Aug 30, 2012

දකුණු අප්‍රිකාවට ත්‍රිත්ව සූරතා -ස්ට්‍රෝස් ගෙදර යයි

වතම ජගත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම ටෙස්ට්,එක්දින සහ 20 - 20 යන තරග අංශ තුනෙන්ම ලොව ප්‍රථම ස්ථානය හිමි කණ්ඩායම බවට පත්ව ඇත.එසේ අංශ තුනෙන්ම දකුණු අප්‍රිකාවට පෙරමුණට එන්නට මග පාදමින් එංගලන්තය ලකුණු 80 කින් එක්දින තරගය පරාජය වීමත් බිදවැටී තිබූ එංගලන්ත කණ්ඩායම පෙරට ගැනීමට නායකත්වය දුන් ඇන්ඩෘ ස්ට්‍රෝස් නායකත්වයෙන් පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද සමු ගන්නා බව ප්‍රකාශ කරන්නට යෙදිණ.
මේ වන විටත් එංගලන්තය යම් ස්ථාවරයකට කැදවා ඒමෙන් ඉනික්බිතිව ඇලිස්ටෙයාර් කුක් යටතට එක්දින කණ්ඩායම පවරා තිබුණු එංගලන්තය නව නායකත්වයක් පිලිබදව පෙර සිටම යම් කටු සටහනක් ඇද සිටි බවක් පෙනෙන්නට තිබුණ ද ස්ට්‍රෝස් බොහෝ කලකට පසුව එංගලන්ත කණ්ඩායම ලොව ප්‍රබලතම කණ්ඩායම බවට පත් කිරීමට මග පෙන් වූ නායකයා මෙන්ම ඒ සදහා සිය පිත්තෙන් විශාල දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකු ලෙස ද ගැනෙන බැවින් ඔහු ගේ සමුගැන්මෙන් ඇති වන හිදැස පිරවීමට අපහසු එකක් ලෙස එංගලන්තයට දැනෙනු ඇත.
එසේම දකුණු අප්‍රිකාව ජගත් ශ්‍රේණිගත කිරීම් වල කණ්ඩායමක් මේ ආකාරයට අංශ තුනෙන්ම ප්‍රථම ස්ථානයට පත් පළමු අවස්ථාව දිනා ගැනීමට සමත් වීමද ඓතිහාසික සිදුවීමක් වේ.ඉතාමත් ලාබාල වියේදී නායකත්වයට පත් ග්‍රෙහැම් ස්මිත් නායකයෙකු වශයෙන් පරිනත වෙමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ ක්‍රීඩකයින් අතර මනා සබදතාවයක් පවත්වා ගනිමින් සහ ඒ සියල්ලන් එකට කැටි කොට වැඩ ගත හැකි නායකයෙකු බව ඔප්පු කරමින් සිටීමද කැපී පෙනෙයි.
එළැඹෙමින් තිබෙන 20 - 20 ලෝක කුසලානය අභියස දකුණු අප්‍රිකාව මේ ආකාරයට ඕනෑම තරග අංශයක ලොව ප්‍රථමයා වීම, තරගාවලියට දැඩි විශ්වාසයකින් පැමිණීම සදහා ආශිර්වාදාත්මක පළසක් එලීමක් බදු වන අතර එය සෙසු කණ්ඩායම් වලට ද දැඩි මානසික අභියෝගයක් ඇති කරන්නක් වනු නිසැකය.
www.supirikrida.com

No comments: