Jul 18, 2012

සේනානායකයේ පාසල් වොලිබෝලයේ නායකත්වය යළිත් සනාත වන ලකුණු


මෑත ඉතිහාසයේ ලාංකේය වොලිබෝලයේ පුනර්ජීවය වෙනුවෙන් චාල්ස් තිලකරත්න නම් අපූරු පුහුණුකරු සහ මාදම්ප සේනානායකය කරන ලද අති මහත් දායකත්වය තවත් පියවරක් ඉදිරියට ගෙන යෑමට සූදානම් බව පසක් කරන බවක් මේ වසරේ ඩීඑස්අයි පාසල් වොලිබෝල් අවසාන තරග සදහා තේරී ඇති කණ්ඩායම් දෙස බැලීමේදී තේරුම් ගැනීම අපහසු නැත.බොහෝ වසර වල මෙන්ම මේ වසරේද තේරී පත් වී සිටින පාසල් කණ්ඩායම් දෙස නිරීක්ෂණයේ දී මාදම්ප සේනානායකය බාලක අවුරුදු 14 න් පහළ,16 න් පහළ සහ 18 න් පහළ යන අවසාන තරග තුන සදහාම තේරී තිබීම විශේෂත්වයකි.
අවුරුදු 14 න් පහළ බාලක තරගයේදී සේනානායකයේ ප්‍රතිවාදීන් වන්නේ සීදුව දවිසමර විද්‍යාලය වන අතර අවුරුදු 16 න් පහළ තරගයේදී සේනානායකයේ ප්‍රතිවාදීන් වන්නේ වෙන්නප්පුව ජෝෂප්වාස විදුහලයි.අවරුදු 18 න් පහළ වොලිබොල් බාලක තරගයේදී එකට හමු වන්නේ සේනානයකය සහ නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල යි.එම වයස් කාණ්ඩයේ මිනි වොලිබෝල් තරගයේ අවසාන තරගයට හුංගම විජයබා විද්‍යාලය සහ ගලපිටමඩ වලගම්බා විද්‍යාලය සුදුසුකම් ලබා ති‍බෙනවා.
සේනානායකය හැරුණු විට බාලිකා අංශයේදී අවසාන තරග වලට පිවිසි කණ්ඩායම් දෙකක් දකින්නට ලැබෙනවා.ඒ පුවරසංකුලම විදුහලයි.අනුරාධපුරය නියෝජනය කරමින් පැමිණෙන මෙම විදුහලට අවුරුදු 12 න් පහළ බාලිකා අවසාන තරගයේදී හමුවන්නේ රක්වාන රත්නාලෝක විද්‍යාලය වන අතර ඔවුන් මෙම අවසාන තරගයට අලුත් වුව ද දිගින් දිගටම බාලිකා මිනි වොලිබෝල් සූරතාවයට වග කියූ කැන්දපොළ විද්‍යාලය ට මග පෙන් වූ පුස්සැල්ලේ පඤ්ඤාසේකර හිමියන් ගේ මග පෙන්වීමෙන් වීම පුවරසංකුලම පුංචි දැරියන්ට අපහසුතාවයක් දනවනවාට සැක නැහැ.
පුවරසංකුලම විද්‍යාලයට අවුරුදු 14 න් පහළ අවසාන තරගයේදී හමු වන්නේ ගලිගමුව කොබ්බෑකඩුව කීර්තිරත්න විද්‍යාලය වන අතර මෙවර සබරගමුවේ දක්ෂතා වල කැපී පෙනීම සහතික කිරීමටත් එය කදිම උදාහරණයක් ලෙස දැක්විය හැකියි. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අවසාන තරගයට පැමිණ තිබෙන කීර්තිරත්න විද්‍යාලය මෙන්ම රක්වාන රත්නාලෝක සහ ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය ද ගත් විට සබරගමුවේ අවසාන තරග නියෝජනය කරන කණ්ඩායම් ප්‍රමාණය තුනක් වෙනවා.නමුත් වයඹ තව දුරටත් තරගාවලියේ වොලිබෝල් ආධිපත්‍යයේ හිමිකරුවන් ලෙස වැජඹෙන අතර සේනානායකයට අමතරව, ධම්මිස්සර,තොඩුවාව ශාන්ත අන්තෝනි,වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය සහ ආනමුඩුව මධ්‍ය මහා විද්‍යාලය ආදී කණ්ඩායම් සියල්ලම වයඹට අයත් පාසල් කණ්ඩායම් වෙනවා.
බාලිකා අවුරුදු 16 න් පහළ බාලිකා තරගාවලියේ අවසාන තරගයට ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාල පිවිස සිටින අතර අවුරුදු 18 න් පහළ බාලිකා අවසාන තරගයට පිවිසෙන්නේ තොඩුවාව ශාන්ත අන්තෝනි විදුහල සහ ආනමඩුව මධ්‍ය මහා විදුහල යන කණ්ඩායම්ය. 

No comments: