Jul 16, 2012

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ශුද්ධ වූ හැකියාව කැපී පෙනෙයි

ශුද්ධ වූ හැකියාවෙන් පොහොසත් වූ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවෝ දිනූ ජය සංඛේත සමග
අවුරුදු 14 න් පහළ සූරතාවය දිනූ ශද්ධ වූ පවුලේ ඒ කණ්ඩායම

මෑත කාලින පාසල් දැල් පන්දුවේ රැජිණන් ලෙස කිරුළු පැළද සිටින කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ඒ බව වඩාත් හොදින් තහවුරු කරමින් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවති YES සහ සිසු උදාන දැල් පන්දු තරගාවලියේ කැපී පෙණුනම පාසල බවට පත්විය.මහජන බැංකුව ශ්‍රී ලංකා දැල් පන්දුවේ අන්‍රග්‍රාහකත්වයට සම්ප්‍රාප්ත වීමෙන් ඉනික්බිති පැවති ‍පළමු තරගාවලිය වූ මෙහිදී ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම විද්‍යාලීය පුහුණුකාරිණිය වූ අමල්කා ගුණතිලක සිය සැමියා වන වර්ථමාන කාන්තා ජාතික වොලිබෝල් පුහුණුකරු ආනන්ද වන්නිතිලක සමග එක්ව අවරුදු 14 න් පහළ සිසු උදාන තරගාවලියේ සූරතාවය ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාම ඒ කණ්ඩායමටත් එම වයස් ඛාණ්ඩයේ අනු සූරතාවය එම විද්‍යාලීය බී කණ්ඩායමටත් හිමිකර දෙන්නට සමත් වීම කැපී පෙණින.

ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම
ඉන් නොනැවතුණු එම දෙපළ අවුරුදු 21 න් පහළ  YES තරගාවලියේ තෙවන ස්ථානය සහ සිව්වන ස්ථානයට එම විද්‍යාලීය ඒ සහ බී කණ්ඩායම් ගෙන එද්දී එම වයස් ඛාණ්ඩයේසූරතාවය දිනූ මෙවර ඕස්ට්‍රේලියාවේ පැවත් වු චැටර්ලි ජාත්‍යන්තර පාසල් වොලිබෝල් තරගාවලියේ රතු අංශයේ සූරියන් වෙමින්  එම තරගාවලි ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව ලද විශාලතම ජයග්‍රහණය අත්කර දුන් ශ්‍රී ලංකා පාසල් දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය වූයේ ද අමල්කා යි.
මේ තත්ත්වය තව දුරටත් කැපී පෙනෙන්නට තිබුණු YES අවසාන තරගයක් තරග සංවිධාන කමිටුව තරග කාල සටහන පිළිබදව නිසි අදහසක් දක්වන්නට අපොහොසත් වූ අවසාන පූර්ව තරගයක් ලෙස ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම සහ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ  කණ්ඩායම අතර පැවත්වීමෙන් වැළකී ගිය අතර එහි දී ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම ජය ගත්තේ  ලකුණු 23/21 ලෙස ඉතා තියුණු තරගයකින් අනතුරුවය.එහි දෙවන අවසාන පූර්ව තරගයට පිවිසි යාපනය යුනියන් විද්‍යාලය සහ ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාම බී කණ්ඩායම අතර තරගයේදී ද ශුද්ධ වූ පවුලේ බී ක්‍රීඩිකාවන් පරාජයට පත් වූයේ 24 / 23 ක් ලෙසය.මේ නිසා අවසාන තරගය ඒක පාර්ශවික මුහුණුවරක් ගත් අතර තරගය නිමා වෙද්දී යාපනය යුනියන් විද්‍යාලය ලබා සිටියේ ලකුණු 11 ක් පමණි.ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම ලකුණු 40 ක් ලබා සිටියේය.
යාපනය කණ්ඩායමක් අවසාන තරගයට පිවිසීමෙන් යාපනයේ ක්‍රීඩාවේ වර්ධනය පෙන්වීමේ දේශපාලන න්‍යාය පත්‍රයකට අදාළ සිතුවිල්ලකින් එය ක්‍රියාත්මක වූයේ නම් කා තුළ වුව තිබිය හැක්කේ සිය පෞද්ගලිකත්වය වටා රැස් වළල්ලක් පළදවා ගැනීමේ අවශ්‍යයතාවය පමණක් විය යුතුය.එය මෝරා ගිය ප්‍රායෝගික වූ දේශපාලනික හෝ ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිළිබද හැගීමක් නොවන බව කිව යුතුය.
යාපනයේ දෙමළ ජනතාව අහිමි දෙයක් ඉල්ලා සිටීමට වඩා සටන් කළේ අයිති දේ නොලැබීමට විරුද්ධව බව යුද්ධය නිමා වී පශ්චාත් යුධ තත්ත්වයට පැමිණි විට එහි මූල බීජ ස්පර්ශ කරන අය සෘජුව නොකීවාට වහෙන් ඔරෝ හෝ පිළිගත යුතු තත්ත්වයට පැමිණ සිටින බව සියළු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් තුළ පැහැදිළිව දැකීමට හැකිය.එවැනි තත්ත්වයක් තුළ ඔවුන් ට අවශ්‍යය සහය ලබා දී ඔවුන් පිළිබද නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමට සහ සම පිලිගැනීමක් ලබා දීම හැරෙන්නට අගතියට පත් පාර්ශවයක් ලෙස සළකා විශේෂ ප්‍රචාරණ ආකර්ශණයක් ලබා දීමට සහ එයින් වෙනත් වාසි අත් කර ගැනීමට වෙහෙස දැරීම තුළ සිදු වන්නේ ඔවුන් තව දුරටත් දෙවන පංතියේ තබා ඔවුන්ව අගතියට භාජනය කිරීම පමණක් බව  දැල්පන්දු ක්‍රීඩාවේදී පමණක් නොව සියළු ක්‍රීඩාවන් හී දී නිශ්චය කර ගත යුතුය.එසේ නොවන අවස්ථාවකදී ඇති විය හැකි එකම දෙය මේ තරගයේදී ද දැක ගන්නට ලැබුණු අතර අවසාන තරගය බලා සිටි බොහෝ පිරිසට යාපනයේ ක්‍රීඩිකාවන් පිළිබදව ඇති විය යුතු ඇගයීමේ සංකල්පය වෙනුවට ඇති වූයේ 'අනේ අපොයි පව්' වැනි හැගීමක් වූ අතර ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමේ තරග රටාව තුළ යාපනය ක්‍රීඩිකාවන්ට ද වැඩි වේලාවක් තරගය නරඹන්නන් ලෙස කටයුතු කරන්නට සිදුවීම තුළින් ඔවුන් තුළ ඇති වූ ආත්මීය බිද වැටීම සහ අපේක්ෂා භංගත්වයත්,තමන් සහ දකුණ අතර ඇති දුරස්තතාවය පිළිබද හැගීමත් පශ්චාත් යුධ සමය තුළ නැගෙමින් සිටින ඊ ළග පරම්පරාව තුළ රෝපනය නොවිය යුතු තත්ත්වයක් බව සුපිරික්‍රීඩා විශ්වාස කරයි.
කෙසේ වුව ද දැල් පන්දු අතුරු කමිටුව මහජන බැංකුවේ ආධාරය ඇතිව සංවිධානය කරන්නට යෙදුණ මෙම තරගාවලිය මහජන බැංකුව දිනූ ජන හදට හොද ආයෝජනයක් වීමට අවශ්‍යය වට පිටාව සකස් කළ බව නොකියාම බැරිය.නමුත් මෙම තරග වල දී පැහැදිළිව දර්ශනය වූ කරුණු ගණනාවක් නිරීක්ෂණය කිරීමේදී තරගයේ වේගයට අනුව ක්‍රියා කළ හැකි විනිසුරුවන් ප්‍රමාණයේ හිග බවක් දකින්නට තිබුණු බව පැහැදිළි විය.එවැනි බරපතළ සිදුවීම් ඇති නොවූ තත්ත්වයක් තුළ එම අදහස අසුභවාදී ලෙස භාර ගැනීමට සහ සෘන අදහස් පමණක් වැගිරීමක් ලෙස ගැනීම පරිපාලනයේ බුද්ධියට පැවරෙන අතර එය භාර ගන්නා ස්වභාවය අනුව ඉදිරියේදී විනිශ්චය සම්බන්ධයෙන් විහාල ගැටළු ඇති වීම හෝ ඇති වීමට ඇති ඉඩ නවතා ගැනීම යන කාරණා දෙකෙන් එකක් සිදු විය හැකි බව පමණක් අපි මතක් කර දෙන්නෙමු.
විශාල ඓතිහාසික ආයෝජනයක් සමග පැමිණ සිටින මහජන බැංකුව මේ ක්‍රීඩාව හරහා ආකර්ශනීය කිරීමේ වගකීම දැල් පන්දු පරිපාලනය ශුද්ධ වූ අයිතියක් ලෙස භාර ගත යුතු අතර ඊ ළග වසරේ මේ තත්ත්වය තව දුරටත් වර්ධනය කර ගැනීම සහ තවත් උප අනුග්‍රාහක ආයතන හරහා දැල් පන්දුවට විශේෂිත වූ අනුශාංගික කාරණා වර්ධනය කර ගැනීමටත් ඇති හැකියාව පිළිබදව අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් ය.ඒ නිසා මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමේ දී එහි පළමු අංකයේ සිට අවසාන අංකය දක්වා වන සැම සංවිධාන කටයුත්තකම පෙළ ගැස්ම දැල් පන්දුම විය යුතුය.ඒ පෙළ ගැස්ම පෙළින් පෙළට සාක්ෂාත් කර ගැනීමට කැප වෙන පිරිස ගේ හද ගැස්ම තුළ ද ඒ අවබෝධය,හැගීම සහ උවමනාව තිබීම ඉතා වැදගත්ය.
විශේෂයෙන් තමාරා ධර්මකීර්ති යනු ක්‍රීඩා පරිපාලනයේ ජාතික රාමුව බිද දමා ඉන් ඉදිරියට පියවරක් තැබූ අයෙක් වීම තුළ ලැබෙන ප්‍රතිරූපය ඇයට තනිව රැක ගැනීමට නොහැකිය.එය ඇය මෙන්ම ඇය වටා පොදු බැද සිටින සියල්ලෝද දත යුතුය.ඊ ළග පියවරේ දී ඇයගේ ප්‍රතිරූපය පෝෂනය වන්නේ දැල් පන්දුවේ පෝෂණයට සාපේක්ෂව බව තෙරුම් ගත යුතු අතර ඇතැම් විට ක්‍රියාකාරීත්වයන් අනුව එයද කූ පෝෂණ තත්ත්වයන්ටද මුහුණ දිය හැකිය.ඒ නිසා ඉදිරිය ඉතා වැදගත් අතර පසුපස බැලීම මේ මොහොතේ වටින්නේ අතපසු වූ දේ දැක ඉගෙන ගන්නට මිස යට ගියාවේ අමිහරි අතුදැකිම් සමග තව දුරටත් පොර බදිමින් සිටින්නට නොවන බව කිව යුතුය.දක්ෂයා නිවැරදිව තොරා ගැනීමට දක්ෂකමම පමණක් සළකා බැලීම වටිනා බව මේ ගමනේ පූර්වාදර්ශ පාඨය විය යුතු අතර ලංකාවේ කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස ජාත්‍යන්තර තලයට යා හැකි ලෙස හදුනා ගෙන තිබෙන ප්‍රබලතම කාන්තා ක්‍රීඩාව ලෙස දැල් පන්දු ක්‍රීඩාවට රැදී සිටීමට වාරු විය හැක්කේ එයට පමණි.
YES සහ සිසු උදාන තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නාවලපිටිය නගරාධිපති නිශාන්ත රණසිංහ සහභාගි වූ අතර ක්‍රීඩා අමාත්‍යංශය නියෝජනය කරමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි සහභාගි වූවාය.මහජන බැංකුව නියෝජනය කරමින් එහි වෙළද සහ මහජන සම්බන්ධතා අංශයේ ප්‍රධානි දීපාල් අබේසේකර ඇතුළු විධායක මට්ටමේ නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී විහේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීමක් සිදු වූ අතර YES තරගාවලියේ දක්ෂතා සැළකිල්ලට ගෙන තරගාවලියේ දැල්පන්දු රැජිණ ලෙස අභිෂේක ලැබුවේ ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු කණ්ඩායමේ උප නායිකා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ගිම්හානි ගයාංජලී අමරවංශ ය.YES කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ශ්‍රී ලංකා පාසල් දැල් පන්දු කණ්ඩායම  නියෝජනය කළ මාතර සුජාති බාලිකාවේ දුමිදුනී යශෝධා ය.දක්ෂතම විදින්නිය වූයේ එම කණ්ඩායමට කළුතර බාලිකා විද්‍යාලයෙන් සම්බන්ධ වි සිටින ඉනෙරා ජයසුන්දර ය.YES කාණ්ඩයේ දක්ෂතම රකින්නිය ලෙස ශිවලිංගම් කීර්තිකා සම්මානනීය වූ අතර ඇය යාපනය යුනියන් විදයාලයේ ක්‍රීඩිකාවකි.දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස ඇගයීමට පාත්‍ර වූයේ කුරුණැගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ තිළිණි ශෂිකලා ය.
අවුරුදු 14 න් පහළ සිසු උදාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ අරීනා තිළිණි කුමාරගේ තේරී පත් වූ අතර සිසු උදාන තරගාවලියේ දක්ෂතම රකින්නිය වූයේ ද එම විද්‍යාලයේ සදුනි සාඛ්‍යා ය.එම විද්‍යාලයේම පියුමි ඒකනායක දක්ෂතම විදින්නිය වූ අතර සිසු උදාන තරගාවලියේ තෙවන ස්ථානය දිනූ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ ජේඑම්ඒඑස් ජයසුන්දර දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව වූ අතර තරගාවලියේ සිව්වන ස්ථානය දිනූ අවසාන පූර්ව තරග සදහා සුදුසුකම් ලැබූ බස්නාහිර පළාතේ එකම පාසල වූ කිරිබත්ගොඩ විහාරදේවී බාලිකා විද්‍යාලයේ කවීනා ප්‍රභාෂි පිට පළාත් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස  තේරී පත් විය.
www.supirikrida.com

No comments: