Nov 10, 2013

වොලිබෝලය වයඹින් සබරගමුවට පෙරලෙන ලකුණු

මෙවර ඩීඑස්අයි සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ අවසාන තරගය නිමාවට පත් වූයේ අනාගතයේ වොලිබෝල් ආධිපත්‍යය වයඹින් සබරගමුවට හුවමාරු විය හැකි බවට ඉගි පළ කරමින්ය.මෙවර වයඹ කණ්ඩායම් අතරින් සූරතා දිනා ගන්නට සමත් වූයේ මාදම්ප සේනානයක සහ ආනමුඩුව මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම් පමණි.නිරන්තරයෙන් ඩීඑස්අයි වොලිබෝල් සූරතාවයන් සමග නම ඈදෙන නාත්තණ්ඩිය ධම්මිස්සරයට මෙවර හිමි වූයේ අනු සූරතා දෙකකි.ඔවුන්ගේ සම්ප්‍රදායික වොලිබෝල් එදිරිවාදියා වන මාදම්ප සේනානයකයට මෙවර අවසාන තරග එකක් පමණක් හිමි වූ අතර එහිදි ඔවුන් ධම්මිස්සරය දන ගස්වා අවුරුදු 14 න් පහළ සූරතාවය දිනා ගැනීමට සමත් විය.
සබරගමුව වෙනුවෙන් පෙරට පැමිණි රුවන්වැල්ල රාජසිංහ ය අවුරුදු 16 න් පහළ සූරතාවය සීදුව දවිසමර විද්‍යාලයෙන් උදුරා ගන්නට සමත් විය.ගලපිටමඩ මධ්‍ය මහා විද්‍යාලය අවුරුදු 16 න් පහළ සූරතාවය දිනා ගත්තේ ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයට එරෙහිවය.මෙම පාසල් දෙකම සබරගමුවට අයත් ඒවා විය.ලාංකේය වොලිබෝලයේ චිවර ලකුඛ බවට පත් වී සිටින පුස්සැල්ලේ පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේගේ මග පෙන්වීම ලද රක්වාන රත්නාලෝක විද්‍යාලය ඉදිරියේ පසු බැවේ ප්‍රකට ධම්මිස්සරය ය.ඒ අනුව රක්වාන රත්නාලෝකයට අවුරුදු 14 න් පහළ බාලිකා සූරතාවය හිමි විය.
අවුරුදු 18 න් පහළ බාලක අවසාන තරගයට 16 න් පහළ බාලක අවසාන තරගයට සේම වයඹ කණ්ඩායම් නුසුදුසු වී තිබිණ.ඒ සෙසු පළාත් කණ්ඩායම් ඉදිරියේ පරාජය වීම හේතුවෙන්ය.
එහිදී සිදුව දවි සමර තමන්ට ලැබුණු අවසාන තරග දෙකෙන් එකක් පරාජය වී සිටීමේ වාඩුව පියවා ගත්තේ මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයෙනි.ඔවුන් වට 3 - 0 ක් ලෙස මාරිස්ලේලාව පරාජය කළ අතර අවුරුදු 18 න් පහළ බාලිකා අවසාන තරගයේදි වයඹ කීර්තිය රැක දුන් ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය සහ තොඩුවාව ශාන්ත අන්තෝනි විද්‍යාලය අවසාන තරගයට පිවිස සිටියහ.එහිදී තොඩුවාව පරාජය කළ ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය අවුරුදු 18 න් පහළ බාලිකා සූරියෝ වූහ.
ඒ අනුව වයඹ වෙනුවෙන් මාදම්ප සහ ආනමඩුව සූරතා දෙකක් ලබද්දි ධම්මිස්සරය අනු සූරතා දෙකක් ද,තොඩුවාව ශාන්ත අන්තෝනි විද්‍යාලය එක් අනු සූරතාවයක් ද දිනා ගත්තේය.සබරගමුවට සූරතා තුනක් හිමි විය.ගලිගමුව මධ්‍ය මහා විද්‍යාල බාලිකාවන්ට අවුරුදු 16 න් පහළ බාලිකා සූරතාවය හිමි වූ අතර,අවරුදු 14 න් පහළ බාලිකා සූරතාවය හිමි වූයේ රක්වාන රත්නාලෝක විද්‍යාලයටය.අවුරුදු 16 න් පහළ පිරිමි සූරතාවය රුවන්වැල්ල රාජසිංහ දිනා ගනිද්දී අවුරුදු 16 න් පහළ බාලිකා අනු සූරතාවයද සබරගමුවට රැගෙන යාමට අහැලියගොඩ ධර්මපාල විද්‍යාලයේ බාලිකාවෝ සමත් වුහ.
සුපිරික්‍රීඩා තරගාවලිය වෙනුවෙන් වෙනම බ්ලොග් පිටුවක් ක්‍රියාත්මක කරමින් සජීවී ලකුණු වාර්තාකරණයේ යෙදෙන්නට ක්‍රියා කළ අතර පළමු දිනයේත් අවසාන දිනයේ පසු භාගයේත්  ඇති වූ යම් තාක්ෂණික දුබලතා නිසා එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ ගැටළු වලට මුහුණ දුන්නේය.කෙසේ හෝ ඩීඑස්අයි දායකත්වය නිසා රට තුළ සාම්ප්‍රදායික වොලිබෝල් සූරයන්ගේ කිරීට සසැලෙමින් තිබෙන බව පැහැදිළි අතර එය පාසල් මට්ටමෙන් දක්ෂතා ව්‍යාප්ත වෙමින් තිබෙන බව පැහැදිළි කර ගන්නට මෙවර තරගාවලියේ පිංතූරය ප්‍රමාණවත්ය.දැනට විශාල වශයෙන් බොක්සිං පිබිදීමක් දක්නට ලැබෙන රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශයන් හි හැකියාවන් පෙන්වා ඇති පුහුණුකරුවන් ඇගයීම මෙන්ම ඔවුන් පදනම් කර ගත් පාඨමාලා මගින් වොලිබෝල් ක්‍රීඩාව තව දුරටත් එම ප්‍රදේශවල ශක්තිමත් කිරීමත් එම ප්‍රදේශවල අධයාපන බලධාරීන්  සිය වගකීමක් කොට තකන්නේ නම් එලැඹෙන වර්ෂය තව දුරටත් තරගකාරි ආස්වාදජනක තරගාවලියක් වන බවට සැක නැත.
ඩීඑස්අයි ඇතැම් විට අනුග්‍රාහකයාගේ භූමිකාව ඉක්මවා යමින් ජාතික ක්‍රීඩාවේ අභිවෘද්ධීය පිණිස කැපවෙමින් සිටින බව දැකිය හැකි අතරඑම ආයතනයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෝමවංශයන් වර්ථමාන වොලිබෝල් පරිපාලනයේ භාණ්ඩාගාරිකවරයා ලෙස කරනු ලබන සේවය ඊට කදිම නිදසුනක්ය.නමුත් රොහාන් හුදෙකලා නිල තනතුරක් ලෙස ගෙන බැලූ විට ඩීඑස්අයි හුදු අනුග්‍රාකයෙක් කොට සිතා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තින්දු,තීරණ සහ සැළසුම් සකස් කර ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශයට,ක්‍රීඩා අමාත්‍යංශයට සහ වොලිබෝල් ක්‍රීඩාවේ ජාතික පරිපාලනයට ඇති උවමනාව සහ උනන්දුව ප්‍රමාණාත්මක වන්නේ නම් ඩීඑස්අයි වැනි ශක්තිමත් අනුග්‍රාහකයෙකුගේ මැදිහත් විම ජාතික ක්‍රීඩා‍ව මීට වඩා බබලවන්නට හේතු වන්නට තිබිණ.
ඡායාරූපයේ දැක්වෙන්නේ අවුරුදු 16 න් පහළ බාලිකා සූරතාවය දිනා ගත් ගලගමුව මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා අතින් අදාළ කුසලානය ලබා ගත් අවස්ථාවයි.එම අවස්ථාවට එක් වූ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභ සාධන ඇමති ඩිලාන් පෙරේරා,ඩීඑස්අයි ආයතනයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෝමවංශ,සබරගමුව පළාත් සභා මංත්‍රී කාංචන ජයරත්න සහ වෙළද සේවා වොලිබෝල් සංගමයේ ලේකම් එස්ඒ නාලක ද ඡායාරූයේ වෙති. 

No comments: