Nov 12, 2013

දකුණු ආසියාවේ යොවුන් සහය දිවීමේ කිරීටය අභියෝගයකින් තොරව ලංකාවට

න්දියාවේ රංචි හී පිහිටි බිර්සා මුණ්ඩා ක්‍රීඩා සංකීර්ණයේදී පැවත්වෙන දෙවන දකුණු ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ දෙවන දිනයේ පැවති සහය දිවීමේ තරග හතරම සිය අණසකට යටත් කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.මීටර් 100 සහය දිවීමේ බාලක තරගය තත්පර 41.42 දී නිමා කළ කළුතර මහා විද්‍යාලයේ හිමාෂ ඒෂාන්,රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ සමිත් ලක්මාල්,කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ මලික් ඛාන් සහ කොළම නාලන්දා විද්‍යාලයේ ඩී සචින්තන එම ඉසව්වේ රන් පදක්කම ලංකාවට දිනා දුන් අතර එම බාලිකා ඉසව්වේදී පානදුර සුමංගල බාලිකාවේ සාරංගි සිල්වා,මහනුවර උසස් බාලිකාවේ චලනි දිසානායක,කොළඹ කාන්තා විද්‍යාලයේ ශලිනි එලිසබෙත් ප්‍රනාන්දු සහ කෑගල්ල සාන්ත ජෝෂප් බාලිකාවේ රුමේෂිකා කුමාරි රත්නායක යන ක්‍රිඩිකාවන් රන් පදක්කම සදහා සුදුසුකම් ලැබුවේ තත්පර 47.31 ක දක්ෂතාවයක් දක්වමින්ය.
මීටර් 400 බාලක සහය තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගත් වූයේ විනාඩි 3:15.46 ක් පමණි.එම ජයග්‍රහණය සදහා මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ විනුර ලක්මාල්,හොරණ තක්ෂිලා විද්‍යාලයේ ලහිරු ප්‍රසංජිත් සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ හර්ෂ චතුරංග සමග මීටර් 100 සහය තරගය නිමා වී පැය භාගයක් ඇතුළත තවත් රන් පදක්කමකට දායක වූ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ සමිත් ලක්මාල් ඇතුළත් වූහ.මීටර් 400 බාලිකා සහය තරගයේදී රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ වත්සලා කුමාරි,වලල ඒ රත්නායකයේ කාන්චනා කුමාරි,කතළුව විද්‍යාලයේ නිර්මලී මධුශිකා සහ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවේ ශිවන්ති කුමාරි රත්නායක විය.
එසේම ශ්‍රී ලංකාවේ නවතම කඩුළු පැනීමේ බලාපොරොත්තුව වන සුපුන් විරාජ් රන්දෙණිය නැවත වරක්  මීටර් 110 කඩුළු ඉසව්වේ දක්ෂතාවය තත්පර 14 න් මෙපිටට ගෙන එමින් දස්කම් දැක් වු අතර ඔහු එම ඉසව්ව ජය ගැනීමට තත්පර 13.64 ක කාලයක් ගත කළ අතර රත්නපුර කුමාර විද්‍යාලයේ මලින් උදය කුමාර ඔහු පසු පසින් ඉද තත්පර 14,41 ක දක්ෂතාවයක් සමගින් එහි දෙවන ස්ථානය දිනා ගැනීමද කැපී පෙණින.කාන්තා කවපෙත්ත වීසි කිරීමේ ඉසව්ව මීටර් 41.65 ක දක්ෂතාවයක් සමග ශ්‍රී ලංකාවට දිනා ගැනීමට අපහසු රන් පදක්කමක් දිනා දීමට කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අමන්ති සිලිවා සමත් විය.පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ පූර්නිමා ජයමාලි බාලිකා උස පැනීමේ රන් පදක්කම දිනා ගත්තේ මීටර් 1.68 ක උසක් වාර්තා කරමින්ය.ශ්‍රී ලංකාවේ කෙටි දුර දිවීමේ අනාගතය භාර ගැනීමට සූදානමින් සිටින කළුතර විද්‍යාලයේ හිමාෂ ඒෂාන් මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 21.44 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින්ය.
ඒ අනුව හිමාෂ ඒෂාන් සහය දිවිමේ බාලක රන් පදක්කම් දෙකකට දායක වූ සමිත් ලක්මාල් මෙන්ම රන් පදක්කම් දෙකක උරුමක්කාරයෙක් වූ අතර බාලිකා අංශයේදී ශිවන්ති කුමාරි රත්නායක ද මීටර් 400 සහ එම සහය දිවීමේ රන් පදක්කම් යුගලයට හිමිකම් කිවාය. තරගයේ දෙවන සහ අවසාන දිනය වූ අද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නංවමින්,පැවති තරග ඉසව් 16 න් 8 කම රන් පදක්කම්   දිනා ගෙන ඉන්දියාව සමග සම තත්ත්වයේ සිටින්නට ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩිකාවො සමත් වුහ.අවසාන දිනයේ ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට රිදී පදක්කම් ද 3 ක් හිමි විය.මීටර් 110 කඩුලු ඉසව්වේදී මලින් උදය කුමාර ට අමතරව,ශ්‍රී ලංකාවට මීටර් 7.26 ක දක්ෂතාවයක් දක්වමින් දුර පැනීමේ රිදී පදක්කම දිනා දෙන්නට විනුර ලක්මාල් ට හැකි වු අතර,බාලිකා මීටර් 800 ඉසව්ව විනාඩි 2:8.12 දී නිමා කළ නදීශා රත්නායක ද එම රිදි පදක්කම්වල හිමිකාරයෝ වූහ.
බාලිකා දුර පැනිමේ තරගයේදී මිටර් 5.36 ක දක්ෂතාවයක් දැක් වු සාරංගි සිල්වා එම ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභිණිය වූවාය.විනාඩි 4:02.57 කින් බාලක පිරිමි මීටර් 1500 නිමා කළ ඉෂාර හේමන්ත එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.හිමාෂ රන් පදක්කම දිනා ගත් මීටර් 200 ඉසව්වෙ ජයග්‍රාහි පූවරුව මතට ගොඩ වැදීමට මලික් ඛාන් ද සුදුසුකම් ලබා ගත් අතර ඔහු තත්පර 21.69 ක දක්ෂතාවයක් දැක් වූ ඔහුට ජය සංඛේත ප්‍රදානයේදි ලෝකඩ පදක්කමට හිමි ස්ථානය වෙනුවෙන් සිහ ධජය ඉහළට ඔසවා තැබීමේ හැකියාව ලැබිණ.මීටර් 200 බාලිකා ඉසව්වේ ලෝකඩ පදක්කමද ශ්‍රී ලංකාවට හිමි වූ අතර තත්පර 25.23 කින් එම ඉසව්ව අවසන් කළ රුමේශිකා කුමාරි රත්නායක එම පදක්කමේ උරුමක්කාරිය වුවාය.
මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ දී ලෝකඩ පදක්කම දිනා ගත්තේ ශ්‍රි ලංකාවේ ප්‍රමෝද අබේසිංහ යි.ඔහු එම පදක්කම වෙනුවෙන් වැය කළ කාලය විනාඩි 11:00.26 ක් විය.මීටර් 110 කඩුලු ඉසව්වේ රිදි පදක්කම දිනූ මලින් උදය කුමාර මීටර් 7.14 ක දක්ෂතාවයක් දක්වමින් එහි ලෝකඩ පදක්කමකට හිමිකම් කියූ අතර,මීටර් 44.84 ක දක්ෂතාවයක් දැක් වූ අශේන් ජයවර්ධන ශ්‍රී ලංකාවට කවපෙත්ත ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා දුන්නේය.ඉරේෂානි රාජසිංහ මීටර් 100 කඩුලු ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීම වෙනුවෙන් තත්පර 15.26 ක් වාර්තා කළාය.
තරගාවලියේ අවසාන පදක්කම් සටහන නිර්නයේදී ඉන්දියාව රන් පදක්කම් 20 ක් සහ ශ්‍රී ලංකාව රන් පදක්කම් 10 ක් දිනා සිටි අතර අන් කිසිදු දකුණු ආසියාතික රටකට රන් පදක්කම් දිනා ගැනීමට ඉන්දියාවෙන් සහ ලංකාවෙන් ඉඩ නොලැබීම දකුණු ආසියාතික මලල ක්‍රීඩාවේ අනාගත චිත්‍රයේ ඒකාධිකාරය පේනනුම් කිරීමක් බදුය.නමුත් ශ්‍රී ලංකාව දෙවන තැනට ඇද දමන ඉන්දියාව ශ්‍රී ලංකාව මෙන් දෙගුණයක් රන් පදක්කම් දිනීමද දෙරට අතර ඇති ක්‍රීඩාවේ පරතරය කියා පෑමක් බැවින් අප ද ඉන්දියාවට සමීප වීමටනම් බොහෝ වෙහෙසක් දැරිය යුතු වන බව පැහැදිළි කරන්නේය.
රිදී පදක්කම් ප්‍රමාණයද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රන් පදක්කම් බෙදී ගිය ආකාරයටම බෙදී ගොස් තිබූ අතර එහිදී ද සෙසු රටවලට කිසිදු රිදී පදක්කමක් හිමි වී නොතිබිණ.ලෝකඩ පදක්කම් බෙදි යාමේදී ශ්‍රී ලංකාව ඉන්දියාව අභිබවා සිටි අතර ශ්‍රී ලංකාවට පදක්කම 14 ක් සහ ඉන්දියාවට රන් පදක්කම් 12 ක් හිමි වි තිබිණ බංගලාදේශයට ලෝකඩ පදක්කම් 3 ක් සහ .පකිස්තානයට එක් ලෝකඩ පදක්කමක් හිමි වි තිබිණ.
පිරිමි තරග අංශයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4 ක් සහ බාලිකා අංශයේදී රන් පදක්කම් 6 ක් හිමි වූ අතර  රිදී පදක්කම් බෙදී යාමේ දී බාලක අංශයෙන් රිදී පදක්කම් 6 ක් සහ බාලිකා අංශයෙන් රිදී පදක්කම් 4 ක් හිමි විය. 
ලෝකඩ පදක්කම් බෙදී යාමේදී බාලක අංශයෙන් ඉන්දියාවට පදක්කම් 5 ක් හිමි වී තිබූ අතර ශ්‍රී ලංකාවට පදක්කම් 8 ක් ද බංගලාදේශය සහ පකිස්තානය අතර පදක්කම බැගින් ද හිමි වී තිබිණ.බාලිකා අංශයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පිළිවෙලින් ලෝකඩ පදක්කම් හයක් සහ හතක් ලෙස ය.


No comments: