Jun 29, 2013

ගේලගේ ප්‍රහාරයෙන් ලක් පවුර බිද වැටෙයි

Chris Gayle scored a hundred off 89 balls
කිංග්ස්ටන් තණතීරුවේ ඉහළම දක්ෂතා දක්වා ඇති පිතිකරුවා ලෙස සැළකෙන ක්‍රිස් ගේල් පන්දු 100 කින් ලකුණු 129 ක් රැස් කරමින් දියත් කළ ප්‍රහාරාත්මක ඉණිම නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 208 ක් රැක ගැනීම සදහා කරන ලද සියළු වෑයම් නිශ්පල වූහ.කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ඩ්වේන් බ්‍රාවෝ පළමුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකාවට කළ ආරාධනයේ අභියෝගය මැනිවින් භාර ගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ මහේල ජයවර්ධන සහ උපුල් තරංග පළමු කඩුල්ල සදහා ප්‍රවේශම මෙන්ම ආක්‍රමණයද මුසු වූ ලකුණු 62 ක සබදතාවයක් පැවත් වූ නමුත් ඔවුන්ගේ ඉවත් වීමෙන් ඉනික්බිති ශ්‍රී ලංකා ඉණිම මන්දගාමී හැඩයක් ගත් අතර අංක 6 සිට 11 දක්වා කිසිදු පිතිකරුවෙක්ට ලාංකේය ලකුණු පූවරුව ඉහළ නැංවීම සදහා ඉලක්කම්  දෙකේ ලකුණු ප්‍රමාණයකින් දායන වන්නට නොහැකි විය.

නායක ඇන්ජලෝ මැතිව්ස් පමණක් ක්‍රිස් ගේල් විසින් අත හරින ලද උඩ පන්දුව ආශිර්වාදයක් කර ගනිමින්  ශ්‍රී ලංකාව ලකුණු 200 සීමාවට රැගෙන යමින් නොදැවී ලකුණු 55 ක් ලැබූ අතර මහේල ජයවර්ධන ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කරමින් පන්දු 52 ක් තුළ ලකුණු 52 ක් ලැබීය.ශ්‍රී ලංකා පිතිකරුවන්ට මහත්ම හිසරදයක් වූ සුනිල් නරායින් ලකුණු 40 ට කඩුලු 4 ක් දවා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ පිතිකරුවන් කොදෙව් පන්දු රකින්නන්ට වැඩි වෙහෙසක් නොදී ඔවුන්ගේ දෝත් තුළම උඩ  පන්දු තැන්පත් වන සේ පහර එල්ල කරමින් දුර්වල පිතිකරණයක් විදහා දැක් වූහ.
පිළිතුරු ඉණිමට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරු යුගලය අතරින් ජොන්සන් චාල්ස් යම්කිසි ආකාරයක පීඩනයකට ලක් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුව ද,ක්‍රිස් ගේල් අනෙක් අන්තයේ සිට පන්දු යවන්නන් සිය පාලනයට යටත් කර ගත් නිසා චාල්ස්ට අනවශ්‍යය කළබලයකින් තොරව කඩුල්ල රැක ගනිමින් ගේල් ට අවශ්‍යය සහය ලබා දීමට හැකි විය.ඒ නිසා පළමු කඩුල්ල ලෙස චාල්ස් දැවී යන විට කොදෙව් ලකුණු පූවරුව ලකුණු 115 දක්වා ඉහළ ගොස් තිබිණ.ගේල් දෙවැන්නා ලෙස දැවී යන විට ලකුණු පූවරුව 181 වූ අතර ගේල් ඉන් ලකුණු 129 ක් ම ලබා සිටියේය.ඒ අනුව ගේල් ගේ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රමාණය ඉක්මවා යාමට කොදෙව්වන්ට පන්දු ඕවර් 37.5 ක් ප්‍රමාණවත් වූ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් අජන්ත මෙණ්ඩිස්,නුවන් කුලසේකර සහ රංගන හේරත් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට මෙම http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/match/597923.html සබදතාවය යොදා ගෙන පිවිසිය හැකි අතර කොදෙව්වන්ට ප්‍රසාද ලකුණු ද සමග කඩුලු හයක ජයග්‍රහණයක් ලබා ගැනීම සදහා පසුබිම සකස් කරමින් ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කළ ක්‍රිස් ගේල් විවාදයකින් තොරවම තරගයේ වීරයා විය.

No comments: