Sep 1, 2012

සිංගප්පූරුව දිනුවා නොව ශ්‍රී ලංකාව පැරදුණා

හුදෙකලා සටන්කාරිය තර්ජණී සහ අවස්ථාවක් නොලද අසුන්වලට හිර කළ ශසිකා,මරීෂා සහ සමන්ති

ටවන ආසියානු දැල් පන්දු තරගාවලිය නිමාවට පත් වූයේ හත්වන ආසියානු සූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු රැජිණන් ලෙස අත් කර ගෙන සිටි කීර්තිය සිය රටේදීම සිංගප්පූරුවට පැවරීමට සිදුවීමේ ඛේදණීය අත්දැකීමත් සමගය.තරගාවලියේ මුල සිටම තරගයෙන් තරගයට සැළසුම් වෙනස් කර තරග වැදීමේ හැකියාවක් පෙන්නුම් කළ කැතී කාපෙන්ටර් ගේ පුහුණුකාරිත්වය සිංගප්පූරුවට අපූරු ශක්තියක් වී තිබුණ ද,ශ්‍රී ලංකා කණ්ඩායම යකා ළග ද,දෙවියා ළග ද එක ලෙස හැසිරෙන එකම රටාවක හිර වී මෙම තරගාවලිය පුරාම ක්‍රීඩා කිරීම කැපී පෙණින.
සම්පූර්ණයෙන් ලොව හොදම දැල විදින්නිය වූ තර්ජණි සිවලිංගම් මත යැපුණු ශ්‍රී ලංකාව ඇය වෙත පන්දුව රැගෙන ඒමට අවශ්‍යය ගමන් මාර්ගය ශක්තිමත් නොකර තරග වැදිම මෙන්ම ප්‍රතිවාදීන්ට සිය දැල වෙත පන්දුව රැගෙන ඒමට නොහැකි ලෙස ආරක්ෂාව තර කර නොතිබීම පිළිබදව මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකාවේ දැඩි අඩු-පාඩුවක්ව පැවතිණ.
හත්වන ආසියානු කුසලානය දිනා දීමෙන් ඉක්බිතිව,ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබද්දි,ඒ සදහා මග හසර සකස් කළ පුහුණුකාරිය තිලකා ජිනදාස ටඑම තනතුර අහිමි කිරීමට පසුබිම සකස් කළ එවකට දැල් පන්දු ලේකම්වරිය වූ දමයන්ති ජයසූරිය තිලකාගේ හැකියාව හැදින් වූයේ තර්ජණී සිටිනවා නම් ආසියාව ජය ගැනීම අපහසු නැත යනුවෙන්ය.නමුත් ඇය විසින් ඉතා ප්‍රසිද්ධියේ වර්ණනා කරමින් මෙරට අති දක්ෂ පුහුණුකාරිණිය බව කී හයසින්ත් විජේසිංහට පුහුණුකාරිණියක් නැතිව හෝ තරග දිනා දිය හැකි ක්‍රීඩිකාවක් සිටින කණ්ඩායමකින් ආසියාව ජය ගැනීමට නොහැකි වි තිබීම විශාල ඛේදවාචකයකි.
එම කාර්යය සදහා පසුබිම සකස් කරමින් තිලකාව ඉවත් කිරීමේ අවශ්‍යයතාවය මත පුහුණුකාරිය තේරීම සදහා වන සම්මුඛ පරීක්ෂණයේ සුදුසුකම් කවරේද යන පරිපාටිය සැකසූ අය තිලකා ව ඉවතට තල්ලු කරද්දී ඒ සදහා තරගකාරියක ලෙස ඉදිරිපත් ව එම සම්මුඛ පරික්ෂණය  ඉහළින්ම අගය කළ දීප්ති අල්විස් ට ඒ වෙනුවෙන් සහය පුහුණුකාර ධූරය දිනා ගැනීමට හැකි වූ අතර ඊට අමතරව ඇයගේ දුව ආසියානු අවසාන තරගයක කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨම ක්‍රීඩිකාවක වන ශසිකා සමරසිංහ වෙනුවට කාර්තු තුනක් ක්‍රීඩා පිටියේ රැදවීමට ද භාග්‍යය ලැබිණ.
ක්‍රීඩා අමාත්‍යවරයා විශාල ලෙස මෙම කණ්ඩායමට ආශිර්වාදයක් වූ අතර ජාතික දැල් පන්දු කණ්ඩායමක් ලද විශාලතම අනුග්‍රහය මෙම කණ්ඩායමට හිමි වූ අතර විශාල ධනයක් වැය කරමින් ශ්‍රී ලංකාවේ පැවත්වෙන මෙම තරගාවලියේදී ආසියානු සූරතාවය ශ්‍රී ලංකාවේ රදවා ගැනීමට අවශ්‍යය පසුබිම සැකසීමට ක්‍රීඩා අමාත්‍යංශය විශාල මුදලක් වැය කළේය.අප වෙබ් අඩවිය සිංගප්පූරු සය ජාතින් අතර තරගාවලියේ ශ්‍රී ලංකාව ලද දැවැන්ත පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ වන විට ඉවත්ව සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ගෙන ඒමට අවශ්‍යය පසුබිම ක්‍රීඩා අමාත්‍යවරයා සමග සාකච්ඡා කරමින් සකස් කළ අතර ඒ අනුව පැමිනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අතරින් කිහිප දෙනෙකුටම තිලකා ජිනදාසට සමීප ක්‍රීඩිකාවන් වීම හේතු කොට ගෙන පල නොකියා පලා බෙදන්නටත්,ඇතැමෙකු වෙනත් හේතු පෙන්නා ඉවත් කිරීමටත් කටයුතු කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින සුපිරිතම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවක් ලෙස අවිවාදිත අකිලා ජයවර්ධන කණ්ඩායමට වැද්ද නොගෙන එළියට දැමුණු අතර ප්‍රෙසිලා කොක් ගේ ආබාධිත තත්ත්වයක් හේතු කර ගනිමින් වෙනත් ආබාධිත තත්ත්ව වල සිටි ක්‍රීඩිකාවන්ට නොදමන නීතිමය තත්ත්වයන් වලට ඇය යටත් කිරිමට ගන්නා උත්සාහයන් නිසා ඇය කණ්ඩායමෙන් ඉල්ලා අස්විය.
එහෙත් මෙම තරගාවලියේ මුල සිටම ශ්‍රි ලංකා කණ්ඩායමේ  ශක්තිය ව කැපි පෙණුනු ශසිකා සමරසිංහ,මරීෂා ප්‍රනාන්දු,ගයත්‍රි ලංකාතිලක සහ තර්ජණි සිවලිංගම් යන සිව් කට්ටුවෙන් මරීසා සහ ශසිකා කණ්ඩායමට පසුව එක් වූ ජ්‍යෙෂ්ඨයො අවසාන තරගයේදි ක්‍රීඩා පිටියෙන් ඈත් කර තබා වෙනත් ක්‍රීඩිකාවන් මගින් ජයග්‍රහණය ලබා ගෙන උදම් ඇනීමේ උවමනාවක් පුහුණුකාරිනියට තිබුණු බව අවසාන තරගයට මුහුණ දුන් ආකාරයෙන් පැහැදිළි විය.
ශසිකා ප්‍රථම කාර්තුවෙන් එළියට ගැනීමට කුමන හේතුවක් බල පෑවේද යන්න පැහැදිළි නැත.එසේම දිගින් දිගටම සෙන්ටර් යන ස්ථානයේ දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්වන ලද දීපිකා අබේකෝන් වෙනුවට මෙම තරගාවලියේ සිටි වේගවත්ම ක්‍රීඩිකාවක් බව සනාත කළ සමන්ති නිලූෂිකා යෙදවීමට ශ්‍රී ලංකා පුහුණුකාරිය කටයුතු නොකළේ තේරීම් කමිටුව විසින් ඇය තේරිමට එරෙහිව පුහුනුකාරිය විසින් විශාල අරගලයක් කළ නිසාවෙන් ඇයගේ දක්ෂාතවය ප්‍රදර්ශනය වීමෙන් පුහුණුකාරයගේ තේරීම් වලට හානියක් වේය යන බියෙන් විය යුතුය.එසේම වරදකින් තොරව ශසිකා එළියට කැදවන පුහුණුකාරිණිය ගයනි දිසානායක නො'දකින්නේය.ඔවුන් තරගය තුළ කරන අඩු-පාඩු දැක දැක නොදුටු නියා සිටින පුහුණුකාරිය අවසන් පූර්ව තරගයේදී සිදු වූ සුළු අතපසුවීම් ගණනාවක් පදනම් කර‍‍ ගෙන මරීෂා ප්‍රනාන්දු බංකුවට අලවා තබන්නේ අති දක්ෂ ක්‍රීඩිකාවක් වෙතින තරගයක දි සිදුවන සුළු වැරදිම් ඊ ළග තරගය ‍වන විට නිවැරදි තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි දුර්වල පුහුණුකාරියක්ය යන හැගීම ජනිත කරවමින්ය.
අත්දැකීම් ඇති ශසිකා ගොල් ඩිෆෙන්ස් යන ස්ථානයට කැදවා තිසාලා අල්ගම ඒ වෙනුවට ගෝල් ඇටෑක් යන ස්ථානයට කැදවීමට හැකි වූයේ නම් ප්‍රතිපලය මීට වඩා වෙනස් කරන්නට තිබිණ.එසේ නොවීම නිසා තර්ජනි වෙත පැටවුණු පිඩනය වැඩි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වෙනත්  කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු ලබා ගැනීමට උත්සාහයක්වත් ගෙන නොමැත.තර්ජණී උත්සාහයන් 50 ක් ගෙන ඇති අතර ඉන් 47 ක් ම සාර්ථක කර ගැනීමට සමත් වී ඇත.
සිංගප්පූරුව ට තර්ජණී වැනි ආශිර්වාදයක් නෙමැත.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක පෙළේ දුර්වලතාවය හේතුවෙන් සිංගප්පූරු ක්‍රීඩිකාවෝ 63 වතාවක් ශ්‍රී ලංකා දැල ආක්‍රමණය කර තිබෙන අතර ඉන් අවස්ථා 48 ක් සාර්ථක කර ගෙන කුසලානයට අවශ්‍යය පදනම සකසා ගන්නට යෙදිණ. මෙම තරගයට අවශ්‍යය ජයග්‍රාහී සැළසුමක් සිංගප්පූරුවට තිබිණ.නමුත් ඊට එරෙහිව යෙදිය හැකි තිරිංග ඉවත් කර එම ජය ගමණ වැළක්වීම වෙනුවට පුහුණුකාරිනියට අවශ්‍යය වූයේ තමන්ට වඩා හිතවත් ක්‍රීඩිකාවන් පිරිසක් යොදවා එම ජයග්‍රහණය හරහා තමන් දක්ෂ පුහුණුකාරිණියක් බව ප්‍රකාශ කරමින් ශබ්දයක් දමන්නට ය.
කලක් අති දක්ෂ පුහුණුකාරිණියකව සිටි හයසින්ත් දැල්පන්දු පරිපාලනය සමග ඇති කරගත් නොයෙකුත් ගැටළු හේතුවෙන් රට හැර ගියේය.ආසියානු සූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ඇය සිංගප්පූරුව ජාතික පුහුණුකාරිණිය ලෙස පිළිගන්නට තරම් ආසියාව තුළ පිළිගැනිමක් හදා ගත් හයසින්ත් අනතුරුව සිංගප්පූරුවේ කටයුතු කළේ ප්‍රාදේශීය ඇකඩමියක පුහුණුකාරිණියක ලෙසය.එම ඇකඩමිය ජයගත් විවිධ ජයග්‍රහණ පිළිබදව පළ වූ පුවත්පත් දැන්වීම් පවා ඇය විසින්ම සිය මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කර තිබිණ.එසේ කාලයක් ජාතික මට්ටමේ කණ්ඩායමක් පුහුණු නොකළ පුහුණුකාරිණියක ලෙස ඇය ජාතික කණ්ඩායමක පුහුණුකාරිණියක ලෙස කැදවිම කාල් ලුවිස් මේ මොහොතේ කැදවා මිටර් 100 දිව වීමට උත්සාහ කිරීමක් බදු ක්‍රියාවකි.භාවිතාවෙන් ඇත්ව සිටි එවැන්නියකට ජාතික කණ්ඩායමක් භාර දීමට ඇය තේරු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මෙන්ම ඊට අවශ්‍යය පසුබිම සැකසූ අයද වගකිව යුතුය.
කෙසේ හෝ හයසින්ත් ගේ පැමිණිම ගැන ඒ මොහොතේ ‍මහත් උද්දාමයෙන් කතා කළ යසා රාමචන්ද්‍රයන්ට ද ඒ නිසා ඉතිහාසයේ සිය නම ඉදිරියේ ආසියානු කුසලානයක් දිනා දෙමින් ලෝක කුසලාන තරගාවලියකදී ද ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකළ එකම පුහුණුකාරිනිය යන කීර්තිය තව දුරටත් ඉතිරි කර ගනිමින් ඊට සමාන වන්නට තිලකා ජිනදාසට තිබුණු අවස්ථාව අහිමි විමෙන් හැකි විය.
මේ සියල්ල අනුව ඇතැමෙක්ට මෙම තරගාවලිය හරහා රට පරාජය වුවත් සිය පෞද්ගලික අභිප්‍රායන් ගණනාවක් සාර්ථක කර ගන්නට ලැබුණු බව පැහැදිළිය.මෙය සැබවින්ම සිංගප්පූරුව ජය ගැනිමක් ලෙස හදුන්වන්නට සුදුසු නැත.මන්ද ශ්‍රී ලංකාව සතුව තරගය ජය ගත හැකි කණ්ඩායම සිටියේය.2001 දී උපක්‍රම ශීලීව ශ්‍රී ලංකාවට වඩා ප්‍රබලව සිටි සිංගප්පූරුව පරාජය කරන්නට අවසාන විනාඩි කිහිපයේදී ධම්මිකා මල්කාන්ති වික්‍රමසිංහ කැද වූ හයසින්ත්ම මේ තරගාවලියේදි එම හැකියාව සහ අවශ්‍යයතාවය තේරුම් ගැනීමේ ඉහළ පුහුණුකාර මට්ටමක සිය මානසික මට්ටම නැති බව ප්‍රදර්ශණය කරමින් එදා ධම්මිකා කැද වූ අයුරින් අවසාන මොහොතේ හෝ ශසිකා සහ මරීෂා කැදව රට වෙනුවෙන් ජයග්‍රහණය ලබා දිම වෙනුවට ලකුණු 29 ක පරතරයක් තබා ශ්‍රී ලංකාව ජයගත් හත්වන ආසියානු කුසලානය එක ලකුණක පරතරයකින් සිංගප්පූරුවට රැගෙන යන්නට අවශ්‍යය පසුබිම සකසා දුන්නේය.
මෙහිදි සිංගප්පූරු පුහුණුකාරිනිය ශ්‍රී ලංකාව 127 - 3 ක් ලෙස පකිස්තානය පරදවා වාර්තාවක් තැබු අවස්ථාවේ ඊ ළගට පැවති නේපාල තරගයේදී තමන්ද එම වාර්තාවට උත්සාහ කරන්නේදැයි විම සූ විට පැවසුවේ තමන්ට වාර්තා අවශ්‍යය නැති බවය.ඒ වෙනුවට තමන් බලාපොරොත්තු වන්නේ ජයග්‍රහණය පමණක් බවය.ශ්‍රී ලංකා පුහුණුකාරිණිය කතා කළේ ඒ වෙනුවට වාර්තා ගැනය.අය මැලේසියාවට ලකුණු 80 ක් ලබන බව කීවේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව වන සම නායිකා ගයත්‍රි ලංකාතිලක මැලේසියාව අමාරුකාර කණ්ඩායමක් ලෙස ප්‍රකාශ කර තිබියදීය.නමුත් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසාන තරගයක දී ලබා තිබූ විශාලතම ජය ලකුණු 29 කින් හත්වන ආසියානු කුසලානය දිනා ගනිමින් ලබා ගෙන තිබිණ.අවසානයේ එම වාර්තාව පමණක් ඉතිරි කර කුසලානය අපට අහිමිවිය.
තරගාවලියේ ශ්‍රේණිගත කිරීමේ තරගවල දී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙන්නට යළිත් තිලකා ජිනදාසට හැකි විය.ප්‍රථම වතාවට ආසියානු කුසලාන තරගාවලිය නියෝජනය කළ බානායි කණ්ඩායම තරගාවලියේ සිටි ශාරිරික යෝග්‍යතාවයෙන් ඉහළම කණ්ඩායමක් බවට සනාත කළ අතර ඔවුන් ඉන්දියාව සමග වූ තරගයේදී විශිෂ්ඨ තර්ජනයක් එල්ල කරමින් ඉන්දියාවට එරෙහිව තෙවන සහ සිව්වන කාර්තු ජය ගනිමින් වේගවත් ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් තරගාවලියේ හයවන තැනට පත්විය.මාල දිවයින සහ ජපානය අතර තරගයෙන් ජපානය පළමු වතාවට පැමිණි කණ්ඩායමක් ලෙස විශිෂ්ඨ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ද අවසාන ප්‍රතිපලයේදි මාල දියින ජයගත් අතර ඒ අනුව පස්වන ස්ථානයේ සිට පිලිවෙළින් ඉන්දියාව,බෘනායි,මාල දිවයින සහ ජපානය අටවන ස්ථානය දක්වා පෙළ ගැසිණ.නවවන ස්ථානය හිමි වූයේ නේපාලයට වන අතර අවසාන ස්ථානය පකිස්තානයට හිමි විය.
ඊයේ මැලේසියාවට වැදගත් දිනයක් වූ අතර ඔවුන්ගේ ජාතික දිනය යෙදි තිබුණු ඊයේ දිනයේ දී ආසියානු කුසලානයේ තෙවන ස්ථානය දිනා දෙමින් එය සමරන්නට මැලේසියානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.සිව්වන ස්ථානය හිමි වූයේ හොංකොං කණ්ඩායමට ය.
කෙසේ හෝ මහජන බැංකුවේ පූර්ණ ආහිර්වාදය මත විවිධ ප්‍රායෝගික අඩු-පාඩු කමු රැසක් මැද ආසියානු කුසලාන තරගාවලියේ සංවිධානත්වය වෙනුවෙන් දැල්පන්දු අතුරු කමිටු ප්‍රධානි තමරා ධර්මකීර්ති හේරත් යහපත් නායකත්වයක් ලබා දුන්නේය.ඒ සදහා ක්‍රීඩා අමාත්‍යවරයා ආසියානු කුසලානයක් වෙනුවෙන් තරග වදින දැල් පන්දු කණ්ඩායමක් වෙනුවෙන් දරන ලද විශාලතම වියදම දරමින් මෙම තරගාවලිය වෙනුවෙන් ආශිර්වාදය ලබා දුන්නේය.නමුත් අශ්වයාගේ පෝෂණය වෙනුවෙන් කෙතරම් විය පැහැදම් කළ ද හොද අසරුවෙකු නැතිනම් අශ්වයාට දිනන්නට බැරි බව මෙම තරගාවලිය හරහා සනාත විය.
ඇතැම් විට අශ්වයා අතහැර ඉදිරි දින කිහිපයේ දී එංගලන්තය බලා පියාසර කරන අසරුවා එහි සිට සිය හේෂාරාවය නගද්දී  අසරුවා වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙකුගේ මඩ තැවරෙනු ඇත.ඒ අසරුවාගේ හැටිය.
අප දැන් බලා සිටින්නේ අසරුවා තෝරා ගැනීමට අවශ්‍යය පසුබිම සකස් කරමින් මෙරට දැල් පන්දු ක්‍රීඩාවට විශාලතම හානිය කළ ක්‍රීඩා අමාත්‍යංශයේ සිට දැල් පන්දු පරිපාලනය දක්වා වන නිලධාරි රොත්තට තව දින කිහිපයකින් වීර භූමිකාවන් හී  නියැලෙන්නට ඉඩ සැළසෙන සමාජ වටපිටාව දෙසය.මන්ද ඒ ලංකාවේ හැටිය.එහි අවසාන ප්‍රතිපලය ලෙස ඊ ළග සූරතාවලියේදී අප දෙවන ස්ථානයෙනුත් පහතට වැටිය හැකි බව පමණක් අවවාදාත්මක ස්වරයෙන් අප සටහන් කර තබන්නෙමු.
www.supirikrida.com

No comments: