Aug 31, 2012

තර්ජණීගේ තර්ජනයට මැලේසියාව යට කළ ලංකාව අවසාන තරගයට

ටවන ආසියානු දැල් පන්දු  කුසලානය සියතේ රදවා ගැනීමේ අපේක්ෂාවෙන් තරග වදින හත්වන ආසියානු දැල් පන්දු සූරියන් වන ශ්‍රී ලංකාව මැලේසියාව සමග පැවති අවසන් පූර්ව තරගයේදී තර්ජනී සිවලිංගම් ගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් අවසාන තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත්විය.අප එම තරගය පිළිබදව ඊයේ වාර්තා කරන ලද ආකාරයටම දැඩි බලපෑමක් මැලේසියානු ආරක්ෂක වළල්ලෙන් එල්ල වූ අතර මැලේසියාව ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ල අභිබවා දැල වෙත 76 වතාවක් පන්දුව රැගෙන එද්දී ශ්‍රී ලංකාවට මැලේසියානු දැල වෙත පන්දුව රැගෙන යාමට අවස්ථාව ලැබුණේ 68 වතාවක් පමණි.
මෙහිදී ලොව අංක එකේ දැල විදින්නිය වන තර්ජණී  සිවලිංගම් ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් වූ අතර ඇය අතට පන්දුව පත් 66 වතාවෙන් 65 වතාවක්ම පන්දුව නිසි ඉලක්කයට දැලට යොමු කළාය.ශසිකා සමරසිංහ සිය උත්සාහයන් දෙකම ලකුණු බවට පත් කර ගත් අතර මැලේසියාව පන්දුව 76 වතාවක් දැලට යොමු කළ ද එයින් සාර්ථක ප්‍රතිපල ලැබුණේ 58 වතාවකදී පමණක් බැවින් ශ්‍රී ලංකාව ලකුණු 67 - 58 ක් ලෙස සිංගප්පූරුවට එරෙහිව අද පවතින අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තාය.
තරගයට පෙරදින මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කරමින් ගයත්‍රි ලංකාතිලක කියා සිටියේ සිංගප්පූරුවට වඩා මැලේසියාව පරාජය කිරීම දුෂ්කර කාර්යයක් බවය.ඇය සිය පරිනත දැණුමෙන් ප්‍රකාශ කළ ආකාරයටම මැලේසියාව පරාජය කිරිම දුෂ්කර කාර්යයක් වූ අතර විශේෂයෙන්ම ඔවුන්ගේ ආරක්ෂක පෙළ ශක්තිය ශ්‍රී ලංකාවේ ආරක්ෂක පෙළ ශක්තිය අභිබවා නැගී සිටි බව පිළිගත යුතුය.තවද බලාපොරොත්තු නැති තැති ගැන්මකට ලක් වූ බවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් විහාල අත්වැරදීම් ගණනාවක් සිදු වුව ද තර්ජණි ගේ ඉලක්කය සියයට 98 ක්ම නිවැරදි වීමේ වාසිය හේතුවෙන් අවසාන ප්‍රතිපලය ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.
අද තරගය පැවත්වෙන්නේ සිංගප්පූරුව සමගය.ඒ ශ්‍රී ලංකාව පරාජය කිරිම වෙනුවෙන්ම සැළසුම් අදිමින් තර්ජණීට අභියෝගයක් කිරිමට 'ලී' වැනි ක්‍රීඩිකාවක් ගෝල් කීපර් සදහා යොදවා ගැනීම සිය තරග සැළසුමට ඇතුළත් කළ රටක්ය.නමුත් මේ දක්වා තරග කළ ආකාර‍ය දකින විට තර්ජණි ආවරණය කිරීම හැරෙන්නට වෙනත් උපක්‍රම මගින් ශ්‍රී ලංකාව අභිබවා යා හැකි තත්ත්වයකට සිංගප්පූරුවේ ක්‍රීඩා රටාව තර්ජණාත්මක එකක් විය හැකි බව පෙනෙන්නට නැත.ඒ නමුත් මේ දක්වා ක්‍රියාත්මක නොකළ දේ කුමක්ද යන්න පිළිබදව සිතා ගැනීම දුෂ්කරය.ඒ නිසා ශ්‍රී ලංකාවට ද මේ දක්වා ක්‍රියාත්මක නොකළ තරග රටාවක් ගැන මේ තරගයේදී සිතන්නට හැකිනම් හොදය.විශේෂයෙන් අවසාන පූර්ව තරගයේදී දිගින් දිගටම යොදා ගත් ක්‍රීඩිකාවන් අසාර්ථක විම තුළ තව දුරටත් රදවා තබා ගනු අපි දුටුවෙමු.මේ තත්ත්වය අවසාන තරගයේදි හෝ වෙනස් වන්නේ නම් එය රටට යහපතකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ කාර්යශීලී ක්‍රීඩිකාව ලෙස මාධ්‍යවේදීන් ගේ අවධානය දිනා ගෙන සිටින සමන්ති නිලූෂිකා වැනි ක්‍රීඩිකාවක් මේ තරගය පුරා උපයෝගී කර නොගැනීම පිළිබදව විමතිය පළ විය.එහෙත් තරගයට අවශ්‍යය දේ කුමක්ද යන්න තීරණය කිරීමේ දැණුම ක්‍රීඩාලෝලියා ඉක්මවා පුහුණුකාරිණියට තිබිය යුතු අතර එහෙත් සියලු කාරණා ඉවසිල්ලෙන් විමසා බලා එයින් යමක් ඇත්නම් ගෙන යොදා ගැනීමෙන් රටට මෙන්ම ඒ සදහා දායක වූ සියල්ලටම ගෞරවයක් හිමිවන බව ද සිහිතබා ගැනීම වැදගත්ය.
සිංගප්පූරුව සහ හොංකොං අතර පැවති අවසාන පූර්ව තරගය ශ්‍රී ලංකා - මැලේසියා තරගය තරම් උණුසුම් නොවූ අතර පළමු කාර්තු දෙක යම් තර්ජනයක් එල්ල කිරීමට හොංකොං සමත් වුව ද අවසානයේදී ලකුණු 53 - 27 ක් ලෙස පහසුවෙන් ජය ලබා ගැනීමට සමත්විය.
ජපානය සහ බෘනායි යන කණ්ඩායම් දෙක මේ තරගාවලිය පුරා කැපී පෙණෙන කණ්ඩායම් දෙකකි.ඔවුන් සිය මංගල සහභාගිත්වය තුළ ප්‍රබලයන්ට සැළකිය යුතු මට්ටමේ තරගයක් ලබා දෙන්නට සමත් වී සිටින අතර ඔවුන් දෙපළ අතරින් ඊයේ තරගාවලියේ පස්වන සහ හයවන ස්ථාන සදහා තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තේ බෘනායි කණ්ඩායමය.ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න තීරණය කිරීමේ තරගය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් අතර එහිදී මාල දිවයින පරාජය කරමින් ඉන්දියාව ජය ගත්තේ ලකුණු 41 - 40 ලෙස ය.
කෝඩුකාර නේපාලය ද තරගාවලියේ අවසාන ස්ථානයට පෙර කණ්ඩායම බවට පත්වෙමින් ආසියානු තරගාවලියේ තමන්ට වඩා අත්දැකීම් ඇති පකිස්තානය පරදවා නව වන ස්ථානයට පත් විය.ඒ  අනුව මෙවර තරගාවලියට සහභාගි වීමට පැමිණි කෝඩුකාර කණ්ඩායම් අතරින් වඩා විශිෂ්ඨයන් බව සනාත කළ බෘනායි කණ්ඩායම තිලකා ජිනදාස ගේ පුහුණු උපදේශකත්වය යටතේ මේ වන විටත් මෙම තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම් හතරට පසුව එන ස්ථානයේ සිට ගැනීම සදහා අද තරග වැදීමට සුදුසුකම් ලබා සිටියි.ජපානය මාල දිවයින්ට එරෙහිව හත්වන තැන හෝ අටවන තැව දිනා ගැනීමට සටන් වදින අතර නේපාලය මේ වන විටත් කණ්ඩායම් 10 අතරේ නව වන තැන සිටියි.ඒ නිසා මෙම තරගාවලියට පැමිණි සියළුම කෝඩුකාරයින් අනාගතයේ මීට වඩා දීප්තිමත් ක්‍රීඩා රටාවක උරුමක්කාරියන් වනු ඇති බව මෙන්ම ඒ හරහා ආසියාවේ දැල් පන්දුවේ තරගකාරීත්වය ඉහළට එසැවෙනු ඇතැයි සිතන්නට හැකි වීම ආසියානු දැල් පන්දුව ලද ජයකි.
www.supirikrida.com

No comments: