඇය යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 6.4 ක දක්ෂතාවයක් දැක් වූවාය.
යගුලිය වීසි කිරීමේ ඉසව්වට වයස 50 - 54 ඛාණ්ඩයෙන් ඉදිරිපත් වූ ඊඑම් සෙනවිරත්නමීටර් 11.00 ක දක්ෂතාවයක් දක්වමින් එම වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩක සූරතාවය බෝගම්බරට දිනා දෙද්දී,එහි කාන්තා සූරිය වන්නට සමත් වූ බෝගම්බරම පීජී අයිරංගනී දුර පැනීමේ ඉසව්වේදී මීටර් 2.9 ක දක්ෂතාවයක් වාර්තා කළාය.55 -59 කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා වූ බදුල්ල බන්ධනාගාරයේ උපාලි ද සිල්වා යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 11.28 ක දක්ෂතාවයක් දැක් වූ අතර එම වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ ඒ මංජුලා කව පෙත්ත වීසි කිරීමේ තරගයේදී මීටර් 12.02 ක දක්ෂතාවයක් දක්වා තිබුණාය.
මෙම තරගාවලියේ දී ධාවන ඉසව් වලදී ඉහළ දක්ෂතා වාර්තා නොවීම පිළිබදව මලල ක්‍රීඩා ලේකම් චන්දන ඒකනායකයන්ගේ මෙන්ම බන්ධනාගාර කොමසාරිස් වරයා ගේද අවධානය යොමු වුණු අතර ඊට හේතුව ලෙස ඔවුන් විසින් නිසි ව්‍යායාම වලින් තොරව සිට තරබාරු වීම සහ බඩ නෙරා ඒම හේතු හැටියට හදුනාගෙන තිබිණ.ඒ තත්ත්වය වෙනස් කර රාජකාරියට යහපත් පෙණුමක් ලබා දීම සදහා මෙන්ම සේවක නිරෝගී බව වර්ධනයට ද නිසි පරිදි  බන්ධනාගාර නිලධාරීන් ව්‍යායාම වලට යොමු කිරීමට කටයුතු කිරිම කෙරෙහි බන්ධනාගාර කොමසාරිස් වරයා සිය අවධානය යොමු කරන බව මෙහිදී ප්‍රකාශ කරන්නට යෙදිණ.
www.supirikrida.com

No comments: