Aug 26, 2012

කෝඩුකාර බෘනායි විසේකාර අාරම්භයක

සරක පමණ කාලයක ඇවෑමෙන් සත් වන ආසියානු දැල් පන්දු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට මුල් වූ පුහුණුකාරිණිය තිලකා ජිනදාස ගේ මග පෙන්වීම යටතේ ආසියානු දැල් පන්දු තරගාවලියට පිවිසි බෘනායි කණ්ඩායම මාල දිවයින සමග පැවති තරගය 26 - 26 ලෙස නිමා කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.තරගයේ ඇරඹුමේ සිටම තමන්ට වඩා අත්දැකීම් ඇති මාලදිවයින ට කරට කර තරගයක් ලබා දුන් බෘනායි කණ්ඩායම ඇතැම් අවස්ථාවක මාලදිවයින අභිබවමින් පෙරට ආව ද,තරගයේ අවසාන තත්පර කිහිපයේදී මාලදිවයින ලකුණු දෙකකින් ඉදිරියෙන් සිටිය අතර ඒ අවස්ථාවේදී දැඩි විසේකාර ක්‍රීඩා රටාවකට පිවිසි බෘනායි කණ්ඩායම ශක්තිවන්ත සහ වේගවත් ක්‍රීඩා රටාවකට පිවිසෙමින් ලකුණු දෙකක් ලබා තරගය සම ලකුණු තත්ත්වයකින් අවසාන කළේය.
දැල් පන්දු ක්‍රීඩිකාවක් පමණක් නොව ශ්‍රී ලංකාවේ සිටි අති දක්ෂ මලල ක්‍රීඩිකාවක ද වන තිලකා ජිනදාස ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට ඔලිම්පික් පිටියට පා තැබූ කාන්තාව ලෙස ද ඉතිහාසයට එක් වි සිටින අතර ඇය කණ්ඩායමක දරා ගැනීමේ ශක්තිය ඉතා ඉහළින් රදවා ගැනිමට හැකි පුහුණුකාරියක ලෙස ප්‍රකටය.මාලදිවයිනට එරෙහි තරගයේදී බෘනායි කණ්ඩායමෙන් ඒ බව කදිමට පැහැදිළි වූ අතර එය බෘනායි කණ්ඩායම ලද ජයක් මෙන්ම ශ්‍රී ලංකා දැල් පන්දුව ආසියාවේ ඉහළ අවධානයකට ලක් වන තරගයක් ද වූයේ තිලකා ගේ පුහුණුකාරීත්වය වසරක පමණ කාලයකදී එරට දැල්පන්දු ක්‍රීඩාවේ ඇති කර තිබෙන ප්‍රගතිය එයින් පැහැදිළි වන නිසාය.
තරගයේ පළමු කාර්තුවේ ලකුණු 8 - 7 ක් ලෙස මාල දිවයින පෙරමුණේ සිටි අතර,දෙවන කාර්තුව නිම වන විට ලකුණු පූවරුවේ පෙරමුණ 15 -13 ක් ලෙස බෘනායි කණ්ඩායම විසින් අත් කරගෙන සිටියේය.තෙවන කාර්තුව නිමා වන විට ලකුණු පූවරුව දිස් වූයේ 21 -  20 ක් ලෙස වූ අතර පෙරමුණේ සිටියේ බෘනායි කණ්ඩායමය.තරගයේ අවසාන කාර්තුවේ අවසාන විනාඩිය එළැඹෙන්නට සුළු මොහොතකට පෙර ලකුණු පූවරුව 26 -24 ක් ලෙස දිස් වූ අතර ඒ අවස්ථාවේදී නැවත තරගයට පිවිසි බානායි ක්‍රීඩිකාවෝ ලකුණු දෙකක් ලබා ලකුණු පූවරුව 26 - 26 ක් ලෙස සම කිරීමත් සමග තරගය අවසාන කරන නලාව නාද විය.
ඊයේ දිනයේ පැවති ප්‍රබලතම තරගය වූ මැලේසියාව සහ සිංගප්පූරුව අතර තරගයේ ප්‍රථම වට තුනම ඉදිරියෙන් සිටි මැලේසියාවට අවසාන වටයේදී සිය වේගය සහ ජවය පෙන් වු සිංගප්පූරුව ලකුණු 38 - 34 ක් ලෙස මැලේසියාව පරාජය කළේය.තරගයේ පළමු කාර්තුවේ සිංගප්පූරුව දැඩි අපහසුතාවයකට පත් කළ මැලේසියානු ක්‍රීඩිකාවන් ලකුණු 11-5 ක් ලෙස පෙරමුණට පැමිණි  අතර,දෙවන කාර්තුව නිම වන විට එම තත්ත්වය ඉදිරියට ගොස් තිබුණේ ලකුණු 19 -14 ක් ලෙස මැලේසියාවටම වාසිය අත් වන ආකාරයෙන්ය.තෙවන කාර්තුව නිම වන විටද මැලේසියාව ලකුණු 28 -25 ක් ලෙස පෙරමුණේම සිටි අතර ලකුණු පරතරය තුන දක්වා අඩු කර ගන්නට සිංගප්පූරුව සමත් වී තිබිණි.නමුත් තරගයේ අවසාන කාර්තුවට පිවිසීමත් සමග දැඩි වේගයක් සහ පාලනයක් ඇතිව තරගයට අවතීර්ණ වූ මේ වන විට ජගත් ශ්‍රේනිගත කිරීම්වල ආසියාවේ අංක එකේ සිටින සිංගප්පූරුව සිය තත්ත්වය කදිමට පැහැදිළි කළ අතර සිය සමස්ත ලකුණු ප්‍රමාණයට ලකුණු 13 ක් එක් කර ගනිද්දී,මැලේසියාවට ලබා දුන්නේ ලකුණු හයක් පමණක් රැස් කිරීමටය.
ඉන්දියාව සහ ජපානය අතර තරගයේ දී කෝඩුකාර ජපනෙය සිය පාලනයට සම්පූර්නයෙන් යටත් කර ගත් ඉන්දියාව ලකුණු 64 - 17 ක් ලෙස තරගය නිම කළේ පහසු ජයක් ලබමින්ය.නමුත් ජපානය තරගයට කෝල බවක් නොපෙන්වා තරගය පුරාම ලකුණු හොයමින් වෙහෙස වූ ආකාරය ප්‍රශස්ත මට්ටමක විණි.ජපාන කණ්ඩායම කණ්ඩායමක් වශයෙන් ක්‍රියාත්මක වීම හදුනා නොගැනීම එහිදී මැනවින් පැහැදිළි වූ අතර ඔවුන්ගේ හොදම ලකුණු ලබන්නිය බවට පත් වූ නකතානි උත්සාහයන් නවයෙන් නවයක්ම සාර්ථක කර ගත්තද ඇය ලවා ලකුණු ලබා ගැනීමට පන්දුව යොමු කිරීමට වැඩි අවධානයක් යොමු කිරීම පසෙක ලා,තමන්ට ලකුණු ලැබීමට ලැබුනු අවස්ථාවන් 25 න් 16 ක් ම අනෙකුත් ක්‍රීඩිකාවන්ට පවරා තිබෙනු දැකීම ඒ බව පැහැදිළි කරන්නේය.ඉන්දීය කණ්ඩායමද ජපානයේ දුර්වල කමින් ලකුණු ලබා ගත්තේද යන්න කීමට වඩා ඇයගේ දැල ප්‍රහාරිකාව වූ කොවුර් විසින් සිය උත්සාහයන් 47 න් 40 ක් ම නිසි ඉලක්කයට යොමු කිරිමත් කැපී පෙණින.
www.supirikrida.com


No comments: